2024 වසරේ මාර්තු සිට එක්සත් රාජධානියේ වීසා වෙනස් වෙන්නේ මෙහෙමයි

එක්සත් රාජධානිය වෙත සිදුවන සංක්‍රමණ පාලනය කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍යය රජය විසින් පසුගිය දා නව වීසා සීමාවන් කිහිපයක් හඳුන්වා දුන්නා. බ්‍රිතාන්‍යයේ අභිනව ස්වදේශ කටයුතු ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි පාර්ලිමේන්තු වෙත ඉදිරිපත් කල නව වීසා කොන්දේසි අනුව අංශ 5ක් යටතේ මෙරටට පැමිණිමට ඇති අවස්ථාවන් සීමා වනු ඇති.

2019 මහමැතිවරණයේදී කොන්සර්වේටිව් පක්ෂය මැතිවරණ පොරොන්දුවක් ලෙස මෙරටට සිදුවන සංක්‍රමණ පාළනය කරන බවට ප්‍රකාශ කල අතර එහෙත් පසුගිය වසර කිහිපය පුරාම එම පොරොන්දුව ඉටු කිරීමට වර්තමාන රජය අපොහොසත් විය. 2022 වසරට අදාළව නිකුත් වූ දත්ත වලට අනුව එම වසරේදී මෙරටට සිදුවූ ශුද්ධ සංක්‍රමණ ප්‍රමාණය 745,000 බවට හෙලිදරව් වීමෙන් පසුව රජය විසින් මෙම සීමාවන් කඩිමුඩියේම හඳුන්වා දීමට තිරණය කලේය.

Skilled Visa, Student Visa සහ family visa යටතේ හඳුන්වා දුන් මෙම වෙනස්කම් එළැඹෙන 2024 වසරේ මාර්තු මාසයේ සිට බලපැවැත්වෙනු ඇති. ස්වදේශ කටයුතු ලේකම්වරයා විසින් හඳුන්වා දුන් නව නිරණායකයන් යටතේ මෙතෙක් කලක් විදේශීය පුද්ගලයෙකු Skilled Visa යටතේ මෙරටට පැමිණිමේදී අවශ්‍යව තිබූ බ්‍රිතාන්‍යය පවුම් 26,200ක අවම වැටුප පවුම් 38,700 ය දක්වා 50% ට ආසන්න අගයකින් ඉහළ දැමීය. ඒ අනුව ලබන වසරේ මාර්තු සිට රැකියා අවස්ථාවන් විශාල ප්‍රමාණයකට විදේශීය පුද්ගලයන් බඳවා ගැනීමට මෙරට ආයත වලට නොහැකි වනු ඇති.

ඊට අමතරව දැනට පවතින හිඟ රැකියා ලයිස්තුව සංශෝධනය කරන බවටද ජේම්ස් ප්‍රකාශ කරා. එමගින් දැනට හිඟ රැකියා ලයිස්තුවෙහි පවතින වැටුප් අඩු හිඟ රැකියා විශාල ප්‍රමාණයක් ඉවත් කෙරෙනු ඇති. එමෙන්ම හිඟ රැකියා වර්ග කිහිපයක්ද ඉවත් කෙරෙනු ඇති. කෙසේ වෙතත් සෞඛ්‍ය, සමාජ සත්කාරක හා රැකවරණ සේවකයන් හෙවත් Care workers සඳහා ඉහත අවම වැටුප් මට්ටම බල නොපානු ඇති. සෞඛ්‍ය සේවාවන්හී පවතින පුරප්පාඩු සලකා බලා එම රැකියාවන් ඉහත අවම වැටුපෙන් නිදහස්බක්රීමට රජය තීරණය කර ඇත.

එහෙත් රැකවරණ සේවකයන් හෙවත් Care workers සඳහා සිය පවුලේ සාමාජිකයන් හෙවත් යැපෙන්නන් රැගෙන ඒම අත්හිටුවා ඇත. එම වීසා කොන්දේසියද එළැඹෙන මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත වේ. ජාත්‍යන්තර සිසුන් සඳහාද සිය යැපෙන්නන් රැගෙන ඒම පසුගියදා තහනම් කල අතර එම තහනම එළැඹෙන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වනු ඇති.

මීට අමතරව මෙරට ජීවත් වන බ්‍රිතාන්‍යය පුරවැසියන් සහ ස්ථිර වීසා හිමි පුද්ගලයන් සඳහා සිය පවුල් වල සාමාජිකයන් මෙරට ගෙන්වීම සඳහා අවශ්‍යව තිබූ අවම ආදායමද පවුම් 18,600 සිට පවුම් 38,700 දක්වා ඉහළ නංවා ඇත. එහි අරමුණ මෙරට ජීවත් වන පුද්ගලයන්ට මුල්‍යමය වශයෙන් සහිය දිය හැකි පුද්ගලයන් පමණක් යැපෙන්නන් වශයෙන් මෙරටට ගෙන්වීම දිරිගැන්වීම වේ.

තිලාන් ජයසේකර

Raffealla Fernando

බොලිවුඩය දික්විජය කළ රැෆෙලගෙන් ෆෙලා

Raffealla Fernando Celibritie Calendar හෙවත් RFCC කිවූ පමණින් මෙරට ඡායාරූපකරණ

කර්මාන්තය තුළත්, මෝස්තර නිර්මාණ කර්මාන්තය තුළත්, විලාසිතා නිර්මාණ කර්මාන්තය තුළත් මෙන්ම වයවසායිකයන් අතරේත් තම නාමය හා ව්‍යාපාරික සන්නාමය ක්ෂණිකව සිහිගැන්වීමට සමර්ථ වූත් අදාළ කර්මාන්තයන්හි නියැලෙන ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ඇගයීමට බඳුන් වෙමින් මව්බිමේ කීර්තිමත්භාවය වර්ධනය කිරීමට වෙරදරන ඇයගේ වෘත්තීය හා ආද්‍යාත්මීය ජීවිතයේ හරස්කඩක්ගෙ නහැරපෑමට ලත් වෑයමකි මේ.

Q). ඔබ පුද්ගලයෙකු වශයෙන් ඔබව දකින්නෙ කොහොමද…?

