බෝධි පූජාවේ යථාර්තය

අපගේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන්වහන්සේට බුද්ධත්වයට පත්විම සදහා සෙවණ ලබා දුන් ඉන්දියාවේ බුද්ධගයාවේ රෝපණය වී තිබෙන ඓතිහාසික මහබෝධි වෘක්ෂය, එම පූජනීය 

වෘක්ෂයෙහි දකුණු අංකුර පැලයක් වු

අනුරාධපුරයේ මහමෙව්නා උයනෙහි රෝපණය කර ඇති 

මිනිසා විසින් සිටවූ සහ එසේ සිට‍වූ කාලය නිවැරැදිව දන්නා පැරණිම වෘක්ෂය ලෙස වාර්තාගතවු අති පූජනීය ශ්‍රී මහා බෝධි වෘක්‍ෂය, මෙන්ම බෞද්ධ දර්ශනය ප්‍රචලිත විවිධ දේශයන්හි සුප්‍රසිද්ධ ස්ථානවල මෙන්ම කුඩා ගම්මානවල පිහිටි පූජනීය ස්ථානවල  

රෝපණය කර ඇති බෝධි වෘක්ෂයන් හට අනාදිමත් කාලයක සිට 

ලෞකික සහ අධ්‍යාත්මික අභිවෘද්ධිය උදෙසා පුද පූජා පැවැත්වීම, වන්දනා කිරිම සහ විවිධ වත් පිළිවෙත් කිරිම

බෞද්ධයින් පුරුදු පුහුණු කල විශේෂ කටයූත්තක් වූහ.

රිදීකන්ද ආරණ්‍යයහි සේනාසනාධිපති ස්වාමීන්වහන්සේ වූ අති ගෞරවනීය විද්‍යාවේදී රාජකීය පණ්ඩිත කම්මට්ඨානාචාර්ය අනුරාධපුර අරියජීව ස්වාමින්වහන්සේට 

වන්දනා පූර්වකව “අපි සගරාවේ” අපගේ අරාධනය මෙම පින්බර පොසොන්මාසයේ දී “බෝධි පුජාවේ යථාර්ථය පිළිබදව” ඔබ හමුවේ කරුණු විග්‍රහ කිරිමටයි.

1. බෝධි පුජාව කෙසේ අර්ථකතනය කල හැකිද?

‘බෝධිය’ යන වචනයේ අර්ථය ‘අවබෝධය’ කියන එකයි. ජීවිතයේ ඇත්ත ඇති සැටියෙන් දැන දැක පැහැදීම, ‘අවබෝධය’ හෙවත් ‘බෝධිය’ ලෙස අර්ථකථනය කරන්න පුළුවන්.  ‘සම්බෝධි’, ‘සම්බුද්ධ’ හෙවත් පරිපුර්ණ අවබෝධයට පත් වූ; ලෙස බුදුරජාණන් වහන්සේගේ ගෞරවණීය ආමන්ත්‍රණය සඳහා භාවිතා කරන්නේත් එනිසයි. ‘පූජා’ යන්නෙහි අදහස නම්, ගෞරවය දැක්වීම, ප්‍රශංෂා කිරීම වගේම රැකබලා ගැනීම, පරිස්සම් කිරීම, අත්හැරීම යන අරුත් දක්වන්න පුළුවන්.

එසේනම්, ‘බෝධි පුජාව’ ලෙස අර්ථකථනය වන්නේ, යම් කෙනෙකු විසින් උතුම් ධර්ම මාර්ගය ඔස්සේ ක්‍රියාත්මක වෙමින්, ජීවිතය පිලිබඳව, ලෝකය පිළිබඳව සත්‍යාවබෝධයට පත්වීමත්; ඒ ලබාගත් අවබෝධය නැවත නැවත මෙනෙහි කරමින් එහි අඩුපාඩු ඇත්නම් නිවැරදි කරගැනීමත්; තවදුරටත් අවබෝධය වර්ධනය කරගත යුතුනම් එය වර්ධනය කරගැනීමට අධිෂ්ඨාන කරගැනීමත්; ඉලක්ක ගත අවබෝධයකට පත් වූවානම් එය පවත්වා ගැනීමට, ආරක්ෂා කරගැනීමට කටුයුතු කිරීමත්; පරිපුර්ණ අවබෝධයට පැමිණ ඇත්නම්, එහි පරිපුර්ණත්වයට පැමිණි බව දැනගෙන උපෙක්ෂකව, මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන් යුක්තව වාසය කිරීමත්ය.

අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සම්බුද්ධත්වයෙන් දෙවන සතිය තුල සිදුකල අනිමිසලෝචන පුජාව දෙස බැලුවොත් ඉහත අර්ථකථනය පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. මුලින්ම, අනිමිසලෝචන පූජාව හි අර්ථය පිලිබඳ ව්‍යවාහරික අදහසට වඩා මෙහි දාර්ශනික අදහස තේරුම් ගන්න උත්සහ කිරීම වටිනවා. ‘අනිමිසලෝචන’ (අ+නිමිස+ලෝ+ච) යන පාලි පදය තුල අර්ථ කිහිපයක එකතුවක් පිළිබිඹු වෙනවා. ‘අනිමිස'(අ+නිමිස) යන්නෙහි සෑම නිමේශයක්, මොහොතක්, ක්ෂණයක් යන්න අර්ථකථනය වේ. ලෝචන (ලෝ+ච) පදයෙහි,  ‘ලෝ’ යන පදය තුල ලෝකයත්, ‘ච’ යන පදයෙන් චිත්තයත් පිලිබඳ විමර්ශනය කිරීම, මනසිකාර කිරීම යන්න අර්ථකතය වෙනවා. එහෙනම්, සම්බුද්ධත්වයෙන් දෙවන සතිය පුරාවට සම්බුදුරජාණන් වහන්සේ, සිදුකලේ ලෝකය වනාහි සෑම ක්ෂණයක් පාසා සිදුවන චිත්ත ක්‍රියාවලියක් බව අනාවරණය කිරීමයි. එය තවදුරටත් තහවුරු කරගැනීම පිණිස උන්වහන්සේ දර්ශක 37ක් හෙවත් මිනුම් දඬු 37 ඔස්සේ උන්වහන්සේ අවබෝධ කරගත් යථාර්තය විමර්ශනය කිරීම සිදුකලා. එය ධර්මයේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ලෙස ඉදිරිපත් කරනවා. එම දර්ශක 37 ඔස්සේ බැලීමේදී උන්වහන්සේ, ලෝකය/ජීවිතය පිලිබඳ අවබෝධ කරගත් සත්‍යය, නියත වශයෙන් සත්‍යක්ම බව අනාවරණය කරගනු ලැබුවා. ඉතින් මෙම ක්‍රියාවලියට තමයි ඇත්ත වශයෙන් අනිමිසලෝචන පුජාව කියල කියන්නේ.

ඉතින් අද අප බෝධි පූජාව ලෙස සිදුකල යුතු වන්නේත්, දුක්විඳින තම ජීවිතය/ලෝකය පිලිබඳව සත්‍ය අවබෝධ කරගැනීමත්, එහි ක්‍රමානුකුල වර්ධනය නිරතුරුව ප්‍රත්‍යවෙක්ෂා කරමින් නිවන නමැති උතුම් අවබෝධයට පත්වීමයි. එය තමන්ගේ යහපත උදෙසාත්, සියළු දුක් කෙළවර කිරීම උදෙසාත් එකම වැඩපිළිවෙලයි.

