භගන්දර රෝගයෙන් ඔබත් පීඩා විඳිනවාද..?

භගන්දර රෝගයෙන් ඔබත් පීඩා විඳිනවාද..?

ගුද ප්‍රදේශය ආශ්‍රිතව හටගනු ලබන සුලබ රෝගී තත්ත්වයක් ලෙසට ‘භගන්දර’ රෝගය හැඳින්වීමට පුළුවන. 

‘භග-දාරණ’ රෝගය ‘භගන්දර’ ලෙස ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුල නම් කර ඇත.

එනම්, භග හෙවත් ගුදය ආසන්නයේ/ අද්දර හටගනු ලබන සැරව, රුධිරය, පිටවන මාර්ගයක් සහිත රෝගය භගන්දර රෝගය යි.

භගන්දර නම් රෝගී තත්ත්වය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුල “මහා” රෝගයක් ලෙස දක්වා ඇත. රෝගියා අධික වේදනාව හේතුවෙන් බොහෝසෙයින් පෙලන රෝගයක් ලෙස තවදුරටත් විස්තර කොට ඇත.

ගුදය ආශ්‍රිතව ගුද පිඩකාවක්, සැරව පිරි කුඩා ගෙඩියක් ලෙස ආරම්භ වී, පැසවා පුපුරා ගොස්, ගුද මාර්ගය වෙතට විවෘත වීම මෙහිදී සිදුවේ. 

ගුද විද්‍රධියකට නිසියාකාරව ප්‍රතිකාර නොකිරීම නිසා විද්‍රධිය තුල වූ සැරව සම්පූර්ණයෙන් පිටතට ගමන් නොකොට අභ්‍යන්තරයට මාර්ගයක් ඔස්සේ ගමන් කිරීම නිසා භගන්දර රෝගය හටගත හැකි බවත් උෂ්ණ හා වාත කෝපකර ආහාර භාවිතයට ගැනීම, බාහිරව තට්ටම් ප්‍රදේශයේ කටු වැනි යමක් ඇනී තිබීම, මල පිටකිරීමේදී නිතර තැටමීම සිදුකිරීම, උත්කුටකයෙන් වාඩිවී (තට්ටම් පහලට හෙලා යටිපතුල් මගින් ඉඳගැනීම) බොහෝ වේලාවක් සිටීම, අති ස්ථුල බව යන රෝග හේතූන් නිසා රෝගය පහසුවෙන් වැලඳීමේ හැකියාවක් පවතින බව ආයුර්වේද මූලග්‍රන්ථ වල දක්වා ඇත.

ගුද මාර්ගය වටා අංගුලී 2ක(අඟල් 1/2-2) සීමාව තුල ගැඹුරු මූලයක් සහිත පිඩකා/ ගෙඩි හටගැනීමෙන් අනතුරුව පැසවා පිපිරී යාමෙන් පසු ඉතා වේදනාව සහිත නාඩියක් හෙවත් සිදුරු සහිත මාර්ගයක් හට ගැනීම මෙහිදී සිදුවේ. 

මුල් අවදියේ රෝග ලක්ෂණ සමඟ සිරුරේ උණ ස්වභාවයක් පවතින අතර ගුදය ආසන්නයේ ඇතිවන මෙම සිදුරු සහිත මාර්ගය තට්ටම් ප්‍රදේශයේ වෙනත් තැනක හෝ ගුද මාර්ගයට විවෘත වීමක් සිදුවේ.

මෙම මාර්ගයේ විවරය තුලින් සැරව හා ලේ වැගිරවීම දක්නට ලැබේ.

ගුද මාර්ගයට සිදුර විවෘත වන අවස්ථාවේදී එම සිදුරු තුලින් මල පිටවීම, වාතය පිටවීම පවා සිදුවේ.

ඇතැම් විට ගුදය ආසන්නව මෙවැනි සිදුරු සහිත මාර්ග රැසක් පවතින අවස්ථාවන්ද පවතී.

තරුණ හා මැදි වියේ පුද්ගලයන් අතර බහුලව වාර්තා වන රෝගී තත්ත්වයක් වුවද බොහෝ වේලාවක් උණුසුම සහිත, රළු පෘෂ්ඨ මත හිඳගෙන සිටින පුද්ගලයන් හට භගන්දර රෝගය වැළඳීමේ වැඩි ඉඩකඩක් පවතී.

රෝග ලක්ෂණ :-

• සැරව සහිත විසර ගෙඩියක්/ බිබිලක් ගුද මාර්ගය ආශ්‍රිතව මතුවීම

• උණ, කුද්දටි, ශාරීරික වේදනා ඇතිවීම

• ක්‍රමයෙන් බිබිල පැසවා, පිපිරී තුවාලයක් බවට පත්වීම

• විටින් විට බිබිල තුලින් සැරව ගැලීම

• ගුද මාර්ගය වටා වේදනාව, කැසීම, ඉදිමුම පැවතීම

• මලබද්ධය, 

• මල මාර්ගය ආශ්‍රිතව වේදනාව 

• භගන්දර මාර්ගයෙන් රුධිරය පිටවීම

• බොහෝ කාලයක් සුව නොවී පැවතීම

• අභ්‍යන්තර නාඩි/ මාර්ග සහිතව පැතිරීම

• සැරව, රුධිරය පිටතට පැමිණීම

• නැවත නැවත ගුද විද්‍රධි හටගැනීම

ගුද මාර්ගයේ සිට ගුද මාර්ගය අවට සම්බන්ධක පටකය දක්වා අසාමාන්‍ය ලෙස සම හරහා නාලයක් සේ සම්බන්ධ වීමෙන් භගන්දර නාඩිය සෑදෙන අතර ඇතැම් විට කාලයක් තිස්සේ පවතින අර්ශස් තත්ත්වය භගන්දර බවට පත්විය හැකි අවස්ථාද වේ.

