පොහොය දිනයේ සිල් සමාදන් වීමේ වැදගත්කම

ලෝකවාසී සැදැහැවත් බෞද්ධයන්ට සෑම මසකම පැමිණෙන සුවිශේෂී දිනයක් ලෙස “පොහොය දිනයන්” නම් කිරිමට පුලුවනි.

ඈත අතීතයේ සිටම පොහොය දිනයන්හීදි බොහෝ විට බෞද්ධ පිරිස අනෙකුත් දෛනික වැඩ කටයුතුවල නොයෙදි සිල්සමාදන්විමට පුරුදු කරගෙන තිබෙනවා.

එසේ ගිහි ජීවිතයේ දෛනික වැඩ කටයුතු සමග සිල්සමාදන්විමට විවේක කාලයක් සොයා ගැනිමට නොහැකි පිරිස පොහොය දිනයනවල විහාරස්ථානවලට ගොස් මල් පහන් පුජා කිරිම, දන් පිළිගැන්විම, බණ ඇසිම වැනි විවිධ පුණ්‍යය කටයුතු කිරිම සදහා වෙන්කර ගන්නවා.

එවගේම බෞද්ධයන් අනිකුත් දිනයන්වලට වඩා පොහොය දිනයන්වලදී අකුසල ක්‍රියාවලින් වැලකි සිටිමට ඉතාමත් සැකලිමත් වනවා.

මෙවර අප සාකච්ඡා කිරිමට තෝරගත් මාතෘකාව වන

“පොහොය දිනයන්හිදි සිල් සමාදන්වීමේ වැදගත්කම” පිළිබදව විශේෂ කරුණු කිපයක් පැහැදිලි කිරිමට අපගේ ගෞරවනීය ආරධනය

 “අපි” සගරාව සමග නිරන්තරයෙන් සම්බන්ධ වි පාඨක ඔබ වෙනුවෙන් ධර්මානුකූල කරුණු විග්‍රහකිරිමට අපට සහය වන අපගේ පින්වත් රිදීකන්ද ආරණ්‍යය හි සේනාසනාධිපති ස්වාමීන්වහන්සේ වූ අති ගෞරවනීය විද්‍යාවේදී රාජකීය පණ්ඩිත කම්මට්ඨානාචාර්ය අනුරාධපුර අරියජීව ස්වාමින්වහන්සේටයි.

පොහොය දිනයේ වැදගත්කම සහ එයට යම් විද්‍යාත්මක පසුබිමක් තියෙනවද ?

බෞද්ධයනට පොහොය දිනය වැදගත් කමක් ගන්නේ, ශාසනික ඉතිහාසයේ විශේෂ කර්තව්‍යන් සිදුවෙන නිසාය. එවැනි ශාසනික සිදුවීම් පොහොය දිනයක් තුලදීම සිදුවීමේ විද්‍යාත්මක සුවිශේෂීත්වයකුත් පවතිනවා. පෘථිවිය කේන්ද්‍රව චන්ද්‍රයාගේ ගමන් මාර්ගය දින 29 පමණ වූ කාලය තුල සූර්ය ආලෝකය පරිපුර්ණ ලෙස චන්ද්‍රයා මත වැටෙන ආකාරයට සූර්යයා, පෘථිවිය සහ චන්ද්‍රයා පිහිටීමේ විශේෂ අවස්ථාව, පොහොය දිනය ලෙස සලකන්න පුළුවන්. මේ අවස්ථාවේ පුර්ණ චන්ද්‍රයා දිස්වීම පුර පොහොය දවස ලෙස අපි සලකනවා. මෙම පිහිටීම නිසා ස්වභාවධර්මයේ මෙන්ම පුද්ගල, සත්ව චර්යාවන්ගේ යම් වෙනස්කම් සිදුවීම අපිට දකින්න පුළුවන්. උදාහරණයක් ලෙස, පොහොය දිනයක මුහුදේ කැළඹීම, රළ නැඟීමේ ඉහළ යාම දකින්න පුළුවන්. ඒ වගේම සත්වන්ගේ ක්‍රියාකාරකම් වල යම් උද්යෝගීබවක් පොහොය දිනයක අපට දකින්න පුළුවන්. සමහර විස සහිත සත්වයින්ගේ විෂ උග්‍ර වීම, ඒ වගේම සමහර සත්වයින් උඩු බිරීම ආදී විශේෂ හැසිරීම පෙන්වනවා. පුද්ගලයෙක්ගේ හැසිරීම් දිහා බැලුවත්, අපට ඒ විශේෂ හැසිරීම දකින්න පුළුවන්, විශේෂයෙන් සාමාන්‍ය කටවහරේ කියනවා, පොහොය දිනයක සමහර අයකුගේ උමතු බව වැඩිවෙනවා කියල. ඒ විතරක් නෙවෙයි, යම් ආදරය වැනි හැඟීම් උද්දීපනය වීම විතරක් නෙවෙයි, යම් වෛරී හැඟීම් පවතිනවනානම් එයත් උද්දීපනය වීම දකින්න පුළුවන්.

එදා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පෙර උන්වහන්සේගේ උත්පත්තිය පිණිස පස්මහ බැළුම් (කාලය, දීපය,දේශය, කුලය, මව්)  බලනවා කියල ධර්මයේ විස්තර කරනවා. එතනදී කාලය විදිහට අපි දකිනවා උන්වහන්සේගේ උපත පොහොය දවසක සිදුවෙලා තියෙනවා, උපත විතරක් නෙවයි, බුද්ධත්වය, පරිනිර්වාණය වගේ සුවිශේෂී සිදුවීම් රාශියක් මෙලෙස පොහොය දිනය තුලම තෝරා ගැනීම සඳහා, පොහොය දිනය විශේෂ වෙලා තියෙනවා.

එක හේතුව විදිහට, අපිට දකින්න පුළුවන් පුද්ගලයාගේ කායික සහ මානසික ක්‍රියාකාරීත්වයේ යම් උත්තේජනයක්, යම් වර්ධනයක් පොහොය දවස තුල ලබා ගැනීමට පුළුවන් කමක් තියෙනවා. පුද්ගලයන් මෙන්ම අජීව සියලු ස්වභාව ධර්මයන් නිර්මාණය වෙලා තියෙන්නේ ශක්තීන් මත, පොහොය දිනයේ දී පෘථිවි

ගුරුත්වාකර්ෂණය ප්‍රභලතාවය අභිබවා චන්ද්‍රයා මත යම් ගුරුත්වාකර්ෂණය බලශක්තියේ යම් නැඟීමක් දකින්න පුළුවන්. ඒ තුල ශක්තීන්ගේ යම් විපර්යාසයක් වන බව තේරුම් ගන්න පුළුවන්.

සම්බුදුරාජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසුවත් උන්වහන්සේ ශ්‍රාවකයන්ගේ ආධ්‍යාත්මික වර්ධනය පිණිස පොහොය දවස තෝරා ගැනීම තුල, පුද්ගලයාගේ චිත්ත ශක්තිය වර්ධනය කරගැනීමට පොහොය දවස උපකාරී කරගෙන ඇති බව තේරුම් ගන්න පුළුවන්. ඒ විතරක් නොවේ, විශේෂයෙන් පුර්ණ චන්ද්‍රයාගෙන් නික්මෙන ආලෝකය රාත්‍රී කාලයේම පැවතීම තුල බොහෝ පිරිසක් ඒකරාශී කරගැනීමත්, රාත්‍රී කාලයම අධ්‍යාත්මික ගුණයන් වර්ධනය කරගැනීම පොහොය දවස උපයෝගී කරගත්තා.

ඒ වගේම, පොහොය දිනයකදී භාවනා ආදී අභ්‍යාසයන් ප්‍රගුණ කරන කෙනෙකුට එම භාවනාව මනාකොට සංවර්ධනය කරගැනීම කල හැකියි. ඒ වගේම සියළු යහපත් හැඟීම තීව්ර කරගැනීමට පොහොය දවස සුවිශේෂීයව උපයෝගී කරගන්න පුළුවන්.

පොහොය දිනයේ සිල් සමාදන් වීමේ අරමුණ කුමක්ද?

කලින් සාකච්ඡා කල වගේ, ඔබ තුල යම් ගුණ ධර්මයක් පවතිනවනම් එය තවදුරටත් වර්ධනය කරගන්න පුළුවන් විශේෂ දවසක් ලෙස පොහොය දවස හඳුන්වන්න පුළුවන්. බෞද්ධයන් විදිහට අප නිති පන්සිල් සමාදන්ව කටයුතු කරන නිසා, අපට පුළුවන් නම් ඊටත් එහා සීලයක් සමාදන් වෙන්න, එය ඔබේ ජීවිතයට යම් දියුණුවක් ලබාදෙන්න, යම් ජීවිත තෘප්තිමක් ලබාදෙන්න පුළුවන් වෙනවා. ඊටත් වඩා ජීවිතය පිලිබඳ ගැඹුරින් කල්පනා කරන්න එහි සත්‍යතාවය විමර්ශනය කරන්න අපිට යම් කාලයක්, පරිසරයක්, යම් විවේකයක් අපි හදාගන්න ඕන. එම විවේකය කායික වශයෙන් මෙන්ම මානසික වශයෙනුත් අපි හදාගන්නට ඕන. ඒ සඳහා තමයි අපි සීලයක සමාදන් වෙන්නෙ. ‘පොහොය’ කියන වචනයට පාලි භාෂාවෙන් කියන්නේ ‘උපෝසථ’ කියල. උපෝසථ යනු ‘උපවාස’ කියන අර්ථයත් තියෙනවා. උපවාස කියන්නේ වාරණය කරනවා කියන අර්ථයයි. මොනවද වාරණය කරන්නේ? ආහාර වාරණය වෙන්න පුළුවන්. මොනවද මේ ආහාර? ධර්මයේ සඳහන් වෙනවා සතර ආහාරයන් පිළිබඳව. මොනවද මේ සතර ආහාරයන්? සරලව විස්තර කරනවා නම් ඇසට වර්ණයන් ආහාරයක්, කනට ශබ්ද ආහාරයක්, දිවට රසය ආහාරයක්, නාසයට ගන්ධය ආහාරයක්, කයට පහස ආහාරයක්, මනසට විවිධ මනෝ සංකල්පයන් ආහාරයක්. එහෙනම් වාරණය කරන්නේ ඔබේ ඉන්ද්‍රීයයන්. උපොසථ සීලය කියන්නේ එහෙනම් ඉන්ද්‍රීය වාරණය කිරීම. එය ඔබ පංච සීලයකට වඩා ගැඹුරින් ප්‍රගුණ කරමින් කෙනෙකුගේ චිත්ත විවේකය, සමාධිය වර්ධනයට දායක කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, එම චිත්ත විවේකය තුලින් ජීවිතය පිළිබඳව පහසුවෙන් ගැඹුරින් විමර්ශනය කරන්න එම පරිසරය හේතු කරගන්න පුළුවන්. ඉතින් අපි ඉදිරි සාකච්ඡාවකදී ඒ පිළිබඳවත් විස්තරාත්මකව සිදුකරමු.

