රජය විසින් ඇතිකරන ලද සංවර්ධනය සහ පුද්ගල ජයග්‍රහණ

රජය විසින් ඇතිකරන ලද සංවර්ධනය සහ පුද්ගල ජයග්‍රහණ (1971-1979)

වර්ෂ 1971 වන විටදී ආනයනික ඉන්දීය සිනමාව දේශීය සිනමාවට ප්‍රභල පහරක් එල්ල කරමින් පැවතිණි. එකළ රට තුළ බලයට පත් වූ සමාජවාදී රජය විසින් එම අන්තරාදායක 

තත්ත්වය පාලනය කිරීමට දැඩි උත්සහයක් දරන ලදි. විදේශීය චිත්‍රපට අත්කරගෙන තිබූ එම ආදිපත්‍යය විසින් දේශීය චිත්‍රපටවල තිර කාලය 20% ක් දක්වා පහත හෙලීමට සමත් වූ අතර විදේශීය චිත්‍රපටවල තිර කාලය 80% ක් (60% ක් දෙමළ, 10% ක් හින්දි සහ 10% ක් ඉංග්‍රීසි) පමණ  අත්පත්කර ගැනීමට සමත් වී තිබුණි. රජය විසින් 1971 අංක 47 දරන පනත මගින් රාජ්‍ය චිත්‍රපට සංස්ථාව පිහිටුවනු ලැබූ අතර, ජාතික චිත්‍රපට ප්‍රවර්ධනය කිරීම සහ මහජනතාවට විවිදාකාරයේ චිත්‍රපට ලබාදීම හෝ ලබා නොදීමේ අයිතිය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල විය.

රාජ්‍ය චිත්‍රපට සංස්ථාව (SFC) විසින් චිත්‍රපට නිෂ්පාදනය සඳහා සුවිශේෂී ණය යෝජනා ක්‍රමයක් ස්ථාපිත කළේය. තිර රචනා ඇගයීම් පදනම මත සෘණාත්මක ඇපකරයක් සමඟින් එම ණය ලබා දීම සිදු වී ඇත. ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් හරහා ණය ලබා ගැනීම සඳහා අධ්‍යක්ෂවරුන් සහ ප්‍රධාන කාර්මික ශිල්පීන්ට පූර්ව පුහුණුවක් තිබිය යුතුය. මෙම ක්‍රමවේදයට පෙර ස්වතන්ත්‍ර තිර රචනයන් සඳහා කිසිදු ගෞරවයක් හිමි නොවෙන තරමටම දෙමළ සහ හින්දි චිත්‍රපටවල දෙබස් සහ නම පමණක් පරිවර්තනය වූ තිරපිටපත් සඳහා ගෞරවය හිමි වී තිබුණි. 

තිර රචනය හින්දි හෝ දෙමළ මුල් පිටපතේ අක්ෂර පරිවර්තනයක් පමණක් වූ බැවින් එකම ගෞරවය දෙබස් සඳහා විය.  ණය යෝජනා ක්‍රමය විසින් මුල්වරට මුල් තිරපිටපත් රචනය සහතික කළ අතර හින්දි සහ දෙමළ චිත්‍රපටවල පිටපත් වූ තිර රචනයන් සඳහා ණය ලබා ගැනීමට අයිතියක් හිමි නොවුණි. එමඟින් දේශීය වෘත්තීය චිත්‍රපට නිෂ්පාදන කර්මාන්තයක් ස්ථාපිත වීමට මං සැලසිණි.

රාජ්‍ය චිත්‍රපට සංස්ථාව විසින් චිත්‍රපට බෙදා හැරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදෙනු ලැබූ අතර එමඟින් රට තුළ නිෂ්පාදනය කරන සියලුම චිත්‍රපට ප්‍රමුඛතා අනුපිළිවෙලකට අනුව ප්‍රදර්ශනය කිරීම සහතික කළේය. සිනමා ශාලාවල ප්‍රමිතිගත තත්ත්ව පාලන පටිපාටියක් ස්ථාපිත කරන ලද්දේ ඒවායේ තාක්ෂණික උපකරණ පරීක්ෂා කිරීමේ පද්ධතියක් සැකසීම මගිනි. ඒකාධිකාරය මිලදී ගැනීම නිසා ආනයනය කරන ලද චිත්‍රපටවල පිරිවැය 75% කින් පමණ අඩු විය. විශාල වශයෙන් අඩු කළ මිල ගණන් යටතේ වුවද තිරගත වන දෙමළ හා හින්දි චිත්‍රපට ප්‍රමාණයේ සැළකියයුතු වෙනසක් නොවුණි.

එහි ප්‍රතිඵලය වූයේ වර්ෂ 1972 දී මිලියන 30 ක් වූ චිත්‍රපට ප්‍රවේශය වර්ෂ 1979 වන විටදී මිලියන 74.4 දක්වා වර්ධනය වීමයි. දේශීය චිත්‍රපට වෙනුවෙන් වෙන් වූ තිර කාලය 20% සිට 58% ක් දක්වා වර්ධනය විය. වර්ෂ 1978 වන විට සිනමා ශාලා සංඛ්‍යාව 365 ක් දක්වා වර්ධනය විය. 

මීට පෙර පැවති ක්‍රමවේදය මඟින් එකල පැවති වෙළඳපල ඉලක්ක කර නොතිබූ බවටත් ඒ නිසා ඉල්ලුම යටපත් වූ බවටත් මෙම වර්දනය හොඳම සාක්ෂිය විය. වසර හතක් ඇතුළත වාර්ෂික ඇතුළත් කිරීම්වල පෙර නොවූ විරූ ලෙස ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස යටපත් කරන ලද සහ යටපත් වූ ඉල්ලුම සපුරාලීමට රාජ්‍ය චිත්‍රපට සංස්ථාවට හැකිවිය.

වර්ෂ 1979 න් පසු රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ සභාපති දූරයට පත් වූ ඇන්ටන් වික්‍රමසිංහ විසින් පෙර පැවති සියලු ක්‍රියාමාර්ග ආපසු හරවා ඕනෑම කෙනෙකුට චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමට හැකි අයුරින් අසීමිත ලෙස ණය ලබා දුන්නේය. ඒ නිසා චිත්‍රපට නිර්මාණකරණය ගැන නිසි දැනුමක් නැත්තන් විසින් චිත්‍රපට සිය ගණනාවක් නිපදවන ලදි. එහි ප්‍රතිඵලය වූයේ වර්ෂ 1982 වන විටදී ඊළඟ වසර 5 තුළදී තිරගත කිරීමට තරම් සරිලන චිත්‍රපට ප්‍රමාණයක් නිෂ්පාදනය වීමය. ප්‍රේක්ෂකයෝ දුර්වල චිත්‍රපටවලට ප්‍රතිචාර දැක්වූයේ සිනමාවෙන් දුරස්ව සිටීමෙනි. වාර්ෂික ඇතුළත් කිරීම් භයානක ලෙස පහත වැටීමට පටන් ගත්තේය. වර්ෂ 1979 දී මිලියන 79.4 ක් දක්වා ඉහළ ගිය වාර්ෂික ඇතුළත් කිරීම්, වර්ෂ 2009 වන විටදී මිලියන 7.2 දක්වා අඩු විණි. එතෙක් ලාභ ලැබූ ආයතනයක් ලෙස පැවතුණත් නොබෝ කලකින් බංකොලොත් භාවයට ඇද වැටීමට පටන් ගත් අතර රජයෙන් ලැබෙන මුදල් සම්භාරයක් මගින් එය පවත්වාගෙන යාමට සිදු විය.

ටයිටස් තොටවත්ත සහ ලෙස්ටර් ජේම්ස් පීරිස් මේ යුගයේ කලාත්මක චිත්‍රපට නිර්මාණය කළ ප්‍රමුඛතම කලාකරුවන් විය. ප්‍රධාන ධාරාවේ ප්‍රේක්ෂකයන්ගේ සිත්ගත් තේමාවන් සමඟ තාක්ෂණික කුසලතාවන්ද එක්කළ හාර ලක්ෂේ, සිහසුන, සාගරිකා සහ මංගල වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ තොටවත්තයන් විසිනි. ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙම වකවානුවේදී ඉතා සාර්ථකව ඔහුගේ වැඩ කටයුතුවල නිරත වූ අතර, රජය විසින් පනවා ඇති සීමාවන් නොතකා වඩාත් වැදගත් සිනමා කෘති කිහිපයක්ම නිර්මාණය කළේය

වර්ෂ 1972 දී නිකුත් කරන ලද නිධානය චිත්‍රපටය ඔහුගේ විශිෂ්ටතම කෘතිය ලෙස සැලකේ. ඊට අමතරව වර්ෂ 1997 දී එවකට රජය විසින් පනවන ලද මණ්ඩලයක් විසින් ශ්‍රී ලාංකීය සිනමා වංශකතාව තුළ පළමු වසර 50 තුළ බිහිවූ හොඳම චිත්‍රපටය ලෙස සකස් කරන ලදී. ඔහුගේ අතිදක්ෂ අධ්‍යක්ෂණය මෙන්ම ගාමිණී ෆොන්සේකා සහ මාලිනී ෆොන්සේකාගේ අසහාය රංගනය ඊට හේතුවිණි. ඔහු විසින් Peries’ Venice International Film Festival හි Silver Lion of St. Mark සම්මානය දිනා ගැනීම සහ ලන්ඩන් චිත්‍රපට උළෙලේ දී ඩිප්ලෝමාවක්ද ලබා ගනිමින් වසරේ විශිෂ්ටතම චිත්‍රපට අතරින් එකක් ලෙස නිදානය තේරී පත් වීම ඔහු ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් අද්‍යයක්ෂකවර්ස්‍යෙකු වීමට හේතුවිණි. ඔහුගේ පසුකාලීන කෘති වන දෑස නිසා සහ මඩොල් දූවද දේශීය විචාරකයන්ගේ සම්භාවනාවට පාත්‍ර විය.

