

Interview
Q1. මුලින්ම ඔයා ගැන හැඳින්වීමක් කලොත්.
මම හිරුණි පීරිස් දැරණියගල, වයස 24 යි. පාසල් ගියේ
දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා පාසලට. දැනට උපාධිය
අවසන් කරලා පුහුණු වන ගෘහ අභ්‍යන්තර
නිර්මාණශිල්පිනියක් විදිහට වැඩ කරනවා.
Q2. අපි දැන ගන්න කැමතියි හිරුණිගේ පවුලේ විස්තර
පවුල් ගැන කිව්වොත් මට ඉන්නේ අම්මා, තාත්තා, නංගි.
නංගි නම් දැන් විදෙස් ගත වෙලා ඉන්නේ. අම්මයි තාත්තයි
මේ වෙද්දි විශ්‍රාම සුවයෙන් ඉන්නවා.
Q3. අපිට ඔයාව magazine එකෙන් හමුවෙන්නේ සමනල්ලුත්
එක්ක, ඉතින් කොහොමද ඔයා සමනල්ලු ගැන ඔය විදිහට
විස්තර දැනගත්තේ, ඒ ගැන අපිට විස්තර ටිකක් කියන්න.
මෙහෙමයි මුලින්ම කියන්න ඕනේ මේක මගේ විනෝදාංශය.
සත්තු ගැන ඉගෙන ගන්න එක ඇත්තටම වෙනම විදිහක
විනෝදයක්. ඉතින් ඒ අතරින් මගේ වැඩි කැමැත්ත ගියේ
සමනල්ලුන්ට.
එහෙම ගත්තාම මම විධි කිහිපයකින් සමනල්ලු ගැන
ඉගෙනගෙන තියෙනවා වගේම තවමත් ඉගෙන ගන්නවා.
මුලින්ම මම සමනල්ලු ගැන ඉගෙන ගත්තේ ශ්‍රී ලංකා තරුණ
සත්වවේදින්ගේ සංගමයෙන් පස්සේ ඒගොල්ලෝ ගැන දැනුම
එක මට්ටමකට ආවම තනිමත් විස්තර හොයන්න පටන්
ගත්තා. ඇත්තටම ලංකාවේ සත්තු ගැන ඉගෙන ගන්න
ගොඩක් හොඳ සංවිධාන තියෙනවා වගේම මේ ජීවි කාන්ඩය
ගැන ක්ෂේත්‍රයේ ප්‍රවීනයෝ ගොඩක් ඉන්නවා.
Q4. හිරුණි මේ ලියන එකෙන් ඔයා සමනල්ලුන්ට දෙන
වැදගත්කම මොකද්ද?
ඇත්තටම මේ ලෝකේ වැදගත් නැති සතෙක් කියලා නැ
හැමෝම වැදගත්. මේ ලෝකේ ඉන්න මොකෙක් හරි
සතෙක්ගෙන් මේ මහ පොලොවට මොනාම හරි වැඩක්
තියෙනවා. මිනිස්සු කියන්නෙත් සතෙක් ඉතින් මිනිස්සු
වගේම තමයි සමනල්ලුත් අපිට ගොඩක් වැදගත්.
විශේෂයෙන්ම අපි පොඩි කාලේ ඉස්කෝලේ යද්දිත්
සමනල්ලුන්ගේ තියෙන වැදගත් කම් ඉගෙන ගන්නවා. ඒ
ඇරෙන්න මම එයාලා ගැන ඉගෙන ගනිද්දි දැනගත්ත
වටිනාකම් ගොඩයි. පරිසරය ලස්සන කරනවා වගේම එයාලා
පරිසර තත්ව මනින මිම්මක් විදිහටත් ගන්නවා. ඒ ඇරුනම
එයාලා අපේ පලිබෝධ ගැටලුත් විසදෙනවා.
Q5. එතකොට හිරුණි සමනල්ලු ගැන විතරමද අධ්‍යනය
කරන්නේ?
නෑ මම තව සත්ව කාණ්ඩ ගැන ඉගෙන ගන්නවා.
කුරුල්ලෝ, බත්කූරෝ ඒ ඇරුනම ගස් ගැන ඉගෙන ගන්න
ගොඩක් ආසයි. කලිනුත් කිව්වා වගේම මේ පැත්තෙන් ගන්න
විනෝදය වෙනමම එකක්. දැනුම ගන්නවා වගේම ඒක
පාවිච්චි කරලා තර්ජනයක් වෙලා තියෙන සතුන්චේ
සංරක්ෂණයටත් උදව් කරනවා. ඒ අතින් ගත්තාම මේ වගේ
විනෝදාංශයකට හිත ගිය එක ගැන ගොඩක් සතුටුයි.
Q6. එතකොට හිරුණි මේ සත්ව කාන්ඩය සංරක්ෂණය අතින්
ගත්තම දැන් වෙනකොට මොන වගේ තැනකද ඉන්නේ? ඒ
ගැන තියෙන අදහස මොකද්ද?
අදහස් කියන්නේ සමනල්ලුන් ගැන විශේෂයෙන් කිව්වොත්
මේ වෙද්දි සමනල්ලුන්ගේ සංරක්ෂණය සඳහම ලංකාවේ
සංවිධානයක් තියෙනවා. ඒ ඇරුනම වෙනත් පරිසර සංගම්
අතිනුත් මේ සත්ව කාණ්ඩයට අදාල සංරක්ෂණ වැඩහටහන්
වෙනවා. සහ මගේ තියෙන අදහස එක්ක ඒවා තවත් පුලුල්
කරලා පාසල් මට්ටමේ ඉඳන්ම මේ වැඩේ කරොත් අපිට
ඉස්සරහට අපේ පරිසරය ලස්සන කරන සත්ව කාන්ඩයක්
ආරක්ෂා කරන්න පුලුවන්.
ඇත්තටම මට තියෙන්නේ පොඩි දැනුමක් වුනත් මම මේ
විදිහට හරි එයාලා ගැන කියලා කරන්නෙත් එක විදිහක
සංරක්ෂණයක් තමයි. අපි දෙන පොඩි විස්තරයෙන් හරි
ඉස්සරහට අපිට දැනට ඉතුරු වෙලා තියෙන සත්ව සම්පත
ආරක්ෂා කර ගන්න පුලුවන්.
Q7. අවසන් වශයෙන් අපි magazine එකට සම්බන්ධ වීම ගැන
ඔබේ අදහස?
කෙටියෙන් කිව්වොත් ඇත්තටම සතුටුයි. මම ලියන්න
ගොඩක් ආසයි. ඒ බලද්දි මම ආසම දෙයක් ගැන ලියන්න
අපි magazine එකත් එක්ක එකතු වෙන්න ලැබුන එක මගේ
වාසනාව. එතකොට අනිවාර්යයෙන්ම චමල් අයියට ගොඩක්
ස්තූති කරන්න ඕනේ ගයන් අයියජ මාව අදුන්නලා දුන්න
එකට වගේම මාව මේකට සම්බන්ධ කර ගත්තට ගයන්
අයියටත් ගොඩක් ස්තුති කරන්න ඕනේ. මොකද මේ පවුලට
එකතු වෙලා මම ගොඩක් අයව අදුන ගත්තා. ඒ අය
හැමෝම ගොඩක් දක්ෂයි එක එක ක්ෂේත්‍ර වලින්. දක්ෂ
විතරක් නෙමෙයි එගොල්ලෝ ගොඩක් සුහදයි. අපේ
වචනයෙන් කිව්වොත් එයාලා එක්ක එකට එකතු වෙලා
වැඩක කරන්න ලොකු ගැම්මක් එනවා.
ඉතින් එතකොට අපි magazine ලොකු සාර්ථක දුරක් යන්න
ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
ශ්‍රී ලාංකීය සිනෙමාව
ශ්‍රී ලාංකීය සිනමාව ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්තය ආවරණය කරයි. වර්ෂ 1947 දී චිත්‍ර කලා මූවිටෝන් හි
එස්. එම්. නායගම් විසින් නිෂ්පාදනය කරන ලද “කඩවුනු පොරොන්දුව” චිත්‍රපටයත් සමඟ ආරම්භ කළ දා සිට
පාදම සොයා ගැනීමට අරගල කළ නව සිනෙමා කර්මාන්තයකි. සාමාන්‍යයෙන් චිත්‍රපට නිර්මාණය වන්නේ
රටේ ප්‍රමුඛ භාෂාව වන සිංහල භාෂාවෙන් ය. ආරම්භක අවදියේදී සිනමාවේ වැජඹුණු බොහෝ ප්‍රසිද්ධ
නළුවන්ට "F" අකුරින් වාසගම තිබූ බැවින් ඇතැම්හු එකළ ශ්‍රී ලංකාවේ සිනමාව Follywood ලෙසද හඳුන්වනු
ලැබිණි.