උපාසක සහ උපාසිකා නමින් සිල්සමාදන් වූ අය හැඳින්වීමේ විශේෂත්වය කුමක්ද?

‘උපාසක’ යන අර්ථය තුල උපායට අනුව සකස්වන යන අදහස තියෙනවා. ඉන්ද්‍රීය සංවර කර ගැනීම පිණිස උපායශීලීයව කටයුතු කිරීමට වීර්ය කිරීම  පොහොය දවසේ සිල සමාදන් වූ උපාසක සහ උපාසිකාවන්ගේ විශේෂත්වයයි. ඒ විතරක් නෙවෙයි, අපි හැමෝම විවිධ නම්ගොත් වලින් ආමන්ත්‍රණය  කරගැනීම තුල පුද්ගලභාවය ඉස්මතු වීම වැළක්වීමේ උපායක් විදිහටත් පොදුවේ සෑම දෙනාම උපාසක සහ උපාසිකා නමින් හඳුන්වනු ලබනවා. උදාහරණයන් විදිහට, භික්ෂුවක් පැවදි වීමට කලින් විවිධ නම්ගොත් වලින් හඳුන්වනු ලැබුවත්, පැවදි බව සමඟ උන්වහන්සේට වෙනම පැවිදි නාමයක් ලබාදෙන්නේ, ගිහි ගතිය, ගිහි මතකය ආවර්ජනය වීම වැලැක්වීමත්, පැවදි බව නිරතුරුව ස්මරණය කිරීම පිණිසත්ය. ඒවගේම උපාසක සහ උපාසිකා නමින් තමන් කල්පනා කිරීම තුල. එදා දවසේ ගිහිගෙවල් වල කටයුතු කරමු ඒ හැඟීම්, එදා දවසට අමතක කරන්නත්, තමන් එදා දවස තුල උතුම් ගුණ වර්ධනය කිරීමේ උපාය සොයමින් කටයුතු කරන්න පහසු කරන්න මෙම ආමන්ත්‍රණය උදව් වෙනවා.

පොහොය දිනයේ සිල් සමාදන් වීමේ වැදගත්කම”

පිළිබදව ඉතාමත් වටිනා කරුණු කිපයක් ධර්මානුකූලව විස්තර කර කියා දෙන්න “අපි” සගරාව සමග සම්බන්ධ වීම පිළිබදව අපගේ ගෞරවපූර ස්තුතිය රිදීකන්ද ආරණ්‍යයහි සේනාසනාධිපති ස්වාමීන්වහන්සේ අති ගෞරවනීය විද්‍යාවේදී රාජකීය පණ්ඩිත කම්මට්ඨානාචාර්ය අනුරාධපුර අරියජීව ස්වාමින්වහන්සේට පුද කරමු. ඔබ වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා!

පහත සදහන් මාධ්‍යයන් ඔස්සේ රිදීකන්ද ආරණ්‍යය සේනාසනය සමග සම්බන්ධවි “භාවනා වැඩසටහන් පිළිබදව” තොරතුරු දැන ගැනිම ඔබට පුලුවන.

Contact (SL): +94 763229860

Contact (UK): +44 7525843376

Email: rideekanda@gmail.com

Web: www.rideekanda.com
අමා නාකන්දලගේ

ඉතාම කෙටි කාලයකින් සිත එකඟ කර ගන්නා ක්‍රමවේදය

මාතලේ දිස්ත්‍රික්කයට අයත් උඩස්ගිරිය ගම්මානයේ පිහිටා ඇති

රිදීකන්ද ආරණ්‍යයහි  සේනාසනාධිපති ස්වාමීන්වහන්සේ අති ගෞරවනීය විද්‍යාවේදී රාජකීය පණ්ඩිත කම්මට්ඨානාචාර්ය අනුරාධපුර අරියජීව ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙන් යුතුව “අපි සගරාවේ” 26 වෙනි දිගහැරුම ඔස්සේ ඉදිරිපත් කළ “භාවනාව සහ විවිධ භාවනා ක්‍රම” පිළිබදව කරුණු විග්‍රහ කෙරුණු ලිපියට අනුකූලව මෙවර අප ඔබ වෙත ගෙන එන්නේ “ඉතාම කෙටි කාලයකින් සිත එකඟ කර ගන්නා ක්‍රමවේදය” පිළිබදවයි.

1. ඒකාග්‍ර සිතක් යනු කුමක්ද?

සාමාන්‍ය සිතක ස්වභාවය නම්, විවිධ අරමුණු ඔස්සේ සිත විසිරවීමයි. වර්ණයන්, ශබ්දයන්, ගන්ධයන්, රසයන්, ස්පර්ශන් සහ මතකයන් තුලින් අපගේ සිත විවිධ අරමුණු ඔස්සේ මෙහෙයවමින් සිත බලවත් වෙහෙසකට පත් කරයි. සිතෙහි වෙහෙසකාරි බව, සැම විටම ච්ත්ත පීඩාව, අලස බව, කලබල ගතියෙන් යුක්තව සිත ක්‍රියාත්මක වේ. විසිරුණු සිතක චිත්ත ශක්තියෙහි ද ප්‍රභලතාවය අඩුයි.

යමෙකු විසින් විවිධ අරමුණු බැහැර කොට, එක් අරමුණක් වෙත පමණක් සිහිය පවත්වනවාද, එය ඒකාකාරි අරමුණු රටාවකින් යුක්තව ‍යම් පාලනයකින් යුත් සිතකි. එවැනි සිතක විවේකිබව, ප්‍රබෝධමත්බව මෙන්ම මනා සතිමත් බවකින් යුක්ත වු චිත්ත ප්‍රවාහයක් ක්‍රියාත්මක විම දැකිය හැක. එකඟ සිතෙහි චිත්ත ශක්තිය, ලෞකික ජිවිතයේ විවිධ බාධක හා අභියෝග පහසුවෙන් ජයගැනීමටත්, කායික හා මානසික නිරෝගීභාවය පිණිසත් මහෝපකාරී වේ.

2. සිතක එකඟ බව, කායික සහ මානසික නිරෝගි බව පිණිස හේතු වීම පිළිබද නවීන විද්‍යාත්මක පරියේෂණයන් කෙසේ සාක්ෂි දරයිද?

ඒකාග්‍ර සිතක ස්වභාවය පිළිබදව සිදුකල ඇති විද්‍යාත්මක පරියේෂණයන්ට අනුව, එකඟ සිතක් ඇතිකර ගැනීම තුලින්, මිනිස් මොළයේ ස්නායු ආවේගයන්ගේ සැලකිය යුතු වෙනසක් සහ ප්‍රීතිය, සැපය, මද්‍යස්ථබව වැනි ධනාත්මක සිතුවිලි වල උත්තේජනයන් දැකිය හැකි බව නිරික්ෂණය කර ඇත. චිත්ත ‍ඒකාග්‍රතාවය විවිධ මට්ටම් වලින් කෙනෙකුට වර්ධනය කල හැකි අතර, එම විවිධ ඒකාග්‍ර මට්ටම් වෙනස් විමට අනුකුලව, මොළයේ ස්නායු තරංගයන්ගේ සංඛ්‍යාතයන් ක්‍රමානුකූලව අඩුවන බව පරියේෂණවලින් සොයාගෙන ඇත.

ඒ ඒ ඒකාග්‍රතා මට්ටම් අනුව සිතෙහි විවිධ බලයන් හා ගුණාංග ඇතිවීම හා ඒවා තුලින් ලැබෙන විවිධ හැකියාවන් සහ ප්‍රායෝජනයන් පහත පරිදි දැක්විය හැක.

ගැමා තරංග මට්ටම් (තරංග ආයාමය 38-42 අතර)

මෙම අවස්ථාවේදී මොළයේ ක්‍රියාකාරීත්වය සක්‍රීයව ක්‍රියාත්මක වීම නිසා සතිමත් බව සමග ක්‍රියාශිලිව යම් කටයුත්තක් සාර්ථකව කිරිමේ ශක්තිය වර්ධනය වේ. විශේෂයෙන් රැකියා ස්ථානයේදී රැකියා කටයුතු වලදි නිවැරැදි සහ ක්ෂණිකව ගැටලු විසදීමේ හැකියාව දැනුවත් බව සහ මනා අවධානය, පරීක්ෂාකාරී බව මෙන්ම මතක් ශක්තිය හොදින් ක්‍රියාත්මක විම සිදු වේ.

බීටා තරංග මට්ටම (තරංග ආයාමය 12-38 අතර)

මෙම අවස්ථාවේදි මනාව තීන්දු තිරණ ගැනීම, නිවැරැදි විනිශ්චයන් ගැනිම, යම් ඉලක්ක ගත අරමුණක් නිවැරැදිව යමක් සැලසුම් කිරිම සහ එය සම්පුර්ණ කිරිම ආදිවු හැකියාවන් සාක්ෂාත් කිරිමට අවශ්‍ය සතිමත් බව ලැබේ.

ඇල්ෆා තරංග (තරංග ආයාමය 8-12 අතර)

මෙම අවස්ථාවේදී ඇතිවන සිතෙහි එකඟ බව, තුලින් කය සහ සිත යන දෙපාර්ශවයේ මනා ඒකාබද්ධභාවය සහ සමබරතාවය තහවුරු කරයි. ඒ ඔස්සේ කායික මානසික සන්සුන් බව සහ විවේකි බව අත්විඳිය හැක. මෙම අවස්ථාවෙ ස්නායු පද්ධතිය සමතුලිතබව සහ ආතතිය වඩවන හෝමෝන ක්‍රියාකාරිත්වය අඩුවන බව සොයා ගෙන ඇත.

තීටා තරංග මට්ටම (තරංග ආයාමය 4-8 අතර)

තීටා අවස්ථාවේදී ඇතිවන සිතෙහි එකඟ බව, ගැඹුරු සමාධි ස්භාවයකට පත්වීමත්, ඒ තුලින් ධනාත්මක ආකල්ප, නිර්මාණශිලීත්වය වැනි අභ්‍යන්තර කුසලතාවන් වර්ධනය වීම සිදුවන බව සොයාගෙන ඇත. මෙම අවස්ථාව, කෙනෙකුගේ තෙවෙනි ඇස ඉපදීම ලෙසද වේද ශාස්ත්‍රියේ සදහන් වී ඇත.

