ලෝකයේ මුල

යමක් ඇති නම් එහි මුලක් හෙවත් පටන් ගැනීමකුත් තිබිය යුතුය යන න්‍යායයෙහි පිහිටා ඇතැම්හු ලෝකයේ හා සත්ත්වයාගේ මුල සොයන්නට ගොස් නොයෙක් මිථ්‍යා අදහස් ඇති කර ගත්හ. තථාගතයන් වහන්සේ හේතුව නිසා ඵලයත් ඒ ඵලය නිසා නැවත හේතූන් ද ඇති වීමෙන් සංසාරය නො සිඳී පවතිනවා මිස එහි මුලක් නොලැබිය හැකි බව දැන වදාළ සේක. “අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො පුබ්බා කොටි න පඤ්ඤායති” යනුවෙන් “මහණෙනි, සංසාරය නො දන්නා ලද අග ඇතියක, එහි පෙර කොන නො පෙනේ ය”යි තථාගතයන් වහන්සේ වදාළහ. සංසාරයේ පටන් ගැනීම, මුල් කොන නො පෙනේය”යි තථාගතයන් වහන්සේ වදාළේ ඇත්තා වූ සංසාරයේ මුල් කොන උන්වහන්සේට නො පෙනෙන නිසා නොව එහි පටන් ගැනීමක් නැති නිසා ය.

යමක් ඇති නම් එහි පටන් ගැනීමකුත් තිබිය යුතුය යන න්‍යාය සියල්ලටම සාධාරණ නො වේ. ආකාශය ඇති බව සියල්ලෝ ම පිළිගනිති. එහෙත් එහි පටන් ගැනීමක් නැත. පටන් ගැනීමක් ඇති වන්නට නම් ආකාශය නො තුබූ කාලයක් තිබිය යුතුය. එබඳු කාලයක් නො විය හැකි ය. ආකාශය දීර්ඝ කාලයක් හිස් ව තිබී පසු ව එය තුළ ලෝක ධාතු හා සත්ත්වයන් ඇතිවීමට හේතුවක් නැත. මේ ආකාශයේ මුලින් කිසිවක් නො තුබුණා නම් සැම කල්හි ම එය ඒ සැටියෙන් ම තිබිය යුතු ය. ආකාශය තුළ ලෝක ධාතූන් ඇත්තේ සත්ත්වයන් ඇත්තේ ඒවා ද ආකාශය සේම ආකාශය තුළ තුබූ නිසා ය. යම් සේ අහසේ පටන් ගැනීමක් නො ලැබිය හැකි ද එමෙන් ආකාශය තුළ පවත්නා සත්ත්ව සංස්කාරයන් පිළිබඳ පටන් ගැනීමක් නැති බව කිය යුතු ය. පටන් ගැනීමක් නැති ලෝකය ඉතා පරණ වුව ද එහි සෑම කල්හි ම අලුත් බවක් ද ඇත්තේ ය. උපන් සත්ත්වයෝ මැරී නැවත ඉපද අලුත් වෙති. ලෝකයෙහි ඇති අනික් සියල්ල ද නැසී නැසී නැවත නැවත අලුත් දේ පහළ වේ. මහපොළෝ ආදි ලෝකධාතූහු ද කලකට විනාශ වී ගොස් නැවත අලුතෙන් පහළ වෙති. අලුතෙන් ඇතිවන සියල්ල ම පුරාණ වස්තූන්ගේ විකෘති ලෙස කිව ද වරද නැත, පරණ දේ නිසා පුරාණ ධාතූන් නිසා ඇතිවන අලුත් දේය කිව ද වරද නැත.

ලෝකයේ පෞරාණිකත්වය අනමතග්ගසංයුත්තයේ එන සූත්‍ර දේශනා අනුව කිව යුතුය. කල්පය වනාහි වර්ෂගණනාවෙන් ප්‍රමාණ කළ නොහෙන අතිදීර්ඝ කාලයෙකි. 

දිනක් එක්තරා බ්‍රාහ්මණයෙක් බුදුරදුන් වෙත පැමිණ “පින්වත් ගෞතමයන් වහන්ස, දැනට ඉක්ම ගොස් ඇති කල්ප කෙතෙක් වන්නාහුදැ”යි ඇසීය. එකල්හි තථාගතයන් වහන්සේ “බ්‍රාහ්මණය, ඉක්ම ගිය කල්ප ඉතා බොහෝය, ඒවා මෙපමණ සියගණනක්ය කියා හෝ මෙපමණ දහස් ගනණෙක ලක්ෂගණනෙක කියා හෝ ප්‍රමාණ කිරීමට නුපුළුවනැ”යි වදාළ සේක. “උපමාවකින් එය දැක්විය හැකිදැ”යි බ්‍රාහ්මණයා ඇසූ කල්හි “බ්‍රාහ්මණය, මේ ගංගානදිය පටන්ගන්නා තැන සිට මුහුදට වැටෙන තැන දක්වා අතරතුර ඇති වැලිකැට ගණන ප්‍රමාණ කළ නො හෙන්නාක් මෙන් අතීත කල්ප ගණන ප්‍රමාණ නො කළ හැකි බව වදාරා, සංසාරය නො දන්නා ලද අග ඇතියක් හෙවත් පටන් ගැනීමක් නැතියක් බව වදාළ සේක.

(අනමතග්ග සංයුක්ත)

දිනක් එක්තරා භික්ෂුවක් බුදුන් වහන්සේ වෙත එළඹ “ස්වාමීනි, කල්පය කොතෙක් දික් වන්නේ දැ”යි ඇසීය. “මහණ කල්පය ඉතා දිගය, එය මෙපමණ වර්ෂ ගණනක්ය, මෙපමණ වර්ෂ සිය ගණනක්ය, මෙපමණ වර්ෂ දහස් ගණනක්ය, මෙපමණ වර්ෂ ලක්ෂ ගණනක්ය කියා ගණනින් ප්‍රමාණ නොකළ හැකිය” යි තථාගතයන් වහන්සේ වදාළහ. “ස්වාමීනි, උපමාවක් දැක්විය හැකිදැ”යි භික්ෂුව කීය. එකල්හි තථාගතයන් වහන්සේ වදාරන සේක් “මහණ, දිගු පුළුලින් යොදුන බැගින් ඇති උසින් යොදුනක් ඇති ඒකඝන මහ කළුගලක් සිය වසකට වරක් කසී සළුවකින් පිස දැමුව හොත් ඒ කළුගල කලකදී ගෙවී යන්නේ ය. එහෙත් එපමණ කලකින් කල්පය ගෙවී නොයන්නේ ය”යි වදාළහ.

(අනමතග්ග සංයුක්ත)

➤➤ ලෝකයේ ඇතිවූයේ කෙසේද?