ඒ වනවිට සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටයේ වැඩ කර අත්දැකීම් ලබා තිබූ ධර්මසේන පතිරාජයන් වර්ෂ 1974 දී ඔහුගේ කුළුඳුල් අධ්‍යක්ෂණය වන අහස් ගව්ව නිර්මාණය කරමින් කරළියට පැමිණේ. එය එකල දිය වී ගිය නාගරික තාරුණ්‍යයේ ආත්මය ග්‍රහණය කර ගැනීමට ඉවහල් වූ නිර්මාණයක් වූ අතර සිරිල් වික්‍රමගේ වැනි අතිදක්ෂ රංගන ශිල්පීන් හට කලාත්මක සිනමාවට අවතීර්ණ වීමේ දොරටු විවර කෙරිණි. 

ඒ හැරුණු විට සූරයන්ගෙත් සූරයා චිත්‍රපටය විසින් ත්‍රාසජනක, ක්‍රියාදාම සහ සංගීතමය ක්ෂානරයේ චිත්‍රපටවල ප්‍රවණතාවක් බිහිකිරීමට සමත් වූ අතර එය ශ්‍රී ලාංකේය සිනමාවේ සන්ධිස්ථානයක් ලෙස සැළකිය හැක. මෙම වාණිජ චිත්‍රපට, දරිද්‍රතාවය, අන්ධ නීතිය, අසාධාරණය සහ ආදරය යන ගැටලු පිළිබඳ සාකච්ඡා කළද ඒවා විදේශීය චිත්‍රපටයන්ගේ පරිවර්තනයන්,බැවින් එම චිත්‍රපටවලට එරෙහිව ඇතැම් විචාරකයෝ ප්‍රහාර එල්ල කරන ලදි.

Sanketh Wickramage

කලා ලෝකයෙහි අපි ආදරය කරන දක්ෂ තරු පවුලක සාමාජිකයෙක් සමග පිළිසදරෙහි යෙදෙන්නටයි අපගේ සුදානම. ඔබ අප කවුරුත් ආදරය කරන ප්‍රවීන රංගන ශිල්පීන් යුවලක් වන ආන්නද වික්‍රමගේ සහ මානෙල් වානගුරු දෙපළගේ දෙවෙනි පුත්‍රයා කිවාම ඔහු රංගනයෙන් දායක වුන ටෙලිනාට්‍යය කිපයක්ම ඔබට මතකයට නැගේවි.

එම ටෙලිනාට්‍යය අතරින් මෑත කාලයේදි ස්වාධීන රූපවාහිනියෙහි විකාශනය වු “කලු කුරුල්ලා” ටෙලිනාට්‍යය, සිරස TV නාලිකාවෙහි විකාශනය වු “චායා” ටෙලිනාට්‍යය සහ ස්වර්ණවාහිනියෙහි විකාශනය වු “කෝටිපතියෝ” ටෙලිනාට්‍යය ඔහුගේ රංගන හැකියාවන් මනාවට පිළිබිඹු කල ටෙලිනාට්‍යයන් වන අතර අපගේ හිතේද සුන්දර මතක සටහන් එකතු විශිෂ්ට නිර්මාණයන් වේ.

කුඩා කාලයේ සිටම කලාව තුලම හැදි වැඩුන ඔහු රංගනයේ දක්ෂතාවයන් සහ අත්දැකීමෙන් පරිපුර්ණ අයෙකු මෙන්ම ජනප්‍රියත්වයද එක ලෙසම පවත්වාගෙන ‍යන්නටද වාසනාවන්ත වුනා. නමුත් ඔහුව අපට මේ දවස්වල දකින්න නැත්තේ ඇයි? ඔහුගේ අලුත් තොරතුරු දැන ගන්නට අපි මෙවර සම්බන්ධ කර ගන්නේ අපි කවුරුත් ආදරය කරන සංකේත් වික්‍රමගෙ නම් වු රංගන ශිල්පයාවයි.

▪️සංකේත් වික්‍රමගේව අපිට මේ දවස්වල දකින්න නැත්තේ ඇයි?

පහුගිය කාලයේ විදෙස් ගත වෙන්න සැලසුම් කල නිසා සහ වෙනත් වැඩ කිපයක නියැලිමට සිදු වුන නිසා කලා නිර්මාණ සදහා දායකත්වය ලබා දෙන්න නොහැකි වුනා. මම දැනට මාස කිපයකට ඉහත දි එංගලන්තයෙහි පදිංචියට ආවා. ඉතින් මෙහෙ ඉදලා ලංකාවේ රූපගත කරන නිර්මාණය සදහා සම්බන්ධ වෙන්න අපහසු නිසා කලා කටයුතුවලින් කෙටි කාලයකට ඈත් වෙලා ඉන්න සිදුවෙනවා.

▪️ප්‍රේක්ෂක අප බොහෝ ආදරය කරන ඔබගේ පවුලේ අයගේ වතගොත ටිකක් කියමුද?

මගේ පවුලේ ඉන්නේ තාත්තයි, අම්මායි, අයියායි, මගේ බිරිඳ සහ අපිට දැන් චූටි පුතෙක් ඉන්නවා. අපි දෙන්නායි පුතයි බිරිදගේ තාත්තා සමග එංගලන්තයෙහි පදිංචි වෙලා ඉන්නවා. මගේ අම්මා සුපුරුදු පරිදි රංගන කටයුතු සදහා ඇයගේ දායකත්වය ලබා දෙනවා. මගේ තාත්තා පහුගිය කාලයේ අසනිපයෙන් හිටිය නමුත් ඔහු දැන් නිරෝගි සුවයෙන් ඉන්නවා. මගේ අයියා ජනිත් වික්‍රමගේ, එයත් සුපුරුදු පරිදි කලා කේෂ්ත්‍රයේ වැඩ කටයුතු වල යෙදිලා ඉන්නවා.

▪️ඔබගේ ජිවිතයේ ආදරය, ඔබේ ආදරණීය බිරිඳව අපට හදුනාවා දෙන්න කැමතියිද? ඇයව හමු වුනේ කොහොමද?

මගේ බිරිඳ අචිනි දුලංජලි දිල්හාරා. මම ඇයව දැන ගත්තේ මගේ යාළුවෙකුගේ මාර්ගයෙනුයි. ජනප්‍රිය පුද්ගලයන් සමග ගොඩක් දෙනෙක් හිතවත් වෙන්න, කතා බහ කරන්න කැමතියි. නමුත් අචිනි මට එහෙම විශේෂත්වයක් දැක් වුයේ නැහැ. මම එයාගේ ඒ ගතිගුණයට ගොඩක් කැමති වුනා.

මගේ අම්මා තාත්තා ලස්සන පවුල් ජිවිතයක් ගත කරනවා. අම්මා තාත්තට සලකන විදියට, ඔහුව රැක බලා ගන්න විදියට මම හරිම කැමතියි. අම්මයි මමයි හරි එකතුයි. මට සමහර වෙලාවට පොඩි බයකුත් හිතුනා අම්මා මගේ ලග නැති වුනොත් මට මොනවා වෙයිද කියලා.

මම ගිය ආත්මේ කරපු පිනකට වෙන්න ඇති අම්මා වගේම කෙනෙක් මට හම්බුනා. අචිනිගේ රූපයත් අම්මාට ගොඩක් සමානයි. ඉතින් අපි සතුටින් ජිවිතය ගත කරනවා.

ඒවගේම මගේ බිරිඳගේ තාත්තාව විශේෂයෙන් මතක් කරන්න ඕනේ. අපි කවුරුත් අදුරන් නැති නොදන්න රටක ජීවත් වෙන්න අවශ්‍ය ගුරුහරුකම් ලබා දෙමින් අපිත් එක්ක හැමදාම ලගින් ඉන්නවට තාත්තට මම මගේ හද පතුලෙන් ම ස්තුතිවන්ත වෙනවා.

▪️එංගලන්තයේ ජිවිතය කොහොමද? ලංකාවට යන්න බලාපොරොත්තුවක් තියනවාද?

එංගලන්තයේ ජිවිතය ගොඩක් හොදයි. ලංකාවට වඩා වෙනස් පරිසරයක් නිසා මට මෙහෙට තව හුරු වෙන්න වෙනවා. මම දැනට ව්‍යාපාරයක් මිලදි ගෙන තියනවා. මෙම දිනවල එහි නිතිමය කටයුතු කිපයක් කරගෙන යනවා. මෙහෙ හැමදේම ප්‍රමිතියකට අනුකුලවයි සිදු වෙන්නේ.

