ඊගල්ස්ටෝන්

අහස උසට ඉදිවුණු ගොඩනැගිලි , වාහන පිරි මංමාවත්, තොරතෝංචියක් නැතිව දුවනා මිනිස්සු පිරි කටුක නාගරිකත්වයෙන් මිදී අපි හෙමිහින් ළඟාවුණේ බයිලොන්ග් වැලී මාර්ගය වෙත.

රයිල්ස්ටෝන් ගම්මානය පසු කරනවාත් සමගම ඉඳහිට නුල්ලෝ කඳුකරයටත් මඩ්ජී දෙසටත් ඇදෙන වාහනයක් ඇරුන කොට මිනිස් වාසයක් ඇස නොගැටුණ තරම්. 

කඳුවැටි, මිටියාවත්, මිදි පිරුණු වයින් වතු, තැනින් තැන කැන්ගරුවන් සිටින ලඳු කැළෑ පසු කරමින් අපේ ගමනාන්තය දක්වා දිවෙන බ්‍රෙක්ෆස්ට් ක්‍රීක් පෙදෙසට අපි එලෙඹුණේ හවස පහත් පසු වුණාට පස්සේ. 

එතැන් සිට ගමන මදක් දුෂ්කර වුනේ, පස් පාරේ ඇති වලවල්, අබලන් සපත්තු පාලම් වලින් බේරෙන්නට සහ ගොම්මන් අඳුරත් සමග පාර පුරා හා හූවක් නොමැතිව දිවයන කැන්ගරුවන්, හාවන්  නිසා වාහනයේ වේගය බෙහෙවින් අඩාල කරන්නට සිදුවුණ නිසාවෙන්.  රාත්‍රී අටට කිට්ටුවත්ම ගමනාන්තය සනිටුහන් කරමින් බ්‍රෙක්ෆස්ට් ක්‍රීක් පෙදෙසේ කෙළවර තිබෙන ගේට්ටුවක, එල්ලෙමින් තිබු දිරා ගිය ලෑල්ලක ලියා තිබුනේ ‘ඊගල්ස්ටෝන්’ වෙත අපිව සාදරයෙන් පිළිගන්නා බවයි.

වාහනයේ එළිය ගේට්ටුවට වදිනාවාත් සමගම ලාම්පු  එළියක් දල්වාගෙන නවාතැන පෙන්වන්නට කඩිමුඩියේ සිනාමුසු මුහුණින් අප වෙත ආවේ සාරා. ඇය පසුපසින් දිව එන්නේ ඕස්ට්‍රේලියානු ෂෙපර්ඩ් වර්ගයට අයත් බලු පැටවුන් වන ඕඩි සහ ටිලී බව මා එකවර දැනගත්තේ  ‘ඊගල්ස් නෙස්ට් ‘ නවාතැන්පොළ වෙන් කරගන්නා අවස්ථාවේ සාරා විසින් එවා තිබු විස්තර පත හේතුවෙන්.

පරිසර හිතකාමී ක්‍රමයට කන්ටේන්ර් පෙට්ටියක් තුළ නිමකර තිබුණ මෙම හුරුබුහුටි නැවතුම ‘ඊගල්ස්ටෝන්’ ගොවිපොළ මධ්‍යට වන්නට පිහිටා තිබුනා. යතුරු කැරැල්ල අප අතැතිව තැබූ  සාරා මෙහි සියලු විස්තර නැවතත් පවසා  පිටව ගියේ උදෑසනම අවදි වුනොත් ඇය ගොවිපල සතුන්ට ආහාර දෙන අවස්තාව දැකගන්නටත්, ඔවුන් සමග කාලය ගත කරන්නටත් හැකි බව මතක් කරමින්. 

ගමන් විඩාවත්, උදෑසනින්ම අවදිවන්නට තිබු මහත් උනන්දුවත් නිසා බොහෝ රෑ බෝවන්නට පෙර පහන් නිවා ඇඳට ගොඩ වුණත්,  නෙත සිත මනස්කාන්ත වූයේ  කන්ටේන්ර් පෙට්ටියේ ජනෙල් වෙනුවට යොදා තිබුණ විශාල  වීදුරු වලින් මුතු අහුරක් ඉස්සා සේ විසල් ආකාසයේ පැතිර තිබූ තරු රටාවන්ගෙන්. ඒ ප්‍රේමණීය අහස්‌ ගැබ කවි සිතුවිලි දහසක් හිතේ පැල පදියම් කලත්, මා තදින් දෑස පියගත්තේ, රාත්‍රියේ සොඳුරු බවට එහා ගිය සුන්දරත්වයක් උදෑසනට ‘ඊගල්ස් නෙස්ට් ‘ තුලින් රසවිඳීමේ සියුම් ආශාවෙන්.

කුකුලන්ගේ හැඬලීමෙන් නෙතු පියන් විවර කරන විට දැකගන්නට ලැබුණේ පෙර දින රාත්‍රියේ මනසේ ඇඳි සුන්දරත්වය යථාර්තයක් වී ඇති බවයි.  ‘ඊගල්ස්ටෝන්’ ගොවිපොළට මායිම්ව ඇති කඳු පෙළ අතරින්, මිහිදුම් සේල මෑත් කරමින් හෙමි හෙමිහිට අහස් කුසට නැගෙන හිරු ගෙන් ආ තැඹිලි වර්ණයන්ගෙන් මුළු වටපිටාවම හැඩගැන්වී තිබුණා. 

උණුසුම් කෝපි කෝප්පයක රස විඳීමෙන් පසු අප ගොවිපොළ වෙත පියමැන්නේ, සාරා සීත කබායක් ඇඳගෙන මහත් ජවයෙන් ‘ඊගල්ස්ටෝන්’ පදිංචිකරුවන් වන බැටළුවන්, එළුවන්, ඇල්පකා, ගවයින්, කුකුළන්, අශ්වයින් සහ තාරාවන් ට අහාර ලබාදෙන ආකාරය බලන්නට. සැබවින්ම එය මහත් වෙහෙසකර කර්තව්‍යක්. එපමණක් නොවේ, ‘ඊගල්ස් නෙස්ට්’ නවාතැන  නඩත්තු කරන්නේත් ඇය. අපට එය නැවුම් සුන්දර අත්දැකීමක් වුණත්, දිනපතාම සීතල හිමිදිරියේ සාරා කරන මේ කටයුත්ත සැබැවින්ම අගය කල යුත්තක්. ඕඩි සහ ටිලී ඇයට ලබාදුන්නේ නොමද සහයෝගයක්.