පළමු වසර නවය තුළ බොහෝ චිත්‍රපට නිපදවන ලද්දේ අසල්වැසි දකුණු ඉන්දියාවේ වන අතර ඉන්දියානු
සිනමාවේ සම්මුතීන් සමීපව අනුගමනය කරන ලදී. චිත්‍රාගාර රූගත කිරීම් සාමාන්‍ය දෙයක් වූ අතර
චිත්‍රාගාර තුළ සියළුම දෑ පාහේ ඉන්දියානු ශෛලිය නිරූපණය වෙන සේ ඉදිකර තිබුණි. 1956 දී පුරෝගාමී
අධ්‍යක්ෂක ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් නිර්මාණය කරන ලද “රේඛාව” චිත්‍රාගාරයෙන් පිටත
සම්පූර්ණයෙන්ම රූගත කළ පළමු සිංහල චිත්‍රපටය බව බොහෝ දෙනා විශ්වාස කළත් එය 1950 දී කිංස්ලි
ජයසේකර සහ ශීලා පීරිස් රඟපෑ "ගම්බද සුන්දරී" චිත්‍රපටය බව බොහෝදෙනෙක් නොදනී. එය රේකාව
චිත්‍රපටයේ මෙන් දෙබස් එම ස්ථානයේදීම පටිගත කළ පළමු ශ්‍රී ලාංකේය චිත්‍රපටයද විය. මෙයට හේතුව
වූයේ Kinevox 35mm චුම්බක රෙකෝඩරයක ශබ්දය පටිගත කරන ලද අවස්ථාවේ මෙන් නොව 16mm
පටලයේ ශබ්දය දෘශ්‍යමය වශයෙන් පටිගත කරන ලද Auricon sound-on-film කැමරාවක් භාවිතයෙන්
චිත්‍රපටය 16mm මත රූගත කර තිබීමයි. මෙම චිත්‍රපටය පසුව මිලිමීටර් 35 දක්වා blow up වූ අතර 1950
වර්ෂයේදී කොළඹදී තිරගත විය.
රේකාව දේශීය හා ජාත්‍යන්තර විචාරකයන්ගේ පැසසුමට ලක් වුවද චිත්‍රපටය මෙරට ප්‍රේක්ෂකයින්
ආකර්ෂණය කරගැනීමට අපොහොසත් වූ අතර එය බොක්ස් ඔෆිස් වාර්ථා අතරට යාමට සමත් නොවිණ.
"සංදේශය” සහ “කුරුළු බැද්ද” වැනි චිත්‍රපට නිර්මාණය කිරීමට උත්සාහයන් දැරීමට පෙර 1960 ගණන්වල
මුල් භාගය දක්වාම ඉන්දියාවෙන් ණයට ගත් සූත්‍ර කථාන්තරයන් අනුගමනය කරමින් චිත්‍රපට නිර්මාණය
කිරීම සිදුකෙරිණි.
1964 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් නැවතත් ශ්‍රී ලාංකේය සිනමාවේ අභිවර්දනයට දායක වූයේ චිත්‍රාගාරයෙන්
පිටතදී ගීතයක්ද අන්තර්ගත නොකොට රූගත කළ පළමු සිංහල චිත්‍රපටය ලෙස "ගම්පෙරළිය" නිර්මාණය
කරමිණි. එය ශ්‍රී ලාංකීය සංස්කෘතිය යථාර්ථවාදී ලෙස නිරූපණය කිරීම හේතුවෙන් ඉමහත් ප්‍රශංසාවට ලක්
වූ අතර විචාරකයින් සහ ප්‍රේක්ෂකයින් විසින් ද එකසේ පැසසුමට ලක් විය. ගම්පෙරළිය චිත්‍රපටය
වෙනුවෙන් එහි නිෂ්පාදක ඇන්ටන් වික්‍රමසිංහ නවදිල්ලි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී රිදී මයුර
සම්මානයෙනද පිදුම් ලැබීම ශ්‍රී ලාංකීය සිනෙමාවේ තවත් සුවිශේෂී ජයග්‍රහණයකි. මින්පසුව 1960 දශකයේ
අග භාගයේ දී “සත් සමුදුර” ඇතුළු කලාත්මක සිංහල චිත්‍රපට කිහිපයක් නිෂ්පාදනය කරන ලද්දේ මහාචාර්ය
සිරි ගුණසිංහයන් විසින් වෙන අතර කැමරාකරණයෙන් ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන් දායක විණි.
1970 දශකයේදී තවත් දක්ෂයින් කිහිප දෙනෙක් ඉදිරියට පැමිණි අතර ඉන්දියානු චිත්‍රපටවල ආභාශය රැගත්
කථා තේමාවන් මෙන්ම කතාන්දරයන් ඔස්සේ වාණිජ දාරාවේ සිනෙමාව අඛණ්ඩව වර්දනය විණි. 1972 දී
ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන්ගේ "වැලිකතර" චිත්‍රපටය සිනමාස්කෝප් අනුපාතය යටතේ පුළුල් තිරයේ
ප්‍රදර්ශනය වුණු පළමු චිත්‍රපටයයි. "වෙස් ගත්තෝ" චිත්‍රපටයෙන් සාර්ථක ඇරඹුමක් ලබාගත් වසන්ත
ඔබේසේකරයන් 1979 දී "පළඟැටියෝ” චිත්‍රපටය ඇතුළුව තවත් විශිෂ්ඨ චිත්‍රපට රැසක් දායාද කරමින් ජනතා
ප්‍රසාදය දිනාගන්නා ලදි. මේ කාලයේ ඉදිරියට පැමිණි තවත් ප්‍රධාන අධ්‍යක්ෂවරයකු වන්නේ “බඹරු ඇවිත්”
සහ "අහස් ගව්ව" වැනි කෘතීන් තුළින් පූර්ණ සහ අර්දව නාගරීකරණය වූ යොවුන් ප්‍රජාවේ මානසික ආතතිය
විමසා බැලූ ධර්මසේන පතිරාජයනුයි. දේශීයව සුපතල කවියෙකු වන මහගමසේකරයන්ගේ එකම චිත්‍රපටිය
වූ "තුන් මං හන්දිය” ද 1970 දී තිරගත වුණු අතර එය ශ්‍රී ලාංකේය සිනමාවේ තවත් සුවිශේෂී සංදිස්ථානයකි.
1970 දශකයේදීම ආචාර්‍ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බිරිඳ වන සුමිත්‍රා පීරිස් ද සමාජයේ ගැටුම්කාරී
භූමිකාවන් පිළිබඳව විමර්ශනාත්මක නිර්මාණ ඉදිරිපත් කිරීම තුළින් ඉදිරියට පැමිණි අතර ඇය
සිනෙමාකරුවන්ගේ ප්‍රථම කාන්තා නියෝජනය වීමද කැපී පෙනුණි. “ගැහැණු ළමයි" සහ “ගඟ අද්දර” ඒවා
අතරින් ප්‍රමුඛ වේ.
ඉදිරි දශක කිහිපය තුළ තිස්ස අබේසේකර, චන්ද්‍රන් රත්නම්, ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ, උදයකාන්ත
වර්ණසූරිය, එච්.ඩී.ප්‍රේමරත්න, අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ සහ විමුක්ති ජයසුන්දර යන
සිනෙමාකරුවන් කර්මාන්තයට නව ජීවයක් ලබා දීමට මහත්වෙහෙසක් දරණලදි. ඩී. බී. නිහාල්සිංහයන්
අතිදක්‍ෂ කැමරා අධ්‍යක්ෂවරයකු මෙන්ම සංස්කාරකවරයකු ද වූ අතර එබැවින් ඔහුගේ චිත්‍රපට සුවිශේෂ
ආකෘතියකින් සමන්විත වෙන අතර ඔහුගේ බොහොමයක් චිත්‍රපටවල සමාජයේ සූරාකෑමට ලක් වූ කාන්තාවන්
ප්‍රදාන ප්‍රස්තූතය විණි.
ප්‍රසන්න විතානගේගේ “පුරහඳ කළුවර” චිත්‍රපටය ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ හොඳම චිත්‍රපටවලින්
එකක් ලෙස ජාතික සහ ජාත්‍යන්තර විචාරකයන් සළකයි. විමුක්ති ජයසුන්දරගේ "සුළඟ එනු පිණිස"
චිත්‍රපටය 2005 කෑන්ස් සිනෙමා උළෙලේ ඇගයීමට පාත්‍ර විය.
අශෝක හඳගමයන් විසින් ශ්‍රී ලංකාවේ දශක තුනක් පුරාවට පැවතුණු සිවිල් යුද්ධය සමාජයේ මූලික තැනුම්
ඒකකය වෙන පවුල තුළ ගොඩනැගෙන මිනිස් අන්තර් සබඳතාවයන් කෙරෙහි කෙතරම් අහිතකර අයුරින්
බලපැවැත්වූයේද යන්න පිළිබඳව වඩාත් යථාර්ථවාදී ලෙස සාකච්ඡා කිරීමට පටන් ගත්තේය. එවැනි
ආන්දෝලනාත්මක කරුණු කාරණා හඹා යෑම සම්බන්ධයෙන් විවිධාකාර පාර්ශවයන්ගෙන් දැඩි විවේචන එල්ල වූ
අවස්ථාද නැතුවා නොවේ.
මෑත වසරවලදී ශ්‍රී ලාංකීය වීර කාව්‍යයන් මෙන්ම ඉතිහාස පුවත් පදනම් කරගත් “අබා", "මහරජ ගැමුණු"
සහ "ආලෝකෝ උදපාදි” වැනි දැවැන්ත පිරිවැයකින් යුත් වාණිජ දාරාවේ චිත්‍රපට විශාල සාර්ථකත්වයක්
අත්කරගෙන තිබීමද සුවිශේෂී කරුණකි. තවද පසිගිය වකවානුවේ පැවති Covid-19 වසංගතය හේතුවෙන්
චිත්‍රපට කර්මාන්තය දැඩි පසුබෑමකට ලක්වූවත් ඉන් අනතුරුව 2022 වසරේදී දැවැන්ත ආදායමක් ඉපැයීමට
ආදරනීය ප්‍රාර්ථනා” චිත්‍රපටයට හැකියාව ලැබුණි.
ලෝකය යුද්ධයකට ඇද දැමූ රුසියානු ආක්‍රමණයට අවුරුද්දක්.