මම හිතන්නේ එංගලන්තය ජිවත් වෙන්න හොද රටක් නමුත් මගෙයි බිරිඳ ගෙයි බලාපොරොත්තුව ලංකාවේ චාරිත්‍රවලට අනුව ශ්‍රී ලාංකික පසුබිමක අපේ පුතාව උස් මහත් කරන්න.

මම කවදාවත් ලංකාව අමතක කරන්නෙ නැහැ. ඉදිරි කාලයේදි මගේම කලා නිර්මාණයක වැඩ කටයුතු ආරම්භ කරන්න ලංකාවට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

▪️ඔබේ රංගන ජිවිතයේ ආරම්භය පිළිබදව සහ මෙතෙක් රංගනයෙන් දායක වුන නිර්මාණ පිළිබදව කිවුවොත්..

මට වයස අවුරුදු 5 දි විතර මගේ තාත්තා රංගනයෙන් දායක වුන ටෙලිනාට්‍යයක් සදහා සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුනා. එය

මගේ පළමු ටෙලිනාට්‍යයයි. ඉන්පසු මට වයස අවුරුදු 10 දි විතර සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය තිර පිටපත රචනා කල කුලවමිය නම් ටෙලිනාට්‍යය සදහා තෝරා ගන්නවා. එම ටෙලිනාට්‍යයෙහි මට ලැබුනේ විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකුගේ චරිතයක් ‍රග දක්වන්නයි. ඒ සදහා එවැනි දරුවෙකු සමග මම හිතවත් වෙලා කාලය ගත කරමින් අධ්‍යනය කලා. එම ටෙලිනාට්‍යයෙහි මගේ පියා සහ මව ලෙස රංගනයෙන් දායක වුන ලකි ඩයස් මහතා සහ වසන්ති චතුරාණි මහත්මිය මට විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒ දෙපළව මම ආදරයෙන් මතක් කරනවා. මෙම නාට්‍යයෙහි මගේ චරිතය වෙනුවෙන් සිඩ්නිස් සම්මාන උළෙලෙහි සම්මානයෙන් ඇගයිම් ලබන්න මට හැකියාව ලැබුනා.

එමෙන්ම සුදත් රෝහණ මහත්මයාගේ එක ඉත්තක මල් සහ ගග අද්දර කැලේ යන ටෙලිනාට්‍යයන් සදහා රංගනයෙන් දායකවන්නට මට අවස්ථාව ලැබුනා. ඉන්පසු භාතිය සහ සංතුශ් දෙපලගේ උන්මාදිනි හැංගුනා ගීතයටද මට සම්බන්ධ වෙන්න පුලුවන් වුනා. ඒ අතරම පාසලේ කලා නිර්මාණය සදහා මම දායක වුනා.

කෙටි කාලයක විවේකයකින් පසුව ස්වාධීන රූපවාහිනියෙහි විකාශනය වු “කලු කුරුල්ලා” ටෙලිනාට්‍යය, සිරස TV නාලිකාවෙහි විකාශනය වු චායා ටෙලිනාට්‍යය සහ ස්වර්ණවාහිනියෙහි විකාශනය වු කෝටිපතියෝ ටෙලිනාට්‍යය වැනි ටෙලිනාට්‍යය කිපයකම රංගන දායකත්වය ලබා දෙන්න මට හැකියාව ලැබුනා.

ඉතින් එහෙත් මෙතෙක් මගේ රංගන ජිවිතය ගැන, මට ලැබුන අවස්ථාවන් ගැන මම සතුටු වෙනවා.

▪️ඔබගේ ජීවන රටාව අපට දකින්නට ලැබෙන අලුතින් ආරම්භ කල කාර්ය්‍ය පිළිබදව කියමුද?

මාව දන්න අදුනන අය මෙන්ම, මගේ ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක් අහනවා “ඔයා කොහෙද ඉන්නේ? මොකද කරන්නේ? ඇයි අපට පේන්න නැත්තේ? කියලා. ඉතින් මට ආදරය කරන, මගේ තොරතුරු දැන ගන්න කැමති ඒ හැමෝම වෙනුවෙන් මම හිතුවා Youtube channel එකක් ආරම්භ කරන්න.

මගේ ව්‍යාපාර කටයුතු සහ පෞද්ගලික වැඩ කටයුතු නිසා කාර්යබහුලත්වය වුවත් මට ආදරය කරන අය වෙනුවෙන් කාලය වෙන් කර ගෙන එංගලන්තයේ තියෙන විශේෂ ස්ථාන සහ රසමුසු තැන් youtube channel එකක් ඔස්සේ පෙන්වන්න බලාපොරොත්තුවක් තියනවා. ඇත්තටම කිවුවොත් මේ සදහා මටත් වඩා උනන්දුවක් තියෙන්නේ මගේ බිරිඳටයි.

ඉතින් මගේ ප්‍රේක්ෂකයන් සියලු දෙනාටම ආරාධනා කරනවා “Sanketh Wickramage” මගේ Youtube channel එක සමග එකතු වෙන්න කියලා.

▪️රංගන ක්ශේත්‍රයෙන් දුරස් විම පිළිබදව ඔබට දැනෙන්නේ කොහොමද? කලා හැකියාවන්ගෙන්, අත්දැකිමෙන් පරිපුර්ණ වු එමෙන්ම ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ඔබව අපට නිර්මාණ තුලින් ඉදිරියේදි දකින්නට ලැබේවිද?

මේ වනවිට ලංකාවේ ප්‍රමිතියකට අනුව බොහෝ උසස් නිර්මාණය බිහිවිම ගැන මම සතුටු වෙනවා. ඒ වගේම ඉතා දක්ෂ නවක රංගන ශිල්ප ශිල්පිනියන් ක්ශේත්‍රයට එකතු වෙලා ඉන්නවා. මම හිතනවා ඒ අයටත් අපි අවස්ථාව දෙන්න ඕනේ කියලා.

මම මීට පෙර සදහන් කලා වගේ ගුණාත්මක නිර්මාණයක් ආදරණිය ප්‍රේක්ෂකයන්ට ලබා දීමේ බලාපොරොත්තුවෙන් ඒ සදහා මුලික වැඩ කටයුතු මේ වනවිට සුදානම් කරමින් ඉන්නවා.

ඉස්සර වගේ කලා නිර්මාණ සදහා දායකත්වය ලබා දෙන්න නම් බැරි වෙයි. නමුත් කලාවෙන් ඈත් වෙලා නම් නැහැ.

අමා නාකන්දලගේ

ශාස්ත්‍රපති පූජ්‍ය තවලම බන්දුල ස්වාමින්වහන්සේ…

එදා 1953 වසරේ පොසොන් මස දෙවැනිදාවක් විය. දකුණු ලක ගාල්ල නඟරයේ උඩුගම ග්‍රාමයේ පිහිටි කුඩා රෝහලකින් ඇසුණු බිළිඳු හඬකි. එදා වාතලයට මුහුවු ඒ හඬ දිනෙක හිරු නොබසින අධිරාජ්‍යයේ හඬ නගාවියැයි ඒ බිළිඳා මෙළොවට බිහිකළ පෙම්බර මෑණියෝවත් සිතන්නට නැත. පොසොන් මස උදා වී ඇහැල මලින් පරිසරය කහපාටින් බැබලෙද්දී,රජයේ සේවකයකු වූ ජේ. ඊ. අමරසිංහ සහ පද්මාවතී විජේසේකර ඒකනායක නම් වූ එම දම්පතීන්ගේ තෙවැනි පිරිමි දරුවා ලෙස උපන් මේ කුල කුමරාට බන්දුල යැයි නම් තබනු ලැබිණ. 

දකුණු පලාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම්‍ පත්තුවේ තවලම නම් වූ සුන්දර ගම්මානය මේ ළඳරු බන්දුලගේ දෙමාපියන්ගේ ගම විය. මනබඳිනා සුන්දර කඳු වළල්ලකින් වටවු තවලම ගම්මානය සිංහරාජ වනය ආසන්නයේම පිහිටි අතර ගම මැදින් ගලා ගිය ගිං ගං කොමළිය ගමේ සුන්දරත්වය  තව තවත් ඉහළ නැංවීමට සමත්‍ වූවද අධික වැසි සමයන්හිදී ගංවතුර තර්ජනයෙන් ගම බිළිගැනීමටද අමතක නොකලාය. හැම වසරකම මෙය සිදු වූවත් ගම්මු කිසිදාක ගඟ හා උරණ නොවූයේ පරිසරයට පෙම් බැඳි ඔවුන් එහි අගය දැන උන් හෙයිනි. 

