වික්‍රමසිංහලාගේ හාල්දණ්ඩා

Wickramasinghe’s Bronzeback

වික්‍රමසිංහලාගේ හාල්දණ්ඩා

Dendrelaphis wickrorum (Danushka et al., 2020)

ශ්‍රී ලංකාවේ හමුවන හාල්දන්ඩන් විශේෂ අතුරින් Dendrelaphis ගණයට ලංකාවෙන් එක්වූ නව සාමාජිකයා Dendrelaphis wickrorum! 2020 මැයි මස අග කාර්තුවේදී විදුලොවට හඳුන්වා දුන් මෙම විශේෂය ශ්‍රී ලංකාවට ආවේණික සර්ප විශේෂයක් වන අතර මෙම සත්ව විශේෂය නාමකරණය ලංකාවේ කීර්තිමත් උරහ සහ උභයජීවී පර්‍යේෂකයෙක් වන මෙන්ඩිස් වික්‍රමසිංහ මහත්මාට සහ නෙතූ වික්‍රමසිංහ මහත්මියට ගෞරවයක් වශයෙන් නාමකරණය සිදු කරන ලදී.

පඳුරු හාල්දණ්ඩාට බොහෝ සෙයින් රූපවිද්‍යාත්මකව සමාන වූවත් මෙම විශේෂයේ යම් යම් රූප විද්‍යාත්මක විෂමතා මඟින් Dendrelaphis wickrorum විශේෂය Dendrelaphis bifrenalis විශේෂයෙන් වෙන් කොට හඳුනාගැනීමට හැකියාව පවතී. විශේෂයෙන්ම ඇස් වල විශාලත්වය , ඇස හරහා දිවෙන කළු පැහැති පටිය ගෙල කොටසින් ක්ෂීණ වී යාම වැනි ලක්ෂණ ඒ අතරින් ප්‍රමුඛ වේ.

සියළුම හාල්දණ්ඩන් විශේෂ රුක්වාසී සර්ප විශේෂ වන අතර මොවුන්ගේ උදරීය කොරළ වල ඇති විශේෂ පිහිටීම උපකාරී කරගනිමින් ගස් මත ස්ථාවරව සිටීමට සහ සංචරණය කිරීමට බෙහෙවින්ම උපකාරී වීම දැකිය හැකි විශේෂ ලක්ෂණයකි. නිර්විෂ සර්ප විශේෂයක් වන මොවුන් ගොදුරු වශයෙන් ගෙම්බන්, හූනන් සහ කටුස්සන් විශේෂ ගනු ලබයි.

කලබල වූ සහ අනතුරක් දැනුණු අවස්ථාවන්හිදී ශරීරය පුම්බාගනිමින් කොරපොතු අතර ඇති නිල් පැහැති සම විදහා දක්වන අතර තියුණු දත් සහිත වීම නිසාවෙන් තුවාල වන සේ සපාකෑමට හැකියාව පවතී.

මොවුන්ගේ බිත්තර දිගැටි හැඩයක් ගන්නා අතර ගස් බෙන තුල බිත්තර දැමීම සිදු කරනු ලබයි.

සටහන සහ ඡායාරූප – චමල් ලක්ෂාන් ජයවීර

පහතරට මූකලන් තෙලිස්සා

Lowland hump nosed pit viper 

Hypnale zara (Gray,1849)

උග්‍ර විෂ සහිත

ශ්‍රී ලංකාවේ හමුවන තෙලිස්සන් / කුණකටුවන්  විශේෂ තුන අතුරින් වැසි වනාන්තර ප්‍රදේශ තුල සුලබව හමුවන ලංකාවට ආවේණි තෙලිස්සන් විශේෂයක් ලෙස මොවුන් හැඳින්විය හැකි වේ. තෙලිස්සන් විශේෂ අනෙක් සර්පයන්ගෙන් වෙන් කොට හඳුනාගැනීමට හැකි ප්‍රධානතම ලක්ෂණ වශයෙන් හොඳින් ගෙලින් වෙන් වූ ත්‍රිකෝණාකාර හිසක් දැරීම සහ පාර්ශ්විකව බැලූ විට හොම්බ අගින් ඉහලට එසවී තිබීම ( තොල ඉහලට එසවුණු යන අරුත ලැබෙන පරිදි තෙලිස්සා යනුවෙන් මොවුන් පොදුවේ හැදින්වීමට හේතුව මෙයයි) සහ මොවුන් බොහෝවිට පොළවට අංශක 45 ක කෝණයකින් හිස ආනතව තබාගෙන සිටීම සහ ශ්‍රී ලංකාව තුල හමුවන වල පොළොඟුන් / pit vipers  සතු විශේෂ ලක්ෂණයක් වන තාප සංවේදී ලෝරියල් ජිද්‍ර / Loreal pits දැරීම ( මෙම ලෝරියල් ජිද්‍රය ඇස සහ නාස් කුහරය අතරමැදි කලාපයේ දක්නට ලැබේ) දැක්විය හැකි වේ.

කඳුකර මූකලන් තෙලිස්සා / Hypnale nepa සහ පොළොන් තෙලිස්සා / Hypnale hypnale දෙදෙනාගෙන් පහතරට මූකලන් තෙලිස්සා / H. zara වෙන් කොට හඳුනාගැනීමට හැකි ප්‍රධාන ලක්ෂණ වශයෙන් අනෙක් තෙලිස්සන් විශේෂ දෙකට සාපේක්ෂව ඉහලට එසවුණු හොම්බක් සහිත වීම සහ ලෝරියල් කොරල වලට ඉදිරියෙන් අනෙක් තෙලිස්සන් විශේෂ දෙකේ දක්නට ලැබෙන විශේෂිත කොරළ සැකැස්ම දක්නට නොලැබීම ප්‍රධානම ලක්ෂණ දෙක වශයෙන් දැක්විය හැකි වේ. මීට අමතරව බොහෝ අවස්ථා වලදී මොවුන්ගේ ගෙල දෙපස අඳුරු පැහැති විචිත්‍රවත් වයිරම් රටාවක් සහිත වීමද විශේෂ ලක්ෂණයකි. මෙම ලක්ෂණය සහිත වීම නිසාවෙන් පහතරට මූකලන් තෙලිස්සාට වයිරම් ගෙලැති කුණකටුවා යන නාමයද භාවිතා වේ.වැඩුණු සතෙකුගේ දේහ ප්‍රමාණය ආසන්නව සෙන්ටිමීටර 30ක් පමණ වේ. 