2.  නමුත්, බෝධීන් වහන්සේ ලෙස අප වන්දනා මානයට පාත්‍ර කරන්නේ බෝධි වෘක්ෂයක් නේද? බෝධීන් වහන්සේ වන්දනාව සහ වෘක්ෂ ඇදහිලි අතර වෙනස කුමක්ද?

යක්ෂ, දේව, නාග, මළවුන්, ගස්ගල් ආදී අතීත විවිධ ඇදහිලි විශ්වාස අතරින් වෘක්ෂ ඇදහිලි, එදා අතීත ජන සමාජ වල පැවතුනා. වෘක්ෂයට අරත්ගත් දේවත්වයකින් තමන්ගේ අපේක්ෂාවන් හෝ ප්‍රාර්ථනාවන් සපුරා ගැනීම සඳහා කරනු ලබන පූජාව, වෘක්ෂ ඇදහිලිවල දකින්න පුළුවන්. නමුත්, බෝධි වන්දනාව ඊට හාත්පසින් වෙනස්වන්නේ, වෘක්ෂ වන්දනාව හෝ පූජාවම, අන්ධ භක්තියකින් හෝ අන්ධ විශ්වාසයකට ලඝු නොකොට; වෘක්ෂ වන්දනාව, බුද්ධ දර්ශනයට අනුකුල ලෙසත්, වඩාත් අර්ථසම්පන්න ලෙසත් ඉදිරිපත් කිරීමක් ලෙස බෝධී වන්දනාව දකින්න පුළුවන්.

උදාහරණයක් ලෙස, එදා තමන් වහන්සේ බුද්ධත්වයට පැමිණී අවස්ථාවේ, උන්වහන්සේ ලබාගත් උතුම් අවබෝධය සංසන්දනය කරන්න, නිරවද්‍යතාවය තහවුරු කිරීම සඳහා උන්වහන්සේ පිටදුන් බෝධි වෘක්ෂය කැඩපතක් ලෙස තමන් වහන්සේගේ අවබෝධය දකින්න උපයෝගී කරගත්තා. අපි දන්නවා, කැඩපත කියන්නේ තමන්ගේ අඩුපාඩු දකින්න පුළුවන්, අඩුපාඩු නිවැරදි කරගන්න පුළුවන් දෙයක්. ඒවගේ, බෝධි වෘක්ෂය කැඩපතක් ලෙස තමන්ගේ අවබෝධය කෙසේද යන්න දකින්න පුලුවන්නම් එය හරිම වටිනා දර්ශනයක් වෙනවා. 

කොහොමද බෝධි වෘක්ෂයකින් තමන්ගේ අවබෝධය දකින්නේ?

– මේ මහා වෘක්ෂය වනස්පතියක් ලෙස මනා ලෙස වැඩුණු, මනා ලෙස විහිදුනු අතුපතර සහ මූල පද්ධතිය, මනා පරිණත බව පෙන්වයි. එලෙස තමා තුල ජීවිත යථාර්තය පිලිබඳ පරිණත බව කෙසේද? යන්න තමා තුලින් විමර්ශනය කරන්න ඕනේ.

– මේ මහා වෘක්ෂය කුමන හෝ සැඩ සුළං, ගංවතුර ආදී කුමන බාධකයන්ට නොසැලී අකම්පිතව වාසය කරයි. එලෙස තමා තුල, නොයෙකුත් බාධක හමුවේ නොසැලී, අකමිත සිතකින් වාසය කලහැකිද?  යන්න තමා තුලින් විමර්ශනය කරන්න ඕනේ.

– මේ මහා වෘක්ෂය, කාගේවත් හව් හරණක් නැතුව තනිව වැඩී නැගී සිටියි. එලෙස, තමාටද තනිවම අභියෝග හමුවේ නැගී සිටීමට හැකිද? යන්න තමා තුලින් විමර්ශනය කරන්න ඕනේ.

– මේ මහා වෘක්ෂය අභියස, පවතින මහා සෙවණ අධික හිරු රශ්මියෙන්, වැස්සෙන් ආරක්ෂාව සැලසෙයි. එලෙස, තමාටද කටුක දුෂ්කර අරමුණු වල නොගැටී නොඇලී වාසය කල හැකිද? යන්න තමා තුලින් විමර්ශනය කරන්න ඕනේ.

– මේ මහා වෘක්ෂය යට, දැනෙන සිසිලස, බෝ පත් සිරස වදින විට දැනෙන සුවපත් බව, මහා වෘක්ෂය අභියස සුදුවැලි මත ඇවිදින විට පයට දැනෙන සුවපත් බව යම්සේද? එලෙසම, ජීවිත අවබෝධය තුලින් ලැබෙන නිරාමිස සැපය, සුවපත් බව අත්විඳිය හැකිද? යන්න තමාට අත්දැකිය හැකිනම්,

තමන්ටම තමන්ගේ අවබෝධයේ මට්ටමත්, ඒ තුලින් ලැබුණු ආධ්‍යාත්මික ශක්තියත් මැන බලන්න පුලුවන්.

තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය සහ හැකියාව පිළිබඳව ඉහත පරිදි වටහාගත් කෙනාට, හොඳ විශ්වාසයක් ගොඩනැගෙනවා විතරක් නෙවෙයි, ඕනෑම අභියෝගයක් ජයගන්න එය පිටිවහලක් වෙනවා. මෙම ක්‍රියාවට කියනවා සත්‍යක්‍රියා කරනවා කියල, සත්‍යක්‍රියාව කියන්නේ, තමන් විසින් දැන දැක ගනුලැබූ ජීවිතයේ  සත්‍යය, පිරිසිඳු සත්‍යක්නම්, එහි ශක්තියෙන් හා බලයෙන් සියළු ප්‍රර්ථනා ඉටුවේවා කියල අධිෂ්ටාන කරන්න පුළුවන්. එහි තිබෙන සත්‍යානුබලය හේතුවෙන් සහ තමන් තුල පවතින හැකියාව පිලිබඳ විශ්වාසය හේතු ගොටගෙන, ඕනෑම ප්‍රාර්ථනාවක ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්.

“අපි සගරාවේ” පාඨක ඔබ සියලු දෙනාටම ඉතාමත් වටිනා දහම් කරුණු කීපයක්ම ඉතාමත් මැනවින් පැහැදිලි වුනායැයි අපගේ විශ්වාසය. 

මෙම පිං කටයුත්ත උදෙසා අප සමග නිරන්තරයෙන් සම්බන්ධ වන අපගේ පිංවත් ස්වාමින්වහන්සේට අපගේ කෘතවේදීත්වය පුද කරමු. ඔබ වහන්සේට අප්‍රමාණ පිං ලැබේවා!

අමා නාකන්දලගේ

දෙවියන් වහන්සේ ඔබව කවදාවත් අත් නාරින සේක!

(යෝෂුවා 1:5)

“ඔබේ ජීවිතයේ සියලු දවස්වල කිසිවෙකුට ඔබට විරුද්ධව සිටින්ට නොහැකි වන්නේය.මම මෝසෙස් සමඟ සිටියාක් මෙන්ම ඔබ සමඟත් සිටින්නෙමි.ඔබෙන් අහක්ව නොයන්නෙමි,ඔබ අත්නාරින්නෙමි.”