‘ඊගල්ස්ටෝන්’ ගොවිපොළේ, ‘ඊගල්ස් නෙස්ට්’ හුරුබුහුටි නවාතැන අපට ලබාදුන්නේ ආශ්වාදාත්මක අත්දැකීමක්. නිවාඩුව නිමකර,නැවතත් නගරයට සේන්දු වන්නට ගත් කල මට හැඟුණේ , අක්කර ගානකට විහිදී ගිය ‘ඊගල්ස්ටෝන්’ ගොවිපොළ රාජධානියක් නම්, නිදහසේ හුස්ම විදිමින්, ස්වභාව ධර්මයේ පහස විඳිමින්, ජීවිතයේ උපරිමයෙන්ම විඳිනා සාරා, රැජිණක්!

The “Era of Global Boiling” has Arrived 

The “Era of Global Boiling” has Arrived 

ලෝකයේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ උණුසුම් ම මාසය පසුගිය ජුලි මාසය බව විද්‍යාඥයන් ප්‍රකාශ කරනවා. සමහර පරේෂකයන් විශ්වාස කරන්නේ ගෙවුනු වසර 120,000 වඩා කාලයේ මෙතරම් උණුසුම් මාසයක් වාර්තා වී නොමැති බවයි. වාර්තා වන මෙම අධික උෂ්ණත්වයට ප්‍රධානතම හේතුව පොසිල ඉන්ධන දහනය බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ඒ අතර පසුගියදා පණිවිඩයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres ප්‍රකාශ කරන්නේ ලෝකය global boiling යුගයකට ඇතුළු වෙමින් සිටින බවයි. එමෙන්ම එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කියා සිටියේ මේ වන විට ලෝකයට පවත්නා ප්‍රධානතම තර්ජනය දේශගුණික විපර්යාස යන්න කිසිවෙකුට බැහැර කල නොහැකි තර්කයක් බවයි.

ලොව පුරා පිහිටුවා ඇති කාලගුණික මධ්‍යස්ථාන වල වාර්තා වන උෂ්ණත්ව අගයන් ලබා ගනිමින් පරේශකයන් විසින් ගෝලීය උණුසුම ගණනය කරයි. කෙසේ වෙතත් ලෝකය පිලිබඳව සම්පූර්ණ චිත්‍රයක් ලබා දීමට තරම් දේශගුණික මධ්‍යස්ථාන ලොව පුරා නොමැති වීම හේතුවෙන් ලබාගත හැකි දත්ත සමඟ වායුගෝලයේ වෙනත් සමහර මිණුම් පරිඝණක පද්ධතියකට ඇතුළු කර ලබා ගන්නා සාමාන්‍යය අගය, ගෝලීය උණුසුම වශයෙන් ඔවුන් ගණනය කරයි. දත්ත රැසක එකතුවෙන් ලබා ගන්නා මෙම අගය විශ්වාසවන්ත අගයක් බව විද්‍යාඥයන් විශ්වාස කරයි.

ජූලි මාසයේ පළමු දින 25 සඳහා වාර්තා කල සාමාන්‍ය ගෝලීය උණුසුම් අගය 16.95C වන අතර එයින් ජුලි 6 වනදා ලෝකයේ උණුසුම් ම දිනය ලෙස සැලකේ. ගෙවුණු මාසයේ දින 23කදීම වාර්තා කල උණුසුම් අගයන් ඉතිහාසයේ මින් පෙර වාර්තා වූ සියළු උණුසුම් අගයන් ඉක්මවා ගිය අතර ඒ හේතුවෙන්ම 2023 ජුලි මාසය ලෝකයේ උණුසුම්ම මාසය ලෙස නම් කිරීමට ඔවුන් තීරණය කර ඇත.

මේ වන විටත් ඇමරිකානු එක්සත් ජනපදය, නැගෙනහිර යුරෝපය, අප්‍රිකානු කලාපය සහ චීනය ඇතුළු ආසියානු කලාපයේ රටවල් කිහිපයක් දැඩි උණුසුමකින් පීඩා විඳින අතර එය ගෝලීය උණුසුම තහවුරු කිරීමට කදිම සාක්ෂියක් බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත් යුරෝපය උණුසුමින් දැවෙද්දි එක්සත් රාජධානිය අසාමාන්‍ය සීතල කාලගුණයක් වාර්තා කරන නමුත් ඉදිරි කාලයේදී එක්සත් රාජධානියද දැඩි උණුසුමක් බලාපොරොත්තු විය යුතු බවයි කාලගුණ අනාවැකිකරුවන් සඳහන් කරන්නේ.

තිලාන් ජයසේකර

ෂැන්ග්‍රිලා

බ්‍රිතාන්‍ය කොලෝනියල් ක්‍රමයට ඉදිකෙරුන ගොඩනැගිලි වලට අතරමැදිව නවීන පන්නයට සුරූපීව වැජඹෙන්නේ ෂැන්ග්‍රිලා. 

මෙහි ඇති කාමර ඉතා මිලෙන් අධික වුණත්, සංචාරකයන්ගෙන් පිරී ඉතිරුනේ සිත් ඇද බැඳගන්නා දසුන් හේතුවෙන්. සිඩ්නි ඔපෙරාහවුස්,ඩාර්ලින් වරාය, අහස් වලාකුළු සමග හරඹයක යෙදුන සිඩ්නි ස්කයිලයින් කුලුණ, ඩාර්ලින් වරාය පාලම එහි වටිනාකමතවත් වැඩිකලා. 

සිඩ්නි විසිතුරු නරඹා විඩාබර වන ගත සිතට සියුමැලි පිහාටු වලින් පුරවන ලද කොට්ටා සහ ඉස්තරම් ඇද ඇතිරිලි, උණුසුම් වතුරපිරි නාන තටාකය ලබාදුන්නේ සැනසුම් විරාමයක්.