ඩෙල්ටා තරංග මට්ටම (තරංග ආයාමය 1-4 අතර)

ඩෙල්ටා අවස්ථාවේ සිතෙහි එකඟ බව සුවිශේෂී අවස්ථාවකී, මෙහි ගැඹුරු සමාධි මට්ටමක් වන අතර, උපේක්ෂාව, මෛත්‍රීය, කරුණාව, මුදිතා ආදී විශේෂය ගුණංග සහිත සිතුවිලි ධාරා ඉපදීම, වගේම ගැඹුරු සුවපත් බවක් මෙම මට්ටමේදි ලැබෙයි. කායික හා මානසික ආබාධ සුවවීමේ හැකියාවක් මෙම අවස්ථාවට පත්විම තුල ඇතිකල හැක. සියුම් විමර්ශනශිලිත්වයක් මෙන්ම යමක් ගැඹුරින් අවබෝධ කර ගැනීම සදහා අවශ්‍ය චිත්ත ශක්තිය මෙම මට්ටමේදි ලඟා කරගත හැක.

3. බෞද්ධ දර්ශනය තුල සමත භාවනාවේ උපයෝගීතාවය කෙසේද?

බෞද්ධ සතිය, එළඹ සිටි සිහිය, සමාධිය ආදී වශයෙන් ඉදිරිපත් කෙරෙන අදහස් තුල මතුවන්නේද, සිතහේ එකඟ බව වේ. ලෝකයේ සත්‍යතාවය ගවේෂණය කිරිමට අවශ්‍ය ගැඹුරු සිහිය, සතිමත් බව, සමථ භාවනාව තුලින් වර්ධනය කරවයි. සමථ භාවනාවෙන් ලැබෙන එම සතිමත් බව, තුලින් විදර්ශනා දර්ශනයන් විමර්ශන කිරිම ධර්ම මාර්ගය වඩන භාවනා යෝගීන් විසින් සිදු කරයි. ඒනිසා, ධර්ම මාර්ගය සදහා අවශ්‍ය මූලික පදනම ලෙස ඒකාග්‍ර සිත හදුන්වා දිය හැකිය.

4. එදිනෙදා ජිවිතයේදී සියලු දෙනාට සරලව භාවිතා කල හැකි භාවිනා ක්‍රමයක් නිර්දේශ කල හැකිද?

සියලු වයස් වල අයට වැඩීමට පහසු අභ්‍යාසයක් ලෙස හුස්ම මුලික කොට ගණන් කිරිමේ ක්‍රමයක් මෙලෙස ඉදිරිපත් කල හැකිය.

මෙම භාවනා අභ්‍යාසය සදහා පිට කොන්ද ඍජුව සහ හේත්තු නොවි තබා ගැනීම වැදගත්ය.

සුදුසු පරිදි ආසනයක හිද ඇස් දෙක වසා ගන්න.

හොදින් දීර්ඝ හුස්මක් ආශ්වාස කර ප්‍රාශ්වාස කරන්න.

මෙම දීර්ඝ හුස්ම ගැනීම තුන්වරක් පමණක් සිදු කරන්න.

ඉන්පසු නිරායාසයෙන් වැටෙන හුස්ම ‍රටාව හදුනා ගන්න උත්සාහ කරන්න.

හුස්මේ අශ්වාසය වැටෙන හැටි හදුනා ගන්න.

හුස්මේ ප්‍රාශ්වාසය වැටෙන හැටි හදුනා ගන්න.

ඉන්පසු, නිරායාසයෙන් වැටෙන අශ්වාසය ” එක, දෙක, තුන, හතර, පහ” නමින් ගණන්  කරන්න.

එලෙසම, නිරායාසයෙන් වැටෙන ප්‍රාශ්වාසයටද ” එක, දෙක, තුන, හතර, පහ” නමින් ගණන් කරන්න.

මෙම එකේ සිට පහට ගණන් කිරිම නොනවත්වාම, අශ්වාසයට සහ ප්‍රාශ්වාසයට සිදු කරන්න.

මෙය විනාඩි පහේ සිට විනාඩි 30ක් දක්වා වැඩි දියුණු කරන්න.

මෙම ලිපිය මගින් ඉතාමත් වටිනා ධර්මානුකූල කරුණු රැසක් “අපි සගරාව” කියවන ඔබ වෙත ඉදිරිපත් කිරිම පිළිබදව අපගේ ගෞරවනීය ස්තුතිය රිදීකන්ද ආරණ්‍යයහි සේනාසනාධිපති ස්වාමීන්වහන්සේ අති ගෞරවනීය විද්‍යාවේදී රාජකීය පණ්ඩිත කම්මට්ඨානාචාර්ය අනුරාධපුර අරියජීව ස්වාමින්වහන්සේට පුද කරමු. ඔබ වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා!


අමා නාකන්දලගේ

භාවනාව සහ විවිධ භාවනා ක්‍රම

වර්තමාන ලෞකික සමාජයේ කාර්යබහුලත්වයෙන් හෙබි ජීවන රටාවකට හුරුපුරුදුව සිටින ඔබ අප සියලු දෙනාගේම හිත සුව පිණිස ඉතාමත් කාලීන මාතෘකාවක් “අපි සඟරාව” ඔස්සේ මෙම ලිපියෙන් සාකච්ඡා කිරිමටයි අප සූදානම් වන්නේ.

“භාවනාව සහ විවිධ භාවනා ක්‍රම” පිළිබදව ඔබ කොතෙකුත් අසා ඇතත් භාවනාවේ නිවැරැදි භාවිතය සහ ඒ තුලින් අපේක්ෂා කරන ඉලක්කයන් සපුරා ගැනීම සඳහා වූ  ක්‍රමානුකූල මඟ කෙසේ සොයා ගත හැකිද? යන්න අද සමාජයේ බොහෝ දෙනෙකුට පැන නැගී ඇති ගැටලුවක් වී තිබෙනවා.

මාතලේ දිස්ත්‍රික්කයට අයත් උඩස්ගිරිය නම් සුන්දර ගම්මානයේ ඉතාමත් මනස්කාන්ත නිදහස් පරිසරයක පිහිටා ඇති භාවනායෝගී භික්ෂුන්වහන්සේලාට සහ උපාසක උපාසිකාවන්ට මනා තෝතැන්නක් වූ රිදීකන්ද ආරණ්‍යය හි  සේනාසනාධිපති ස්වාමීන්වහන්සේ  වූ අති ගෞරවනීය විද්‍යාවේදී රාජකීය පණ්ඩිත කම්මට්ඨානාචාර්ය අනුරාධපුර අරියජීව ස්වාමින්වහන්සේගෙන් අසා දැන උගත් පරිදි මේ පිළිබදව ඔබට කරුණු බිඳක් ලියන්නටයි අපගේ සුදානම.

1. භාවනාව යනු කුමක්ද? භාවනාව වැඩීම තුලින් අප බලාපොරොත්තු විය යුත්තේ කුමක්ද?

“භාවනාව” වචනාර්ථය ගත්කල වැඩි දියුණුකිරීම, පුහුණුකිරීම, වර්ධනය කිරීම යන අරුත් ගැන්වේ. වැඩිදියුණු කලයුත්තේ කුමක්ද? එය කය සහ සිතහි දියුණු බව පිණිස මනා පුහුණුවයි. එය ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වේ. එනම් සමථ භාවනාව හෙවත් සිතෙහි ඒකාග්‍රතාව වර්ධනය කිරීම සහ විදර්ශනා භාවනාව හෙවත් ජීවිතයේ සත්‍යතාවය විනිවිද බැලීම සඳහා වූ සිතෙහි දියුණුබවයි.

කාර්යබහුල ගිහි ජීවිත තුල කෙනෙකුගේ සිතෙහි පවතින විසුරුණු ස්වභාවය, අවිවේකී බව, විඩාව, පීඩාව නිරතුරුව ගෙනදෙයි. නමුත් සමථ භාවනාව තුලින් පුරුදුකරන ලද ඒකාග්‍ර සිතකින් මානසික සුවපත් බව විවේකි බව ලැබීම මෙන්ම, ඒකාග්‍ර සිතක චිත්ත ශක්තිය බොහෝ කායික රෝග සුවපත් බව පිණිස ද ඉවහල් වන බව බටහිර පර්යේෂණ පවා සාක්ෂි දරයි. නිදහසේ ඉහල සිට ගලා යන ජලය විවිධ ජල මාර්ග ඔස්සේ ගලාබැසීමට ඉඩ නොදී, ජලය එක් මාර්ගයක් ඔස්සේ ක්‍රමානුකූලව ගමන් කරවීම තුල විශාල ශක්තියක් ජලය මත ගොඩනැගිය හැකි සේ, විසිරුණු සිත ඒකාග්‍ර කිරීම තුල ගිහි ජීවිත ප්‍රබෝධමත්ව, ක්‍රියාශීලීව, නිරෝගීව ගත කිරීමටත් විවිධ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය ශක්තියත් සමථ භාවනාව තුලින් ලබාගත හැක. ලෝකයේ විවිධ සමථ භාවනා ක්‍රම භාවිතා කරනු ලබන අතර බුද්ධ දර්ශනය තුලද අනුස්සසති භාවනා, කසින භාවනා ආදී විවිධ සමථ භාවනා ක්‍රම හඳුන්වා දී ඇත.

බුද්ධ දර්ශනය තුල පමණක් ඉගැන්වෙන විදර්ශනා භාවනාව, සත්‍ය ගවේෂණය තුලින් ජීවිතයේ සැබෑව ඇති සැටියෙන් අවබෝධ කිරීම සඳහාත් පිළිවෙලින් සෝවාන්, සකෘදාගාමි, අනාගාමී සහ අරහත් යන උතුම් ඵල නෙලාගැනීම සඳහාත් උපකාරී වේ. විදර්ශනා භාවනාව අන් භාවනාවන් අතරින් වෙනස් වන්නේ, එහි යෙදීමේ සුවිශේෂීත්වය නිසාය. ජීවිතය යථා ස්වභාවය තේරුම් ගැනීම සඳහා වූ විවිධ සිද්ධාන්තයන්හි දැනුමත්, එම දැනුම තමා තුලින් දැක ගැනීම (අවබෝධ කර ගැනීම) පිණිස වූ ක්‍රමානුකුල ප්‍රායෝගික ක්‍රියාත්මක බව හෙවත් භාවනා කර්මස්ථාන වැඩීම තුලින් මෙම ජීවිත අවබෝධයට පත්විය හැක. නමුත් විදර්ශනා භාවනාව වැඩීම සඳහා ඒ මඟ නොමඟ හොඳින් දන්නා ගුරුවරයෙකුගේ මාර්ග උපදේශකත්වය ලබා ගැනීම නුවණට හුරු ක්‍රියාවකි.

2. නිවන් මඟ සඳහා යන ගමනේදී ගුරුවරයෙකුගේ වටිනාකම සහ නිවැරදි ගුරුවරයා තෝරා ගැනීම කෙසේ සිදුකල යුතුද?