ප්‍රේමවන්ත දේව දරුවනේ තවත් අළුත් ආරම්භයක්,දෙවියන් වහන්සේගෙන් ශක්තිමත් පණිවිඩයක්.

ඔබ මොහොතක් ඉහත බයිබල් පදය දෙස ඔබගේ අවධානය යොමු කරන්න.

එදා මෝසස් තුමාට මග පෙන්වු දෙවි පියාණෝ ඔබත් මාත් සමඟ අදත් ජීවමානව සිටීම මහත් වූ ශක්තියක්, බලයක් නොවේද?එමෙන්ම ඉහත දේව වචනය ප්‍රකාරයට “මම මෝසෙස් සමඟ සිටියාක් මෙන්ම නුබ සමඟත් සිටින්නෙමි, නුඹෙන් අහක්ව නොයන්නේමි,නුබ අත්නාරින්නෙමි” කියා දෙවි සමිඳාණෝ ඔබටත් මටත් පොරොන්දු වන සේක.ඉන් මේනිසාම ඔබව හොඳින් තේරුම්ගත් දෙවියන් වහන්සේ ඔබව කවදාවත් අත් නාරින සේක.

ඒ වගේම සෑම මවක්ම තමන්ගේ දරුවන් ගැන ඉතා ආදරයෙන් සහ පිරී ඉතිරී යන සෙනෙහසින් සලකන්නාක් මෙන් අපගේ ස්වර්ගීක දෙවි පියාණන් වහන්සේද අපගේ මව්වරු මෙන් ද ඊටත් වඩා ද අප ගැන සලකන සේක.එබැවින් ඔබ කිසි කලක දුක් වෙන්න එපා මන්ද ඔබව දෙවියන් වහන්සේ අත් නොහරී.

ඉතින් මේ කාරණා නිසාම මම ඔබට කියන්නේ ජීවිතේට පැමිණෙන ප්‍රශ්න,පීඩා,කරදර ගැන බිය නොවන්න.දෙවියන් වහන්සේ ඔබ ගැන සලකන බව මෙනෙහි කරමින් ඔබගේ සියලු කාරණාවල දී ඔබ උන් වහන්සේට යාඥා කරන්න.තවද

 (නික්මයාම 3:14)

 “එවිට දෙවියන්වහන්සේ කථාකොට: මම යම්සේ සිටිම්ද එසේම සිටිමියි මෝසෙස්ට කීසේක.”

කියා මෝසෙස් තුමාට  පොරොන්දු වූ ජීවමාන දෙවියන් වහන්සේ අදත් මේ මොහොතෙදිත් ඔබ සමඟ සිටින සේක.එබැවින් උන්වහන්සේ ඔබගේන් අහක්ව යන්නේවත්,ඔබ අත්නාරින්නේවත් නැත.

ඔබ සැමට ආශිර්වාදමත් මාසයක් වේවා!

ජේසු පිහිටයි!

වෙසක් මාසයේ සම්බුදු තෙමඟුල අර්ථාන්විතව සමරන්න අදහසක්

ලොවපුරා ජීවත්වන බෞද්ධයන්ට පැමිණෙන විශේෂම වු මාසයක් ලෙස මැයි මාසය, සිංහල ලිතට අනුව වෙසක් මාසය හදුන්වන්න පුලුවනි. 

සම්බුදු තෙමඟුල එනම් අපගේ සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, බුද්ධත්වය පත්විම සහ පරිනිර්වාණය යන විශේෂ කරුණු ස්මරණය කිරිම සදහා 

පවත්වන වෙසක් උත්සවය බෞද්ධයන්ගේ ප්‍රධානතම උත්සවය ලෙස නම් කල හැකිය.

ඔබ අප සියලුදෙනාගේම හිතසුව පිණිස දහම් කරුණු “අපි සගරාව” ඔස්සේ සාකච්ඡා කිරිමට මුලික වි කටයුතු කරන රිදීකන්ද ආරණ්‍යයහි  සේනාසනාධිපති ස්වාමීන්වහන්සේ වු 

විද්‍යාවේදී රාජකීය පණ්ඩිත කම්මට්ඨානාචාර්ය අනුරාධපුර අරියජීව ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙන් දැනඋගත්

පරිදි නොබෝදිනකින් පැමිණෙන වෙසක් මාසයේ යෙදි ඇති “සම්බුදු තෙමඟුල අර්ථාන්විතව සමරන” ආකාරය පිළිබදව අදහස් කිපයක් ඔබ හමුවේ තබන්නටයි අපගේ සුදානම.

🔸වර්තමානයේ වෙසක් සැමරුම් කෙසේ අර්ථකථනය කල හැකිද?

වෙසක් මාසය තුල අප ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උප්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන උතුම් ත්‍රිවිධ මංගල්‍යයන් සිහිපත් කරමින් විවිධ ආකාරයේ සැමරුම් සිදුකරන මාසයක් ලෙස සලකන්න පුළුවන්. වෙසක් කූඩු, තෝරන් වැනි වෙසක් සැරසිල්ලේ සිට බෝධි පුජා, කප්රුක් පූජා වැනි විවිධ පූජා සම්ප්‍රදායන් මෙන්ම භක්ති ගීත, පෙරහැර, දන්සල්, දාන සීල භාවනා වැඩසටහන් වැනි විවිධ සැමරුම් සංවිධානය වන මාසයක් ලෙස දකින්න පුළුවන්. එක්  අකාරයකින් මෙම වෙසක් සැමරුම් හුදෙක් ආගමික සැමරුමකට ගොනු නොවී සාමාජීය සහ සංකෘතික ගුණයන්ගෙන් පෝෂණය වූ විවිධ අර්ථයන් විදහා දක්වන සැමරුමක් බවට වර්තමාන වෙසක් සැමරුම පත්වෙලා තියෙනවා. එය එසේ සිදුවන්නේ කාලයක් තිස්සේ එම සමාජ,සංස්කෘතික සහ ආගමික හැඩතල බෞද්ධ දර්ශනය සමඟ මිශ්‍රවීම නිසාය. සම්බුදු තෙමඟුල සමරන බෞද්ධ රටවල්වල එම සැමරුම් ඒ ඒ සමාජ,සංස්කෘතික සහ ආගමික හැඩතලයන්ට ආවේණිකව සිදුවන්නේ මේ නිසා බව තේරුම් ගන්න පුළුවන්. ඒ උනත් අප තේරුම් ගත යුතු ප්‍රධාන කාරණය වන්නේ මේ සෑම සැමරුමකම, යම් ශාසනික වශයෙන් යම් වටිනා පණිවිඩයන් හෝ අර්ථයන් ලබාදීම සිදුවන බව.

🔸වෙසක් කූඩුවෙන් අර්ථ ගැන්වෙන ධර්ම දර්ශනය කුමක්ද?

