ඔබ ඔබම වෙන්න


ඔබ මොන දේ කොහොම කරත් ඔබ අවට අය එය දකින්නේ අඩුපාඩුක් දකින ආකාරයටයි. 

 ළදරුවකුව සිටියදී;

😌”අපෝ ඒ බබාගෙ මහත, අම්ම පිටි කිරිම දීලද කොහෙදෝ”

😌” අපෝ ඒ ළමයගෙ කෙට්ටු.. මන්දපෝෂණේද කොහෙද? අම්මගෙ හැටියටනෙ ඉතිං ළමයා”

😌” ඒ බබාගෙ මූණ ඇදයි නේද?”

😌”අම්මෝ ඒ ළමයගෙ පාට. අඟුරු වගේ. ඒ මදිවට ඇඟේ කොරපොතු වගේ හම”

😌”අප්පෝ ඒ බබාට තියෙන්නෙ කැරපොතු සුදක්”

😌” ඒ ළමය අඬනවා රෑ දෙගොඩහරියක් වෙනකම්. අපිට නිදාගන්නත් නෑ”

😌” අඬන්නෙම නැති ළමයෙක්. මොකක් හරි ලෙඩක්ද දන්නෙ නෑ” etc…

දරුවෙක් ලෙස වැඩෙද්දී;

😒” අපොයි ඒ ළමය කතා කරන්නවත් දන්නෙ නෑ. දෙමව්පියො හදල තියෙන හැටි තමයි”

😒”ඒ ළමයට මෙලෝ දෙයක් ඉගෙන ගන්න බෑ.වැඩ හරිම දුර්වලයිලු”

😒”ඒ ළමයා ආපු තැනක් ඇත්තම් වනසනවා. අපේ ළමයි එක්ක නම් තියන්න හොඳ නෑ. උනුත් නරක් වෙයි”

😒” ඒ ළමය ඉතිං බඩුවක් ගත්තොත් කඩනවානේ” etc..

තරුණ වියට එළබෙද්දී;

තරුණියකට නම්,

————

🤪”අන්න අදත් සක්කරවට්ටම වගේ ඇඳගෙන යනවා. කොහේ යනවද දන්නෙ නෑ “

🤪”ඔය කොන්ඩෙ ස්ට්‍රෙට් කරල පාට ටිකක් උලාගත්තම කොල්ලො පස්සෙන් එයි කියල හිතන් ඇත්තෙ.”

🤪”ඔහොම හිටියට ඕලෙවල් වත් පාස් නැද්ද කොහෙදෝ”

🤪” ගෑණු ළමයෙක් උනාම හැක හැක ගාල හිනා වෙන්ඩ හොඳ නෑ”

🤪”මං ඊයෙත් දැක්ක කොල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවා.කීවෙනි කොල්ලද දන්නෙ නැ. ආයෙ ඒකෙ දෙකක් නෑ හතර පහක් අමාරුවේ දාල ඇති. අම්ම වගේම නැතෑ”

🤪”ඔය ශෝක් කරන්නෙ ඔය ගෙදර මහ මිනිහා අමාරුවෙන් හම්බ කරන සල්ලි”

🤪”කැම්පස් යනව කියලා කොහේ යනවද දන්නෙ නැ. මොකද අපි එතනට ගිහින් බලනවයැ.”

🤪” ඔය රස්සාවක් කියල සාරි බාරි පටලගෙන ගියාට ඇති මොකද්ද දන්නෙ නෑ කරන රස්සාව”

🤪”තාම.බැඳලා නැත්තේ, බඳින්න බැරි වෙන තැනට වැඩ සිද්ද කරගෙන වෙන්න ඇති”

🤪” ඉගෙන ගන්නත් බැරි වෙච්ච එකේ ඔය මිනිස්සුන්ට තියෙන්නෙ කාවහරි අල්ලලා බන්දලා දාන්න” etc…

තරුණයෙකුට නම්;

😎”ඔය කොල්ලා අර මිනිස්සුන්ගෙ සල්ලි නාස්ති කරන තරම්”

😎”ඉගෙන ගත්තෙත් නෑනෙ. කුඩු ගහනවත් ඇති, ඇඟේ හැටි බලන්නකො”

😎” රස්සාවකුත් නැද්ද කොහෙදො”

😎” ඔය කොල්ල දන්න දවසෙ ඉඳන් කරේ නසරානි වැඩ”

😎” කෙල්ලො හය හතක් අමාරුවෙ දාල ඉන්නෙ ඔය”

😎” දැන් ඔය රට යනවා කියලා ගියාට, මතුරටද දන්නෙ නෑ ඉන්නෙ” etc..

විවාහක යුවලකට නම්;

😳”අරගොල්ලො බැඳලා මාස 5-6 වෙනවා.තාම ලමයි නෑ නේද”

😳”ජෝඩුව හිනාවෙලා හිටියට ගෙදරදි ගහ මරා ගන්නව ඇති. පේන්නෙ නැද්ද ගෑනි ඇදිල පැදිල ගිහිල්ල”

😳”ඔය දෙන්න එකතු වෙලා බිස්නස් එකක් කියල කරන්නෙ මොනවද දන්නෙ නැ. කුඩු විකුණනවද දන්නෙත් නෑ”

😳”ෆේස් බුක් එකේ ඔක්කොම දාන්නෙ අපිට පේන්න වෙන්න ඇති”

😳”කෑම හද හදා ඉන්ස්ටා දාන්නෙ බේකරියක් දාලද කොහෙද ගෙදර”

😳”අපි නම් ඔහොම ට්‍රිප් ගිහින් ෆොටෝ හැම තැනම දාන්නෙ නෑ. උන් ඉතිං සෝබනේනේ”

😳”ගෙදර උයලා කරල ළමයි බලාගන්න උන්ට වෙලාවක් නැතුව ඇතු නේද? ඇයි බැලුවොත් ෆේස් බුක් එකේනෙ”

😳”ඔය මනුස්සයා රස්සාවක් කරන්නෙ නැද්ද්ද් කොහෙද? ගෑනිගෙන් කකා ඉන්නව ඇති. රස්ස්වක් කරනව නම් කෝ යනව එනව පේන්න එපැයි”

etc…

     මේ අප එදිනෙදා ජීවිතයේදි අප වටා සිටින්නන්ගෙන් අහන, ඇහෙන දේවල් වලින් ඉතාම අල්පයක්. උපන්දා සිට මරණය දක්වාම එහි වෙනසක් නැ. ඒ වගේම කිසි දිනක අපවටා ඉන්න අයගේ ආකල්ප වෙනස් කරන්නත් බෑ. කළ යුත්තේ අපේ සතුට අපි හොයාගැනීමයි.

       🌹ඔබ යම් දෙයකින් සතුටක් ලබනවා නම්, එය අන් අයට හානියක් නැත්තම් එය පවත්වාගන්න. එය විඳින්න. 

       🌹ඔබට හොඳයි යැයි හැඟෙන දේ ඔබ කරන්න.

       🌹ඔබේ ජීවන වුර්තිය ඔබට අවශ්‍ය ලෙස මිසක් අන් අයට අවශ්‍ය ලෙස තෝරා නොගන්න. ඔබ ලැජ්ජා විය යුත්තේ හොරකම් , මත්ද්‍රව්‍ය , නීති විරෝධී ව්‍යාපාර කිරීමට මිස ඔබ අභිමානවත් ලෙස කරගෙන යන රැකියාව හෝ ව්‍යාපාරය කිරිමට නොවේ.

      🌹ඔබ ඔබම වන්න. අපවාද , ගල්මුල් වැඩි වේවී..

          “ඵල ඇති රුකටනේ ගල් වදින්නේ

     🌹ඔබේ සිහිනය ඔබ මිස අන් අයට දකින්නට ඉඩ නොදෙන්න. 

     🌹ඇති නැති හැම අවස්ථාවකදීම ජීවිතය විඳින්න.

     🌹වෙනස් වන සෑම මොහොතක්ම, අවස්ථාවක්ම එය ඔබේ යහපතට සිදු වුනේ යැයි සිතන්න. එය විශ්වාස කරන්න. පරම සත්‍යය එයයි.

ඉතිං.. ඇයි තවත් පමා..

    අපි ජීවිතය විඳිමු..

©️දිගැZ✍️

වේශ නිරැපණයෙන් අලුත් හැඩතල මවන අපේ රුවැත්ති- ROSHINI SULOCHANA


රෝෂිනී කියන්නෙ ඔයාගෙම වචනෙන් කිව්වොත්

සංකීර්ණ වෙන්න ඕන තැන සංකීර්ණ වෙන , අනිත් අය වගේම සාමාන්‍ය සරල මනුෂ්‍යයෙක්

ඔයාගෙ පවුලෙ විස්තර ටිකක් කිව්වොත් 

මගෙ පව්ල ඇතුලෙ ගොඩක් අය ඉන්නව , හැබැයි මම හදාගත්ත පව්ලෙ ඉන්නෙ , මගෙ ජිවිතය ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු ඇතිකරන දඟකාර දුවයි , ඒ බලාපොරොත්තු වලට හයියක් වන මහත්තයයි .

රැකියාව ගැන පොඩ්ඩක් කතා කරොත්

හරි ඔන්න ඔතනදි මට ගැලපෙන පිලිතුරක් දෙන්න අමාරුයි ,හැමෝම දන්නෙ වේශනිරැපනය කියන දේ ම⁣ට රැකියාවක් කියන ඒක , වේශනිරැපනය කියන දෙය මට පුදුම ලස්සන කලාවක් , මම හරිම ආසාවෙන් කැපවීමෙන් කරන කලාවක් , ගොඩක් අවස්ථාවල මම එක්ක වැඩ කරන අය කියන්නෙ මම මුන සිතුවමක් කරනව කියල , ඉතින් ඒ නිසාම මේ කලාව මගෙ විනොදාන්ෂ්‍ය වෙලා තියෙන්නෙ .

මොනවගේ styles අපිට රෝෂිනීගෙන් දැනගන්න පුලුවන්

වේශනිරැපනය තුල තියෙන විලාසිතා බොහොමයි ,  Dramatics, gothic, artistic, natural, bridal , tv , makeup කියල විවිධ විලාසිතා තියෙනවා , මේ එකකට එකක් වෙනස්වන අවස්තා තියෙනවා, අපි සාමාන්‍යයෙන් කරන ⁣makeup එකක් , tv makeup එකකට or photo shoot එකකට දාන්නෙ නැහැ , .ඒ වගේ දේවල් වලදි අපි භාවිතා කරන technic එකේ ඉන්දන් products එක දක්වා වෙනස් කරන අවස්තා තියෙනවා, 

මේ වෙන කොට බොහොම සුළු නිර්මාණ කොටසක් තමයි බාවිතා කරල තියෙන්නෙ , ඉදිරියට හරිම හෙමින් තව නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා .

ලංකාවෙන් එංගලන්තෙට ආපු එක ගැන අද දැනෙන්නෙ කොහොමද 

සරලව කියනවනම් මට ලොකුවට හැඟිමක් දැනෙන්නෙ නැහැ , හැබැයි මේ වගේ රටක අපිට ඉගෙන ගන්න දේවල් බොහොමයි , ඉතින් ඒ නිසා සතුටුයි , මගෙ කලාව මට තව දුරටත් මේ වගේ රටකින් ඉගෙන ගන්න පුළුවන් එක ගැන .

Beautician  කෙනෙක් උනේ කොහොමදආපු ගමන ගැන කිව්වොත් 

අයිය ප්‍රශ්නය ඇහුව වැරදි , මම beautician ( රැපලාවන්ය ශිල්පියෙක්) කෙනෙක් නෙවෙයි , 

මම Make up artist ( වේශනිරැපන ශිල්පියෙක් ) කෙනෙක් ,  මේ දෙක අතර ඇත්තටම වෙනසක් තියෙනවා , මේ දෙන්නම මේ දෙකම කරාට , මේක ෂේෂ්ත්‍ර දෙකක් ,  සරලව කියනවනම් beautician හම , පැහැය , නිය , හිසකස් , මේ බොහොමයක් දේවල්  මනාව හසුරුවන කෙනෙක් , 

 Makeup artist, පෙනුම , වෙනස් අකාරයකට හෝ අලුත් වේශයකට වෙනස් කරන කෙනෙක් 

මට නිර්මාණය කරන්න තිබ්බ ආසාව එක්ක තමයි , මම මෙතෙන්ට අවතිර්ණ වුනේ , වෙනස් දේවල් කරන්න ඕන වුනා , out box  හිතල නිර්මාන කලා , මගෙ කලාවට ආදරය කරන අය බොහොම දෙනා ඒවා ආදරයෙන් වැලඳ ගත්ත .හැමෝම මගෙ නිර්මාණයන් දකින නිසා මම ඒ සම්බන්ධව කතා නොකර ඉන්නම් .

මම ආපු ගමන ගැන නිහතමානිව ආඩම්බරයි , හැම දෙයක්ම. Products , technics , style තනියම ඉගෙන ගත්ත  . ඒ වගේම ගොඩක් දෙනාට ඉගෙන්නුව , 

මගෙ දැනුම බෙදා ගත්ත , වෙන රටවල් වල සහ අපේම අනිත් makeup artist ලට පවා මම දනන් දේ මම කියල දුන්න , මට ඇත්තටම සතුටුයි .

 ලංකාවේ සහ එංගලන්තයේ  Makeup artist කෙනෙකුගෙ තියෙන්නෙ වෙනස්කම් ගැන කිව්වොත්

මෙහෙමයි ,  මම දකින දෙයක් ලන්කාව මනාලියන් හැඩ ගැන්විම ඉතා සාර්ථකව කරනවා , හැබැයි ලංකාව Avatar film එකක් වගේ දෙයක් කලොත් , එදාට මම , ඔයා ,මේ හැමෝම ලංකාවෙයි පිටරටයි වේශනිරැපනයෙ වෙනසක් නොදකියි .

Makeup artist කෙනෙක් ලෙස ඔයා ලබපු අද්දැකීම් සහ අලුතෙන් මේ ක්ශේත්රයට එන අයට මොනවද දෙන උපදෙස්

අත්දැකිම් හොන්ද වෙන්න පුලුවන් නරක ඒවා වෙන්න පුලුවන් , හැබැයි ඒ හැම දෙයක්ම මට ආශිර්වාදයක් , ශක්තියක් වුනා. අත්දැකීම් කියන්න තරම් සුන්දර නැහැ , ඒ නිසා නොකිය ඉමු. 

අලුතින් එන අයට කියන්නේ , මුලින්ම මේ කලාවට ආදරය කරන්න , අලුත් දේවල් කරන්න , හොයන්න , experiment කරන්න , මම ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ තනියම experiments  කරල , අනිත් නිර්මාණ බලන්න , inspired වෙන්න .

 ජීවිතයෙ ලස්සනම දවස ගැන පොඩ්ඩක්  මතක් කරොත් සහ රෝෂිනීගෙන් අපෙ අයට මොනවගේ සහයෝගයක් ලබා ගන්න පුළුවන් contact කරගන්න පහසුම විදිය

මගෙ ලස්සනම දවස , මට ලැබුනෙ  පුංචි කෙල්ලක් කියල nurse මගෙ පපුවට මගෙ කෙල්ලව තියපු දවස . 

අපි දුවෙකුට ආසාව තිබ්බ , හැබැයි දරැව ලැබෙනකම් gender එක check කලේ නැහැ,  ඉතින් ආසාවත් එක්ක ලොකුම බලාපොරොත්තුවක් ඉටුවුනු ලස්සනම දවස ඒ, 

මගේ සේවාවන් , 

මම Bridal සම්බන්ධයෙන් කතා කලොත් , මම , Indian , western , Sri Lankan ( kandiyan) Jewellery  වල ඉන්දන් , ඇදුම් පැලදුම් , මල් , සහ අනෙකුත් සැම කටයුත්තක් සදහාම සහය වෙන්න පුලුවන් හැකියාවක් මට තියෙනවා ,  

ඒ වගේම tv , film , shoot , වැනි නිර්මානවල වේශනිරැපනයට මගෙ දැනුම බෙදාදෙන්න මම සුදානම් , 

ඔයාලට වේශනිරැපනය සම්බන්ධයෙන් තියෙන ගැටලු වලට හැකි ආකාරයෙන් සහයෝගය ලබාගන්න පුලුවන් . 

මාව සම්බන්ධ කරගන්න පුලුවන් 

පහත  ආකාරයන්ට . 

Beyond Reality- Artistic Makeup ( fb page & Instagram page) 

Roshini Sulochana ( fb profile) 

07453 419227 Mobile / WhatsApp

අපි Magazine එක ගැන සහ ඒකට ලියන්න ලැබීම ගැන මොකද හිතෙන්නෙ.

මුලින්ම Magazine එකේ කතෘ ගයාන් අයියට ස්තුති කරන්න ඕනෙ , පිටරටක ඉනන් අපේ අනෙත් සහෝදර සහෝදරියන් ගෙ නිර්මාණය එලි දක්වන්න තෝතැන්නක් හදන එකම කරන ලොකු ආශිර්වාදයක් මේ හැමෝටම , අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් , මටම වෙනම fashion පිටුවක් වෙන් කරල ,  මගෙ නිර්මාණය වලට අවස්ථාවක් දෙන එකට බො⁣හොම ස්තුති කියල මම නවතින්නම් .

රෝගියෙකු වෙනුවෙන් දෙන සේලයින්


ඔන්න දැන් අපේ රටේදීම නිෂ්පාදනය කරන්න පටන් අරන් ,එලෙස නිශ්පාදනය  කළ පළමු සේලයින් තොගය රාජ්‍ය සෞඛ්‍ය අංශ වෙත බෙදා හැරීම  පහුගිය දවස්වල ආරම්භ කලා. සේලයින් සදහා වසරකට විශාල මුදල් ප්‍රමාණයක් විදෙස් රටවලට යාම මෙමගින් ඉතිරි කරගැනීමට හැකිවීම නිසා 

මේක අපේ රට ලැබූ විශාල ජයග්‍රහණයක් විදිහට කියන්න පුළුවන් .

ඒවගේම සම්පූර්ණයෙන් විෂබීජ රහිතව සිරුරට විෂ නැති ප්ලාස්ටික් බෝතලයක ගබඩා කර, විද්‍යානුකූලව පහසුකම් සහිත බෙහෙත් කර්මාන්තශාලාවල තමයි  සේලයින් නිපදවන්න පුළුවන් ,

ඇත්තටම සේලයින් කිව්වම  හුගක් දෙනෙක්ගෙ තියෙන්නෙ වැරදි මතයක් කියල හිතෙනවා ,ඒකට හේතුව තමයි රෝහල්ගත කල රෝගියෙකුට සේලයින් එකක් දුන්නොත් ඒ ලෙඩා හුගක් අසාධ්‍ය තත්වයෙ ඉන්නෙ කියල සමහරු හිතනවා,සේලයින් එකක් නොදුන්නොත් ඒකත් පොඩි ගැටලුවක් ,

ඇත්තටම කිව්වොත් මේ සේලයින් කියන්නෙ අපි ආහාරයට ගන්නා ලුණු Nacl එහෙම නැත්තං සෝඩියම් ක්ලෝරයිඩ් ඉතා ස්වල්පයක් මිශ්‍ර වූ පිරිසිදු ජලය .

“සේලයින් වලට ඕනෙ නම් බේත් දාලා දෙන්න පුලුවන්. 

එතකොට ඔබට හිතෙයි අපිට මේ සේලයින් කියල ලුණු මිශ්‍ර වතුර දෙන්නෙ මොකද කියල ,

රෝගියෙකුගේ රුධිර පීඩනය  අවස්ථාව අනුව රෝගය අනුව වෙනස් වෙන්න පුළුවන් .ඒ කියන්නේ රෝගියාගේ රුධිර නාල ඇතුලේ අවශ්‍ය තරම් රුධිර පීඩනයක් නැති අවස්ථාවක් .

රුධිර නාල රබර් බට වගේ. ඒවා ඇදිලා තියෙන්නේ ඒවා ඇතුලේ ගලන රුධිරයේ පීඩනයක් තියෙන නිසා. ඒ පීඩනය ‍ලබා දෙන්නේ හෘදයෙන් කරන පොම්ප කිරීමෙන්. ඉතින් මේ පීඩනය අඩු උනොත් බට ඇකිලිලා හෘදයෙන් ඈත තියෙන අවයව වලට රුධිර සැපයුම අඩු වෙන්න පුලුවන්. මේ අතරින් මොළය, වකුගඩු වගේ අවයව විශේෂයි. රුධිර සැපයුම අඩු උනොත් ඒවට පෝෂණය සහ ඔක්සිජන් හරියට ‍නොලැබී ‍ඒවා මිය යන්නටත් පුලුවන්. වතුර බීලා ඒ පීඩනය නිවැරදි කරන්න අමාරුයි. ඉතින් ඒ වගේ අවස්ථාවක ඉක්මණින් රුධිර පීඩනය තාවකාලිකව ඉහළ නංවන්න තමයි රෝගියෙකුට  සේලයින් දෙන්නෙ . 