මොවුන්ගේ පෘෂ්ඨීය  වර්ණය කහ දුඹුරු කළු සහ රතු පැහැය දක්වා පුළුල් වර්ණ පරාසයකින් දැකගත හැකි අතර උදරීය වර්ණය කහ මිශ්‍ර සුදු පැහැයක් සහ කළු පැහැති තිත් සළකුණු සහිතව දක්නට ලැබේ.වල්ගයේ පැහැය බොහෝවිට කළු පැහැති හෝ කහ පැහැයෙන් යුක්ත වේ.

මොවුන් බොහෝවිට වැසි වනාන්තර ආශ්‍රිතව දිරාගිය කොළරොඩු සහ කොටන් අතර දිවි ගෙවන සර්ප විශේෂයක් වන අතර අනෙක් තෙලිස්සන් විශේෂ දෙකට සාපේක්ෂව ආවේගශීලී හැසිරීම් රටා දක්වනු ලබයි. නමුත් ඇතැම් අවස්ථා වලදී 60cm පමණ උස් වූ ශාක පඳුරු මත මොවුන් හමුවී ඇති බව දක්වා තිබේ (Maduwage et al. 2009)

දැනට වසර කිහිපයකට පෙරදී Hypnale zara විශේෂය මධ්‍යස්ථ විෂ සහිත සර්ප විශේෂයක් ලෙස වර්ගීකරණය කලද මෑතකදී හඳුන්වා

දුන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ වෛද්‍ය විද්‍යාත්මක වර්ගීකරණය යටතේ ලංකාවේ හමුවන තෙලිස්සන් විශේෂ තුනෙන් H. zara විශේෂය සහ H. hypnale විශේෂය සිදුවන මිනිස් මරණ සහ ඇතිවන සංකූලතා තත්ව සළකා බලා උග්‍ර විෂ සහිත සර්පයන් ලෙස නම් කරන ලදී.

සටහන සහ ඡායාරූප – චමල් ලක්ෂාන් ජයවීර

සමනලුන් ගේ වතගොත

ඔන්න මේ කලාපෙදිත් ශ්‍රී ලංකාවේ හමුවෙන තවත් එක සමනල් කුලයක් ගැන විස්තර අරගෙන ආවා. මේ සැරේ වැස්තර කියන්න හිතාගෙන ආවේ Hesperiidae කුලය ගැනයි. මේ කුලයේ ඉන්න සමනල්ලුක්ට ත් අනිත් අය වගේ ම විශේෂ වුන ලක්ෂණ ගොඩක් දැක බලා ගන්න පුලුවන්. ඒ වගේ මේගොල්ලොන්ගේ සමහරක් විශේෂ අපිට ලේසියෙන් ම ගෙවත්තෙ දි උනත් බලා ගන්න පුලුවන්.‍

මෙම කුලයේ සමනලුන් විශේෂ 4000 ක් ද ඉක්මවා ලෝකය පුරාම ව්යා ප්ත ව සිටි. කුඩා ප්‍රමානයේ ශරීර දරණ මොවුන් කළු, දුඹුරු, තැඹිලි යන වර්නයන් හි ප්‍රභේද මත සුදු හෝ තැඹිලි පැහැයෙන් සලකුණු පිහිටි පියාපත් දරයි. තවද මෙම කුලයේ සමනලුන් වේගවත් පියාසැරීයක් හිමි පිරිසක් ද වේ. Hesperiidae කුලයේ හේවත් Hesperiids සගයින් හදුනා ගැනීමට පහත සඳහන් වී ඇති කරුණු පාදක කර ගනිමින් සිදු කළ හැක. වැඩිහිටි සමනලුන් ගේ හිස පළල්, උරස විශාල වන අතර ශරීරය සාපේක්ෂව කෙටි පියාපත් සහිත ස්ථුල වේ. තව ද විශේෂයෙන් අනෙකුත් සමනලුන් මෙන් නොව මොවුන්ගේ ශරීරයට සාපේක්ෂව ශුන්ඩාව ඉතාමත් දිගට පිහිටයි. මොවුන් ගේ හැසිරීම් රටා පිළිබඳ කතා කිරීමේදී කලින් සඳහන් කළ ලෙසටම ශක්තිමත් හා වේගවත් පියාසැරීයක් හිමිපිරිසක් වේ. සමහරක් Hesperiidae වර්ග තම තටු හකුල ගනිමින් පෘශ්ඨයක් මත වසා සිටින අතර තව සමහරක් විශේෂ පිටුපස තටු විවෘතව ද ඉදිරිපස තටු හකුල ගනිමින් ද වසා සිටිය ඒමෙන්ම තවත් සමහර විශේෂ තටු තිරස් අතට විහිදවමින් ද  පෘශ්ඨයක් මත වසා සිටියි.Hesperiidae කුලයේ සමහරක් මල් පැණි මගින් පෝෂණය වන අතර සමහරක් ශාක වල යුශ මගින් ද සත්ව මළ පහා මගින් හා නරක් වුනු පළතුරු මගින් ද පෝෂණය වේ. මොවුන් ‌ෙග්න් බොහොමයක් පිරිමි විශේෂ ලවන උරා බිමෙදි නිතරම වගේ වියලි පොලවෙ සහා වියලි පාෂාණ කොටස් මත වසයි. ලංකාවෙ සෑම පරිසර පද්ධතියකින්ම හමු වේ. මෙම කුලයේ සමනලුන් ගේ බිත්තර විවිධ ප්‍රමාණයන් අතර දැක ගත හැකි වන ඒවා බුබ්බුලාකාර හැඩයක් ගනි. මේවා පැහැයෙන් සුදු, කහ, දුඹුරු හෝ කොළ පැහැයක් ගනි. මොවුන් ගේ දැළඹු අවදිය ගත් විට බොහෝමයක් විශේෂ වල දැළඹුවන් ගේ හිසේ සිට පාදාන්තය දක්වා රෝම ආවරනයක් දැක ගත හැකි වන අතර හිස ශරීරයට වඩා විශාල වේ. Hesperiidae කුලයේ සමහරක් විශේෂ වල දැළඹුවන් පැහැයෙන් දීප්තිමත් වර්ණ ගැන්ව ඇති අතර සමහරක් විශේෂ කොළ හෝ දුඹුරු පැහැයක් ගනි. මොවුන් ගේ දැක ගත හැකි විශේෂ ලක්ෂණයක් වන්නේ දැළඹු අවදියේ දි තම පෝෂණ ශාකයේ පත්‍ර භාවිතා කරමින් සාදාගන්නා ආරක්ෂිත ආවරනයයි. සමනලයෙකු වීමට ලංව ඇති අවසාන පියවර වශයෙන් තිබෙන කෝෂය හැඩයෙන් ‌දිගැටි වන අතර හිස පෙදෙසෙන් කෝණානාර හැඩයක් ගනි. මේ වන විට ශ්‍රී ලංකාවේ . Hesperiidae කුලයට අයත් වන සමනල් විශේෂ 50 ක් සිටිව අකර එයින් වාශේෂ 8 ක් මෙම දිවයින ට ආවේනික වේ.