උදාහරණයක් ලෙස අපි හැමෝම වෙසක් සැරසිලි සිදුකරනවා, ඒ අතරින් වෙසක් කූඩුව විශේෂයි. විශේෂයින් වයස් බේදයකින් තොරව වෙසක් කුඩු නිර්මාණය කිරීමට කැමතියි. වෙසක් කූඩුව තුලින් අපිට බුද්ධ දර්ශනයේ ඉදිරිපත් කරන ජීවිත යතාර්ථය තේරුම්ගැනීමට භාවිතා කරගන්න පුළුවන්. විශේෂයෙන් ධර්ම ශ්‍රවණය තුලින් ධර්මය ඉගෙන ගන්නවා වෙනුවට, ප්‍රායෝගිකව ධර්ම අවබෝධය ලබාගැනීමේ ක්‍රමවේදයක් ලෙස වෙසක් කූඩුව අපිට දකින්න පුළුවන්. අපේ කයෙහි යථාර්තය තේරුම්ගැනීම සඳහා වෙසක් කූඩුව හොඳ උපමා නිදර්ශකයක් සපයනවා. කුඩා ලී දඬු හෝ උණ දඬු කිහිපයක් එකිනෙක සම්බන්ධ කරමින් නිර්මාණය කරන මුලික සැකිල්ල හරියට අපේ කයෙහි අස්ථි පද්ධතිය සේ තේරුම් ගන්න පුළුවන්. රාත්‍රී ආලෝකය පිණිස සැකිල්ල අභ්‍යන්තරයේ එල්ලන පරිපථ, වයර් සහ විදුළි බුබුළු, ශරීර අභ්‍යන්තර පද්ධතීන් නිරුපණය කරනවා. සව්කොල හෝ වෙනත් කඩදාසි යොදා ආවරණය කරන සම්පුර්ණ සැකිල්ල හරියට බාහිරින් ඇති සම නමැති පද්ධතිය සේ දකින්න පුළුවන්. වෙසක් කුඩුවේ බාහිර සැරසිලි ලෙස විවිධ වර්ණයන්ගෙන් යුත් කැටයම් සහ රැළි ආදීය, කයෙහි අලංකාරය පිණිස වූ වස්ත්‍ර, ආභරණයන් නිරුපණය කරනවා.  

මෙසේ මහන්සියෙන් නිර්මාණය කරන ලද වෙසක් කූඩුවේ සැබෑ අලංකාරය දකින්න පුළුවන් වෙන්නේ රාත්‍රියටයි. මන්ද, වෙසක් කූඩුවට විදුලිය ලැබීමත් සමඟම ආලෝකමත් වන වෙසක් කූඩුවේ විසිතුරු බව, වින්දනීය බව, එයට යම් සජීවී බවක් ආරෝපණය කරනවා. එය හරියට කය මෙහෙයවන සිත නමැති ක්‍රියාවලිය නිරුපනය කිරීමක්. මෙලෙස වෙසක් කුඩුවෙන් අර්ථවත් කය සහ සිතෙහි ක්‍රියාකාරීත්වය, හුදෙක් තාවකාලික සංසිද්ධියක් බව පසක් වන්නේ, වෙසක් කුඩුවේ ආයුකාලය ඉතා කෙටිකලකින් ව්නාශ වී යන විටය. ඉතා මහන්සියෙන් නිර්මාණය කරපු විසිතුරු, මන බඳින, ප්‍රියජනක වූ වෙසක් කූඩුව, ක්‍රමයෙන් රැළි ගැලවී, අවර්ණ වී, ඇලවූ සව්කොල වැරහැලි සේ එල්ලී තිබෙන විට ඇතිවන ජීවිතයේ යථා ස්වරුපය වෙසක් කූඩුවෙන් අවබෝධ කරගැනීමට පුළුවන. ඒ වගේම, ඉතා මහන්සියෙන් නිර්මාණය කරපු වෙසක් කූඩුව ඉතා ඉක්මනින් විනාශ වීම ඉවසා, දරා ගැනීමට අවශ්‍ය මනා පුහුණුව මෙම නිර්මාණ ක්‍රියාවලියෙන් නිර්මාණකරුවාට ලැබෙනවා.

🔸වෙසක් මාසයේ ක්‍රියාත්මක වන දන්සැල් සංස්කෘතිය කෙතරම් අර්ථසම්පන්නද?

දානය පිලිබඳ බෞද්ධ ඉගැන්වීම ඉතාම විසිතුරු දර්ශනයක්. නිවන් මාර්ගය පසක් කිරීමේ ක්‍රමානුකූල ගමන් මාර්ගයේ ආරම්භක ධර්මතාවය ලෙස දානය හඳුන්වන්න පුළුවන්. භෞතික වශයෙන් මෙන්ම ආධ්‍යාත්මික අත්හැරීම්  වශයෙන් විවිධ මට්ටම්වලින් දානය පුරුදු කිරීම බුද්ධ දර්ශනය තුල නිරතුරුව ඉස්මතු කෙරෙන ධර්මතාවයක්. මූලික වශයෙන් තමන් සතු තමන්ගේ පරිභෝජනයට ඇති භෞතික ධර්මතා විශේෂයෙන් ආහාර, පාන හෝ වෙනත් ද්‍රව්‍යයන් අන් කෙනෙකුගේ හිත සුව පිණිස පරිත්‍යාග කිරීම තුල මෛත්‍රීය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව වැනි උතුම් ගුණාංග වර්ධනය වීම දකින්න පුළුවන් කම තියෙනවා. ඊටත් වඩා, තමන් සන්තකයේ පවතින ද්‍රව්‍ය දේ තුල පෝෂණය වූ මම මගේ සංකල්පයන් බැහැර කිරීම පිණිස ද්‍රව්‍ය දේ අත්හැරීම පුරුදු කල යුතුයි. සමාජීය වශයෙන් සියලු දෙනාගේ එකමුතු බව සහ සහසම්බන්ධතාවය වර්ධනය වීමත් වැනි අර්ථාන්විත ගුණ වගාවන් වර්තමාන දන්සැල් සංස්කෘතිය දකින්න පුළුවන් කම තියෙනවා.

මේ වෙසක් කූඩුව, දන්සැල විතරක් නොවේ, ඉහත පෙන්වා දුන් සියලු සැමරුම් තුලින් අපේක්ෂා කලයුත්තේ, ඒ තුලින් සෑම සියළු දෙනාට, විශේෂයෙන්  ළදරු වියේ සිට, තරුණ, මහලු සියලු දෙනාටම තම තම නැණ පමණින් බුද්ධ දර්ශනය පිලිබඳ යම් අවබෝධයක් ලබාගැනීමට අවකාශ විවර කිරීමයි. ඒ සඳහා වෙසක් මාසය පුරාවට සංවිධානය කෙරෙන විවිධ සම්බුදු සැමරුම් වල අර්ථාන්විත බව අවබෝධ කරගෙන ඒ සඳහා සියළු දෙනා සහභාගී කරවමින් විශේෂයෙන් ළමා පරපුර දැනුවත් කරවමින් මෙම වෙසක් මාසය තුල සම්බුදු තෙමඟුල අර්ථාන්විතව සැමරීමට ඔබ සියලු දෙනාට මෙය අනුශාසනවක්ම වේවා!

මෙම ඉතාමත් වටිනා කරුණු සමුච්චය ඔබ හමුවේ විග්‍රහ කිරිමට අපට අනුශාසකත්වය ලබාදුන් අපගේ පින්වත් ස්වාමින්වහන්සේට “අපි සගරාවෙහි කාර්ය මණ්ඩලයේ සහ අපි පාඨක සියලු දෙනාගේම ” කෘතවේදීත්වය පුද කරමු. ඔබ වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා!

