2024-07-07

බර්මින්හැම් පුරවරය බොදු බැතියෙන් සුවඳවත් කළ මහා උපසම්පදා මංගල්‍යය…….

බර්මින්හැම් පුරවරයේ සුන්දර පෙදෙසක පිහිටි වට් මහතත් කිංග්ස් බ්‍රොම්ලි (Wat Mahatat Kings Bromley) විහාරයේ දී පසුගිය ජූනි 16 වෙනිදා ඉරිදා පැවැත්වුණු ඉතාමත් ශාන්ත එමෙන්ම අතිශය උත්කර්ෂවත් උපසම්පදා විනය කර්මෝත්සවයේ දී ලන්ඩන් බෞද්ධ විහාරවාසී පූජ්‍ය සුඛිතමනෝ හිමියන්ගේ අධ්‍යාත්මික ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් උන්වහන්සේ තම පැවිදි උපසම්පදාව ලබා  ගන්නට යෙදුණි.

මේ උතුම් වූ උපසම්පදා උත්සවය එක්සත් රාජධානිය පුරා විසිර සිටින ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදායට අයත් ශ්‍රී ලාංකික සහ තායි භික්ෂූන් වහන්සේලා විසි නමක්  ඇතුළු සියයකට අධික සැදැහැවත් ශ්‍රී ලාංකික, තායිසහ බ්‍රිතාන්‍ය ගිහි ප්‍රජාවක් සහභාගි වූ අතිශය දුර්ලභ හා පුණ්‍යවන්ත අවස්ථාවක් විය. 

බෞද්ධ ඉගැන්වීම් සහ පිළිවෙත් මනාව පිළිබිඹු කරන චරිතයකින් යුක්ත පූජ්‍ය සුඛිතමනෝ හිමියන්ගේ මේ උපසම්පදා විනය කර්මෝත්සවය පැවැත්වුණේ  මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමිපාණන්ගේ සහ ලන්ඩන් නුවර බුද්ධපදීප විහාරාධිපති සහ බර්මින්හැම්හි වට් මහතත් කිංග්ස් බ්‍රොම්ලි විහාරාධිපති අතිපූජ්‍ය ආචාර්ය ෆ්‍රමහා ලෝව් පඤ්ඤාසිරි නාහිමිපාණන් වහන්සේ යන දෙපළගේ ප්‍රධානත්වයෙනි. 

එක්සත් රාජධානියේ සහ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සහ බැංකු යන ක්ෂේත්‍රවල සාර්ථක වෘත්තීය ජීවිතයක් නිම කරමින් පැවිදි දිවිය ඇරඹූ පූජ්‍ය සුඛිතමනෝ හිමියන්, කාඩිෆ්හි කීර්තිමත් වේල්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ පශ්චාත්උපාධිධාරියෙකු මෙන්ම බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ සාමාජිකයෙකු ද වෙයි. පැවිදි බිමට ඇතුළත් වීමට උන්වහන්සේ ගත් තීරණය සත්‍ය ගවේෂණය හා විමුක්තිය මුල් කර ගත් අතිශය ගැඹුරු හා අධ්‍යාත්මික තොරා ගැනීමකි.

2022 වසරේ සිට සුඛිතමනෝ හිමියන් ලන්ඩන් බෞද්ධ විහාරයේ වාසය කරමින් සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම සූත්‍ර සාකච්ඡා පන්ති සහ භාවනා වැඩසටහන් පැවැත්වීමේ කාර්යයෙහි ප්‍රමුඛව මෙන්ම සක්‍රීයව නියැලී සිටින සේක. මෙලෙස උන්වහන්සේගේ ආගමනයත් උන්වහන්සේටම ආවේනික ඉගැන්වීම් රටාවත් එක්සත් රාජධානියේ බෞද්ධ ප්‍රජාවට තම අධ්‍යාත්මක ජීවිතය ත්‍රිපිටක සූත්‍ර දේශනා සහ භාවනාව ඇසුරෙන් සකස් කර ගැනීමට ඉමහත් රුකුලක් වී ඇති බව ඔවුන්ගේ අදහසයි. 