Green vine snake ඇහැටුල්ලා  Ahaetulla nasuta (Lacépède1789)

ලෝකයේ දැනට Ahetulla ගණයට අයත් සර්ප විශේෂ 10 අතුරින් ශ්‍රී ලංකාවේ හමුවන Ahetulla විශේෂ දෙකෙන් එකක් ලෙස ඇහැටුල්ලා හැඳින්විය හැකි අතර 2020 වසරේ අග කාර්තුවේදී Ashok kumar mallik ඇතුළු පර්‍යේශණ කණ්ඩායම විසින් එවකට සිටි Ahetulla විශේෂ වල පරිණාමික බන්ධුතාවන් සහ අණුක ජීව විද්‍යාත්මක කරුණු පදනම් කොටගෙන සිදු කෙරුණු විශාල පර්‍යේශණ පත්‍රිකාවකින් එවකට ලෝකයේ සිටි ඇහැටුල්ලන් විශේෂ සංඛ්‍යාව 10ක් දක්වා වැඩි වූ අතරම ශ්‍රී ලංකාවේ හමුවන Ahetulla nasuta විශේෂය සහ Ahetulla pulverulenta විශේෂය ලංකාවට ආවේණික සර්ප විශේෂ ලෙස නම් කරන ලද අතර ඉන්දියාවේ දකුණු සහ අග්නිදිග ප්‍රදේශයන්හි හමුවන Ahetulla විශේෂ අණුක ජීව විද්‍යාත්මකව සහ දන්ත වින්‍යාසය වැනි ඇතැම් ලක්ෂණ මඟින් වෙනත් විශේෂ ලෙස නම් කරන ලදී. ඇහැටුල්ලා යනු රුක්වාසී සර්ප විශේෂයක් වන අතර බොහෝවිට ඇස් මට්ටමේ කුඩා ගස් මත දහවල් කාලයේ අව් රශ්මිය පතිත වන ස්ථාන වල බොහෝවිට දැක ගැනීමට හැකියාව පවතී. විශාල පරාසයක විහිදී යන උදරීය වර්ණ ප්‍රභේධනයක් දැකගත හැකි විශේෂයක් වන අතර කලාතුරකින් දුඹුරු පැහැයට හුරු වර්ණ ගන්නා වර්ණ ප්‍රභේධක්ද දැකගත හැකි වේ.

සුළු විෂ සහිත සර්ප විශේෂයක් වන මොවුන් දිවයින පුරා පුළුල් ව්‍යාප්තියක් සහිත සර්ප විශේෂකි.ශ්‍රී ලංකාවේ හමුවන විවිධ සර්ප විශේෂයන් පිළිබඳව නොයෙක් මිත්‍යා මත ගොඩනැගී තිබෙන්නා සේම ඇහැටුල්ලන් පිළිබඳව ද එවැනි මිත්‍යා මත කිහිපයක් ගොඩනැගී පවතී.ඉන් ප්‍රධානම මිත්‍යා මතය වන්නේ ඇහැටුල්ලන් ඇස් උගුල්ලා ගන්නවා යන මතයයි. මෙම මතය නිසාවෙන්ම මොවුන් ඇස්ගුල්ලා යන නාමයෙන්ද ඇතැමුන් ව්‍යවහාර කරනු ලබයි. නමුත් මෙහි විද්‍යාත්මක පසුබිම වන්නේ මොවුන්ගේ දිවි ගෙවීම බොහෝවිට රුක්වාසී වන අතරම මොවුන් ස්වභාවික පරිසරයේ ඇස් මට්ටමේ සහිත ශාක මත බොහෝවිට දක්නට ලැබෙන නිසා මොවුන් ඇස් උගුල්ලා ගැනීමට සිටින්නාක් මෙන් දර්ශන වීම නිසාවෙන් ගැමි ජනතාම මෙවැනි මිත්‍යා විශ්වාස මොවුන් පිළිබඳව තබාගත් බව පැහැදිලි වන්නක්. නමුත් මිනිසුන්ගේ ඇස් වල දීප්තිය නිසාවෙන් සිදු කරන පහරදීම් වාර්තා වූවද ඇස් වලට හානියක් සිදු වන ආකාරයෙන් පහර දීමක් සිදු කල හැකි නොවන බවද සඳහන් කල යුතු වේ. ශ්‍රී ලංකාවේ හමුවන සර්ප විශේෂ අතුරින් දියුණුතම දෘෂ්ටියක් සහිත සර්ප විශේෂ දෙකෙන් එකක් ලෙස ඇහැටුල්ලන් හැඳින්විය හැකි අතර මොවුන්ට අනෙක් සර්ප විශේෂ වලට සාපේක්ෂව දියුණු ත්‍රිමානේක්ෂ දෘෂ්ටියක් සහිත වේ. මීට අමතරව මොවුන්ගේ අවතල හැඩයෙන් යුක්ත වන ලෝරියල් කොරල සහිත ප්‍රදේශය හේතුවෙන් විශාල දෘෂ්ටි පරාසයකට හිමිකම් කියනු ලබයි.

මොවුන් ආහාර වශයෙන් කටුස්සන්,ගෙම්බන් සහ කුඩා පක්ෂීන් විශේෂ ප්‍රධාන වශයෙන් ගනු ලබයි.මොවුන්ගේ අධෝහනුක අස්ථි / Mandibles විශාල පරාසයකට ඈත් කිරීමේ හැකියාව සහිත හෙයින් විශාල ගොදුරු ගිල දැමීමේ හැකියාවක් පවතී.

සටහන සහ ඡායාරූප – චමල් ලක්ෂාන් ජයවීර

Russell’s viper

Daboia russelii (Shaw & Nodder, 1797) තිත් පොළඟා / සොහොන් පොළඟා / දාර පොළඟා

ශ්‍රී ලංකාවේ හමුවන සර්ප විශේෂ අතුරින් උග්‍ර විෂ සහිත ලැයිස්තුවේ කිරුළ දරමින් ලංකාවේ සිදුවන සර්ප දෂ්ඨන හේතුවෙන් සිදු වන්නාවූ මිනිස් මරණ ලැයිස්තුවේ වැඩිම මරණ ප්‍රතිශතයකට වග කිව යුතු සර්ප විශේෂය ලෙස තිත් පොළඟා හැඳින්විය හැකිය.