“භාවනා වැඩසටහන්” පිළිබදව තොරතුරු දැන ගැනිමට පහත සදහන් මාධ්‍යයන් ඔස්සේ ඔබට රිදීකන්ද ආරණ්‍යය සේනාසනය සමග සම්බන්ධවිමට පුලුවන.

Contact (SL): +94 763229860

Contact (UK): +44 7525843376 

Email: rideekanda@gmail.com

Web: www.rideekanda.com
අමා නාකන්දලගේ 

පොහොය දිනයේ සිල් සමාදන් වීමේ වැදගත්කම

ලෝකවාසී සැදැහැවත් බෞද්ධයන්ට සෑම මසකම පැමිණෙන සුවිශේෂී දිනයක් ලෙස “පොහොය දිනයන්” නම් කිරිමට පුලුවනි.

ඈත අතීතයේ සිටම පොහොය දිනයන්හීදි බොහෝ විට බෞද්ධ පිරිස අනෙකුත් දෛනික වැඩ කටයුතුවල නොයෙදි සිල්සමාදන්විමට පුරුදු කරගෙන තිබෙනවා.

එසේ ගිහි ජීවිතයේ දෛනික වැඩ කටයුතු සමග සිල්සමාදන්විමට විවේක කාලයක් සොයා ගැනිමට නොහැකි පිරිස පොහොය දිනයනවල විහාරස්ථානවලට ගොස් මල් පහන් පුජා කිරිම, දන් පිළිගැන්විම, බණ ඇසිම වැනි විවිධ පුණ්‍යය කටයුතු කිරිම සදහා වෙන්කර ගන්නවා.

එවගේම බෞද්ධයන් අනිකුත් දිනයන්වලට වඩා පොහොය දිනයන්වලදී අකුසල ක්‍රියාවලින් වැලකි සිටිමට ඉතාමත් සැකලිමත් වනවා.

මෙවර අප සාකච්ඡා කිරිමට තෝරගත් මාතෘකාව වන

“පොහොය දිනයන්හිදි සිල් සමාදන්වීමේ වැදගත්කම” පිළිබදව විශේෂ කරුණු කිපයක් පැහැදිලි කිරිමට අපගේ ගෞරවනීය ආරධනය

 “අපි” සගරාව සමග නිරන්තරයෙන් සම්බන්ධ වි පාඨක ඔබ වෙනුවෙන් ධර්මානුකූල කරුණු විග්‍රහකිරිමට අපට සහය වන අපගේ පින්වත් රිදීකන්ද ආරණ්‍යය හි සේනාසනාධිපති ස්වාමීන්වහන්සේ වූ අති ගෞරවනීය විද්‍යාවේදී රාජකීය පණ්ඩිත කම්මට්ඨානාචාර්ය අනුරාධපුර අරියජීව ස්වාමින්වහන්සේටයි.

පොහොය දිනයේ වැදගත්කම සහ එයට යම් විද්‍යාත්මක පසුබිමක් තියෙනවද ?

බෞද්ධයනට පොහොය දිනය වැදගත් කමක් ගන්නේ, ශාසනික ඉතිහාසයේ විශේෂ කර්තව්‍යන් සිදුවෙන නිසාය. එවැනි ශාසනික සිදුවීම් පොහොය දිනයක් තුලදීම සිදුවීමේ විද්‍යාත්මක සුවිශේෂීත්වයකුත් පවතිනවා. පෘථිවිය කේන්ද්‍රව චන්ද්‍රයාගේ ගමන් මාර්ගය දින 29 පමණ වූ කාලය තුල සූර්ය ආලෝකය පරිපුර්ණ ලෙස චන්ද්‍රයා මත වැටෙන ආකාරයට සූර්යයා, පෘථිවිය සහ චන්ද්‍රයා පිහිටීමේ විශේෂ අවස්ථාව, පොහොය දිනය ලෙස සලකන්න පුළුවන්. මේ අවස්ථාවේ පුර්ණ චන්ද්‍රයා දිස්වීම පුර පොහොය දවස ලෙස අපි සලකනවා. මෙම පිහිටීම නිසා ස්වභාවධර්මයේ මෙන්ම පුද්ගල, සත්ව චර්යාවන්ගේ යම් වෙනස්කම් සිදුවීම අපිට දකින්න පුළුවන්. උදාහරණයක් ලෙස, පොහොය දිනයක මුහුදේ කැළඹීම, රළ නැඟීමේ ඉහළ යාම දකින්න පුළුවන්. ඒ වගේම සත්වන්ගේ ක්‍රියාකාරකම් වල යම් උද්යෝගීබවක් පොහොය දිනයක අපට දකින්න පුළුවන්. සමහර විස සහිත සත්වයින්ගේ විෂ උග්‍ර වීම, ඒ වගේම සමහර සත්වයින් උඩු බිරීම ආදී විශේෂ හැසිරීම පෙන්වනවා. පුද්ගලයෙක්ගේ හැසිරීම් දිහා බැලුවත්, අපට ඒ විශේෂ හැසිරීම දකින්න පුළුවන්, විශේෂයෙන් සාමාන්‍ය කටවහරේ කියනවා, පොහොය දිනයක සමහර අයකුගේ උමතු බව වැඩිවෙනවා කියල. ඒ විතරක් නෙවෙයි, යම් ආදරය වැනි හැඟීම් උද්දීපනය වීම විතරක් නෙවෙයි, යම් වෛරී හැඟීම් පවතිනවනානම් එයත් උද්දීපනය වීම දකින්න පුළුවන්.

එදා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පෙර උන්වහන්සේගේ උත්පත්තිය පිණිස පස්මහ බැළුම් (කාලය, දීපය,දේශය, කුලය, මව්)  බලනවා කියල ධර්මයේ විස්තර කරනවා. එතනදී කාලය විදිහට අපි දකිනවා උන්වහන්සේගේ උපත පොහොය දවසක සිදුවෙලා තියෙනවා, උපත විතරක් නෙවයි, බුද්ධත්වය, පරිනිර්වාණය වගේ සුවිශේෂී සිදුවීම් රාශියක් මෙලෙස පොහොය දිනය තුලම තෝරා ගැනීම සඳහා, පොහොය දිනය විශේෂ වෙලා තියෙනවා.

එක හේතුව විදිහට, අපිට දකින්න පුළුවන් පුද්ගලයාගේ කායික සහ මානසික ක්‍රියාකාරීත්වයේ යම් උත්තේජනයක්, යම් වර්ධනයක් පොහොය දවස තුල ලබා ගැනීමට පුළුවන් කමක් තියෙනවා. පුද්ගලයන් මෙන්ම අජීව සියලු ස්වභාව ධර්මයන් නිර්මාණය වෙලා තියෙන්නේ ශක්තීන් මත, පොහොය දිනයේ දී පෘථිවි

ගුරුත්වාකර්ෂණය ප්‍රභලතාවය අභිබවා චන්ද්‍රයා මත යම් ගුරුත්වාකර්ෂණය බලශක්තියේ යම් නැඟීමක් දකින්න පුළුවන්. ඒ තුල ශක්තීන්ගේ යම් විපර්යාසයක් වන බව තේරුම් ගන්න පුළුවන්.