රජයේ සේවකයකු වීමේ වරදට කුඩා බන්දුලගේ පියාට රටේ තැනින් තැනට මාරු වී යාමට සිදු වූ අතර හෙතෙම ඒ යන සෑම තැනකටම තම දරු පවුළද රැගෙන ගියේ පවුළකට පියෙකුගේ ආදරය හා රැකවරණය නිරතුරුවම අවැසි බව එතුමන් ඇදැහූ සත්‍යක්ම වූ බැවිනි. එහෙත් මෙම සංචාරක දිවි පෙවෙත නිසා කුඩා බන්දුලට තවලම සුන්දර ගම්මානයේ එතරම් කාලයක් විසීමට නොලැබිණ. එමෙන්ම පස්වන වසරට සමත් වෙද්දී රට පුරාම පිහිටි පාසල් පහකට යෑමටද ඔහුට සහ ඔහුගේ සොයුරු සොයුරියන්ට සිදු විය. කුඩා බන්දුලට වැඩිමහළු සොයුරන් දෙදෙනකු උන් අතර ඔහුට බාල මලනුවන් දෙදෙනකු හා නැගෙණියන් සය දෙනෙකු සිටියහ. මව පියා ඇතුළු සාමාජිකයින් දහතුන් දෙනෙකු උන් එම පවුළ ඉතාමත් සතුටින් දිවි ගෙවූයේ කොයි පලාතට මාරුකර යැවූවද ඒ යන තැන දෙව්විමන තනා ගනිමිනි. 

පුංචි සංන්දියේ බන්දුල ළදරුවාට තිබූ ග්‍රහ අපලයක් නිදහස් කර ගැනීම සඳහා ඔහුව ආරණ්‍යකට පූජා කිරීමට දෙමාපියන්ට සිදු වූවද ඔහුව මහණ කිරීම සඳහා කැමැත්‍තක් මෙන්ම අකමැත්තක්ද ඔවුන්ගේ හදවත් තුළ නොතිබිණ. එහෙත් අනෙක් දරුවන්‍ අතරේ ඔහුට යම් විශේෂත්වයක් නම් දෙමාපියන්ගෙන් ලැබිණ. එනම් ඔහුට දඬුවම් ආදිය අඩුවෙන් දීමයි. කෙසේ වෙතත් උපතින්ම නිවුණු දරුවකු වූ පුංචි බන්දුලට දඬුවම් කිරීමේ අවශ්‍යතාවයක් දෙමාපියන්ට පැන නැඟුනේ නැත. 

කුඩා බන්දුල පාසල් යන වයසට කෙමෙන් ළඟා වූ අතර ඔහුගේ පියා ඔහුව ගාල්ලේ කලේගාන කතෝලික විද්‍යාලයට  නමෝවිත්තියෙන්ම ඇතුළත් කරනු ලැබිණ. ප්‍රාථමික පාසලක් වූ එහි ඔහුට ඉගෙන ගන්නට ලැබුණේ වසරකි. 

ඉන්පසුව ඔහුව සහ ඔහුගේ වැඩිමහල් සොයුරන් දෙදෙනාව ගාල්ලේ රිච්‍මන්ඩ් විද්‍යාලයට ඇතුළත් කිරීමට කුඩා බන්දුලගේ පියා සමත් විය. එහි එක දිඟට වසර කිහිපයක්ම ඉගෙනුම ලැබුමට තුන් සොහොයුරන් වාසනාවන්ත වූහ. 

එහෙත් හදිසියේම පියා රජයේ සේවකයකු වීමේ අභාග්‍යට මුහුණ දීමට ඔවුන් තිටදනාට සිදු විය. මෙවර පියාට මාරු වීම ලැබී තිබුණේ ඇතුගල් පුරයටය. ඒ, 1963 වසරේදීය. එහිදී දස හැවිරිදි බන්දුල කුරුණෑගල මලියදේව විද්‍යාලයට ඇතුළත් කරනු ලැබිණ. එහෙත් අවාසනාවකට එහි ඔහුට රැඳෙන්නට හැකි වූයේ වසරක වැනි කෙටි කාලයක් පමණි. ඒ, ඔහුගේ පියාට පොලොන්නරුවට මාරුවීමක් ලැබුණු බැවිනි. 

සිය පවුළම කැටුව පොලොන්නරුවට ගිය පියා කුඩා බන්දුලව පොලොන්නරුව තෝපාවැව මහා විදුහලට ඇතුළත් කළේය. එහිදි ඔහුට ඉගෙන ගැනීමට ලැබුණේ එකම එක වසරක් පමණි. ඉන්පසු ඔහුට යෑමට සිදුවූයේ කඳුරුවෙල මහා විද්‍යාලයටයි. වසරින් වසර එක් එක් පාසලට මාරු වී යාම බන්දුල දරුවාට දැනුනේ මහා වදයක් ලෙසිනි. තනිකරම දඬුවමක් විලසිනි. එමෙන්ම රිච්මන්ඩ් සහ මලියදේව වැනි ඉහල පාසල්වල ලැබූ අධ්‍යාපනයත් සමඟ සසැඳීමේදී මෙම කුඩා පාසල්වල ඉගෙනුම ඔහුට වහකදුරු මෙන් තිත්ත වීමට වැඩි දොහක් ගියේ නැත. ඒත් සමඟම ඔහුගේ සිතට ආවෙ කඳිම අදහසකි. එනම් මහනවීමට යෑමයි. 

හොඳ දිනයක් එනතුරු ඇඟිලි ගනිමින් හුන් බන්දුල ගැටවරයා තම අදහස දෙමාපියන් හමුවේ තැබුවත් ඔවුන් ඊට කැමති වූයේ නැත. එහෙයින් දිඟටම ඒ ගැන කන්නලව් කරන්නට ඔහුට සිදු විය. අවසානයේ මෙය වදයක් වනතුරුම උග්‍ර වූ විට එක පොරොන්දුවක් මත මහන වීම සඳහා ඔහුට අවසර ලැබිණ.  එනම් කිසිමදාක සිවුරු නාරින බවට වූ පොරොන්දුවයි. 

මේ කාලයේ මහන වීමට මාර්ගයක් සොයමින් හුන් බන්දුල කොලු ගැටයාට දිනෙක පුවත්පතක පළ වී තිබූ දැන්වීමක් අහම්බෙන් ඇස ගැටුණේ දෛවයේ සරදමක්‍ විලසිනි. එනම් මහන කිරීම සඳහා යම් පිරිවෙනකින් කුළ දරුවන් සොයනා බවයි. වහා ක්‍රියාත්‍මක වූ හෙතෙම තම දෙමාපියනට මේ බැව් දැන්වීය. මහනවීම සඳහා අම්බලන්ගොඩ මහාචේතිය පිරිවෙනට යා යුතු වූ අතර 1964 වසරේ දිනෙක දෙමාපියන් සහ නෑදෑයින්ද කැටුව ඔහු එහි ගියේය. මහනවීමට සූදානම්වීමක් වශයෙන් මාස දෙකක පමණ කාලයක් පිරිවෙනේ නතර වී සිටීමට කුඩා බන්දුලට සිදු විය. ඉන්පසු එම වසරේම දිනෙක ඔහුව මනකරනු ලැබූවත් වැඩි දොහක් එම පිරිවෙනේ සිටීමට පොඩි හාමුදුරුවන්ට නොහැකි විය. ඒ විහාරස්ථානයේ ඇතිවූ අරබුද තත්ත්වයක් හේතුවෙනි. ඔහුගේ පියා වහා පැමිණ පොඩි හාමුදුරුවන්ව පොළොන්නරුවට කැටුව ගිය නමුදු හාමුදුරුවන්ට කුමක් කළ යුතුදැයි නිශ්චිත සැලසුමක් ඔහු තුළ නොවීය. 

මෙසේ කාලය ගතවෙද්දී පුංචි හාමුදුරුවන්ගේ මෑණියන්ගේ ඥාතීන් දෙදෙනකු වූ එවකට ප්‍රසිද්ධ සඟරුවන් ද්විත්වයක් පිළිබඳව ඔවුන්ට සිහිපත් විය. ඉන් එක හාමුදුරුනමක් වූයේ ගාලු පලාතේ ප්‍රධාන සංඝනායක වූ නෙලුවේ ශ්‍රී ගුණානන්දාබිධාන මහා නායක ස්වාමින් වහන්සේය. උඩුගම ශ්‍රී සාසනාලංකාරාමයෙහි වාසය කළ උන්වහන්සේ ඉතාමත් චතුර ලෙස ධර්මදේශනාවේ සමතකු වූ අතර පළාතේම ඉතාමත් ප්‍රසිද්ධ සඟරුවනක් විය. උන්වහන්සේ අනගාරික ධර්මපාල තුමන් සමඟ එකට කටයුතු කරමින් හා එතුමා අනුව යමින් පාසල් රාශියක් පලාතේ ඇරඹීමට මූලිකව ක්‍රියාකළ අතර සමාජයට සිදුකළ මෙහෙය අපමණ විය. 

අනෙක් ඥාති ස්වාමින්වහන්සේ වූ නෙළුවේ ශ්‍රී ජිනරතන ස්වාමින් වහන්සේ ඉන්දියාවේ කල්කටා නුවර පංසලක විසූ අතර අනගාරික ධර්මපාල තුමන් ඇරඹූ ඉන්දියානු මහාබෝධි සමාඟමේ ලේකම්වරයා විය. 