මැයි මාසයේ අග රාත්‍රිය එලඹෙනවාත් සමගම සිඩ්නි නගරයේ ගොඩනැගිලි, මං මාවත් නේක වර්ණයන්ගෙන් සැරසෙන්නට පටන්ගන්නවා, ‘විවිඩ්’ ! වචනයේ පරිස්මාප්ත අර්ථයෙන්ම එය විචිත්‍රවත්. එය මනරම්ව නරඹන්නට ෂැන්ග්‍රිලා ඉහල මහල කදිමතෝතැන්නක්.

උදෑසනට ෂැන්ග්‍රිලා සිට බලන කල, ටස්මේනියානු මුහුදේ ක්ෂිතිජ මායිමෙන් නැග එන හිරු රශ්මි දහරා ඔපෙරා හවුස් හි කවාකාරවහල මතට වැටී දිස්නය විහිදන්නේ රාත්‍රියේ දුටු විවිඩ් විචිත්‍රත්වය පරයා යන සුන්දර මනෝභාවයන් මවමින්. එය සැබැවින්ම නෙත්සනසන අලංකාරයක්!

මෙම නවාතැනට ගොඩවන්නට තවත් හේතුවක් , තිස් හයවෙනි මහලේ පිහිටි සිඩ්නි හි තිබෙන සියලුම දැකුම්කළු පිහිටීම්, ස්වභාව සෞන්දර්ය එකවර දැකගැනීමට හැකි

ඇල්ටිටියුඩ් අවන්හල. ලා රෝස පැහැති කුඩා මල් කිනිති සහිත පෝච්චි තැබූ කෑම මේස සැරසුනේ ලොව සුපතල සූපවේදීන් වනමිශෙල් මෙනෙගාසි, ෆ්‍රැන්සෙස්කෝ එවෝලිනෝ සහ කුමිකෝ එන්ඩෝ ගේ රසවත් අහර වලින්. උනුසුම් කෝපි පිලිගැන්වීමට යොදාගත් මොරොක්කන් නිර්මාණ සහිත කෝප්ප පීරිසි, ඇල්ටිටියුඩ් හි අසුන් ගන්නා ආදරණීයයන්ව මනසින් වෙනත් ඉසව්වකට රැගෙනගියා.

එක රැයක් මෙහි ගත කලත්, ඒ ලබාදුන් අමිල ඉසිඹුවට, ෂැන්ග්‍රිලා සුරූපිනියනි, නැවත හමුවන තුරු, නුඹට ආයුබෝවන් !

සජිනි අමන්දා රාජපක්ෂ 

ඕස්ට්‍රේලියාවේ සිට

ජීවත් වෙලා රස්සාව කරමුද

උදේට ඔබ අවදි වෙන්නෙ සතුටින් ද? මෙහෙම ඇහුවොත් කීයෙන් කී දෙනාද සතුටුයි කියන්නෙ. උදෑසන අවදිවීම වගේම රැකියාවට යෑමත් හොඩක් දෙනෙක්ට කරදරයක්. හරිම අකමැත්තෙන් කරන දේවල්. නමුත් ජීවත් වෙන්න මුදල් අවශ්‍ය නිසා අකමැත්තෙන් හෝ රැකියාවට යනවා. මම ඔබට පොඩි කතාවක් කියන්නම්.

ඇය මගේ යෙහෙළියක්. විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන,හොඳ වැටුපක් ගන්නා ඇය රැකියාව කරන්න පටන් ගත් දා සිට සතුටකින් ඉන්නවා මම දැක නැහැ. දිනක් අපි කතා කරමින් සිටිද්දී ඇය මගෙන් මෙසේ විමසුවා.

“ඔයා කැමැත්තෙන් ද ඔය ජොබ් එක කරන්නෙ?”

“ඔව්” මගේ පිළිතුර වුණා. මම කිසිඳු අයෙක්ගෙන් රැකියාව,විවාහය, දරුවො, පවුල ගැන ප්‍රශ්න නොකරන කෙනෙක්. ඒ නිසා ඇගේ රැකියාව ගැන මම විමසුවේ නැහැ. නමුත් ඇය මෙසේ කතාවට මුල පිරුවා.

“අනේ එහෙමද? මට නම් දැන් එපා වෙලා තියෙන්නෙ මේ රස්සාව. කිසිම ගෝ එකක් නැහැ. වෙලාවකට අයින් වෙන්නත් හිතෙනවා. ඒත් ඉතින් ජොබ් එකක් ඕනිනේ. ඒ නිසා ඉතින් ඉන්නවා”

ඇය සහ මම කුඩා කළ සිට ඉතා හොඳ මිතුරියන්. ඇය කුඩා කළ සිටම කැමති වුණේ ක්‍රියේටිව් දේවල් වලට. ඇයට ලස්සනට මහන්නත් පුළුවන්. මගේ උපන්දින වලටත් ඇගේ අතින් මැසූ කොට්ට උර, ටේබල් මැට්ස් පවා මට දී තිබෙනවා. නමුත් සාමාන්‍ය පෙළින් පස්සෙ ඇයට සිදු වුණේ ඇගේ දෙමව්පියන් කැමති දෙයක් උසස් පෙළට කරන්නට. ඉතින් ඇයට ඇගේ නිර්මාණශීලී හැකියාව මග හැරුණා.

“ඔයා දන්නවනෙ මම ඒ කාලෙ ඉඳලම ඩිසයිනින් වලට එහෙම කැමතියි. ඒ වගෙ ජොබ් එකක්වත් කරන්න තිබ්බනම්..” ඇය සුසුම් හෙළුවාය.

“ඉතින් ඔය ජොබ් එක කරන ගමන් ඔයාට ඩිසයිනින් වගෙ දේවල් කරන්නත් පුලුවන්නෙ”

“ඒ කොහොම ද? දවසම මෙතන වැඩ කළාම ඇගට හරිම මහන්සියි. තව දෙයක් කරන්න බෑ”

“ඔයා ට්‍රයි කරලා බැලුවද?”

ඇය කල්පනා කරන්නට විය. ඇයත් සමග කතාවෙන් මට පැහැදිලි වුණේ ඇයට මේ ඩිසයිනින් පැත්තට යොමු වීමට ඉතා දැඩි කැමැත්තක් ඇති බවයි. ඇයට ඇගේ රස්සාව එක්ක වෙලාව කළමණාකරණය කරගන්නට තේරුමක් නැති බවක් තිබුණා.