මීට වසරකට පෙර, එනම් 24/02/2022 දින රුසියාව විසින් අසල්වැසි යුක්රේනයට එරෙහිව පූර්ණ ආක්‍රමණයක් දියත් කල අතර පුටින් ගේ එම ආක්‍රමණය දෙවන ලෝක යුද්ධයෙන් දශක ගණකාවකට පසු යුරෝපය නැවතත් මහාපරිමාණ යුද්ධයකට ගෙන ගියේය. එතැන් සිට වසරක් ගතවන විට දස දහස් ගණනක් මිනිසුන් මිය ගිය අතර යුක්රේනයේ නගර රැසක් සුන්බුන් ගොඩවල් බවට පත්වී ඇත. මිලියන ගණනක් යුක්රේන ජනතාව රටින් පලා ගියා. එක්සත් ජාතීන්ගේ ගණන් බැලීමට අනුව මේ වන විට මිලියන 13 කට වැඩි යුක්රේන ජනතාවක් ලොව පුරා සරණාගතයන් බවට පත්වී ඇත.
රුසියානු ජනාධිපති වැලැඩ්මීර් පුටින් පසුගිය වසරේ පෙබරවාරි 24 වන දින යුක්රේනයට සොල්දාදුවන් 200,000 ක් යැවූ විට ඔහු උපකල්පනය කලේ දින කිහිපයකින් කියෙව් අගනුවර වටලා එරට පාලනය පෙරලා දමා බලය අත්පත්කරගත හැකි බවයි. එහෙත් ආක්‍රමණයෙන් වසරක් ගතවන විටද පුටිංට සැලකිය යුතු ජයග්‍රහණයක් ලබාගත නොහැකි වූ අතර කීප වරක්ම අල්ලාගත් ප්‍රදේශ අතහැර රුසියානු හමුදා පසුබැසීමට තීරණය කලේය.
මේ වන විට යුද්ධයෙන් දෙරටේම සොල්දාදුවන් 175,000- 200,000 අතර ප්‍රමාණයක් මියගොස් ඇති බව වාර්තා වේ. රුසියානු ප්‍රහාර වලින් යුක්රේන සිවිල් වැසියන් 8000 ක් පමණ මියගොස් 13,000 පමණ තුවාල ලබා ඇත. ආක්‍රමණයේ මුල සිටම යුක්රේනය සමඟ සිටගත් ඇමරිකාව හා බටහිර රටවල් මෙම යුද්ධයෙන් කිසිවිටකත් යුක්රේනය පරාජය නොවිය යුතු බව තරයේ විශ්වාස කරයි. එම විශ්වාසයන් අනුව යමින් ඩොලර් බිලියන ගණනක යුධ ආධාර සැපයීමට මේ වන තෙක් එම රටවල් කටයුතු කර ඇත.
කෙසේ නමුත් යුද්ධයේ අවසානයක් මේ දක්වා පෙනෙන්නට නැත. යුක්රේනය විශ්වාස කරන්නේ සාමය ඇතිවීමට නම් රුසියානු හමුදා ජාත්‍යන්තරව පිලිගත් යුක්රේන දේශසීමා ඉක්මවා ආපසු යායුතු බවයි. මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයද එම අදහසට පිටුබලයක් ලැබෙන පරිදි යෝජනා දෙකක් සම්මත කරගෙන ඇත. මේ වන විට චීනය මැදිහත්ව දෙරට අතර සාම සාකච්ඡා ආරම්භකිරීමට උත්සාහ කරන නමුත් චීනයේ අවංකභාවය පිලිබඳව යුක්රේනය සහ බටහිර සැක පළකරමින් තිබේ.
තිලාන් ජයසේකර
කලා ලොවෙහි වැජබෙන රංගනයට සහ ගීත ගායනයට එකලෙස දක්ෂ රංගන ශිල්පින් අතලොස්ස අතරින් අති දක්ෂයින් මතක් කලොත් අපට ඔහුව නිතර්කයෙන්ම සිහියට නැගෙනවා.
සමනල සන්ධවනිය චිත්‍රපටයෙන් කලා ලෝකයට පිවිස මේ වනවිට තනමල්විල කොල්ලෙක්, සකර්ම වැනි ටෙලි නිර්මාණ සහ වැලි පවුරු, Happy Birthday වැනි ච්ත්‍රපට තුලින් කලා ක්ශේත්‍රයේ ඉතා සාර්ථක ගමනක් යන ඔහුගේ දක්ෂතාවයන් අපට ඉදිරියේදී ජාත්‍යන්තර මාධ්‍යයක් ඔස්සේ තිරගතවිමට නියමිත ඉංග්‍රීසි චිත්‍රපටයක් තුලින් ද දැක ගන්න අවස්ථාව ලැබෙනවා.
වෘත්තීය කටයුතු මෙන්ම අධ්‍යාපනයද මනා ලෙස කලමනාකාරණය කරගත් ඔහු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බටහිර සංගිතය පිළිබදව උපාධියකටද හිමිකම් කියනවා. ඔහුගේ හඩ පෞර්ෂයට ලබැදි ප්‍රේක්ෂකයන්ට ලංකාවේ ප්‍රථම දමිළ දේශාභිමාන ගීතය ඔහුගේ හඩින් අහන්නට පහුගිය වකවානුවේදි අවස්ථාව ලැබුනා.
ඔහු නොපසුබට උත්සාහයෙන් සහ කැපකිරිමෙන් මෙන්ම ජිවිතයට එකතු කර අත්දැකීම් තුලින් දක්ෂ රංගන ශිල්පියෙකු, ගායන ශිල්පයෙකු මෙන්ම කලාවේ බොහෝ අංශ ස්පර්ශ කල පරිනත පුද්ගලයෙකු වෙනවා.
ඉදිරි කාලයේදි ඔහු අධ්‍යනයෙහි නියැලිමට බලාපොරොත්තු ආචාර්ය උපාධියෙහි කටයුතු සහ රංගන, ගායන, නිවේදන වැඩ කටයුතු ඉතා සාර්ථක වේවා යැයි උණුසුම් සුභ පැතුම් එක් කරමින් මෙවර අපි සමග පිළිසදරට එක් කර ගන්නේ කලාලොවෙහි සූර්යා ලෝකය ගයන රංගන ශිල්පි සූර්යා දයාරුවන්…සූර්යා මේ දවස්වල මොනවාද කරන්නේ?
මෙම දිනවල මම වැඩ කටයුතු කිපයක්ම කාලය කළමනාකරණය කර ගනිමින් කරගෙන යනවා.
මම මේ දවස්වල හිරු tv නාලිකාවෙහි විකාශනය වන “දිවිතුරා ” ටෙලිනාට්‍යයෙහි රූපගත කිරිම් සදහා සහභාගි වෙනවා. එමෙන්ම ඉදිරියේදී විකාශනයවිමට නියමිත ලාල් දේවරත්න මහතා අධක්ෂණය කරන “කලියුගකාලය” ටෙලිනාට්‍යයෙහි සහ සුපුන් රත්නායක මහතාගේ “4 චූන් රෙසිඩන්සීස්” ටෙලිනාට්‍යයෙහි රූපගත කිරිම් සමග සම්බන්ධ වෙලා ඉන්නවා.
මම “Grade 14” නමින් අලුතින් සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. සංගීත ප්‍රසංග කිපයක් සදහා අපි මේ දවස්වල පුහුණුවිම කරගෙන යනවා. ඒත් එක්කම තිසර ඉඹුලාන මහතා සමග “මනසාරි” මගේ අලුත්ම ගිතයෙහි Music video ව සදහා සුදානම් වෙනවා.
මම රංගනයෙන් දායක වුන Back to elephant island නම් ඉංග්‍රීසි ච්ත්‍රපටයෙහි හඩකැවිම් සදහා ඉදිරි දිනවල සහභාගි වෙන්න නියමිත වෙලා තියනවා.
එමෙන්ම රූපවාහිනි නාලිකාවක නිවේදන කටයුත්තක් සදහා ආරාධනාවක් ලැබිලා තියනවා. ඉදිරියේදී එම කටයුත්ත ස්ථීර වුනාම මගේ ප්‍රේක්ෂකයන්ට ඒ ගැන දැන ගන්න ලැබේවි.ඔබ රංගනයෙන් දායක වුන ජාත්‍යන්තර මාධ්‍යයක් ඔස්සේ තිරගතවිමට නියම්ත ඉංග්‍රීසි චිත්‍රපටය පිළිබදව තොරතුරු ටිකක් කියමුද?
මගේ අලුත් ගීතයක පටිගත කිරිමක් අතරතුරේ මට දුරකථන ඇමතුමක් ආවා “ඉංග්‍රීසි චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් සදහා මාව තෝරාගෙන ඉන්නවා” කියලා. මම හිතුවේ කවුරුහරි මට විහිලුවක් කරනවා කියලා. ඉතින් මම පොඩි වෙලාවක් ඉල්ලගෙන ඒ පිළිබදව හොයලා බලලා ආපසු එයාලට කතා කලා.
රංගනය ගැන හීනෙකින්වත් නොදැකපු කෙනෙක් හැටියට සමනල සන්දවනිය ච්ත්‍රපටයෙන් ආරම්භ කරපු මගේ රංගන ගමනෙහි මෙම ඉංග්‍රීසි චිත්‍රපටය වෙනස් අත්දැකීමක් වුනා. මෙම ච්ත්‍රපටයේ චානුකගේ චරිතය සදහා රංගනයෙන් දායක වෙන්න මට අවස්ථාව ලැබුනා. එහි මාත් සමග California වෙහි රංගන ශිල්පයෙකු සහ Austria වෙහි පදිංචි රංගන ශිල්පිනියක් රංගනයෙන් දායක වෙනවා.