ඉඳින් , පුංචි හාමුදුරුවන්ව උඩුගම සාසනාලංකාරාමයට ගෙනගොස් ඇරලීමට පියා කටයුතු කළ අතර 1966 වසරේදී නැවතත් පැවිදි දිවියට ඇතුළත්කරනු ලැබිණ. එහිදී මෙම කටයුත්තට නාකියාදෙණිය ශ්‍රී සරණපාල පිරිවෙනේ නායක හාමුදුරුවන් වූ කදුරුපොකුණේ ධම්මාවංස හාමුදුරුවන් මූලික වී කටයුතු කළ අතර කුඩා හාමුදුරුවන්ගේ සිවුරුපටිය කරේ බඳින ලද්දේද උන්වහන්සේ විසිනි. මෙහිදී පොඩි හාමුදුරුවන්ට නමක් ලබා නොදුන් අතර ඕනෑ නමක් දමාගැනීමට අවසර දෙනු ලැබිණ. එහෙයින් උන්වහන්සේගේ ගිහි කල නම වූ බන්දුල යන නමම පාවිච්චියට ගැනුනු අතර දෙමාපියන්ගේ ගමේ නමද මුලට යොදා තවලම බන්දුල නමින් දෙවැනි වරට පැවිදි දිවිය ඇරඹූ සේක. 

ඉන්පසු නාකියාදෙණිය ශ්‍රී සරණපාල පිරිවෙනින් අධ්‍යාපනය ලැබීම ඇරඹූ තවලම බන්දුල ස්වාමින් වහන්සේ එහිදී හොඳින් ඉගෙනීමේ කටයුතු කරමින් ප්‍රාචීන ප්‍රාරම්භක විභාගය සහ ප්‍රාචීන මධ්‍යම විභාගයද සමත්ව අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළද ඉහලින්ම සමත් වීමට හැකියාව ලබා ගත්හ. 

1974 වසරේදී මහණුවර මල්වතු මහා විහාරයේදී උපසම්පදාවද ලබා ගත් තවලම බන්දුල ස්වාමින් වහන්සේ 1975 වසරේදී පේරාදෙණිය සරසවියේ කලා පීඨයට ඇතුළු වූහ. එහිදී වසර 4 ක් පුරා සමාජ විද්‍යා විෂය හදාරා 1979 වසරේදී දෙවැනි පෙළ ගෞරව උපාධියක්ද සමඟින් තම උපාධිය සම්පූර්ණ කළේ උන්වහන්සේ සතු නිසර්ග හැකියාවන් ප්‍රදර්ශනය කරමිනි. 

1979 වසර වෙනවිට රටේ ඇතිවූ ආරථික සහ සාමාජීය වෙනස්කම් සහ තම ගුරුදේවයන් වූ නෙළුවේ ශ්‍රී ගුණානන්ද යතිවරයානන්ගේ අපවත්වීම ආදිය හමුවේ මේ ලිපියේ කතානායක ස්වාමින්වහන්සේ වූ තවලම බන්දුල හාමුදුරුවන්ට තම දිවියේ යම් වෙනසක් ඉතාමත් තදබල ලෙසින් දැනෙන්නට විය. එනම් මව්බිමෙහිම මෙලෙසින් වසනවාද නැතිනම් ලෝකයේ වෙන රටකට ගොස් ධර්මප්‍රචාර කටයුතු කරමින් ලෝකයට සමාජයට සේවයක් කරනවාද යන්නයි. 

මේ මොහොතේ උන්වහන්සේගේ මතකයට එකවරම ආවේ කල්කටාවේ සිටින තම ඥාති ස්වාමින් වහන්සේ වූ නෙළුවේ ශ්‍රී ජිනරතන හාමුදුරුවන්වය. වහා තම අදහස එනම් අධ්‍යාපන හමාරකොට ඇතිබව, ශ්‍රී ගුණානන්ද හාමුදුරුවන්ගේ අභාවය සහ තමන් පිටරටක ධර්මප්‍රචාරයට ඇති කැමැත්ත යන කාරණා දක්වා ලියමනක් තැපැල් කළේ ලැබෙන ඕනෑම පිළිතුරක් බලාපොරොත්තුවෙනි. එහෙත් ලැබුණු පිළිතුර බන්දුල හාමුදුරුවන්ගේ බලාපොරොත්තු පුබුදුවාලීමට සමත් විය. 

ලැබුණු ඇරයුම ඉතසිතින් බාරගත් බන්දුල හාමුදුරුවෝ තමන්ගේ මිත්‍ර හිමිනමක් වූ අත්තනගල්ලේ ලංකානන්ද ස්වාමින් වහන්සේත් සමඟ කොළඹ කොටුව දුම්රියපළින් ප්‍රවේශපත්‍ර ගෙන තලේමන්නාරම දක්වා දුම්රියෙන් ගොස් එතැන සිට බෝට්ටුවක දකුණු ඉන්දියාවේ චෙන්නායී නුවරට ළඟා වූහ.  එතැනිනි කල්කටාව බලා ගිය උන්වහන්සේලා දෙනම ශ්‍රී ජිනරතන හාමුදුරුවන් බැහැදැක කල්කටාවේ එම විහාරස්ථානයේ දින කිහිපයක් ලැගුම් ගත්හ. 

ඉන්පසු ගුණානන්ද හාමුදුරුවන්ගේ මඟපෙන්වීම යටතේ ලංකාවෙන් පැමිණි මෙම නව යොවුන් හාමුදුරුවරු දෙනම කල්කටාවෙ වෙනත් ප්‍රාදේශීය විහාරස්ථානයක වැඩකටයුතු බලාකියාගෙන ධර්මප්‍රචාරක කටයුතු කිරීම සඳහා යවනු ලැබිණ. එතැන ටික දිනක් ඒ වැඩ කරමින් සිටිනා විට බන්දුල හාමුදුරුවන්ට සිතුනේ තම අධ්‍යපන සුදුසුකම් හා දැණුම අනුව මීට වඩා වැඩි සේවයක් සමාජයට හා බෞද්ධ ප්‍රජාවට කළ හැකි බවයි. එහෙයින් මේ ගැන දන්වා එම විහාරස්ථානයේ කටයුතු ලංකානන්ද හාමුදුරුවන්ට පැවරූ බන්දුල හාමුදුරුවෝ ආපසු කල්කටා විහාරයට වැඩමකොට  එහි උප ප්‍රධාන සංඝනායක තනතුරද හොඹවමින් එහි වසර අටක කාලයක් ගත කළේ තමන් සතු ආගමික හා පරිපාලන හැකියාවන් මොනවට ප්‍රදර්ශනය කරමිනි. 

ඒ කාලයේ දී කල්කටා විශ්ව විද්‍යාලයටද ඇතුළත් වූ උන්වහන්සේ පුස්තකාල සම්බන්ධ උපාධියක් සම්පූර්ණ කර ගැනීමට සමත් වූ අතර තමන් උපාධිය ගෙන තිබූ සමාජ විද්‍යා විෂයෙන්ම ශාස්ත්‍රපති උපාධියද දිනා ගැනීමට කටයුතු කළහ. 

කල්කටාවේ විහාරස්ථානයේ වැඩවසන සමයේ නෙළුවේ ශ්‍රී ජිනරතන ලොකු හාමුදුරුවන්ගේ මඟපෙන්වීම යටතේ කල්කටාවේද අනාථ නිවාසයක් නිර්මාණය කර ඒ තුළින් අන්ත අසරණ කාත්කවුරුත් නොමැති ළමුන්ට සරණක් වූයේ අනගාරික ධර්මපාල තුමන් ගත් මඟ යමිනි. අනගාරික ධර්මපාල පදනමේ උදව්වෙනි. 

මෙසේ කාලය ගෙවී ගිය අතර 1983 වසරේ දී නෙළුවේ ශ්‍රී ජිනරතන ලොකු හාමුදුරුවන්ගේ අපවත්වීමත් සමඟම එම විහාරස්ථානයේ පරිපාලන කටයුතුවල විශාල වෙනස්කමක් සිදුවිය. පූජ්‍ය මාපලගම විපුලසාර හිමියන් මහා බෝධි සමාගමේ නව ලේකම් ධූරයට පත් වී පැමිණි අතර උන්වහන්සේ සමඟද අපේ තවලම බන්දුල ස්වාමීන්වහන්සේ තමන්ට පැවරුණු  වගකීම් ඉටුකරමින් විහාරස්ථානයේ සහ සමාජයේ දියුණුවට කටයුතු කළහ. එහෙත් තම දෙවැනි ගුරුදේවයන්ගේද අභාවයෙන් පසු වෙනත් තැනකට යෑමට කාලය පැමිණ ඇතිබව උන්වහන්සේට සිතිණ. මේ අදහස මාපලගම විපුලසාර ස්වාමීන්වහන්සේට සැලකළ විට උන්වහන්සේ ඉතාමත් කරුණාවෙන් යුතුව ලංඩනයේ බෞද්ධ විහාරයේ පුරප්පාඩුවක් ඇතිබව සැලකර සිටියේ බන්දුල හාමුදුරුවන්ගේ බලාපොරොත්තු ඉහළ නංවමිනි. 