ගුද මාර්ගය තුල මල පිටවීම ලිහිසි කිරීමට පිහිටා ඇති ශ්ලේෂ්මල ස්‍රාවී ග්‍රන්ථි ආසාධනය වීම නිසා වරින් වර සැරව ගෙඩි/ විද්‍රධි හට ගැනෙන අවස්ථාවන්ද මෙම රෝගීන් අතර බහුලව වාර්තා වේ. 

ගුද ප්‍රදේශයේ හටගනු ලබන මෙම නාඩිය හෙවත් සිදුරු සහිත නාලය සුව වීම කල්ගත වේ. ප්‍රතිකාර සමඟ තාවකාලික ලෙස වැසී ගොස් පැවතියද, සැරව එම මාර්ග වල රැඳී තිබී ක්‍රමයෙන් එක් රැස් වී නැවත පැසවීමට ලක් වීමෙන් රෝගය නැවත නැවත ඇතිවීමත්, අධික වේදනා ගෙනදීමත් සිදු වේ. එමනිසා සම්පූර්ණ සුවය ලබන තෙක් පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබා ගතයුතු රෝගී අවස්ථාවකි.

වාත, පිත, කඵ දෝෂ තත්ත්ව අනුව භගන්දර රෝගයේ ප්‍රබේද කිහිපයක් පවතින අතර ‘ශතපෝනක භගන්දර’ ප්‍රබේදය ඉතා සංකීර්ණ මෙන්ම වේදනාකාරී ප්‍රබේදය වේ. මෙහිදී සිදුරු විශාල සංඛ්‍යාවක් ගුද මාර්ගය අවට දක්නට ලැබේ.

බටහිර වෛද්‍ය විද්‍යාත්මකව fistula-in-ano ලෙස හඳුන්වන මෙම රෝගී තත්ත්වය සඳහා ප්‍රතිකාරයේදී ප්‍රතිජීවක ඖෂධ වර්ග ලබා දීම  පලමුව සිදු කෙරේ. 

මීට අමතරව ශල්‍ය කර්ම මගින් කැපීම හා විස්‍රාවණය සිදුකිරීම, seton placement ( surgical thread application), Advanced Flap procedure, Fibrin glue injection, Laser surgery මගින් fistula වසා දැමීම හෝ අභ්‍යන්තරයට විවෘත වීම ආවරණය කිරීම තුලින් ප්‍රතිකාර සිදු කරනු ලැබේ.

බොහෝ රෝගීන් මෙම රෝගය සඳහා ශල්‍ය කර්ම වලට යොමුවන අතර මෙහිදී තට්ටම් ප්‍රදේශයේ නාඩිය සහිත කොටස කපා ඉවත් කිරීම මගින් රෝගයට ප්‍රතිකාර සිදුකෙරේ.

Inflammatory bowel disease ( Crohn’s disease ), TB, Radiation therapy, හදිසි අනතුරු, පෙර සිදුකර ඇති ශල්‍ය කර්ම හේතු කොට ගෙනද පසු කාලීනව භගන්දර තත්ත්වයක් හටගැනීමේ හැකියාව පවතින බව නව්‍යව පිලිගැනේ.

රෝගී පරීක්ෂාවේදී MRI, USS පරීක්ෂණ මඟින් පහසුවෙන් භගන්දර නාඩිය හඳුනා ගත හැකි වන අතර එමගින් ප්‍රතිකාරය වඩා පහසුවෙන් සිදුකිරීමේ හැකියාව පවතී.

සුශ්‍රැත සෘෂි මතයට අනුව භගන්දර චිකිත්සාව සඳහා ශල්‍ය ප්‍රතිකාරය උචිත බව දක්වා ඇති අතර ශස්ත්‍ර උපකරණ මගින් කපා ඉවත්කිරීම පිලිබඳ පැහැදිලිව සඳහන් වේ.

වර්තමානයේ ශල්‍ය ප්‍රතිකාර සිදු කලද රෝගියාගේ ආහාර-පාන, ඇවතුම්-පැවතුම් හේතුවෙන් රෝගය නැවත ඇතිවී රෝගී බවින් රෝගියා නැවත නැවත පීඩා විඳින අවස්ථාවන් භගන්දර රෝගීන් අතර බහුල වශයෙන් වාර්තා වේ.

ආයුර්වේද මූලග්‍රන්ථ තුල සඳහන් පැරණි විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමවේදයක් වන ‘ක්ෂාර ප්‍රතිකාරය’ භගන්දර චිකිත්සාව තුල වර්තමානයේ ප්‍රත්‍යක්ෂ සාර්ථක ප්‍රතිඵල ගෙන දේ.