———————————

ලෝකයේ ඇතිවූයේ කෙසේද? යනු ගැඹුරු පැනයෙකි. ලෝකය ඇති වීම ගැන කල්පනා කළ ඇතැම්හු ඇඳ පුටු මේස රිය ගෙවල් ආදිය කෙනකු විසින් නො සෑදුව හොත් ඉබේ ඇති නො වන්නාක් මෙන් අනේකප්‍රකාර සත්ත්වයන්ගෙන් වෘක්ෂලතාදි වස්තූන්ගෙන් යුක්තවන මේ ලෝකය කෙනකු විසින් නො සාදන ලද නම් මෙසේ ක්‍රමානුකූලව ඇති විය නො හැකි ය. ලෝකය මෙසේ ක්‍රමානුකූලව ඇති වී පවත්වන්නේ යම් කිසිවකු විසින් මෙය ඇති කරන ලද නිසා ය යි සිතූහ. වඩුවකු ඇඳක් – පුටුවක් තනන්නාක් මෙන් ද්‍රව්‍ය එකතු කොට කපා කොටා ද මේ ලෝකය නො තැනිය හැකිය. 

මෙය තැනිය හැකි වීමට සිතීම් මාත්‍රයෙන් ඒ ඒ දෙය නිර්මාණ වීමේ බලයක් ඇති පුද්ගලයෙකු විය යුතුය යි ද සිතූහ. එ බඳු මහාබලයක් ඇතියකු මේ ලෝකයේ මිනිසුන් අතර දක්නට නැති බැවින් මැවුම්කරු අහසෙහි අන් ලොවක වෙසෙන පුද්ගලයෙකු විය යුතුය යි සිතා ගත්හ. දෙවියන් වහන්සේ ය, බ්‍රහ්මයා ය, ඊශ්වරයා ය කියා නොයෙක් නම් ඔවුහු මැවුම්කරුට තබා ගත්හ. මැවුම්කාරයකු ඇති නම් ඔහුත් ලෝකයේ කොටසක් විය යුතු බව හෝ ඔහුත් රූපාදිය ම විය යුතු බව හෝ මැවීමට කෙනෙකු සිටිය යුතු නම් මැවුම් කරු මවන්නටත් කෙනෙක් වුවමනා බව හෝ ඔවුහු කල්පනා නො කළහ. ඔවුහු තමන් විසින් ම සිතින් මවා ගත් ඒ මැවුම්කරුගේ පිහිටෙන් දුකින් මිදීමටත් සැපයට පැමිණීමටත් සිතූහ. 

සියල්ල පිළිබඳව ම සම්මෝහය දුරු කර ගත් තථාගතයන් වහන්සේ වනාහි ලෝකය කෙනකු විසින් මැවිය හැකියක් නො වන බව දත් සේක. ලෝකය පුද්ගලයෙකු විසින් මැවිය යුත්තක් නම්, සත්ත්ව ලෝකයට අයත් වන මැවුම්කරුට ඇති විය නො හැකි බවත් දැන වදාළ සේක. 

බීජයෙන් ගසත් ගසින් බීජයත් ඇතිවීමෙන් ගස් පරම්පරාව නො සිඳී පවත්නාක් මෙන් පළමු පළමු පහළ වූ සංස්කාරයන් නිසා පසු පසු සංස්කාරයන් පහළ වීමෙන් සත්ත්වලෝක සංස්කාරලෝක අවකාශ ලෝක යන ලෝකත්‍රය පවත්නා බව තථාගතයන් වහන්සේ දැන වදාළ සේක. මවන්නකු නැති ව සංසාරයේ නො සිඳී පැවැත්ම සිදු වන සැටි තථාගතයන් වහන්සේ විසින් ක්‍රම කීපයකින් වදාරා ඇත්තේ ය. 

එක් භවයක දී ඇති වන තණ්හාව නිසා මරණින් භවය සිඳී නොගොස් නැවත ද උපදී. උපන් පසු එහි ද නැවත තණ්හාව ඇති වේ. ඒ නිසා මරණින් පසු නැවත ද භවයක් ලබයි. මෙසේ සංසාරය නො සිඳී පවතී. කර්ම කළ කල්හි ඒවායේ විපාකය ඇතිවීම් වශයෙන් නැවත ද උපදී. උපන් පසු නැවත ද කර්මය කරයි. මෙසේ කර්මය නිසා විපාක ද විපාක නිසා කර්මය ද ඇතිවීමෙන් සංසාරය නො සිඳී පවතී. අවිද්‍යාදි හේතු ධර්මයන් නිසාද සංස්කාරාදි ඵල ඇතිවීම නිසා ද සංසාරය නො සිඳී පවතී.

— සූවිසි මහ ගුණය – අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි—

මරණාසන්න පුද්ගලයෙකු ළඟ හැසිරිය යුතු ආකාරය

මැරෙන්නා වූ සමහර සත්ත්වයන්ට කර්මාදිය මරණයට ඉතා ම ආසන්නයේ දී වැටහෙන්නේ ය. සමහර කෙනකුන්ට පැය ගණනක් කල් ඇති ව ද වැටහෙන්නේ ය. සමහර කෙනකුන්ට දින දෙක තුනක් තිබිය දී ද වැටහෙන්නේ ය. යමකුට කර්මාදිය තරමක් කලින් වැටහුණ හොත් ඔහු කියන කරන දෙයින් නුවණැතියන්ට ඒ බව තේරුම් ගත හැකිය. 

මරණාසන්නයේ දී අපායට ගෙන යන කර්මයක් එළඹ සිටි කල්හි නුවණැති හිතවතකුට උත්සාහ කොට ඒ කර්මය යටපත් කොට කුශල කර්මයක් මතුකර දී මැරෙන්නහුට අපායෙන් ගැලවී සුගතියට හා හැකිවන ලෙස සමහර විට පිහිට විය හැකි ය. එසේ කළ හැකි වන්නේ දෙවන ආත්මයේ දී විපාක භවයට පැමිණීමෙහි නියත තත්ත්වයක් නැති කර්ම එළඹ සිටි විට ය. නියත කර්ම හැම දෙනාට ම නැත. බොහෝ සෙයින් මේ සත්ත්වයෝ අනියත කර්ම ඇත්තෝ ය. අනියත කර්මය වුව ද මරණයට ඉතා ලංව තිබිය දී වැටහුණහොත් අනිකකුට පිහිට වීමට ඉඩක් නැත. පිහිට විය හැකි වන්නේ කලින් කර්මාදිය වැටහුණ අයට ය. 

මිය යන කෙනකුට හිතවතකු විසින් කළ යුතු උසස් ම උපකාරය නම් ඔහුට සුගතියට යන්නට සලස්වා දීම ය. එය කළ යුත්තේ මෙසේ ය. මිය යන්නට ළංව සිටින තැනැත්තා කළ පින් ඇත්තේ නම් ඒවා ඔහුට සිහි කළ යුතු ය. ඔහු ඉදිරියේ බුදුරුවක් තබා ඔහු ලවා මල් පහන් හෝ පූජා කරවිය යුතු ය. එසේ කිරීමට රෝගියා නො සමත් වේ නම් ඔහුට පෙනෙන සේ ඔහු වෙනුවට තමා විසින් හෝ පූජා කළ යුතු ය. භික්ෂූන් වහන්සේ නමක් වැඩම කරවා බණ අසන්නට හෝ සැලැස්විය යුතුය. ඔහුට ඇසෙන සේ බණ පොතක් හෝ කියවිය යුතුය. මේවායින් යම් කිසිවක් කරන කල්හි වැටහී තිබුණු පාප කර්මය රෝගියාට අමතක වී කුශලයට ඔහුගේ සිත නැමෙන්නට පුළුවන. සිත කුශලයට නැමී තිබෙන අවස්ථාවේ දී මරණය සිදු වුවහොත් රෝගියා ඒකාන්තයෙන් සුගතියට පැමිණෙන්නේ ය. 