එකල ලංඩන් බෞද්ධ විහාරය බටහිර ලංඩනයේ චිසික් නගරයේ හීත්ෆීල්ඩ් ගාඩ්න්ස් පාරේ පිහිටි අතර එහි නායකත්වය දැරුවේ පූජ්‍ය මැදගම වජිරඥාණ ස්වාමීන්වහන්සේ විය. විපුලසාර හිමියන් වජිරඥාණ හිමියන්ට ලිපියක් යැවූ අතර ඊට කැමැත්ත පළකෙරුනෙන් ලංඩනයට යෑම සඳහා වීසා ගැනීමට අපගේ බන්දුල හාමුදුරුවන්ට ලංකාවට යෑමට සිදු විය.  ඒ 1987 වසරේ දීය. කොළඹදී සම්මුඛ පරීක්ෂනයකට මුහුණදුන් බන්දුල හිමියන් එයින් සමත්ව තෙවසරක කාලයක් සඳහා ලංඩනයට පා තැබුවේ 1987 වසරේදීමය. 

එවකට ලංඩන් විහාරයේ දායක පිරිස දෙකට බෙදී යම් අරබුධකාරී තත්ත්වයක් පැන නැගී තිබිණ. සමාජ විද්‍යාව හා පරිපාලනයේ හසල දැණුමක් තිබූ බන්දුල ස්වාමින් වහන්සේ වජිරඥාණ නායක හාමුදුරුවන්ගේද අනුශාසනය යටතේ මෙම අරබුදකාරී තත්ත්වය සමනය කොට දායකයන් අතර සමගිය ගොඩනැඟීමට සමත් වූහ. එහිදී විහාරස්ථානයේ අයවැය කටයුතු හා ප්‍රචාරක කටයුතු ආදිය කිරීම බන්දුල හාමුදුරුවන්ට පැවරුණු අතර උන්වහන්සේ විහාරස්ථානයේ දහම්පාසල ඇරඹීමටද මූලික වී ක්‍රියා කළහ. මේ අතර කොම්පියුටර් තාක්ෂණයද ඉගෙන ගත් අපේ බන්දුල ස්වාමීන්වහන්සේ දායකයන්ගේ දත්ත ගබඩාකර ගැනීම ඔවුන්ට ඊමේල් යැවීම ආදි කටයුතුද මැනවින් ඉෂ්ඨ කරමින් විහාරස්ථානයේ දියුණුවට උර දුන්හ. වසර කිහිපයකට පසු 1994 දී ලංඩන් බෞද්ධ විහාරය එය වර්ථමානයේ පිහිටි දි ඇව්නිව් පාරට ගෙන එනු ලැබිණ. 

එතැන්පටන් විහාරයට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට පමණක් නොව සුදු ජාතිකයින්ටද ධර්මය කියාදෙමින් ඒ සැමටම සැනසීමක් ලබාදීමට අපේ බන්දුල හාමුදුරුවෝ කටයුතු කළහ. එමෙන්ම විහාරයට අඩුවක්ව තිබූ වෙබ් අඩවිය නිර්මාණය කිරීම, දායකයන්ගේ දත්ත ගබඩා කිරීම, ඊමේල් යැවීම ආදිය උන්වහන්සේගේ ක්‍රියාත්මක කළ අතර ඒ සඳහා දැණුම ලබා ගත්තේ තේම්ස් වැලි විශ්ව විද්‍යාලයට ඇතුල් වී උන්වහන්සේ ලබාගත් පුස්තකාල සහ තාක්ෂණ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා උපාධියට පිංසිදු වන්නටය. මෙයින් අපට පෙනී යන්නේ ඉගෙනුමට සහ තමන් සිටිනා ආයතනයේ දියුණුව සඳහා උන්වහන්සේගේ ඇති කැපවීම සහ නොපසුබට උත්සහයේ තරමයි. 

විහාරස්ථානයේ දියුණුවට ,ආගමික සහ සාමාජික කටයුතු සඳහා තම දිවියම කැප කළ උන්වහන්සේ තමන් කල්කටාවේදී ක්‍රියත්මක කළ සුබසාදන වැඩකටයුතු අනුව යමින් රාහුල අරමුදල නමින් සුබසාදන අරමුදලක් පිහිටුවීමට මූලික වී කටයුතු කළ සේක. දායකයන්ගේ සහ වර්ථමාන ලංඩන් බෞද්ධ විහාරාධිපති පූජ්‍ය බෝගොඩ සීලවිමල ස්වාමින්වහන්සේගේද සහය ඇතිව ඉතාමත් සාර්ථකව පවත්වාගෙන යනු ලබන රාහුල පදනමින් ලංකාවේ පමණක් නොව නේපාලයේ පවා නැතිබැරි ළමුන්ගේ සුබසාධනය හා ඉගෙනීමේ කටයුතු සඳහා සලසනුලබන සේවය අතිමහත්ය. දැනට ළමුන් දාහක් පමණ මෙම අරමුදලින් පිහිට ලබන අතර ඉන් ආධාර උපකාර ලබා තම දිවිය සාර්ථක කරගත් ළමුන්ද බොහෝ පිරිසකි. වසර 22 ක් පුරා අඛණ්ඩව  ක්‍රියත්මකවන රාහුල පදනමේ නිර්මාතෘ අපේ බන්දුල හාමුදුරුවන් බව ගෞරවපූර්වකව නැවතත් සිහිපත් කරනුයේ උන්වහන්සේට කෘතවේදීත්වය පළකිරීමක් වශයෙනි. 

ඔබ දැන් කියවා අවසන් කළේ මේ වසරේ පොසොන් මස දෙවැනිදාට තම දිවියේ සැත්තෑවන සැතපුම් කනුවට පියනඟන ශාස්ත්‍රපති පූජ්‍ය තවලම බන්දුල ස්වාමින්වහන්සේ මෙතෙක් පැමිණි ගමන් මඟයි.  බොහෝ ස්වාමීන්වහන්සේලා මෙන් තමන්ගේම කියා පන්සලක් තනාගැනීම තම දිවියේ මූලිකම දෙය වශයෙන් සලකා ඒ සඳහා උනන්දු නොවූ අපේ බන්දුල හාමුදුරුවෝ තමන් වැඩවසනා විහාරස්ථානයේ දියුණුවට සහ එයට අනුබද්ධිත දායක දායිකාවන්ට ආගමික හා සාමාජීය සැනසීමක් උදාකර දීම තම දිවියේ උතුම්ම යුතුකම හා වගකීම ලෙස සිතා කටයුතු කළ සේක. උන්වහන්සේගේ ජීවන ගමන් මඟ අප කාටත් ආදර්ශ ලබාගත හැකි ඉතාමත් සාරථක ගමන් මඟක් වන්නේ එහෙයිනි. මෙම සටහන අවසන් කිරීමට මත්තෙන් මේ සඳහා මට තොරතුරු ලබා ගැනීමට දායක වූ ලංඩනයේ කිරණ ටීවී ජාලයේ විසින් උන්වහන්සේගේ දිවිය අළලා නිර්මාණය කරන ලද “යතිවර ගවේෂණය” වැඩසටහන වෙනුවෙන් කිරණ ටීවී ජාලයට මගේ ස්තූතිය පුදකරමි. මෙම සාසනික හා සමාජීය සේවාව තව තවත් ඉදිරියටම රැගෙන යමින් තව තවත් අපේ රටට හා සමාජයට සේවය කිරීමට අවශ්‍ය කායික හා මානසික නිදහස පූජ්‍ය තවලම බන්දුල ස්වාමින් වහන්සේට ලැබේවායි සහ උන්වහන්සේට නිදුක් නිරෝගී සුබම සුබ හැත්තෑවෙනි ජන්ම සංවත්සරයකට සුබාසිරි පතමින් මම මේ සටහන අවසන් කරමි.

සටහන- චන්දන ගුණසේකර

බය නොවන්න

(යෙසායා 41:10)

බිය නොවන්න; මම නුඹ සමඟ ය. මා නුඹේ දෙවිඳාණන් වන බැවින් තැති නොගෙන සිටින්න. මම නුඹ ශක්තිමත් කර නුඹට උපකාර කරන්නෙමි. මාගේ ජය හස්තයෙන් නුඹ ආරක්ෂා කර නුඹ ගළවන්නෙමි.

මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි දෙවියන් වහන්සේ තුළ ඔබ සැමට ආශිර්වාදමත් මාසයක් වේවා!!

හොඳයි අද දවසේ අපි බලන්න යනවා අපි බය වන්නේ කුමකටද අපි දෙවියන් වහන්සේගේ දරුවන් ලෙසට අපි බිය විය යුතු දැයි කියා.ඉතිං ඔබ මොහොතක් ඉහත බයිබල් පදය දෙස ඔබගේ මනස යොමු කරන්න. බලන්න උන්වහන්සේ අපට පැහැදිලිවම කියා තිබෙනවා බය නොවන්න කියලා මන්ද උන්වහන්සේ කියනවා මම නුඹ සමග සිටිමි කියා.ඉතින් මාගේ සහෝදරයෙනි අපි ඇයි බය වෙන්නේ උන්වහන්සේ පැහැදිලිවම ප්‍රකාශ කරනවා අපි සමග සිටින බව. එම නිසා ඔබගේ අනාගතය ගැන තිබෙන බය අද දවසේ සම්පූර්ණයෙන්ම අයින් කරගන්න ලෙස මම ඔබට ඉතා ප්‍රීතියෙන් ප්‍රකාශ කර සිටිනවා. එම නිසා ඔබ කිසිදු ප්‍රශ්නයකට බයවෙන්න එපා තැති ගන්න එපා මන්ද උන්වහන්සේ අපට පැහැදිලිවම ප්‍රකාශ කරනවා මම නුඹේ දෙවියන් වහන්සේ කියා. ඉතින් දෙවියන් වහන්සේ අප සමග නම් අපි බිය වන්නේ කුමකටද.එම නිසා අදම ඔබගේ බිය හිතින් අයින් කරගන්න.