ක්ෂාර වස්ති, ක්ෂාර සූත්‍ර, අවගාහ චිකිත්සා ක්‍රමවේද තුලින් රෝගයට ස්ථිර සුවයක් ලබා ගැනීමේ හැකියාවක් පවතින අතර රෝග පරීක්ෂාව නිවැරැදිව සිදුකොට රෝග හේතූන් හඳුනා ගැනීමත්, අදාල චිකිත්සාව මූලධර්මානුකූලව ප්‍රතිකාර පද්ධතිය අවසන් වන තෙක් අනුගමනය කිරීමත් තුලින් රෝගය සුව කර ගතහැකි වේ. 

එබැවින්, නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර ලබාගැනීමෙන් භගන්දර රෝගය නැවත ඇතිවීමේ ඉඩකඩ අතිශය ලෙස සීමා වේ. 

මෙහිදී ක්ෂාර වර්ග ලෙස අපාමාර්ග ( Achyranthus aspera) නොහොත් ගස් කරල්හැබ ක්ෂාර, දලුක් කිරි ( Euphorbia antiquorum ) සහ කහ චූර්ණය දින 21 ක් පුරාවට විශේෂ ක්‍රමවේදයකට, නිසි ප්‍රමිතියට අනුව, සුවිශේෂී තාක්ෂණික ක්‍රම අනුගමනය කරමින්, ඖෂධ වර්ග ආලේප කොට සකසාගත් නූලක් භාවිතා කර ප්‍රතිකාර කරනු ලැබේ. 

භගන්දර නලය/ මාර්ගය දිගේ මෙම ඖෂධීය නූල/ සූත්‍ර (thread) ඇතුල් කොට යම් නිශ්චිත කාලයක් රඳවා තැබීම සහ නැවත ප්‍රතිකාරයේදී ක්ෂාර සූත්‍ර මාරු කරමින් ප්‍රතිකාරය අඛණ්ඩව සිදුකරනු ලැබේ.

මෙම ක්ෂාර නූල ආලේපිත ඖෂධයන්හි ඡේදනය හා රෝපණය යන ඖෂධීය ගුණ අන්තර්ගත වේ. එනම් ඡේදනය නොහොත් කැපීම මගින් නරක් වූ පටක හා රෝගී පටක ඉවත් කිරීමත්, රෝපණය මඟින් අලුත් නීරෝගී පටක නැවත වර්ධනය උත්තේජනයත් සිදු වේ. 

මෙම විශේෂ ඖෂධීය ගුණ හේතුවෙන් භගන්දර මාර්ගය තුල තුවාලය සුව වෙමින්, අලුත් පටක ඇතිවීම සිදුවෙමින් භගන්දරය සම්පූර්ණයෙන් සුව වීම සිදුවේ.

තවද ත්‍රිඵලා, ගස්කරල් හැබ යන ඖෂධ තම්බා පානය කිරීමත්, නුග, බෝ, අට්ටික්කා, ගංසූරිය පොතු තැම්බූ ඖෂධීය ජලයේ අවගාහ කිරීමත් ( sitz bath), මානසික සුවතාවය සඳහා යෝග අභ්‍යාස හා භාවනා ක්‍රම අනුගමනයත් ඉතා සුදුසු ය.

බලමාළු, හුරුල්ලන්, ඉස්සන්, දැල්ලන්, කකුළුවන්, දෙල්, මුරුංගා, තක්කාලි, අන්නාසි, අච්චාරු, සැමන් වැනි උෂ්ණ, විදාහී ආහාර, පාන වලින් වැලකීමත්, ජලය වැඩි වශයෙන් පානය කිරීමත්, කෙඳි සහිත එලවළු, පලා වර්ග, කොහිල, කෙහෙල්මුව, දඹල, වැටකොළු, කොමඩු, තැඹිලි, කුරුම්බා, සව්, බාර්ලි, කොත්තමල්ලි, කොළකැඳ ආහාරයට වැඩි වශයෙන් එකතු කරගැනීමත් ඉතා යෝග්‍ය වේ.

අභ්‍යන්තර කෂාය යෝග හා බාහිර ප්‍රතිකාර ක්‍රම මෙන්ම ආයුර්වේද පංච කර්ම අනුගමනය කිරීම තුලින් භගන්දර රෝගය සුව කිරීමේ සුවිශේෂී හැකියාව ආයුර්වේද ප්‍රතිකාර පද්ධති තුල අන්තර්ගත වේ.

කල්තියා රෝගය පිලිබඳ දැනුවත් වීම තුලින් භගන්දර නම් මහා රෝගය හටගැනීම වළක්වා ගැනීම රෝගයට ප්‍රතිකාර සෙවීමට වඩා ඉතා වැදගත් වේ. 

එමෙන්ම භගන්දර රෝගයෙන් පීඩාවිඳින රෝගීන් සඳහා ප්‍රතිකාර තේරීමේදී ආයුර්වේද ප්‍රතිකාර වෙත යොමුවීමේ යෝග්‍යතාව පිලිබඳ දැනුවත් වී සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත නොපමාව ගොස් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පහසුවෙන් සුව කරගත හැකි රෝගී තත්ත්වයකි. 

ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක 

BAMS -Colombo(SL)

සංසාරික ප්‍රේමය

සංසාර චාරිකාවේ

මංදාරමෙ සැංගිලා

උනුන් ඇස් අගින් මිමිණු ඒ

ප්‍රේමයත් වියැකිලා

සදුත් හිරුට මුවාවී

සංසාර ගමනට එක්වෙලා

ඉනුත් මග ඇහුරු ඒ

ජීවිතයම නැවතිලා

ප්‍රේමයත් රාගයක්මැයි

කෙනෙක් කී ලංවෙලා

කුමර බඹසර බිදී

කුමරියක හඩවලා

ඉකිගසන වත්මනේ

නොම ඉදින් තව මග බලා

ලං වෙන්න සිත්පට ගෙතූ

ප්‍රේමයත් ඇත ගොළුවෙලා….

රීනා

අනාගතය හැඩගැස්වීමේදී ශ්‍රී ලාංකේය තරුණයින්ගේ කාර්යභාරය

සංස්කෘතික හා ඓතිහාසික උරුමයන්ගෙන් පොහොසත් දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව, එහි තරුණ පරම්පරාව විසින් අනාගතය ක්‍රියාකාරීව හැඩගස්වන සන්ධිස්ථානයක සිටී.  රට ආර්ථික, සමාජීය සහ පාරිසරික අභියෝග හරහා ගමන් කරන විට, එහි තරුණයින්ගේ කාර්යභාරය වඩ වඩාත් වැදගත් වේ.  ජීව ශක්තියෙන්, නිර්මාණශීලීත්වයෙන් සහ අද්විතීය ඉදිරිදර්ශනයකින් පිරී ඇති ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට ජාතිය සමෘද්ධිමත් සහ තිරසාර අනාගතයක් කරා යොමු කිරීමේ හැකියාව ඇත.  ඔවුන්ගේ දායකත්වය අධ්‍යාපනය, තාක්‍ෂණය, පරිසර සංරක්ෂණය සහ සමාජ සාධාරණත්වය ඇතුළු විවිධ ක්ෂේත්‍රවලට විහිදේ.  අධ්‍යාපනය සමාජ සංවර්ධනයේ මූලික ගලක් වන අතර, අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ හා නවෝත්පාදනය මෙහෙයවීමෙහිලා ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් ඉදිරියෙන්ම සිටී.  අන්තර්ජාලය සහ ජාත්‍යන්තර අධ්‍යාපනික සම්පත් හරහා ගෝලීය තොරතුරු වෙත ප්‍රවේශ වීමත් සමඟම, ශ්‍රී ලාංකික තරුණ තරුණියන් වැඩි වැඩියෙන් උසස් අධ්‍යාපනය සහ විශේෂිත කුසලතා හඹා යමින් සිටිති.  මෙම වර්ධනය වන බුද්ධිමය ප්‍රාග්ධනය කර්මාන්ත නවීකරණය කිරීම සහ නවෝත්පාදනයන් පෝෂණය කිරීම සඳහා ඉතා වැදගත් වේ.  STEM (විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිතය) ක්ෂේත්‍රවල නිරත වීමෙන් තරුණ තරුණියන් තමන්ගේම අපේක්ෂාවන් වැඩිදියුණු කරනවා පමණක් නොව ගෝලීය දැනුම් ආර්ථිකයේ තරඟකාරී ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කරයි.

 තාක්‍ෂණය ලොව පුරා සමාජයන් වේගයෙන් පරිවර්තනය කරමින් සිටින අතර ශ්‍රී ලංකාවද ඊට ව්‍යතිරේකයක් නොවේ.  තරුණ පරම්පරාව, ඩිජිටල් ස්වදේශිකයන් වීම, තාක්ෂණය සහ ව්‍යවසායකත්වය කෙරෙහි ස්වභාවික නැඹුරුවක් ඇත.  බොහෝ තරුණ ශ්‍රී ලාංකිකයන් දේශීය සහ ජාත්‍යන්තර වෙළඳපොළට සරිලන මෘදුකාංග, යෙදුම් සහ ඩිජිටල් වේදිකා සංවර්ධනය කරමින් ආරම්භක සහ තාක්ෂණික ව්‍යාපාර වෙත පිවිසෙමින් සිටිති.  ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය සහ ජාතියේ ගෝලීය තරඟකාරිත්වය ඉහළ නැංවීම සඳහා මෙම ව්‍යවසායකත්වය අත්‍යවශ්‍ය වේ.  තාක්‍ෂණ මධ්‍යස්ථාන සහ නවෝත්පාදන විද්‍යාගාර වැනි මුලපිරීම් මගින් තරුණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ අදහස් මල්ඵල ගැන්වීම සඳහා සම්පත් සහ ජාල ලබා දෙන අතර එමඟින් ආර්ථික පරිවර්තනයක් ඇති කිරීමට සහ නව්‍ය විසඳුම් හරහා දේශීය අභියෝගවලට විසඳුම් ලබාදේ.  පාරිසරික ගැටළු, විශේෂයෙන්ම දේශගුණික විපර්යාස සහ පාරිසරික හායනය, ශ්‍රී ලංකාවේ අනාගතයට සැලකිය යුතු තර්ජන එල්ල කරයි.  තාරුණ්‍යය, ඔවුන්ගේ ඉහළ දැනුවත්භාවය සහ වගකීම පිළිබඳ හැඟීම සමඟ, පාරිසරික තිරසාරභාවය සඳහා ප්‍රධාන උපදේශකයින් ලෙස මතුවෙමින් තිබේ.  බොහෝ තරුණ ශ්‍රී ලාංකිකයන් බිම් මට්ටමේ ව්‍යාපාරවල සහ සංරක්ෂණය, අපද්‍රව්‍ය කළමනාකරණය සහ පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කරන සංවිධානවල සම්බන්ධ වී සිටිති.  දැනුවත් කිරීම, පරිසර හිතකාමී භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රතිපත්තිමය තීරණවලට බලපෑම් කිරීම සඳහා ඔවුන් දරන උත්සාහය ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත් අනාගත පරපුර සඳහා සංරක්ෂණය කිරීම සහතික කිරීම සඳහා ඉතා වැදගත් වේ.  තිරසාරත්වය වෙනුවෙන් පෙනී සිටීමෙන් තරුණයින් ක්ෂණික පාරිසරික ගැටළුවලට විසඳුම් ලබා දෙනවා පමණක් නොව දිගුකාලීන පාරිසරික සමතුලිතතාවය සඳහා වේදිකාව ද සකස් කරයි.

 ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, වාර්ගික සහජීවනය සහ දරිද්‍රතාවය පිටුදැකීම වැනි ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සමාජ සාධාරණත්වය ශ්‍රී ලංකාව තුළ දැවෙන ප්‍රශ්නයක් ලෙස පවතී.  තරුණයින් වැඩි වැඩියෙන් සමාජ වෙනසක් සහ ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් පෙනී සිටිති.  ක්‍රියාකාරීත්වය, ස්වේච්ඡා සේවය සහ සිවිල් සමාජ සංවිධානවල සහභාගීත්වය තුළින් යෞවනයන් සමාජ අසමානතා ආමන්ත්‍රණය කරමින් සහ ඇතුළත් කිරීම් ප්‍රවර්ධනය කරයි.  මෙම ක්ෂේත්‍රයන්හි ඔවුන්ගේ මැදිහත්වීම පවතින සම්මතයන්ට අභියෝග කිරීමට, ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ සඳහා තල්ලු කිරීමට සහ වඩාත් සාධාරණ සමාජයක් පෝෂණය කිරීමට උපකාරී වේ.  සමාජ ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීමෙන් සහ ප්‍රජා උන්නතිය සඳහා ක්‍රියා කිරීමෙන්, ශ්‍රී ලංකාවට සාධාරණ සහ සාධාරණ අනාගතයක් හැඩගැස්වීම සඳහා තරුණයින් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.  ඔවුන්ගේ හැකියාවන් තිබියදීත්, ශ්‍රී ලාංකික තරුණයින් ඔවුන්ගේ දායකත්වයට බාධාවක් විය හැකි අභියෝග කිහිපයකට මුහුණ දෙයි.  මේවාට ආර්ථික බාධා, සම්පත් සඳහා සීමිත ප්‍රවේශය සහ සමාජ-දේශපාලන බාධක ඇතුළත් වේ.  කෙසේ වෙතත්, මෙම අභියෝග ඔරොත්තු දීමේ හැකියාව සහ නවෝත්පාදනය සඳහා අවස්ථා ද ඉදිරිපත් කරයි.  ජාත්‍යන්තර හවුල්කාරිත්වයන්, අධ්‍යාපනික ශිෂ්‍යත්ව සහ ආධාරක ජාලයන් උපයෝගී කර ගැනීමෙන්, තරුණ ශ්‍රී ලාංකිකයින්ට මෙම බාධක ජයගෙන ඒවායේ බලපෑම උපරිම කර ගත හැක.

 තම රටේ අනාගතය හැඩගැස්වීමේදී ශ්‍රී ලාංකීය තරුණයන්ගේ කාර්යභාරය ගැඹුරු මෙන්ම පරිවර්තනීයද වේ.  අධ්‍යාපනය, තාක්‍ෂණය, පාරිසරික භාරකාරත්වය සහ සමාජ සාධාරණත්වය තුළ ඔවුන්ගේ නියැලීම තුළින් ඔවුන් ජාතියේ සංවර්ධනයට සහ යහපැවැත්මට ක්‍රියාකාරීව දායක වේ.  ඔවුන් තම ශක්තිය, නිර්මාණශීලිත්වය සහ දැක්ම අඛණ්ඩව භාවිතා කරන විට, ඔවුන් ශ්‍රී ලංකාව වඩාත් සමෘද්ධිමත්, සමානාත්මතාවය සහ තිරසාර අනාගතයක් කරා මෙහෙයවීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු නොඅනුමානය.  මෙම විචිත්‍රවත් පරම්පරාව පෝෂණය කිරීම සහ සහාය දැක්වීම සඳහා වන ආයෝජනය ඔවුන්ගේ දායකත්වයේ පූර්ණ හැකියාවන් අවබෝධ කර ගැනීම සඳහා සහ ඉදිරි වසරවලදී ශ්‍රී ලංකාව දියුණු වන බව සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.

පවිත්‍රා රනතුංග

සඵලවත් වීමට ඔබත් කැමතිද?