මරණාසන්න කාලය හොඳට සිහිය නැති ඉතා දුබල අවස්ථාවක් බැවින් පිනක් කර ගැනීමට රෝගියා නොසමත් වෙයි. ඒ අවස්ථාවේ කියන ලද පරිදි ක්‍රියා කරන කල්‍යාණ මිත්‍රයෙක් ලද හොත් මහත් වාසනාවකි. ඇතැම් දරුවෝ මා පියන් මැරෙන්නට යන කල්හි කෑ කෝ ගසා කලබල කොට මිය යන්නහුට පිනක් සිහි කර ගන්නට ඉඩ නොදී ඔවුනට අපායට යන්නට සලස්වති. එය මා පියන්නට කරන පරම සතුරුකමකි. එබඳු දරුවෝ මා පියන්ගේ සතුරෝය. දරුවන් මැරෙන්නට යන කල්හි ඇතැම් මා පියෝ ද එසේ කරති. ඔවුහු ද දරුවන්ගේ සතුරෝ ය. මැරෙන අවස්ථාවේ දී සුගතියට යෑමට උපකාර වන තැනැත්තා කෙනකුගේ පරම කල්‍යාණ මිත්‍ර‍යා ය.

2යේසුස් වහනයස් ආයේ ඔබ යවනුයවන

යේසුස් වහනයස් ආයේ ඔබ යවනුයවන

(ශු. ය ොහන 3:16-17)

” මක්නිසොද යදවි නවහනයස් ස්වකී ඒකජොතක පුත්‍ර ොණන යදන

තරම් ය ෝක ොට යේමකළයස්ක.එයස් කයළ් උනවහනයස් යකයරහි

අදහොගනන සෑමයදනම විනොශ යනොවී සදොකො ජීවන බන

පිණිස .මක්නිසොද යදවි නවහනයස් පුත්‍ර ොණන ය ෝක ට එවුයේ

ය ෝක ො විිශ්ච කරන පිණිස යනොව ය ෝක ො උනවහනයස්

කරණයකොටයගන ගළවනු බන පිණිස .”

ඔබ සෑම කෙකෙකුටම ආශිර්වාදමාත් මාසයක් කේවා!ක ාඳයි ඔබ කමාක ාතක්

ඉ ත බයිබල් පදය කදස ඔබකේ මෙස කයාමු ෙරන්ෙ.කේ ොලකේ අපි ැකමෝම

කේසුස් ව න්කස්කේ උපත සිහි ෙරෙවා,උත්සව පවත්වෙවා,ප්‍රීති ක ෝෂා

ෙගෙවා.ෙමුත් ඔබ ෙල්පො ෙරාද කේසුස් ව න්කස් ආකේ,කේ කලෝෙකේ

උපත ලැබුකේ ඇයි කියලා.කමාක ාතක් කේ ගැෙ ෙල්පො ෙර බලන්ෙ.

මාකේ කේමවන්ත සක ෝදර සක ෝදරයිනි,කේසුස් ව න්කස්කේ උපකත් සැබෑව

කත්රුේ කගෙ කේසුස් ව න්කස්කේ උපත සිහි ෙරන්ෙ.උන් ව න්කස් කේ

කලෝෙයට ආකේ අපව විොශකයන් ගලවා ගන්ෙයි.ඉතින් අපි උන්ව න්කස්කේ

උපත සිහිෙරෙ කවලාකවත් අපි අකේ ජීවිත විොශයට කගෙ යෙවද ෙැතිෙේ

කේසුස් ව න්කස්කේ උපත සැබෑ කලස කත්රුේ අරකගෙ කේ ෙත්තකල් වත් අපි

අකේ ජීවිත කවෙස් ෙර ගන්ෙවාද?

ඔබ කමාක ාතක් ෙල්පො ෙරන්ෙ ඔබ අලුත් අවුරුද්දෙට ගමන් ෙරමින් සිටිෙ

කේ කවලාකේ, අද දවකස් තීරණයක් ගන්ෙ කවෙස් කවන්ෙ,කවෙසක් ෙරන්ෙ

එවිට ඔබ සැබෑ ෙත්තකල් සැබෑ ප්‍රීතිය අත්දැකීමට ැකි වනු ඇත.

ඔබ සැමට සුබම සුබ ෙත්තලක් ස සුභම සුභ අලුත් අවුරුද්දක් කේවා!

යේසු පිහිටයි!

ඉවැනජලීස්ත අමි දිසොනො ක

මොර්ග සයහෝදරත්ව සභොව

මහරගම

+94 774682729

සමිදුන් තුළ අරමුණක් ඇතුව හැසිරෙමු.

(එපීස 4:17)

එබැවින් අන්‍යජාතීන් තමුන්ගේ සිත්වල නිෂ්ඵලකමින් හැසිරෙන්නාක්මෙන්,

ඔබ සැම තවත් නොහැසිරෙන්නැයි ස්වාමීන්වහන්සේ තුළ සාක්ෂිදෙමින්

කියමි.

ඔබ සැමටම ආශිර්වාදමත් මාසයක් වේවා!

මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරයෙනි නොයෙක් ආගම් හා

දර්ශන ද නොයෙක් දෙවිදේවතාවන් අදහන මනුෂ්‍යයා ද ලොවේ

ජීවත් වෙයි. ඒ අතරින් ඔබත් මාත් අදහන්නාවූ කුරුසපත් වූ

නැවත උත්ථාන වූ ජීවමාන යේසුස්වහන්සේගේ නාමය අබියස

දණින් වැටී දවස අරඹන ඔබ වාසනාවන්තයෙක් ය.එමෙන්ම

සදාකාල ජීවනයේ ආශිර්වාදය ලැබූ ඔබගේ දෛනික කටයුතු ද

යේසුස් යන නාමයෙන් සඵලවත් වේවා.

මාගේ ප්‍රේමවන්තයිනි මොහොතක් ඉහත බයිබල් පදය දෙස

ඔබගේ අවධානය යොමු කරන්න.ප්‍රධාන වචනයෙන් ඔබට අවවාද

කරන්නේ අන්‍ය ජාතීන් ඔවුන්ගේ සිත්වල නිෂ්ඵල කමෙන්

හැසිරෙන්නාක් මෙන් නුඹලා තවත් නොහැසිරෙන්නායි කියාය. මන්ද

ලෝකාකාර වූ අපගේ සමහර අසල්වාසීන්ගේ මූලික අරමුණු වනුයේ

ආර්ථික සපලත්වය වේ.එපමණක්ද නොව දේපළ,වස්තු, තමාගේ

දරුවන්ගේ අනාගතය යන නොයෙක් දේ ගැනය.නමුත්

ප්‍රේමවන්තයෙනි ආත්මික වන ඔබ හා මගේ මූලික අරමුණ වනුයේ

ජීවනය පිළිබඳවයි.මන්ද පළමුව ධර්මිෂ්ඨකමත්,දේව රාජ්‍යයත්

සොයන්න එවිට ඔබට අවශ්‍ය සියල්ල දෙනු ලැබේ යැයි කියා තිබේ.