A). මම හරිම සංවේදී, හරිම සරළ, අළුත් දේවල් අත්හදා බලමින් ඒ ඔස්සේ ලැබෙන අත්දැකීම් තුළින් අළුත් දේවල්

ඉගෙනගන්න කැමති, උත්සාහවන්ත, දෛර්‍යවන්ත, විවේකය ප්‍රියකරන, නිර්මාණකරණයට ප්‍රියකරන,

සංචාරයට ප්‍රියකරන, අභියෝග ජයගනිමින් සිහින හඹායන්න කැමති කෙනෙක්.

Q). ඔබ ජීවිතය දකින්නෙ කොහොමද…?

A). මම ජීවිතය කියන දේ දකින්නෙ මට තිබෙන වටිනාම දේ විදිහට. නිරෝගී ශරීරයක් හා මනසක් සහිතව උප්පත්තිය ලබන්නෙ අපි විසින්ම පෙර රැස්කරගත්ත පුන්‍ය ශක්තීන්ට අනුකූලව කියලා මම තරයේ විශ්වාස කරනවා. ජීවිතය පවත්වාගෙන යන්න අවශ්‍ය මූලික සම්පත් කිහිපය සපයාගන්න පුළුවන් හැමකෙනෙක්ම හුඟක්වා සනාවන්තයි. ජීවිතය තුළ අතීතයේ ලැබුණු නොලැබුණු, වර්ථමානයේ ලැබෙන නොලැබෙන හා අනාගතයේ ලැබීමට නියමිත නොලැබීමට නියමිත දේවල් පිළිබඳව මම බලන්න කැමති ඉතාමත්ම ධනවාදීව. තාවකාලික ජීවිතයක් තුළ ගතවෙන හැම මොහොතක්ම සවිඤ්ඤාණකව හා සබුද්දිකව විඳින්න පුළුවන්නම් ඒක මම

සළකන්නෙ විශාලතම ජයග්‍රහණය හැටියටයි. අපි මැරෙන්න කළින් ජීවත්වෙන්න ඕනෙ.

Q). ඔබේ ආගම හෝ දර්ශනය කුමක්ද? ඒ තුළින් ඔබ ජීවිතයට ලබාගත් වටිනාම දේ හෝ දේවල් කුමක්ද…?

A). මම කතෝලික ලබ්ධිකයෙක්. ඉවසීම හා ධණාත්මක චින්තනය තමයි ඉගෙනගත්ත වටිනාම දේවල්. ඒ වගේම අවබෝධකරගත්ත වටිනාම දේ තමයි කිසිම දෙයක ස්ථිර නිමාවක් නැතිබවත් වෙනසකට භාජනය වෙලා නැවතත් ආරම්භ වෙන බවත් කියන දේ. මම දෙවියන් වහන්සේ වෙනුවෙන් හැකි සෑම විටකම යාඤ්ඤා කරනවා. ඊට අමතරව මම බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකොට වදාළ විපස්සනා භාවනාව පුරුදු කරනවා. ඒ වගේම හින්දු ධර්මයේ ඉගැන්වෙන සත්චක්‍රයන් හා නාඩි අවධිකිරීමේ ප්‍රාණයාම අභ්‍යාසයන්වලත් නිරතවෙනවා. මම පවතින හැම ආගමකටම හා දර්ශනයකටම ගරු කරනවා. මම විශ්වාස කරන විදිහට ආගම අදහන ආකාරය

හෝ දර්ශනය පිළිපදින ආකාරය පුද්ගලබද්ධ කාරණාවන්. නමුත් ආද්‍යාත්මීය සංවර්ධනය කියන්නෙ

පුද්ගලත්වයෙන් ඔබ්බට ගියපු විශ්වීය ප්‍රඤ්ඤාවත් සමඟින් සම්බන්ධ වුණු සාර්වාත්‍රික කාරණාවක්.

Q). ඔබ කලාව හා නිර්මානශීලීත්වය නිර්වචනය කරගන්නේ කොහොමද…?

A). මම හඳුනාගත්තු විදිහට කලාව කියන්නෙ පුද්ගලබද්ධ වියුක්ත පරිකල්පනයේ හා හැඟීම් ප්‍රකාශනයේ දිගුවක්. ඒ වගේම නිර්මාණශීලීත්වය කියන්නෙ කලාවේ යෙදීමට ඇති ශක්‍යතාවයයි.

Q). ආරම්භයේ සිට වර්ථමානය දක්වා ඔබේ වෘතීය ගමන්මග පිළිබඳව කෙටි විස්තරයක් ඉදිරිපත්කරමු

A). මේ ගතවෙමින් තියෙන්නෙ මගේ නිර්මාණ ජීවිතයේ පහළොස්වන වසරයි. මම පාසල් යන කාලවකවානුවේ ඉඳන්ම ඡායාරූපකරණය පිළිබඳ විශාල උනන්දුවක් දැක්වූවා. නමුත් මට අවශ්‍යතාවය තිබුණෙ විලාසිතා නිරූපණ ශිල්පිනියක් විදිහට වෘත්තීය ජීවිතය ආරම්භ කරන්න. ඉතින් මම විලාසිතා නිර්මාණ ශිල්පය පිළිබඳ උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව විලාසිතා නිර්මාණ කර්මාන්තයට අවතීර්ණ උනා. නමුත් මම උපාධිය හදාරමින් සිටින අතරවාරයේ හැකි පමණින් ඡායාරූපකරණයේ යෙදුණා. ප්‍රමුඛ පෙළේ ජාතික හා ජාත්‍යන්තර ව්‍යාපාරික සන්නාමයන් රැසක් එක්ක මට වෘත්තීමය ලෙසින් විලාසිතා නිර්මාණ ශිල්පයේ යෙදෙන්න අවස්ථාව උදාවුණා. ඒ ආකාරයෙන් වර්ෂ තුනක් පමණ ගතවීමෙන් අනතුරුව මම නැවතත් වෘත්තීමය ඡායාරූපකරණය පිළිබඳ අවධානය යොමුකරන්න පටන්ගත්තා. මට මුලින්ම අවස්ථාව උදාවුණේ විලාසිතා ඡායාරූපකරණයේ යෙදෙන්න. සුළු කාලයකට පසුව එක්තරා රූපවාහිනී නාළිකාවක් හරහා