(ගීතාවලිය 1:2-3)

"ස්වාමීන්ගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නාවූ, උන්වහන්සේගේ ව්‍යවස්ථාව රෑ දාවල්

මෙනෙහිකරන්නාවූ, මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය." "ඔහු දිය ඇළවල් ළඟ හිඳුවූ, නියම කලට

ඵල දෙන, නොමැලවෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය; ඔහු කරන සියල්ල

සඵලවෙයි."

ඔබ සැමටම ආශිර්වාදමත් මාසයක් වේවා!!…

මාගේ සෙනෙහෙවන්තයිනි, ඉහත කාරණය ගැන මොහොතක් කල්පනා කර

බලන්න.ඔබත් ඔබගේ ජීවිතය ආශිර්වාදමත් සඵලවත් ජීවිතයක් කරගන්න

කැමතියිද?එසේ නම් මේ ඉහත බයිබල් පදය තුළ ජීවත් වෙන්න උත්සාහ

කරන්න.

ස්වාමීන් වහන්සේගේ ව්‍යවස්ථාව යනු කුමක්ද? ඒ තමයි ශුද්ධ බයිබලය. ඔබ

බයිබලයට අනුකූලව ජීවත් වනවා නම් ස්වාමීන් වහන්සේ තුළ ඔබ සඵලවත්

මනුෂ්‍යයෙක් වෙන්ට යනවා. ඒ වගේම තමයි ඔබ උන්වහන්සේගේ වචනය තුළ

ගමන් කරන විට ඔබට එන්නාවූ සෑම පීඩාවකදී එය ප්‍රීතියෙන් භාරගෙන

උන්වහන්සේගේ වචනය තුළම ප්‍රීති වන්න.එවිට ඔබ ජය ගන්නවා නියතයි.

ඒ වගේම තමයි උන්වහන්සේගේ ව්‍යවස්ථාව රෑදවල් මෙනෙහි කරන්නම කියා

තිබෙනවා.ඒ කියන්නේ ඔබ බයිබලය කියවන්නම ඕනේ.ඔබ යාඥා කරන

මනුෂ්‍යයෙක් වෙන්නම ඕනේ.එවිට ඔබ ජීවිතය ජය ගන්නවා නියතයි.මෙම

සියල්ල හොඳින් මෙනෙහි කර සඵලවත් මනුෂ්‍යයෙක් වෙන්න.

ඔබ සැමට ජේසු පිහිටයි!!

ඉවැන්ජලිස්ත අමිල දිසානායක

මාර්ගය සහෝදරත්වය සභාව – මහරගම

දිව්‍යමය සතුට ද කාලකණ්ණි සතුට ද?

මිනිස් කය තුළ දිව්‍යමය ජීවිතයක් ගත කළ හැකි අයුරු බුදුදහමේ ඉගැන්වේ. එය අංගුත්තර නිකායේ බ්‍රහ්මවිහාර සූත්‍රයේ ඉගැන්වෙන සුන්දර ප්‍රතිපත්තියක් වන බ්‍රහ්මවිහාර ප්‍රතිපත්තියයි. එම ප්‍රතිපත්තිය සකස් වෙන්නේ මෙත්තා, කරුණා, මුදිතා සහ උපෙක්ඛා යන සුබ මානසික ප්‍රවණතා තුළිනි. එම සතරට ප්‍රතිවිරුද්ධ, විනාශකාරි මානසික ප්‍රවණතා සතරක් ද තිබේ. එම ප්‍රතිවිරුද්ධ ප්‍රවණතා පුද්ගලයා තිරිසන් ස්වභාවයට පත් කරයි. බ්‍රහ්මවිහාර එහි ප්‍රතිවිරුද්ධ මානසික ප්‍රවණතාවලට antidotes හෙවත් විෂනාශක ය. බ්‍රහ්ම යනු දිව්‍යමය ස්වභාවය යි.

මෙවර ලිපියේ අරමුණ එම සතර ආකාරයම පිළිබඳව නොව එහි තුන්වන ප්‍රවණතාව වන මුදිතා සහ එහි ප්‍රතිවිරුද්ධ විනාශකාරි ප්‍රවණතාව පිළිබඳව විමසීම ය. 

දැන් අපි ‘මුදිතා’ සහ එහි ප්‍රතිවිරුද්ධ මානසික ප්‍රවණතාව වන ‘ඉස්සා’ විග්‍රහ කර බලමු. 

අපි මුදිතා (altruism) යනු අනුන්ගේ දියුණුව, වාසනාව දැක සතුටුවීමය. එය දිව්‍යමය සතුටකි. සෙසු ප්‍රවණතා තුනටම වඩා එය පුහුණු කිරීම දුෂ්කර බව බොහෝ අයගේ අත්දැකීමයි. එයට හේතුව නම් එයට ප්‍රතිවිරුද්ධ, විනාශකාරි ප්‍රවණතාව පාලනය කිරීමට පවා අපහසු නිසායි. එනිසා ප්‍රතිපත්තියක් ලෙස මුදිතාව පුරුදු කිරීම දුෂ්කර වුවත් එය පුරුදු කිරීම සඳහා උත්තේජනය ලබාගත හැක්කේ තමන් අනුන්ගේ දුෂ්ට අවධානයට ලක්වීමට අකමැති සේම තමන් ද අනුන්ට දුෂ්ට අවධානය යොමු නොකළ යුතු යැයි තේරුම් ගැනීමෙනි. 