2023 වසරේ දී ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර වර්ජිනියාවේ Bhavana Society සහ නිව් යෝර්ක්හි Chuang Yen Monastery යන ආරමවලට වැඩම කරමින් අතිපූජ්‍ය හේනේපොල ගුණරතන සහ භික්ඛුබෝධි යන අතිගෞරවනීය ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේ දෙනමගේ මඟපෙන්වීම යටතේ වැඩිදුර පුහුණුව ලබා ගැනීමේ අතිශය දුර්ලභ අවස්ථව සුඛිතමනෝ හිමියන්ට ලැබිණි.

පූජ්‍ය සුඛිතමනෝ හිමියන් පූර්ණ ලෙස පැවිදි වූ භික්ෂු සංඝයට විධිමත්ව ප්‍රවේශය වීම සංකේතවත් කරන මේ අතිශය උත්කර්ෂවත්ව චාරිත්‍රානුකූලව පැවැත්වුණු මේ උපසම්පදා උත්සවයට සහභාගි වූ භික්ෂූන් වහන්සේලාට අටපිරිකර දහවල් දානය සහ අටපිරිකර පූජා කිරීම් ආදී කටයුතුවල ගිහි බැතිමත්හු නිරත වූහ.

එමෙන්ම මෙම උපසම්පදා උත්සවයට එක්සත් රාජධානියේ නන් දෙසින් වැඩමවා වදාල ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලාගේ සහ ගිහි බැතිමතුන්ගේ උද්‍යෝගිමත් සහභාගිත්වය එක්සත් රාජධානියේ ථෙරවාදී බෞද්ධ ප්‍රජාවේ ශක්තිය හා ප්‍රබෝධය මනාව පිළිඹිබු කළ අවස්ථාවක් විය.

-ආචාර්ය දුලිප් හේරත්, බ්‍රිස්බේන්, ඔස්ට්‍රේලියාවේ සිට

2024-07-04

ආදරණිය සැන්දෑවක ප්‍රේමණිය ගීතාව 

Lyrical Romance  ප්‍රේම ගීතාව

Live in concert  

Lyrical Romance  ප්‍රේම ගීතාව Live in Concert නමින් හඳුන්වා ඇති මෙම ප්‍රසංගය එළැඹෙන ජූලි මස 13 වැනිදා සෙනසුරාදා සවස 5.30ට ලංඩනයේ හැරෝ පුරවරයේ Harrow Arts Centre දී 171 Uxbridge Road Pinner HA5 4EA සහෘද ඔබ වෙනුවෙන් එළිදැක්වීමට සියළුම කටයුතු සූදානම් කොට ඇත.  

70 දශකයේ ගුවන් විදුලියෙන් සුභාවිත සරල ගීත ගායනයෙන් කරළියට පැමිනි විශාරද එඩ්වඩ් ජයකොඩි ශූරින් Lyrical Romance  ප්‍රේම ගීතාව ප්‍රසංගය සඳහා ගායනයෙන් සහභාගී වීමට නියමිතය. 

සමනලයා මල හා ළමයාගේ සේ,නෙතු දැහැන් බිදී, පින්න මලේ, නිහඩ කල්පනා ගීත පරාසයක් සහෘද ලංකිකයන්ට තිලිණ කර විශාරද එඩ්වඩ් ජයකොඩි ශූරින් සජීව ගීත ගායනයෙන් එංගලන්නයේ වෙසෙන ලංකීකයන්ව 70 80 දශකයට ගෙන යනු නියතයි..

90 දශකයේ රජරට සේවයේන් කලා කෙතට පැමිනි විශාරද ක්‍රිශාන්ත එරන්දක Lyrical Romance  ප්‍රේම ගීතාව

Live in concert  ගීත ගායනයෙන් සහභාගී වීමට නියමිතය..වී පැදුරෙන් ඉගිලි යන කුරුල්ලෙකු ලෙසින්,මන්දාරම් අදුරු මැදින්,පංච කල්යාණියේ ගීත ගොන්නකට හිමි කම් ඇති විශාරද ක්‍රිශාන්ත එරන්දකයන් 90 දශකයට යළිත් අපව මෙම ප්‍රසංගය හරහා ගෙන යනු නියතය.