නමුත් ඔබ විශ්වාස කරනවද? ඇය අද ඇගේම ඩිසයින් කළ ඇඳුම් තිබෙන Online Store එකක හිමිකාරියක්. ඇය අදටත් අපේ එදා හමුවීම ගැන සතුටු වෙනවා. මොකද ඇය එයින් නව පණක් ලැබුවා. තමන්ගෙ සහජ හැකියාවෙන් තමන්ගෙම බිස්නස් ව්කක් පටන් ගන්න ඇයට හැකි උනා.

ඔබත් කරන රැකියාවට කැමැත්තක් නැටි කෙනෙක් ද? පොඩ්ඩක් හිතලා බලන්න. ඔබ ඇත්තටම දක්ෂ දේවල් මොනවද කියලා?කොටින්ම කිව්වොත් ඔබේ Hobby එක (විනෝදාංශය) ඔබේ රැකියාව වුණොත්? ඔබ කැමතියි නේද? අපි හැමෝම එහෙම තමයි. අපේ හිතට සතුට සැනසුම දෙන දේ අපි හරි ආසාවෙන් කරනවා. ඔබත් ඔබේ Hobby එක රැකියාව කරගන්නට හීන දකිමින් වෙමින් රැකියාවක නියැලෙන කෙනෙක් නම් දැන්ම දුක්වෙන එක නවත්තන්න. ඒත් සමග පොඩියට හෝ ඔබේ ව්නෝදාංශය හෙවත් ඔබ කැමති දෙය කරන්නට පටන් ගන්න.කාලයක් යද්දි ඔබට වැටහේවි, එය ඔබ ජීවිතේ ගත්ත නිවැරදිම තීරණයක් කියලා.

තව දෙයක්, ඔබට යමක් කරන්නට ඕනි නම් කවුරුවත් වෙනම ම වෙලාවක් බන්දේසියක තියලා ගෙනත් දෙන්නෑ. ඔබේ දෛනික ක්‍රියාවලීන් තුළින්ම ඔබ, ඔබට කාලය සොයා ගත යුතුයි. දෙයක් බැරි වෙන්නෙ, ඔබ ඔබට ‘බැහැ’ කියලා හිතුවොත් පමණයි. ඔබ ඔබව දිශ්වාස කරලා, මට පුළුවන් කියලා හිතුවොත් අනිවාර්‍යෙන් ම ‘ඔබට පුළුවන්’.

ඉතින් ඔබත් ඉගෙන ගත්ත දේම රැකියාවට කරලා එපා වෙලා ඉන්න කෙනෙක් නම් මේ ලිපිය ගොඩක් වැදගත්. Educational qualifications වලින් හිමිවෙන රැකියාව කරලා හෙම්බත් වෙලානම්, අදම ඔබ දක්ෂ දෙය පටන් ගන්න. ඔබේ හිත සතුටින් එහි නියැලෙන නිසාම, ඉක්මනින් ම ඔබට සාර්ථකත්වයට යන්නත් පුළුවන්. අනිත් අය කරන කරන ජොබ් කරන්නට හීන මවන්නත් එපා. ඔබේ දක්ෂතා වලින් ඔබගේ මාර්ගය තෝරා ගන්න. ඔබ ඔබම වන්න. ඔබත් ඔබේ Hobby එක, Job එක කරගන්න!

වෛද්‍ය චන්ද්‍රිකා රාජපක්ෂ

Doctor of Ayurveda | Motivational Speaker | Counsellor

M. Sc., BAMS, B. Sc., CCHRM,

Ad. Dip. in Psychotherapy & Dip. in Counseling Psychology

බේකින් සෝඩා ගැන ඔබ මේ දේවල් දැන සිටියා ද

බේකින් සෝඩා නැත්නම් sodium bicarbonate යනු ස්වාභාවික රසායනික සංයෝගයක් බව ඔබ දන්නවා ඇති. ආහාර පිපුම්කාරකයක් මෙන් ම , ස්වාභාවික පිරිසුදුකාරයක් ලෙසත් එදිනෙදා ජීවිතයේ දී බෙහෙවින් භාවිතවන බේකින් සෝඩා ඔබේ රැව රැකගැනීමේ සත්කාරවලට ත් යොදාගතහැකි බව ඔබ දැන සිටියා ද? එසේ නම් අද අපි ඉතා පහසුවෙන් සහ අඩු මුදලකට මිල දී ගතහැකි බේකින් සෝඩාවලින් ලබාගතහැකි තවත් වැදගත් ප්‍රයෝජන කිහිපයක් පිළිබඳව කතාබහ කරමු..

හිස්කබලේ ඇතිවන ගැටළු සඳහා..

විවිධ රසායනික සංයෝග අඩංගු සැර ෂැම්පූ සහ hair products මඟින් හිස සෝදා පිරිසුදු කරන්නට අප පෙළඹී සිටිනවා. නමුත් සතියකට වරක් පමණ ෂැම්පූ වෙනුවට බේකින් සෝඩා ස්වල්පයක් වතුර සමඟ කලවම්කර හිස් කබලේ ආලේප කර හෙමින් සම්භාහනය කර සෝදාහරින්න. එමඟින් හිස්කබලේ රැඳී ඇති අධික තෙල් සහ කුණුදූවිලි ඉවත්කර ස්වාභාවිකව හිස්කබල පිරිසිදු කරන අතර

නිතර හිස් හොරි සෑදී මේ අවධානම ද අඩු කර යි. 

මුඛ දුර්ගන්ධය සඳහා..

දිනපතා දත් මැදීමෙන් අනතුරුව බේකින් සෝඩා ස්වල්පයක් දියකරනලද වතුර ස්වල්පයකින් මුඛය සෝදාහැරීම සාර්ථක සහ ස්වාභාවික mouth washer එක කි.. 

Body scrub / soother..

සතියකට වරක් හෝ දින කිහිපයක් ඔබ ස්නානය කරන වතුරට බේකින් සෝඩා එක්කරගන්න. එමඟින් ශරීරයේ විඩාව දුරුකර ස්වාභාවිකව පිරිසුදු කරනු ලබ යි. එසේ ම බේකින් සෝඩා body scrub එකක් ලෙස ද භාවිතයට ගැනීමෙන් ඔබේ සම සුමුදු කර ස්වාභාවිකව පිරිසුදු කරනු ලබ යි. එසේ ම සමෙහි අධික වියළිබව, පැලීම් සහ itchy යනා දී ගැටළුවලටත් බේකින් සෝඩා සේදුම්කාරකය සාර්ථක පිළියමකි. 

