– ගුරු පඬුරු –

පුංචි සන්දියේ මා හට අකුරු  කරන්නට

කුලදෙවි යොමු කළා මා ගුරුගෙදරකට

අකමැති වුණත් මා එහි    පියමනින්නට

යන්නට සිදුවුණා නිවසේ      පෙරැත්තට

කළු උස මහත රුදු පෙනුමැති යෝධයෙකුට

දිය හැකි වේද පොඩි අප වෙත සිප්     සතර

‘එන්න පුතා’ ලෙස ඔහු අමතද්දිත්    සොඳට

ලොමු ඩැහැගැන්විලා හිටගෙන අපි     බියට

ගණිතය විෂය මෙලොවට හැදුවේ  කව්ද

හොඳක් නොවන් එලෙසට පැතුවා  මමද

අමතක චක්කරය හොයා ගත්    එකාවද

නිතරම මතක් කරනවා රෑ      නින්දෙන්ද

පාසලට නුදුරු වත්තේ කාමරයක    විසූ

වත්ත පුරාවට වගාවක්‍ වේය          ඔසු

දුප්පත් දරුවෝ කැන්ඳා පාසලෙන්    පසු

ශිල්ප දෙන තැන ගුරුගෙදරක්ය       පසු

ගුරු ගෙදරට ගොඩ වූ හැම         දිනයකදිම

පාඩම් දිය යුතුවේ චක්කරයත්     නොවැරදිම

පාඩම් නොමැතිවුන් දණගහලා       පෝලිමට

ඇතැමෙක් හඬයි තෙත් කරගෙන කලිසමෙම

නිතරම බුලත් සපමින් කට රතු          වීලා

සුදු කලිසමට සුදු කමිසෙන්         සැරසීලා

සිනා නොවෙයි බොරුවට හසරැල්      පාලා

අවැසි දේ කියයි ඔළුවට ටොක්කක් ඇනලා

විදුහල්පති පවා ගරුසරුවයි  ගුරුදෙවිට

විශිෂ්ටයෝ බිහිවේ නීරස       ගණිතයට

පැසසුම් ඉදිරියේ ඔහු නොසැලී ඉදිරියට

සෘජු මිනිසෙකි යට නොවනා    මුදලකට

ගලේ කෙටුව අකුරක් මෙන්  සිහිවෙනවා

තාමත් උගන්නපුවා මතකේ  රැව්දෙනවා

වේවැල් පහරේ රසයත් අමතක  නැතුවා

ගුරුදෙවි ගැන ගරුසිත තව වැඩිවෙනවා

ශිල්ප උගෙන රැකියාවක් මම     සොයාගෙන

Interview ගියා මගෙ දෙයියොත් පතාගෙන

‘ආවෙද ගණිතෙට D එක නුඹ       තියාගෙන’

සිහිවුණි මෙමට ගුරු බුලතුත්        සපාගෙන

D එක නිසාමයි මට Job එක හම්බවුණේ

ගුරු පා නමදින්නමයි මට නම් ඕන    වුණේ

සුදු කමිසයක් අළුතින් ගුරු පඬුරු     වුණේ

මා දුටු කල ගුරු තුටමයි          මතක්වුණේ

හා හා පුරා කියලා ගත් රථේ        නැගී

පෙර ගිය මාවත් දිග මතකයේ      රැඳී

තවමත් දැනෙනවා එදවස සුවඳ   රැඳී

ලං ලං වුණා ගුරුගෙදරට දිවියේ  බැඳී

ඈතට පෙනෙනවා මහ සෙනඟක් රැස්වීලා

මග දෙපසට යුහුසුළුවම වැඩ      කරනා

කුකුසක් මගේ යටි සිත්හි දැන්   නැගෙනා

ගුරු ගෙදරම සුදු කොඩියෙන්     සැරසීලා

ගුරු පඬුරත් ගෙන හනිකට පිය   නැගුවා

ගුරුගේ අඹුව මහ හයියෙන් වැළපෙනවා

එදවස සිට ගුරු අඹුවත්         හඳුනනවා

මා දුටු විට ඇගේ දුක තව    වැඩිවෙනවා

කුමකින් කුමක් සිදුවේදැයි නොදත්   නිසා

ගෙට ගොඩ වී ගුරු අඹුවගේ ලඟට   ගියා

‘මොකද වුණේ මිස්’ කියලා ඇහුවා මෙමා

‘පුතාලගේ සර් අද අපිවත් දාලා        ගියා’

අකුණක් වන්ව කම්පනයකි දැන්      දැනෙන්නේ

රූරා වැටෙන කඳුළුත් නොම           නවතින්නේ

එදවස ගුරුපියගේ ගුණ එකිනෙක    සිහිවන්නේ

ගෙන ආ සුදු කමිසෙද ගුරු හට දැන් අන්ඳන්නේ ?