මොවුන්ගෙන් සිදුවන මරණ ප්‍රමාණය ඉහළ වීමට බලපාන ප්‍රධානතම හේතු කාරණා කිහිපයක් වේ.

01 . දිවයින පුරා මිනිස් වාසස්ථාන අවට සහ කෘෂිකාර්මික ගොවිබිම් අවට පුළුල් ව්‍යාප්තියක් සහිත සර්ප විශේෂයක් වීම.

* මොවුන්ගේ පුළුල් ව්‍යාප්තියක් මිනිසුන් නිතර ගැවසෙන ප්‍රදේශ වල ඉහළ වීම නිසාවෙන් සහ  මිනිසුන්ගේ අපරික්ෂාකාරී හැසිරීම් නිසාවෙන් තිත් පොළඟුන්ගෙන් සිදුවන දෂ්ඨන ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවට සඳහන් කල යුතුමයි.

02. ඉක්මනික් කෝපයට පත්වන සර්ප විශේෂයක් වන අතරම ඉතාමත්ම අවිශ්වාස සහගත හැසිරීම් රටා පෙන්නුම් කරනු කිරීම සහ දෂ්ඨනයක් සිදු කිරීමේ යාන්ත්‍රික කාර්යක්ෂමතාව ඉතාම ඉහල සර්ප විශේෂයක් වීම.

* තිත් පොළඟුන් සහ viperidae කුලයට අයත් සර්ප විශේෂ පොදුවේ ගත් කල අනෙක් සර්ප විශේෂ වලට සාපේක්ෂව ආවේගශීලී සතුන් ලෙස හැඳින්විය හැක එමෙන්ම, මොවුන්ගේ හැසිරීම් රටාද ඉතාම අවිනිශ්චිත බවකින් යුතු අතර පෙර අනතුරු ඇඟවීමක් ලෙස ඉතාම ශබ්ධයෙන් පිඹීම ( ලෝකයේ වැඩිම ශබ්ධයක් ඇති වන අයුරින් පිඹින සර්පයාද තිත් පොළඟා ලෙස හඳුන්වනු ලබයි) ඇතැම් අවස්ථා වල සිදු කලද කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව ඉදිරියට පැන දෂ්ඨ කරන අවස්ථාද සුලබයි.

ඒ වගේම තිත් පොළඟා මළ රංගනය සිදු කිරීම/ මැරුණු සර්පයෙකු ලෙස රඟපෑම කිරීමේ ඉතාම දක්ෂ සතෙකු නිසාවෙන් හඳුනාගැනීමට අපහසු ආකාරයට දෂ්ඨ කුරීමක් සිදු කිරීමේ හැකියාව පවතී. මෙම ඡායාරූපයද එසේ මළ රංගනය සිදු කරන අවස්ථාවකදී ගන්නා ලද එකකි.

තිත් පොළඟුන්ගේ දෂ්ඨනයක යාන්ත්‍රික කාර්යක්ෂමතාව එනම් සාර්ථක දෂ්ඨනයක් දෂ්ඨ කිරීමේදී සිදු විය හැකි හැකියාව ඉතාමත්ම ඉහල හෙයින් බොහෝවිට තිත් පොළොන් දෂ්ඨන වලඳී සංස්ථානික රෝග ලක්ෂණ නිතැතින්ම පෙන්නුම් කරනු ලබන අතර මොවුන්ගේ චලනය කල හැකි solenoglyphous වර්ගයේ විෂ දළ යුගල සාර්ථක දෂ්ඨනයක් සිදු කිරීමට ඔවුන්ට ලැබී ඇති තවත් අමතර උපාංගයක් ලෙස හැඳින්විය හැක.

03. මිනිස් ශරීරයේ ප්‍රධාන පද්ධති කිහිපයකටම එකවර බලපෑම් එල්ල කිරීමට හැකියාව සහිත විෂ මිශ්‍රණයක් අඩංගු වීම.

* තිත් පොළඟුන්ගේ විෂෙහි අඩංගු ප්‍රධානතම විෂ ලෙස රුධිර සංසරණ පද්ධතිය කෙරෙහි බලපාන රුධිර විෂ / Haematotoxins අඩංගු වන අතරම එමඟින් මිනිස් රුධිරයේ අඩංගු වන රුධිර කැටිකාරක / blood clotting factors අධිභාවිතයක් සිදු වනු ලබන අතර ඉන්පසුව ශරීරයේ අභ්‍යන්තර අවයව වලට රුධිරය වහනය වීම , මූත්‍රා , ඇස් ,විදුරුමස් හරහා රුධිරය වහනය වීම සිදු වේ. එමෙන්ම මොවුන්ගේ විෂෙහි ස්නායු පද්ධතිය කෙරෙහි බලපාන ස්නායුක විෂ/ neurotoxin විශේෂයක් අඩංගු වන අතර මෙම ස්නායුක විෂ විශේෂය U1-viperitoxinDr1a ලෙස නම් කර අත. මීට අමතරව මොවුන්ගේ විෂෙහි වකුගඩු වලට බලපෑම් ඇති කරනු ලබන Nephrotoxin , හෘදයට බලපාන cardiotoxin සහ මාංශපේෂි වලට බලපාන myotoxin අඩංගු වේ.

විවිධ පද්ධතීන් කිහිපයකට දරුණු ලෙස බලපෑම් ඇති කිරීමට තිබෙන්නාවූ ප්‍රභල හැකියාව හේතුවෙන් බොහෝවිට නිසි අවස්ථාවේදී නිවැරදි ප්‍රතිකාර බලා නොදුනහොත් රෝගීන් මරණයට පත්වීම සිදු විය හැකි නිසාවෙන් සෑමවිටෙකම කුමන සර්පයෙකුගේ දෂ්ඨනයක් සිදු වූවද හැකි ඉක්මනින් නිවැරදි ප්‍රථමාධාර ක්‍රම අනුගමනය කරමින් රෝගියා රෝහල්ගත කිරීම ඉතාම වැදගත්.

හඳුනාගැමේ ලක්ෂණ.

මොවුන්ගේ පැහැය කහ සහ දුඹුරු පැහැති වන අතර ඉතා ක්‍රමවත් දම්වැලක් මෙන් පුල්ලි රටාවක් සහිත වන අතර දේහය කෙටි සහ සිලින්ඩරාකාර ස්වරූපයක් ගනී.පැහැදිලි ගෙලක් සහ ත්‍රිකෝණාකාර හිසක් සහිතය.ශරීරයේ දිගු අතට විහිදෙන දම්වැලක ආකාර පුල්ලි පේලි තුනක් සහිත වන අතර එම පුල්ලි වල මායිම තද දුඹුරු හෝ කළු පැහැති වර්ණයෙන් මායින් වේ. මොවුන්ගේ හැසිරීම් රටා ප්‍රධානවම දිවාචර වූවත් රාත්‍රී කාලයේදීද සංචරණය කරනු දැකගත හැකි වේ. වරකට පැටවුන් 5 – 30 ක් පමණ දමනු ලබන බව වාර්තා වේ.