මට ඉඩ ප්‍රස්ථාව සැලසුනා කලාශිල්පීන් ඡායාරූපකරණයට ලක්කිරීමට. ඒ තුළින් ලබාගත් අත්දැකීම් හමුවේ 2013 වර්ෂයේදී මම කලාශිල්පීන් ඡායාරූපකරණයට නැගූ කැලැන්ඩරයක්නිර්මාණය කිරීමට තීරණය කළා. මම නොහිතපු නොපැතපු විදිහට ඡායාරූපකරණ කර්මාන්තය වෙතින්

කලාශිල්පීන් වෙතින් හා ප්‍රේක්ෂකයන් වෙතින් අතිවිශාල ධණාත්මක ප්‍රතිචාරයන් ගොන්නක් ඒ වෙනුවෙන්හිමිවුණා. එය මාව නොකඩවාම ඒ කර්ත්ව්‍යයේ යෙදීමට විශාල ලෙස උනන්දු කළා.

අඛණ්ඩව එ කර්ත්ව්‍යය සිදුකරගෙන යාම ඔස්සේ ඉන්දියාව, මාලදිවයින, ඉතාලිය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය,එක්සත් රාජධානිය, සිංගප්පූරුව ආදී රටවල් කිහිපයකම වෘත්තීය ඡායාරූපකරණ ශිල්පිනියක් හා වෘත්තීය විලාසිතා නිර්මාණ ශිල්පිනියක් ලෙස කටයුතු සිදුකිරීමට අවැසි වාතාවරණය ගොඩනැගුණා. වර්ථමානය වනවිට මම ඡායාරූප ශිල්පිනියන්, මෝස්තර නිර්මාණ ශිල්පිනියක්, විලාසිතා නිර්මාණ ශිල්පියක්, මනාලියන්හැඩගැන්වීම සම්බන්ධයෙන් උපදේශකවරියකු, වෘත්තීය උපදේශකවරියකු, නිර්මාණ අද්‍යයක්ෂකවරියක් හා වයවසායිකාවක් යන වෘත්තීන් නියෝජනය කරනවා.

Q). ඔබේ වෘත්තීය ජීවිතය තුළ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයන් පිළිබඳ කෙටි ආවර්ජනයක් ඉදිරිපත්කරමු.

ශ්‍රී ලංකාව වැනි ඡායාරූපකරණ හා විලාසිතා නිර්මාණකරණ කර්මාන්තයන්හි සැළකියයුතු අභිවර්දනයක්ද ක්නට නොලැබෙන රටක වසර පහළොවක් පමණ අඛණ්ඩව ප්‍රාමාණිකව නිශ්චිත මෙන්ම ගුණාත්මකව උසස් සේවාධායකයන් සමූහයක් සමඟින් වෘත්තීමය සම්බන්ධතාවයන් කළමනාකරණය කරගෙන යාමම ඉතා විශාල ජයග්‍රහණයක් ලෙස මම දකිනවා.

ඡායාරූපකරණය යටතේ 2013 වර්ෂයේ එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පැවති International

Photography Awards හි එම වසරේ හොඳම ඡායාරූප ශිල්පියා ලෙසින් මාව ඇගයීමට පාත්‍ර වීමත්, ඇමරිකා එක්සත් ජනපදයේ නිව්‍යෝක් නුවර පැවති International Achievers Awards හි විශේෂ ජූරි සම්මානයක්හි මි වීමත්, එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පැවති Bafta Awards හි ලෝක ශ්‍රේණිගත කිරීම්හි අටවන ස්ථානය ලෙසින් සනිටුහන් වීමත් මෙන්ම බොලිවුඩ් සිනමා කර්මාන්තයේ දැවැන්ත වාණිජ සිනමාපට නිර්මාණකරුවෙක් වන රෝහිත් ශෙට්ටි විසින් අද්‍යයක්ෂණය කරනුලැබූ " සර්කස්" සිනමාපටයේ ප්‍රවර්ධන යාන්ත්‍රණයට සම්බන්ධ වීමට මං සැලසීමත් වෘත්තීය ජීවිතයේදී මා ලැබූ විශාලතම ජයග්‍රහණයන් ලෙස හඳුන්වන්න පුළුවන්.

Q). ඔබේ වෘත්තීය ජීවිතය තුළ ඔබ මුහුණදුන් විශාලතම අභියෝගය සහ එය ජයගත් ආකාරය පිළිබඳ කෙටි විස්තරයක් ඉදිරිපත්කරමු.

A). තරුණ වයසෙදි මට අනතුරකට මුහුණදීමට සිදුවුණා. ඉන් අනතුරුව මට වසර එකහමාරක පමණ කාලයක්ග තවනතුරු එක් අංශයක් අප්‍රාණික ලෙසින් ජීවත් වීමට සිදුවුණා. එම තත්ත්වය ක්‍රමයෙන් සමනය වූවාත්ඉ න් පසුව නැවතත් වෘත්තීය මට්ටමින් කරළියට පැමිණීම වෙනුවෙන් තවත් වසර එකහමාරක් පමණ කායිකවත්, මානසිකවත්, වෘත්තීයවත් විශාල අරගලයක් සිදුකිරීමට මා හට සිදුවුණා. එනමුත් ඒ සියල්ල අවසානයේ පෙර මා විසින් ගොඩනගාගෙන සිටි වෘත්තීය සාර්ථකත්වයද අභිබවමින් දැවැන්ත සාර්ථකත්වයක්අ තකරගැනීමට වර්ථමානය වනවිට මට අවකාශය උදාවීම පිළිබඳව මම මාගේ ඉවසීමත්, අවබෝධයත්, දරාගැනීමත්, කැපවීමත්, උත්සාහයත් සම්බන්ධයෙන් මහත් ආඩම්බරයට පත්වනවා.

Q). ඔබේ ජීවිත අත්දැකීම් තුළින් පුද්ගලයෙකුට තමන්ගේ සහජ දක්ෂතාවයන් හඳුනාගැනීමට සිදුකළ යුත්තේ

කුමක්ද යන්න පිළිබඳව අදහසක් හෝ අදහස් ඉදිරිපත්කරමු.