______________________ච | රි | යා_______

( යම් පුද්ගලයෙක් අනුන්ගේ දරුවෙකු තමාට වඩා උගතෙකු වී දිවි ජය ගන්න අයුරු දැකීමට සිහින මවයි නම්, ඒ සඳහා මාවත එළිපෙහෙළි කර දෙයි නම්, තමාව අභිබවා යනු දැක හදවතින්ම සතුටට පත්වේ නම් ඒ උත්තම ගුරුවරයෙකු පමණමය.නොපමාව තමන්ට සිප් කිරි පෙවූ ගුරු දෙවිවරුන් හට කෘතගුණ සලකන්න. )

Yahoo Email භාවිතය සහ අවධානම.


මම හිතන්නෙ yahoo කීවමහම Google තරම්ම ප්‍රසිද්ධ නොවුනත් අතීතයේදිනම් හැමෝම අතර ජනප්‍රිය උණන් විද්‍යුත් තැපැල් (email) service එකක් තමයි Yahoo Mail කියන්නෙ.1997 ඔක්තෝම්බර් මාසේ 08 වෙනිදා ඇමරිකානු සමාගමක් වන Yahoo Incoperation සමාගම් විසින් දියත් කරණ.ලද e mail සේවාවකි.මූලිකවම මෙහි සේවාවන් හතරක් ක්‍රියාත්මක වූ අතර Basic , Plus සහ Ad Free සේවාවන් පුද්ගලික භාවිත (personal Use) සදහාත් තවත් සේවාවක් ව්‍යාපාර සදහාත් හදුන්වා දෙන ලදී.

2020 ජනවාරි මස වන විට ලොව පුරා මිලියන 225ක සංඛ්‍යාවක් Yahoo mail සේවාව භාවිත කරමින් සිටින ලදී.

මෙහි ඉතිහාසය තවත් විපරම් කරන් යනකොට ප්‍රථම වතාවට username එකක් ban කරණ ලදී..එනම් ඒ ආකාරයේ නම් භාවිතය තහනම් කරණ ලදී.ප්‍රථම වරට මෙලෙස තහනම් කරණ ලද වචනය වන්නේ “Allah” නමින් භාවිතා වූ නම් වන අතර තවත් විධි විධාන කීපයක්ම ක්‍රියාත්මක කරණ ලදී.

2012 වසරේ Yahoo සදහා දත්ත සූරාකෑමක් (exploit] සිදු වූ අතර ඊජිප්තු Hacker වරයෙකු විසින් $700 ක මුදලට විකිණීමක් සිදු වූ අතර එමගින් කොල්ලකරුවන් හට Yahoo Hack කිරීමට හැකි වූ අතර පරිෂීලකයන් හට අසභ්‍ය වෙබ් අඩවි වලට හරවා යැවීමට සහා Cookies හොරකම් කිරීමට Hacker වරුන් ක්‍රියා කරණ ලදී.2013 ජනවාරි මස Hacker වරයෙකු සහ Security Researcher වරයෙකු වූ Shahin Ramezany මහතා පෙන්වා දුන් තවත් DOM- based XSS loophole මගින් පෙන්වා දුන් අන්දමට මිලියන 400ක පරිෂීලකයන් අවධානමක ඇති බව පෙන්වා දෙන ලදී.

2017 ඔක්තෝම්බර් මස 3 වන දින Yahoo සමාගම විසින් සිය බිලියන තුනකට ආසන්න පරිෂීලකයන්ගේ account Hack වී ඇති බව ප්‍රකාෂ කලා