(ශුද්ධ මතෙව් 6:33)

නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ

ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් ඔබ සැමට දෙනුලබන්නේය.

එම නිසා ඔබ නිතරම භූමික දේ ගැන පමණක් සිතමින් ඔබගේ

සිත බර කර නොගන්න.මක්නිසාද දෙවියන් වහන්සේ ඔබව

තෝරගෙන ඔබට දුන් දේව ආත්මය කරණකොටගෙන සියලු

ආකාරයෙන් පෝෂණය කරමින් සිටින සේක.තවද දෙවිඳුන් ඔබව

වල්ගය නොව හිසක් කොට තබන සේක.

(ද්වීතීය කතාව 28:14)

මා අද ඔබට අණකරන ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥා පවත්වමින්

ඉෂ්ටකරන ලෙස ඔබ ඒවාට කීකරුවන්නෙහි නම්, ස්වාමීන්වහන්සේ ඔබ

වල්ගය නොව හිස වෙන්ට සලස්වනවා ඇත; ඔබද යටින් නොව ඉහළින්ම

සිටිනවා ඇත.

එබැවින් ඔබ ධෛර්යමත් වන්න.මාගේ ප්‍රේමවන්තයෙනි සමහර

ආත්මිකයින් සහ සභාවන් අතර යම් යම් නිෂ්ඵල දේ කරමින්

කාලය නාස්ති කරන බව ඔබ දැක තිබේද?මොහොතක් කල්පනා

කරන්න..

නමුත් අප කළ යුතු වන්නේ නිශ්ඵල දේ නොව දෙවිඳුන් අපට

ප්‍රකාශ කර ඇති සුභාරංචිය ප්‍රචලිත කිරීම නොවේද?එබැවින් ඔබ

අන්‍ය ජාතිකයින් මෙන් නිෂ්ඵල ව නොහැසිර වාර්ගික අරමුණෙන්

හැසිර ආශිර්වාද ලබන්න.

ඔබට ජේසු පිහිටයි!

ඉවැන්ජලිස්ත අමිල දිසානායක

amilamadara@gmail.com

ගුණ ලැබෙන ලෙස පිරිත් කියයුතු අන්දම

පිරිතෙන් හොඳින් ම ගුණ ලැබෙන්නට නම් නොවරදවා හොඳින් පාඩම් කරගෙන පිරිත්වල අර්ථ (අදහස්) ද දැන ගෙන කිය යුතු ය. දැනට පිරිත් කියන අය අතර ඒවායේ තේරුම් දැන ගෙන කියන අය ගිහියන් අතර තබා පැවිද්දන් අතර ද ඉතා හිඟය. තේරුමක් නැති ව කියන පිරිතේ බලය අඩු ය. එහෙත් ගුණයක් නො ලැබෙන්නේ ද නොවේ. පිරිත නො වරදවා පාඩම් කරගෙන හරියට කියතහොත් එයින් ද තරමකට ගුණ ලැබේ. එසේ ගුණ ලැබෙන්නේ වචනවල හෙවත් ශබ්දවල යම්කිසි බලයක් ඇති නිසාය. වචනවල ඇති බලය එතරම් මහත් එකක් නොව සුළු බලයෙකි. වාර බොහෝ ගණනක් කීමෙන් ඒ බලය වැඩි වේ. පිරිත්, සෙත් කවි, මන්ත්‍ර‍ වාර බොහෝ ගණනක් කිය යුත්තේ ඒ නිසා ය. කියන වාර වැඩි වූ තරමට ගුණය වැඩි වේ. පිරිත් හඬෙහි බිය ගන්වනබලය, බිය දුරු කරන බලය, වශීකරන බලය හෙවත් අන්‍යයන්ගේ සිත් සතුටු කරන සිත් ඇදගන්නා බලය, ශරීරයේ වා පිත් සෙම් යන තුන්දොස් සමනය කිරීමේ බලය, ශරීරයේ සප්ත ධාතූන් වර්ධනය කිරීමේ බලය, නොයෙක් වේදනා නොයෙක් රෝග දුරු කිරීමේ බලය, සැප සම්පත් ලබාදීමේ බලය, අමනුෂ්‍යයන්ගෙන් සොරුන්ගෙන් සතුරන්නේ සර්පයන්ගෙන් ආරක්ෂා කිරීමේ බලය, ග්‍ර‍හ අපල ඇස්වහ කටවහ ආදි දෝෂ දුරු වීමේ බලය යනාදි නොයෙක් බල ඇත්තේ ය.

මන්ත්‍ර‍වලට ගෙන ඇති වචනවලට හොඳ නරක දෙක ම සිදු කිරීමේ බල ඇත්තේ ය. රෝග සුව කිරීමේ බල, රෝග ඇති කිරීමේ බල, සිත් සන්සුන් කිරීමේ බල, සිත් වික්ෂිප්ත කොට උමතු කිරීමේ බල, අමනුෂ්‍යයන් දුරු කිරීමේ බල, ඔවුන් ගෙන්වීමේ බල, සමගි වූවන් භේද කිරීමේ බල, භේද වූවන් සමගි කිරීමේ බල, ඉන්නා තැනින් පන්නා දැමීමේ බල, අන්‍ය්‍යන්ගේ සිත් ඇද ගන්න බල යනාදි අනේක ප්‍ර‍කාර බල මන්ත්‍ර‍වල, කවිවල ඇත්තේ ය.

පිරිත් අතුරෙන් කරණීය මෙත්ත සූත්‍ර‍ය බෙහෙවින් වශීකරණ බලය ඇති සූත්‍රයෙකි. එය බොහෝ කොට භාවිත කිරීමෙන් ජනප්‍රිය පුද්ගලයකු විය හැකි ය.

අන් සෑම පිරිත් සූත්‍ර‍යකට වඩා ලස්සනට මිහිරියට කිය හැකි සූත්‍ර‍ය කරණීය මෙත්ත සූත්‍ර‍ය ය. එහි වඩාත් වශීකරණබලය ඇත්තේ ඒ නිසා ය. දික් අකුරු කෙටි අකුරු අල්ප අකුරු මහප්‍රාණ අකුරු වරදවන්නේ නැතිව වචන මැදින් බිඳින්නේ නැතිව එක් වචනයක් අග හෝ මුල් අකුරක් අන්වචනයකට එකතු නො කර වෘත්තය නොබිඳ නියම තාලයට මේ සූත්‍ර‍ය කියන්නට පුරුදු කරගත යුතු ය. මේ ගාථා, ගාථා තාලයට මිස මන්ත්‍ර‍ කියන තාලයට වේගයෙන් නො කිය යුතු ය. එසේ නියම තාලයට නො වරදවා මේ සූත්‍ර‍ය කියතහොත් එහි අර්ථ නො තේරෙතත් ගුණ ලැබෙනු ඇත. සමහරවිට වරදවා කියන පිරිත්වලින් මන්ත්‍ර‍වලින් දොස් ඇති වන්නට ද බැරි නැත. තේරුම් නො දැන වුවද පිරිත හරියට කියත හොත් ශබ්දයෙන් ලැබෙන ගුණය ලැබෙන්නේ ය.