උත්සාහයෙන්, විවිධ කැපකිරිම කරමින් සහ අලුත් දේවල් ජිවිතයට එකතු කර ගනිමින් රංගන ශිල්පයෙකු විදියට පරිනතවිමට සහ ක්ශේත්‍රයේ රදා පැවැත්මට මම මහන්සි වෙලා වැඩ කරනවා.
මෙම ච්ත්‍රපටය මගේ රංගන ජිවිතයේදි ලැබුනු හොද අවස්ථාවක් හැටියට මට කියන්න පුලුවන්. ඉදිරි කාලයේදී ජාත්‍යන්තර මාධ්‍යයක් ඔස්සේ මෙම ඉංග්‍රීසි චිත්‍රපටය තිරගතවිමට නියමිතයි.අලුත් ගීතයක් නිකුත් කරන්න ලහි ලහියේ ලෑස්ති වෙන බව අපට ආරංචි වුනා. ඒ පිළිබදව විස්තර ටිකක් කියමුද?
මෙය මගේ 78 වන ගීතය. මම හිතන්නේ ඒ තරම් මගේ ගීත ප්‍රමාණයක් තියනවා කියලා ගොඩක් දෙනා දන්නේ නැහැ. “මගේනේ” ගීතය සහ මගේ තවත් ගීත කිපයක් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වෙලා තියනවා.
මගේ අලුත්ම ගීතය “මනසාරි” රචනා කලේ ශෙහාන් ගලහිටියාව මහතා. මගේ විශ්වවිද්‍යාලයේ හොදම මිතුරා වන තුසිත් සිම්සන් මෙහි සංගීතය නිර්මාණය කලා.
මට හිතුනා මම මෙතෙක් ගායනා කල ගීතවලට වඩා වෙනස් බටහිර සංගීතට හුරු වේග රිද්මයට බර ගීතයක් නිර්මාණය කරන්න. විශේෂයෙන් මම විවිධ රටවල්වල සංගීත ප්‍රසංග සදහා ගීත ගායනා කරන්න සහභාගි වන නිසා ප්‍රසංග වේදිකාව සුදුසු ප්‍රේක්ෂකයා සමග හොදින් ගණුදෙනු කල හැකි ආකාරයට මෙම ගීතය නිර්මාණය වි තිබෙනවා. එමෙන්ම ඉංග්‍රීසි වචන යොදාගෙන ඉදිරියේදි මෙය නැවත නිර්මාණය කරන්නත් මගේ අදහසක් තියනවා.
මෙම ගිතයෙහි Music video නිර්මාණය කරන්නේ තිසර ඉඹුලාන මහතා. ඔහු දක්ෂ වෙනස් විදියට හිතන කෙනෙක්. මෙම video ව සදහා අපි කලු ජාතික යුවතියන් කිපදෙනෙක් සහභාගි කරගෙන තිබෙනවා. ඉතින් එයත් Music video කලාවෙහි විශේෂ සිදුවිමක් වේවි කියලා මම හිතනවා.
Soorya Dayaruwan මගේ Youtube channel එක ඔස්සේ ලගදීම මෙම ගීතය නිකුත් කිරිමට බලාපොරොත්තු වෙනවා. ඉතින් බලමු මගේ පර්යේෂනාත්මක නිර්මාණය කොයි විදියට ප්‍රේක්ෂකයන්ට ලං වෙයිද? ජනප්‍රිය වෙයිද කියලා.
ඒවගේම මට විශේෂ දෙයක් කියන්න තියනවා. පෙබරවාරි 4 වෙනිදා මගේ පළමුවෙනි දමිළ ගීත නිර්මාණය නිකුත් වුනා. මෙය ලංකාවෙ නිර්මාණය වුන ප්‍රථම දේශාභිමාන ගීතය වෙනවා. ඉතින් තිළිණ රුහුණගේ මහතා සංගීතය නිර්මාණය කල, L S රාධිකා විසින් පද රචනය කල ලංකාවේ ප්‍රථම දමිළ දේශාභිමාන ගීතය ගායනා කරන්නට මට අවස්ථාව ලැබීම ගැන මට ලොකු සතුටක් තියනවා.ඔබගේ ජිවිතයේ හැරවුම් ලක්ෂයක් වුන “සමනල සන්ධවනිය” ච්ත්‍රපටය ඇතුලු අති සාර්ථක නිර්මාණය බොහෝමයකම රංගනයෙන් දායක වන්නට ඔබට අවස්ථාව ලැබුනා. ඔබ එතෙක් මෙතෙක් රංගනයෙන් දායක වුන නිර්මාණය පිළිබදව මතක් කලොත්…
2011 වර්ෂයේදී “සමනල සන්ධවනිය ” ච්ත්‍රපටය හරහා රංගන ක්ශේත්‍රයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබෙනවා. පුංචි තිරයෙහි මගේ ප්‍රථම ටෙලිනාට්‍යය වන්නේ ශර්ලි පි දෙලංකාවල මහතාගේ “පෝටා වැටිය” ටෙලි නිර්මාණයයි.
අවුරුදු 12 වැනි පොඩි කාලයක් ඇතුලත මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන අතරම ච්ත්‍රපට 10 ක් සහ ටෙලිනාට්‍යය 33 ක් වැනි ප්‍රමාණයකට මේ වනවිට දායකත්වය ලබා දෙන්න අවස්ථාව ලැබිම මගේ වාසනාවක් කියලා මම හිතනවා.
තනමල්විල කොල්ලෙක්, සකර්ම, සල්මල් ආරාමය, තෝඩු, Click, වැලි පවුරු වැනි වෙනස් විදියේ නිර්මාණ තුලින් ප්‍රේක්ෂක හිතේ සලකුණක් තබන්නට හැකිවුනා කියලා මම විශ්වාස කරනවා.ඔබ කාර්යබහුල රංගන ශිල්පයෙක් මෙන්ම ඉතා ජනප්‍රිය ගායන ශිල්පයෙක්. ඒ සියලුම දේවල් සමග ඔබ අදටත් ඔබගේ අධ්‍යාපන කටයුතු සමබරව කරගෙන යනවා. ඒ පිළිබදව ප්‍රේක්ෂක අපි දැන ගන්න කැමතියි.
මම පොළොන්නරුවේ ඉහකුලුවැව කණිෂ්ඨ විද්‍යාලය, අත්තනකඩවල මහා විද්‍යාලය සහ
පොළොන්නරුව තෝපා වැව මහා විද්‍යාලය යන පාසැල් ත්‍රිත්වයෙන් අධ්‍යාපනය ලැබුවා. ඉන්පසු සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුලත් වි බටහිර සංගිතය පිළිබදව උපාධිය ලබා ගන්නවා.
මට පොඩිකාලයේ ඉදලාම අදහසක් තිබුනා ලංකාවෙන් පිට බටහිර රටවල් සමග ගණුදෙනු කරන්න බටහිර සංගීතය හදාරන්න ඕනේ කියලා නමුත් පොළොන්නරුව දිස්ත්‍රික්කය තුල ඒ සදහා මට අවස්ථාවක් ලැබුනේ නැහැ.
විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු අවසන් කලාට පස්සේ Royal London Trinity College හි Classical Singing සම්බන්ධයෙන් ATCL නම් විභාගය සම්පුර්ණ කරන්න මට හැකියාව ලැබුනා.
ඉන්පසු මම ඔස්ට්‍රේලියාවේ Sydney හි University of Wollongong නම් විශ්වවිද්‍යාලයට ඇතුලත් වෙනවා. එහිදි මට Masters & ආචාර්ය උපාධිය (PHD) සදහා ඔවුන් ශිෂ්වත්වයක් ලබා දෙනවා නමුත් මම එහි හිටියේ ඉතා කෙටි කාලයයි. ඉන්පසු මම Germany යේ University of Munich නම් විශ්වවිද්‍යාලය සමගත් ඉතා කෙටි කාලයක් සම්බන්ධ වෙලා අධ්‍යාපන කටයුතු කරගෙන ගියා. මම වැරදි තිරණයක් ගත්තා ද දන්නැ. මට හිතුනා මගේ හැකියාවන් විශාල පරාසයක විහිද ගන්න එහිදි වටපිටාව හදා ගන්න අපහසුයි කියලා.
ඉදිරියේදි මගේ ආචාර්ය උපාධිය (PHD) වෙනුවෙන් අධ්‍යාපන කටයුතු සදහා ඇමරිකාව බලා යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මෙම දිනවල ඒ සදහා මුලිකව අවශ්‍ය විභාග කිපයකට ලෑස්ති වෙමින් ඉන්නවා.
ඉතින් මට කියන්න තියෙන්නේ අධ්‍යාපනය කටයුතු කවදාවත් අත් හරින්න එපා. ඔබ ලබා ගත් අධ්‍යාපනයේ වටිනාකම දිනෙන් දින වැඩි වෙනවා මිස අඩු වෙන් නෑ. ඔබගේ පෞර්ෂත්වය වර්ධනය කර ගනිමින් අධ්‍යාපනයෙන් ලෝකය ජයග්‍රහණය කර අපේ ලංකාවට වටිනාකමක් ලබා දෙන්න. එදාට ඔබට වට්ටන්න කාටවත් බැහැ.ඔබගේ ගීත අතුරින් මෑත කාලයේදි අති සාර්ථකව ප්‍රේක්ෂක සිත්ගත් “මගේ නේ” ගීතයෙහි ගායනා කරන ආකාරයට මගේ නේ කියන්න කෙනෙක් ඉන්නවද?
ඔබ හරිම අමාරු ප්‍රශ්නයක් සරලව ඇහුවේ. මගේනේ කියලා කියන්න කෙනෙක් හිටියා. නමුත් දැන් නැහැ.