මේ විදියට ඉතිහාසයක් ඇති Yahoo Account එකක් ඔයාලා භාවිතා කරනවනම් මම ඔයාලට තවත් අනතුරු ඇගවීමක් කරන්න කැමතී..ඒ තමයි පහුගිය දවස් ටිකේම ලංකාව තුල මගෙන් උපදෙස් ගැනීමට ආ 8 කට වඩා වැඩි අගයකින් යුත් Facebook Account ප්‍රමාණයක් මේ Yahoo Mail එකක් primary Mail address එක විදියට link කර තිබීම මගින් Hack වී තිබුනා හේතුව විදියට සදහන් කලොත්,මාස 10 කට වඩා වැඩි කාලයක් Log නොවී අක්‍රීයව පැවති Yahoo Mail address එකක් ඔයාගෙ තියෙනවනම් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න මේ වන විටත් ඒක අයින් කරලාද කියලා.සමහර වෙලාවට මේ නමින්ම අයින් කරපු email account එක ඒ නමින් වෙන කෙනෙක් හැදුවම ඔයාගේ Facebook Account එක නිකම්ම recover කරගන්න පුළුවන්..ඉතින් එහෙම වෙන්න කලින් අදම පොඩ්ඩක් ඔයාගෙ Facebook Account එක Yahoo Mail එකකට Link කරලා තියෙනවනම් දෙපාරක් Check කරන්න.ඉතින් අදට අපි මේ ලිපිය නවත්තනවා.ඊලග මාසයේදීත් තවත් ලිපියක් සමග හමුවෙමු.

P.K.D.Manujaya

(BSc Honors. In Computer Science , Social Media Strategists ,Dip in HRM ,Dip in Finance Management, Dip in Production Management , Dip in Sales Management )

076 2209299

www.dilshanmanujaya.com

කාබන් කාල නිර්ණය


මීට අවුරුදු දස දහස් ගණනකට හෝ මිලියන ගණනකට පෙර පෘථිවියේ ජිවය කෙසේ පවතින්නට ඇතිද? එවක සිටි සත්වයින් සහ තිබුණු ශාක මොන ආකාරයේ වන්නට ඇතිද? මේ අභිරහස් විසඳන්නට තියෙන එක මගක් තමයි පොසිල. පොසිල කියන්නේ මීට වසර දස දහස් ගණනක්  හෝ මිලියන ගණනකට පෙර ජිවත් වූ සත්ව හා ශාකවල දිරා ගිය කොටස් බව අපි දන්නවා.රූප රූප සටහනේ  පෙන්වා තිබෙන්නේ පොසිලයක්. පොසිලයක් හමුවූ පසු එක කෙතරම් ඈත අතීතයකට උරුමකම් කියනවද කියන දේ ඉතාම වැදගත් දෙයක්. එමගින් තමයි අතීත තොරතුරු සොයා ගන්න හැකි වෙන්නේ.මෙවන් පොසිලයක් කෙතරම් පැරණිද කියල සොයා ගන්න ක්‍රමවේදය තමයි කාබන් කාල නිර්ණය හෙවත් carbon dating ලෙසින් හඳුන්වන්නේ. මෙය විකිරණශීලි කාලනිර්ණ ක්‍රමවේද වලින් එකක්.

කාබන් කාලනිර්ණය සඳහා පදනම් කර ගන්නේ කාබන්-14 (C-14) සමස්ථානිකයේ විකිරණශීලිතාවයයි. මිහිපිට සිටින හෝ සිටි සියළුවම ජීවින් (සත්ව හා ශාක) තුල කාබන්-14 සමස්ථානිකය අන්තර්ගතව තිබෙනවා. මෙවන් ප්‍රාණ වස්තුවක් (organism) මරණයට පත්වූ මොහොතේ සිට කාබන්-14 සමස්ථානිකයේ විකිරණශීලිතාවය ද මියයන්නට පටන් ගන්නවා. මෙම විකිරණශිලිතාවය අඩුවීම සිදුවන්නේ එක්තරා රටාවකට. එනම්, සෑම වසර 5730කට පමණ වරක්  එහි විකිරණශීලිතාවය 50%කින් අඩු වෙනවා. මෙය half-life ලෙසින් හඳුන්වනවා. මේ අනුව, සොයාගත් පොසිලයේ ඇති කාබන්-14 සමස්ථානිකයේ විකිරණශීලි මට්ටම මැන එය එම මුලද්‍රව්‍යයයේම සාමාන්‍ය තත්වයේ ඇති විකිරණශීලිතාවය සමග සැසඳීමෙන් පොසිලයේ වයස ගණනය කරනවා. මෙහිදී ගණනය කරන්නේ එම ජිවියා මියගිය අවස්ථාවේ සිට වයසයි.

කාබන් කාලනිර්ණය ලොවට හඳුන්වා දුන්නේ නම් විලාඩ් ලිබි නම් ඇමෙරිකානු ජාතික විද්‍යාඥයා, ඒ 1940 ගණන්වලදී. මේ වෙනුවෙන් ඔහුට නොබෙල් ත්‍යාගයක් ද පිරිනැමුණා 1960 වසරේදී.