බුද්ධ දර්ශනය තුල ගුරු භුමිකාවට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. මන්ද නිවන් මඟ සාක්ෂාත් කිරීමේදී හමුවන විවිධ අභියෝගයන් ජයගැනීම සඳහා ඒ මඟ දන්නා ගුරුවරයාගේ මාර්ග උපදේශනය, ශිෂ්‍යයාට ඒ මඟ පහසුවෙන් ගමන් කිරීම සඳහා මනා පිටුවහලක් ගෙනදෙයි. ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර ආධ්‍යාත්මික වශයෙන් ඇති කරගනු ලබන සම්බන්ධතාවය තුලින් ශිෂ්‍යයාව මනාව අවශ්‍යය ඉලක්කය වෙත පහසුවෙන් රැගෙන යාම ගුරුවරයා විසින් සිදුකරයි. ඒ තුල, මන් මුලා නොවී මාර්ගය තුල නිවැරදිව ඉක්මනින් ගමන් කිරීමට හැකියාව ගුරු-ශිෂ්‍යය සම්බන්ධතාවය තුලින් ඇති කර ගත හැක.

ගුරු භූමිකාවේ කාර්යභාර්යය තේරුම් ගැනීම තුලින් නිවැරදි ගුරුවරයෙකු හඳුනාගැනීම සිදුකල හැක. ශිෂ්‍යාව මුල සිට කෙළවර දර්ශනය දක්වා අනුපිළිවෙළින් ධර්ම විනය ඉගැන්වීමෙන්, එහි ප්‍රායෝගික දර්ශනයන් සඳහා භාවනා කර්මස්ථානයන් නිර්දේශ කරමින්, නිරතුරුව ශිෂ්‍යාගේ වර්ධනය නිරීක්ෂණය කරමින් අවශ්‍යය උපදේශනයන් ලබා දීම ගුරුවරයා විසින් සිදුකරයි. එම ඉගැන්වීම් ත්‍රිපිටක ගත බුද්ධ දර්ශනයට අනුකුලව, තර්කයට ගෝචරව, විද්‍යාත්මක පදනමක සිට ඉදිරිපත් කරනවාද යන්න පිලිබඳ විචාර බුද්ධියකින් ශිෂ්‍යයා විසින් බැලිය යුතුය. එවිට, නිවැරදි ගුරුවරයා ඔබට හඳුනා ගත හැකිය.

3. ඉතා කාර්යබහුල ගිහි ජීවිතය තුල භාවනාව ප්‍රායෝගිකව පුහුණු කරන්නේ කෙසේද?

ගිහි ජීවිත ගත කරමින් භාවනාව වැඩීම කල නොහැකියි යන වැරදි අදහස අප මුලින්ම ඉවත් කල යුතුය. එමෙන්ම, ඒ සඳහා කාලය කළමණාකරණය කල නොහැකියි යන මතයද ඉවත් කළයුතුය. මූලික වශයෙන් දවසේ පැය 24න් යම් කාලයක් වෙන්කර ගැනීම සෑම දෙනාටම කල හැකි දෙයකි. එය විනාඩි 10, 15, 30 විය හැකි වුවත්, ඒ කාලය සෑම දිනකම භාවනාව පුහුණුකිරීම වෙනුවන් වෙන් කිරීමෙන් ඔබට අවශ්‍යය ඉලක්ක වෙත ලඟාවීමට එයම ප්‍රමාණවත් වේවි. ඒ කාලය තුල සරල භාවනා අභ්‍යාස ප්‍රගුණ කරමින් ක්‍රමානුකූලව භාවනාව තුල පරිණත වීමට ඔබට හැකිවේවි.

4. ගිහි ජීවිතය ගත කරන අයෙකු රිදීකන්ද ආරණ්‍යය සේනාසනය සමග සම්න්ධ වී භාවනා ක්‍රම ප්‍රගුණ කිරිමට ඇති වැඩ පිළිවෙල කුමක්ද?

රිදීකන්ද ආරණ්‍යය සේනාසනය තුල උපාසක උපාසිකාවන් වෙනුවන් නේවාසික භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර, ශ්‍රී ලංකාවෙන් පිටත වාසය කරන භාවනා යෝගීන් සඳහා දුරස්ථ මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ ද (Online learning) වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. මෙම වැඩසටහන් අතර, සමථ භාවනා වැඩසටහන්, විදර්ශනා භාවනා වැඩසටහන් මෙන්ම, ආතතිය කළමනාකරණය (Stress management) සඳහා වූ වැඩසටන් සහ විවිධ ඇබ්බැහිවීම් සඳහා වූ බෞද්ධ මනෝ විද්‍යාත්මක පුනුරුත්ථාපන (Addiction Rehabilitation) වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

5. එතෙර ජිවත් වන අයෙකු මෙම වැඩපිළිවෙළ සමග සම්බන්ධ වන්නේ කෙසේද?

රිදීකන්ද ආරණ්‍යය සේනාසනය ට අදාළ වෙබ් පිටුව සමඟ සම්බන්ධ වීමෙන් ඉහත සඳහන් ඕනෑම වැඩසටහනක් හා සම්බන්ධ වීමට හැකියාව ඇති අතර, මෙම 2022 වර්ෂ ආරම්භය මුලික කරගෙන දුරස්ථ මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ ද (Online learning) වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

එම භාවනා වැඩසටහන් පිළිබදව තොරතුරු දැන ගැනිම සදහා පහත සදහන් මාධ්‍යයන් ඔස්සේ ඔබට රිදීකන්ද ආරණ්‍යය සේනාසනය සමග සම්බන්ධ විය හැකිය.

Contact (SL): +94 763229860

Contact (UK): +44 7525843376

Email: rideekanda@gmail.com

Web: www.rideekanda.com

“අපි සගරාව” කියවන සියලු දෙනාගේම යථාඅවබෝධය පිණිස මෙම ඉතාමත් වටිනා ධර්මානුකූල කරුණු විග්‍රහය සදහා අප සමග සම්බන්ධ වීම පිළිබදව රිදීකන්ද ආරණ්‍යයහි සේනාසනාධිපති ස්වාමීන්වහන්සේ අති ගෞරවනීය විද්‍යාවේදී රාජකීය පණ්ඩිත කම්මට්ඨානාචාර්ය අනුරාධපුර අරියජීව ස්වාමින්වහන්සේට අපගේ ගෞරවපූර ස්තුතිය පුද කරමු. ඔබ වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා!

අමා නාකන්දලගේ

ලස්සනව ඉපදීම සඳහා බලපාන කර්මය

දිනක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි තෝදෙය්‍ය බමුණාගේ පුත් වූ සුභ තරුණයා මිනිසුන් වශයෙන් උපන් සියලු දෙනා අතර ඇති විශේෂ කාරණයක් වන පුද්ගල විවිධත්වයට (මිනිසුන් අතර උස් – පහත් භාවයට) කරුණු විමසීය.

“කො නු බො, හො ගොතම, හෙතු කො පච්චයො යෙන මනුස්සානංයෙච සතං මනුස්සභුතානං දිස්සන්ති හිනප්පණිතතා”?

එයට බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ මේ විවිධත්වය සඳහා බලපාන සෘජු සාධකය වන්නේ කර්මය බවයි. එය පුද්ගලයාට දායාද වශයෙන්, උපන් ස්ථාන වශයෙන්, පිළිසරණ වශයෙන් හේතු වී උස් – පහත් වශයෙන් විවිධත්වය සඳහා බලපෑම් ඇති කරන බවයි.

“කම්මස්සකා, මාණව, සත්තා කම්මදායාදා කම්මයොනි කම්මබන්ධු කම්මප්පටිසරණං කම්මං සත්තෙ විභජති යදිදං – හීනප්පණීතතායාතී”

යමෙක් ලස්සන නම් ඒ සඳහා හේතු සාධකය වන්නේ ඔහු පෙර කරන ලද තරහ නොගැනීම හෙවන් අද්වේශය නැමති කුසල කර්මයයි. එම කාරණය , ධර්මයේ විස්තර වන අයුරු මෙතැන් සිට විමසා බලමු.

== සුරූපී වීමට හෙවත් ලස්සනව ඉපදීම සඳහා බලපාන කර්මය ==

ඉධ පන, මාණව, එකච්චො ඉත්ථි වා පුරිසො වා අක්කොධනො හොති අනුපායාසම්බහුලො, බහුම්පි වුත්තො සමානො නාභිසජ්ජති න කුප්පති න ඛ්‍යාපජ්ජති න පතිටඨියති න කොපඤ්ච දොසඤ්ච අප්පච චයඤ්ච පාතුකරොති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස හෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති. නො වෙ කායස්ස හෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, සවෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති පාසාදිකො හොති. පාසාදිකසංවත් තනිකා එසා, මාණව, පටිපදා යදිදං – අක්කොධනො හොති අනුපායාසම්බහුලො, බහුම්පි චුත්තො සමානො නාභිසජ්ජති න කුප්පති න බයාපජ්ජති න පතිට්ඨීයති න කොපඤ්ච දොසඤ්ච අප්පචයඤ්ච පාතුකරොති.

මානවයක, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ද්වේෂය බහුලකොට නැත්තේ වෙයි ද, බොහෝ දෙයක් කීවේ නමුත් නො කිපෙන සුළු වෙයිද, නොගැටෙයි ද, විරුද්ධ බවට නොපැමිණෙයි ද, කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ නොකරයි ද, මෙසේ ඔහු හෝ ඇය අන්‍යයන් සමඟ සුහදව සිටීමේ විපාක වශයෙන්, ශරීරයේ බිඳීමෙන් හෙටත් මරණින් පසු යහපත් ගතිපැවතුම් ඇති සැපතින් ආඪ්‍ය වූ දිව්‍ය ලෝකයෙහි උපදියි. එසේ නොවී ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ නම් සුරූපී තැනැත්තෙක් බවට පත් වෙයි. මෙය සුරූපී බව ඇතිවීම සදහා බලපාන ප්‍රතිපදාවයි..

ඉතින් ඔබත් නුවණින් කරුණු විමසා බලන්න ,,අද කාලයේ බොහෝ දෙනෙක් තම රූපය ලස්සන කරගැනීමට කොපමණ වෙහෙසක් දරනවාද?

විශාල මුදලක් වියදම් කරමින් මෙන්ම තම වටිනා කාලය නාස්ති කරමින් ලබා ගන්නා ලස්සන තාවකාලික බව ඔබ පැහැදිලිව දැකගත හැක.

එම ලස්සන බාහිර හේතු නිසා ඉතා ඉක්මණින් වෙන්ව් වීමකට ලක්වෙයි.