A). මගේ අත්දැකීම් අනුව මම විශ්වාස කරන ආකාරයට පරිණත වයසට එළඹුණු පුද්ගලයෙක් වශයෙන් තම හෘදසාක්ෂියට අවංකව සවන්දීම ඉතාමත්ම වැදගත් වෙනවා. හෘදසාක්ෂිය වෙතින් පුද්ගල අභ්‍යන්තරයේ සාරය නිරූපණය කෙරෙනවා. හැඟීම්, දැනුම, ආකල්ප හා කුසලතා ආදිය ගැබ් වී තිබෙන්නේ ඒ තුළයි. ළාබාල වයසේදීනම් එම කාරණාවන් පිළිබඳ හඳුනාගැනීමක් තම සමීපතමයින් විසින් සිදුකරගත හැකිනම් එය ඉතාමත්ම වටිනවා. එසේ හඳුනාගැනීමෙන් අනතුරුව ඒවා පාදක කොටගෙන යොමුවිය යුත්තේ විනෝදාංශ සඳහාද වෘත්තීන් සඳහාද යන්න නිවැරැදිව තීරණය කළයුතු වනවා.

Q). විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපය තුළ කාලාන්තරයක් තිස්සේ පවතින පුරුෂාධිපත්‍යීය සංස්කෘතික වටපිටාව හමුවේ රංගන, නිරූපණ, නර්තන, නිවේදන, පූරක ආදී වෘත්තීන් තුළ කාන්තාවන් හට මුහුණදීමට සිදුවෙන අභියෝගයන් පිළිබඳව ඔබේ අදහස ඉදිරිපත්කරමු.

A). මගේ අවබෝධයේ හැටියට කාලාන්තරයකට කළින් පුරුෂ මූලික සංස්කෘතික වටපිටාවක් පැවතුණත් එය ක්‍රමයෙන් විකරණය වෙමින් පුරුෂ මූලික සංස්කෘතික වටපිටාවක් බවට පරිණාමය වෙලා තියෙනවා.

කෙසේවෙතත් කලාව තුළට ලිංගභේදය කියන කාරණාව රිංගවන්නට උත්සාහ දැරීම පිලිබඳව මම

හෙළාදකිනවා. ඒ වගේම කලාවේ උපයෝගීතාවය හෙවත් නිර්මාණශීලීත්වය යන කාරණාවන් කිසිසේත්ම ලිංගභේදය මත රඳාපවතින්නෙ නැහැ යන්න මගේ අත්දැකීමයි. එය සෘජුවම තීරණය වන්නේ හැඟීම් හා පරිකල්පන ධාරිතාවය මත පමණයි.

පුරුෂයින්ට හෝ වේවා කාන්තාවන්ට හෝ වේවා මෙම කර්මාන්තයන් තුළ සක්‍රීයව නැගීසිටිද්දී මුහුණදීමට සිදුවෙන අභියෝගයන් බොහෝවිට එකහා සමානයි. එනමුත් කාන්තාවක් එලෙස සක්‍රීයව නැගීසිටීමක්සි දුකිරීමට වෙරදැරීමේදී ඉහත සඳහන් කළ සංස්කෘතික වටපිටාව හමුවේ ඇය දෙස බලන කෝණය සාපේක්ෂව වෙනස් වීමේ සම්භාවිතාවක් තියෙනවා. එය ඇයට යම් ආකාරයක අභියෝගයක් සේ පෙනෙන්නට පුළුවන්.

Q). ඔබ පෞද්ගලික ජීවිතය තුළ මෙන්ම වෘත්තීය ජීවිතය තුළත් ඉතා සාර්ථක කාන්තාවක් වශයෙන්සාර්ථකත්වය සාක්ෂාත් කරගැනීමට පුද්ගලයෙකු සතුව අනිවාර්යයෙන්ම තිබියයුතු ගුණාංගයන් වශයෙන්ඳුනාගත්තේ මොනවාද…?

A). මගේ විශ්වාසය අනුව සාර්ථකත්වය හිමිකරගැනීමේ මූලික සිද්ධාන්තය තමයි ආත්ම විශ්වාසය. එය ගොඩනගාගැනීමටනම් පළමුව තමන් විසින් තමන් හට දක්වන ආදරය කැපීපෙනෙන ලෙස වර්ධනය කරගතයුතු වනවා. එසේ සිදුකරගත් විට තමා මෙන් වූ ලෝකයාටත් කැපීපෙනෙන ලෙස ආදරය කිරීමට පුරුදු වෙනවා. එවිට මුදිතාව උපේක්ෂාව වැනි උතුම් ගුණාංගයන් ක්‍රමයෙන් වර්ධනය වීමට පටන් ගන්නවා. උපරිම වූ ආත්ම විශ්වාසය විසින් දැඩි අධිෂ්ඨානශීලීත්වයක් පුද්ගලයා තුළ ගොඩනංවනවා. එය සාර්ථකත්වය තමන් කරා ගෙන්වීමට සමත් වෙනවා.

Q). ඔබ වෘත්තීය වශයෙන් නියැලෙන කර්මාන්තයන් තුළට වෘතිකයන් ලෙස එක්වීමට කැමැත්තෙන් සිටින නවකයින් හට ලබාදීමට ඇති පණිවිඩය කුමක්ද…?

A). තමන්ගේ ආත්මය කෙරෙහි අවංක වීමත් වෘත්තීය කෙරෙහි අවංක වීමත් තමන්ට හා වෘතියට ආදරය කිරීමත්නිරන්තරයෙන් නව අත්හදා බැලීම් සිදුකරමින් ඒ තුළින් නවමු දෑ ඉගෙනගැනීමත් නිර්මාණශීලිත්වය වර්ධනය කරගැනීමත් තරඟකාරී නොවීමත් යන කාරණාවන් කිහිපය පිළිපැදීමට හැකිනම් මේ කර්මාන්තයන් තුළ ජයග්‍රාහී දීර්ඝ ගමනක් යාමේ වැඩි ඉඩකඩක් තියෙනවා.