මෙම ක්‍රමවේදය භාවිතා කරන්න පුළුවන් වෙන්නේ යම් කලෙක ජිවය පැවති දෙයක් (ශාකයක් හෝ ජීවියෙක්) කෙතරම් කාලයකට පෙර මියගොස් ඇතිද යන්න තීරණය කිරීමට පමණයි. අජීවී වස්තු සඳහා මෙය භාවිතා කළ නොහැකි අතර ඒ සඳහා වෙනත් විකිරණශිල කාලනිර්ණ ක්‍රමවේදයක් භාවිතා කරන්න වෙනවා.

නිසදැස්


ප්‍රේමය සාහසික ඝාතකයෙක්ය

ඉන් මා මරා දමා බොහෝ කල්‍ ගොසින්‍ ය

අනෝරා වැස්සක් වැටුණාක් මෙන්

කලුළු ගලා වැටුණ පසු 

මුලු හිතම  නිසොල්මන්ය 

දරාගෙන මතකයන් දෙස බලා

සුසුම්  පමණක් හෙලන්නේ 

තවමත් නුඹ හිත් කොනක තබාගෙනය

නුඹ හදාගත් හේතු මත

යන්නට අවැසි බව කියා 

නුඹ ගියත් මා තවම එතනමය

මට මමත් නැති උන කලෙක 

නුඹ ගිය එකත් පුදුමයක් නැතිය.

ඇස රැදුණු හැම තැනකම  

මන් නුඹව සෙව්වා එදා මෙන් අදත් එහෙමය

නුඹ සිතින් අත්හල පසුත් මා 

තවමත් සිතින් පෙම්කරන නුඹ 

අවාරයේ  මට හමු උනා විතරක්මය

ඒ තැන්වල  නුඹ මා විඳි සුවය තවමත් 

මගෙ පපුවෙ එහෙමමය.

නිශා


අග්‍රගන්‍ය කළාකරුවකු වන ලූෂන් බුලත්සිංහල මහතාගේ පද රචනයක් වන මුතු කුඩ ඉහලන මල් වරුසාවේ ගීතය ගායනා කරනු ලබන්නේ රෝහණ වීරසිංහ මහතාය.

ගීතය පුරාවටම ඇත්තේ අමිහිරි අත්දැකීමක් මිහිරි ලෙස දුටු ඉතා සංවේදී පිරිමි හදවතක දෝංකාරයයි…. වචනයෙන් වචනයට… මෙන්ම සංගීතයද හිතට අමුතුම හැගීමක් ගෙන දෙන්නේ ඒ නිසාය

මුතුකුඩ ඉහළන මල් වරුසාවේ

උඩ ඉගිලෙන විට වැහි ලේණී

එබී බලා රිය කවුළු දොරින්

යට ගිය දවසේ

දෑස ගියා ඉගිලී….

වැහි ලිහිණියන් ඉගිලෙන පුංචි මල් වැස්සක පාරක ඇවිදගෙන යන එක් ආදරණීය මිනිසෙකුට, රියක නැගී යන ගැහැණියකගේ නෙතට නෙත ගැටෙන්නේ රියේ කවුළුව අතරින්ය. ඒ දුටු විගසම ඔහුගේ නෙත් ඇදුනේ ඈත අතීතයටය.. ඒ සොදුරු අතීතයටය….

අඳුරු ලලා සෙංකඩගල වැස්සේ

දිය දහරා පාටයි දේදුන්නේ

තෙමී තෙමී ආදර මධු වැස්සේ

ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ

අඳුර ගලාගෙන එන වැස්සක තෙමි තෙමී මහනුවර පාරවල් දිගේ දෙදෙනා ඇවිදපු ඒ අතීතය කෙසේනම් අමතක කරන්නද… ආදරය ඉදිරියේ ඕනෑම ගැටළුවක් ඉමිහිරිය .. සොදුරුය … ඉතින් එදා ඒ වැස්ස ඔවුන්ට දැනුනේ ආදරයේ මධු වැස්සක් ලෙසය. දිය දහරා පෙනුනේ දේදුන්නේ පාට වලින්ය ..

ඒ ආදරයේ සොදුරුතම බවයි..