නමුත් කුසල කර්මයේ විපාක වශයෙන් ලැබෙන සුරූපී බව ඉක්මණින් විනාශ නොවන බවත් අමතර වෙහෙසකින් තොරව ලැබෙන බවත් පැහැදිලි වේ..

සෑම හටගත් දෙයක්ම හේතුව නැති වීමෙන් විනාශ වන්නේය .සුරූපී බවද සැමදාම එකලෙස නොපවතින බව ඔබ නුවණින් වටහා ගත යුතුය.

ඉතින් ඔබත් අසිරිමත් අවබෝධ ඥාණයක් වූ සර්වතඥාණයෙන් නිරවුල්ව අවබෝද කලාවූ ඉහත ප්‍රතිපදාව අනුගමනය කර නිවන් දක්නා ජාති දක්වා උපදින සෑම ජාතියකම සුරූපීව ඉපදීමට හැකිබව ඉතා විශ්වාස යෙන් යුතුව මතක් කර සිටිමු.

== අවලස්සනව ඉපදීම සඳහා බලපාන කර්ම ==

යමෙක් අවලස්සන නම් ඒ සඳහා හේතු සාධකය වන්නේ ඔහු පෙර කරන ලද තරහ ගැනීම හෙවත් ද්වේශය නැමති අකුසල කර්මයයි. එම කාරණය ධර්මයේ විස්තර වන අයුරු මෙතැන් සිට විමසා බලමු.

ඉධ, මාණව, එකච්වො ඉත්ථි වා පුරිසො වා කොධනො හොති උපායාසම්බහුලො, අප්පම්පි චුත්තො සමානො අභිසජ්ජති කුප්පති ඛ්‍යාපප්ජති පතිට්ඨියති කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤච පාතුකරොති. සො තෙන කම්මෙන ඒවං සමත්තෙන ඒවං සමාදින්තෙන කායස්ස හෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති, කො වෙ කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති, දුක්ඛණ්ණො හොති, දුක්ඛණ්ණසංවත්තනිකා එසා, මාණව, පටිපදා යදිදං කොධනො හොති උපායාසම්බහුලො, අප්පම්පි චුත්තො සමානො අභිසජ්ජති කුප්පති බයාපජ්ජති පතිටඨියති කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති.

මානවකය, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ද්වේෂය බහුලකොට ඇත්තේ සුළු දෙයකට වුව ද, නිතර නිතර කිපෙන සුළු වෙයි ද, ගැටෙයි ද, විරුද්ධ බවට පැමිණෙයි ද, කෝපයත්, ද්වේෂයත්, නොසතුටත් පහළ කරයිද, මෙසේ ඔහු හෝ ඇය නිතර කිපී අන්‍යයන් සමඟ නිතර ගැටුම් ඇතිකර ගැනීමේ විපාක වශයෙන් ශරීරයේ බිඳීමෙන් හෙවත් මරණින් පසු සැපයෙන් පහ වූ නපුරු ගතිපැවතුම් ඇති විවසව පතිතවන්නා වූ නරකයෙහි උපදියි. එසේ නොවී ඔහු හෝ ඇය මිනිස් ආත්මයක් ලබන්නේ තම විරූපී ශරීර ඇත්තෙක් බවට පත්වෙයි. මෙය විරූපීවීම සඳහා බලපාන ප්‍රතිපදාවයි.

ඔබත් නුවණින් කරුණු විමසා බලන්න.අද සමාජයේ කෙතරම් පිරිසක් තරහව හෙවත් ද්වේශය නැමති මනෝ භාවයෙන් පෙලෙන බව ඔබට දැක ,දැන ,,අත්විද ඇතිබව ඔබම මෙනෙහි කර බලන්න.රූපලාවන්‍ය කටයුතුවලට බොහෝ මහන්සි වී මුදල් වියදම් කරත් ,තමන්ට ඇතිවන ද්වේශ සහගත සිතුවිලි පාලනය කර ගැනීමට බොහෝ දෙනෙක් අපොහොසත් වෙති.

ඔබත් කෝපයෙන් ද්වේශයෙන් අන් අය සමග ගැටුම් ඇතිකර ගන්න යනවාද?

එම කෝපය තුල හටගන්නා වූ කර්ම විපාකය විදිය යුතුවන්නේ ඔබමය එබැවින් ද්වේශයෙන් වැලකී මෛත්‍රී සිතුවිලි වලින් සිත පුරවා ගෙන විරූපී බවින් මිදී නිවන් දක්නා ජාතිදක්වා සුරූපී ශරීර ඇතිව ඉපදිමට අවශ්‍ය ප්‍රතිපදාව අනුගමනය කරන්න….

මහරැඹෑවැවේ පාලිත හිමි

වැඩි මුදලක් වියදම් නොකොට කළ හැකි මහ පින්කම් කිහිපයක්..

කුසල් දහම් දියුණු කරගන්නා අතරම ඉඩක් ලද විගස මේ පිං කම් ද සිදු කර ගනිත්වා. මේ පිං නිවන් පිණිසද හේතු වේවා යැයි ද ප්‍රාර්ථනා කරත්වා.

1) බුදු ගුණ මෙනෙහි කිරීම

2)දම් ගුණ මෙනෙහි කිරීම

3)සඟ ගුණ මෙනෙහි කිරීම

4)අනුන් කළ මහා පින්කම් අනුමෝදන් වීම.

5)අට සිල් සමාදන් වී රැකීම

6)නිති පන්සිල් රැකීම

7)භාවනා කිරීම හා අනෙකුත් අය ද ඒ සඳහා යොමු කිරීම.

8)ධර්ම දානය ( මුහුණු පොතේ, වෙබ් අඩවියේ ආදියේ ධර්මය බෙදා හැරීම)

9)ධර්මය කියවීම

10)වතාවත් කිරීම ( පන්සලේ ශ්‍රමදානයක් කිරීම ආදිය )

11)දුගීව සිටද , බුදුරජාණන්වහන්සේ ට දානපති දානයක් පූජා කිරීම (තමා පරිභෝජන කරනවාට වඩා උසස් දෙයක් පූජා කිරීම )

12)දුගීව සිටද , මහා සංඝරත්නයට දානපති දානයක් පූජා කිරීම (තමා පරිභෝජන කරනවාට වඩා උසස් දෙයක් පූජා කිරීම )

13)පින් දීම

14)සත්‍ය කථා කිරීම

15)දෙලොවටම වැඩ ඇති වචන කථා කිරීම

16)සත්පුරුෂයන් කරනා පින්කම් ප්‍රචාරය කර දීම

17)ගිලානෝපස්ථානය

18)මල් පූජා කිරීම

19)මොහොතක් හෝ මෙත් වැඩීම

20)ඇවිදින හැම පියවරක් පාසා සුවපත් වෙත්වා යැයි මෙත් වැඩීම

21)දවසකට එක ධර්ම ලිපියක් ලිවීම හෝ කියවීම හෝ අනිත් අයට කියවීමට අවස්ථාව ලබා දීම

22)ධර්මය හැදෑරීම

23)අනිත් අයගේ ධර්ම ගැටලු වලට ත්‍රිපිටක, අටුවාව, ටීකාව ඇසුරින් පිලිතුරු සෙවීම සහ පිලිතුරු ලබාදීම

24)අභිධර්මය හැදෑරීම

25)ධර්මය දැනගැනීමට තියෙන උවමනාව උනන්දුව වැඩි කරගැනීම

26)ධර්මය වන පොත් කිරීම

වන පොත් කල ධර්මය අර්ථය මෙනෙහි කරමින් සජ්ඣායනය කිරීමට පුරුදු වීම

27)නෙක්කඛම්මය

28)සෑම ආහාර වේලකදීම, එක් ආහාර පිඩක් අනුභවයට පෙර යම් ජීවියෙකුට ආහාර වේවායැයි පතා පසෙකින් තබන්න. අවසාන ආහාර පිඩද එසේම කරන්න. ඒ අවස්ථා දෙකේදි ආනිශංස 200 ක් සිදුවෙන බව අසා ඇත. වේල් 3 ම කිරීමෙන් දිනකට කරගත හැකි පින, සුළුපටු නොවේ.

29)ක්‍රෝධ, වෛර සිතුවිලි සිතට ඒමට නොදී යම් වේලාවක් සිත ආරක්ෂා කර ටිකින් ටික ඒ වේලාව වැඩි කරගැනීමෙන්ද සිත පිරිසිදු කර, මහා කුසලයක් අත්පත් කරගත හැක. පුරා වස් කාලයක්ම, ආශ්‍රවයන්ගෙන් තොරව වැඩ සිටි බවක් වරක්, අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් ලියා තිබූ බව කියවේ

30)පොදු කටයුතුවලට සහාය වීම සහ අනුමෝදන් වීම. (ශ්‍රමදාන , රටේ නිත්‍යනුකූල බදු ගෙවීම උදාහරණ වේ)

31)ප්‍රත්‍යවේක්ෂා කිරීම

උදාහරණයක් ලෙස

අම්බලට්ඨික රාහුලොවාද සූත්‍රය බලන්න.

ඊට අමතරව ප්‍රත්‍යවේක්ෂාව විවිධ විදිහට තියෙනවා. මරණය ආදිය තමාට එන බව සිහි කිරිමත් ප්‍රත්‍යවේක්ෂාව වෙනවා. සිවු පසයත් ප්

‍රත්‍යවේක්ෂාවෙන් (අවශ්‍යතා සිහි කරමින්) වැලඳිය යුතුයි. නිවන් පසක් කල පසු ප්‍රත්‍යවේක්ෂා කරනවා. සමාධියට සම වැදීමෙන් පසුත් ප්‍රත්

‍යවේක්ෂා කරනවා.

32)සෑම ගමනක්ම යෑමට පෙර බුදුන් වහන්සේට එක් මලක් හෝ පූජා කිරීම.

33)තමාට කළ නොහැකි පිංකම් අනුන් ලවා හෝ සිදු කරවීම.

34)අනුන් සිදු කරන පිංකම් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වීම.

35)මකුලු දැල් ආදියට හසුවූ සතුන් මකලුවාටත් හිරිහැර නොවන ලෙස නිදහස් කර හැරීම.

36)දියට වැටී සිටින සතුන් බේරා ගැනීම.

37)සින්ක් එකට උණු වතුර ආදිය දමන විට ඒවායින් පණුවන් ආදී සතුන්ට හිරිහැර නොවීමට ඇල් ජලය මිශ්‍ර කර වත් කිරීම.

38)බුදුන් පිදූ පරවෙමින් යන මල් වලට පැන් ඉස පරවීම ප්‍රමාද කරවීම.

39)අපිලිවෙලට පූජා කර ඇති මල් පිලිවෙලට සකස් කිරීම.

40)මල් ආසන පවිත්‍ර කිරීම.