මම හිතනවා ආදරය, විරහය සහ ඒ තුලින් ලබා ගන්නා අත්දැකීම්වලින් මම යන ගමනේදි මගේනේ කියන්න මගේ ජිවිතයට ශක්තිය වන හරි කෙනාව ලැබෙයි කියලා. වගකිම් සහිත පුද්ගලයෙක්, හොද ආදරවන්තයෙක් වෙන්න මට පුලුවන් වෙයි කියලා මම හිතනවා.
ඉතින් මගේ නේ කියලා කිව්වට මගේ නේ කියන්න කෙනෙක් නම් තාම ලැබුනේ නැහැ.ඔබ මේ ආපු සාර්ථක ගමනෙහි ඔබට හයියක් වු ඔබගේ ආදරණීය පවුලේ අය සහ ඔබට විශේෂ පුද්ගලයන් මතක් කලොත්…
මගේ ගම පොළොන්නරුව දිය බෙදුම ඉහකුලුවැව. මගේ පවුලේ ඉන්නේ තාත්තයි, අම්මයි, අයියයි, අක්කලා 5 දෙනයි, මමයි. මම පවුලේ 7 වෙනියා.
පොඩි කාලයේ ඉදන්ම හැමදේටම මගේ පවුලේ අය මගේ ලගින් හිටියා. ඒවගේම මගේ ලගින් හිටිය මගේ නෑදෑයෝ සහ යාළුවෝ සියලු දෙනා ආදරයෙන් මතක් කරනවා.
මට සංගීතයේ මුලකුරු කියා දුන් පොළොන්නරුවේ යු ජි සුනිල් ආරියරත්න ගුරුතුමා, උසස්පෙළ පන්තියේ සංගිත ගුරුතුමිය චාන්දනි වීරසේකර මහත්මිය ඇතුලු පළමුවෙනි වසරේ සිට මේ වෙනකම් ගුරුහරුකම් දුන් සෑම ගුරුවරයෙක්ම මම කෘතවේදීව මතක් කරනවා.
විශේෂයෙන් මතක් කරන්න ඕනේ කලා ක්ශේත්‍රයට අවතිරණ වෙන්න මට ලොකු ශක්තිය වුන දර්ශන රුවන් දිසානායක මහතාව. ඒවගේම ජයන්ත චන්ද්‍රසිරි අධක්ෂකතුමා ඇතුලු මම සම්බන්ධ වුන සියලු නිර්මාණයවල අධක්ෂකවරු සහ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා.
මට සමීපව ශක්තියක් වෙලා උදව් කරපු සන්ද්‍යා ජයසූරිය මහත්මිය, බුද්ධිකා පෙරේරා මහත්මිය, සුරංජිත් වික්‍රමාරච්චි මහතා, අකලංක ඉන්ද්‍රජිත් මහතා වැනි බොහොමයක් ඉන්නවා. එමෙන්ම හොද නරක වචනෙකින් හරි කියලා දුන් සහ ආශිර්වාද කරපු නොකරපු හැමදෙනාටම බොහොම ස්තුතියි කියන්න මෙය මම අවස්ථාවක් කර ගන්නවා.ප්‍රේක්ෂක අපට ඉදිරියේදි ඔබට දකින්නට ලැබෙන නිර්මාණ මොනවාද?
මම රංගනයෙන් දායක වෙන ලලිත් රෝහිත මහතා අධ්‍යක්ෂණය කල “තට්ටු දෙකේ ඉස්කෝලේ” ච්ත්‍රපටය පෙබරවාරි 17 වෙනිදා සිට MPI මණ්ඩලය ඇතුලු දිවයිනපුරා සිනමාහල්වල තිරගත වනවා. එමෙන්ම
නලින් මාපිටිය මහතාගේ තානාපතිලාගේ ගෙදර, දර්ශන රුවන් දිසානයක මහතාගේ ගොවි තාත්තා සහ
නිහාල් බණ්ඩාර මහතාගේ Back to Elephant island ඉංග්‍රීසි ච්ත්‍රපටය වැනි ච්ත්‍රපටද ඉදිරියේදි තිරගතවිමට නියමිත වි තිබෙනවා.
ඒවගේම මම රංගනයෙන් දායක වුන,
හෘද සාක්ෂිය – රොශාන් අහංගම
පින්ක් – ධනුෂක
හිත ළග අත්තටු – කැලුම් උඩුවාවල
හතරැස් බිබිළු – නිමල් රත්නායක
අසලියා – මංජුල මොරගහ
යාදින්නී – ඉංදික ධර්මතිලක
නිමාවක් නෑ ආදරේ – සුජිත් පරණවිතාන
කලියුග කාලය – ලාල් දේවරත්න
4 චූන් රෙසිඩන්සීස් – සුපුන් රත්නායක
මන්දාරම් කොළඹ – සුරංජන් මහානාම
වැනි ටෙලිනාට්‍යය තුලින් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මාව ඉදිරියේදි දකින්නට ලැබේවි.
සුරංජන් විජේනාම මහතා අධක්ෂණය කල මන්දාරම් කොළඹ ටෙලිනාට්‍යය තුලින් සියත TV ඔස්සේ සතියේ දවස් පහේම රාත්‍රි 7 ට ඔබට නරඹන්නට පුලුවනි.
අරුණ ජයවර්ධන මහතා අධ්‍යක්ෂණය කල 1970 ලව් ස්ටෝරි චිත්‍රපටයේ “තෙමෙන කහවණු” තේමා ගිතය ගායනා කරන්න මට අවස්ථාව ලැබුනා. එම ච්ත්‍රපට මාර්තු 23 සිට තිරගතවිමට නියමිතව තියනවා. එමෙන්ම මගේම ස්වතන්ත්‍ර ගීත නිර්මාණ කිපයක්ම
ප්‍රේක්ෂකයන්ට ඉදිරියේදි රසවින්දනට ලැබේවි.
එමෙන්ම නාලක සජී අයියා ප්‍රමුඛ මගේ සංගීත කණ්ඩායමෙහි වැඩ කටයුතු ඉදිරියේදි සාර්ථකව කරගෙන යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
මම කලින් සදහන් කල ආකාරයට ඔබට මාව රූපවාහිනි නාලිකාවක් තුලින් නිවේදන කටයුත්තකින් දකින්නටත් ලැබේවි.
අමා නාකන්දලගේ
අවුරුදු 15 වයසැති එමානුවෙල් ප්‍රංශයේ අමියෙන්ස් හි පාසලක ඉගන ගන්නා කොලු ගැටයෙකි .39 හැවිරිදි බ්‍රිජට් මාරි ක්ලෝඩ් මැක්‍රෝන් ඒ පාසලේ නාට්‍ය ගුරුවරියයි .
එමානුවෙල් ඇගෙන් ඉගන ගත්ත නාට්‍ය කලාවක් නැහැ .ඔහු කලේ ඔහේ ඇස් වලින් ඇය දිහා බලාන හිතෙන් බොහො දුර යාම විතරයි.
මොහුගේ අනිසි බැල්ම විෂයට පරිබාහිර බව සහ බොහෝ බර බව මාරිටත් දැනුණා ,නමුත් මේ තමන්ගේ ලොකු පුතාටත් වඩා අවුරුදු දෙකක් බාල මේ හිච්චි teenage කොලුවා ගේ හෝමෝන විකාශන අවස්තාවක් යයි සිතා හිනැහී ඇය ඉවත බලාගත්තා .
දරුවන් තුන් දෙනෙකුගේ අම්මෙක් වුනු ඇයට එමානුවෙල් තවත් දරුවෙක් පමණයි කියා හිතෙන්න ඇති.
ඒත් වයසෙන් කුඩා මේ කොලුවාගේ හදවත නම් මහ විශාල එකක් උනා.
තමන්ගේ දරුවක් සේ ආදරෙන් තම හිස අත ගෑ මාරි ක්ලෝඩ් මැක්‍රෝන් හෙවත් තම ගුරුවරියගේ හිස ආදරෙන් සිඹින්න සහ ඇය තම පෙම්වතිය බවට පත් කරගන්න තවත් අවරුදු දෙකක් ඇතුලත් ඔහු සමත් වෙනවා .ඒක වෙච්ච විදිහ දන්නේ ඒ හදවත්ම පමණයි.
ඔන්න මේ හරියේදී ලංකා වාසී අපිට නම් ටොන් ගානක ප්‍රශ්න මතුවෙනවා .
අප්පෝ මුන් මොන ගුරුවරුද ? ඔව්වා හෙණගහන අපරාධ
ඒ නාකි ටීචර් පොඩි එකාව රවට්ට ගන්න ඇති.
කොල්ලව එයාගේ ලිංගික ඕන එපාකම් වලට හුරු කරගන්න ඇති.
ඔව්වා මානසික ලෙඩ
මොකද ඔය පොඩි කොල්ලා ඒ ගෑණිව කසාද බඳියි කියල යෑ …බ්ලා බ්ලා බ්ලා …..
හැබැයි අපි එහෙම කිව්වට කතාවෙ අවසානය අපි හිතුවට වඩා ගොඩක් වෙනස් ..ඒක අමුතුම රහක් .
වෙන්න ඕන විදිහටම පවුල් වල හැමෝම මේ ආදරේට විරුද්ධ උනා .සමහරු හිනා උනා .එමානුවෙල් ගේ දෙමව්පියෝ මේ සම්බන්ධෙ නවත්තන්න එයාලට කරන්න පුළුවන් ලොකුම දේ කළා, ඒ එමනුවෙල්ව වෙන පාසලකට මාරු කරපු එක , දෙමාපියන්ගේ පැත්තේ හිටගෙන බැලුවම ඔවුන් කලේ කල යුතු නිවැරදිම දේ උනත් , ඉස්කෝලේ වෙනස් කරපු පමණින් හදවත් වෙනස් වෙන්නේ නැති බව ඔවුන් දැන හිටියේ නැහැ .