ඒත් එදා එකට ගිය දෙදෙනා එවැනිම වැස්සක අද මාවත් දෙකකය

රිය ඇතුළේ

උණුසුම ඔබට දිදී

නහවයි මා

රියසක මඩ වතුරේ…”

මේ නෙතට නෙත ගැටුනේ අහම්බයකින්ය.. ඒ මේ මෝටර් රථයේ රෝදයෙන් ඉසුනු මඩ පහරින් මේ මිනිසා නැහැවුනු නිසාය. තම ආදරයේ වර්ථමාන අයිතිකාරයා… ඒ ආදරයට රිය ඇතුලේ උණුහුම දිදී වැස්සෙන් ආරක්ෂා කරගෙන, තමන්ව මඩ වතුරෙන් නාවලා යන හැටි බලා මේ මිනිසාට තරහවක් නොදැනුනේ ඔහුගේ ආදරය ඒ තරමටම අව්‍යාජ එකක් වීම නිසාමය..

නෑ හිත රිදුණේ

අදත් එදා සිහිවී

අපේ සබඳකම්

නෑ රිය සක දන්නේ

තමන්ට ආදරය අහිමිකර අද වෙනකෙක් ලඟ සැනසෙන තමන්ගේ ආදරය , අතීතයේ තමන් හා සිටි හැටි ඔහුට මතක්වුනේ හිතට අමුතුම සැනසීමක්ද ලබාදෙමිනි. අද වෙනකෙකුගේ වී, හරි උජාරුවෙන් තමන්වද මඩ වතුරේ නාවා ඉගිලී යන ඇය ගැන මොහුගේ හිතෙ වෛරයක් ඇති නොවුනේ ඔහුගේ හිත ඒ තරමටම නිවී සැනසී තිබූ නිසාය.. යථාර්තය තෙරුම් ගත හැකි උසස් මනසක් ඔහු සතු වුනු නිසාය.

අවංකවම ඔහු ඇයට ආදරේ කල නිසාය

එදා ඔවුන් අතර තිබූ බැඳීම, ආදරය..ඔවුන්ගේ ආදරයේ අතීත ඉමිහිරි මතකයන් වාහනයේ රෝද කේසේනම් දැනගන්නද ….ඒ නිසා මේ සිදුවූ සිදුවීම ගනනකට ගතයුතු නැත

ඔහු සිත සනසාගත්තේ එලෙස සිතමින්ය ..

මෙවැනි සොදුරු මිනිසුන් සැබෑ ලෝකයේ සිටින්නේද ? ….

ඔබෙත් මගෙත් පිලිතුර නැත යන්නයි…

නමුත් …….

අප නිවැරදි නැත … මේ සත්‍යය සිදුවීම සිදුවූයේ ඒ අග්‍රගන්‍ය කළාකරුවා වන ලූෂන් බුලත්සිංහලයන් හටය ..ඔහු අතින් මේ ගීතය ලියවුනේ ඒ අත්දැකීම නිසාය

කස්තුරි (කෙටිකතාව )


හරිම ප්‍රභලයි.එක නරක සිතුවිල්ලක් මුලු ජීවිතේම නාස්ති කරන්නේ අපිටත් නොදැනීම. හරියට පිළිකාවක් වගේ,දැන ගන්නකොට බොහෝ වෙලවට ඔඩු දුවලා ඉවරයි. 

මම ජීවිතේ එක් නරක සිතුවිල්ලක් නිසා අවුල් කරගත් ගැහැනියෙක් වෙමි.ඒ ගැන මම මටම කියාගත්තත් තව කෙනෙක් ඒ ගැන කියද්දී මගේ හිතට එන තරහව; ඇත්තම කිව්වොත් කෙනෙව මරලා දාන්න වුනත් පුලුවන්.

” ශ්වේතා” මගේ ජීවිතේට මුනගැහුනේ නැත්නම් මීටවඩා මගේ ජීවිතේ ඇත්තටම ලස්සන වෙන්න තිබුනා කියලා හිතෙන වාර ගණන අනන්තයි අප්‍රමාණයි..ඒත් යෞවනෝදයේ සිට මෝරපු ගෑණියක දක්වා ගෙවුනු කාලසීමාව තුල මම ශ්වේතා කියන චරිතය මට අභියෝගයක් නොවුනු දිනයක් නැති තරම්..

” ශ්වේතා මිස්ගේ  ඇඟ හරිම ලස්සනයි නේද තෙහාරා මිස්….” 

” ඔව් ඉතින් මෙතන නටලා නටලා තව මොන නැටුම් නටනවා ඇතිද මිස්..මට පේන්න බෑ ඔය දෙකයි පනහේ පම්පෝරි කාරි..” 