ලුණු තිබෙන නිසා සේලයින් වල රුධිරයට සාපේක්ෂව සමාභිසාරක ද්‍රාවණයක් (isotonic solution) නිසා ශරීරයේ සෛල හා රුධිර නාල පුරා සමව බෙදී යනවා. 

” මීට අමතරව අවස්ථාව හා රෝගීන්  අනුව භාවිතා වන සේලයින් වර්ගත් තියනව “

 අපි කතා කරන මේ Normal Saline හැමෝටම දෙන්නෙත් නෑ ,මොකද 

අනවශ්‍ය විදියට සේලයින් දෙන්න යන එකෙන් වෙන  කරදර ගොඩක් වෙන්න පුලුවන්.ඒ තමයි 

1. විෂබීජ ශරීරයට පහසුවෙන් ඇතුල්වීම (cannula site infections) :

* සේලයින් දෙන්නේ cannula නම් ශරීරයේ බාහිරයේ සිට ශිරාවකට ඇතුල් කළ කටුවක් හරහා. මෙසේ කිරීමේදී සම මතුපිට ඉන්න විෂබීජ රුධිරයට ඇතුල් වීමේ අවදානමක් තිබෙනවා. ඉතින් මේ කටු මාරු කරන්න වෙනවා දවස් 3කට වැඩියෙන් භාවිතා වෙනවා නම්.

2. රුධිර නාල තුළ තරල ප්‍රමාණය ඉහළ යාම (fluid overload) : හෘදයට වැඩිවූ තරල ප්‍රමාණය පොම්ප කර ගැනීමට නොහැකි වීමෙන් අකර්මන්‍ය (Heart Failure) වෙන්න පුලුවන්.

3. රුධිරයේ  Na+, K+, Cl- වැනි අයන අසමතුලිතතා ඇතිවීම : හෘදයාබාධ ඇතිවී මරණයට පත්වීමේ අවදානමක් තිබෙනවා. 

4. අසාත්මිකතා (allergic reactions) :  කලාතුරකින් ඇතිවිය හැක. විශේෂයෙන් සේලයින් හරහා වෙනත් ඖෂධ ලබාදීමේදී බහුලවම දක්නට ලැබෙනවා. කෙලින්ම රුධිරයට කලවම් වන නිසා බරපතල තත්වයන් (anaphylaxis) පවා ඉක්මණින් ඇතිවී මරණයට පත්වීමේ අවදානමක් තිබෙනවා.

නමුත් වෛද්‍යවරු මේ ඖෂධ දීමේදී ඉතා සැලකිලිමත් ලෙස මාත්‍රාව හසුරුවන නිසා මෙවැනි දේ ඉතා කලාතුරකින් තමයි දකින්න ලැබෙන්නෙ. ඒනිසා ඔබ ඒගැන බියවිය යුතු නැහැ .

ඒවගේම  සේලයින් බෝතලයේ හැඩරුව ඇති ඖෂධ වර්ග රාශියක්  එලෙස ලබා දෙනවා. උදාහරණ ලෙස

# 5% ග්ලූකෝස් ද්‍රාවණය රුධිරය අඩු වු විට දෙන ප්ලස්මා වැඩිකරන දේවල් හෙවත් Plasma expanders, 

# මුඛයෙන් ආහාර නොගන්නා විට දෙන ආහාරමය ඖෂධත්, අධික පාචනය, වමනය නිසා රුධිර පොටෑසියම් අඩු විටෙක දෙන “හාට්මාන්” නම් ඖෂධයත් තවත් එවැනි ඖෂධ කිහිපයකුත් හඳුන්වන්න පුළුවන්.

නමුත් ඉතා බහුලව පාවිච්චි කරන සේලයින් ද්‍රාවණය “සාමාන්‍ය සේලයින්” හෙවත් “Normal Saline” ලෙස හඳුන්වනවා. 

මේ සාමාන්‍ය සේලයින් ලබා දෙන්නෙ ප්‍රධාන වශයෙන් ශරීරයට ජලය හා ලවණ අවශ්‍ය වූ විට .

උදාහරණයක් ලෙස 

* වමනය, පාචනය, අධික දහදිය ආදී ලවණ හා ජලය ශරීරයෙන් පිටතට යන අවස්ථාවල.

* අධික රුධිර වහනය වැනි අවස්ථාවක රුධිරය ලබා දෙන තෙක් හා සාමාන්‍ය රුධිර වහනයකදී ප්‍රතිකාරයක් ලෙසත් සාමාන්‍ය සේලයින් වැදගත් වෙනවා.

* කම්පන තත්වයක් (shock State) ශරීරයේ රෝගාබාධයක් නිසා රුධිර පීඩනය ඉතාමත්ම අඩු වී කම්පන තත්වයක් ඇති වූ විට රුධිර පීඩනය වැඩිකිරීමට.

* ශල්‍යකර්මවලදී ශරීරය ඇතුළත පිරිසිදු කිරීමට ජලය වෙනුවට සාමාන්‍ය සේලයින් භාවිතා කරනවා

* තවද ඇස, කන, නාසය වැනි ඉන්ද්‍රියන් පිරිසිදු කිරීමටත්, තුවාල පිරිසිදු කිරීමටත්, ඒ ස්ථානයන්ට පමණක් සේලයින් පාවිච්චි කරනු ලබනවා.

* මීට අමතරව සමහර බෙහෙත් වර්ග, විටමින් ආදිය ශරීරය තුළට ලබා දෙන මාධ්‍යයක් ලෙසත් භාවිතා කරනවා.

 ඇත්තටම අපි රෝගී වූ විට සේලයින් අපිට යම්කිසි ජීවයක් ලබා දෙනවා කියන එක සේලයින් භාවිතා කරන අවස්ථා දිහා බැලුවාම ඇත්තක් කියලා කියන්න පුළුවන්. නමුත් හොඳට මතක තියාගන්න සේලයින් ලබා දිය යුත්තේ ඇත්තටම සේලයින් අවශ්‍යම විටෙක පමණක් නිසා “සේලයින් ටිකක්වත් දුන්නේ නැහැ කියලා” හිත නරක් කර ගන්නත් එපා.

නිශා

ගෙදරම ඉන්න නිසා ඇඟ හැඩ කරලා – ලෙඩ අඩු කර ගන්න සාර්ථකම ක්‍රමේ මෙන්න


ස්ත්‍රී පුරුශ භේදයකින් තොරව අපි හැමෝම කැමතිනේ අනිත් අයට පේනන හැඩට වැඩට ඉන්න. ඉතින් මේ කොරෝනා කාලේ ගෙදරටම වෙලා ඉන්න ඔයාලව තවත් ලස්සන කරන්න පුලුවන් ඒ වගේම නිරෝගී කරන්න පුලුවන් වටිනා ක්‍රමයක් කියලා දෙන්න තමයි මගේ මේ සූදානම. ඒ ක්‍රමය තමයි ‘විරේචන’ එහෙමත් නැතිනම් විරේක කිරීම. අපේ මිනිස් සිරුරේ ක්‍රියාකාරිත්වය යන්ත්‍රයකට සමානයි. යන්ත්‍ර සුත්‍ර නිසි පරිදි ක්‍රියා කිරීමට නම් නිසි කලට පිරිසුදුකර අලුත්වැඩියා කරනවනේ. එ වගේම තමයි අපේ මේ  මිනිස් සිරුර ද වරින් වර පිරිසුදුකර අලුත්වැඩියා කිරීම අනිවාර්ය වෙනවා. අපි අපේ සිරුර පිරිසුදු කරනු ලබන්නේ බාහිරව පමණයි. ඒ වුනත්  මිනිස් සිරුරේ, ක්‍රියාකාරිත්වයට, ආයු කාලය ට, නිරෝගී බව වර්ධනයට; අපේ  සිරුර අභ්‍යන්තරව ද පිරිසුදු කිරීම අනිවාර්යයෙන්ම කල යුතු දෙයක්.

ඉතින් අපි දැන් බලමු කොහොමද මිනිස් සිරුරේ අභ්‍යන්තරය මනාව පිරිසුදු කරන්නේ කියලා. මේ සඳහා වමන, විරේචන, නස්‍ය, වස්ති හා රක්ක මෝක්ෂණය යනුවෙන් ප්‍රතිකාර විධි පහක් තියෙනවා. මේ අතුරින් වෛද්‍යවරයකුගේ උපදෙස් මත එහෙත් වෛද්‍යවරයකු නොමැතිව කළ හැකි එකම ප්‍රතිකාරය වන්නේ විරේචන කර්මයයි. විරේචන ප්‍රතිකාරය සාමාන්‍ය ව්‍යවහාරයේදී විරේක කිරීම, බඩ විරේක කිරීම යනුවෙන් හඳුන්වනවා. සාමාන්‍යයෙන් කාන්තා, පිරිමි භේදයකින් තොරව සෑම අයකුම මාස හයකට වතාවක්වත් විරේක කර්මයක් කළ යුතුමය.

සිරුරේ අප ගන්නා ආහාරපානවල නො දිරවු ඇතැම් කොටස් ශරීරයෙන් පිට නොවී ශරීරය තුළම තැන්පත්ව පවතිනවා. ඉතින් මේ විරේක කිරීමෙන් අධෝ මාර්ගයෙහි තැන්පත් වන මල කොටස් හෙවත් අපද්‍රව්‍ය සිරුරෙන් බැහැර වී යනවා. එවිට සිරුරේ නාලවල අවහිරතා මඟ හැරී සිරුරේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදුවනවා. විශේෂයෙන් අතීතයේ සිටම මිනිසා  තම ආයු කාලය හා නිරෝගීබව වර්ධනය කරගැනීමට විරේක කිරීම භාවිතා කලා. විරේක කිරීම හරහා කාන්තාවන්ට මෙන්ම පුරුශයින්ටද  තම රූ සපුව ඔප් නංවා ගත හැකියි.

ක්ෂණික පහසුව හා ප්‍රතිඵල පසුපස හඹා යන මිනිසා බටහිර ජාතීන් අපට හුරු කළ පණු බෙහෙත් ,මල්ටි විටමින් ,විවිධ රෑපලාවන්‍ය පෙති වර්ග අහුරු පිටින් ගිල දමනවා. පණු බෙහෙත් බීම නරක නැහැ. නමුත් පණු බෙහෙත් බීමෙන් සිදු වන්නේ මිනිස් සිරුර අභ්‍යන්තරයේ ජීවත්වන නිශ්චිත සත්ත්ව කොටසක් පමණක් විනාශ වී යෑමයි. එයින් අප සිරුරේ නාලවල පවතින අවහිරතා මඟ හැරී යන්නේ නැහැ. නමුදු විරේක කිරීමෙන් මිනිස් සිරුරේ සියලුම නාලවල පවතින අවහිරතා මඟ හැරී ගොස්, ශරීරයේ සැහැල්ලු බව, නිරෝගී බව, ආහාර රුචිය, කුසගින්න, පිපාසය හොඳින් වර්ධනය වෙනවා. පසිඳුරන් හා මනස යන මේවායේ පවිත්‍රතාව, ශාරීරික ශක්තිය, බුද්ධිය හා සිරුරේ පැහැය වර්ධනය වෙනවා.