සම්බුදුරාජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසුවත් උන්වහන්සේ ශ්‍රාවකයන්ගේ ආධ්‍යාත්මික වර්ධනය පිණිස පොහොය දවස තෝරා ගැනීම තුල, පුද්ගලයාගේ චිත්ත ශක්තිය වර්ධනය කරගැනීමට පොහොය දවස උපකාරී කරගෙන ඇති බව තේරුම් ගන්න පුළුවන්. ඒ විතරක් නොවේ, විශේෂයෙන් පුර්ණ චන්ද්‍රයාගෙන් නික්මෙන ආලෝකය රාත්‍රී කාලයේම පැවතීම තුල බොහෝ පිරිසක් ඒකරාශී කරගැනීමත්, රාත්‍රී කාලයම අධ්‍යාත්මික ගුණයන් වර්ධනය කරගැනීම පොහොය දවස උපයෝගී කරගත්තා.

ඒ වගේම, පොහොය දිනයකදී භාවනා ආදී අභ්‍යාසයන් ප්‍රගුණ කරන කෙනෙකුට එම භාවනාව මනාකොට සංවර්ධනය කරගැනීම කල හැකියි. ඒ වගේම සියළු යහපත් හැඟීම තීව්ර කරගැනීමට පොහොය දවස සුවිශේෂීයව උපයෝගී කරගන්න පුළුවන්.

පොහොය දිනයේ සිල් සමාදන් වීමේ අරමුණ කුමක්ද?

කලින් සාකච්ඡා කල වගේ, ඔබ තුල යම් ගුණ ධර්මයක් පවතිනවනම් එය තවදුරටත් වර්ධනය කරගන්න පුළුවන් විශේෂ දවසක් ලෙස පොහොය දවස හඳුන්වන්න පුළුවන්. බෞද්ධයන් විදිහට අප නිති පන්සිල් සමාදන්ව කටයුතු කරන නිසා, අපට පුළුවන් නම් ඊටත් එහා සීලයක් සමාදන් වෙන්න, එය ඔබේ ජීවිතයට යම් දියුණුවක් ලබාදෙන්න, යම් ජීවිත තෘප්තිමක් ලබාදෙන්න පුළුවන් වෙනවා. ඊටත් වඩා ජීවිතය පිලිබඳ ගැඹුරින් කල්පනා කරන්න එහි සත්‍යතාවය විමර්ශනය කරන්න අපිට යම් කාලයක්, පරිසරයක්, යම් විවේකයක් අපි හදාගන්න ඕන. එම විවේකය කායික වශයෙන් මෙන්ම මානසික වශයෙනුත් අපි හදාගන්නට ඕන. ඒ සඳහා තමයි අපි සීලයක සමාදන් වෙන්නෙ. ‘පොහොය’ කියන වචනයට පාලි භාෂාවෙන් කියන්නේ ‘උපෝසථ’ කියල. උපෝසථ යනු ‘උපවාස’ කියන අර්ථයත් තියෙනවා. උපවාස කියන්නේ වාරණය කරනවා කියන අර්ථයයි. මොනවද වාරණය කරන්නේ? ආහාර වාරණය වෙන්න පුළුවන්. මොනවද මේ ආහාර? ධර්මයේ සඳහන් වෙනවා සතර ආහාරයන් පිළිබඳව. මොනවද මේ සතර ආහාරයන්? සරලව විස්තර කරනවා නම් ඇසට වර්ණයන් ආහාරයක්, කනට ශබ්ද ආහාරයක්, දිවට රසය ආහාරයක්, නාසයට ගන්ධය ආහාරයක්, කයට පහස ආහාරයක්, මනසට විවිධ මනෝ සංකල්පයන් ආහාරයක්. එහෙනම් වාරණය කරන්නේ ඔබේ ඉන්ද්‍රීයයන්. උපොසථ සීලය කියන්නේ එහෙනම් ඉන්ද්‍රීය වාරණය කිරීම. එය ඔබ පංච සීලයකට වඩා ගැඹුරින් ප්‍රගුණ කරමින් කෙනෙකුගේ චිත්ත විවේකය, සමාධිය වර්ධනයට දායක කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, එම චිත්ත විවේකය තුලින් ජීවිතය පිළිබඳව පහසුවෙන් ගැඹුරින් විමර්ශනය කරන්න එම පරිසරය හේතු කරගන්න පුළුවන්. ඉතින් අපි ඉදිරි සාකච්ඡාවකදී ඒ පිළිබඳවත් විස්තරාත්මකව සිදුකරමු.

උපාසක සහ උපාසිකා නමින් සිල්සමාදන් වූ අය හැඳින්වීමේ විශේෂත්වය කුමක්ද?

‘උපාසක’ යන අර්ථය තුල උපායට අනුව සකස්වන යන අදහස තියෙනවා. ඉන්ද්‍රීය සංවර කර ගැනීම පිණිස උපායශීලීයව කටයුතු කිරීමට වීර්ය කිරීම  පොහොය දවසේ සිල සමාදන් වූ උපාසක සහ උපාසිකාවන්ගේ විශේෂත්වයයි. ඒ විතරක් නෙවෙයි, අපි හැමෝම විවිධ නම්ගොත් වලින් ආමන්ත්‍රණය  කරගැනීම තුල පුද්ගලභාවය ඉස්මතු වීම වැළක්වීමේ උපායක් විදිහටත් පොදුවේ සෑම දෙනාම උපාසක සහ උපාසිකා නමින් හඳුන්වනු ලබනවා. උදාහරණයන් විදිහට, භික්ෂුවක් පැවදි වීමට කලින් විවිධ නම්ගොත් වලින් හඳුන්වනු ලැබුවත්, පැවදි බව සමඟ උන්වහන්සේට වෙනම පැවිදි නාමයක් ලබාදෙන්නේ, ගිහි ගතිය, ගිහි මතකය ආවර්ජනය වීම වැලැක්වීමත්, පැවදි බව නිරතුරුව ස්මරණය කිරීම පිණිසත්ය. ඒවගේම උපාසක සහ උපාසිකා නමින් තමන් කල්පනා කිරීම තුල. එදා දවසේ ගිහිගෙවල් වල කටයුතු කරමු ඒ හැඟීම්, එදා දවසට අමතක කරන්නත්, තමන් එදා දවස තුල උතුම් ගුණ වර්ධනය කිරීමේ උපාය සොයමින් කටයුතු කරන්න පහසු කරන්න මෙම ආමන්ත්‍රණය උදව් වෙනවා.

පොහොය දිනයේ සිල් සමාදන් වීමේ වැදගත්කම”

පිළිබදව ඉතාමත් වටිනා කරුණු කිපයක් ධර්මානුකූලව විස්තර කර කියා දෙන්න “අපි” සගරාව සමග සම්බන්ධ වීම පිළිබදව අපගේ ගෞරවපූර ස්තුතිය රිදීකන්ද ආරණ්‍යයහි සේනාසනාධිපති ස්වාමීන්වහන්සේ අති ගෞරවනීය විද්‍යාවේදී රාජකීය පණ්ඩිත කම්මට්ඨානාචාර්ය අනුරාධපුර අරියජීව ස්වාමින්වහන්සේට පුද කරමු. ඔබ වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා!

පහත සදහන් මාධ්‍යයන් ඔස්සේ රිදීකන්ද ආරණ්‍යය සේනාසනය සමග සම්බන්ධවි “භාවනා වැඩසටහන් පිළිබදව” තොරතුරු දැන ගැනිම ඔබට පුලුවන.