සටහන සහ ඡායාරූප – චමල් ලක්ෂාන් ජයවීර

දෙපත් නයා


Srilankan pipe snake 

Cylindrophis maculatus

Cylindrophiidae කුලයේ ශ්‍රී ලංකාවේ දී දැකබලාගත හැකි එකම විෂේශය ලෙස Cylindrophis maculatus යන විද්‍යාත්මක නාමයෙන් ද “දෙපත් නයා/ වට උල්ලා” යන සිංහල නාමයන්ගෙන් ද හඳුන්වන ඉතා අලංකාර අර්ධ පාංශුවාසී සර්ප විශේෂය හැඳින්විය හැක. නිශාචර, සර්ප විශේෂයක් වන දෙපත් නයින් තෙත්, වියළි සහ අතරමැදි යන දේශගුණික කලාපයන්හි දැකගත හැකි අසල ගති පැවතුම් පෙන්වන හානියක් නොමැති නිර්විෂැති, ආවේණික සර්ප විශේෂයක් ලෙස තවදුරටත් විස්තර කළ හැක. සාවද්‍ය අර්ථකථනයන් සහ සුවිශේෂී චර්‍යා රටාවන් හේතුවෙන් මිත්‍යා මත කිහිපයක් ම කරපින්නා සිටින සර්ප විශේෂයක් වන අතර එම මිත්‍යා මතයන් අතර, දෙපත් නයින් සිරුරේ පූර්ව මෙන්ම අපර කොටසෙත් හිස් ඇති දෙපසට ම සංචරණය සිදු කළ හැකි අරුම පුදුම සත්ත්ව විශේෂයක් ලෙසත් *විෂ සහිත සර්පයෙක් ලෙසත් පවතින මිත්‍යා මතයන් පෙන්වා දිය හැක. නමුත් සැබැවින් ම ඒවාගේ කිසිදු සත්‍යතාවක් නොමැති අතර විකෘතිතාවක් හේතුවෙන් මිස එලෙස හිස් දෙකක් සහිත සර්ප විශේෂයක් මේ වන තෙක් ලෝකයේ කොතැනක හොල් සොයාගෙන නැති බව සඳහන් කළ යුතුයි; මතු දිනයක හෝ එවැනි සර්ප විශේෂයක් සොයාගැනීම ද සිදුනොවිය හැක්කක් බව සියල්ලන්ට ම වැටහෙන්නකි. බිය වූ හෝ කලබල වූ අවස්ථාවන්හි ආරක්ෂාව සඳහා ශරීරය පැතලි කොට වල්ගය පෙනයක් සේ පෙන්වා, තමන් විෂ සහිත සර්පයෙක් ලෙස පෙන්වීමට අනුගමනය කරනා සුවිශේෂී චරියාව හේතුවෙන් ඉහත සඳහන් කළ දෙවැනි මිත්‍යා මතය * සකස්ව පවතින්නක් විනා කිසිදු සත්‍යතාවක් නොමැති මිත්‍යාවක් පමණක් බව නැවතත් සඳහන් කළ යුතුය. වටකුරු හොම්බක් සහිත පැහැදිලි ගෙලක් නිරීක්ෂණය කළ නොහැකි සිලින්ඩරාකාර දේහයකින් සහ ඉතා කෙටි වල්ගයකින් යුතු මෙම සර්ප විශේෂයේ අලංකාර වර්ණ රටාවන් පෘෂ්ඨීය ව මෙන් ම උදරීය ව ද නිරීක්ෂණය කළ හැක. පෘෂ්ඨීය ව ගඩොල් රතු හෝ තද තැඹිලි වර්ණයක් ගන්නා අතර ගෙලේ සිට වල්ගය කෙළවර තෙක් කශේ කොරළ පෙළ තද දුඹුරු හෝ කළුය. තවද කළු පැහැ දාරයක් සහිත පුල්ලි යුගල 35-55 පමණ නිර්මාණය කරන පෘෂ්ඨීය රේකා ජාලයකි. හිස සහ වල්ගය කෙළවර කළු පැහැයක් ගන්නා අතර ගෙල ප්‍රදේශයේ සුදු පැහැ වළල්ලක් නිරීක්ෂණය කළ හැක. උදරීයව සුදු හෝ ලා රෝස පැහැ වන අතර කලු හරස් පටි හෝ ජලාකාර වටාවක් සහිතය. ආහාර වශයෙන් ගැඩවිලුන්, වේයන් සහ කෘමි සතුන් මත යැපීම සිදු කරයි. මීට අමතරව දෙපත් නයින් සර්ප භක්ෂණය පෙන්වන සත්‍ත්ව විශේෂයක් වන බැවින් වෙනත් කුඩා සර්ප විශේෂයන් මතද යැපීම සිදු කරන අවස්ථාවන් වාර්තා වෙයි. අන්ඩජාලාබුජතාවය මගින් පැටව් බිහිකරන මෙම සර්ප විශේෂය වරකට පැටවුන් 1-15 අතර සංඛ්‍යාවක් ප්‍රසූත කිරීම සිදු කරයි.

හඳුනා ගැනීම – කුඩා, පෘෂ්ඨිමත්, සිලින්ඩරාකාර දේහය. පළල්, පෘන්දෝදරීයව පැතලි, පාත්විකව

මොට කුඤ්ඤයක හැඩැති (wedge-shaped) හිස. හොම්බ පෘෂ්ඨියව වටකුරුය. පැහැදිලි ගෙලක් රහිතය. ඉලිප්සාකාර කණීනිකාවක් සහිත ඉතා කුඩා ඇස්. පෘෂ්ඨියව පිහිටි ඉතා කුඩා නාස් විවර. ඉතා කෙටි, ශංක්වාකාර (conical) වලිගය.

වර්ණය – පෘෂ්ඨියව ගඩොල් රතු හෝ තද තැඹිලි. ගෙලේ සිට වල්ගය කෙළවර තෙක් කශේ

කොරල පෙළ තද දුඹුරු හෝ කළුය. කළු පැහැති දාරයක් සහිත පුල්ලි යුගල 35-55ක් පමණ

නිර්මාණය කරන පෘෂ්ඨිය රේඛා ජාලයකි. හිස සහ වල්ගය කෙළවර කළුය. ගෙල ප්‍රදේශයේ සුදු වළල්ලකි. උදරීයව සුදු හෝ ලා රෝස වන අතර කළු හරස් පටි හෝ ජාලාකාර රටාවක් පිහිටයි.