Q). ඔබේ නවමු ව්‍යාපාර සන්නාමය පිළිබඳ විස්තරයක් ඉදිරිපත්කරමු

A). මගේ නවමු විලාසිතා සන්නාමය " Fella " යනුවෙන් තමයි නම්කරලා තියෙන්නෙ. ඉන්දියාවෙ දිල්ලි නුවර " Global India Culture Week 4.0 " හි ප්‍රථම වරට එළිදැක්වීමට භාග්‍යය උදාවීම සුවිශේෂී කාරණාවක්ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඉතාමත්ම ඉක්මනින් ශ්‍රී ලංකාවෙත් උත්කර්ෂවත් අන්දමින් එළිදැක්වීමට

අවශ්‍ය සියළු කටයුතු සූදානම් කෙරෙමින් තියෙන බව ඉතාමත්ම සතුටින් කියන්න ඕනෙ.

ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරය තුළත් මාත් සමඟින් ගැවසෙන බොහෝ පුද්ගලයන් මම ඇඳුම් පැළඳුම්ආ යිත්තම් භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් බොහෝ ප්‍රශංසා කරනවා. එම කාරණාව මට Fella වෙනුවෙන් විලාසිතා නිර්මානකරණයේදී විශාල උත්තේජනයක් සැපයූවා. මා විසින් නිර්මාණය කරන ලද විලාසිතාවන් බොහෝමයක් Fella හි අන්තර්ගතයි.

දැරියහැකි මුදලකට ගුණාත්මක භාවයෙන් ඉතා ඉහළ ඇඳුම්, පැළඳුම්, ආයිත්තම් ආදිය පාරිභෝගික ප්‍රජාව හමුවට පැමිණවීම තමයි මගේ මූලික අභිමතාර්ථය වෙන්නෙ. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී සිදුකිරීමට නියමිත ව්‍යවසායික සංවර්ධනයත් සමඟින් දුෂ්කරතා මද්‍යයේ දිවිගෙවන කාන්තාවන් හට රැකියා අවස්ථාවන් උත්පාදනය කරදෙන්න සහ ඔවුන්ගේ ළමයින්ගේ අද්‍යාපනික හා වෘත්තීය හීන සැබෑකරගන්න පිටිවහලක් සපයන්න.

සැකසුම : හිරාන් ගමගේ

Kalani Dodanthenna

1. කලණි, මේ දවස්වල කාලය ගෙවෙන්නේ කොහොමද?

තුමිදුගේ ආචාර්ය උපාධියෙහි අධ්‍යන කටයුතු නිසා අපි මේ දවස්වල ජිවත් වන්නේ එංගලන්තයේ.

2. ඔබේ පුංචි පවුල එක්ක එංගලන්තයේ ජිවත් වෙන්න ලැබුන අවස්ථාව සහ ලැබෙන අත්දැකිම කොහොමද?

තුමිදුගේ අධ්‍යාපන කටයුතු නිසා පහුගිය කාලයේදි අපි තුන්දෙනාට එකට ජිවත් වෙන්න නොහැකි වුනා. ඇත්තටම ඒ කාලය අපි ගත කලේ සතුටින් නෙවෙයි.
අලුත් පරිසරයකට හුරු වෙන එක අමාරු වුනත් පවුලක් විදියට එකට ඉන්න එක මගේ හිතට ලොකු සතුටක්. අපේ පුතා එංගලන්තයේ පාසලක පළමු වසරේ ඉගෙනුම ලබනවා. තුමිදු එයාගේ අචාර්ය උපාධියේ අවසන් වසරේ අධ්‍යනය කටයුතු කරගෙන යනවා. මම මෙම දිනවල VMD ආයතනයෙහි Student consultant කෙනෙකු වශයෙන් රැකියාව කරනවා. ටික කාලයකට හරි එංගලන්තයේ ජිවත් වෙන්න ලැබිම අපි තුන්දෙනාට වෙනස්ම අත්දැකීමක් වුනා.

3. ජිවිතයේ එක් දවසක් ටෙලිනාට්‍යයෙහි “වත්සලා” චරිතය සදහා රංගනයෙන් දායක වෙන්න ලැබුන අවස්ථාව පිළිබදව ඔබේ අදහස මොකක්ද?

වත්සලා කියන චරිතයට මාව තෝරා ගැනිම පිළිබදව අපේ රටේ ඉන්න ඉතාම දක්ෂ අධක්ෂකවරයෙක් වන
ලලිත් අයියාට ස්තුතිවන්ත වෙනවා. එවැනි අධක්ෂකවරයෙක් යටතේ වැඩ කරන්න ලැබිම මගේ රංගනය දියුණු කර ගන්න ලැබුන ලොකු අවස්ථාව වෙනවා. එමෙන්ම දක්ෂ රංගන ශිල්පින් දෙදෙනෙකු වන බිමල් අයියා, පුබුදු අයියා සමග ප්‍රධාන චරිතයක් රගපාන්න ලැබිම ඉතා වටිනා අවස්ථාවක් වෙනවා. ඒවගේම ජිවිතයේ එක් දවසක් ටෙලිනාට්‍යයෙහි මගේ චරිතය නිර්මාණය කර ගැනිමට උදව් වුන රංගන ශිල්ප, ශිල්පිනියන් සහ අනිකුත් කණ්ඩායමේ සියලුම දෙනාව මම ආදරයෙන් මතක් කරනවා.

4. ඔබේ එංගලන්ත සංචාරය අතරතුර සම්බන්ධ වෙන්න ලැබුන නිෂ්පාදනය පිළිබදව විස්තර කියමුද?

මායා 24 චිත්‍රපට නිෂ්පාදන සමාගමේ නිෂ්පාදනය වන මායා සිංහරතන අධක්ෂණය කරන Ceylon කෙටි ච්ත්‍රපටයෙහි මම රංගනයෙන් දායක වෙනවා. මෙම දිනවල එහි නිෂ්පාදනය කටයුතු සිදු වෙමින් පවතිනවා.

5. ඔබ දායක වන්නේ තෝරාගත් සීමිත සහ ගුණාත්මක නිර්මාණ ප්‍රමාණයකට පමණයි. ඒ සදහා විශේෂ හේතුවක් තියෙනවාද?

චරිතයක් භාර ගැනිමට පෙර රංගන ශිල්පිනියක් විදියට එම චරිතය කොයි තරම් දුරකට සාර්ථකව කරන්න පුලුවන්ද, ඒවගේම ප්‍රේක්ෂක රසවින්දනයට සහ බුද්ධියට යම්කිසි දෙයක් එම නිර්මාණය තුලින් එකතු කරන්න පුලුවන්ද වැනි කරුණු නිර්මාණයකට දායක වෙන්න කලින් මම හිතනවා. මට ලැබෙන ඕනෙම චරිතයක් මගේ රංගන ජිවිතයට අලුත් අත්දැකීමක් එකතු කරනවා.