41)බිම වැටී ඇති බෝ කොළ, මල් ආදිය නොපෑගෙන තැනකට අහුලා දැමීම.

42)පන්සල් පිරිසිදු කරදීම.

43)අන්‍යයන් ලවා කුසල් දහම් සිදු කරවීම හා ඒවාට දායක වීම.

44)නින්දට පෙර පන්සිල් සමාදන් වීම.

45)නිවී ගිය නැවත දැල්විය හැකි පහන් හෝ හඳුන් කූරු දල්වා පූජා කිරීම.

46)පිනක් අහන දකින හැම වෙලාවෙම සිතින් හෝ සාදුකාර නැගීම.

47)අන්‍යයන් ට දැනගැනීම පිණිස තමන් සිදු කරනු ලබන හා සිදු කරගත හැකි පිං කම් ගැන ලිපි ආදිය පළකිරීම.

48)සිදු කළ පිං කම් නිතර නිතර සිහිපත් කිරීම.

49) තමන් සිදු කරනු ලද පිං අනුන්ටද අනුමෝදන් කිරීම.

50) ඉතිපිසො ගාථාව සෑම දිනකම 7, 21, 54, හෝ 108 වරක් ආදී කැමති ප්‍රමාණයක් සඣ්ඣායනා කිරීම

අපි කරන හැම පාපයක්ම විපාක දෙන්නේ ද ?

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

අප කළ හැම පාපයක් ම විපාක දෙන්නේ ද යන්න බොහෝ දෙනා විමසන පැනයකි. ධර්මයට අනුව සිත සහ පව් කර්ම සංස්කාර වශයෙන් දක්වා තිබේ . විපාක යනු නරක විපාක පමණක් නොවේ . නරක දේවල් වලට නරක විපාකත් හොඳ දේවල් වලට යහපත් විපාකත් ලැබේ. හොඳ කර්ම පිණිස ලැබෙන විපාක පුඤ්ඤාභි සංඛාර ලෙසත් නරක විපාක වලට ලැබෙන කර්ම අපුඤ්ඤාභි සංඛාර ලෙසත් බුදු දහමෙහි හඳුන්වයි.  සරලවම කියත හොත් කර්ම වශයෙන් රැස් වන්නේ අප කරන පින් හා පව් ය.

නමුත් සිතට එන සැම නරක සිතිවිල්ලක් ම විපාක ගෙන දෙන්නේ නැත . එයට හේතුව නරක සිතුවිල්ලක් ඇති වූ පමණින්ම ඒ සඳහා කර්ම රැස් වෙන්නේ නැති බැවිනි.විපාක පිණිස කර්ම රැස් වන්නේ ඒ නරක සිතුවිල්ලෙන් සිත කය වචනය ක්‍රියාත්මක කිරීමට යාම තුළිනි. මෙහිදී එම නරක සිතිවිල්ල සිතින් ක්‍රියාත්මක කරන්න කරනුයේ යනුවෙන් හඳුන්වන්නේ ඒ පිළිබඳව නැවත නැවත සිතමින් සැලසුම් සකස් කිරීමයි .

කෙසේ හෝ කිසියම් කර්මයක හිමි කාරයා වන්නේ ඒ ක්‍රියාව හා බැඳුණු සිත ඇති තැනැත්තා ය . උදාහරණයක් ලෙස කෙනකු සතෙකු මරන්න සූදානම් වෙනවා යැයි සිතමු . එම මරණ සිත තිබෙන්නේ මරණ පුද්ගලයාට ය. මරණ ක්‍රියාව දෙස බලා සිට තවත් කෙනෙකුට එය සතුටින් අනුමත කරන්නේ නම්

ඒ පිළිබඳ හටගත් ශෝකය මත ගැටීමක් ඇති කර ගන්නේ නම් හෝ එය සතුටින් අනුමත කිරීම සහ ගැටීම තුළ එම පුද්ගලයාත් එම පාප කර්මය සිදු කරගනු ඇත. නමුත් එය කරන කෙනා මරණ තැනැත්තාට අත්වන ප්‍රාණඝාත අකුසලය තරම්ම බලවත් එකක් නොවේ. සත්ත්ව ඝාතන දෙස බලා සතුටු වීම යනු පව් අනුමෝදන් වීම යි . ගැටීමක් ඇති කර ගැනීම තුළ ඇත්තේ ද්වේශයක් නිසා එයද කර්මයකි.

 මෙසේ තමන්ම තමන් ම ප්‍රාණඝාත අකුසලය නොකළත් අනුන් කරන ඕනෑම පාප කර්මයක් දෙස බලා සතුටු වීමෙන් බොහෝ අය පව් සිදු කර ගනිති. එසේම එම කරන ක්‍රියා අනුමත නො කළොත් කරන තැනැත්තා කෙරෙහි මානසිකව හෝ ගැටීම පාපයකි. මේවා මනෝ කර්ම නම් වේ.

මෙකල බොහෝ දෙනා කයින් හා වචනයෙන් රැස් කරන පාප කර්ම වලට වඩා මනසින් ඇති කරගන්නා පාප කර්ම වැඩි බව පෙනේ . සැබවින්ම මෙහිදී සිදු වී ඇත්තේ ඔවුන් කරගෙන ඇත්තේ අනුන්ගේ පවකට කර ගැසීමයි . මෙබඳු පාප කර්ම වලට කර ගැසීම නිසා ප්‍රාණඝාතය අකුසලය තරම්ම කර්මයක් රැස් නොවූවද එයට සමීප ප්‍රතිඵලයක් ලැබිය හැකිය.

මේ තත්ත්වය වළක්වා ගත ගතහැක්කේ අපට මය. අප කරන සියළුම පින් හා පව් වලට අප වග වගකිව යුතු වේ. එය කිසිදු බාහිර කාරණයකින් සාධාරණීකරණය කළ නොහැකි ය.අපි විසින් කරන හොඳ හෝ නරක කර්ම වල

විපාක අපිට දායාද වශයෙන් ලැබේ . මෙය කම්ම දායාද ලෙස ධර්මයෙහි සඳහන් වෙයි.

මෙසේ අතීතයේ කරන ලද දේවල් අතීත දායාද වශයෙන් උරුම වුවත් වර්තමාන ක්‍රියාකාරිත්වය තුළ එම කර්ම දායාද වෙනස් කළ හැකි ය . තමන් ජීවිතය කරනු ලබන කර්ම වලට තමන් වගකිව යුතු සේ ම එය වෙනස් කළ හැක්කේ ද තමන්ට ම ය. මේ ගැන අපි ටිකක් පැහැදිලි කර ගනිමු .

බෞද්ධයෝ අකුසල වලට බෝධි පූජා පවත්වති . අපල යනු එක්තරා අතකින් බැලූ විට  අප අතීතය කරපු පාප කර්ම විපාක දෙන කාලය යි . එහෙනම් හොඳ කර්ම ඵල නොදෙන කාලයයි. මෙසේ තමන් ගේ දරුවෙකුට අපල කාලයක් ආ විට සමහර දෙමව්පියන් එම දරුවාට බෝධි පූජා තබන්නේද දරුවාට නොදන්වා ය . මෙසේ ආශිර්වාද ලැබිය යුත්තාට නොදන්නවා කරන ආශිර්වාදයෙන් එය ලැබිය යුත්තාට ලැබෙන්නේ නැත. ඔහුට එම ආශිර්වාදය ලැබෙන්නේ ආශිර්වාද ලැබිය යුත්තා එම ස්ථානයේ නොසිටියත් ඔහු එය දැන ගෙන මනසින් හෝ ඒ හා සම්බන්ධ වීමෙනි . ඒ බෝධි පූජාවලට සම්බන්ධ කුසල චේතනා මනසේ පහළ වීමෙනි. කුඩාම දරුවෙකු නම් එම ස්ථානයේ තබා ගෙන ආශිර්වාද කිරීමෙන් එම ආශිර්වාදය ලැබෙයි.

පන්සලට බුදු බුදු පිළිම වහන්සේ නමක් පූජා කරන තැනැත්තෙකු එහෙමත් නැතිනම් පන්සලට ට බුදු කුටියක් සාදා දුන් අයෙකු සැදැවතුන් ඒ වන්දනා කරන මොහොතක් මොහොතක් පාසා තමන්ට ඉබේම පින් ලැබෙයි යනුවෙන් සිතීම වැරදිය. එසේ පින් ඉබේ පෙළඹෙන්නේ නැත . තමා කළ ඒ කුසල ක්‍රියාව ගැන නිතර මනසින් මෙනෙහි කිරීමෙන් සහ සතුටු වීමෙන් ඒ පින ලැබෙනු ඇත.

අප කළ පාප කර්ම වල විපාක වලක්වා ගත හැක . නරක හැම විපාකයක් ම විපාක දෙන්නේ නම් දුටුගැමුණු රජුට දිව්‍ය ආත්මයක් ලැබීමට පුළුවන් වන්නේ නැත . අංගුලිමාල රහත් භාවයට පත් වන්නේත් නැත. නමුත් මෙසේ කී පමණින් ඔබ තව තවත් පාප කර්ම කළොත් එහි විපාක බිහිසුණු වීමට පුළුවන.

පාප මිත්‍ර සේවනය නිසා හෝ හෝ ආවේග පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා හෝ නොමනා පුද්ගලයෙකු ගේ බලපෑම නිසා ඔබ පාප කර්මයක් සිදු කළේ නම් ඔබ එම පාප කර්මය නැවත කිසි දිනෙක නොකරන්නේ යැයි ආයත සංවරයේ පිහිටා වඩ වඩාත් වඩා කුසල් දහම් කළ යුතුයි . එමගින් නරක විපාක වළක්වා ගත හැකි ය.

නමුත් මොන තරම් කුසල ධර්ම කළත් මව මැරීම පියා මැරීම ආදී වූ ආනන්තරිය පාප කර්ම කළ අයෙකුට නම් විපාක ලැබීම වෙනස් කළ නොහැකිය . ආනන්තරීය පාප කර්ම වලින් එකක් හෝ කර ඇතොත් මරණින් මතු ඒකාන්තයෙන්ම නරකයෙහි උපත ලැබීම  කර්ම නියාමයකි.

අතිපූජනී තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ

සම්මා සම්බුදු සරණයි හැමෝටම !!

රුවන්මැලි මහා සෑය


ඉතිං අද හිතුනා බෞද්ධ අපේ පුජනීයම වස්තුවක් ගැන පොඩි විස්තරයක් කියන්න… එ ද්‍රෝණ අටක් වු ධාතුන් වහන්සේලාගෙන් එක් ද්‍රොණයක් තැමිපත් කර සාදා ඇති, අනුරාධපුරයේ විරාජමානව වැඩ සිටින රුවන්මැලි මහා සෑය ගැන… 

හැමොම දන්නවානේ මහා සෑය දුටු ගැමුණු මහාරජතුමාගේ නිර්මාණයක් කියලා..