සුමුදු යටිපතුලකට..

ඔබත් දෙපාවල අධික වියළිබව සහ පැලීම්

නිසා කණස්සල්ලට පත්වී ඇත්නම්, රාත්‍රී නින්දට පෙර දෙපා සහ යටිපතුල බේකින්සෝඩා ගල්වා scrub කර සෝදා හරින්න. අනතුරුව මෘදු ක්‍රීම්වර්ගයක් තෙතමාත්තුකර දෙපා සහ යටිපතුලේ ගැල්වීමෙන් ඔබට ඉහත කී ගැටළුවෙන් මිදීමට හැකිවනු ඇත.

සුන්දර නියපෙළකට..

සතියකට දෙවතාවක් පමණ බේකින් සෝඩා යොදාගනිමින් නිය සහ ඇඟිලි මිනිත්තු කිහිපයක් scrub කර සෝදාහරින්න. ඔබේ ඇඟිලි සහ අත්ලේ මෘදුබව සහ මැරුණුසෛල ඉවත් වී පැහැපත්වන බව ඔබට ම වැටහේ වි. එමෙන් ම දිගු නියපොතු මනාව පිරිසුදු වී, තවත් අලංකාර ලෙස දිස්වේ වි. 

ආභරණ පිරිසුදු කරගැනීමට..

බේකින් සෝඩා කොටස් තුනකට වතුර එක කොටසක අනුපාතයට සාදාගන්නා මිශ්‍රණයෙන් ඔබගේ රිදී සහ, රන් ආභරණ දිලිසෙන ලෙසට පිරිසුදු කරගත හැකි ය. ( plated ආභරණ සඳහා මෙම ක්‍රමය යොදාගන්න එපා)ඉහත කී මිශ්‍රණයෙන් ස්වල්පය බැගින් ගෙන කුඩා බුරුසුවක් ආධාරයෙන් හොඳින් scrub කර වතුරෙන් සෝදා හැරීමෙන් ඔබේ ආභරණවලට දිදුලන අලංකාරයක් ලබාදෙන්නට හැකිවනු ඇත. 

ඉතින් මෙලෙස ස්වාභාවිකව සහ අඩු මුදලකින් ඔබේ රුව සහ සුන්දරත්වය ඔප් නංවාගන්නට හැකි තවත් ප්‍රයෝජනවත් ලිපියකින් ඔබ හමුවණ තුරු ඔබට සුබ දවසක් !!!!

සමීරා ජයසිංහ 

ජීවිතාවර්ජනය

මුළු ලොවෙහිම එදා මෙදා තුර බලවතුන් හා ධනවතුන් යැයි සැලකෙන බොහෝ දෙනකු ගේ සාක්කු බර වුනෙත් බැංකු පොත් පිරුනේත් සාධාරණව හරි හම්බකරගත් මුදලින් පමණ ක් නොවෙයි.

ධනයට හා බලයට ඇති කෑදරකම නිසා මුලු ලොව වැනසුනද ඔවුනට කම්නැත. අද වන විට සිදුවෙමින් ඇත්තේ මෙයයි.

මත්ද්‍රව්‍ය වලින්  ධනවතුන්ට හා බලවතුන්ට මහා ධනස්කන්ධයක් ගලාගෙන එයි. මේ මත් රකුසාගෙන් රටත් ලෝකයත් ගලවාගන්නට කිසිවකුටත් නොහැකි වී ඇත්තේ දේශපාලනික මැදහත් කම් ඇති බැවිනි. ජීවිතාවර්ජනය තුළින් මා දිගින් දිගටම ඔබ වෙතට ගෙන එන්නට උත්සහ කරනු ලැබුවේ මතට ඇබ්බැහි වී ඉන් මිදුණු ජීවිත ගැනත්, ඒ අයගේ ආදරණීයන් විඳි අත්දැකීම් පිලිබඳවත් ය. එහෙත් අද මා ඔබ වෙත ගෙන එනු ලබන්නේ මීට දින කිහිපයකට පෙර මට අසන්නට හා දකින්නට ලැබුණු සංවේදීය සිදුවීම් දාමයකි. මේ කතාව  අපිට කියන්නේ ලීනා අම්මයි.

1. අම්මේ ඔයාගෙ කවුද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ?

මගේ බාල පුතා

2. කොච්චර කල් ඉදලා ද? කොහොමද ඇබ්බැහි වෙලා තියෙන්නේ?

දැන් අවුරුදු පහළොවක් විතර ඇති.

ඒක කොහොමද වුණේ කියන්න මම දන්නේ නැහැ. මේ කාලෙ වෙනකොට මම හිටියේ රට රස්සාවට ගිහින්. කාටවත් නොකියා පුතා තොටලඟින් කසාදයක් කරගෙන තිබුණා. අපි දැනගත්තේ ටික දවසක් ගියාට පස්සෙයි. ඊලගට මේ දෙන්නම රට ගෙන ගන්න කියලා මට කරදර කරන්න ගත්තා. මමත් මගේ ලග තිබුන සල්ලි සේරම වගේ වියදම් කළ ඒ දෙන්නව සෞදි අරාබියට ගෙන්න ගත්තා. මෙහෙ ඇවිත් අවුරුදු දෙකක් යන්න කලින් ඒ දෙන්නම වෙන වෙන සම්බන්ධකම් වල පැටලුනා. මට දැනගන්න ලැබුණ විදිහට තොටලග ළමයා ආශ්‍රය කරන කාලෙ තමයි පුතා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ.

3. අනිත් දරුවෝ මොකද කරන්නේ? 

ඒ දෙන්නම හොඳ රස්සාවල් කරනවා. ඒත් බාල පුතා ගැන  හරිම කලකිරීමෙන් ඉන්නේ. එයාව හොඳ මාර්ගයට ගන්න ගොඩක් උත්සහ කලත් ඒ හැම උත්සාහයක්ම  වතුරේ ගියා.

4. දැන් පුතා මොකද කරන්නෙ අම්මෙ?