90 දශකයේ මුල් භාගයේ ඉපද තවමත් සරසවි ශිෂ්‍යයාක් ලෙස කැලණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනු ලබන ආක්ෂා කුලතුංගයන් මෙම ප්‍රසංගය වෙනත් මානයක් වෙත ඇයගේ හඬ ගෙන යනු නොවනු මානය වාදයනය සමඟ ගීත ගායන කිරීමට උපන් හපන් කම් ඇති විශාරද ආක්ෂා කුලතුංග ලංකීය ගීත කලාව අනාගතයේ පෝෂණය කරනු නොවනු මානය

ඔසදි කෝදාගොඩ දියණිය තාම වයස අවුරුදු 13 ක් වන න එංගලන්තයේ ඉපදුණත් විවිධ භාෂාවන්ගෙන් ගීත ගායනා කිරීමේ හැකියාවත්, විවිධ සංගීත භාණ්ඩ වාදනයෙහි  සුවිශේෂී හැකියාවත් ඇති මේ වන විට තමා වෙනුවෙන්ම ප්‍රවීණ ගීත රචකයන් සහ ප්‍රවීණ සංගීතවේදීන් විසින් නිර්මාණය කරන ලද ළමා ගීත රැසකට උරුමකම් කියන, ඒ වගේම පෙරත් ප්‍රවීණයන් සමඟ ගීත ගායනා කිරීමට වාසනාව උදා කරගත් , 2022 වසරේ ලන්ඩනයේ සිඟිති ගී තරුව වශයෙන් අභිෂේක ලත්, දැනට ප්‍රවීණ ගායන ශිල්පිනි විශාරද දීපිකා ප්‍රියදර්ශනී මෑණියන් සෙවණේ සංගීත හාදාරන ඔසදි කෝදාගොඩ දියණියට Lyrical Romance  ප්‍රේම ගීතාව ගායනයෙන් සහභාගි වීමට නියමිතය.

 ආදරණිය සැන්දෑවක ප්‍රේමණිය ගීතාව 

Lyrical Romance  ප්‍රේම ගීතාව

Live in concert  

සහභාගී වී සුහාවිත ගීතයේ අපූර්ව රසය ඉදිරි පරාම් පරාවට රැගෙන යමු

මුදිත් ද සිල්වා

2024-07-05

අලුත් පරපුරේ නැඟීඑන ලන්ඩන් තරුව 

මාදී කරුණාරත්න

ඇය..ආ..මග. මාදී කරුණාරත්න වන ඇය අද  අපි ඉදිරියේ.. 

ආයුබෝවන් මාදි. ! 

කොහොමද ඉතින් මෙවර ලන්ඩනයේ පැවති ගායන තරඟාවලියේ කිරුළ හිමිකරගත් ආකර්ශණීයම ගායිකාව ඔබයි..

කොහොමද ඔබේ ඒ ගමන්මග…?

මම ලංකාවෙ දිත් කුඩා අවදියේ සිටම ගීත ගායනයට යොමුවෙලා හිටියෙ . මගේ තාත්තා හොඳ ගායකයෙක් වගේම රංගන ශිල්පියෙක් . අපේ පවුලෙ හතරදෙනයි තාත්තා අම්මා අක්කා මම. අක්කත් ගායනයට ඉතාම දක්ශයි.  අපි දෙන්නගෙම ගුරුපියා නන්දසේන කටුවාවල මහතායි. අපි දෙන්නයි අම්මා තාත්තා හරිම සුන්දර ජීවිතයක් ගතකලේ . හැමදේම අපිට තිබුනා. ඔහොම කල්ගෙවෙද්දි අපි පාසැලේ ජනප්‍රියම ශිෂ්‍යාවන් උනේ කලා කටයුතුවලදි පෙරමුණේ සිටිනිසා. එක්දිනක් අපේ පාසැලේ ටෙලිනාට්‍යයක් රූප

ගතකරන්න ආවා. ඒ ජාතිකරූපවාහිණියේ විකාශනය වූ විමලරත්න අධිකාරී මහතාගෙ  ” ඉවුරුපාලම් ” ටෙලිනාට්‍යයයි. එම නාට්‍යයේ රඟපාන්න අක්කටත් මටත් අවස්ථාව ලැබුනා.