විරේක කිරීම ඔස්සේ රූපලාවණ්‍ය ආරක්ෂා වන්නේ මෙලෙසිනි. අධෝ ප්‍රදේශයේ සියලු නාලවල අපද්‍රව්‍ය එක් රැස් වී පිට නොවී පැවතීමෙන් සිරුරේ පැහැය අවපැහැ වේ. විරේක කිරීම හරහා අපද්‍රව්‍ය ඉවත් වී ශරීරය පැහැපත් වෙනවා. ඊට අමතරව ඇස් වටා කළු පැහැය ඉවත් වීම,  මුඛයේ හා දහදිය දුගඳ දුරු වීම, අධික තරබාරු බව දුරුකර ගැනීමට ද විරේක කර්ම මඟින් සහනයක් ලැබෙනවා. විරේක කිරීම නුසුදුසු අය ලෙස; උණ හා අජීර්ණ රෝගීන්ට, කුඩා ළදරුවන්ට, මහලු අයට, ශාරීරික ශක්තිය දුර්වල වූවන්ට හා ගර්භණී කාන්තාවන්ට විරේක කිරීම නුසුදුසුය. විරේක කර්ම කළ යුත්තේ ද අලුයම් කාලයේ දී බව ආයුර්වේද පොත්පත්වල සඳහන් වෙනවා.

විරේක ඖෂධ කිහිපයක් පහත පරිදි දැක්විය හැක. නමුත් මේවා භාවිය්හයට පෙර ඔබට සුදුසු නුසුදුසු බව බැලීම සඳහා අනිවාර්‍යෙන්ම උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ සහය ලබා ගැනීම ඉතා යෝග්‍ය වේ.                   

⏩ තැඹිලි ගෙඩියක් ඇස්ස කපා, එයින් තැඹිලි වතුර ස්වල්පයක් ඉතිරිකර එයට අරළු කලං 6, සුකිරි කලං 6 ක් කුඩුකර දමා තැඹිලි ගෙඩියේ ඇස්ස වසා රාත්‍රියේ පින්නේ තබා උදැසන පෙරා පානය කිරීම.

⏩අරළු කලං 4, බුළු කලං 4, නෙල්ලි කලං 4 බැගින් ගෙන වතුර පත අට එකට සිඳ උදෑසන සීනි හෝ එරඬු තෙල් හෝ සහිඳ ලුණු ස්වල්පයක් දමා පානය කිරීම.

 ⏩වෙළෙඳ පොළෙන් මිලදී ගත හැකි ත්‍රිපලා චුර්ණය, ධාත්‍රි චුර්ණය, මනිභද්‍ර චුර්ණය, සුකුමාර චුර්ණය, යන මේවායින් එක් වර්ගයක් තේ හැඳි එකක ප්‍රමාණය උණු වතුර අඬු කෝප්ප එකකට දමා විනාඩි 10 ක කාලයක් වසා තබා රාත්‍රී නින්දට පෙර පානය කිරීම.

⏩විරේක ඖෂධ පානයෙන් පසු සිසිල් ජලය කිසිදු විටෙකත් පානය නොකළ යුතුයි. විරේක වනවිට වරින් වර උණුසුම් ජලය පානයට දියයුතු අතර, එමඟින් විරේක ක්‍රියාවලිය පහසු වේ. විරේක වුවා ඇති යැයි සිතුණහොත් සිසිල් දිය, කෝපි, තැඹිලි පානයෙන් විරේක වීම නවතී.

⏩විරේක කළ දින උදෑසන ආහාර ගැනීම නුසුදුසුය. දහවල ආහාරය සඳහා කැඳ වර්ගයක් ද රාත්‍රි ආහාරය සඳහා උකු කැඳ වර්ගයක් ද ගත හැකියි. විරේක වුවාට පසු උණු ජලයෙන් අත් පා සෝදා ගැනීම, මඳ උණුසුම් පේයා ලබාදීම කළයුතු අතර තවදුරටත් විරේක වීම වැළැක්වීමට මී පැණි තේ හැන්දක් බීමට ලබා දිය යුතුයි.

වෛද්‍ය ආර්. චන්ද්‍රිකා රාජපක්ෂ

M. Sc. (UoP-SL),

BAMS (UoC-SL),

Dip. in Ayurveda Beautyculture treatments and Beautycare

දළදා පෙරහැර මංගල්‍යය….


හිතුනා මා දැනගත්දේ මෙලෙස ඔබ දැනුවත් කරන්න…. 

ඇසල පෙරහැර සංකේතවත් වන්නේ වර්ෂාවට….. වර්ෂාව කරන ආරාධනාවක්…. එ පිළිබදව ඔබ දැන සිටියාද?….. පෙරහැර ආරමිභයේ සිට අවසානය දක්වා එහි ඇතුලත් සියල්ලම සංකේතවත් වන්නේ වර්ෂාවට….. දිය කැපිමෙි මංගල්‍යයේ සිට නැකැත් චාරිත්‍රානුකූලව සිදුවෙන සියල්ල එසෙයි….. 

පෙර සිට සිංහල බෞද්ධයන් විස්වාස කරන දෙයක් තමයි දළදා වහන්සෙට වැස්ස වස්සන්න පුළුවන් කියන එක….. එ බව සනාථ කරමින් පෙරහැර ආරම්භයෙදිම වැස්ස පටන් ගන්නවා…..  

මං මට ලියන්න තෙරෙන විදිහට මෙහෙම ලියන්නමි….. දළදා පෙරහැර ඇතුලත් සියළු අංගයන්ගෙන් වර්ෂාව සංකේතවත් වන බවයි දැනගන්නට ලැබුණේ….. වර්ෂාවක් ඇතිවන්නට ⁣ප්‍රථම අවට පරිසරයේ ඇති වෙන වෙනස්වීමි දිහා බලන්න…. අහස ගොරවනවා අකුණු විදුලි කොටනවා වැහි ළිහිනියන් පියාබනවා අහසේ කළු වළාකුල් පිරිලා යනවා… හුළං හමනවා ….. එ වගේම වැහි බිංදු එකින් එක පොළොවට පතිතවෙන්න පටන් ගන්නවා….. 

දැන් පෙරහැර දෙසට හැරෙමු…..

දළදා පෙරහැරෙන් වර්ෂව සංකේතවත් වන්නේ මෙි හින්දයි…. වර්ෂාවක් ලං වෙද්දිම අපිට ඇහෙනවා ගොරවනවා අකුණු විදුලි කොටනවා…. ඉතිං එ සිදුවිමි සංකේතවත් වන්නයි පෙරහැර ආරමිභයේම කස හඬ වගේම ගිණි කැරකවිම පන්දන් එළි වලින් පෙන්නුමි කරන්නේ… හරියට වැස්සක් ලග එන බව ගොරවන හඬින් අපි දැනගන්නාවා වගේයි කස පුපුරණ හඬින් පෙරහැර ලග එන බව දැනගන්නේ…. එ වගේමයි…. නයිඅඩි නටන ⁣උඩරට නැටුමි සමිප්‍රදායට අයත් අපේ නර්ථන සමිප්‍රදායේ අභිමානය වන වෙස් නැටිටුවාගේ නර්තනයේ සිටන් සෑම නර්තනයකින්ම පෙන්නුමි කරන්නේ වර්ෂාව…. (වර්ෂාව ලග එන විට සුළග වෙිගවත් එ වෙිගයට නටන ගස් කොලන් ).. එ වගේමයි අහසේ කළු වැහි වළාකුළු සංකේතවත් කරන්න තමයි පෙරහැරට අලි ඇතුන් ඇතුලත් කරගන්නේ…. එක ඇතෙක් නොවෙයි අලි ඇතුන් සියයක් පමණ යොදාගත් අවස්ථාවන් තියනවානේ…. එ කළු වැහි වළාකුළු සංකේතවත් කරන්න.. එක වළාකුලකින් වැස්ස වැටෙන්නේ නැ ….. වැහි වලාකුළු ගොඩක් එකතුවෙලා අකුණු විදුලි කෙටෙලා හෙණ පුපුරලා හුලං හමලා තමයි වැස්ස ඇද හැලෙන්නේ…. ඉතිං පෙරහැරත් එ වගේමයි… එ සියල්ලම සංකේතවත් වෙනවා…. 

වළාකුල් ගොඩක් එකට එකතුවෙලා ජලවාශ්ප එකතු කරගෙන සිහින් සිරිපොද පොළොවෙට පතිත⁣ වෙන්නේ හරියට එ වැහි බිදු වළාකුල් අතර හිරවෙලා තියනවා වගේ.. ඉතිං එ හිරවෙලා තියන වළාකුළු දෙකට කපන්න ඔින වතුර පොළොවට වැටෙන්න… ඉතිං ⁣මහා පොළොවෙි ඉන්න මිනිසාට හැකියාවක් නෑ ඉහල අහසේ වළාකුල් දෙකට කපන්න…. අන්න එක සංකේතවත් කරන්න තමයි පෙරහැර අවසානයේ දියකැපිමෙි මංගල්‍යය සිදු කරන්නේ….. එ වගේමයි ඉතිං පෙරහැර පටන්ගත්තා වගේමයි අවසන් වන විටත් කන්ද උඩරටට නමි හොදටම වහිනවා….. 

තව දෙයක් කියන්න ඔින දළදා වහන්සේ සංකේතවත් වෙන්න තමයි දළදා කරඩුව වෙනුවට පෙරහැර කරඩුව පෙරහැරේ වඩමිමන්නේ… කවදාවත් දළදා වහන්සේ පෙරහැරේ වඩමිමන්නේ නෑ… එ වගේමයි දියවඩන නිලමෙි තුමා ගැනත් කියන්න ඔින… දිය කැපිමෙි මංගල්‍යයට පුමුඛම කෙනා එ…. රටෙි රජතුමා සංකේතවත් කරන්නයි දියවඩන නිලමෙි තුමා පෙරහැරට එකතු වෙන්නේ….. 

ඉතිං තව නෙදෙන්න කොයිතරමි දේවල් තියනවාද… මෙච්චර දවස් පෙරහැරේ විසිතුරු දිහා පමණක් බලන් සිටි අයට මෙි විස්තර වැදගත් වෙයි කියලා හිතෙනවා…. තව ගොඩක් දෙවල් එතුමා පැවසූවා… නමුත් මට මතක නැනේ 😁….. මට මෙි දෙවල් එතුමාගෙන් දැනගන්න ලැබුණේ අහමිබෙන්…. 