ඉතිං රුවන්මැලි මහා සෑය එමස්ථානයේ රියන් එකසිය විස්සක් උසින් ඉදිවන බව මිහිදු මහා රහතන්වහන්සේ විසින් දෙවනපෑතිස්ස රජු හට පවසා ඇති බව මහා වංශයේ සදහන් වෙනවා.. එය ඉදිකිරිමට සුදුසුම ස්ථානය දෙවානමිපියතිස්ස රජු විසින් ස්ථම්භයක් ඉදිකොට සලකුණු කර තිබෙන බවත් ඉතිහාසයේ සදහන් වෙනවා…. රුවන්මැලි මහා සෑයේ වැඩ ආරම්භ කරලා තියෙන්නේ වෙසක් පුර පසළොස්වක පොහොය දවසක…

මෙි මහා සෑය නිර්මාණය කරන එකත් ලෙහෙසි පහසු කටයුත්තක් නමි වෙලා නෑ…. 

මුළින්ම සෑය ඉදිකරන භුමි⁣ය සමතලා කරලා… එක ඉතිං කොහොමත් එහෙමනේ…. ගෙයක් හදන්න උනත් වර්තමානයෙත් අපි භූමිය සමතලා කරනවානේ….. හැබැයි ගෙයක් හදනවා වගේ නෙවෙයි… මහා සෑය නිර්මාණය කිරිම සැඳැහැ සිතින් කරන්න ඔින වැඩක්…..

මං මට දැනගන්න පුළුවන් උන කරුණු ඔයාලටත් කියන්නමි… 

මුළින්ම සමතලා කරගත් පොළොවෙි රියන් හතක් ගැඹුරට කැනලා එහි වක්‍රාකාර ගල් අතුරා එ ගල් මිටියෙන් තලා ඉන්පසු එය ඇතුන් ලවා පගවලා තියනවා.. 

ඉන් පසු එම ගල් ස්තරය මත ගඩොල්ද, ගඩොල් මත රළු බදාමද, බදාමය මත තිරුවානාද , තිරුවානා මත යකඩ ජාලයක්ද , එය මත සුවදැති මැටිද , සුවදැති මැටි මත සුදු පාෂාණද , එ මත සෙල්පිල්මිණිද , එ මත ගල් පවුරුද අතුරා තිබෙන බව සදහන්. 

ඉන්පසු රසදිය, අලිගැටපේර ලාටු හා පදමි මැටි එක්කර මිශ්‍රණයක් සාදවා ගල්⁣පුවරු තබා එ මත අගල් අටක ඝණකම ඇති ලොකඩ පත් අතුරා,  එම ලොකඩ පත් මත ආසනියමි හා තල තෙල් එකට මිශ්‍ර කර අතුරුවා , එ මත අගල් හතරක් ඇති රිදීපත්ද අතුරා තියනවා… 

මෙසේ සෑයේ අඩිතාලම සාදවා සාදා සෑයට මුල් ගල තබා ඇත්තේ ඇසල පොහොය දිනක. එම උත්සවයට රහතන්වහන්සේලා අනුහයකොටියක් අහසින් වැඩම කර ඇති බව ථුපවංශයෙහි සදහන් වෙනවා… 

දාගැබ වටා සේයා වළලු තුන සැදීමට ගඩොල් කොටි දහයක් වැය වු බව ථුපවංශයෙහි සදහන් වෙනවා.. 

එ වගේම සැයේ ඉතිරි වැඩ නිම කර ගැනිම සදහා අවශ්‍ය ගඩොල් සොයා ගන්නේ කෙසෙද යන වග දුටු ගැමුණු රජතුමාට ලොකු ප්‍රශ්නයක් වෙලා.. එ ඇයි කියනවා නමි යුද්ධයක් අවසානයේ වෙහෙසවි සිටින තම ජනතාවට එම වගකීම භාර දිමට රජු කැමැත්තක් දක්වලා නෑ. හැබැයි මෙි ගැන දැනගත් එක් ස්වර්ණමාලී නමි දෙවඟනක් දෙවුලොව පුරා මෙම පනිවිඩය ප්‍රචාරය කරලා.. එය දැනගත් විශ්වකර්‍ම පුත්‍රයා මල්වතුඔය නිමිනයෙ ගඩොල් මැවු බව ථුපවංශයෙහි සදහන් වෙනවා… ඉතිං මෙි මහා සෑයට ස්වර්ණමාලී නම යෙදෙන්නත් හෙතුව එ දෙවඟනම තමයි..

මිට අමතරව සැයට අවශ්‍ය රන් අවුරුමිණි ග්‍රාමායන්ද , රිදි, රිදි නැමති ගල් ගුහාවෙන්ද (රිදි විහාරය) , තමිභපන්නි ග්‍රාමයෙන් තබද , සමන් වැව ග්‍රාමයෙන් මැණික්ද , ඌරු වෙල නමි ග්‍රාමයෙන් නෙල්ලි ගෙඩි ප්‍රමාණයේ මුතු හා පබළුද , පැලවාපි ග්‍රාමයෙන් විශාල ප්‍රමාණයේ මැණික්‍ය සතරක්ද ලබාගෙන තියනවා… 

එ වගේමයි මහා සෑයට ධාතුන් වහන්සේලා ලැබෙන ආකාරය බුදු රජාණන්වහන්සේ කුසිනාරා නුවර උයනකදි සක්දෙවු රජ ගෙන්වා පවසා තිබෙන බව පැවසේනවා… 

             ” මාගේ අට ද්‍රොණයක් පමණ ධාතුන් වහන්සේලා අතුරින් එක් ද්‍රොණයක් ධාතුකොලි රජ දරුවන් විසින් පුද පුජා ලබන්නාහ, එම ධාතු එන දවස ලංකාද්වීපයේ රුවන්මැලි නමි දාගැබෙහි පිහිටන්නාහ ” යැයි වදාල සේක. 

දුටු ගැමුණු මහාරජතුමා මහා සෑය ආරම්භ කලත් උන්වහන්සෙට එය අවසන් කිරිමට ජිවත් විමට කාලය තිබුණේ නෑ.. එකතටත් හෙතුවක් තියනවා.. එ ගැන මං පසුව විස්තර කරන්නමි… ධාතු නිධන් උත්සවයෙන් පසු හතරැස් කොටුව දක්වා පමණයි දුටු ගැමුණු රජ තුමාට සෑය නිර්මාණය කරන්න හැකිවි තිබුනේ…. රජු මරණ මංඦකයෙ සිටියදි එතුමාගේ බාල සොයුරු සද්ධාතිස්ස කුමරු තමයි රෙදි වලින් කොත් කැරැල්ල නිමවා සැය සාදා නිම කර ඇති බව දුටු ගැමුණු මහාරජතුමාට දකින්න සලස්වා තිබුනේ…. දුටු ගැමුණු රජතුමාගෙ මරණයෙන් පසුව සෑය නිමකලේ සද්ධාතිස්ස රජතුමා විසිනි. 

පසුකලේක සිංහල රජවරුන්ගේ අගනුවර අනුරාධපුරයෙන් ඇත්වත්ම රුවන්මැලි සෑය හා අනෙකුත් සියළු සෑයන් වල් බිහිවී ගරා වැටුණු අතර මහා සෑයේ කොත් කැරැල්ල දේවතා කොටුව ගරාවැටි විනාශ වෙලා…. 

මිට වසර සියයකට පමණ පෙර නාරාවිට සුමනසාර හිමියන්ගේ මුළිකත්වයෙන් නැවත පිලිසකර කර ඇත්තේ අපේම වාසනාවට… රුවන්මැලි මහා සෑයේ චුඬා මාණික්‍ය පළදවා ඇත්තේ 1940 ජුලි මස 17 වන දිනයේ. 

     වර්තමාණයේ සුදො සුදුවට බැබළෙන රුවන්මැලි මහා සෑය බුදු රදුන් වැඩසිටි සුඝණ්ද කුටියට සම කල හැකි අතර ලෝක බෞද්ධයන්ගේ උතුමි වස්තුවක්සේ පිදුමි ලබමින් අදත් විරාජමාණව අනුරාධපුරයේ වැඩ සිටින්නේ අපේ හෙළ පෞඩත්වය මුළු ලෝකෙටම විදහා පාමින්….. 

සයිංසු යස්මිං සුගතස්ස ධාතූ

නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං

සුවණ්ණ මාලී ති පතීත නාමං

වන්දාමහං ථූපවරං මහග්ඝං 

ද්‍රෝණයක් පමණ ශ්‍රි සර්වඥ ධාතූන් වහන්සේලා රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුළ යම් දාගැබක සැතපෙන සේක්ද , ස්වර්ණමාලී නමින් පහල වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූපරාජයාණන් වහන්සේට දොහොත් මුදුන් තබා සාදර

ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි….!!!

ස්වර්ණමාලී මහාසෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා… !!!

තෙරුවන් සරණයි 

නිසංසලා රණසිංහ ✍️

පිං පොත් ලිවීමේ වටිනාකම


නොයෙක් ආගම් වල විවිධ පිංකම් ගැන අපිට අහන්න දකින්න ලැබෙනවා. නමුත් මේ කතා කරන්නේ විශේෂයෙන්ම තෙරුවන් සඳහාම කෙරෙන්නා වූ බෞද්ධයන්ගේ පිං කුසල් පිළිබඳවයි.

මෙසේ බෞද්ධ ඔබ ඒ කරන පිං කුසල් වෙනම ඒ සඳහාම වෙන්වූ පොතක සටහන් කර තබන විට පිං කුසල් වල තව තවත් යෙදීමට කැමැත්තක් ඇතිවෙනවා. එවිට තමන්ටත් නොදැනීම පිං කුසල් වලින් පිං පොත් පිරෙනවා. ඒක තමන්ට පමණක් නොව අනික් අයටත් යහපත් ආදර්ශයක්. ඒක දකින පුංචි ළමයි පවා පිං කුසල් වල යෙදීමට උනන්දු වෙනවා. 

තමන් කරන පිං කුසල් වෙනම පොතක ලියන එකේ වටිනාකම තේරෙන්නෙ දැන් නෙවෙයි. වයසට ගියාමයි, ලෙඩ ඇඳේ ඉන්නකොටයි, මරණාසන්න වෙනකොටයි. එතකොට පිං පොත කියවලා මතකයන් අලුත් කරගෙන සුගතියෙ හිත පිහිටුවන්න ලේසියි. වයසට ගියාම මැරෙන්න ලං වෙලා ආයෙ අමුතුවෙන් පිංකම් කරන්න මහන්සි වෙන්න ඕනෙ නෑ. 