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි

සර්වඥතාඥානය

ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් නො දන්නා ලද්දක්, නො දක්නා ලද්දක්, ඥානයෙන් නො පැමිණෙන ලද්දක්, ප්‍රත්‍යක්ෂ නො කරන ලද්දක්, ඥානයෙන් ස්පර්ශ නො කරන ලද්දක් නැත. අතීත වූ ද, අනාගත වූ ද, වර්තමාන වූද සකලධර්මයෝ සර්වාකාරයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඥාන මුඛයෙහි පෙනී සිටින්නාහ.

නෙය්‍ය නම් වූ යම් කිසිවක් ඇති නම් ඒ දත යුතු සියල්ල ආත්මාර්ථය හෝ වේවා, පරාර්ථය හෝ වේවා. උභයාර්ථය හෝ වේවා, දෘෂ්ටධර්මිකාර්ථය හෝ වේවා, සාම්පරායිකාර්ථය හෝ වේවා, නො ගැඹුරු අර්ථය හෝ වේවා, ගම්භීරාර්ථය හෝ වේවා, ගූඪාර්ථය හෝ වේවා, ප්‍රච්ඡන්නාර්ථය හෝ වේවා, නෙය්‍යාර්ථය හෝ වේවා, නීතාර්ථය හෝ වේවා, අනවද්‍යාර්ථය හෝ වේවා, නික්ලේශාර්ථය හෝ වේවා, ව්‍යවදානාර්ථය හෝ වේවා, නිර්වාණසංඛ්‍යාත පරමාර්ථය හෝ වේවා, ඒ සියල්ල බුද්ධ ඥානය තුළ පරිවර්තනය වෙයි.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ කායකර්ම සියල්ල ඥානය අනුව පවතී. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වාක්කර්ම සියල්ල ඥානය අනුව පවතී. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මනඃකර්ම සියල්ල ඥානය අනුව පවතී.

භාග්‍යවත් බුදුරදුන්ගේ ඥානය අතීතයෙහි සැපීමක් නැත. භාග්‍යවත් බුදුරදුන්ගේ ඥානය අනාගතයෙහි සැපීමක් නැත. භාග්‍යවත් බුදුරදුන්ගේ ඥානය වර්තමානයෙහි සැපීමක් නැත.

ඥෙය යම් පමණ නම් ඥානය ද එපමණ වේ. ඥෙය, ඥානය හිමි කොට ඇත්තේ ය. ඥානය, ඥෙයය හිමි කොට ඇත්තේ ය. ඥෙයය ඉක්මවා ඥානය නො පවතී. ඥානය ඉක්මවා ඥෙයපථය නැත. ඒ ධර්මයෝ ඔවුනොවුන් පර්යන්ත කොට සිටින්නාහ. කටවල් මැනවින් හේත්තු වන සේප්පුවක් වැසූ කල්හි යම් සේ උඩුපියන යටිපියන ඉක්මවා නොසිටී ද, යටිපියන උඩුපියන ඉක්මවා නොසිටී ද, යම් සේ ඒ දෙක ඔවුනොවුන් කෙළවර කොට ඇත්තේ වේ ද, එමෙන්ම භාග්‍යවත් බුදුරදුන්ගේ ඥානය හා ඥෙයය ඔවුනොවුන් කෙළවර කොට ඇත්තේ ය. යම් පමණ ඥෙයය වේද ඥානයද එපමණ වේ. ඥානය යම් පමණද ඥෙයය එපමණය. ඥානය, ඥෙයය කෙළවර කොට ඇත්තේය, ඥෙයය, ඥානය කෙළවර කොට ඇත්තේය. ඥෙයය ඉක්මවා ඥානය නො පවතී. ඥානය ඉක්මවා ඥෙයපථය නැත. ඒ ධර්මයෝ දෙදෙන ඔවුනොවුන් කෙළවර කොට සිටින්නෝ ය. භාග්‍යවත් බුදුරදුන්ගේ ඥානය සකල ධර්මයන්හි පවත්නේය.

සර්වඥතාඥානය සකලධර්ම විෂයෙහි කිසි තැනක පැකිළීමක් ගැටීමක් ආවරණයක් නැතිව ගමන් කරන බැවින් එයට අනාවරණඥාන යයි ද කියනු ලැබේ. සර්වඥතාඥානය ඇති බැවින් බුදුරදුන්ට සියල්ල නිරතුරුව පෙනෙමින් පවත්නේ නොවේ. ඒ ඥානය ඇති කල්හි නො දත හැකි නො දැකිය හැකි දෙයක් ද නැත. ආවර්ජනා කරන කරන සියල්ල ඉතා පිරිසිදු ලෙස ඒ ඥානයට පෙනෙන්නේය. එය ලොවුතුරා බුදුනට පමණක් ඇති අන් කිසිවකුට නැති විශේෂ ඥානයෙකි. එහි තතු සෙස්සන් විසින් නො දැකිය හැකිය. ඒ ඥානයේ සැටි කෙසේද? එක් පුද්ගලයෙකුට පමණක් එබඳු ඥානයක් ඇතිවිය හැකිද? බුදුරදුන් ඒ ඥානයෙන් එක විටම සියල්ල දුටුයේද? එකිනෙක වෙන් වශයෙන් බලා දැන සර්වඥ වූයේද? යනාදීන් සාමාන්‍ය ජනයා විසින් නො සිතිය යුතුය. ඒ සිතීම අනර්ථකරය. එබැවින් තථාගතයන් වහන්සේ විසින්,

“බුද්ධානං භික්ඛවෙ, බුද්ධවිසයො අචින්තෙය්‍යො. න චින්තිතබ්බො, යං චින්තෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස”

(අංගුත්තර චතුක්කනිපාත 238)

යනු වදාරන ලදී. “මහණෙනි, බුදුන්ගේ බුද්ධවිෂය නො සිතිය යුතු ය. එය සිතන්නේ උමතු බවටත් වෙහෙසටත් පත්වන්නේ ය” යනු එහි තේරුම ය.

සූවිසි මහ ගුණය – අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි

දේව සැලැස්මට කීකරු වන්න!

(යෙරෙමියා 29:11)

මා විසින් ඔබ සැම ගැන කරන යෝජනා මමම දනිමි, ඔබ සැමට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක.

මාගේ ප්‍රේමවන්ත දේව දරුවනේ අද දවසේත් ඔබව දෙවියන්වහන්සේගේ පණිවිඩයක් තුළින් ඔබව ධෛර්යමත් කිරීමට කැමැත්තෙමි.අද දවසේත් ඔබ මොහොතක් නැවතී නිදහසේ මෙම පණිවිඩය දෙස ඔබගේ මනස යොමු කරන මෙන් මා ඔබෙන් ඉල්ලා සිටිමි.