ශ්වේතාගේ ගුණ ඇහෙද්දී දාරාගන්න බැරි තරහක් සිතට පැමිනීම වගේම කටට එන වචන වලින් බැනවැදීම  අන්තිමට පුරුද්දට ගියේ එහෙම. මම හැම මොහොතකම ශ්වේතාට විරුද්ධව ඉස්කෝලෙදි කතා කලා වගේම මට සීයට දෙසීයක් විශ්වාසයි ශ්වේතට ඒ දේවල් ආරංචි වුනා කියලත්. ඒ හැමදේම මම කලේ ශ්වේතා එක්ක රණ්ඩු වෙන්න හිතාගෙන වුනත් කිසිම දවසක ශ්වේතා මම එක්ක රණ්ඩුවකටවත් එක බැල්මකින් වත් තරහක් පෙන්නුවේ නැහැ .

” ගුඩ් මෝනින් තෙහාරා මිස්….” 

ශ්වේතා හිනා වෙලා උදේම සුභ පතනකොට මම කලේ ඇස් දෙක කරකවලා අහක බලාගන්න එක. එහෙම කරලා අවංකවම මම සතුටු වුනා ශ්වේතට රිද්දුවා කියලා..

” ඇයි මිස් හැමවෙලේම ශ්වේතා මිස්ට දෙකයි පනහේ ගෑනි කියන්නේ?”

එක දවසක් මිස් රූපා ස්ටාෆ් රූම් එකේදි මාව තනි කරගෙන අහද්දි මට හරිම කුරිරු සතුටක් දැනුනා. 

“අනේ මිස්,පම්පෝරි රැජිණ..මට පේන්න බෑ ….” 

මම සුපුරුදු උත්තරේම දුන්නේ මිස් රූපා මගේ පැත්තට ගන්න බලාගෙන.

” දරුවෝ ශ්වේතා කවද්ද පම්පෝරි ගැහුවේ? ඒ දරුවා උපතින්ම වැදගත් දෙමව්පියෝ ළඟ හැදුනේ වැඩුනේ, හොඳ ඉස්කෝලෙකට ගියේ, කැම්පස් එකෙන් ඩිග්‍රී එකක් ඇතුව මේ ඉස්කෝලේ උගන්නන්නේ.. මිස් තෙහාරා බොරුවට චෝදනා කරලා ස්ටාෆ් එකේ අනිත් අයටත් එපා වෙන චරිතයක් වෙන්න එපා…”

කනට ගැසුවා මෙන් මිස් රූපා කී වචන මගේ හීන මාළිගාව කඩා බිද දැමුවේ එලෙසිනි  . මිස් රූපා සියයට දාහක් නිවැරදිය. ශ්වේතාගේ ජීවිතය එසේ වෙද්දී මම කුඩා කල සිට අම්මාගේ තාත්තාගේ ආදරය නොලැබුවෙමි, උසස්පෙල අවසන් වනවාත් සමගම සුධාර සමග හදපානේම පැන ගියෙමි, එහි ප්‍රථිපලයක් ලෙස දැන් මට අවුරුදු තුනක පුංචි පුතෙක් සිටියි. ජීවත් වීමට රැකියාව උවමනා නිසා මා උගත් පාසලේම අභ්‍යාසලාභී සංගීත ගුරුවරියක් ලෙස සේවය කරන්නේ කරන්නට දෙයක් නැති බැවිනි. ඉදින් මාගේ ජීවිතයත් ශ්වේතාගේ ජීවිතයත් සැසැදීම ගල් අඟුරු ගොඩක් අසලින් අයිස් කැට තබනවා මෙනි..

“මිස් තෙහාරා පුංචි ආරාධනාවක් කරන්න ආවේ.. මගේ වෙඩින් එක ලබන මාසේ..මේ මිස්ගේ ඉන්විටේශන් එක..පුලුවන් නම් එන්න…”

දිනක් ශ්වේතා විවේක කාලයේදී ඇත්දළ වර්ණයෙන් නිමවූ මංගල ආරාධනා පත්‍රය මගේ අතින් තැබුවේ සුපුරුදු සිනාවෙන්ම සංග්‍රහ කරමිනි.

” වෛද්‍ය සාරංග අස්මඩල හා ශ්වේතා ලංකේශ්වරගේ අතිනත ගැනීමේ….” 