දිග – උපතේදි මි.මී. 100-150, වැඩුණු සතුන් මි.මී. 300-650.

හැසිරීම – නිශාචර පාංශු සර්පයෙකි. දිවාකල කොලරොඩු, කොටන් හා ගල් ආදිය යට ගතකරයි. අලසය, නොකිපෙනසුලුය. කලබල වූ විට සිරුර පැතලි කර දඟර ගැසී, හිස දඟරය තුළ හොවා ගනී. වල්ගය කෙළවර ඉදිරියට නම ඉහළට ඔසවයි. මෙලෙස සිරුරෙන් 1/8-1/ 4 ක පමණ කොටසක් ඉහළට එසවිය හැක. මෙම පෙනයක් වැනි වගය හේතුවෙන් මොවුනට දෙපත්නයා යන නම පටබැඳි ඇත. ඇතැම්විට කහ පැහැති, දුගඳවත් දියරයක් ජම්බාලියෙන් පිටකරයි. අණ්ඩජාලාබුජ වන අතර වරකට පැටවුන් 1-15ක් පසුත කරයි.

ආහාර – ගැඩවිලුන්, උභයජීවින්, කමින් හා වෙනත් නිර්විෂ සර්පයින්.

විෂ – නිර්විෂැතිය. බොහෝවිට සපා කෑමට තැත් නොකරයි.

ව්‍යාප්ති කලාපය, හමුවී ඇති ප්‍රදේශ සහ තත්ත්වය – 

මෙරටට ආවේනික විශේෂයකි. ම.ම.උමී. 1000 ක් පමණ උච්චත්වයක් වන තෙක් පිහිටි වියළි. අතරමැදි හා තෙත් කලාපවලට අයත් ප්‍රදේශවල හමුවේ. පුත්තලම, පොළොන්නරුව, අනුරාධපුර මුන්ඩල, නාඋල, පොල්ගහවෙල, බෙල්ලන්විල, බලංගොඩ, බෙරගල, කොග්ගල මෙන්ම මහනුවර සහ රන්තපුරය අවට ප්‍රදේශ රැසකින්).

සටහන සහ ඡායාරූප – චමල් ලක්ෂාන් ජයවීර

සමනලුන්ගේ වත ගොත


පළමු කොටස

අපි කවුරුත් ගස් වලට ආසයි, තව ලස්සන මල් වලට ආසයි, එතැනින් එහාට ගිහාම මේවා ලස්සන කරන සත්තුන්ටත් ආසයි. කුරුල්ලෝ, බත්කූරෝ, පාට පාට චූටි කුරුමිණියෝ වගේම අපේ ඇස් දෙක දුවන තවත් කට්ටියක් තමයි මේ සමනල්ලු කියන්නේ. 

කවුද මේ සමනල්ලු? ලස්සන ලස්සන පාට තියෙන පියාඹන්න පුලුවන් කෘමියෝ රංචුවක් කිව්වොත් කවුරුත් පිළිගනිවී. ඒත් ඇත්තටම මේ ජීවි කාණ්‌ඩෙට මේ නම ලැබුනේ කොහොමද කියන්න කවදා හරි හිතලා තියෙනවද?

“සමාන නාල දෙකක් ඇති හෙයින් සමනලයා යැයි කියනු ලැබේ”. මොනාද මේ නාල? ඔයාලට සමනලයෙක් ගාවට ලන්වේලා බැලුවොත් මෙයාලගේ ඔලුවට සවි වෙලා තියෙන එක සමාන කූරු දෙකක් පේන්න තියෙයි. සමනල්ලු ගැන කතා කරද්දි අපි මේවාට කියන්නනේ ස්පර්ෂක (Antennae) කියලා. ඉතින් මේ පුංචි දූපතේ ඔය වගේ සමනල්ලු කීයක් නම් ඇත්ද? සිය ගනන් දහස් ගනන් ඈතට පියාඹගෙන යද්දි මේ සමනල්ලු කෙහෙද ඉන්නේ?  මෙහෙම පාට වුනේ කොහොමද? මෙයාලගේ නම් මොනාද? වගේ ප්‍රශ්ණ පේලියක් හිතට ගලාගෙන එනවා ඇති. ඒ ප්‍රශ්න වලට පිළිතුරු මේ “සමනලුන්ගේ වත ගොත” එක්ක ඉස්සරහට යද්දි ඔයාලට හමුවෙයි කියලා මම හිතනවා. එහෙනම් අපි සමනල් සවාරිය පටන් ගමු.

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටන නිවර්තන කලාපීය රටක් වන බව අප සැම දන්නා කාරුණකි. මේ දිවයින ඉතා වටිනා කියන සම්පත් රැසකින් සමන්විත සුර පුරයක් යැයි කිවහොත් නිවැරදි. ඒ සම්පත් අතුරින් අපගේ නෙත් දිනාගත් සම්පතක් ලෙස අප අවට සිටින සත්වයින් හැදුන්වන්න පුලුවන්. මේ මාලාවෙන් දිගහරින්න යන්නේ ද ඒවැනි වු අලංකාර දර්ශනයක් ලබාදෙන සමනලුන් පිළිබදවයි. මෙම දිවයිනේ අන්තර් ගත බොහෝ දෑ ඉගෙන ගැනීමේ දි එය පහසු කිරීම සදහා මෙය දේශගුණික කලාප 4 ක ට වෙන් කර දක්වා තිබේ. එනම්, තෙත් කලාපය, අතරමැදි කලාපය, වියලි කලාපය හා ශුෂ්ක කලාපය යි. මේ සියලු කලාප ආවරණය වන පරිදි ශ්‍රී ලංකාවේ දැනට සමනලුන් වි‌ශේෂ 248 ක් වාර්ථා වේ. එයිනුත් විශේෂ 32 ක්  මේවන විට ලංකාවට ආවේනික වේ. 