Contact (SL): +94 763229860

Contact (UK): +44 7525843376

Email: rideekanda@gmail.com

Web: www.rideekanda.com
අමා නාකන්දලගේ

ඔබව දෙවියන් වහන්සේ

ඔබව දෙවියන් වහන්සේ අල්ලා

ගන්නේ නම් වලක්වන්ට කිසිවකුට

බැරිය.

(යෝබ් :9 – 12)

උන්වහන්සේ අල්ලාගන්න කල උන්වහන්සේ

වලක්වන්නේ කවුද? ඔබ මක්කරනවාදැයි

උන්වහන්සේට කියන්ට පුළුවන් කාටද?

සෙනෙහෙවන්ත දරුවනේ දෙවියන්වහන්සේගේ

මහත් වූ ප්‍රේමය නොහැද ජේසුස් ක්‍රිස්තුස්

වහන්සේගේ ගැලවීම නොලැබු ජීවිතයේ කඳුළු,දුක්

පමණක්ම ඉතිරි වී හැදු වැඩු දෙමාපියන්ටත් ඔබව

එපා වී,මාවතේ කිසිදු සරණක් නොමැතිව සිටින්නේ

නම් යේසුස් වහන්සේ ඔබව අල්ලා ගැනීම

මොනතරම් නම් යහපත් වාසනාවන්ත දෙයක්ද?

එමෙන්ම එය වලක්වන්ට මිහිපිට සමත් වන්නා වූ

කිසිවෙක් නොමැති බව ඔබ හොඳින් සිහි

තබාගන්න.එබැවින් ඉහත ප්‍රධාන දේව වචනය වන

යෝබ් නමයේ සිට දොලහා අනුව උන්වහන්සේ

අල්ලා ගන්නා කළ උන් වහන්සේව වළක්වන්නේ

කවුද? කියා ඔබේන් ප්‍රශ්න කරනු ලබයි.

එම නිසා අද දින ඔබව දෙවිඳුන් අල්ලා

ගන්ටත්,ඔබගේ සිත සැනසීමෙන් පිරවීමටත්

හැකියාව ලැබෙන යහපත් ආශිර්වාදමත් දවසක්

ඔබට ඔබ සැමට උදා වේවා කියා ජීවමාන යේසුස්

යන බලවත් නාමයෙන් මම සුබ ප්‍රාර්ථනා කරමි.

දුක් නොවන්න බිය නොවන්න මන්ද සර්වබලධාරී

ජීවමානව යේසුස් වහන්සේ ඔබව කිසිදා අත්

නොහරින්නේ ය.

ඔබට ජේසු පිහිටයි!

ඉතාම කෙටි කාලයකින් සිත එකඟ කර ගන්නා ක්‍රමවේදය

මාතලේ දිස්ත්‍රික්කයට අයත් උඩස්ගිරිය ගම්මානයේ පිහිටා ඇති

රිදීකන්ද ආරණ්‍යයහි  සේනාසනාධිපති ස්වාමීන්වහන්සේ අති ගෞරවනීය විද්‍යාවේදී රාජකීය පණ්ඩිත කම්මට්ඨානාචාර්ය අනුරාධපුර අරියජීව ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙන් යුතුව “අපි සගරාවේ” 26 වෙනි දිගහැරුම ඔස්සේ ඉදිරිපත් කළ “භාවනාව සහ විවිධ භාවනා ක්‍රම” පිළිබදව කරුණු විග්‍රහ කෙරුණු ලිපියට අනුකූලව මෙවර අප ඔබ වෙත ගෙන එන්නේ “ඉතාම කෙටි කාලයකින් සිත එකඟ කර ගන්නා ක්‍රමවේදය” පිළිබදවයි.

1. ඒකාග්‍ර සිතක් යනු කුමක්ද?

සාමාන්‍ය සිතක ස්වභාවය නම්, විවිධ අරමුණු ඔස්සේ සිත විසිරවීමයි. වර්ණයන්, ශබ්දයන්, ගන්ධයන්, රසයන්, ස්පර්ශන් සහ මතකයන් තුලින් අපගේ සිත විවිධ අරමුණු ඔස්සේ මෙහෙයවමින් සිත බලවත් වෙහෙසකට පත් කරයි. සිතෙහි වෙහෙසකාරි බව, සැම විටම ච්ත්ත පීඩාව, අලස බව, කලබල ගතියෙන් යුක්තව සිත ක්‍රියාත්මක වේ. විසිරුණු සිතක චිත්ත ශක්තියෙහි ද ප්‍රභලතාවය අඩුයි.

යමෙකු විසින් විවිධ අරමුණු බැහැර කොට, එක් අරමුණක් වෙත පමණක් සිහිය පවත්වනවාද, එය ඒකාකාරි අරමුණු රටාවකින් යුක්තව ‍යම් පාලනයකින් යුත් සිතකි. එවැනි සිතක විවේකිබව, ප්‍රබෝධමත්බව මෙන්ම මනා සතිමත් බවකින් යුක්ත වු චිත්ත ප්‍රවාහයක් ක්‍රියාත්මක විම දැකිය හැක. එකඟ සිතෙහි චිත්ත ශක්තිය, ලෞකික ජිවිතයේ විවිධ බාධක හා අභියෝග පහසුවෙන් ජයගැනීමටත්, කායික හා මානසික නිරෝගීභාවය පිණිසත් මහෝපකාරී වේ.

2. සිතක එකඟ බව, කායික සහ මානසික නිරෝගි බව පිණිස හේතු වීම පිළිබද නවීන විද්‍යාත්මක පරියේෂණයන් කෙසේ සාක්ෂි දරයිද?

ඒකාග්‍ර සිතක ස්වභාවය පිළිබදව සිදුකල ඇති විද්‍යාත්මක පරියේෂණයන්ට අනුව, එකඟ සිතක් ඇතිකර ගැනීම තුලින්, මිනිස් මොළයේ ස්නායු ආවේගයන්ගේ සැලකිය යුතු වෙනසක් සහ ප්‍රීතිය, සැපය, මද්‍යස්ථබව වැනි ධනාත්මක සිතුවිලි වල උත්තේජනයන් දැකිය හැකි බව නිරික්ෂණය කර ඇත. චිත්ත ‍ඒකාග්‍රතාවය විවිධ මට්ටම් වලින් කෙනෙකුට වර්ධනය කල හැකි අතර, එම විවිධ ඒකාග්‍ර මට්ටම් වෙනස් විමට අනුකුලව, මොළයේ ස්නායු තරංගයන්ගේ සංඛ්‍යාතයන් ක්‍රමානුකූලව අඩුවන බව පරියේෂණවලින් සොයාගෙන ඇත.

ඒ ඒ ඒකාග්‍රතා මට්ටම් අනුව සිතෙහි විවිධ බලයන් හා ගුණාංග ඇතිවීම හා ඒවා තුලින් ලැබෙන විවිධ හැකියාවන් සහ ප්‍රායෝජනයන් පහත පරිදි දැක්විය හැක.