අපි දන්නෙ නෑනේ මාදි ඔයා ටෙලිනාට්‍යවල රඟපාපු බවක්…?

ඔව් මම ටෙලිනාට්‍ය කීපයකම රඟපෑවා. මුලින්ම මම රඟපෑවෙ අනුර චන්ද්‍රසිරි මහතාගෙ ඒකාංගික නාට්‍යයක ප්‍රධාන චරිතය ..ඊටපස්සෙ ” පාවෙනසරුංගල් ” ” මැණික් මාලිගා ” ” මිහිදුම් සෙවනැලි ” කරුණාරත්න දිවුල්ගනේ මහතාගෙ මගේ පෙම්ලොව.. සිහසුන්දරා…ගීතයේ රූපරචනාවටත් පෙනීසිටියා.

මේ හැම දෙයක්ම මම කලේ ඉගෙනීම කරනගමන් වැඩිදුර අධ්‍යාපනය සඳහා මට ජයවර්දනපුර සරසවියට යන්න වරම් ලැබීමත් සමඟ බාහිර කටයුතු සියල්ල නතර කරන්න සිදු උනා. ව්‍යාපාර අධ්‍යනය විශයතෝරගෙන එය හදාරමින් සිටින

අතර තමයි ..දෙරණ ඩ්‍රීම්ස්ටාර්  තරඟයටත් සිරස සුපර්ස්ටාර් තරඟයටත් යොමු උනේ මේ අතරතුර තමයි ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ රැකියාව මටලැබුනෙ, එයත් වැඩිකලක් කරන්න

ලැබුනෙ නෑ .තාත්තා මාව වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට එව්වා. මෙහි විද්‍යාලයක ඉගෙනීම කරමින්

සිටින අතරතුර එම විද්‍යාලයේම රැකියාවත් මට ලැබුනා.

මෙතෙක් මා ආ මග මේදක්වා මෙලෙසයි.

 ජීවිතය සොඳුරු වගේම අඳුරුවූ එක් සිදුවීමක් තමයි මගේ

ආදරණීය මෑණියන්ගේ වියෝව. අපි තිදෙනාගෙන් ඇය වෙන් උනා. මේ වනවිට මගේ අක්කාත් ඇයගේ ස්වාමියා දරුවන් සමඟ එංගලන්තයේම පදිංචිව සිටින නිසා මගේ අම්මා නැති අඩුව නොදැනෙන තරම් සෙනෙහසක් ඇයගෙන් මට ලැබෙනවා. සුපර්ස්ටා තරඟයේදි මම ගායනා කල සුජාතා අත්තනායක මහත්මියගෙ, ගංතීරේ ගංගාවේ ගීතය අහපු හැමෝම වගේ මට මගේම ගීතයක් කරන්න කිව්වා. යමුනා මාලනී මහත්මිය ලියූ ගීතයක් රෝහණ,වීරසිංහයන් සංගීතවත්කරලා පටිගත කලා. ඔය අතරම නවරත්න ගමගේ මහතා ගීත දෙකක් මා වෙනුවෙන් පටිගත කලා.. මේ හැමදෙයක්ම කරමින් සිටියදීම තමයි මට සියල්ල දාල

එංගලන්තෙට එන්න උනේ ….මගේ ඊලඟ බලාපොරොත්තුව

ඉක්මනින්ම ලංකාවට ගිහිල්ල ස්වර්ණවාහිණියේ සඟා ගුරුගේ කියන ප්‍රවීණයා ලවා,ගීතයක් කරගන්න එක . මේ වනවිට ඒ සම්බන්දව සාකච්ඡා කරගෙන තියෙන්නෙ. ඔහුලවාම රූපරචනාවත් කරගෙන නැවත ලන්ඩන්වලට එන්න.

අවසාන වශයෙන් මොනාද කියන්න තියන්නෙ .

” අපිමැගසින් ”  නම් ජාත්‍යාන්තර සංගරාවේ සම්පාදක වරයෙකුවූ ගයාන් කරුණාරත්න මහතාගෙන් මාහට ලැබෙන්නාවූ මේ සහයයෝගයට හදපිරි ස්තුතිය..මා පුදකරසිටින්නේ ප්‍රණාමයෙන්..!