 දැන් මුදිතා හි ප්‍රතිවිරුද්ධ විනාශකාරී ප්‍රවණතාව දෙස බලමු. එය පාලි භාෂාවෙන් ‘ඉස්සා’ බව ඉහත සඳහන් කෙරින. එය සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් jealousy හෝ envy ය. එහෙත් තේරුම තව ගැඹුරුය. එහි සාමාන්‍ය සිංහල තේරුම ‘ඉරිසියාව’ ය. සංස්කෘත භාෂාවෙන් ‘ඊර්ෂ්‍යා’ ය. එහෙත් ධර්මානුකූලව මුදිතාවේ ප්‍රතිවිරුද්ධ ප්‍රවණතාව ඉරිසියාව පමණක් නොවේ. එහි ඉරිසියාවට වඩා භයානක පැත්තක් තිබේ. බෞද්ධ මනෝවිද්‍යානුකූලව ඉරිසියාවෙහි ලක්ෂණ දෙකක් තිබේ. එනම් බලපෑම් ඇතිකරන (forceful) සහ තරහවෙන් යුතු (driven by anger) ලක්ෂණ ය. එනිසා කෙනෙකු ජීවිතයේ යම් දියුණුවක් දැක ඒ පිළිබඳව තරහවට පත්වන්නා සේම එම දියුණුව නැතිවී කෙනෙකු අවාසනාවන්ත සහ වේදනාබර තත්ත්වයට එම දියුණුවේ සිටි පුද්ගලයා දකිනවිට ‘ඉස්සා’ ඇති අයට ඇතිවන්නේ මහත් සතුටකි. එය විස්තර කිරීමට ඉංග්‍රීසියෙන් ගැලපෙන වචනයක් නැති නිසා ඉංග්‍රීසියේද භාවිත වන්නේ ජ(ර්)මන් වචනය වන schadenfreude (ශාඩන්ෆ්‍රොයිඩ) ය. එහි තේරුම අනුන්ගේ විපත හෝ අවාසනාව දැක සතුටුවීම ය. 

එම සතුට කාලකණ්ණි සතුට කාලකණ්ණි සතුටකි. කාලකණ්ණි යනු ධර්මයට අනුගත වචනයකි. කාල යනු අඳුරු හෙවත් dark ය. කණ්ණි යනු අවාසනාව ගෙනෙන නිමිත්ත හෝ ලක්ෂණය ය. කෙනෙකුගේ මුදිතා නමැති දිව්‍යමය ප්‍රවණතාව තමන්ට පමණක් නොව සමාජයටම ආශිර්වාදයක් වන අතර එහි ප්‍රතිවිරුද්ධ ප්‍රවණතාව තමන් ද සමාජය ද කාලකණ්ණි කරයි. එහෙත් කාලකණ්ණි පුද්ගලයා සතුටු වේ. ඒ පව්කාර ස්වභාවයයි.

ධනය බලය සහ ඊනියා උගත්කම තිබුණ ද සමහරු සතුටු වන්නේ කාලකණ්ණි ලෙසය. දිව්‍යමය සතුට ඇති අය ලොවට ඉතා අවශ්‍ය යුගයකි මේ.ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමි

UK වල මොකද මේ වෙන්නේ…..

පසුගිය ජූලි 29 වනදා එංගලන්තයේ සවුත්පෝර්ට් ප්‍රදේශයේදී කුඩා දැරියන් පිරිසක් ඉලක්ක කරමින් එල්ල කල පිහි ප්‍රහාරයත් සමඟ එක්සත් රාජධානිය පුරා ආරම්භ වූ නොසන්සුන්කාරී තත්වය තවමත් පහව ගොස් නොමැත. එම පිහි ප්‍රහාරයෙන් වයස අවුරුදු 6-9 ත් අතර දැරියන් තිදෙනෙකු මියගිය අතර තවත් දැරියන් කිහිප දෙනෙකු හා වැඩිහිටියන් කිහිප දෙනෙකු බරපතළ තුවාල ලැබුවා. ප්‍රහාරය සම්බන්ධයෙන් අත්තඩංගුවට ගැනුනේ  17 හැවිරිදි කළු ජාතික තරුණයෙක්. ඔහු රුවන්ඩා සම්භවයක් සහිත පුද්ගලයෙකු උනා.

මෙම ප්‍රහාරයට දින දෙකකට පසුව එම ප්‍රහාරයට විරෝධයපාමින් ප්‍රහාරය සිදුවූ සවුත්පෝර්ට් ප්‍රදේශයෙන් ආරම්භ වූ විරෝධතා රැල්ල එංගලන්තයේ සහ අයර්ලන්තයේ නගර රැසක් කරා ව්‍යාපත් උනා. මුලදී ප්‍රහාරයට විරෝධය දක්වමින් සිදුකල උද්ඝෝෂණ රැල්ල පසුව ඉතා ප්‍රචන්ඩකාරී හා ජාතිවාදී මුහුණුවරක් ගණු ලැබුවා. ඉතා සංවිධානාත්මකව පවත්වන්ට යෙදුනු එම විරෝධතා ව්‍යාපාරයේ ඉලක්කය බ්‍රිතාන්‍යයේ ජීවත් වන මුස්ලිම් ජාතිකයන් හා සරණාගතභාවය පතා මෙහි පැමිණි පුද්ගලයන් උනා. ස්ථාන රැසක නගර මධ්‍යයට රැස්වූ විරෝධතාකරුවන් වාහන හා දේපළ ගිණි තබමින් මෙන්ම පොලිසියට පවා පහර දෙමින් ඉතා ප්‍රචණ්ඩ ලෙස හැසිරෙනු දක්නට ලැබුනා.