6. කලණි, ඔබ ඉතාම දක්ෂ චිත්‍ර ශිල්පිනියක්. එම අංශයෙන් අනාගතය බලාපොරොත්තු මොනවාද?

මම එංගලන්තයට ආවට පස්සේ කුඩා දරුවන් වෙනුවෙන් සජිවි සහ Online තාක්ෂණය උපයෝගි කරගෙන ච්ත්‍ර වැඩමුළු කිපයක්ම කලා. මම දැනට ජිවත් වන එංගලන්තයේ එල්ස්බරි ප්‍රදේශයේ ච්ත්‍ර වැඩමුළු කිපයක් දෙසැම්බර් මාසයේදි පටන් ගන්න සැලසුම් කරලා තියනවා. කුඩා දරුවන් සමග වැඩ කරන්න මම හරිම කැමතියි. ඒ අය තුල ඉන්න නිර්මාණ ශිල්පියෝ එයාලගේ ච්ත්‍රවලින් එලියට එනවා දකින එක මට ලොකු සතුටක්. ච්ත්‍ර ශිල්පයෙකු විදියට ඊට වඩා ලොකු බලාපොරොත්තුවක් මට නැහැ.

7. ජිවිතයේ එක් දවසක් ටෙලිනාට්‍යයට අමතරව ඔබ අලුතින් සම්බන්ධ වුන නිර්මාණ මොනවාද?

මම රංගනයෙන් දායක වුන කෝරලගේ සමන් අධක්ෂණය කරන අමුතු දොස්තර කියන ටෙලිනාට්‍යය සහ මම සහභාගි වුන ගීත රූප රචනා දෙකක් තුලින් ඉදිරියේදි මාව ප්‍රේක්ෂකයන්ට දැක ගන්න ලැබේවි.

අමා නාකන්දලගේ ✍🏼
(අපි Magazine)

ජීවිතාවර්ජනය 

ජීවිතයේ  වැටෙන හැම මොහොතකම නැගිටින් නං හොඳ ආත්ම ශක්තියක් තියෙන්න ඕන. වැටෙන වට්ටන, රිදෙන රිද්දන, කැඩෙන පොඩි වෙන හැම ජීවිතයක්ම හරි අපූරුවට වීනස් කුරුල්ලෙක් වගේ නැගි සිටින්නට තරම් ශක්තිමත් වෙන්න උත්සහ දරනවා නම් කොච්චර හොඳද? තමන්ගෙ ජීවිතයට අභියෝග කරන පුද්ගලයින්, ලෙඩ රෝග හා ඇබ්බැහිවීම් වලින් ශක්තිමත්ව හා ධෛර්යමත්ව නොසැලී  නොබියව මුහුණ දීම තරම් හැකියාවක් හා ආත්ම විශ්වාසයක් අපි,අපි තුලම ඇතිකර ගත යුතුමය. මොකද අපට අභියෝග කිය කියා ජීවිතයට සූදානමක් ඇතිව නො එන නිසාවෙනි.

අද මගේ පිටුව හැඩ කරන්නේ අභියෝගවලට නොසැලී මුහුණ දෙමින් වැටෙන හැම මොහොතකම කෙසේ හෝ නැගිටින්නට වෙර දරන , වෙරදැරූ තරුණයෙක්. ඔහු නමින් නිර්මාණ ලෙස හඳුන්වමු. ඔහුගේ කතාව මා මෙතෙක් ඔබට ගෙනා ජීවිතාවර්ජනයන්ට  වඩා දිගයි. ඒත් සමාජයට වටිනා පාඩමක් කියා දෙනවා.

1. නිර්මාල් වගේ වයස ගම අපිට කියන්න කැමතිද?

ඔව් මගේ මගේ වයස අවුරුදු 34යි. ගම කිරිබත්ගොඩ

2. මොනාටද ඇබ්බැහි වෙලා හිටියෙ

ගංජා, හෙරොයින් අන්තිමට අයිස් වලට

3. කොහොමද මේක පටන් ගත්තෙ කියලා කියන්න

මම 8 වසරේදී තමයි ඉස්සල්ලාම සිගරට් එකක් බිව්වේ යාලුවොත් එක්ක එකතු වෙලා. ඒක ආසාවට කලාට ඇබ්බැහි වුණේ නෑ. මම 2001 දී O/L කලා. ඊට පස්සේ මම සපත්තු ෆැක්ටරියක වැඩට ගියා. ඒ කාලේ වෙනකොට මම මත්පැන් පාවිච්චි කළා ඉඳලා හිටලා යාළුවොත් එක්ක එකතු වුනාම. ඔහොම කාලයක් යද්දී 2005දි විතර මගේ ගෙදර ඉස්සරහ හිටපු යාලුවයි මමයි දවසක් මොකක්ද මේ ගංජා කියන්නේ කියලා බලන්න වගේම මේක නවත්තගන්න බැරි දෙයක් ද කියල බලන්න අරගෙන බිව්වා. පළවෙනි දවසෙ නම් කිසිම වැඩක් නැති දෙයක් කියලා හිතුනා. දවස් තුනකට පස්සේ ආයෙත් අපි දෙන්නා ගංජා බිවුවා. එදා නම් පළවෙනි දවසට වඩා මේක මරු වගේ feeling එකක් තිබුනා. ඕන වැඩක් කරන්න ඇඟට අමුතු ගටක් වගේ දැනුනා. ඊට පස්සේ ආයෙමත් දවස් තුන හතරකට විතර පස්සෙ ආයෙමත් බිව්වා. ඉඳලා හිටලානෙ  අපි බොන්නේ ඒ නිසා අවුලක් නෑනේ කියලා අපි අපිටම කියා ගත්තා. එදා නම් මේක පට්ට වගේ හැඟීමක් දැනුනා. හරි සැහැල්ලුවක් වගේ දැනුනා. මෙහෙම දවස් තුන හතරකට සැරයක් වගේ ගත්ත ගංජා අපි දවස ගානේ ගන්න පටන් ගත්තා. මේ අතරේ අපි හෙරොයින් පාවිච්චියටත් පුරුදු වුණා. හෙරොයින් පාවිච්චි කලා කියලා ගංජා පාවිච්චි නතර වුණේ නැහැ. හෙරොයින් වලින් ලැබෙන ආතල් එක ගංජා පාවිච්චිය නිසා ඉක්මන් වුනා. මම කොන්ත්‍රාත් විදිහට වැඩ කරපු නිසා රස්සාවට ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ මුලදී. මෙහෙම කාලයක් යද්දි මාව අලුත් පාලම උඩදී පොලිසියෙන් අල්ලගත්තා මම හෙරොයින් අරගෙන එන ගමන්. මාව දවස් දාහතරක් රිමාන්ඩ් කළා. එතකොටයි මගේ අම්මයි තාත්තයි මම කුඩු ගහනවා කියලා දැනගත්තේ. ඒත් අම්මට ඒක විශ්වාස කරන්න බැරි වුණා. මොකද මම හැමදාම ගෙදර ඇවිත් කිසි සද්දයක් නැතිව කාල නිදා ගත්ත නිසා.