2024-07-03

Mr. Prime Minister 

පසුගිය ජූලි 4 වෙනිදා පැවැත්වූ බ්‍රිතාන්‍යය මහ මැතිවරණය අවසන් වූයේ මේ දක්වා වසර 14 ක් බ්‍රිතාන්‍යය පාලනය කල කොන්සර්වේටිව් ආණ්ඩුවේ පාලනය අවසන් කරමින්, දැවැන්ත බහුතරයක් සහිතව කම්කරු පක්ෂය බලයට පත්කරමින්. මැතිවරණ ව්‍යාපාරය මුල සිටම කොන්සර්වේටිව් පක්ෂය පරාජය වන බව පෙනෙන්නට තිබුනද මෙතරම් දුරට හෝදා යාමක් කිසිවෙකු බලාපොරොත්තු නොවෙන්නට ඇති.

ලැබී තිබූ මැතිවරණ ප්‍රථිපල අනුව කම්කරු පක්ෂයට බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ ආසන 650 න් ආසල 412 ක් තරම් දැවැන්ත ජයග්‍රහණයක් හිමිවූ අතර ඒ අනුව බ්‍රිතාන්‍යයේ 58 වන අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීම් ලැබුවේ කම්කරු පක්ෂ නායක ශ්‍රීමත් කීර් ස්ටාමර්. සම්ප්‍රදාය අනුව වැඩිම ආසන ලබාගත් පක්ෂයේ නායකයා ලෙස ඔහු 5 වන සිකුරාදා පෙරවරුවේ බකිංහැම් මාලිගයේදී III වන චාල්ස් රජු මුණගැසුණු අතර එහිදී රජතුමා විසින් කීර් ස්ටාමර්ට නව රජය පිහිටුවන ලෙස ආරාධනා කරනු ලැබුවා.

ශ්‍රිමත් කීර් ස්ටාමර් 1962 වසරේදී එංගලන්තයේ සරේ ප්‍රදේශයේදී උපත ලැබූ අතර මේ වන විට 61 වන වියෙහි පසුවනවා. ස්ටාමර්, Reigate Grammar පාසලෙන් මූලික අධ්‍යාපනයත් පසුව ලීඩ්ස් විශ්ව විද්‍යාලයෙන් සහ ලෝකයේ ඉහළම විශ්ව විද්‍යාලයක් වන ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනයත් හැදෑරූ කීර් ස්ටාමර් නීතිඥවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරනවා. බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය පවුලක පුද්ගලයෙක් වූ  ඔහුගේ පියා උපකරණ සාදන්නෙකු ලෙසත් මව හෙදියක් ලෙසත් සේවය කර තිබේ. මැතිවරණ ව්‍යාපාරය පුරාම තමා “වැඩකරන පවුලකින් පැවත එන පුද්ගලයෙකු” ලෙස හැඳින්වීමට ස්ටාමර් කටයුතු කලේ එබැවිනි.

1987 වසරේදී නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන් කීර් ස්ටාමර් මානව හිමිකම් පිලිබඳ විශේෂඥයෙකු ලෙස කීර්තියට පත් උනා. මානව හිමිකම් නීතිඥයෙකු ලෙස පසුව කැරබියන් දූපත් හා අප්‍රිකානු රටවල් බලා ගිය කීර් එහිදී මරණ දඬුවම් හිමිවූ සිරකරුවන් වෙනුවෙන් පෙනී සිට තිබෙනවා. නැවත 2008 වසරේදී එංගලන්තයේ හා වේල්සයේ මහජන නඩු පැවරීමේ අධ්‍යක්ෂවරයා හෙවත් නීතිපති තනතුරට සමාන තනතුරකට පත්වන අතර ක්‍රියාකාරී දේශපාලනයට පත්වන තෙක් ඔහු එම තනතුර හොබවනු ලැබුවා.