මා කියවූයේ එපමනකි. කාඩ් පත කෑලි කෑලි වලට ඉරා දමා කුණු කූඩයට දැමුවෙමි. දෑස් වලින් වෛරයේ කදුලු ගලද්දී දිවා රෑ නොබලා ලංගම බස් රථය පදවන සුධාර මට මැවි මැවී පෙනුනි.. කොටින්ම මට මගේම ලෙයින් ජාතක වූ දරුවා ගැන පවා ආවේ කියා නිම කල නොහැකි කේන්තියකි.

දිනෙන් දින ගෙවී ශ්වේතාගේ මංගල දිනය උදා විය. ඊට සහභාගි නොවූ එකම ගුරුවරිය මම විය. සත්‍ය නම් මා නැතැයි කියා කිසිවෙක් ඒ ගැන තඹ සතයකට මායිම් කරන්නටද නැති වග මා දනිමි..

මගේ සිතේ ශ්වේතා කෙරෙහි බුර බුරා නැගෙන වෛරය පුපුරුගසන්නට විය..ඈ  නිසාම මට මගේ දරුවාගේ යුතුකම්ද අමතක විය. මට බැන වදිමින්ම සුධාර ගේ අම්මා දරුවා බලාගත්තාය.මම දිගින් දිගටම ශ්වේතාට වෛර කලෙමි..

අවසානයේ ශ්වේතා පාසල් ගුරු ජීවිතයෙන් සමුගත්තේ නර්ථන කතිකාචාර්ය වරියක වෙමිනි. ඇයගේ සමුගැනීමත් සමගම ත්‍රී රෝද රථ රියැදුරෙකු සමග පැවතුනු මගේ අනියම් සම්බන්ධය පාසලේ බොහෝ දෙනෙකුට ආරංචි වී මා දෙස විදුහල්පතිතුමියගේ සිට පාසල් භූමිය අතුගාන කම්කරුවා දක්වා පිළිකුලෙන් බලද්දී මට තවත් පාසලට යාමට නොහැකි විය.

ජීවිතේ අපායක්ම විය. නැන්දම්මා මා නිවසින් එලියට ඇද දමද්දී මගේ දෙමාපියන්ද මා බාර ගත්තේ නැත. උපයාගත් දෙයක්ද නැති මම පාරවල් ගානේ රස්තියාදු වී අවසානයේ නතර වූයේ අංගොඩ මානසික රෝහලේය.

” ඩොක්ටර් කවදා වගේ තෙහාරාව  ගෙදර යවන්න පුලුවන් වෙයිද?” 

සුපුරුදු පරිදි උදෑසනම මා පරීක්ශා කරන මනෝ වෛද්‍ය අහිංසා සිංහබාහුගෙන් අසල වූ හෙදියක අසයි..

” හ්ම්ම් තව ටික දවසකින් තෙහාරට යන්න පුලුවන්..නේද තෙහාරා?” 

තෙවසරකට පමන පසුව මා අංගොඩ මානසික රෝහලෙන් පිටතට ආවෙමි. දැන් මා හතලිස් හැවිරිදි ගැහැණියකි.. සුධාර සොයා ගියෙමි. ඔහු තවමත් මා පිළිගන්නේ නැත..එබැවින් මා මගේම දෙමාපියන් සොයා යෑමටද ගත් තීරණය අත් හලෙමි.

අඳුර වැටෙන තුරු ඇවිද්දෙමි.තැනින් තැන වැටි උපකාර ඉල්ලුවෙමි.කල පව් පසුපස එනවා මෙන් කිසිම පිළිසරණක් කිසිවෙකුගෙන් නොලැබුනි..ඇවිද හෙම්බත් වී අවසානයේ එක් පුණ්‍යා භූමියක් ඉදිරිපිට මගේ දෙපා නතර වූයේ මටත් නොදැනීමයි..

” අමරාවතී සිල්මෑණි ආරාමය” 

දොළොස් මසකට පසුව මම,

” වෙළගෙදර ධම්මදින්නා  මෙහෙණින් වහන්සේ” 

නම් විය.. 


තක්ෂිලා ඒකනායක

කවුරුන්ද ඔබ මගේ


කවුරුන්ද ඔබ මගේ

මීට සමාන අදහසක් තියෙන තවත් ගීත තියෙනවද..

කවුරුන්ද ඔබ මගේ..

කවුරුන්ද මා ඔබේ..

දෙතොල් සලා මුදු සිනහ නගන්නෙමු

දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු..

හදවත් ගැහෙනා රිද්මය අතරේ….

සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු..

ප්‍රේමය ගොළුවී හඬා වැටීලා..

ඔබ හද මා හද රිදවන මොහොතේ..

ජීවිතයට හුරු පැරදුම හමුවේ..