එමානුවෙල් ඉස්කෝලෙන් යන්න කලින් මාරිට පොරොන්දුවක් වෙනවා ” මම කවදහරි බඳින්නේ ඔයාව තමයි ,ඔව් මම ඒක කරනවාමයි.
කොහොමත් වයසත් එක්ක මිනිස්සු හිතන පතන දේවල් වල හැඩය වෙනස් වෙනවා .මුහුකුරා යනකොට බලාපොරොත්තු වල ස්වරුපය වෙනස් වෙනවා .තිස් ගණන් වෙනකොට විසි ගණන් වලදී හිතිච්ච දේවල් මතක් වෙද්දීත් සමහරවිට හිනා යනවා,
අනික සමහර වෙලාවට ආදරේදී පොරොන්දු කියන්නේ ඇස් දිහා බලන් ඉන්නකොට ඔහේ කියවෙච්ච දේවල් විතරයි ,එව්වා ඉෂ්ට කරන්න බෑ කියල හොඳටම දැන දැන උනත් පපුවේ බල කිරිල්ලට ඔහේ කියල දානවා .
තමාට වඩා දශක දෙක හමාරකින් බාල තම ගැටවර පෙම්වතාගේ මේ පොරොන්දුව ගැනත් ඇයට එහෙම හිතෙන්න ඇති.
නමුත් වෙන්නෙ ඒක නෙමයි .
පොරොන්දු වෙච්ච විදිහටම ඔහු ඇයව විවාහ කරගන්නවා .
ඔහුට වයස අවුරුදු 30දී ඇයට වයස අවුරුදු 54 දී දෙමව්පියන්ගේ කැමැත්තත් අරන් ප්‍රංශයේ තවත් සොඳුරුතම ප්‍රේම වුර්තාන්තයක් අනාගතයට දායාද කරමින් එමානුවෙල් මැක්‍රෝන් බ්‍රිජට් මාරි ක්ලෝඩ් මැක්‍රෝන් හා විවාහ වෙනවා .
අත්දැකිම් බහුල ඇයගේ බහුශ්‍රුත ප්‍රේමය ඔහුව බොහෝ දුර ගෙනියනවා .
ඔහු තමයි වර්තමාන ප්‍රංශයේ ජනාධිපති .
දැන් ඔහුට අවුරුදු 43 යි ඇයට 67යි ..ඒත් අදටත් ඔවුන් ආදරෙන් ඉන්නවා .ඉමනුවල්ගෙන් එයාගෙ බිරිඳ ගැන ඇහුවම ” මේ සියල්ලම ඇය වෙනුවෙන් ,ඇය තමා මගේ සියල්ලම ,ඇය නැත්තම් අද මම මෙතන නැහැ ..” කියල ඔහු හරි ආඩම්බරයෙන් අදටත් කියනවා.
………………
පොඩි කතාවක කොටස් දෙකක් රඟපාපු ගමන් , රස්සාවක ප්‍රමෝෂන් එකක් හම්බෙලා අතට කීයක් හරි වැඩිපුර හම්බෙච්ච ගමන් හරි නැත්තන් ළමයෙක් දෙන්නෙක් හම්බෙලා ටිකක් බඩ කඳ ආරපු ගමන් තමන් එක්ක මුල ඉඳන් කට්ට කාපු ගෙදර ගෑණි ව අමතක කරලා , ඒ ගෑණි ට ලෝකෙ නැති චෝදනා කරලා අත ඇරල දාන පිරිමින්ට එමානුවෙල් උඩ පැනලා කණට ගැහුවා.
වයස වැඩි කෙනෙක් බැඳලා , ඒක ලෝකයා දැනගනියි කියල බයේ ,උප්පැන්න වෙනස් කරන්න ,උපන් දින වෙනස් කරන්න ට්‍රයි කරන , තමන්ට වඩා වැඩිමල් තමන්ගේ වයිෆ් ගේ වයස හංගන්න අසහාය උත්සහයක් ගන්න , ඇත්ත පිළිගන්න බය පවුර්ශයෙන් හීන සමහරක් ටත් වයස කියන්නේ එච්චර අමාරුවෙන් හංගන්න ඕනේ නැති තවත් එක නොම්මරයක් විතරයි කියල මේ කතාව දැක්කම වත් තේරෙයි.
තමන්ට වැඩිය වයසින් වැඩි හරි අඩු හරි මොකක් හරි කමක් නැහැ , විවාහයට තෝරාගන්න ඕනේ තමන්ව සතුටෙන් තියන්න පුළුවන් කෙනා ,සහ තමන්ට සතුටෙන් ඉන්න පුළුවන් කෙනා ,
ඒ නැතුව ලෝකෙට ලස්සනට පෙන්නන්න පුළුවන් කෙනා නෙමෙයි.ලස්සන තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි තමන්ගෙම ඇස්වල.
ඔයාලා අගමැති වෙන්න හිතාගෙන ගව්රවනීය ගුරුවරුන්ට ආදරේ කරන්න, විවාහ කරගන්න හිතන්න ඕනෙ නැහැ, ලෝකේ දියුණු රටක පොරක් මොනවහරි කලාම ඒ ගැන අගය කලාට ,අල්ලපු ගෙදර සුමනසිරි ගේ කොල්ලා අඟලක් උස කෙල්ලෙක් බැන්දම ගම පුරා ගතු කියවන්නේ නැතුව , දික්කසාද වෙච්ච නිළියයක් අයෙ බැන්දම එයාලට චරිත සහතික දෙන්න යන්නෙ නැතුව , දුවගෙ පෙම්වතා ගෙදරට එන්නත් කලින් හඳහන් කොපිය ඉල්ලන්නේ නැතුව අපිත් එමානුවෙල් වගේම ආදරණීය මිනිස්සු බව ප්‍රයෝගිකවම පෙන්නන්න අපිට පුළුවන් .
ජීවිතේ කියන්නේ අමුතුම රහක් ..ඒක එක එක්කෙනාට දැනෙන්නේ එක එක විදිහට , තමන්ට දැනිච්ච විදිහට තමන් විඳින විදිහටම අනිත් අය ඒක විඳින්න ඕනේ කියල එකක් නෑ .අනුන්ගේ කථා ඇතුලට එළියෙන් ඉඳලා ඇඟිලි ගහල ඒවෑ රහ කියන්න අපි කාටවත් බෑ .
මොකද එමානුවෙල්ගෙ කුළේ මිනිස්සු ලෝකෙට ඕන විදිහට ජීවත් වෙන්නේ නැහැ .ඒ ගොල්ලෝ ඒගොල්ලන්ගේ ක්‍රමේට ජීවිතේ විඳිනවා .වෙන්න ඕනේ ඒකයි ,තමන්ට දැනෙන විදිහට, තමන්ට දැනෙන තැනක රහට ජීවිතේ විඳින එක විතරයි .
ඔයාගෙ කථාව ඔයාගෙ රටාවට ලියන්න, එතකොට කැමති අය කියවාවි, අනිත් අය විඳවාවි..එච්චරයි
අනිශා ජයකොඩි
එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකීයන්ට ලංකාවේ සාම්ප්‍රදායික ඇගලුම් හා නිශ්පාදන පහසු මිලට ඉතා ඉක්මන්ම සේවාවකින් ඔවුන් අතට පත් කරන අපේ කම තියෙන PETTAH STREET ගැන, සිංහල සහ හින්දු අලුත් අවුරැද්දට දැන්මතියා ලකලෑස්තිවන ඔබව දැනුවත් කිරීමට Pettah Street අධ්‍යක්ෂ පසිදු රණසිංහ ‘අපි Magazine’ කන්ඩායම සමග කල කතාබහයි මේ….
මොකක්ද මේ හැමෝම මේ දවස්වල කතාවෙන හැමතැනම පේන්න තියෙන PETTAH STREET?
Pettah Street කියන්නෙ බ්‍රිතාන්‍යයේ වෙසෙන ලාංකිකයන්ට තම ප්‍රියතම handloom, Batik වැනි දේශීය නිමි ඇදුම් සහලංකාවෙ සාම්ප්‍රදායික නිශ්පාදන පහසුවෙන් මිලටගැනීමට සහ දින දෙකතුනක් වැනි ඉතාමත් කෙටිකාලයකින් නිවසටමගෙන්වාගතහැකි online ව්‍යාපාරයක්.
ඒකියන්නෙ ළඟ එන අලුත් අවුරුදු සමයේදී ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට සේවා සැලසීමට PETTAH STREET සූදානම්ද?
100% ක්ම ලෑස්තියි. අපේ ආරම්භක පසුගිය වසරේ අපිට ඉතා හොද ඉල්ලුමක් සහ විශේෂයෙන් ගැනුම්කරුවන්ගෙන් හොදප්‍රතිචාරයක් ලැබුනා. ඒ ලැබුනු පන්නරයක් සමග මෙම නව වසර සදහා මුලු පවුලටම ගැලපෙන නව විලාසිතා 100ක් පමනඑකතුකරා. මෙවර www.pettahstreet.co.uk වෙත පිවිසෙන ඔබට සම්පූර්ණ විලාසිතා 200කට වඩා තෝරාගැනීමක්තිබෙනවා. ඒවගේම විශේෂම කාරනය, අපගේ සියලු නිශ්පාදන 100% ක්ම ශ්‍රීලාංකික නිශ්පාදනයි.
PETTAH STREET ආරම්භ කරන්න ඔබව පොළඹවන්න හේතු උනේ මොනවද?
ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධ ව්‍යාපාරයක් කිරීමට මට බොහෝ කාලයක සිට වුවමනාවක් තිබුණා. ඒකට හේතු කිහිපයක් තියෙනවා. මම ඉපදී හැදුණු වැඩුණු රටට යමක් ආපසු ලබා දෙන්නත් ඒ මගින් පුළුවන්. ව්‍යාපාරයක් ඇරඹීමේ අදහසක් ඇති වීමත් එක්කමමම ලංකාවේ දේශීය ඇගලුම් සහ සාම්ප්‍රදායික නිෂ්පාදන ගැන මදක් සොයා බැලුවා. ඒ සාම්ප්‍රදායික නිෂ්පාදන අපනයනය සඳහායම් කිසි උදව්වක් ඒ නිෂ්පාදකයන්ට අවශ්‍ය වී තිබෙන බවත් එක්සත් රාජධානිය තුළ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් සැලකිය යුතුප්‍රමාණයකට එවැනි භාණ්ඩ සඳහා ප්‍රවේශයක් නොමැති බවත් මා හඳුනා ගත්තා. ඒ සියල්ල සැලකිල්ලට ගනිමින් තමයි මා මේව්‍යාපාරය ආරම්භ කළේ.
ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඔබට තිබෙන අත්දැකීම් මොනවාද?
ව්‍යවසායකයෙක් විදිහට මගේ පළවෙනි අත්දැකීම මෙය වුණත්බ්‍රිතාන්‍යයේ පාරිභෝගික භාණ්ඩ අලෙවි හා බෙදාහැරීම ක්ෂේත්‍රයේ දශකයකට වඩා වැඩි කාලයක අත්දැකීම් තිබෙනවා. ශ්‍රීලංකාවෙන් භාණ්ඩ ආනයනය කර එක්සත් රාජධානිය සහ යුරෝපය තුළ විකුනුම් සහ බෙදා හැරීමේ ක්‍රියාවලිය සමග මාසම්බන්ධ වී සිටියා. ඒ කටයුත්තෙහි සාර්ථකව නිරත වන ශ්‍රී ලාංකිකයෙකුට අයත් ව්‍යාපාරයක් සමග දීර්ඝ කාලයක් තිස්සේසම්බන්ධ වී සිටීමෙන් ව්‍යාපාර කටයුතු වල බොහෝ පැතිකඩයන් පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් රාශියක් මට ලැබුණා. ඒ අත්දැකීම්සහ පළපුරුද්ද මට මගේ ව්‍යාපාරය සඳහා විශාල ශක්තියක්.
ව්‍යාපාරයක් ලෙස ස්ථාපිත කිරීමේදී මතු වූ ප්‍රධාන අභියෝග මොනවාද?
ඕනෑම අලුත් ව්‍යාපාරයක් ආරම්භකිරීම සහ පවත්වාගෙනයාම අභියෝගයක්. විශේෂයෙන්ම UK වගේ ඉතාමත්ම ඉහල තලයේBrands ජනප්‍රිය රටක මුලසිටම brand එකක් වශයෙන් ස්තාපිතවීම පහසු වැඩක් නෙමෙයි. ඒ සදහා මම විශාල වශයෙන්මහන්සිඋනා. ඒ වගේම මොනදේටත් වඩා මම බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රීලාංකිකයන්ව විශ්වාස කරා. ඔවුන්ට උසස් තත්වයේනිශ්පාදනයක්, සාදාරන මිලකට පහසුවෙන් ලබාගතහැකිනම් ඔවුන් අප සමග අනිවාර්යයෙන් රැදෙනවා. නමුත් target market එකකට විශාල marketing budget එකක් නැතුව පිවිසීම දුශ්කරයි. ඒනිසා brand එකක් ලෙස ජනප්‍රිය වීමට සහශ්‍රීලාංකිකන්ගේ අතරට යාමට social media platform තුලත් community groups සමගත් විශාල වැඩකොටසක් කලා.
PETTAH STREET කියන්නෙ පාරිභෝගිකයන්ට විශ්වාසය තැබිය හැකි වෙළඳ සන්නාමයක් වන්නේ ඇයි?
අනිවාර්යයෙන් අපගේපාරිභෝගිකයන්ම ඒ සදහා සාක්ශි දරයි. Sales කියන process එකේ මම වැඩියෙන්ම විශ්වාස කරනදේ තමයි customer satisfaction එක. ඒක තමයි brand එකක් ඉස්සරහට යන්න අවශ්‍යම සාදකය. Customer satisfaction කියනදේඅවසානයේ ලැබෙන්නේ ඔවුනට quality, price, service කියනදේ උපරිමයෙන් ලැබුනාම. අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නෙ ඒදේ උපරිමයෙන්ම ලබාදෙන්න. ඒවගේම අපි UK සිට ක්‍රියාත්මකවීම, අපගේ products සහ ඇගලුම් UK සිට courier කිරීමCustomer Queries වලට ඉතා ඉක්මනින් response කිරීමත් පාරිභෝගිකයන්ගේ විශ්වාසය තවතවත් වැඩිවීමට හේතුවීතිබෙනවා.
භාණ්ඩ මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකාවට අත්වන වාසි මොනවාද?
ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරැනුතම ආර්ථික අර්බුදයකට පත්වෙලා ඉන්න අවස්තාවකයි ඉන්නෙ. විශේෂයෙන් අඩු අදායම්ලාබීන් තවත්අසරනවෙලා. අපි නිශ්පාදන වැඩිවශයෙන් මිලට ගන්නෙ ඉතා කුඩා ප්‍රමාණයේ, නිවාස අශ්‍රිතව තම නිශ්පාදන කරනව්‍යවසායකයන්ගෙන්. පසුගිය වසරපුරාවටම අපට හැකියාව ලැබුනා ඔවුන්ට ආර්ථික වශයෙන් අමතර ශක්තියක් ලබාදෙන්න. අපගේ පාරිභෝගිකයනුත් ඔවුන් නොදැනුවත්වම අපේ රටට ලොකු දායකත්වයක් ලබාදීලා තියෙනවා. අනිත් අතට අත්‍යාවශ්‍යමExports වැඩිකිරීම සදහාත් අපි දායකවෙනවා. ඒ වගේම පාරම්පරික හා දේශීය නිපැයුම්කරැවන් ආරාක්ශාකරගැනීමටදායකත්වයක් සැපයීමත් වගේම UK වල ජීවත්වන අපේ ඊලග පරම්පරාවට අපේ සංස්කෘතිය, දේශීයත්වය සමග බද්දවන්නටපහසුවක් අපි නිර්මානය කරලා තියෙනවා..
PETTAH STREET වෙත පිවිසෙන පාර්භෝගිකයන්ට වඩාත් හොඳ පාරිභෝගික අත්දැකීමක් ඔබ සහතික කරනවාද?
අපගේ website එක www.pettahstreet.co.uk නිර්මානයකරේ customer friendly විදිහට. පාරිබෝගිකයාට පහසුවෙන්තෝරාගැනීමටත්, ඉතා ආරක්ශාකාරීව මුදල් ගෙවීමටත් හැකියා පවතිනවා. පාරිභෝගිකයාට, උදාහරණයක් වශයෙන්, ඇදුමකඅවශ්‍ය සියලු විස්තර, තමන්ට ගැලපෙන size එක අනුව තිබෙන තොග, ඇදුමක detailed photos වැනිදේ ලබාදී තිබෙනවා. මෙහි තියෙන විශේෂ කාරනය වෙන්නේ මිලදීගන්නා ඇදුමක් ඔබට size එක සම්බන්දයෙන් විශේෂයෙන් ගැලපෙන්නෙ නැතිනම් එයexchange කිරීමේ හැකියාවත් එයත් ඉතාම කෙටි දින කිහිපයකින් ලබාගැනීමටත් නැතහොත් අනවශ්‍යනම් return කිරීමේහැකියාවත් තියෙනවා. ඔබ ලංකාවෙන් යමක් මිලදීගෙන UK වලට ගෙන්වාගත්විට මෙවැනි පහසුකමක් ලැබෙන්නේ නෑ.
ඒවගේම අපේ Hotlines, WhatsApp සහ Messenger වලින් දවසේ ඕනෑම වෙලාවක අපහා සම්බන්ධ වෙන්න පුලුවන්. අපටලැබෙන ඇනවුම් සියල්ල 3 working days ඇතුලත deliver කරනවා. කෙනෙකුට විශේෂ අවශ්‍යතාවයක් මත අපි සමගසම්බන්ධවී Express delivery එකක් ලබාදීමටත් අපි සූදානම්.
PETTAH STREET මීළඟ ඉලක්කයන් මොනවාද?
මූලික වශයෙන් UK ජීවත්වන සියලුම ශ්‍රීලාංකිකයන්ට අවශ්‍ය දේශීය ඇගලුම් හා අනෙකුත් දේශීය නිශ්පාදන ලබාගැනීමට හැකිonline ව්‍යාපාරයක්ලෙස තවදුරටත් ස්තාපිතවීම අවශ්‍යයි. ව්‍යාපාරයක් ලෙස ප්‍රචලිතවීම සමග ලංකාවතුල අප ව්‍යාපාරයසම්බන්ධ පෙරකියු සියලුදේ වැඩිවීමක් සිදුවේවි, විශේෂයෙන් Exports වලට අපිට වැඩි දාගකත්වයක් දෙන්න පුලුවන්වේවි. ඊටඅමතරව අනෙකුත් යුරෝපීය රටවල ශ්‍රීලාංකිකන්ටත් Pettah Street shopping experience එක සලසාදීම මේවනවිටත්සාකච්ඡාකරමින් පවතිනවා.