කීර් ස්ටාමර් මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ 2015 වසරේදීය. ඒ ලන්ඩනයේ Holborn and St Pancras ඡන්ද කොඨාසය නියෝජනය කරමිනි. එතැන් පටන් මෙවර මැතිවරණය ඇතුළු පිට පිට මැතිවරණ තුනකදී සිය අසුන ජයග්‍රහණය කිරීමට ස්ටාමර් සමත් උනා. 2019 මහ මැතිවරණයේදී කම්කරු පක්ෂය ලැබූ අමිහිරි පරාජයත් සමඟ එවකට පක්ෂ නායකත්වය දැරූ ජෙරමි කෝබින් පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමත් සමඟ ස්ටාමර් එම පක්ෂයේ නායකත්වයට පත් වෙනවා. එතැන් පටන් බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විපක්ෂය ලෙසත් විපක්ෂ නායකයා ලෙසත් පක්ෂය ජයග්‍රහණය සඳහා මෙහෙයවන්නට කීර් ස්ටාමර් සමත් වෙනවා.

බ්‍රිතාන්‍යයේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස සිකුරාදා පෙරවරුවේම සුප්‍රසිද්ධ ඩව්නින් වීදියේ නොම්බර 10 නිවසට ඇතුළු වූ කීර් ස්ටාමර් එතැන් පටන් නොනැවතී සිය අග්‍රාමාත්‍යධූරයේ රාජකාරි ආරම්භ කලා. සිය ප්‍රථම කාර්‍ය්ය ලෙස බ්‍රිතාන්‍යයේ නව කැබිනට් මණ්ඩලය තෝරාපත් කර ගත් අග්‍රාමාත්‍යවරයා සිය රජයේ ප්‍රබලතම අමාත්‍යධුරය වන මුදල් අමාත්‍යධුරය බ්‍රිතාන්‍යය ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තාවකට ලබා දී තිබුනා.

කීර් ස්ටාමර් පාර්ලිමේන්තුවට තේරීපත් වූ පසුව කිසිම දිනයක රජයේ අමාත්‍යවරයෙකු හෝ ආණ්ඩු පක්ෂය නියෝජනය කර නොතිබූ අතර විපක්ෂනායකධූරයේ සිට කෙලින්ම අග්‍රාමාත්‍යධුරය දක්වා උසස්වීම් ලැබුවා. මැතිවරණ ව්‍යාපාරය පුරාවටම ඔහු විසින් ජනතාවට පොරොන්දු රැසක් ලබාදුන් අතර එම පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු කිරීම කීර් ස්ටාමර්ගේ වගකීම වනු ඇති. නව රජය සහ අග්‍රාමාත්‍යවරයාගේ සාර්ථක අසාර්ථකභාවය පිලිබඳව දැන්ම තියා අනාවැකි පලකල නොහැකි අතර ‘අපි’ ඔහුට සුබපැතුම් පිරිනමමින් නව රජයේ කාර්‍ය්භාරය පිලිබඳව සමීපව නිරීක්ෂණය කරමින් සිටිමු.

තිලාන් ජයසේකර 

2024-07-02

චිත්තධර්ම – 2024

# නිදන්ගත වැරදි පුරුදු (chronic bad habits)

අප සසර පුරා භවයෙන් භවයට ගෙනයන වස්තූන් (properties) තුනක් තිබේ. ඒ කර්ම, මතක සහ පුරුදු ය. ඒ අතරින් පුරුදු අපේ චරිතය කෙරෙහි ඇතිකරන බලපෑම මහත් ය. 

මෙහිදි අප සාකච්ඡා කරන්නේ නිදන්ගත තත්ත්වයට පත්වන නරක පුරුදු ගැනය. තමන්ගේත් අනුන්ගේත් යහපතට හේතුවන චරිතයට හානියක් නොකරන පුරුදු නිදන්ගත වූවාට කම් නැත. එහෙත් බහුලව නිදන්ගත වන්නේ හොඳ පුරුදු නොව නරක පුරුදු ය.

බෞද්ධ මනෝ විශ්ලේෂණයට අනුව පුරුද්දක් යනු යම් කායික හෝ මානසික ආශාවක් නිසා වරක් දෙවරක් කීපවරක් කරන දෙයක් සදා තමන්ට අවශ්‍ය යැයි සිතීමේ ප්‍රවණතාව යි. එම ප්‍රවණතාව ග්ලැසියර (glacial) තත්ත්වයට පත්වීම නිදන්ගත පුරුද්ද ලෙස හැඳින්වේ. 