පුතා එහිදී දැන අදුනගත්ත ළමයෙක් එක්ක ලංකාවට ආවා. බලාගෙන යනකොට ඒ ළමයාත් අවුරුදු දාහතේදී කසාද බැඳලා දරුවෙකුත් ඉන්න කෙනෙක්. මුලදී කුඩු ගහද්දි අපි අවවාද කලාම සතියක් විතර නොබී ඉන්නවා. අනේ ඉතින් මම හිතනවා දැන් හැදිලා ඇති කියලා. ඒ ඔක්කොම එයාගේ රඟපෑම්. දැන් පුතා කුඩු ගහන්නවා විතරක් නෙමෙයි කුඩු විකුණන්නත් එක්ක. අලුත ගෙනාපු නෝනා ලොකු විරෝධයක් ඒකට දැක්වන්නෙ නැහැ. අම්මා වෙච්ච මම කොහොමද මේවා බලාගෙන ඉන්නේ.

5. අම්මට ගෙදර ඇවිත් කරදර කරනවද?

ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. අවුරුදු ගානක් රට රස්සාව කරල දරුවන් ටයුතුකම් ඉෂ්ඨ කරලා මම දැන් මඩමක දරුවන්ට කෑම හදලා දෙන රස්සාව කරනවා. සතියට සැරයක් ගෙදර එනවා. අද වෙනකොට පුතාගේ කුඩු බිස්නස් එක නැවතිලා. මොකද ඒක කරන්න එයා ලග සල්ලි නැහැ. කන්න නෑ කියලා අඬද්දි නෝනටයි එයාටයි පුළු පුළුවන් විදියට මං උදව් කලා. කුඩු නැතිකොට සික් එක හැදිලා දඟලනවා. නෝනට ගහනවා. නෝනටත් සල්ලි තියනවා නම් එයත් එක්ක හොදින් ඉන්න පුළුවන් නැත්තං රණ්ඩු වෙනවා. මගෙනුත් හැමවෙලේම රුපියල් පන්සීය,  දාහ ඉල්ලගන්නවා කන්න නෑ කියලා. ත්‍රීවිල් රස්සාවක් කරා කුඩු ගහන්න කලින් ඒ ත්‍රීවිල් එකත් විකුණලා. එයාට කියලා අරගෙන දුන්න ඉඩමත් විකුණලා දැන් පුංචි ගේ කෑල්ලක් ඉන්නේ. මම මේ ඊයේ පෙරේදා යි දැනගත්තේ ගෙදර ඉන්න ගැහැණු ළමයව  කසාද බැඳලා නෑ කියලා.

6. පුතාව මත්ද්‍රව්‍ය වලින් මුදවා ගන්න අම්මා මොනවද කලේ? 

පුලුවන් හැම විදිහටම කුඩු බොන එක නවත්තන්න කියලා අවවාද කළා. ඒකෙ ආදිනව කිව්වද දුන්නා. වැඩක් වුණේ නෑ හිස් වචන විතරයි. අනික මට විතරයි ඒක නවත්තන්න උවමනාව එයාගෙ නෝනට වත් වැඩි උවමණාවක් නැහැ. පුතා දැන් නෝනට Spa එකක වැඩට යන්න කියලා කරදර කරනව. ගහනවා. කොහොමද මම අම්මා කනෙක් විදිහට ඒ දරුවා ව එහෙම තැනකට යවනවා බලා ගෙන ඉන්නෙ. දැන් පුතා ගෙදර තියාගන්න අමාරුම තත්වයක් තියෙන්නේ. මං හිතවත් කීපදෙනෙකුගේ මාර්ගයෙනුත් පුතාට කතා කරා. කතා කරපු හැමෝම කිව්වේ පුතා හරි කපටි උත්තර දෙන්නෙ කියලා. අන්තිමට මම සතියකට කලින් දන්න කියන අයගෙ මාර්ගයෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට පුතාව යොමු කරන්න ලෑස්ති කර ගත්තා. සල්ලි ත් කොහොම හරි ලෑස්ති කරගෙන ඒ තැනට ගිහාම තමයි මෙයා හොදම වැඩේ කෙලේ. සල්ලි ගෙවන ලියකියවිලි අත්සන් කරලා තියලා එන්න හදනකොට ලොකු ලොකු පණ්ඩිත කතා කියලා එයාට එතන ඉන්න බැහැ කිවුවා. ගෙදර තියාගෙන ඉන්න මූණ දිහා බලලා ඇහුවා මං නැතුව එච්චර කල් ඉන්න පුලුවන්ද කියලා. මේ ළමයා එක වචනයක් කිව්වේ නැහැ. මට එයත් එක්ක පුදුම තරහක් තියෙන්නෙ. ඔව් මට පුළුවන් උඹ හැදිලා වරෙන් කිව්වා නම් අද මගේ පුතා පුනරුත්ථාපන  මධ්‍යස්ථානය ඇතුලේ. මොකද ඒ අය කිසිම කෙනෙක්ව බලෙන් තියා ගන්නෙ නැහැ. මොනව කරන්නද කරුමෙ ගෙවන්නත් එපෑ. දැන් නෝනා Spa එකක වැඩට යනවා. සල්ලි තියෙන කන්දෙන් නම් සතුටින්. මට වෙලාවකට හිතෙනවා ඔය ළමයා පුතත් එක්කම ඉන්න හදන්නේ එයත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා ද  කියලා. පුතා මේ තත්වෙට එන්න මමත් හේතුවක් වුණා. තරුණ දරුවෝ ඉන්න දෙමව්පියන්ගෙන් මං ඉල්ලන්නෙ දරුවෝ ගැන හොඳ සෙවිල්ලෙන් ඉන්න. මගේ පුතා ගැන හොයන්න මම ලංකාවෙ හිටියෙ නැහැ. ඒ නිසා මම අදටත් මිනිසුන් ගෙන් බැනුම් අහනවා. මත්ද්‍රව්‍ය කියන්නේ මුළු ලෝකෙටම විනාසයක්. මගේ වැරදි නිසා අද කී දෙනෙක් දුක් විඳිනවාද. පුතා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් අනේ මම දන්නේ නැහැ කියන එක දෙමවුපියන්ගේ වගකීම් පැහැර හැරීමක්. දරුවෝ හරියට සමාජගත කළේ නැත්නම් වෙන විනාශය මම දැන් අත්විඳිමින් ඉන්නවා. ගේ ඇතුලේ කිසිම සාමයක් සමගියක් නැහැ. මට දැන් ඕනේ පුතාව බලෙන් හරි පුනරුත්ථාපනය වෙන තැනකට යොමු කරන්න. ඒ ගැන මට හරි අවබෝධයක් නැහැ. කීපදෙනකුගෙන් ඇහුවා..  තාම හරි උත්තරයක් ලැබුණේ නැහැ. කන්දකාඩු හරි දාගන්න පුලුවන් වුනොත් ලොකු දෙයක්. මාත් එක්ක දැන් පුතා ඉන්නේ හරි වෙරයෙන්. වරදින්නේ යන්නේ හරිම පොඩි වෙලාවයි. නරක ආශ්‍රයත් මේකට බලපානවා. අත් දෙක වැදලා ඉල්ලනවා දරුවන් ව පරිස්සම් කරගන්න. පස්සෙ දුක් වෙලා වැඩක් නැහැ.