හොඳයි ඒ වගේම අපි තව බයිබල් පදයකට යොමුවෙමු..

(ගීතාවලිය 23:4)

මරණය වැනි ගන’ඳුරු රුදුරු නිම්නය මැදින් ගියත්, ඔබ මා සමඟ බැවින්, මට කිසි බියක් නොවන්නේ ය. ඔබේ කෙවිට ද සැරයටිය ද මා නියත සැනසිල්ල වන්නේ ය.

බලන්න මෙම පදයේ ප්‍රකාශ කරන්නාවූ දේ.අපගේ ජීවිතයට මරණාසන්න ප්‍රශ්නයක් ආවත් දෙවියන්  වහන්සේ අපව එයින් මුදවගන්නවා. ඔබ උන්වහන්සේව තදින් විශ්වාස කරනවා නම් උන්වහන්සේ ඔබගේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරලන යනවා. ඒ වගේම අවසාන වශයෙන් මා තව එක් පදයක් ප්‍රකාශ කොට මෙම ලිපිය අවසන් කරන්න යනවා.

(නික්මයාම 14:13)

මෝසෙස් සෙනඟට පිළිතුරු දෙමින්, “බිය නොවන්න, ස්ථිර ව සිටින්න, සමිඳාණන් වහන්සේ අද ඔබ ගළවාලන පිණිස උන් වහන්සේ ඉටු කරන දේ ඔබ දකින්නහු ය. අද ඔබ දකින මිසර වාසීන් මින්පසු ඔබ කවදා වත් නොදකින්නහු ය.

ඔබ බලන්න දෙවියන් වහන්සේ මෙතනත් අපට ප්‍රකාශ කරනවා බයවෙන්න එපා කියලා. අපට නිශ්චලව සිට උන්වහන්සේ කරන ගැලවීම දෙස බලා ඉන්න කියා. ඉතින් මගේ සහෝදරයිනි තවත් බයට ඉඩ තබන්න එපා..

ඔබ සැමට ජේසු පිහිටයි!!

ඉවැන්ජලිස්ත අමිල දිසානායක 

මාර්ගය සහෝදරත්වය සභාව – මහරගම 

දුෂ්කරක්‍රියා කළ දුර්ගේෂ්වරිය 

බුද්ධගයා පුණ්‍යභූමිය සියැසින්ම දැක මුළු හදවතින්ම වැඳ පුදාගත් ඔබ බුද්ධගයාවේ සිට නේරංජනා ගඟ හරහා දිවෙන පාලම පසු කොට කිලෝමීටර් පහළොවක පමණ දුරක් ගිය විට ඉතා රමණීය වූ දුර්ගේෂ්වරි නමින් හඳුන්වන කඳු වළල්ලක් ඔබට දැකගත හැකිය. 

විමුක්තිය උදෙසා සියලු සැප සම්පත් අත්හළ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ රජගහ නුවරත්, ගයාව ආශ්‍රිත කඳු වළල්ලත් ඇසුරු කරමින් සය අවුරුද්දක පමණ කාලයක් දුෂ්කර ක්‍රියාවේ යෙදුණ බව ඔබට මතක ඇති. දුර්ගේෂ්වරි කඳු වළල්ලෙහි සොයා තහවුරු කොට ඇති ගල් ලෙන තුළද, උන්වහන්සේ බොහෝ කාලයක් වැඩ සිටිමින් දුෂ්කර ක්‍රියාවේ යෙදී ඇත. දුර්ගේෂ්වරි කඳු පාමුල සිට ඒ පින් බිම වෙත පා ගමනින් යා යුතුය. එය තරමක් වෙහෙස කර කටයුත්තක් ලෙස පෙනුණද, බුදුගුණ සිහි කරමින් ඒ අසිරිමත් පුණ්‍ය භූමිය සියැසින් දැකගැනීම පිණිස ඔබ යා යුතුමය. 

දුෂ්කර ක්‍රියා කළ ගල් ලෙන ඉදිරියෙහි පිහිටා ඇති වසර තුන් දහසකට වඩා පැරණි යැයි තහවුරු කොට ඇති සියඹලා ගසක් ඔබට එහිදී දැකගත හැකිය. එහි පැරණි කඳ 

තවමත් දිරායමින් තිබෙන අයුරු ඒ අසලට ගිය විට දැකගත හැකිය. දුෂ්කර ක්‍රියා කරන අවධියෙහි ගස්වල කොළ, පොතු පමණක් ආහරයට ගත් බව ඔබ අසා ඇත. පාත්‍රයට වැටෙන කොළයක් පමණක් ආහාරයට ගනිමින් දුෂ්කර ක්‍රියා කළ බව අසා ඇත. මේ පැරණි සියඹලා වෘක්ෂයෙහි කොළ, පොතු ආහාරයට ගනිමින් දුෂ්කර ක්‍රියා කරන්නට ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසයයි. 

දුර්ගේෂ්වරි පුණ්‍ය භූමිය සියැසින්ම දැක වැඳ පුදාගැනීමෙන් පසුව යළිත් ටික දුරක් බුද්ධගයාව දෙසට එන විට ‘සුජාතා’ නම් ගම්මානය හමු වෙයි. එහිදී සුජාතා සිටු දේවිය ජීවත් වූ සිටු මැඳුරෙහි නටබුන්, සුජාතාව කිරිපිඬු පූජා කළ පුණ්‍ය භූමිය, පූජනීය නේරංජනා නදිය, සොත්තිය නම් බමුණා කුස තණ මිටි අටක් පූජා කළ පුණ්‍ය භූමිය ආදී වැදගත් ස්ථාන රැසක්ම ඔබට දැක බලා වන්දනා කළ හැකිය. 

ගලිගමුවේ ඤාණදීප හිමි – දඹදිව බුද්ධ භුමි ග්‍රන්තය 

තෙරුවන් සරණයි !සදහම් අමා වැස්ස

හුලංගල Mini Worlds End

ඉතිං ආයුබොවන්……. මම නිසංසලා….

ඔන්න අදත් මං අරන් ආවා අපේ රටෙි තවත් සුන්දර ලස්සන තැනක් ගැන විස්තර……. හැබැයි මෙි ගමන නමි මං ගියේ තනියම… ගමන යන්න කලින් මං කීපදෙනෙක්ගෙන් විස්තර ඇහුවා… මොකද අපි කොහේ හරි මිට කලින් ගියෙ නැති තැනකට ඇවිදින්න තනියම යනවා නමි එ යන තැන ගැන අවබොදයක් අරන් යන්න ඔින.. මුලින්ම ස්තුති කරනවා මඟ විස්තර දුන්න කීපදෙනාට විශේෂයෙන් solo traveling පිස්සුව youtube channel එක කරන මිත්‍රයාට…

      ඉතිං මුලින්ම මෙි ගමන මම තනියම යනවා කිවුවාම කිපදෙනෙක් මට තනියම යන්න එපා කිව්වා. බීපු මිනිස්සු ඉන්නවා කිවුවා.. තවත් එක එක දේ කිව්වා.. එ නිසාමයි මං විස්තර හොයා බැලුවෙි… ඉතිං මං ගියා තනියම.. ජිවිතේ එක පාරක් හරි තනියම travel කරන්න ඔින…මොකද එ මානසික නිදහස කවුරුත් කිවුවාට වැඩක් නැ තමන්ම විදලා බලන්න ඔින…. මං නමි ඉතිං කොහොමත් ඇවිදිනවානේ.. තනියම යනවා වගේම යාළුවො එක්කත් මං යනවා..

       මාතලෙන් මම ගමන පටන්ගත්තෙ හරියටම මගේ උපන්දිනය දවසේ මැයි හතර වෙනිදා උදේ හතට.. ඉතිං මං ආවෙි නකල්ස් කදු පන්තියේ දකුණු කෙළවරේ තියන හුලංගල පුංචි ලෝකාන්තය හොයාගෙන, හුලංගලට නැවුගල කියලත් කියනවා… මාතලේ ඉදන් උදේ හතට මං ගමන පටන් ගත්තේ, හරියටම හත වෙද්දි මාතලෙන් එනවා බස් එකක් සැලගමට..