නොදොඩා ගොළුවී බලා සිටින්නෙමු..

හඬ – සුනිල් එදිරිසිංහ

පද- සමන් ආතාවුදහෙට්ටි

ස්වර – රෝහණ වීරසිංහ

කවුරුන්ද ඔබ මගේ ගීතය ඇත්තටම විශේෂ ගීතයක්.. ඒ නිසායි මම ඉහත ඇහුවෙ මීට සමාන ගීතයක් තියෙනවද කියලා..

බොහෝ ප්‍රේම ගීත වගේම මෙතනත් ඉන්නවනෙ දෙනේනෙක්.. ඒ දෙන්නා අතර තියෙන බැඳීමක්.. නමක් නැති බැඳීමක් කියලා හිතෙන්නෙ ඒ දෙන්නට දෙන්නා තමන් කවුද කියලා සොයන්න උත්සහ කරන නිසා.. එතකොට නමක් නැති බැඳීමක් හැම විටම සෘණාත්මක සම්බන්ධයක් විය යුතු නැහැ නේද? හරි.. ඔවුන් දෙදෙනා ගතින් එක්තැන් වෙලා.. ගතින් එක්තැන් වීම විවාහයක්ම විය යුතුද? ඒක හමුවීමක් පමණක් වෙන්න බැරිද.. මෙහෙම හිතමු නිතරම මුණ ගැහෙන කතා බහ කරන ආශ්‍රය කරන දෙන්නෙක් වෙන්න පුළුවන් නේද? ඊළඟට මොවුන් දෙදෙනාම සිතිනුත් එක් තැන් වෙලා.. ගතින් කොහොම එක්තැන්ව හිටියත් සිතින් එක් තැන් වෙන එක..? ඒක හරිම විශේෂයිනෙ..

කවුරු මොනවා කිව්වත් හිතින් ඇති වෙන බැඳීම් හරි ප්‍රබලයිනෙ.. එතකොට මම ඔබත් එක්ක හිනා වෙනවා.. ඔබේ දුකේදිත් මගේ දුකේදිත් අපි දෙන්නාම කඳුළු හෙලනවා… ඊළඟට ප්‍රේමය ගොළු වෙලා.. මේ දෙන්නා අතර ප්‍රේමයක් තියෙනවා ඒත් ඒක සාර්ථක කරගන්න, තේරුම්ගන්න එකිනෙකාට කියාගන්නට බැහැ… මොකක් හරි බාධාවක් නිසා.. සමහර විට මේ දෙන්නා වෙන දෙන්නෙක්ට අයිති දෙන්නෙක් වෙන්නත් පුළුවන්.. ඉතිං මේ ගොළු වෙච්ච ප්‍රේමය ඔබේ හදත් රිදවනවා.. මගේ හදත් රිදවනවා.. තීරණයක් ගන්න බැහැ.. ඒ නිසා නොදොඩා ගොළුවී බලාගෙන ඉන්නවා..

මට දැනෙන්නෙ මේ ගීතයේ තියෙන්නෙ සුන්දර බැඳීමක් කියලා.. ඒත් බිරිඳ මගේ ඔබ ගීතය හරිම පැහැදිළිවම ඔවුන් දෙදෙනා විවාහක යුවලක්.. දෙමව්පියන්ට සමාජයට ඕනෑ නිසා අතිනත අරගෙන තවමත් අනිත් අය වෙනුවෙන් මවාපෑමක් කරමින් ජීවත් වෙන..

“`අමාලි වසුන්දරා“`

හදවත ගැඹුරෙන්ම ගැස්සිලා


හදවත ගැඹුරෙන්ම ගැස්සිලා

මුල හිතම  නළියද්දී

දෑස් වසාගෙ හිඳින්නේ 

නුඹෙ ගතම වෙවුලද්දී

තුන් හිතම ගිනිගද්දී

ඔය හුස්මෙ හිරවෙලා වෙලෙන්නෙ

මනමාලකම් පිරුණ

කලු පාට ඇස් ඇතුලෙ රිංගලා 

මන් ඉන්න ඉසව්වක් හොයන්නෙ   

මගෙ ගතම ගිනිඅරන් පිච්චෙද්දී

ලංවෙලා මුවට නුඹ

දෙදෙතොල් මගෙ සිඹින්නද

හදන්නේ

හීනියට වැව්න  නුඹෙ රැව්ල් කොට වැදුණමයිදකිනා හීනයෙන්  මන් අවදි   වෙන්නේ


නිශා