ඉතිං ඔයාලා හැමොටම දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි 🙏🙏 

මම 


නිසංසලා රණසිංහ

ගැහැණු තව දුර‍ටත් හුරතල් වෙන්න ඕනේ නැහැ


පුංචි දේටත් ඇස් රතු කරගෙන අඬන, බෝනික්කි පැටව් තුරුල් කරගෙන නිදාගන්න, සුන්දර ගැහැණු ළමයින්ම කවියෝ උපමා කරන්නෙ ලස්සනම ලස්සන මල් වලට,එහෙම නැත්තම් පුංචි සුරංගනාවියන්ට.

පුංචි කාලෙ කොහෙන්දෝ ඔලුවට ආපු ඒ සුරංගනා හැඟීම, ළමා විය ඉක්මවා හිරිමල් අවධියට පය ගැහුවට පස්සේ උනත් ගෑණු හිත් වලින් තුරන් වෙනවා අඩුයි.

සැබෑ ජීවිතේ ඉෂ්ට කරගන්න පුළුවන් උනත් බැරි උනත් හැම කෙල්ලෙක්ම හැම දුවෙක්ම, හැම ගැහැණු ළමයෙක්ම සිහිනයකහරි සුරංගනාවියක් වෙලානම් තියනවා.

ඒ වගේම ජීවිතේ පුරාවටම සුරංගනාවියක් වගේ සුන්දරව ජීවත් වෙන්න හීන මවාගෙන ඒ හීනවලම ජීවත්වෙන අයත් ඉන්නවා.

හැබැයි ඇසූ දුටු බහුතරයක් කථාවල හිටපු කුමරයෝ, එක එක විදිහේ සුන්දර, අති සුන්දර

සුරංගනා ලෝක මවා පෙන්නුවට, ඒ සුරංගනා වියෝ කැන්දන් යන්න, අශ්වයෝ පිටින්  ඇවිත් තිබුනේ නම් නැහැ.

ඒ නිසා ඒ කාලෙ කෙසේ වෙතත්, වර්තමානයේ නම් ගැහැණු ළමයි, එල්සා, සින්ඩරෙල්ලලා, රපන්සල් නෙමෙයි, ඒ කිසිම විදිහේ ලඳ බොළඳ සුකුමාල, ලේසියෙන් අහුවෙන සුරංගනාවියක්‌ නම් විය යුතු නැහැ.

 ගැහැණු විදිහට හෝ ගැහැණු ළමයින්ගේ දෙමව්පියෝ විදිහට අපි අපේ කෙල්ලෝ ඕනවට වඩා බොළඳ කුමාරිකාවෝ කරන්න හිතන්නවත් හොඳ නෑ .

මගේ දියණිය පමණක් නොව හෙට පිබිදෙන්න ඉන්න කිසිම දියණියක් සුරංගනාවියක් වෙන්න හීන දැකිය යුතු නැහැ.කාගෙ  හෝ රැජිනක් වීමට එහා ගිය, ස්වාදීන,නිවහල්, නිදහස්, සිහින ලෝක පසුපස අපේ දූවරු සිය ගමන බුද්ධියෙන් යුතුව ආරම්භ  කල යුතුය.

අතීතයේ රුව ඇති දුවයි කට ඇති පුතයි කිව්වට, අද රුව කෙසේවෙතත් කට නැතුව නම් ගැහැණුන්ට ගෞරවණීය ලෙස සමාජ ගත වීම නම් ලේසි වැඩක් නෙමෙයි.

බස් එකේදී, ඔෆිස් එකේදී, සමාජයේදී,අපිට පය ගහන්න වෙලා තියෙන්නේ අවිහිංසක, සුකුමාල, අති සුන්දර සමාජ වටපිටාවක  නෙමෙයි,

ලොව වැඩිම ස්ත්‍රී දුෂණ සහිත රටක, ලොව වැඩිම කාන්තා හිංසනයයන්ගෙන් ගෘහස්ථ හිංසනයනගෙන් පිරුණු සමාජ වටපිටාවක,කාන්තාවක වීමට නම් රුව ඇතුව හෝ නැතුව උවද “කට “නම් තිබිය යුතුමය.

මොන තරම් උගත් වුවත්,මොන තරම් බුද්ධිමත් වුවත්, මොන තරමේ දාර්ශනික චරිතයක් වුවත්, ප්‍රේමය ඉදිරියේ, ආදරණීය වචන ඉදිරියේ, සුන්දර හීන වැල් ඉදිරියේ,බොහෝවිට කාන්තාවන්ගේ හැඟීම්වල සීමාව බුද්ධියේ සීමාවට වඩා බොහෝ ඉදිරියෙන් ක්‍රියාත්මක වෙනවා.

අනේ මැණික, මගෙ පණ කියපු ගමන් හැඳි වත උනා ජීවිතේ වටිනාකම රුපියල් දාහට දෙදහට තැන් තැන්වල දිය වුන කථා නම් කී දාහක්ද?

එකම වරද දෙතුන් සැරයක් කරලත් මට්ටු නොවී ආයෙත් වරක් ඒකටම රැවටෙන බොහො ගැහැණු නූගත්, සමාජ ආශ්‍රයක් නැති අයම පමණක් නොවේ.

එනිසා, වගේ පවතින සමාජයේ කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්න පුළුවන් විදිහේ දූවරුයි අපට අවශ්‍ය.

ජීවිතේ සෑම අවස්ථාවකම පුර්ණ සත්‍යවාදී වීම,100%  අවංක වීම, අසාමාන්‍ය කැපවීම, ප්‍රේමය අති උත්තරීතර බව දිවි නොතකා රැක ගැනීම ඉතා හොඳ ගුණයන් වූවාට, වර්තමාන සමාජ හැඩටට සමගාමිව බලන විට මේ කරුණු වලට කලින් තවත් බොහෝ කරණු දූවරු න්ගේ මනසේ තැන්පත් කල යුතුව ඇත.

ප්‍රේමය උත්තම ලෙස හිස මුදුනේ තබා ගෙන පුද පුජා කරන සදාතනික ප්‍රේමවන්තයෝ බෙහෙතකටවත් මේ කාලේ නැත ,හිටියත් ඔබට එවැනි අයෙකු හමුවේ දැයි නිශ්චිත කල නොහැක , ඒ නිසා පණ නොතකා පිරිමියෙක් වෙනුවෙන් කැප වීමට ඔබ හදිස්සි විය යුතු නැත. මගදී අතහරින , රිද්දවල සතුටුවෙන ප්‍රේම කතා ඉදිරියේ කඳුළු නොසලා සමුදීමට තරම් ඔබ ශක්තිමත් විය යුතුය.

කිසි දෙයක් ස්ථිර නැති ලෝකේ ස්ථිර ආදරේ හොයා හොයා දඟලනාවට වඩා සතුටෙන් සිටීමට තව ඕනෑ තරම් දේවල් තියන බව ගැහැණු ඔබට ඉගනගන්නට ඇත.

කිසිවෙකුටත් කලින් තමාට ආදරේ කිරීමටත් හදවත අඩුවෙන් පාවිච්චි කරලා බුද්ධිය වැඩිපුර පාවිච්චි කරන්නටත් ඔබ ප්‍රැක්ටිස් කල යුතුය .

princess ලගේ කතාවල් වල වගේ ඇත්ත ජීවිතේ සියල්ල අතට පයට හම්බෙලා ලස්සන ඇඳුම් ආයිත්තම් වලින් සැරසිලා ජීවිතේ පුරාවටම ඉන්න ලැබෙන්නේ නැත , දෙමව්පියන්  ඔබ වෙනුවෙන් යමක් එකතු කරලා දුන්නත් නැතත්,නුඹ වෙනුවෙන් මන්දිර , යාන වාහන නුඹම උපයා ගත යුතුය , දාසියක ලෙස අනුන්ගේ මැදුරක ඔබ ලැගුම් ගත යුතු නැත.

princess ලට වගේ නුඹට හැමදාම හිනාවෙන්නටම නොහැක .සියලු වේදනා  කඳු වල ගුලිකර හැර , පර්වතයක් වගේ වේදනා දරන්නට ඔබ ඉගන ගත යුතුය .

රජ මදුරු වල වගේ කඳුළු පිසීමට පරිවාරයෝ නුඹේ ජීවිතයේ නැත ,ඒ වෙනුවට හිතවත්, අහිතවත්  සියල්ලෝ කටු වලින් අනිමින් මග හරස් කරමින් , බොරු වලවල් කපන පිරිසකට ඔබ මුහුණ දිය යුතුය .ඉතින් නුඹ පුර්ණ සත්‍යවාදී විය යුතුද නැත .තැනේ හැටියට ඇනේ ගැසීමේ කළාව ගැහැණු ඔබ හොඳින්ම ප්‍රගුණ කල යුතුව ඇත .

සුන්දර සිහින ලෝකවල හැම කතාවෙම අවසානේ වගේ ඔබේ කතාව අවසානයේ  Live happily ever after, ලෙස නොවිය හැකිය .

එනිසා ජීවිතය පුරාවට ඔබ සමග කව්රු හිටියත් කවුරු නොසිටියත් ”Everything goes on with you or without you ” ක්‍රමවේදයට හැම ගැහැණු ළමයෙක්ම හුරුවිය යුතුය.

තනිවෙන, විඳවන, දුක්වෙන ගැහැණු ඒ තත්වයට පත් වූ හැටි අසා දුක් වෙනවා වෙනුවට, ඔබ‍ ඒ තත්වයට පත් නොවන්නේ කෙසේද කියා ඉගනගත් දාට, ගැහැණු දුර්වලයි, ගැහැණු බොළඳයි, ගැහැණුන්ගේ නුවණ හැඳි මිටයි කියපු සියල්ලන්ටම කථා කිරීමට අළුත් මාතෘකාවක් සොයා ගන්නට වේවී.

අන්න ඒ දවස හැකි ඉක්මනින් උදා කරලීමට නම්, ගැහැණු අපි සහ අපෙන් පසු පරපුර, තව දුරටත් බොළඳ නොවිය යුතුය,ජීවිතයේ එකම අරමුණ ප්‍රේමය යයි සිතා ප්‍රේමය ඉදිරියේ ජීවිත පරිත්‍යාග කරන්නන් නොවිය යුතුය, යපෙන්නෙක් නොවිය යුතුය, කශේරුකාවක් ඇති, තමා වෙනුවෙන් කවුරු හිටියත් නොහිටියත් තනියම ජීවිත ගමන යා හැකි, වචන ඉදිරියේ නොරැවටෙන, හැඟීම් පසෙකලා බුද්ධිය මෙහෙයවිය හැකි 

“වතුර උතුරන තරමටම හයිය වෙන බිත්තර” වගේ ගැහැණු විය යුතුය.