බස් එක හරියටම අට වෙද්දි ලගා උනා සැලගම වතුයායට යන මාර්ගය තියන නා ගහා ලගට… එ ලග පන්සලකුත් තියනවා… බය වෙන්න දෙයක් නැ නිතරම මිනිස්සු ගැවසෙන මාර්ගයක්….. නා ගහා ලග ඉදන් වතුයායේ ටිකටි ගන්න තැනට 3km විතර යන්න තියනවා, ටිකක් කන්ද.. එතන ඉදන් ත්‍රිවිල් එකකින් යන්න පුළුවන් ටිකටි ගන්න තැනට.. ත්‍රිවිල් එකට රුපියල් 500ක් ගන්නවා. මං නමි ඔයාලට විස්තර කියන්න ඔිනම නිසා පයින් ආවා.. එ යන පාරෙත් ලස්සන view එකක් බලාගන්න පුළුවන්.. හුන්නස්ගිරි කන්ද පෙනවා එ හරියට හරි අපුරුවට ඈතින්.. මං ටික දුරක් පයින් එද්දි ත්‍රිවිල් එකක් ඇවිත් නතර කලා. එකේ හිටියෙ ලයිමි නිවාස වලට පහලින් තියන දෙමළ පාසලේ ගුරුවරියක්.. ඇය හිටිය හින්දා මං ත්‍රිවිල් එකට ගොඩ උනා.. හුලංගල ටිකටි ගන්න තැනට මං ගියේ එහෙම. රුපියල් 200යි මගෙන් ගත්තේ…

      හුලංගල viewpoint එකට යන්න එක්කෙනෙකුට ටිකටි එක රුපියල් සියයි.. කොහොම හරි ත්‍රිවිල් එකෙනුත් ආව නිසා 8.30 වෙද්දි මං ටිකටි ගන්න තැනින් ටිකටි එකත් අරන් ගමන පිටත් උනා එ හීන දැකපු ලස්සන තැනට යන්න… මගෙ උපන්දිනයට මම මටම තැග්ගක් දෙන්න… මාරම ලස්සන වටපිටාවක් පහු කරන් මං ඉදිරියට ගියේ මගේ තනියට ආව බලු යාළුවො හතර දෙනෙක් එක්ක. එයාලා ගැන නමි කියන්නම ඔින. මට පාර පෙන්නුවෙි එක්කෙනෙක් මටත් කලින් ඉදරියෙන් ගිහින්…

ලස්සන වටපාටාවක්.. මං හිතන්නේ 3kmක් විතර දුරක් තියනවා ටිකටි ගන්න තැන ඉදන් viewpoint එකට…. මහන්සි දැනුනත් වටපිටාව දැක්කාම එ මහන්සිය නැති වෙලා යනවා… එ තරමි සුන්දරයි… තනියක් දැනුණේම නැ මට.. හෙමින් ගීතයක් මුමුණාගෙනම මාත් එක්ක ආව බලු යාළුවන් එක්කත් කතා කර කර මං හරියටම විනාඩි හතලිහක් ඇතුලත viewpoint එකට ආවා.. මගේ මහන්සිය තනිකම කොහෙන් ගියාද කියලා මටවත් හිතාගන්න බෑ… මං කෑ ගැහුවා සතුටට.. මුළු හුලංගලටම හිටියේ මං විතරයි…. මගේ උපන්දිනේට මං දුන්න ලස්සනම තැග්ග එක…

     හුලංගලට එන්න පාරවල් දෙකක් තියනවා එකක් කුරුණෑගල පැත්තෙන් අනිත් එක මාතලේ පැත්තෙන්. කුරුණෑගලින් 40km.. මාතලෙන් 25.5km.. හුලංගල බැවුම තියෙන්නේ කුරුණෑගල පැත්තට… හැබැයි මෙි තැනට එන්න තියෙන්නේ මාතලේ පැත්තෙන්.. හුලංගල අයිතිය කොහාටද හරියටම කියලා හොයනවාට වඩා මෙි සුන්දරත්වය විදිමයි මට නමි වැදගත් උනේ…

      පුංචි ලෝකාන්තය පිහිටලා තියෙන්නේ මුහුදු මට්ටමේ ඉදන් මීටර් 760 (අඩි 2500) ක් උසින. කොහොම උනත් හුලංගල කන්ද මීටර් 1025 (අඩි 3360) දක්වා ඉහළ යනවා…  හැම වාහනේකටම නමි ලයිමි නිවාස පහු කරලා මෙි තැනට එන්න බෑ… මෝටර් බයිසිකල්, රෝද 3 සහ 4 × 4 වාහන වලින් බැවුම ලගටම එන්න පුළුවන්…. හැබැයි ස්කුටි වල නමි ගමන අමාරු බව මම පහළට බහිද්දි දැක්කා මට පස්සේ ආව පොඩි මල්ලිලා දෙන්නා පහළට ආව විදිහෙන්.. වාහනෙන්ම යන්න පුළුවන් නිසා එකත් වෙනස්ම අත්දැකීමක් උනත් පා ගමනින් යන එකයි වඩාත් සුදුසුම.. වටපිටාවෙි ලස්සන බලන්න පුළුවන්.. ඈතින් නකල්ස් කදු පන්තිය වගේම අපුරුවට හුන්නස්ගිරි කන්ද පෙනවා ටවර් එක්කම..

හුලංගල viewpoint එක නමි ඇත්තටම පුංචි ලෝකාන්තයක්…. වට පිටාවෙි තියන කදු ගැන නමි කියන්න තරමි දැනිමක් මට නැති උනත් මං දැක්කා ඈතින් රිදිවිහාරය එ වගේම තවත් පන්සලක් මං දැක්කා. එ වෙලාවෙි නමි එ පන්සල මොකක්ද කියලා දැනන් හිටියේ නැති උනත් දැන් දන්නවා එ දොළුකන්ද විහාරය කියලා.. තව ඈතින් බතලගොඩ වැවත් දැකගන්න පුළුවන්….

නැවුගල කියලා මෙි කන්දට කියනවා ඇත්තේ සමහර විට කුරුණෑගල පැත්තට මෙි කන්ද නැවක් වගේ පෙන නිසා වෙන්න ඇති. හැබැයි හුලංගල කියලා මෙි තැනට නම වැටිලා තියෙන්නේ නමි හුළග නිසා කියලයි මට ටිකටි ගන්න තැන ඉන්න හෂාන් පැවසුවෙි.. හෂාන් කියන්නේ සැලගම ගමෙි කෙනෙක්. ඔහු කියපු විදිහට ඉස්සර ඔහුගේ පුංචි දවස්වල මෙි හුලංගල දැනට වඩා

හුළගක් තිබිලා තියනවා.. හුළග එන්නේ මෙි ගල් පර්වතය ඇතුලෙන් කියලත් ඔහු පැවසූවා.. ඉස්සර මෙි ස්ථානයට ගිය පසු ඔවුන් ඇද සිටින ටිෂර්ටි ගලවා දානවාලු මෙි ගලෙන් පහළට,එත් ටික වෙලාවකින් ලොකු හුළගක් එක්ක එ ටිෂර්ටි උඩට ඇදි එනවාලු.. එ නිසාම නැවුගල හුලංගල ලෙසට පටබැදුනු බවයි ඔහු පැවසුවෙි…… මං තවත් දේවල් ඇහුවා ඔහුගෙන්… මෙි හුලංගලත් අයිති සෙමිබුවත්තට.. ඉතිං මෙි තේවතු දෙකත් එක්ක වතු තමයක අයිතිය තියෙන්නේ ඇල්කඩුව සෙමිබුවත්තට..

හුලංගල එනවා නමි එක් අයෙක්ට රුපියල් සියක ටිකටි එකක් කඩනවා.. තව අපෙන් අත්සනකුත් ගන්නවා අපිට අනතුරක් උවහොත් හුලංගල පාලනාධිකාරිය වෙත එය නොපවරණ බවට… තමන්ගේ ආරක්ෂාව ඉතිං තමන්ම බලාගන්න ඔින තමයි… camping කරනවා නමි දහා දෙනෙක් වෙනකමි කණ්ඩායමකට රුපියල් 5000ක් වගේම වැඩිවෙන එක්කෙනා ගානේ සියක මුදලක් අය කරනවා.. තව drone යවනවා නමි රුපියල් 3000ක මුදලක් අය කරනවා. එයට හෙතුව විදිහට හෂාන් මට පැවසුවෙි drone ලැයිමි නිවාස දෙසට එවන නිසා එ නිවාස වල ජිවත් වෙන මිනිසුන්ගෙන් හුලංගල පාලනාධිකාරියට ප්‍රශ්න පැමිණි බවයි… මං ඉතිං අහන්නේ මොකටද අනේ ලස්සන දේවල් තියෙද්දි ලයිමි නිවාස පැත්ත විඩියෝ ගත කරන්න යන්නේ ..

ඉතිං අවසානයට මං මෙි ටිකත් කියන්නම ඔින…. හුලංගල බලන්න එන්න… එ සුන්දරත්වය විදින්න.. මම නමි ආයෙත් තනියම හො යාළුවන් එක්ක හුලංගල යනවා , මොකද මට මීදුම දැකගන්න ලැබුණේ නෑ. එ වගේම හුළග විදින්න ලැබුණේ නෑ.. එ නිසා මං ආයෙමත් යනවා.. ඉල්ලන්නේ එක දෙයයි… යන්න එ සුන්දර පරිසරය විදින්න . නමුත් විනාස කරන්න එපා. එ වගේම තමයි තමන්ගේ වගේම තමන්ගේ කණ්ඩායමෙි ආරක්ෂාව ගැනත් පළමුව සැලකිලිමත් වෙන්න…..

නිසංසලා රණසිංහ