මටත් යමක් අවසානයට එකතු  කරන්න හිතුනා. දරුවන් බිහි කරපු පලියට අයාලයෙ හැදෙන්නට ඉඩදෙන්න එපා. අධ්‍යාපනය පමනක් පසු පස නොයා දරුවන් යන එන තැන්, ඇසුරු කරන්නන් හා නිවසේදී කාමරය ට වී කුමක් කරන්නේ දැයි විමසිල්ලෙන් ඉන්න. මත්පැන් හා මත්ද්‍රව්‍ය වලට ඔබේ දරුවා ඇබ්බැහි වී ඇති බව දැනගත් විගස ඒ සදහා  සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට යොමු වන්න. එසේ නැතහොත් ශාරීරික හා මානසික බෙලහීනතාව යන්ට දරුවන් ගොදුරු වන අතර මුළු මහත් සමාජයටම පිල්ලියක් වේ.

                              ස්තුතියි 

                      පියුමි සිල්වා

කටුකයි කියලා අත්හරින්න ඕනෙද ජීවිතය

Every lock has a key and every problem has a solution.

ජීවිතේ ලස්සනට දිගහරින්න අපි කැමති වුණත් ජීවිතය කියන්නේ පොඩ්ඩක් අසීරු ගමනක්. අපේ ජීවිතයේ යන්න ඕනේ  දැඩි දුෂ්කර බාධක හමුවේ තමයි අපි ඉදිරියට යා යුත්තේ. අපි පෙලපත් වලින් පැවතගෙන එන  පෝසත්  මිනිස්සු වුණත්,  දුක්ඛිත අවස්ථා අපේ ජීවිතේට එන්න පුළුවන්.මොකද සල්ලිම නෙවෙයි ජීවිතේ  කියන්නේ.

සමහර අවස්ථා වලදී ජීවිතේ වෙහෙසකර දෙයක් බවට සමහරුන්ට පත්වෙන්නේ, තමන් බලාපොරොත්තු  වෙන හැම දෙයක්ම ඔවුන්ට ලැබෙන්න ඕන කියලා හිතන නිසා. 

හැමවෙලේම අපි ආසා  දේවල් ලැබෙන්නේ නැහැ.  සමහරවිට අපිට නොගැලපෙන්න දේවලුත් අපිට ලැබෙන්න පුළුවන්.

මොකද එකටයි ජිවිතේ කියන්නේ. හැම වෙලේම අප සිතන පතන ආකාරයට හැමදේම වෙන්නේ නැහැ.

ජීවිතේ  අපිට ඉදිරියට වෙන්නේ  කුමක්ද කියලා කිසිවෙක්ට තීරණය කරන්න බැහැ .

හැබැයි ජීවිතේ නිසිමගට ගන්න අපිට මේ ජීවිතේ ජීවත් වෙලා ඉන්න කාලේ ඇතුලත අපිට පුළුවන්.

අපිට පාලනය කරන්න පුලුවන් දේවල් අපිට පාලනය කරන්න බැරි දේවල් වලට වඩා ලේසියි.

මොකද ඒව පාලනය කරන්නේ අපි විසින්.එහෙම පාලනය කරන්න  බැරි උනොත් තමයි ගැටලුවක් මතුවන්නේ.

සරලවම කිව්වොත්,අපි අතින් අත්වැරදීමකින් ගැටළුවක් ඇති වූවොත් මිස. ගැටලුවක් ඇති වෙන්න කලින් අපිට හිතන්න පුළුවන් මේකෙන් ගැටලුවක් ඇති වෙයිද නැද්ද කියලා.හැබැයි හැම අගුල කටම යතුරක් තියෙනවා වගේම හැම ප්‍රශ්නෙකටම විසඳුම මේ ලෝකෙ ක් මේ ලෝකෙ තියෙනවා මොකද විසඳුමක් නැති ප්‍රශ්නයක් මේ ලෝකෙ නැහැ .හැබැයි අපි ඒ ගැටළුවට විසඳුමක් හොයාගන්න තුරු ගැටලුව ගැටලුවක් ම පමණයි.

මේ ලෝකය හැම කරදරකාරී ගැටලුවකටම අපි විසදුමක් විසඳුමක් හොයන්න ඕනි. එක අපට තිබෙන සමාන අයිතිවාසිකමක්.ජීවිතයේ අපට  ප්‍රශ්න කරදර කොයිතරම් ආවත්,අපි  ඒවා මඟ නොහැර ඒවට මුහුණ දිය යුතුයි.

මොකද අපි කටුකයි කියලා ජීවිතේ අත්හරින්න ඕනද මඟින්?

නැහැ අපි ජීවිතේ ඒ කටුකත්වය බිදගෙන ගැටළුවලට  විසදුම් හොයාගෙන ඉදිරියට යන්න ඕනේ.නැතිනම් අපට එන ප්‍රශ්න වලින් පැනලා යන්න අපි උත්සාහ කරනවා නම් අපේ ජීවිත ඇත්තටම අතර මගින් නවතිනවා.

මොකද අපිට ආත්ම ශක්තියක් ඒ වගෙම ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ මම  කොහොමහරි මේ ප්‍රශ්නේ විසඳ ගන්නවා, මට මේ එන ප්‍රශ්න වලට මං කොහොමද විසඳුමක් හොයා ගන්න ඕන, කොහොමහරි මේ ප්‍රශ්නෙන් මම ගැලවෙනවා කියලා confidence ඇතුව හිතන්න.