අනීෂා ජයකොඩි

ජීවන කුසළතා හා පෞරුෂ වර්ධන උපදේශිකා

කළු කුහරයක ප්‍රථම ඡායාරූපය


2019 වර්ෂය තාරකා විද්‍යාවේ අපූරු සන්ධිස්ථානයක් සනිටුහන් කරන වර්ෂයක්. ඒ තමයි, කළු කුහකරයක ප්‍රථම දුරේක්ෂය ඡායාරූප (telescopic photograph) ලබා ගැනීමට හැකි වීම.

ඇත්ත වශයෙන්ම, කළු කුහර ගැන ඕනෑතරම් විස්තර අපි අහල තිබුනත් කිසි දවසක කළු කුහරයක් මොන වගේද කියා අපි හරියටම දැනගෙන සිටියේ නැහැ මොකද කිසි දවසක කළු කුහරයක ස්වභාවය පෙන්නුම් කරන ඡායාරූපයක් ලබාගෙන තිබුනේ නැහැ. මෙහෙම ඡායාරුපයක් නොතිබෙන්න හේතුව බොහොම සරළයි. කළු කුහරයක් කියන්නේ ආලෝකය පවා තමන් තුලට උරාගෙන ආලෝකයටවත් ගැලවී යන්නට ඉඩ නොදෙන වස්තුවක්. අපිට ඕනෙම වස්තුවක් ඡායාරූපගත කරන්න නම් එම වස්තුවේ සිට ආලෝක කදම්බයක් කැමරාව වෙතට එන්න ඕනේ. අපිට කට්ට කළුවර තියන රාත්‍රියක අඳුරේ ඡායාරූප ගත්තට කවුරුවත් පෙන්නේ නැත්තේ එකයි. (දැන් අහන්න එපා night vision කැමරාවලින් ගන්න පුළුවන් නේද කියල. Night vision කැමරාවක් වැඩ කරන්නත් ආලෝකය අවශ්‍යයි. හැබැයි ඒ ආලෝකය අපේ පියවි ඇසට පෙනෙන ආලෝකය නෙමෙයි.)

එතකොට කොහොමද ආලෝකයටවත් ගැලවෙන්නට නොදෙන අති විශාලය ගුරුත්වයක් තියෙන කළු කුහරයක් ඡායාරූපගත කලේ? මෙතැනදී ඇත්තටම කරලා තියෙන්නේ කළු කුහරය ඡායාරූපගත කිරීම නෙමෙයි. කළු කුහරයේ පිටත සීමාව ඡායාරූපගත කිරීම. ඕනම වස්තුවක පිටත සිමාව හඳුනාගත්තා කියන්නේ එම වස්තුවේ හැඩය දැනගත්තා කියන දෙයමනේ. අන්න එහෙමයි කළු කුහරයේ හැඩයත් අපි මේ පින්තුරයෙන් හඳුනාගන්නේ.

කළු කුහරයේ සීමාව හඳුන්වන්නේ event horizon කියල. මේ සිමාව තමයි ආලෝකයට ගැලවී යන්න අවසරය තියෙන අවසාන සිමාව. මෙතනින් එහාට ආලෝකයට වත් ගැලවී යන්න බැහැ, ඒ කියන්නේ, කළු කුහරයේ ආරම්භය. කළු කුහරය ඡායාරූපගත කරපු කැමරා වලට Event Horizon Telescope (EHT)කියල නම තියල තියෙන්නේ මෙන්න මේ event horizon එක ඡායාරූපගත කරපු නිසයි.

මේ ලබා ගත්ත පින්තුරයත් අපි ගන්න පින්තුර වගේ එකවර කැමරාවේ සටහන් වුන පින්තුරයක් නෙමෙයි. පෘථිවියේ ස්ථාන 8 ක සවිකර තිබු EHT දුරේක්ෂ 8 කින් ලබාගත් අති විශාල දත්ත සම්භාරයක් සුපිරි පරිගණක ජාලයක් හරහා ප්‍රතිනිර්මාණය කිරීම මගින් නිර්මාණය කරන ලද ඡායාරූපයක්.


ඔබේ ආරක්ෂාව වෙනුවෙන්


මේ ගෙවීයන කාලය ලෝකයේ බොහෝ රටවල මිනිසුන්ට බොහෝ පීඩාකාරී බව සියලු දෙනා දන්නා කාරනාවක් ,ඒ අතරිනුත් දියුණු වෙමින් පවතින රටක් වගේම අඩු පහසුකම් සහිත රටක් නිසාත් ලංකාවේ ජීවත් වෙන අපිට මේක බොහෝ පීඩනයක් සහිත මෙන්ම තීරණාත්මක කාලයක් .

කෙසේවෙතත් මේ කාලය තම තමන් ඉතාමත් වගකීම් සහගත ලෙස මෙන්ම බුද්ධිමත්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව සහිත කාලයක් ,

තමන් මෙන්ම තම ආදරණීයයන්ගේ ජීවිත ආරක්ෂාව සදහා තම යුතුකම සහ වගකීම ඇත්තේ තමන් සතුව බව ඔබ තේරුම් ගන්නේනම්, ඔබට ස්වයං විනයක් සාදාගතහැකිනම්,තවත් පාර්ෂවයක් අපව නීතිවලින් නතර කර තබනතුරු සිටීමට අවශ්‍ය නැති වනුඇති.

මන්ද ,

දැන් රටතුළ පවතින තත්වය මත ඔබට ඔබේ ආරක්ෂාව ගැන වැඩි වගකීමක් ගැනීමට අවශ්‍යයි.

එලෙසම ඔබට ලැබෙන පළමුඅවස්ථාවේදීම කොවිඩ් මර්ධන එන්නත ළබාගැනීමත් ඉතාමත් වැදගත් , 

එහෙත් එය පමණක් ප්‍රමාණවත් යැයි සිතන්න එපා ,

ඔබ එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්තත් කොවිඩ් රෝගය සෑදෙන්නට හැකියි.

එන්නත් ළබාගත්තත් ශරීරයේ ප්‍රතිශක්තිය නියම ප්‍රමාණයට ගොඩනැගුණු නැති  නිසා හෝ එම ප්‍රතිදේහ ක්‍රියා නොකරන වෙනත් කොවිඩ් ප්‍රභේදයක් ශරීර ගත වීම නිසා ඔබ ආසාධිතයෙක් විය හැකී.

ඔබ කොවිඩ් රෝගය සෑදුණු  අයෙකුට වුවද මේ හේතුව නිසාම නැවත කොවිඩ් ආසාදනය විය හැක.

තමන්ගේ ශරීරයේ අවශ්‍ය පමණ කොවිඩ් ප්‍රතිදේහ තිබෙනවාද කියා මැන බලන රුධිර පරීක්ෂණයක් පුද්ගලික රෝහලක හෝ තෝරාගත් අයට රජයේ රෝහල් වලදිත් සිදුකර ගත හැක.

Covid IgG Antibody test  යනු එම පරීක්ෂණයයි. මෙය ඕනෑම කෙනෙකුට සිදු කර ගත හැක.

කොවිඩ් රෝගය සෑදුනු අය, පූර්ණ එන්නත් කරණයට ලක්වූ අය, පලමු මාත්‍රාව ලබා දෙවෙනි  මාත්‍රාව පමා වූඅය, මෙන්ම තමන් නොදැනීම කොවිඩ් සෑදී සුව වුණාද බලා ගන්නත්  කැමැති ඕනෑම කෙනෙකුට මෙම පරීක්ෂාව සිදුකර ගත හැක.

ඔබට දැනට ඇති විශ්වාස නීයම දෙයනම් එන්නත් ලබාගැනීම වන අතර එයින් ශරීරයේ  ඇතිවන  ප්‍රතිදේහ  නිර්මාණය මගින්  ආරක්ෂාව අතින්  ඔබ බොහෝ සුරක්ෂිතය. 

 තවද , පූර්ණ එන්නත් කරනයට ලක්වූ බහුතරයකට පූර්ණ ආරක්ෂාව ලැබෙන අතර , 

තවත් සුලු පිරිසකට වයස,ඔබට ඇති නිධන්ගත රෝගී ත්ත්වයන්, මත මෙම ප්‍රතිදේහ නිර්මාණය වෙනස්විය හැකියි  මෙන්ම 

විවිධ එන්නත්වල ඵලදායිතාව හා සාර්ථක භාවය වෙනස් වීමද මෙයට යම් ආකාරයක බලපෑමක් ඇත.

සෞඛ්‍ය නීති රීති නිසිලෙස  පිළිනොපැදීමත්  මෙසේ ආසාධිත වීමට ඇති  ප්‍රධානම කාරණයක්  විය හැකිය. එම නිසා කලින් කොවිඩ් සෑදී තිබුනත්, පූර්ණ එන්නත් කරණය ලබා තිබුනත්,  සෞඛ්‍ය  නීති රීති  නිසිලෙස පිළිපැදීම තමන් ආසාධිත නොවී සිටීමට සේම තමන් නිසා තවත් අයෙකු ආසාධිත නොවීමට ඉතාමත් වැදගත් .

එසේ නැතිනම් ඔබට කොරෝනා නව ප්‍රභේදයක් සෑදීමට ඉඩ තිබෙනවා සේම එන්නත් ලබා සිටියත් එන්නත් ලබා නැති අනෙක් අය ඔබ නිසා ආසාධිත විය හැක.