ඉහත බයිබල් පදය දෙස අපගේ නෙත් හොඳින් යොමා බලන විට අපට පෙනී යනවා දෙවියන් වහන්සේට අප කෙරෙහි ඉතා යහපත් අනර්ඝමත් සැලැස්මක් ඇති බව.ඉතින් අප සියලු දෙනාම ඉපදී ඇත්තේ අරමුණක් ඇතුවයි.ඒ වගේම තමයි උන්වහන්සේගේ කැමැත්ත නම්  අපට හොඳ අනාගතයක් දී අපව සඵලවත් කිරීමයි.ඒ වගේම තමයි උන්වහන්සේ කැමති නැහැ අපි ජීවිතයේ බන්ධන වලට,දිළිඳුභාවයට හා අන්ත අසරණ බවට පත්ව සිටිනවට.ඉතින් එම නිසාම ඔබ හොඳින් තේරුම් ගන්න ඔබ ගැන දෙවියන් වහන්සේට ඉතා විශාල සැලැස්මක් ඇති බව.ඒ වගේම එම සැලැස්මේ දී උන්වහන්සේට අවශ්‍ය වන්නේ ඔබට විශාල ලෙස ආශිර්වාද කිරීමටයි.

නමුත් අද අපි බොහෝ දෙනාට මෙම ආශිර්වාදයට හිමිකම් කර ගැනීමට බැරිව සිටිනවා.එසේනම් ඇයි අපිට මෙම ආශිර්වාදය හිමි කර ගැනීමට අපහසු.එයට තිබෙන එකම හේතුව තමයි අපි දේව සැලැස්ම තුළ ජීවත් නොවීම.උන්වහන්සේගෙන් සැලැස්මට අකිකරු වීම.එම නිසා ඔබ හොඳින් ජීවිතය අවබෝධ කරගෙන ජීවිතයේ ඉදිරිය ආශිර්වාදයක් හිමිකරගැනීමට සූදානම් වන්න.දේව සැලැස්මට කීකරු වන්න.එවිට ඔබ සෑම කෙනෙකුම බලවත් පුදුම ආශිර්වාදයන් හිමි කර ගනු ඇත.

ඔබ සැමට ජේසු පිහිටයි!

ඉවැන්ජලිස්ත අමිල දිසානායක 

මාර්ගය සහෝදරත්වය සභාව – මහරගම 

amilamadhara@gmail.com

(whatsapp) +94774682729

අපාය හා දිව්‍යලෝක ඇත්තේ මේ මිනිස් ලොව ම ද?

අපාය හා දිව්‍යලෝක අපට නො යා හැකි ඈත යම් කිසි ප්‍රදේශයක ඇති ඒවා නොව, මේ මිනිස් ලොව ඇති ඒවා යයි ඇතැම්හු කියති. ඔවුන්ගෙන් ඇතමෙක්; ඔවුනොවුන් කෙරෙහි මෛත්‍රියක් කරුණාවක් නැතිව නිතර ඔවුනොවුන් දබර කර ගනිමින් අග හිඟකම්වලින් මිරිකී දුකින් වාසය කරන මිනිසුන් ඇති ගෙය අපාය යයි ද, ඔවුනොවුන් අතර මෛත්‍රිය කරුණාව ඇතිව ආහාරපානාදියෙන් හිඟයක් නැතිව ඔවුනොවුන් සමගියෙන් සතුටින් වාසය කරන මිනිසුන් ඉන්නා ගෙදර දිව්‍යලෝකය ය යි ද කියති. තවත් සමහරු මේ බණපොත්වල දිව්‍යලෝකය යි කියා තිබෙන්නේ අතීතයේ දියුණු මිනිසුන් වාසය කළ ප්‍රදේශවලට ය යි ද දෙවිවරුය යි කියා තිබෙන්නේ ඒ දියුණු මිනිසුන්ටය යි ද කියති. මේවා නවීන මතයෝ ය. මේ මත එකක්වත් බුදුදහමට සැසඳෙන්නේ නැත.

නරකය, තිරිසන් අපාය, ප්‍රේත අපාය, අසුර අපාය කියා අපාය සතරතක් බුදු දහමෙහි දක්වා ඇත්තේ ය. පොළොවෙහි මිනිසුන් හැසිරෙන ප්‍රදේශවල තිරිසනුන් ද වෙසෙන බැවින් තිරිසන් අපාය මිනිස් ලොව ඇත ය යි කිය හැකි ය. එසේ ම ප්‍රේතයනුත් වෙසෙන බැවින් ප්‍රේත අපායත් මිනිස් ලොව ඇත ය යි කිය හැකි ය. අසුරයනුත් ප්‍රේත කොටසක් බැවින් අසුර අපායත් මිනිස් ලොව ඇත ය යි කිය හැකි ය. සාමාන්‍ය ජනයා අපාය ය යි කියන්නේ නරකයට ය. සංජීව කාල සුත්තාදි වශයෙන් මහා නරක අටක් හා ඒ එක එකක් අවට කුඩා නරක සොළොස බැගිනුත් පිහිටා ඇති බව බෞද්ධ පොත්වල කියා තිබේ. නරකයන්හි සැටිත් ඒවායේ සත්ත්වයන් දුක් විඳින සැටිත් ඒවායේ ඉපදීමට හේතුවන පව්කමුත් ඒවායේ ආයුඃ ප්‍ර‍මාණයත් බුද්ධ දේශනාවෙහි දක්වා ඇත්තේ ය. එහෙත් ඒවා ඇත්තේ අසවල් තැනය කියා කෙලින් ම දැක්වෙන බුද්ධ දේශනාවක් පිටකත්‍රයෙහි දක්නට නැත. විභංගප්‍ර‍කරණයේ ධම්මහදය විභංගයෙහි-

“හෙට්ඨතො අවීචිනිරයං පරියන්තං කරිත්වා උපරිතො පරනිම්මිතවසවත්තිදෙවෙ අන්තො කරිත්වා යං එතස්මිං අන්තරෙ එත්ථාවචරා එත්ථ පරියාපන්නා ඛන්ධා ධාතු ආයතනා රූපා වේදනා සඤ්ඤා සංඛාරා විඤ්ඤාණං ඉමෙ ධම්මා කාමාවචරා.”

යන පාඨය වදාරා ඇත්තේ ය. “යටින් අවීචිමහා නරකය සීමා කොට උඩින් පරනිර්මිත වශවර්ති දිව්‍ය ලෝකය ඇතුළු කොට මේ දෑතුරෙහි හැසිරෙන එහි ඇතුළත් වන යම් ස්කන්ධ ධාතු ආයතන රූප වේදනා සංඥා සංස්කාර විඥාන කෙනෙක් වෙත් නම් ඒ සියල්ල කාමාවචර වන්නාහ” යනු එහි තේරුම යි. මේ පාඨයෙහි කාමධාතුවේ යට සීමාව අවීචිමහානරකය සැටියටත් උඩ සීමාව පරනිර්මිත වශවර්ති දිව්‍යලෝකය සැටියටත් දක්වා තිබීමෙන් පෙනෙන්නේ නරකයන් මිනිස් ලොවින් යට තිබෙන ඒවා බව ය. බෞද්ධාචාර්‍ය්‍යවරයන් විසින් පළි ගන්නේත් නරකයන් මිනිස් ලොවින් යට පොළොව තුළ ඇති සැටියට ය. ලෝ තතු විස්තර කරන බෞද්ධ ග්‍ර‍න්ථ වල සංජීවාදි නරකයන් එකිනෙකට යටින් පොළොව තුළ පිහිටා ඇති බව දක්වා තිබේ.