සමනලුන් ගේ වර්ගීකරණය ගත් කල මොවුන්ගේ ආදි මුතුන් මිත්තන් මෙන්ම මොවන් ද කෘමී වාංශිකයන්ගෙන් පැවතෙන ලෙපි‌ඩෝටෙරා (Lepidoptera) ගොත්‍රයට අයත් සත්ව කාණ්ඩයක්වේ. මොවුන් ගේ අධ්‍යනය පහසු කිරීම සදහාත් ඔබ අප සැමගේ තේරුම් ගැනීම පහසු වීමත්සදහාත් මොවුන් කුල ගනනාවකට වෙන් කර දක්වා ඇත. මේ අතරින් ශ්‍රී ලංකාව තුල කුල වර්ග 6 ක් දැක ගැනීමට හැකිවේ. ඒවා නම් Papilionidae, Pieridae, Nymphalidae, Lycaenidae, Hesperiidae සහ Riodinidae වේ. මෙසේ සමනලුන් මෙවැනි කුල වලට වෙන් කර ගැනීමට ප්‍රධාන වශයයෙන් බලපා ඇත්තේ මොවුන්ගේ රූපවිද්‍යාත්මක සාධක වේ. ඒ පිළිබදව කතා කලහොත්, Papilionidae කුලයේ දක්නට ලැබෙනුයේ ශරීර ප්‍රමානයෙන් විශාල සමනලුන් වේ. විශාල දිගු පියාපත් හා එහි පිහිටන දිගු වල්ගයක් (tornus tail) ද මොවුන්ට පිහිටයි. ඒ වගේම වර්ණය අතින් ද විශාල පරාසයක වර්ණ සහිත සමනලුන් මෙ‌ම කුලයට අයිති වේ.

Pieridae කුලය ගත් විට එහි ප්‍රධාන වශයෙන් ම දැකගත හැක්කේ සුදු හා කහ පැහැති සමනලුන් වේ. මෙම කුලයේ ද සමනලුන් හට ඔවුන්ටම ආවේනික වු ලක්ෂණ රැසක් දක්නට ලැබේ. Lycaenidae කුලයේ අපට දක්නට ලැබෙනුයේ ඉතා කුඩා ප්‍රමාණයේ සමනල්ලු විශේෂ වේ. මොවුන් පියාපත් සලන විට පියාපත් ඇතුලත දීප්තිමත් නිල් වර්ණයක් දිස් වේ.මේ හේතුවෙන් මෙම සමනලුන් Blues යනුවෙන් ද හදුන්වන අතර ලංකාවේ වැඩිම සමනලුන් සංඛ්‍යාවක් සිටින කුලය වශයෙන් හැදින්වීමට හැකිය.

Hesperiidae කුලයේ සිටින සමනලුන් ව්‍යාජ සමනලුන් ලෙස හදුන්වනු ලබයි. මොවුන් පෙනුමෙන් සමනලුන් මෙන් නොපෙනෙන අතර පෙනුම බොහෝ සෙයින් සළඹයිනක් ගේ පෙනුමට සමාන වෙති. නමුත් මොවුන් තුල ඇති යම් යම් ලක්ෂණ හේතුවෙන් මෙ‌ම විශේෂය සමනලුන් අතරට පැමිණ ඇත. Riodinidae කුලය. මෙම කුලයේ විශේෂත්වය  වනුයේ එක් විශේෂයක් පමනක් මෙරටින් හමු වීමයි.  අවසාන වශයෙන් Nymphalidae කුලය, මෙම කුලයේ විවිධ වු සමනලුන් විශාල සංඛාවක් දක්නට ලැබේ. දිවයින තුල හමුවන දෙවනුවට විශාල සමනල වීශේෂ ගනණක් හමුවන කුලය යනුවෙන් හැදින් විය හැක. මෙවැනි විවිධ ලක්ෂණ සහිත සමනලයන් විශේෂ සිය ගණනක් ලංකව පුරා පැතිර සිටින අයුරු අපට දැකගත හැක. 

ඉතින් ලංකාවේ අපිට දකින්න ලැබෙන සමනල්ලු මෙන්න මේ විදිහට කුල වලට බෙදලා වෙන් කරලා තියෙනවා. සමනල්ලු කියන්නේ ඇත්තටම හරිම ලස්සන සත්තු කාණ්ඩයක්. එයාලා ගැන දැන ගන්න අපි කවුරුත් වගේ කැමති. මෙයාලගේ කුල ගැන තියෙන තවත් රස කතා එක්ක ඊලඟ කලාපයේ හමුවෙමු.

Common wolf snake


අළු රදනකයා 

Lycodon aulicus (Linnaeus, 1758)

Oligozonatus morph 

ශ්‍රී ලංකාවේ හමුවන රදනකයන් 6 අතුරින් දිවයින පුරා පුළුල් ව්‍යාප්තියක් සහිත රදනක විශේෂයක් ලෙස අළු රදනකයා හැඳින්විය හැකි අතර මොවුන් උග්‍ර විෂ සහිත කරවැලුන්ගේ වර්ණ රටා අනුකරණය / mimicking කරන්නාවූ කිසිම විෂක් රහිත නිර්විෂ සර්ප විශේෂයකි. මොවුන් රූපීය ලක්ෂණ ඔස්සේ කරවැලුන්ට සමාන වූවත් අනන්‍ය වූ දේහ ලක්ෂණ කිහිපයකින් සාමාන්‍ය අයෙකුට වූවද පහසුවෙන් වෙන් කොට හඳුනාගැනීමට හැකියාව පවතී..

* කැපී පෙනෙන පෙයාර්ස් හැඩැති හිස

බොහෝවිට උග්‍ර විෂ සහිත කරවැලුන්ගේ පැහැදිලි ගෙලක් හඳුනාගැනීමට අපහසු වන නමුත් අළු රදනකයාගේ හිස පෙයාර්ස් ගෙඩියක හැඩයෙන් පැහැදිලිව ගෙලෙන් වෙන් වී දිස්වෙනු දැකගත හැකි වේ.

* දේහ කොරළ වල ස්වභාවය

අළු රදනකයාගේ සහ කරවැලුන්ගේ පෘෂ්ඨීය කොරල සුමට වූවත් කරවැලුන්ගේ පෘෂ්ඨීය කොරළ වල ඇති ඉතාම විශේෂ ලක්ෂණය වන්නේ කෂේ කොරළ වල ස්වභාවය ශඩාස්‍රාකාර වීමයි. බැලූ බැල්මට කරවැලෙකුගේ කොඳු නාරටිය ඔස්සේ අටපට්ටම් හැඩැති අනෙක් දේහ කොරළ වලට වඩා විශාල වූ කැපීපෙනෙන කොරළ පේලියක් ඉතා හොඳින් දැකගත හැකි වේ.

එමෙන්ම ඔබ සර්පයන් පිළිබඳව වැඩිදුරටත් අධ්‍යනය කරන්නෙක් නම් කරවැලුන්ගේ සහ රදනකයන්ගේ මධ්‍ය දේහයේ හරස් කොරල ප්‍රමාණය සහ කරවැලුන්ගේ මධ්‍ය දේහයේ හරස් කොරළ ප්‍රමාණයෙහි පවතින්නාවූ වෙනස අනුවද මොවුන් වෙන් කොට හඳුනාගැනීමට හැකියාව පවතී.