පූර්ණ එන්නත් කරණය ලබා සිටින අයට හෝ කලින් කොවිඩ් සෑදී  නැවත රෝගය සෑදුන අයගේ රෝග තත්වය භයානක වීමත්, අසාධ්‍ය වීමත් අඩුවන අතර දැඩි සත්කාර ඒකක වලට ඇතුලු කිරීමේ අවශ්‍ය තාවයද අඩුබව වෛද්‍යවරුන් පවසයි

එම නිසා එන්නත් කරණයත් සෞඛ්‍ය නීති රීති නිසිලෙස  පිළිපැදීමත්  අපසතු වගකීමක් බව නිතරම මතක තබාගන්න,ඔබට ලැබෙන පලමු අවස්ථාවේදීම කොවිඩ් මර්ධන එනන්ත ලබාගෙන ඔබේ මෙන්ම අන් අයගේත් ජීවිත අවදානමෙන් මිදීම සදහා වගකීමෙන් කටයුතු කරන්න


නිශා

Talents


මගේ නම ධම්මික තරංග ජයවර්ධන

මගේ වයස අවුරුදු 34….මම විවාහකයි .. දරුවන් දෙදෙනකුගේ පියෙක්….මම උසස් පෙල දක්වා අධ්‍යාපනය හැදෑරූ අයෙක්…මගේ පාසල යටගල  මහා විදුහල…උපන් ගම ඇල්පිටිය ඌරගස්මංහන්දිය…

දැනට පදිංචිය කොලඹ කිරුලපන ප්‍රදේශයේ …..විශේෂයෙන්ම කුඩා කල සිට චිත්‍ර ඇදීමේ හැකියාවක් තිබුනත් මා ප්‍රිය කලේ සංගීතයටයි…ඉතින් මම ඩ්‍රම්ස් වාදනයට ප්‍රිය කල  නිසා පාසල් අවදියේදීම සංගීත කන්ඩායම් වලට සම්බන්ධ වී ඩ්‍රම්ස් වාදනයෙන් උපරිම දක්ශතා දැක්වූවා….කාලයත් සමග සංගීත ක්ෂේත්‍රයේ ඉදිරියට යාමේ හීනය  බොද වී ගියේ යම් ආර්ථික අපහසුතා ඇතිවීම නිසා….කාලයත් සමග මා හට පැන්සල් සිතුවම් පිලිබදව උනන්දුවක් ඇතිවීම නිසා ටිකෙන් ටික මා සිතුවම් කලාවට යොමු වුනා….

ලංකාවේ දක්ශ සිත්තරුන්ගෙන් උපදෙස් ලබා ගැනීම තුලින් තවත් හැකියාව වර්ධනය කර ගන්නට හැකි වුනා….බොහෝ විට නිර්මාන සදහා ඉවසීම අත්‍යවශ්‍ය කරුනක් බව කාලයත් සමග මට වැටහුනා….මම විවේක වෙලාවේදී නිරතුරුවම සිතුවම් කරනයේ යෙදුනා….මා කැමති ජනප්‍රිය කලාකරුවනගේ සිතුවම් මා නිර්මානය කලා…(විශේෂයෙන් චාමර වීරසිංහ ,ජය ශ්‍රී )   ….ඉදිරියටත් මගේ තවත් නිර්මාන බිහිවේවි…තවමත් මා කලාව පිලිබදව ඉගෙන ගනිමින් සිටින අයෙක්….මට වඩා විශිෂ්ට දක්ශයින් ලංකාවෙ ඉන්නවා…

ඕනෑම කෙනෙකුට උනන්දුව කැපවීම තිබේනම් ගමනක් යන්න පුළුවන් ……සමහර නිර්මාන කරද්දී ඒවා අසාර්ථක වෙන අවස්තා මට ගොඩක් තිබුනා…කෙනෙක්ගේ සිතුවමක් ඇදල දීල ඒ කෙනාගෙ මූනට හිනාවක් දෙන්න පුළුවන් වීම තරම් සතුටක් මට තවත් නෑ..සිතුවම් සදහා මම graphite සහ charcoal යන පැන්සල් වර්ග දෙකම භාවිතා කරනවා….ඉදිරියේදී පාට පැන්සල් සිතුවම් කරනයටත් ,,acrilyic ආශ්‍රිත නිර්මානකරනයට යොමු වීමටත් බලාපොරොත්තු වෙනවා…විශේෂයෙන්ම “”අපි “”සගරාවට මා ස්තූතිවන්ත වෙනවා මා පිලිබදව සටහන් කිරීම සම්බන්ධයෙන් …

තෙරුවන් සරනයි …

විදේශීය කෑම රසගන්වන ලංකාවේ අපේ සූපවේදියා

MANOJ FERNANDO


මනෝජ් ප්රනාන්දු කියන්නේ ඹයාගේම වචනයෙන් කිව්වොත්

හොඳ මනුස්සයෙක් කියලා තමයි හැමෝම කියන්නේ. මම ගැන මගේ වචනයෙන් කිව්වොත් ලේසියෙන් ගේමක් අතඅරින්නෙ නැහැ, හොඳට මහන්සිවෙලා වැඩ කරන්න පුළුවන් චරිතයක් දැනට මගේ වයස අවුරුදු 53 වෙනවා. අවුරුදු තිහක chef කෙනෙක් එක්ක වුණත් හරි හරියට තරගෙට කෑම උයන්නත් පුළුවන්.වැඩ කරන තැන්වල හැමෝම මගෙන් අහන දෙයක් තමයි ඔයාට මහන්සි නැද්ද, එපා වෙන්නෙ නැද්ද කියලා තරමක් මහන්සිය තමයි. මම මහන්සි කිව්වොත් මගෙත් එක්ක වැඩ කරන එයාලත් වැටෙනවා. ඒක නිසා මගේ මහන්සිය මම ගාව හංගගෙන එයාලගේ මොරාල් එක වට්ටන්නෙ නැතුව බිඳෙන්නේ නැතුව වල කටයුතු කරගෙන යනවා.

පව්ලේ විස්තර ටිකක් කිව්වොත්

අපේ පවුලේ හතර දෙනයි අම්මයි තාත්තයි මායි අක්කයි. 2015 දි මගේ අම්මා නැති වුනා. එතකොට මම හිටියේ එංගලන්තේ. මෙහෙ ඉඳලා තමයි ඒ වැඩකටයුතු වලට ලංකාවට ගියේ. අපේ තාත්තා තාම ඉන්නවා ලංකාවේ. අක්කයි මායි එකතු වෙලා  තාත්තාව හොඳින් බලාගන්නවා. පස්සේ 1994 අවුරුද්දේ ද දී මම විවාහ වෙනවා. එයාගේ නම ශ්‍යාමා dias එක ආදර සම්බන්ධතාවයක් උඩ තමයි සිද්ධවෙන්නේ. 1995 දි අපිට තව කෙනෙක් එක්කහු වෙනවා අපේ පවුලට. ඒ මගේ පුතා එයාගේ නම රශ්මික දැනට එංගලන්තයේ ඉගෙන ගන්නවා.architecture මාස්ටර් අන්තිම අවුරුද්දේ දැන් ඉන්නේ. එයා ටිකක් ප්‍රසිද්ධයි එංගලන්තයේ. මොකද හොඳ ආර්ටිස්. ඒ වගේම පත්තර වල ෆැෂන් ෂෝ වලට පොඩි කටවුට් දානවා. යාළුවන් අතර හොඳ හිත දිනාගෙන ඉන්න කෙනෙක්. ටිකක් මම වගේ තමයි. යාලුවන්ට charity වැඩවලට හරියට උදව්  කරනවා.  දැනට අපි තුන්දෙනාම එංගලන්තේ පුරවැසිභාවය අරගෙන  මෙහෙ ජීවත් වෙනවා.

රැකියාව ගැන පොඩ්ඩක් කතා කළොත්

1989 ඉඳන් අද වනතුරු අවුරුදු තිස් දෙකක් මේ ක්ෂේත්‍රයේ නියැලෙනවා. මුලින්ම වැඩකලේ hotel galaxy කියලා 4* හෝටලයක් ලංකාවේ. සහයක චෙෆ් කෙනෙක් හැටියට. ඊට පස්සේ 1994 දී කොළඹ හිල්ටන් හොටෙල් එකට එකතු වෙනවා japaness restaurant එකට. 1997 දී ඩුබායිවලට යන්න චාන්ස් එකක් හම්බවුනා. metropolitan palace hotel   එකේ ඕපන් ස්ටාෆ් එක හැටියට  වැඩ කරන්න වාසනා ලැබුණු.2004 දී එංගලන්තයට sous chef කෙනෙක් හැටියට.grange hotels කියලා company එකක්.  ඊට පස්සේ 2015 care home දෙකක chef manager හැටියට job එක් කරන්න හම්බවෙනවා .එදා ඉඳන් අද එන්න තුරු  head chef කෙනෙක් හැටියට වැඩ කරනවා. එකේ වයසක අය තමයි ඉන්නේ. වයසක අයට උදව් කරගෙන ඒ අය ආස කෑම හදලා සන්තෝසෙන් තියන්ඩ තමයි මගේ බලාපොරොත්තුව. වැඩිහිටි අයත් එක්ක ලේසි නෑ . චූටි පොඩි වැරැද්දෙන්  අසනීප වෙනවා. හරි ප්‍රවේශමෙන් කෑම cook කරන්න ඕනේ. මං එක ආසාවෙන් කරගෙන යනවා.

මොන වගේ කෑම ජාතිද දැනගන්න පුළුවන්

ඕනම කෑම ජාතියක් හදන්න පුළුවන්. මුලින්ම galaxy hotel එකේ ඉන්න කාලේ ලංකාවයි කෑම ජාති සහ සමහර යුරෝපීය ඇමෙරිකන් කෑම ජාති ගැන විතරයි දන්නේ.ඊට පස්සේ colombo Hilton එකට එකතු උනාට පස්සෙ ජැපනීස් කෑම ගැන දන්නවා . ඩුබායි ගියාට පස්සේ ලෝකේ තියෙන හැම කෑමක් ම ඉගෙන ගන්න පුළුවන් වුණා ඒක තමයි මගේ ජීවිතේ හෝටල්  ක්ෂේත්රය හොඳම අඩිතාලම් වැටුන තැන.  polynesian, african, South American, american, european, far eastern central Asia  වගේ තැන්වල කෑම හදන්න ඉගෙන ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ එංගලන්තයට එනවා අර තිබුනොත් දක්ෂතාව ඔක්කොම ඔපමට්ටම් කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතා කෙටි කලක් තුළ මාව head chef හැටියට පත්වීම ලැබෙනවා. ඒ වගේම මට ටිකක් vegetable carving,fruit carving,ice carving වගේ දේවලුත් කරන්න පුළුවන්.  ඒක හින්දා මට ඉස්සර ඉඳලම හැම තැනකම හොඳ ඉල්ලුමක් තිබ්බා.

ලංකාවෙන් එංගලන්තයට ආව එක ගැන මොකක්ද දැනෙන්නේ.

හොඳයි දුකයි දෙකම තියනවා. මුලින්ම හොඳ කියන්නංකො. පුතා එංගලන්ත ඉගෙන ගෙන හොඳ තැනක ඉන්නවා. ඒ වගේම මට අවස්ථාව ලැබුණා මම දන්න දේ අනිත් අයටත්, ලෝකෙට කියලා දෙන්න. දුක තමයි ලංකාවේ මිනිස්සු,නෑදෑයො දෙමාපියෝ දාලා ටිකක් දුර එන්න වුන එක ගැන. කොරොන හින්දා ටික කාලෙකින් ලංකාවට යන්න බැරි වුණා. නැත්තම් මම හැම අවුරුද්දෙම වගේ ලංකාවට ගිහිල්ලා නෑදෑ යාලුවෝ එක්ක ටිකක් ඉඳලා සෙට් වෙලා තමයි එන්නේ.