චතුක්කණ්ණො චතුද්වාරො විභත්තො භාගසො මිතො

අයොපාකාර පරියන්තො අයසා පටිකුජ්ඣිතො.

තස්ස අයොමයා භූමි ජලිතා තෙජසා යුතා

සමන්තා යොජන සතං එරිත්වා තිට්ඨති සබ්බදා

මේ දේවදූත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විසින් වදාරා ඇති ගාථා දෙකකි. මේ ගාථාවලින් දැක්වෙන්නේ මහානරකය දිග පුළුනින් යොදුන් සියය බැගින් ඇති යකඩ පොළොව හා යකඩ බිත්ති ඇති යකඩ වැස්මක් ඇති දොර සතරක් ඇති නිතර ගිනි ඇවිලෙමින් පවතින ස්ථානයක් බව ය. එබඳු තැන් මිනිස් ලොව කොතැනකවත් නැත. එබැවින් අපාය ඇත්තේ මිනිස් ලොවය යන්න බුද්ධ දේශනාවට නො ගැලපෙන කරුණක් බව කිය යුතු ය.

දිව්‍ය ලෝකවල සැටි බුදුරජාණන් වහන්සේ විශාඛුපෝසථ සූත්‍රයෙහි වදාරා තිබේ.

“යානි භික්ඛවෙ! මානුස්සකානි පඤ්ඤාස වස්සානි චාතුම්මහාරාජිකානං දෙවානං එසො එකො රත්තින්දිවො. තාය රත්තියා තිංසරත්තියො මාසො. තෙන මාසෙන ද්වාදස මාසියො සංවච්ඡරො. තෙන සංවච්ඡරෙන දිබ්බානි පඤ්චවස්ස සතානි චාතුම්මහාරාජිකානං දෙවානං ආයුප්පමාණං”

මේ තථාගතයන් වහන්සේ විසින් චාතුර් මහා රාජික දෙවියන් ගේ ආයුෂය දක්වා වදාළ පාඨයෙකි. මේ පාඨයෙන් දැක්වෙන්නේ මිනිස් ලොව අවුරුදු පනසක් චාතුර් මහා රාජිකයේ එක් රාත්‍රියක් හා දවාලක් ය. එබඳු දින තිසක් එහි මාසයක් ය. මාස දොළසක් අවුරුද්දක් ය. එබඳු අවුරුදුවලින් අවුරුදු පන්සියයක් චාතුර් මහා රාජික දෙවියන් ගේ ආයුෂය ය කියා ය. මේ ගණන මනුෂ්‍ය ලෝකයේ ගණනින් අවුරුදු අනූලක්ෂයක් වන්නේ ය. අනික් දිව්‍යලෝකවල ආයුෂයත් එකිනෙකට සතර ගුණයකින් වැඩි බව ඒ සූත්‍රයෙන් පෙනේ. එබඳු ආයුෂයක් ඇති මනුෂ්‍ය කොටසක් මේ මිනිස් ලොව කොතැනකවත් නැත. එ බැවින් මිනිස් ලොව යම්කිසි ප්‍රදේශයක් දිව්‍ය ලෝකය වශයෙන් ගැනීම බුදුදහමට එකඟ නො වන බව කිය යුතු ය.

මිනිස්ලොව උසස් ම තත්ත්වය චක්‍ර‍වර්ති රජ බව ය. සප්තරත්නයක් ඇත්තා වූ සෘද්ධි සතරක් ඇත්තා වූ චක්‍ර‍වර්ති රජු ඒවා නිසා ලබන ප්‍රීතිය තරම් මහත් ප්‍රීතියක් මිනිස්ලොව අනිකකුට නැත.

“යං රාජා චක්කවත්ති සත්තහි රතනෙහි චතූහිච ඉද්ධීහි සමන්නාගතො තතො නිදානං සුඛං සෝමනස්සං පටිසංවෙදෙති, තං දිබ්බස්ස සුඛස්ස උපනිධාය සංඛම්පි න උපෙති කලභාගම්පි න උපෙති උපනිධිම්පි න උපෙති.

යනුවෙන් සප්තරත්නයෙන් හා සෘද්ධි සතරෙන් යුක්ත වූ චක්‍ර‍වර්තී රජු ඒවා නිසා ලබන සැපය සතුට දිව්‍ය සුඛයෙන් දහසින් දසදහසින් ලක්‍ෂයෙන් පංගුවක් තරමවත් නො වන බව ‘බාලපණ්ඩිත සූත්‍රයෙහි’ වදාරා ඇත්තේ ය. එතරම් උසස් සුවයක් ලබන පිරිසක් මිනිස් ලොව කොතැනකවත් නැති බැවින් මිනිස්ලොව ම දෙව්ලොව ඇතය යන කීම බුදු දහමට කොහෙත් ම ගැළපෙන්නේ නැත. එය ඔවුන් ගේ අදහසක් පමණෙකි.

(ධර්ම විනිශ්චය – අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි)

මගේ හදවත දෙවිදුන්ගේ මාලිගාවයි

මගේ හදවත දෙවිදුන්ගේ මාලිගාවයි..

දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා! තවත් අළුත්

දවසක දෙවියන්වහන්සේගේ බලවත් පණිවිඩයකට

අපගේ හදවත යොමුකර සිටිමු.

(1 කොරින්ති – 3:16,17)

ඔබ සැම දෙවියන්වහන්සේගේ මාළිගාව බවද

දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඔබ

සැම තුළ වාසයකරන බවද නොදනිවුද? යමෙක්

දෙවියන්වහන්සේගේ මාළිගාව නාස්තිකරන්නේ

නම්, දෙවියන්වහන්සේ ඔහුව නාස්තිකරනසේක;

මක්නිසාද දෙවියන්වහන්සේගේ මාළිගාව ශුද්ධය,

නොහොත්, ඔබ සැම එයාකාරය.ඒ මාළිගාව ඔබ

සැමය.

දෙවිඳුන් තුළ ඔබ සෑම කෙනෙකුටම ආශිර්වාදමත්

දවසක් වේවා!මාගේ ප්‍රේමවන්ත සහෝදර

සහෝදරයෙනි මේ ඉහත සඳහන් බයිබල් පදය දෙස

මොහොතක් ඔබගේ සිත හොඳින් යොමු කර

බලන්න.ලෝකයේ බොහෝ මනුෂ්‍යයන් අතරින් අපව

දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස ලෝකයෙන්

තෝරා වෙන් කර ගනිමින් අප තුළ උන්වහන්සේ

රජකම් කරන බැවින් අපි ඉතා වාසනාවන්ත වෙමු.