අද කාලේ අපිට දකින්න අහන්න ලැබෙන ගොඩක් දේවල් වලින් අපිට තේරුම් යනවා මිනිස්සු ජීවිතේ නැති කර ගන්න පවා පෙළඹිලා තියෙන්නේ ප්‍රශ්න නිසා .

ඇතැම් වෙලාවට ආදර සම්බන්ධතාවය බිඳ වැටුනහම ,නැත්නම් තමන්ගෙ සහකාරයා හෝ සහකාරිය  හරි අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගත්තොත්,අපි ජීවිතේ ගොඩක් ආදරේ කරන අපි ළඟින්ම ඉන්න ආස කෙනෙක්ගෙන් ප්‍රතික්ෂේප වුනොත්,රැකියා ස්ථානයේ හෝ සමාජයේ පිරිසක් මැද අපිව කොන් කරොත්,නැත්තං කලින් තමන් ආදරේ කරපු කෙනා තමන්ගෙ නිරුවත සමාජමාධ්‍යයේ ප්‍රසිද්ධ  කරනවා කියලා කිව්වොත්.

ඉතින් මං මේ ඉහත කිව්ව වගේ පොඩි පොඩි ප්‍රශ්න නිසා තමයි සමහර මිනිස්සු තමන්ගෙ ජීවිතේ මගින් නතර කරන්න හිතා ගන්නේ.ඔවුන්ට මගින් වෙහෙසකර බවක් දැනෙනවා ඇති මේ ප්‍රශ්න වලින් මම මිදෙන්න ඕන හොඳම විසදුම මගේ ජීවිතය නැති කර ගන්න එක කියලා.නමුත් මම කිව්ව වගේ අපි ජීවිතේ කටුකයි කියලා අත්හැහැරිය යුතුද?නැහැ.එය එසේ විය යුතු නැහැ.තමන් කෙසේ හෝ එන බාධක හමුවේ විසඳුම් හොයා ගෙන ජීවත් වෙනවා කියලා හිතන මට්ටමට තමන් ගැන ආත්ම විශ්වාසය තබාගත යුතුයි. ජීවිතය හැමදේම තිබිලත් පොඩි පොඩි ප්‍රශ්න වලට මුහුණ දී ගන්න බැරුව පැත්තකට වෙලා ඉන්නව නම් හිතලා බලන්න,ජීවිතය අපිට තියෙන දේවල් වලින් කාලක් වත් නැතුව ජීවිතේ දිනපු මිනිස්සු ඉන්නවා නේද කියලා.අපි මේ ලෝකෙ ඉපදුනාට පසුව අප කොයි තරම් උත්සාහ කරත් අප මෙලොව හැර යන කාලය පැමිණෙන තුරු අප මේ ලෝකෙ ජීවත් විය යුතුයි.ජීවිත සුන්දර කාල වලට  වගේම,අපට ජීවිතේ දුක්බර අවස්ථා වලට මුහුණ දෙන්න සිදුවෙනවා.

ඒක තමයි මේ ලෝක ස්වභාවය.නමුත් කිසිම දේකින් නොසැලි අපි ජීවිතේ සමබරව එන හැම ගැටළුවකටම නිසි ලෙස මුහුණදී අපි ජීවිතය අපිට අවශ්‍ය ලෙස ගත කරන්න අපිට පුළුවන්.

ජීවිතේ ගැන සුන්දර අවස්ථා අපිට ජීවිතේට ලස්සන දේවල් එකතු කරනවා වගේම.ජීවිතේට එන ප්‍රශ්න අපිට ජීවිතේ කියන්නේ මොකද්ද කියලා අපිට කියා  දෙනවා.මේ ජීවිතේ කිසිවක් පහසු නෑ.අපි දුක් මහන්සි හැම දෙයක්ම උපයාගත යුතු වෙනවා.හැම ප්‍රශ්නෙකටම විසඳුමක් තියෙනවා.අපිට හැම ප්‍රශ්න ම ඔහු කොයි විදිහට විසදෙයිද කියන්න බැහැ.නමුත් අපි නිවැරදිම විසඳුමට පහර දුන්නොත් ගැටළු අතුරුදහන් වෙනවා.එසේ කරන්න ඔබ ඔබ  ගැන දැඩි ලෙස විශ්වාසය තබා ගත යුතු වගේම ඔබ අදහන ධර්මය තුලත් විශ්වාසය තබා ගත යුතුය.එය හැම විටම  අපට ප්‍රශ්න  විසදගන්න ආශිර්වාද කරනවා.

ඉතින් මනස කියන්නේ මේ ලෝකේ හිතාගන්න බැරි අභිරහස් රැසකට විසඳුම්  සොයන්න පුලුවන් අපේ සිරුරම තියෙන අපුරු නිර්මාණයක්.ඉතින් ඒ මනසින් ප්‍රයෝජන අරගෙන එන ගැටලු වලට නිසි ලෙස පිළිතුරු සපයන්න අපි දැනගන්න ඕනේ.ප්‍රශ්න ඇති කරන පුද්ගලයින් ඉන්නවා,ඒ වගේම ඒ ගැටලු පැමිණිලි කරන පුද්ගලයන් ඉන්නවා,ප්‍රශ්න වලට බයේ පරාජය බාරගන්න මිනිස්සුත් ඉන්නවා,ඒ වගේම එන ප්‍රශ්න වලට නිසි ලෙස විසදුම් හොයල ඒවවා ජයගන්න  මිනිස්සුත් ඉන්නවා.ඉතිං මේ හතරෙ අපි වෙන්ඩ ඕනේ කවුද?ඇත්තටම අපි වෙන්න ඕනේ ඒ  ප්‍රශ්න වලට නිසි විසඳුම් හොයා ජීවිතය ජයගන්න මනුස්සයෙක්.අපි ජීවිතේ කොතරම් සාර්ථක තැනකට පත් කර ගත්තත් අපිට ජීවිතේ දුෂ්කර කාල වලදී කියල දුන්න පාඩම් අමතක නොකරන්න ඕන.  

                          සටහන                                                 නවෝද්‍යා දෙව්මිණි ආරියවංශ.