අද කාලෙ ආච්චිලා සීයලා තරුණ කාලේ පිංකම් පිලිබඳව නොසිතා වයසට ගිහින් පිංකම් කිරීමට උනන්දුවක් දැක් වුවත් ශරීරයේ ඇති විවිධ අපහසුතා සහ දුබලතා නිසා එසේ පිං කිරීමට නොහැකි වෙනවා. ඒ නිසා ලමා කාලයේ සහ තරුණ කාලයේ හැකිතාක් පිංකුසල් වල යෙදී ඒ කල පිං කුසල් වෙනම පොතක ලියා සටහන් කර තබන්න. 

කාලයාගේ ඇවෑමෙන් වයසට යෑමෙන් හෝ ලෙඩ ඇඳේ සිට හෝ ඔබ විසින් කල පිං කුසල් සිහි කර ගත්තා නම් කිසිම අපහසුතාවයකින් තොරව පිං වලින් හිත පුරවගන්න පුලුවන්.ඒ වගේම සුගතියේ හිත පිහිටුවා ගන්න පුලුවන්.

 “උපාදාන පච්චයා භවෝ”  එනම් උපාදානය නිසා භවය හට ගන්නවා කියලා පටිච්ච සමුප්පාද විවරණයේදී පැහැදිලි කරන්නෙ ඒ නිසයි.

එසේනම් අප පිනක් කුසලයක් අරමුණු කරගෙන මියගියහොත් තමයි යහපත් තැනක ඉපදෙන්නෙ.

මෙයට දුටුගැමුණු රජු හොඳම උදාහරණයක්.

කොතරම් පිං කලත් මරණාසන්න වෙනකොට කල පිං අමතක වෙනවා. ඒ වගේම කල පිං සිහි කිරීමට අපහසු වෙනවා. ඒ නිසා තමන්ට පොත් කියවීමට නොහැකි අවස්ථාවකදී වුවත් තමන්ගේ වෙනත් ඥාතියෙක් ලවා හෝ තම දරුවෙකු ලවා හෝ ඒ සටහන් තැබූ පිං පොත කියවා ගැනීමට හැකියාව ලැබෙනවා.

ඒ නිසා කරන පුංචි පින වුණත් එනම් විශේෂයෙන්ම තෙරුවන් වෙනුවෙන් කල පිං කුසල් වෙනම පොතක ලියන්න. එහි වටිනාකම කුඩා දරුවන්ටත් කියා දෙන්න.

තෙරුවන් සරණයි!!

නිර්වාණය


නිර්වාණය වනාහි ආර්යයන් ගේ පරම විශුද්ධ ලෝකෝත්තර ඥානයට මිස සෙස්සන් ගේ දුබල ඥානයට හොඳින් අසු නොවන්නා වූ ඇති වීමක් නැතිව ඇත්තා වූ, නො දිරන්නා වූ, නොබිඳෙන්නා වූ, සෑම කල්හි ම පවත්නා වූ, අනන්තාපරිමාණ ගුණයන් ගෙන් යුක්ත වූ, පරම සූක්ෂම වූ පරම ගම්භීර වූ එක්තරා සුඛස්වභාවයෙකි. ආගම් අදහන්නවුන් විසින් ඒ ඒ ආගමට අනුව පිළිපැදීමෙන් බලාපොරොත්තු වන්නා වූ ඉතා උසස් දෙයක් සෑම දෙනාට ම ඇත්තේ ය. බුද්ධාගම ඇදහීමෙන් බෞද්ධයන් විසින් බලාපොරොත්තු වන ඉතා ම උසස් දෙය මේ නිර්වාණය ය. බුදුන් වහන්සේ කේවට්ට නම් ගෘහපතියාට නිවන හඳුන්වනු පිණිස මේ ගාථා දෙක වදාළ සේක.

“විඤ්ඤාණං අනිදස්සනං – අනන්තං සබ්බතො පහං

එත්ථ ආපො ච පඨවි – තෙජො වායො න ගාධති,

එත්ථ දීඝඤ්ච රස්සඤ්ච – අණුං ථූලං සුභාසුභං

එත්ථ නාමඤ්ච රූපඤ්ච – අසෙසං උපරුජ්ඣති.

විඤ්ඤාණස්ස නිරෝධෙන – එත්ථෙතං උපරුජ්ඣති.”

“පටන් ගැනීම, අවසන් වීම් ආදි කොන් නැත්තා වූ හැම කර්මස්ථාන මාර්ගයකින් ම යා හැකි බැවින් හැම පැත්තෙන් ම බැස ගැනීමට තොට ඇත්තා වූ ඇසට නො පෙනෙන්නා වූ ඥානයෙන් ම දත යුතු වූ තැනක් ඇත. හැම තැනම ඇත්තා වූ ආපෝ පඨවි තේජෝ වායෝ යන මේ ධාතූහු එහි නැත. හැම තැනම ඇත්තා වූ ද දික් වූ ද කොට වූ ද කුඩා වූ ද මහත් වූ ද හොඳ වූ ද නොහොඳ වූ ද වස්තූහු එහි නැත. එයට පැමිණ නාම රූප දෙක ඉතුරු නැතිව ම නිරුද්ධ වේ. අන්තිම විඥානයාගේ නිරෝධයෙන් නොහොත් කර්ම විඥානයාගේ නිරෝධයෙන් එයට පැමිණ නාම රූප සියල්ල ම නිරුද්ධ වේ ය” යනු එහි තේරුම යි.

මේ දේශනයෙහි “විඤ්ඤාණ” යන වචනය දෙතැනක යෙදී තිබේ. එයින් අගට යෙදී තිබෙන විඤ්ඤාණ යන්නෙන් කියැවෙන්නේ සිත ය. මුල යෙදී තිබෙන විඤ්ඤාණ යන වචනයෙන් කියැවෙන්නේ නිවන ය. ඇතැම්හු මෙය තේරුම් නො ගෙන නිවනෙහි විඤ්ඤාණයක් ඇත ය කියා හෝ විඤ්ඤාණය ම නිවන ය කියා හෝ වරදවා ගනිති. එය බුද්ධ මතයට විරුද්ධ බව දෙ වන ගාථාවේ “එත්ථ නාමඤ්ච රූපඤ්ච අසෙසං උපරුජ්ඣති” යනුවෙන් හොඳට ම පැහැදිලිය. සිත නම් නාමයෙකි. නාම රූප දෙක ම ඉතිරි නොව ම නිරුද්ධ වන තැන යයි දැක්වුණ නිවනෙහි තවත් විඤ්ඤාණයක් කොයින් ඉතිරි වේ ද? දුඃඛයෙන් අමිශ්‍ර‍ වූ ශුද්ධ විඤ්ඤාණය ම නිවනය යි කියත හොත් සතර වන පරමාර්ථය නැති වී පරමාර්ථ තුනක් පමණක් වීමෙන් ධර්ම විරෝධයක් වන්නේ ය. එබැවින් එසේ ගැනීම ද නො මැනවි.

මෙහි චිත්තය කියැවෙන විඤ්ඤාණ පදය “විජානාතීති විඤ්ඤාණං” යි කර්තෘ සාධන වශයෙන් ද “විජානාති එතෙනාති විඤ්ඤාණං” යි කරණ සාධන වශයෙන් ද, “විජානනං විඤ්ඤාණං” යි භාව සාධන වශයෙන් ද විග්‍ර‍හ කරනු ලැබේ. නිර්වාණය කියැවෙන විඤ්ඤාණ යන්න “විජානිතබ්බන්ති විඤ්ඤාණං” යි කර්ම සාධන වශයෙන් විග්‍ර‍හ කළ යුතුය. එහි යු ප්‍ර‍ත්‍යය කර්මාර්ථයෙහි ය. පාන භෝජන යනාදි වචනයන්හි මෙනි.

පළමුවන ගයෙහි “අනිදස්සනං” යනුවෙන් නිර්වාණ ධාතුව ඇසට නොපෙනෙන බව දක්වන ලදී. ඇසට නො පෙනෙන නමුත් එය ඤාණයෙන් දැකිය හැකි බව “විඤ්ඤාණං” යන වචනයෙන් දක්වන ලදී. “අනන්තං” යන වචනයෙන් නිර්වාණයා ගේ සර්වකාලිකත්වය හා සර්වව්‍යාපිකත්වය දක්වන ලදී. සංස්කාරයෝ වනාහි පෙර නො තිබී ඉපද ඉපද බිඳී යන්නෝ ය. එබැවින් ඒවාට පටන් ගැනීම වූ මුල් කොන ද ඇත්තේ ය. අවසාන වූ අන්තිම කොන ද ඇත්තේ ය. හාත්පස පරිච්ඡේදය වූ පරිච්ඡේදාන්තය ද ඇත්තේ ය. පරම්පරාවන් ගේ කෙළවර වූ සන්තත්‍යන්තය ද ඇත්තේ ය. “අසවල් කාලයෙන් පෙර නිවන නො පැවැත්තේය. එය ඇත්තේ අසවල් කාලයේ පටන්ය” යි දැක්වීමට නිවනට පටන් ගැනීම වූ පූර්වාන්තය ද නැත. එය කිසි කලෙක දිරා බිඳී අතුරුදහන් නොවන බැවින් එයට අවසාන කොන වූ අපරාන්තය ද නැත්තේය. යමක ඒ කොන් දෙක නො ලැබේ නම් එය සර්වකාලික ය. නිවනෙහි ඒ දෙක නො ලැබෙන බැවින් එය සර්වකාලික ය. සංස්කාරයන්ට පර්යන්ත පරිච්ඡේදයක් ඇත්තේ ය. හැම සංස්කාරයක් ම පවත්නේ තම තමාට අයත් වූ ඒ පර්යන්ත පරිච්ඡේදය තුළ ය. ඒ පරිච්ඡේදයෙන් ඔබ ඒවා නැත. නිවනට එබඳු පර්යන්ත පරිච්ඡේදයක් නැත. එබැවින් එය සැම තන්හි ම ඇතියකැ යි කීම යුතුය. නිවන ඇතත් එය ද්‍ර‍ව්‍යයක් නොවන බව හා එහි සටහනක් නො ලැබෙන බවද “එත්ථ දීඝඤ්ච රස්සඤ්ච අණුං ථූලං සුභාසුභං” යනුවෙන් දක්වන ලදී. කියන ලද දේශනයෙන් දැක්වෙන සැටියට නිවන ඇසට නො පෙනෙන නුවණට පමණක් ඇති බව දැනෙන සටහන් නැත්තා වූ හැම තන්හි ම ලැබෙන්නා වූ ඉපදීමක් බිඳීමක් නැත්තා වූ සර්වකාලික වූ දුරනුබෝධ සූක්ෂ්ම ධර්මයක් බව කිය යුතුය. එය ලෞකික ඤාණයට දැනෙන්නේ ද අනුමාන වශයෙනි.