ස්වර්ගයේ වැඩ සිටින මැවුම්කාර දෙවියන්

වහන්සේගේ ශුද්ධවූ දේව ආත්මයන් වහන්සේ එසේ

අප තුළ වාසය කරන්නට පැමිණෙන බැවින් අපි

උන්වහන්සේගේ මාලිගාව වෙමු.

ප්‍රේමවන්තයෙනි ඊශ්‍රායල්හි දෙවියන් වහන්සේ වන

බැවින් ජෙරුසෙලම නම් වූ අගනුවර දාවිත් රජුගේ

පුත්‍ර වූ සලමොන් රජතුමා උන්වහන්සේගේ මාලිගාව

ගොඩනගන ලදී.නමුත් වර්තමානයේ එහි නටබුන්

පමණක් දක්නට ලැබෙයි.එහෙත් ශුද්ධ බයිබලයේ

අලුත් ගිවිසුමේ ක්‍රියා පොතේ මෙසේ ලියා තිබේ..

(ක්‍රියා 17:24)

ලෝකයද එහි ඇති සියල්ලද මැවූ

දෙවියන්වහන්සේ ස්වර්ගයටත් පොළොවටත්

ස්වාමීව සිටිනසේක්, අතින් සාදනලද මාළිගාවල

නොවසනසේක;

එලෙසම ඉහත සදහන් 1කොරින්ති 3-16,17 හි

පවසන්නේ දෙවියන් වහන්සේගේ මාළිගාව ඔබ සහ

මා බවය.තවද අපගේ දෙවි වූ ස්වාමීන් වහන්සේ

ඉතා ශුද්ධවූ දෙවිඳුන් වන බැවින් උන්වහන්සේ

වාසය කරන්නට පැමිණෙන අපගේ ශරීරය නැමැති

මාළිගාව එසේ ශුද්ධ ව සිටිය යුතු බව මෙහි

කියවේ.

ඉතින් මාගේ ප්‍රිය සහෝදර සහෝදරයෙනි අප ඉහත

බැලු ආකාරයට දෙවියන් වහන්සේ අප තුළ වාසය

කරන බැවින් අපි උන්වහන්සේගේ මාළිගාව බැවින්

අපි ශුද්ධව සිටිය යුතු බව ප්‍රකාශ කරයි.ඉන්

දෙවිදුන්ගේ ආශිර්වාදය අත්පත් කර ගැනීමට නම්

ඔබත් ශුද්ධ ජීවිතයක් ගත කිරීමට තීරණයක්

ගන්න.

ඔබ සැමට ජේසු පිහිටයි!

නිදිමත නැති කිරීමේ ක්‍ර‍ම සතක්

නිදිමත නැති කිරීමේ ක්‍ර‍ම සතක්

————————————

එක් සමයෙක්හි මුගලන් මහතෙරුන් වහන්සේ මගධරට කල්ලවාලමුත්ත නම් ගම සමීපයේ මහ වනයෙහි මහණදම් පුරන සේක්; සක්මන් කරමින් භාවනා කිරීමෙන් වෙහෙසට පත් ව සක්මන කෙළවර හිඳ නිදා වැටෙමින් හුන් සේක. මුගලන් මහතෙරුන් වහන්සේ එසේ නිදා වැටෙමින් වැඩ ඉන්නා බව තථාගතයන් වහන්සේ දිවැසින් දැක එතැනට වැඩ වදාරා පනවන ලද අසුනෙහි වැඩ හිඳ “මොග්ගල්ලානය, නිදා වැටෙන්නෙහි දැ”යි වදාළ සේක. “එසේය, ස්වාමීනි” යි මුගලන් මහතෙරුන් වහන්සේ පිළිවදන් දුන්හ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මුගලන් මහතෙරුන් වහන්සේට මතු දැක්වෙන කරුණු සත වදාළ සේක.

1. මොග්ගල්ලානය! යමක් සිහිකරමින් වෙසෙන කල්හි තට නිදිමත ආවහොත් එය සිහි නො කර හරුව. එසේ කළ කල්හි තට එයින් නිදිමත දුරුවිය හැකිය.

2. එසේ කිරීමෙන් ද ඒ නිදිමත නො දුරු වුව හොත් අසා ඇති දැන ගෙන ඇති ධර්ම සිහිකරන්නට ඒවා ගැන කල්පනා කරන්නට විමසන්නට පටන් ගනුව. මොග්ගල්ලානය! එසේ කරමින් වෙසෙන කල්හි තට නිදිමත දුරුවිය හැකිය.

3. මොග්ගල්ලානය! එසේ කරන කල්හි දු තාගේ නිදිමත නො දුරු වී නම් අසා ඇති පුහුණුකර ඇති බණ දහම් විස්තර වශයෙන් සජ්ඣායනා කරව. එසේ කරමින් වෙසෙන කල්හි තාගේ නිදිත දුරුවිය හැකිය.

4. මොග්ගල්ලානය! එයින් ද තාගේ නිදිමත දුරු නොවේ නම් කන් දෙක අල්ලා ඒ මේ අතට ඇදීම කරව. අත්වලින් තදින් ඇඟ පිරිමැදීම කරව. එසේ කරන කල්හි තාගේ නිදිමත දුරුවිය හැකිය.

5. මොග්ගල්ලානය! එයින් ද තාගේ නිදිමත නො දුරුවෙතොත් ඇල් දියෙන් ඇස් තෙමා පිරිමැද වටපිට ලෝකය දෙස බලව. අහසේ තරු දෙස බලව. සමහරවිට එයින් තාගේ නිදිමත දුරුවිය හැකිය.

6. මොග්ගල්ලානය! එයින් ද තාගේ නිදිමත දුරු නොවී නම් ආලෝක සංඥාව සිත්හි ඇතිකර ගනුව. දවල් යන හැඟීම ඇතිකර ගනුව. දවාලෙහි මෙන් රාත්‍රියෙහිත් ආලෝක සංඥාව ඇති කර ගනුව. රාත්‍රියෙහි මෙන් දවාලෙහිත් ආලෝක සංඥා ඇතිකර ගනුව. සිත ආලෝකවත් කර ගනුව. එසේ වාසය කරන කල්හි තට නිදිමත දුරුවිය හැකිය.

7. මොග්ගල්ලානය! එසේ කිරීමෙන් ද තාගේ නිදිමත දුරු නොවේ නම්, ඇතුළත ම තබා ගන්නා ලද චක්ෂුරාදි ඉන්ද්‍රියයන් ඇතුව පිටතට නො යැවූ සිත් ඇතුව සක්මන් කරව. එසේ කරන කල්හි තට නිදිමත දුරු කළ හැකිය.

මොග්ගල්ලානය, එයින් ද තට නිදිමත දුරු නොවේ නම්, දකුණු ඇලයට හැරී එක් පයක් මත අන්පය මඳක් ඉදිරියෙන් තබා නැගිටින වේලාව සිහිකොට සිංහ ශෙය්‍යාවෙන් සයනය කරව. නින්දෙන් අවදි වූ වහා නැගිටිය යුතුය. මෙසේ තථාගතයන් වහන්සේ වදාළ සේක. (මෙය අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ සූත්‍ර‍යකින් ගන්නා ලදි.)