චෙෆ් කෙනෙක් උනේ කොහොමද

මේක ටිකක් අපූරු සිදුවීමක්. 1989 galaxy hotel   එකේ වැඩ කරාට පස්සේ 1990 දී මම ඉතාලියට යනවා. ඒ යන්නේ මගේ අද  වයිෆ් එකේ ඒ කාලේ girlfrien හින්දා  එහේ අවුරුදු තුනක් විතර වැඩ කරාට පස්සේ මට වීස් එකක් හම්බ වෙනවා  ඉතාලි ඉන්න. ඒක ගන්න නං ලංකාවට ගිහින් ලංකාවෙන් ඇප්ලයි කරන්න ඕනේ. ඉතිං ලංකාවට එනවා මොකක් හෝ හේතුවක් නිසා මට ඒක ගන්ඩ බැරි වෙනවා. ඊට පස්සේ දවස් කිහිපයකට පස්සේ වයිෆ් ඉතාලි අතහැරදාලා ලංකාවට එනවා. ඒකාලෙ අපිට ලංකාවේ පොඩි ග්‍රොසරි එකක් තිබ්බා. අම්මයි තාත්තයි තමයි කළේ සමහර වෙලාවට මමත් ඕකෙ ඉන්නවා. ඒත් මම වැඩිපුර ඉන්නේ වයිෆ් ලගේ ගෙදර. ඉතින් ඒකට අපේ ගෙදර ප්‍රශ්න එහෙම තිබ්බා. මේක කරන්න බැහැ  දැන් බඳින්න ඕන කියලා. ඉතින් බඳින්නත් රස්සාවක් තියෙන්ඩ ඕන නේ. පස්සේ මම පත්තරය ජොබ් එකක් හොයන ගමන් මම දැක්කා දාලා තියෙනවා හිල්ටන් හොටෙල් එකට kitchen ස්ටාෆ් එක ඕනේ කියලා. ඉතින් මම ඇප්ලයි කළා. apply call කර මුල්ම ජොබ් එකත් ඒකයි එතනදි මට රස්සාව ලැබෙනවා kitchen assistan විදිහට. අර මම මුලින් කිව්වේ මම ලේසියෙන් ගේමක් අතාරින්නෑ කියලා,ඊට පස්සේ kitchen එකේ වැඩ කරගෙන ඉන්න අතරෙදි ,teppan yaki චෙෆ් කෙනෙක් අස්වෙනවා. ඒ වෙලාවේදී management එක තීරණය කරනවා මට  position එක දෙන්න. එතන ටිකක් කල් වැඩ කරන්න යනකොට මට හම්බ වෙනවා ලංකා වෙන්න ප්‍රසිද්ධ ව්‍යාපාරිකය අය sports කරන ,ිටරට ප්‍රසිද්ධ අය නළු නිළියෝ එතනදි අඳුනගන්න ලැබෙනවා සමහර වෙලාවට ඒ අය dinner වලට ආවහම මාවම ඉල්ලන තත්ත්වයට පත්වුණා. අන්තිමට එතනට මාව නැති කෙනෙක් බවට පත්වුණා.

ලංකාවේ කෑම වලට මොන වගේ තැනක්ද එංගලන්තයේ තියෙන්නෙ

හොඳ තැනක් තියෙනවා. ලංකාවේ resturent ගොඩක් තියෙනවා. මොකද අපේ කෑම වල හොඳට ලුණු ඇඹුල් දැවිල්ල තියෙන නිසා පිටරට අය හරි කැමතියි. මොකද English food වල ගොඩක් වෙලාවට තියෙන්නේ ක්‍රීම් gravy  fat වලින් තමයි ගොඩක් පිරිල තියෙන්නෙ. කිව්වට විශ්වාස කරයිද දන්නෙ නෑ මම වැඩ කරන care හෝම් එකේ  rice and curry හැදුවා එක දවසක් ලන්ච් වලට. මාසෙකට එක දවසයි දුන්නේ.දැන් සතියට දවස් දෙකක් දෙන්න තීරණය කරා management එක මොකද ඒ අය හරි කැමති නිසා. ඉතින් තේරෙනවනෙ අපේ කෑම වල අගය

සූපවේදියකු ලෙස යා ලබපු අත්දැකීම් සහ අලුතෙන් මේ ක්ෂේත්රයට එන අයට මොනවද දෙන උපදෙස්

කරන වැඩේ හරියට කරන්න ඕනේ.ආවට ගියාට කරන්න එපා. රස්සාවට මුලින්ම ආසාවක් සහ ආදරයක් ඇති කරගන්න. කාවවත් අනුකරණය කරන්න එපා. තමන්ගේ ස්ටයිල් එක තමන් හදාගන්න. දන්නෙ නැත්තං අහල දැනගන්න. නැත්නම් අන්තර්ජාලය ඔස්සේ ගූගල් කරලා දැනගන්න. ඉස්සර වගේ නෙමෙයි දැන් හොඳට අවස්ථාව තියෙනවා ඉගෙන ගන්න.

හොටෙල් එකේ දී restaurant එකේදි cook කරනකොට එතන තියෙන්නේ ටීම් වර්ක් එකක්. ටීම් වර්ක් එක නැත්තං හරි අමාරුයි මේක කරගෙන යන්න. උයන පිහන තනි තරගයකදී  තමයි තියෙන්නේ හංගලා තමන් විතරක් හිතලා වැඩ කරන්න ඕනේ තත්වයක්. ඒ නිසා සුළු වැරැද්දකින් ගොඩක් පසුබට, දුක් වෙන්න  ඉඩ තියෙනවා . ඒකට හොඳ උදාහරණයක් තමයි මම වැඩ කරන තැන වයසක අය ඉන්නේ පොඩි දෙයකින් ජීවිතයෙන් පවා වන්දි ගෙවන්න අවස්ථාව තියෙනවා. මොකද මේ අපි උයන කෑම කෙලින්ම ශරීරය තුළට යන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් සෂිමි japanese අමු මාළු . උයන්නේ නෑ කෙලින්ම ආහාරයට ගන්නේ.ඒක නිසා hygin තත්ත්වය  උපරිමයෙන්ම හොඳට තියාගෙන කරන්න බලන්න. ්සර නං එච්චර මේ රස්සාව ගණන් ගත්තෙ නෑ දැන් නං හොඳ ප්‍රතිචාර තියෙනවා. එංගලන්තය chef ට සලකන්නට දෙවිවරු වගේ. ඒක නිසා මේ ක්ෂේත්‍රය හොඳ ආර්ථිකය අතින් අවස්ථාව තියෙනවා හොඳින් වැඩ කළොත්.

ජීවිතයේ ලස්සනම දවස ගැන පොඩ්ඩක් මතක් කලොත් සහ Manoj  ගෙන් අපේ අයට මොන වගේ සහයෝගයක්ද ලබාගන්න පුළුවන් Contact කරන්න පහසුම විදිය

දවස් නං ගොඩක් තියෙනවා.එකක් කිව්වොත් මට මගේ වයිෆ් මුලින් හමු උන දවස.අනිත් එක 1995 මගේ පුතා උපන් දවස. ඕන වෙලාවක මම උදව් කරන්න ලෑස්ති. මම තරමක් අවිවේකී පුද්ගලයෙක්.උදේ හයට නැගිට්ටාම ජොබ් වලට ගිහිල්ලා ගෙදර එනකොට ටිකක් රෑ වෙනවා.සමහර වෙලාවට වයිෆ් නිදි යන්නේ නෑ මම එනතුරු. මම

ගොඩක් අයට උදවු කරල තියෙනවා. මේ රක්ෂාවේ kitchen පෝර්ට ලා cooks ලා කරලා තියෙනවා cook ලා chef කරලා තියෙනවා. ලංකාවෙන් පිටරටවලට යන්න උදවු කරල තියෙනවා. තාමත් ඒ ගොල්ලන්  මතක් කරනවා, කතා කරනව, සමහර වෙලාවට තෑගි එවනවා. සමහර වෙලාවට  holiday ගියාම පිටරටවල නවතින තැන්වල  මගෙත් එක්ක හිටපු අය ඉන්නවා මම පුහුණු කළ  අය ඉන්නව ඉතින් මට හරි සන්තෝසයි. හොඳම විදිය තමයි මාව contact කරන්න තියෙන email එකක් දාන එක. මොකද මොබයිල් එකට කතා කලාම මට සමහරක් වෙලාවට ෆෝන් එක ගන්න බැරි වෙයි.  එංගලන්තයයි ලංකාවේ අතර පැය හතරක පහක වෙනසක් තියෙනවා. ඉතින් මේ හේතුන් උඩ හොඳම දේ තමයි ඊමේල් එකක් දාන එක. මගේ ඊ මේල් එඩ්‍රස් එක , stillmanoj@hotmail.co.uk

අපි magazine එකට ලියන්න ලැබීම සහ ඒක ගැන මොනවද හිතෙන්නේ

අපි magazine එකට ලියන්න ලැබීම ඇත්තටම සන්තෝෂයක්. මීට අවුරුදු හමාරට විතර කලින් ගයාන් කරුණාරත්න මගෙන් ඇහුවා මෙහෙම දෙයක් කරනවා පොඩි support එකක් හෝ සහභාගිත්වයක් කරන්න පුළුවන්ද කියලා. මම ඒක භාරගතා. ඇත්තටම එක චැලෙන්ජ් එකක් මොකද මගේ වඩාත් එක්ක කාර්යබහුලත්වයත් එක්ක ඒත් වැඩේ සාර්තකයි. අපි හැම මාසෙකම අද වෙනතුරු කරගෙන යනවා.  මම තමයි food column එක කවර් කළේ.තාමත් ලියනවා අනාගතයටත් එහෙමයි. ම දන්න දේ මොනාහරි කියලා දුන්න තමයි උත්සාහ කළේ. මම දන්නෑ ඒක කොතරම් දුරට සාර්ථකද කියලා. මම උත්සාහයක් ගත්තා දන්න දේ ලෝකයට කියලා දෙන්න. මේ magazine එක දිනෙන් දින  වැඩි වෙනවා ප්‍රසිද්ධ වෙනවා ඉස්සර හිටිය ප්‍රමාණය නෙමෙයි දැන් ඉන්නේ. නව මුහුණුවරකින් දිනෙන් දින නිර්මාණය වෙනවා. ඉතින් ඇත්තටම  සන්තෝසයි අපි magazine එකත් එක්ක වැඩ කරන්න ලැබීම ගැන. මම ප්‍රාර්ථනා කරනවා දිනෙන් දිනම දියුණු වෙලා මුළු ලෝකයක් අතරම ජනප්‍රිය වෙන්න කියලා.

 බොහොම ස්තූතියි