පසුව මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය රජය ඉතා ඉක්මනින් මැදිහත් වූ අතර විරෝධතා වල නිරතවන්නන් අන්ත දක්ෂිනාංශික මැරයන් ලෙස හඳුන්වමින් බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කීත් ස්ටාර්මර් ප්‍රකාශයක් නිකුත් කලා. වහාම බ්‍රිතාන්‍යයේ පොලිස් ප්‍රධානින් කැඳවූ අග්‍රාමාත්‍යවරයා තත්වය පාලනය කරන්නට පොලිසියට උපදෙස් ලබාදුන් අතර පොලිසියට අනුබද්ධව විශේෂ කැරලි මර්ධන ඒකකයත් ආරම්භ කරන්නටද උපදෙස් ලබා දුන්නා .තවද මෙම ප්‍රචන්ඩ ක්‍රියා සඳහා සම්බන්ධ වන සියළුම පුද්ගලයන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔවුන්ට ඊට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් සඳහන් කලා.

අග්‍රාමාත්‍යවරයාගේ සහ රජයේ එම ක්‍රියා ප්‍රචන්ඩත්වය මැඩපැවැත්වීමට තරම් ප්‍රමාණවත් නොවූ අතර විරෝධතාකරුවන් සන්ඩර්ලෑන්ඩ් හී පොලිස් ස්ථානයකට පවා ගිනි තැබූ අතර සරණාගතයන් නවාතැන් ගෙන සිටින හෝටල් ඉලක්ක කරමින් පහර දෙන්නට උනා. විරෝධතා ව්‍යාපාර ලන්ඩන් නගරයට මෙන්ම ලිවර්පූල්, බ්‍රිස්ටල්, මැන්චෙස්ටර්, බෙල්ෆාස්ට් සහ ස්ටොක් ඇතුළු නගර රැසකට පැතිර ගිය අතර එම ප්‍රදේශවල ජන ජීවිත අඩාල වීමට පවා මෙම විරෝධතා හේතු උනා.

මෙම සටහන ලියන අවස්ථාව වන විට ප්‍රචන්ඩකාරී ලෙස විරෝධතා වල යෙදුනු අන්ත දක්ෂිණාංශිකයන් 400 ක් පමණ පොලිස් අත්තඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සමහරකට නඩු පැවරීමට පවා පොලිසිය කටයුතු කර තිබුනා. ඒ අතර නයිජීරියාව, ඉන්දුනීසියාව, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් බ්‍රිතාන්‍යයේ සංචාරය නොකරන ලෙස සිය පුරවැසියන්ට අනතුරු අඟවමින් නිවේදන නිකුත් කර තිබුනා.

තත්වය පාලනය කර හැකි ක්‍රමයක් පිළිබඳව සාකච්ඡා කිරීමට බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයා රජයේ ඉහළම නිළධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ ආසන්න දින දෙකකදී “කෝබ්‍රා” රැස්වීම් දෙකක් කැඳවා තිබුනා. බ්‍රිතාන්‍යයේ ඉතා හදිසි අවස්ථාවකදී පමණක් කැඳවන ඉහළ පෙලේ සාකච්ඡාවක් වන “කෝබ්‍රා” රැස්වීම ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටළු වලදී තීරණාත්මක තීරණ ගැනීම සඳහා කැඳවනු ලබනවා.එහිදී පොලිසියට අමතරව ආරක්ෂක හමුදාව කැඳවීම කෙරෙහිද අවධානය යොමුවී තිබුනා.

ලිපිය ලියන අවස්ථාව වන විට ඉදිරි දින කිහිපය තුල අරගලය තවත් වර්ධනය වේ යැයි ගණන් බලා තිබූ අතර ජාතිවාදී කැරලි වලට එරෙහිව ජාතිවාදී නොවන කණ්ඩායම් තවත් උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරමින් සිටිනවා. දේපළ වලට සිදුවන හානි වලට අමතරව දෙපාර්ශ්වය අතර සිදුවන ගැටුම් වැලැක්වීමටද බ්‍රිතාන්‍ය පොලිසියට දැඩි වෙහෙසක් දැරීමට සිදුව තිබෙනවා. කෙසේ වෙතත් අන්ත දක්ෂිණාංශික ජාතිවාදීන් විසින් ගෙන යන මෙම ගැටුම් පාලනය කිරීමට පියවර නොගතහොත් බහු ජාතික බහු වාර්ගික විශාල ජනතාවක් ජීවත් වන බ්‍රිතාන්‍යයේ අනාගතය කෙබඳු වේදැයි පුරෝකථනය කල නොහැකි තැනකට තල්ලු වනු ඇති.

තිලාන් ජයසේකර