අළු රදනකයන්ගේ පෞච්ච උදරීය කොරළ / subcaudal scales බෙදුනු ස්වභාවයක් ගන්නා අතර කරවැලුන්ගේ නොබෙදුණු පෞච්ච උදරීය කොරළ වින්‍යාසයක් දැකගත හැකි වේ.

* දේහයේ හැඩය

අළු රදනකයන්ගේ දේහයේ හැඩය කරවැලුන්ගේ තරම් දිගු නොවන අතරම සිලින්ඩරාකාර දේහය උදරීයව තරමක් පළල් වී  දේහයේ අපර කොටසට යන විටදී ක්‍රමයෙන් සිහින්ව යන නමුත් කරවැලුන්ගේ දේහය හිසේ සිට දේහයේ අපර කොටස දක්වාම ඒකාරී සිලින්ඩරාකාර බවකින් යුක්ත වී වල්ගය කොටසේදී පමණක් තරමක් සිහින් ස්වභාවයක් පෙන්නුම් කරනු ලබයි.

වර්ණය

අළු රදනකයන්ගේ වර්ණ ප්‍රභේද කිහිපයක්ම හඳුනාගත හැක.

• Forma typica morph – මෙම වර්ණ ප්‍රභේදයේ හරස් පටි අපැහැදිලි දාරයකින් සීමා වන අතර දේහයේ හරස් පටි 35 ක් හෝ ඊට වඩා දැකගත  හැකි වේ. උදරීය පැත්තට ආසන්න වන විටදී මෙම හරස් පටි දෙකට බෙදී ත්‍රිකෝණාකාර ලෙස දක්නට ලැබෙන අතර පෙයාර්ස් හැඩැති හිස වෙන් වන ගෙල ප්‍රදේශයේ පැහැදිලි සුදු පැහැති කොලරයක් වැනි පටියක් දක්නට ලැබේ.

• Oligozonatus morph – මෙම වර්ණ ප්‍රභේධය ඉහළ කඳුකර ප්‍රදේශ වල සුලභ බව දක්වා තිබුනද සබරගමුව පලාත තුලද යම් ව්‍යාප්තියක් සහිත බව මගේ මතයයි. මෙම වර්ණ ප්‍රභේධයේ සුදු පැහැති හරස් පටි කිහිපයක් පමණක් පවතින අතර හරස් පටි වල පැහැදිලි දාරයක් සහිත වේ.

• Unicolour morph – මෙම වර්ණ ප්‍රභේදයේ සුදු පැහැති හරස් පටි කිසිවක් නොපිහිටන අතර පෘෂ්ඨීයව ඒකාකාර පැහැයක් සහිත වේ. මොවුන්ගේ තොල් සුදු පැහැති වන බව දක්වා තිබුණද තොල් වල පැහැයද දේහයේ පැහැයට සමාන සතුන් ලංකාවේ මෙන්ම ඉන්දියාවේද වාර්තා වී ඇත.

හැසිරීම් රටා 

මොවුන් ප්‍රධාන වශයෙන් නිශාචර සර්පයන් වූවද දිවා කාලයේද සංචරණය කරන අවස්ථා හමුවේ. භෞමික සර්ප විශේෂයක් වූවද ඉතා හොඳින් ගස් මත නැඟීමේ හැකියාව පවතී.  ප්‍රධාන ආහාරය ලෙස හූනන් දැක්විය හැක. මීට අමතරව කටුස්සන් කුඩා මීයන් වැනි සතුන්ද ආහාර ලෙස ගනී. වෙනත් කුඩා සර්ප විශේෂද ආහාර වශයෙන් ගන්නා අවස්ථා ද වාර්තා වී ඇත.

බොහෝවිට මිනිස් ජනාවාස ආශ්‍රිතව ව්‍යාප්තිය ඉහල වීමට හේතුව වන්නේ මොවුන්ගේ ගොදුරු නිවෙස් ආශ්‍රිතව සුලභ වීම නිසාවෙන් වන අතරම නිවෙස් වල ඇති කපරාරු නොකල රළු පෘෂ්ඨ ඔස්සේ ඉතා හොඳින් ඉහළට නැඟීමේ හැකියාව මොවුන්ට පවතී.

නිර්විෂ සර්පයෙක් වූවද බොහෝ අවස්ථා වලදී මොවුන් හපකෑමට පෙළඹෙන සර්ප විශේෂයක් වන නිසාවෙන් නිදහස් අතින් මොවුන් හැසිරවීමේදී කල්පනාකාරී විය යුත්තේ මොවුන්ගේ පවතින රදනක දත් වලින් තියුණු ලෙස තුවාලයක් සිදු වන ලෙස හපාකෑමට හැකියාව සහිත හෙයින් බව මතක තබාගත යුතු වේ.

මොවුන්ගේ ගැහැණු සතුන් වරකට බිත්තර 3 – 11 ක් පමණ [ශ්‍රීලංකාවේ සර්පයන් ආචාර්ය රුචිර සෝමවීර] දමන බව වාර්තා වේ. මොවුන් බියට පත්වූ අවස්ථා වලදී වේගවත්ව පලා යාමට උත්සාහ කලද එසේ නොහැකි අවස්ථා වලදී ගුලිවී හිස සඟවාගැනීමට උත්සාහ දරයි. 

පසු සටහන –

මෙම ඡායාරූපයේ සිටින සතා නිවෙසක් තුල නානකාමරයක තිබූ රෙදි සෝදන යන්ත්‍රයක් තුල සිටියදී හමු වූ අතර සෑම විටෙකදීම මෙවැනි යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට පෙර හොඳින් පිරික්සීම ඉතාම වැදගත්. සතා ඉවතට ගැනීම සඳහා මුළු රෙදි සෝදන යන්ත්‍රයම කොටස් කිරීමට සිදු වූවේ අප ජලය ගලා යාමට සවි කර තිබූ බටය තුලින් මෙම සතා යන්ත්‍රය ඇතුලට රිංගා සිටි නිසාවෙනි. සෑමවිටම මෙවැනි අප ජලය මුදාහරින බට භාවිතා නොකරන අවස්ථා වලදී end cap එකකින් වසා තැබීම සතුන්ගේ මෙන්ම ඔබේද ආරක්ෂාවට ගතහැකි ක්‍රියාමාර්ගයකි.

සටහන සහ ඡායාරූප – චමල් ලක්ෂාන් ජයවීර