නිදන්ගත නරක පුරුද්දක් ඇති පුද්ගලයා නිසැකවම මානසික සිපිරිගෙයකට වැටේ. එනම් පුරුද්දෙහි ආදීනව (consequences) දැක දැකත් එයින් මිදීමට දක්වන අකමැත්තයි. නිදන්ගත නරක පුරුද්ද දොරගුළු ලා නැති සිපිරිගෙයක් හෙවත් open cage captivity බඳුය. 

නරක පුරුද්දක් නිදන්ගත වීම සියදිවි හානිකර ගැනීමේ සංකල්පනය (suicidal ideation) දක්වා වර්ධනය විය හැකිය. නිදන්ගත නරක පුරුද්දකින් පෙළෙන කෙනෙකුට උපකාර අවශ්‍ය ය. එවැන්නෙකුට ජීවන රටාවේ වෙනසක් (lifestyle change) අවශ්‍ය බව බුද්ධාවවාදයයි. 

එම වෙනසේදි ජීවත්වන පරිසරය වෙනස් කළ නොහැකිනම් අනිවාර්යයෙන්ම ආශ්‍රය කරන පුද්ගලයන්වත් වෙනස් කළ යුතුය. 

වර්තමානයේ බොහෝ යොවුන් අය තදින්ම පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වී තිබේ. එය නිදන්ගත පුරුද්දක් වූ විට එයින් මිදීමට නොහැකිව හෝ අවවාද නොරිස්සීම නිසා ඔවුන්ගෙන් සමහරෙක් සියදිවි හානිකර ගැනීමට පෙළඹේ. ඔවුන්ට සවන්දී ඔවුන්ගේ කුසලතා හඳුනාගෙන ඔවුන්ගේ වටිනාකම ඒත්තු ගැන්වීමේ හැකියාව ඇති කළ්‍යාණමිත්‍රයන්ගේ ආශ්‍රය හා අවවාද ඔවුන්ට ලැබිය යුතුය. නිදන්ගත පුරුද්දක් වෙනස් කිරීම දුෂ්කර වුවද එය කළ නොහැක්කක් නොවේ.

වැඩිහිටි බොහෝ අය අතර නිතර දකින්නට ලැබෙන නිදන්ගත පුරුද්දක් නම් අනුන්ගේ සාමයට බාධාවක් වෙමින් ඕපාදූප සෙවීමේ නිරතවීමයි. ඔවුන් නිදන්ගත පුරුද්දක පිළිකා තත්ත්වයි. ඔබේ සමාජය තුළ පවතින එවන් පිළිකා ගැන ඔබ දන්නේ නම් ඔවුන්ගේ ආශ්‍රයෙන් ඈත්වීම තුළින් ඔබ ඒ තත්ත්වයට පත්වීම වළක්වාගත හැකිය. එසේ කිරීමේදි එම පිළිකාකාරකයන් ඔබ සමඟ අමනාප විය හැකිය. එසේ අමනාප වීම ආශිර්වාදයකි. 

ඔබට නිදන්ගත පුරුද්දක් තිබේ නම කළ්‍යාණමිත්‍රයෙකු සමඟ එය සාකච්ඡා කරන්න. 

– ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමි

2024-07-01

පරික්ෂාවෙන් ජයගමු.

(1 කොරින්ති 10:13)

මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමුණුණේ නැත. නුමුත්

දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂාකරනු

ලබන්ට ඉඩ නොදී, නුඹලාට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙනසේක.

මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරීයනි මොහොතක් ඉහත බයිබල් පදය දෙස ඔබගේ

මනස ඉතා හොඳින් යොමු කර බලන්න.

ඔබ හොඳින් සිතට ගන්න පරීක්ෂාව යනු පාපයක් නොවෙයි. නමුත් පරීක්ෂාවෙන් ඔබ

වැටුණහොත් එය පාපය වෙයි. ඒ වගේම තමයි අපිට ඉහත බයිබල් පදය තුළ අපට

පෙන්වනවා ඉවසාගත නොහැකි පරීක්ෂාවන් අපට එන්නට නොදෙන බව. ඒ වගේම

තමයි එන්නාවූ පරීක්ෂාවෙන් ජයගන්න මාර්ගයද අපට පෙන්වා දෙන බව. එම නිසා අපි

පරීක්ෂාවට බිය විය යුතු නැත.