ගැමා තරංග මට්ටම් (තරංග ආයාමය 38-42 අතර)

මෙම අවස්ථාවේදී මොළයේ ක්‍රියාකාරීත්වය සක්‍රීයව ක්‍රියාත්මක වීම නිසා සතිමත් බව සමග ක්‍රියාශිලිව යම් කටයුත්තක් සාර්ථකව කිරිමේ ශක්තිය වර්ධනය වේ. විශේෂයෙන් රැකියා ස්ථානයේදී රැකියා කටයුතු වලදි නිවැරැදි සහ ක්ෂණිකව ගැටලු විසදීමේ හැකියාව දැනුවත් බව සහ මනා අවධානය, පරීක්ෂාකාරී බව මෙන්ම මතක් ශක්තිය හොදින් ක්‍රියාත්මක විම සිදු වේ.

බීටා තරංග මට්ටම (තරංග ආයාමය 12-38 අතර)

මෙම අවස්ථාවේදි මනාව තීන්දු තිරණ ගැනීම, නිවැරැදි විනිශ්චයන් ගැනිම, යම් ඉලක්ක ගත අරමුණක් නිවැරැදිව යමක් සැලසුම් කිරිම සහ එය සම්පුර්ණ කිරිම ආදිවු හැකියාවන් සාක්ෂාත් කිරිමට අවශ්‍ය සතිමත් බව ලැබේ.

ඇල්ෆා තරංග (තරංග ආයාමය 8-12 අතර)

මෙම අවස්ථාවේදී ඇතිවන සිතෙහි එකඟ බව, තුලින් කය සහ සිත යන දෙපාර්ශවයේ මනා ඒකාබද්ධභාවය සහ සමබරතාවය තහවුරු කරයි. ඒ ඔස්සේ කායික මානසික සන්සුන් බව සහ විවේකි බව අත්විඳිය හැක. මෙම අවස්ථාවෙ ස්නායු පද්ධතිය සමතුලිතබව සහ ආතතිය වඩවන හෝමෝන ක්‍රියාකාරිත්වය අඩුවන බව සොයා ගෙන ඇත.

තීටා තරංග මට්ටම (තරංග ආයාමය 4-8 අතර)

තීටා අවස්ථාවේදී ඇතිවන සිතෙහි එකඟ බව, ගැඹුරු සමාධි ස්භාවයකට පත්වීමත්, ඒ තුලින් ධනාත්මක ආකල්ප, නිර්මාණශිලීත්වය වැනි අභ්‍යන්තර කුසලතාවන් වර්ධනය වීම සිදුවන බව සොයාගෙන ඇත. මෙම අවස්ථාව, කෙනෙකුගේ තෙවෙනි ඇස ඉපදීම ලෙසද වේද ශාස්ත්‍රියේ සදහන් වී ඇත.

ඩෙල්ටා තරංග මට්ටම (තරංග ආයාමය 1-4 අතර)

ඩෙල්ටා අවස්ථාවේ සිතෙහි එකඟ බව සුවිශේෂී අවස්ථාවකී, මෙහි ගැඹුරු සමාධි මට්ටමක් වන අතර, උපේක්ෂාව, මෛත්‍රීය, කරුණාව, මුදිතා ආදී විශේෂය ගුණංග සහිත සිතුවිලි ධාරා ඉපදීම, වගේම ගැඹුරු සුවපත් බවක් මෙම මට්ටමේදි ලැබෙයි. කායික හා මානසික ආබාධ සුවවීමේ හැකියාවක් මෙම අවස්ථාවට පත්විම තුල ඇතිකල හැක. සියුම් විමර්ශනශිලිත්වයක් මෙන්ම යමක් ගැඹුරින් අවබෝධ කර ගැනීම සදහා අවශ්‍ය චිත්ත ශක්තිය මෙම මට්ටමේදි ලඟා කරගත හැක.

3. බෞද්ධ දර්ශනය තුල සමත භාවනාවේ උපයෝගීතාවය කෙසේද?

බෞද්ධ සතිය, එළඹ සිටි සිහිය, සමාධිය ආදී වශයෙන් ඉදිරිපත් කෙරෙන අදහස් තුල මතුවන්නේද, සිතහේ එකඟ බව වේ. ලෝකයේ සත්‍යතාවය ගවේෂණය කිරිමට අවශ්‍ය ගැඹුරු සිහිය, සතිමත් බව, සමථ භාවනාව තුලින් වර්ධනය කරවයි. සමථ භාවනාවෙන් ලැබෙන එම සතිමත් බව, තුලින් විදර්ශනා දර්ශනයන් විමර්ශන කිරිම ධර්ම මාර්ගය වඩන භාවනා යෝගීන් විසින් සිදු කරයි. ඒනිසා, ධර්ම මාර්ගය සදහා අවශ්‍ය මූලික පදනම ලෙස ඒකාග්‍ර සිත හදුන්වා දිය හැකිය.

4. එදිනෙදා ජිවිතයේදී සියලු දෙනාට සරලව භාවිතා කල හැකි භාවිනා ක්‍රමයක් නිර්දේශ කල හැකිද?

සියලු වයස් වල අයට වැඩීමට පහසු අභ්‍යාසයක් ලෙස හුස්ම මුලික කොට ගණන් කිරිමේ ක්‍රමයක් මෙලෙස ඉදිරිපත් කල හැකිය.

මෙම භාවනා අභ්‍යාසය සදහා පිට කොන්ද ඍජුව සහ හේත්තු නොවි තබා ගැනීම වැදගත්ය.

සුදුසු පරිදි ආසනයක හිද ඇස් දෙක වසා ගන්න.

හොදින් දීර්ඝ හුස්මක් ආශ්වාස කර ප්‍රාශ්වාස කරන්න.

මෙම දීර්ඝ හුස්ම ගැනීම තුන්වරක් පමණක් සිදු කරන්න.

ඉන්පසු නිරායාසයෙන් වැටෙන හුස්ම ‍රටාව හදුනා ගන්න උත්සාහ කරන්න.

හුස්මේ අශ්වාසය වැටෙන හැටි හදුනා ගන්න.

හුස්මේ ප්‍රාශ්වාසය වැටෙන හැටි හදුනා ගන්න.

ඉන්පසු, නිරායාසයෙන් වැටෙන අශ්වාසය ” එක, දෙක, තුන, හතර, පහ” නමින් ගණන්  කරන්න.

එලෙසම, නිරායාසයෙන් වැටෙන ප්‍රාශ්වාසයටද ” එක, දෙක, තුන, හතර, පහ” නමින් ගණන් කරන්න.

මෙම එකේ සිට පහට ගණන් කිරිම නොනවත්වාම, අශ්වාසයට සහ ප්‍රාශ්වාසයට සිදු කරන්න.

මෙය විනාඩි පහේ සිට විනාඩි 30ක් දක්වා වැඩි දියුණු කරන්න.

මෙම ලිපිය මගින් ඉතාමත් වටිනා ධර්මානුකූල කරුණු රැසක් “අපි සගරාව” කියවන ඔබ වෙත ඉදිරිපත් කිරිම පිළිබදව අපගේ ගෞරවනීය ස්තුතිය රිදීකන්ද ආරණ්‍යයහි සේනාසනාධිපති ස්වාමීන්වහන්සේ අති ගෞරවනීය විද්‍යාවේදී රාජකීය පණ්ඩිත කම්මට්ඨානාචාර්ය අනුරාධපුර අරියජීව ස්වාමින්වහන්සේට පුද කරමු. ඔබ වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා!


අමා නාකන්දලගේ