රිමාන්ඩ් එකෙන් ආවට පස්සෙ මම ආයෙමත් කුඩු ගහන්න ගත්තා. මගේ ජොබ් එක  නැති වුණා. ඔය අතරෙ මට ගෑණු ළමයෙක් එක්ක සම්බන්ධයක් ඇති වුණා. ඒත් එක්කම මම තවත් රැකියාවකට යන්න පටන් ගත්තා.  රැකියාව හා පෙම්වතියක කාලය ගතවෙනකොට මට කුඩු ගහන්න තිබුණ උනන්දුව අඩු වුණා. ඒ වෙනුවට මම සිගරට් සහ බුලත් විට  කන්න වැඩියෙන් යොමු වුණා. ඉදල හිටලා ගංජා බ්ව්වා. මම කුඩු ගැහුවා ඒත් දැන් නැහැ කියලා මගේ පෙම්වතියට කිව්වා. දැන් එහෙම නැති නිසා එයාට ඒක ප්‍රශ්නයක් නෙවෙයි කියලයි එයා කිව්වේ. අපි විවාහ වුණා. මේ විදිහට අවුරුදු හතරක් විතර ගෙවුණා. මට ඉන්නේ පුතයි දුවයි. පුතා ලැබිලා ටික කාලයක් යද්දි මම ආයෙමත්  හෙරොයින් භාවිතයට යොමු වුණා. ඒ මම රැකියාව කරපු තැන හිටපු කෙනෙක් නිසා. රැකියාවෙන් අස්කලා. ආර්ථික ප්‍රශ්න ප්‍රශ්න වැඩි වෙන්න ගත්තා. මම මගේ මහ ගෙදර හිටියේ.  ඒ නිසා ගෙදර මගේ පවුලට අමතරව අම්මයි තාත්තයි අයියයි ජීවත් වුනා. මේ කාලෙ වෙනකොට මම ගෙදර දරුවන්ගේ වියදමට වඩා මගේ අවශ්‍යතාවය සපුරා ගන්න ගෙදරින් සල්ලි හොරකම් කරන්න ගත්තා. රණ්ඩු සරුවල් හැමදාම ගෙදර එන්න එන්න වැඩි වුණා. දුව ලැබිලා මාස දෙකෙන් මම පුනරුත්ථාපනයට යොමු වුනා. මගේ අයියගේ අනුදැනුම ඇතිව මගේ කැමැත්තෙන් මම එම පුනරුත්ථාපන ආයතනයට ගියා. එතන මාස නමයක් පුනරුත්ථාපනය උන මම තවත් මාස නමයක් එම ආයතනයෙන්ම කාර්ය මණ්ඩලයහි සේවකයෙක් විදියට පුහුණුව  ලබමින්  වැඩ කළා.

4.සුවය ලබලා ඇවිත් හොඳ ජීවිතයක් ගත කරන්න ලැබුණ ද?

ඔව්, මගෙ දරු දෙදෙනා එක්ක හොඳින් ජීවත් වුණා. හිතවත් අයගෙ උදව්වෙන් අපි පොඩි කඩයක් දැම්මා. ඒ කඩේ දියුණු කරගෙන ත්‍රීවිල් එකකුත් අරගත්තා. අතමිට සරු වෙනකොට දවසෙ මහන්සිය ගෙවා ගන්න  මම හැමදාම  මත්පැන් ටිකක් පාවිච්චි කලා. මත්පැන් වලට වියදම් කරලා ඉතිරි කඩේ ලාභය හැමදාම බිරිඳ අතට දුන්නා. හැමදාම බොන නිසා ආයෙත් ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තා. බිරිඳට මාව එපා වුණා. ඔය අතරේ රණ්ඩුව කදී බිරිඳ මට ” තමුසේ ඉතින් කුඩුකාරයෙක් නෙ කියලා කිව්වා” ඕක මට ටිකක් තදේට දැනුනා. මම කාටවත් වැරැද්ද පටවන්නේ නැහැ. මේ ඇබ්බැහිවීම රෝගයක්. බිරිඳගේ වචන ටික ආයෙත් මට පරණ ජීවිතයට යන්න තල්ලුවක් වුණා. ඒ වෙලාවෙ “මං උඹට හොඳ පාඩමක් උගන්නන්න්ම්” වගේ හැඟීමක් තමයි මට තිබ්බේ. අන්තිමට ඉතිං වැරදුනේ මට. ඒ සැරේ මම නතරවුනේ අයිස් වලින්. ඉස්සෙල්ලම රු.1000 කට තමයි අයිස් ගත්තෙ. අජින මොටෝ කැට වගේ කැට 10විතර ලැබුනා.