Contact Pettah Street
Phone – 0333 09 09 129
WhatsApp – 074 19 21 19 13
Email -info@pettahstreet.co.uk
අපේ අම්මා තාත්තා ද සිනමා ශාලාවට යා යුතුය, ඔවුන්ට යාමට හැකියාවක් නැත්නම් මා සිනමා ශාලාවක් ගෙදරට යාබද තැනක සකසා දිය යුතුය.
කොලොම්පුරේ ට ම සීමා වූ ලාංකේය නූතන නාට්‍ය කලාව,ලාංකේය සිනමාව එකම ප්‍රේක්ෂකාගාරයක් වින්දනයට පත්කරයි. වසරකට කැළණිය විශ්වවිද්‍යාලය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය, ශ්‍රීපාලි මණ්ඩපය, ටවර්හෝල් ඩිප්ලෝමා එකී නොකී බොහෝ උසස් අධ්‍යාපන ආයතන වලින් නාට්‍යකරුවෝ නැතහොත් කලාවට ආදරය කරන උන් සිය ගණනක් කලඑළි බසී. අදට අනුව ඔවුන් කලාව කරන්නට නම් කොළඹ සිටිය යුතුමය.අද්‍යතනය වන විට දී ශිල්පීන් බිහි වන්නේ කොළඹට යහපත තැනක ස්ථානගත වූ විටෙක පමණකි.
ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්‍රමය තුළ සෞන්දර්ය විෂයයන් තුළ ශිල්පීන් බිහි කිරීමට අවශ්‍ය පසුබිම කිසි මොහොතක සකසා නැත.ගම් මට්ටමෙන් ශිල්පීන් බිහි කිරීමට අවශ්‍ය වටපිටාව ගම තුළ සැකසී නැත.එසේනම් පාසල තුළ, ගම තුළ ශිල්පීන් බිහි කිරීම දැන් අප ආරම්භ කළ යුතුව ඇත. එමෙන්ම කොළොම්පුරයට සහ නගරයට කේන්ද්‍රගත වූ වේදිකා නාට්‍ය කලාව සහ සිනමා කලාව ගමට ගෙන ආ යුතුය. කලාව රට තුළ තව දුරටත් ජනගත කළ යුතුය.
අද්‍යතනයේ දී වේදිකා නාට්‍ය,සිනමාව නරඹන එක්තරා ප්‍රේක්ෂකාගාරයක් සෑදී තිබේ.නමුත් ගම් නියම් ගම් සිසාරා ඒ සියලු ප්‍රේක්ෂකයින් එකම පිරිසකි. සෑම නගරයකම සිනමා ශාලාවක් තිබුනත් ඒ සිනමා ශාලා භාවිත කරන්නේ ද එකම පන්තියේ පිරිසකි.
මගේ අම්මාට හෝ තාත්තාට සිනමා ශාලාවකට ගොස් සිනමා නිර්මාණයක් බලා රස විඳීමට විවේකයක් නැත.විවේකයක් තිබුනත් පවතින සමාජ ක්‍රමය තුළ ඊට වඩා වැඩ ඇත. ඉතින් අපේ අම්මා තාත්තා ද චිත්‍රපට, සිනමා ශාලාවකින් බැලිය යුතුය .වේදිකා නාට්‍ය රංග ශාලාවකදී නැරඹිය යුතුය.
පැහැදිලිවම අද්‍යතනය වන විටදී සිනමාවට සහ වේදිකා කලාවට මග ඇරුණු ප්‍රේක්ෂක පිරිසක් ලංකාවේ ජීවත් වෙයි.
ඉතින් පොකට් සිනමා නම් භාවිතාව අපේ අම්මා තාත්තාට නිදහසේ චිත්‍රපටයක් බැලීමේ අවස්ථාව සලසා දීමට ය, පාසල තුළ , ගම තුළ, ශිල්පීන් බිහි කළ හැකිය යන සංකල්පය යථාර්තයක් කරවිමට ය. ඒ නිසාම පොකැට් සිනමා නමින් ගමට සිනමා ශාලාවක් සංකල්පය යටතේ ගමින් ගමට චිත්‍රපට අරගෙන යන්නට මම ඇතුළු අපේ කණ්ඩායම සූදානම් වෙමූ.මේ වන විට ගම්මාන කිහිපයක අප පොකට් සිනමා ජංගම සිනමා ශාලාව ස්ථානගත කොට හමාරය. මෙහිදී කෙටි චිත්‍රපට නිර්මාණ පහක් පලමු පියවර ලෙස විවිධ පාසල් විවිධ ගම් සමඟ නිර්මාණය කල අප ඒ කෙටි සිනමාපට දේශීය සහ විදේශීය වශයෙන් ඇගයීම් ලබන්නට ද සමත් විය.ඒ අතර අන්තර්ජාතික කෙටි සිනමා උළෙලවල් තුනක අවසන් වටය නියෝජනය සහ සම්මානයට පාත්‍ර වීම.Agenda 14 කෙටි චිත්‍රපට උළෙල තුළ අවසාන වටයට සුදුසුකම් ලැබීම ආදී බොහෝ ඇගයීම ප්‍රමාණයක් මේ මොහොත වන විටත් pocket cinema අප අත්පත් කර ගත්තෙමු. කෙසේ වෙතත් පොකට් සිනමා මෙම චාරිකාවේ වර්තනීය ස්ථානයක් ලෙස දෙකඩහාල් සිනමාපටය හැඳින්විය හැකිය.
මෙම සිනමාපටය මාගේ ප්‍රථම වෘතාන්ත සිනමාපට අධ්‍යක්ෂණයයී. මේ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය ප්‍රසාද් දේවින්ද ගුරුගේ සහෝදරයාය.නිෂ්පාදන දායකත්වය පිළිබඳ කතා කිරීමේදී, කුමාරී බණ්ඩාර මැතිණිය වගේම හඳුනන නොහඳුනන මුහුණුපොතේ බොහෝ අයවලුන්ගෙන්ද කන්තලේ මොරවැව ප්‍රදේශවල කලාවට හිතැති අයගේද කර මතින් නිර්මාණය වූ බව පසක් කල යුතුමය.සිනමාපටය මුළුමනින්ම ගම්මානයකින් නිර්මාණය වූ සිනමා පටයකි.
ලාංකීය අධ්‍යාපන ක්‍රියාවලියේ සම්පත් බෙදී යාමේ විෂමතාවය සහ ජනප්‍රිය පාසල් කලාවේ රියලිටිය මත මග ඇරුණු පුංචි උන් ගැන කතිකාවතකට මේ සිනමා පටය හරහා ප්‍රේක්ෂක ඔබට ආමන්ත්‍රණය කරයී.pocket cinema කණ්ඩායමේ ආදරණීය සහෘදයන් සමග මාස දෙකක පෙර සූදානම් වීමකින් අනතුරුව මේ වන විට සම්පූර්ණයෙන්ම රූපගත කිරීම් අවසන් කොට ඇත. මෙම සිනමා නිර්මාණය සඳහා සම්පූර්ණ රංගන දායකත්වය ලබා දෙන්නේ ගමක බාල මහලු වැඩිහිටි අයවලුන් විසිනි.එම ක්‍රියාවලිය අතිශයින්ම සුන්දරය ඒ තරමටම භාරදූර ය.
විශේෂයෙන් මොරවැව දකුණු සිංහල සිංහල විද්‍යාලය සහ බණ්ඩාරනායක විද්‍යාලය, කන්තලේ මධ්‍ය මහා විද්‍යාලය යන පාසල් වල අධ්‍යාපනය ලබන පුංචි කලාකරුවෝ රැසක් මේ චිත්‍රපටයේ රංගනයෙන් දායකත්වය දක්වනවා ඇත..මෙම රංගන ශිල්පීන් ශිල්පිනියන් දෙස බලන කල්හි මට ඔබට අධ්‍යක්ෂවරයා හැටියට කියන්නට යමක් ඇත.ලාංකේය කලා භාවිතාව තුළ නළු නිළියන් කොලොම්පුරේ රූපවාහිනී වැඩසටහන්වල ම පමණක් නොව. දුෂ්කර යැයි හංවඩු ගසනා ගම්මානවල කුඹුර කොටමින් ද සිටිය හැක, එසේත් නැතිනම් ගමේ හන්දියේ බෝක්කුවක් මත මතදී බීඩි සුරුට්ටුවක් උරමින් ද සිටිය හැක.මෙහි බරපතළම අවස්ථාව නම් සෞන්දර්ය විෂයයන් තුන වෙනුවෙන් සංගීත ගුරුවරියක් පමණක්ම සේවය කරන පාසලක ද විශිෂ්ට රංගන ශිල්පියෙක් හිටිය හැක.මෙම සිනමා පටය හරහා වෘතාන්ත චිත්‍රපටයක සිහිනය පොකට් සිනෙමා කණ්ඩායම සැබෑ කර ගන්නවා සේම ගම්බද කලාකරුවන් රැසක් අනාවරණය කරගැනීමට ද හැකි විය. චිත්‍රපටය සාර්ථක අසාර්ථක තාවය කෙසේ වෙතත් එය අධ්‍යක්ෂකවරයෙකු ලෙස කණ්ඩායමක් ලෙස මා හිමිකර ගත් ජයග්‍රහණයක් ලෙස මට සිතේ.
ඉතින් නුදුරේදීම ගමට සිනමා ශාලාවක් රැගෙන ඔබේ ගමටත් පැමිණීමේ බලාපොරොත්තුවෙන් මේ දිනවල සැලසුම් සකස් කරමින් සිටිමු.
අවසාන වශයෙන් දෙකඩහාල් එක්ක පොකැට් සිනමා ශාලාවේදී. හමුවෙමු.
මම දමිත් අලුත්ගම !