(රෝම 6:12)

එබැවින් පාපී ආශාවනට ඔබ අවනතනො වන පිණිස මැරෙන සුළු වූ ඔබේ

සිරුර තුළ රජකම් කිරීමට පාපයට ඉඩ නොදෙන්න.

මෙම බයිබල් පදය දෙස ද ඔබගේ මනස ඉතා හොඳින් යොමුකර බලන්න. මෙහිදී අපට

පෙන්වන්නේ අපගේ ශරීරය ඉල්ලන තෘෂ්ණාවන් වලට ඉඩ නොදී පාපයෙන් ඔබගේ

ශරීරය ගලවා ගන්න කියායි. ඉතින් මාගේ ප්‍රේමවන්ත සහෝදරයිනි මොහොතක් ඉහත කී

කාරණය ගැන නැවත නැවත මෙනෙහි කර බලන්න.

හොඳයි අපි බලමු මෙම පරික්ෂාවෙන් ගැලවෙන මාර්ග මොනවාද කියලා..

(ශුද්ධ මාර්ක් 10:17)

උන්වහන්සේ මාර්ගයට යද්දී එක්තරා කෙනෙක් දුවගෙන ඇවිත් උන්වහන්සේ ඉදිරියෙහි දණින් හිඳ:

යහපත් ආචාරීන් වහන්ස, සදාකාල ජීවනය උරුම කරගන්නා පිණිස මා විසින් කුමක් කරන්ටදැයි

උන්වහන්සේගෙන් ඇසුවේය.

මෙහිදී අපට පෙන්වා දෙනවා උන්වහන්සේව අදහන අපට තිබෙන්නාවූ බලය

කොපමනක්ද කියා. ඉතින් මෙම බලය පාවිච්චි කරමින් ඔබට පුළුවන් කම ලැබෙනවා

පරීක්ෂාවෙන් ජයගන්න. ඒවගේම තව එක් කරුණක් නම්…

(ශුද්ධ ලූක් 22:40)

උන්වහන්සේ ඒ ස්ථානයට පැමිණ සිටියදී කතාකොට:නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන ලෙස යාඥා

කරන්නැයි ඔවුන්ට කී සේක.

අපට පෙන්වා දෙනවා පරීක්ෂාවන් නොඑන ලෙස යාඥා කරන්න කියා. යාඥාවෙන් අපට

සියල්ල ජයගත හැකි වේ.

(එපීස 6:10 – 14)

ඉතින් ස්වාමීන්වහන්සේ තුළද උන්වහන්සේගේ ශක්තියේ බලවත්කමෙහිද

බලවත්වෙන්න. යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්ට ඔබ සැමට

පුළුවන්වන පිණිස දෙවියන්වහන්සේගේ සියලු යුද්ධායුධ පැළඳගන්න.

මක්නිසාද අපේ පොරබැදීම වනාහි මාංසයට සහ රුධිරයට විරුද්ධව නොව,

අධිපතිකම්වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත්

ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය. එබැවින්

නපුරු දවසේදී විරුද්ධව සිටින්ටත් සියල්ල සම්පූර්ණකරගන ස්ථිරව සිටින්ටත්

පුළුවන්වෙන පිණිස, දෙවියන්වහන්සේගේ සියලු යුද්ධායුධ අරගන්න. එබැවින්

ඔබ සැමගේ ඉඟටි සැබෑකම නැමති පටියෙන් බැඳගෙන, ධර්මිෂ්ඨකම නැමති

ළයවැස්ම පැළඳගෙන,

මෙම පදය දෙසද ඔබ හොඳින් බලන්න එවිට ඔබට පේනවා නේද මෙම පරීක්ෂාවන්ගෙන්

ගැලවෙන්න මාර්ග කොපමණ අපට තිබෙනවාද කියා. ඉතිං මාගේ ප්‍රේමවන්තයිනි අදම

තීරණයක් ගන්න ජීවිතය ජයගන්න.. පරීක්ෂාවෙන් ජයගන්න..

ඔබ සැමට ජේසු පිහිටයි!

ඉවැන්ජලිස්ත මිල දිසානායක

මාර්ගය සහෝදරත්වය සභාව – මහරගම