අයිස් ගහන්න සල්ලි නැති වෙනකොට මම ගෙදර බඩු මුට්ටු විකුණන්න ගත්තා. මම ත්‍රීවීල් එක විකුණයි කියලා බයට මගේ නෝනා එක විකුණලා සල්ලි අරගත්තා. ටික දවසක් යද්දි මම බය නැතුව ගෙදරට ගෙනල්ලා අයිස් ගහන්න පටන් ගත්තා. එතකොට නං මගේ නෝනාගෙ රතු කට්ට පැන්නා. ඇත්තටම මම කලේ මහාම මහ ජරා වැඩක්. මගේ දරුවෝ දකිද්දී මම ඒ දේ කළා. බලාගෙන ඉඳිද්දී මම ඇටසැකිල්ලක් වුනා. දවසක් රෑක හොඳටම රණ්ඩු වෙලා බිරිඳ දරු දෙදෙනාත් එක්ක ගෙදර තිබුණ  බඩුත්  ලොරියක පටවගෙන ගමේ ගියා. ඒ ගිහිල්ලා මාසයක් විතර මම හොඳ හැටියට අයිස් ගැහුවා. මේ සැරේ මගේ අම්මයි තාත්තයි පාස්ටර් කෙනෙකුගේ මාර්ගයෙන් මාව කළුතර තියෙන පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට ඇතුලත් කලා. ඒකෙ මාස හතරක් මම නතර වෙලා හිටියා. 

5. ඒ කියන්නේ දැන් ඔයා දෙසරයක් පුනරුත්ථාපනය උන කෙනෙක්. දැන් සුවය ලබලා ඇවිත් කොච්චර කල්ද?

මාස හතරයි.

6. මොකද දැනෙන්නෙ මේ සැරේ. ඇබ්බැහි මිදෙන තනියම පුලුවන්ද?

හැම සැරේම මං පුනරුත්ථාපනයට යොමු වුණේ කොහොමහරි මම මේ ඇබ්බැහියෙන් මිදෙනවා කියන බලාපොරොත්තුවෙන්.

මොකද මම නිසා මගේ අම්මා තාත්තා බිරිඳ දරුවෝ සහෝදරයා සෑහෙන කරදර වලට මුහුණ පෑවා. ආයෙත් නම් වැටෙන්නෑ කියන ආත්ම විශ්වාසයෙන් ඉන්නවා. තව දෙයක් කියන්න ඕන පුනරුත්ථාපනය උන මධ්‍යස්ථානයත් එක්ක සම්බන්ධතාවය පවත්වා ගන්න ඕන. ඒ අයගෙ වැඩසටහන් වලට සහබාගි වෙන්න ඕන. ඒකෙන් අපිට ලොකු ශක්තියක් වගේම ලැබූ සුවය පවත්වාගන්න පුලුවන් වෙනවා. කලින් සැරේ මට ඒ සම්බන්ධතාවය තියාගන්න බැරි වුණා. නමුත් මේ වතාවේ මම කළුතර පුනරුත්ථාපන මධ්‍යස්ථානය සමග සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් මගේ ජීවිත අත්දැකීම් එක්ක එහි පුනරුත්තාපනය වන සහෝදරයන්ට වැඩසටහන් කරනවා. ඇත්තටම මේ ඇබ්බැහියෙන් මිදෙන්න අපිට තනියම බැහැ. පුනරුත්ථාපන මධ්‍යස්ථානයක උදව්ව අවශ්‍යම වෙනවා. 

දැන්නම් බිරිඳයි දරුවොයි මගෙ ළඟ නැහැ. ඒත් මං දරුවන් සමඟ දුරකතනයෙන් කතා කරනවා.

7.ඉදිරි ජීවිතය ගැන තියෙන බලාපොරොත්තු මොනවාද? 

ආයෙත් මේ ඇබ්බැහියට යොමු වෙන්නැතුව ඉන්න එක තමයි ලොකුම බලාපොරොත්තුව. දැන් මම රස්සාවක් කරනවා. කොහොමහරි මගේ හොඳ කල්ක්‍රියා වත් එක්ක බිරිඳයි දරුවොයි මා ළඟට ගන්න තමයි තියන අනිත් බලාපොරොත්තුව. ඒ වෙනුවෙන් මං මහන්සි වෙනවා. මගේ වැරදි නිසයි ඇය මාව දාලා ගියේ. ඒ නිසා මම කිසිවිටෙක ඇයට දොසක් කියන්නේ නැහැ. 

8. ඔයාට මොනවද තරුණ පරපුර ට මත්ද්‍රව්‍ය ගැන කියන්න තියෙන්නෙ..

මම එක ජාතියකට විතරක් නෙමෙයි ගංජා හෙරොයින් අයිස් තුනම පාවිච්චි කලා. ඇබ්බැහියක් නොවුනත් සිගරට් මත්පැන් බුලත්විටත් ඉඳහිට භාවිතා කළා. 

පුනරුත්ථාපනය උන කෙනෙක් මේ කිසිම දෙයක් පාවිච්චි කරන්න හොඳ නෑ. මොකද අපේ හිත දුර්වලයි. ඒ නිසා කොයි වෙලේ අපි නැවත වැටෙයිද කියන්න බැහැ. මම කිසිම කෙනෙකුට ඕක බොන්න එපා කියන්නෙ නැහැ. මොකද නිකන් කිව්ව පලියට එක කවුරුත් නවත්තන්නෙ නැහැ. මම මගේ ජීවිත අත්දැකීම්මෙන්ම තමයි අනිත් අයට කතා කරනනෙ. ඇබ්බැහි වෙලා ඉන්නවා නං ඉන් මිදෙන්න ඕනේ නම් දැනුම් තේරුම් කෙනෙක් ගෙදර නැත්තම්  කතා කරල උදව්වක් ගන්න කෙනෙක් නැත්නම් ළඟම තියන රජයේ රෝහලට ගිහින් ඔබේ අවශ්‍යතාවය කියන්න. ඔවුන් ඔබට ඉන් මිදෙන්නට අවශ්‍ය මගපෙන්වීම සපයයි. 

මම ජීවිතේ අඩියටම වැටිලා  ඉන් ගොඩ එන්න උත්සහා කරලා කෙසේ හෝ උත්සාහය සාර්ථක කර ගත්ත කෙනෙක්. වැටෙන හැම මොහොතෙම නැගිටින්න පොඩි හරි බලාපොරොත්තුවක් නැති කරගන්න. මගේ ජීවිත කතාව ඇබ්බැහි වී සිටින සියලු දෙනාටම ආදර්ශයක් උනා නම් ඒ මගෙ සතුටයි.

ස්තුතියි

පියුමි සිල්වා