කස්තුරි (කෙටිකතාව )


හරිම ප්‍රභලයි.එක නරක සිතුවිල්ලක් මුලු ජීවිතේම නාස්ති කරන්නේ අපිටත් නොදැනීම. හරියට පිළිකාවක් වගේ,දැන ගන්නකොට බොහෝ වෙලවට ඔඩු දුවලා ඉවරයි. 

මම ජීවිතේ එක් නරක සිතුවිල්ලක් නිසා අවුල් කරගත් ගැහැනියෙක් වෙමි.ඒ ගැන මම මටම කියාගත්තත් තව කෙනෙක් ඒ ගැන කියද්දී මගේ හිතට එන තරහව; ඇත්තම කිව්වොත් කෙනෙව මරලා දාන්න වුනත් පුලුවන්.

” ශ්වේතා” මගේ ජීවිතේට මුනගැහුනේ නැත්නම් මීටවඩා මගේ ජීවිතේ ඇත්තටම ලස්සන වෙන්න තිබුනා කියලා හිතෙන වාර ගණන අනන්තයි අප්‍රමාණයි..ඒත් යෞවනෝදයේ සිට මෝරපු ගෑණියක දක්වා ගෙවුනු කාලසීමාව තුල මම ශ්වේතා කියන චරිතය මට අභියෝගයක් නොවුනු දිනයක් නැති තරම්..

” ශ්වේතා මිස්ගේ  ඇඟ හරිම ලස්සනයි නේද තෙහාරා මිස්….” 

” ඔව් ඉතින් මෙතන නටලා නටලා තව මොන නැටුම් නටනවා ඇතිද මිස්..මට පේන්න බෑ ඔය දෙකයි පනහේ පම්පෝරි කාරි..” 

ශ්වේතාගේ ගුණ ඇහෙද්දී දාරාගන්න බැරි තරහක් සිතට පැමිනීම වගේම කටට එන වචන වලින් බැනවැදීම  අන්තිමට පුරුද්දට ගියේ එහෙම. මම හැම මොහොතකම ශ්වේතාට විරුද්ධව ඉස්කෝලෙදි කතා කලා වගේම මට සීයට දෙසීයක් විශ්වාසයි ශ්වේතට ඒ දේවල් ආරංචි වුනා කියලත්. ඒ හැමදේම මම කලේ ශ්වේතා එක්ක රණ්ඩු වෙන්න හිතාගෙන වුනත් කිසිම දවසක ශ්වේතා මම එක්ක රණ්ඩුවකටවත් එක බැල්මකින් වත් තරහක් පෙන්නුවේ නැහැ .

” ගුඩ් මෝනින් තෙහාරා මිස්….” 

ශ්වේතා හිනා වෙලා උදේම සුභ පතනකොට මම කලේ ඇස් දෙක කරකවලා අහක බලාගන්න එක. එහෙම කරලා අවංකවම මම සතුටු වුනා ශ්වේතට රිද්දුවා කියලා..

” ඇයි මිස් හැමවෙලේම ශ්වේතා මිස්ට දෙකයි පනහේ ගෑනි කියන්නේ?”

එක දවසක් මිස් රූපා ස්ටාෆ් රූම් එකේදි මාව තනි කරගෙන අහද්දි මට හරිම කුරිරු සතුටක් දැනුනා. 

“අනේ මිස්,පම්පෝරි රැජිණ..මට පේන්න බෑ ….” 

මම සුපුරුදු උත්තරේම දුන්නේ මිස් රූපා මගේ පැත්තට ගන්න බලාගෙන.

” දරුවෝ ශ්වේතා කවද්ද පම්පෝරි ගැහුවේ? ඒ දරුවා උපතින්ම වැදගත් දෙමව්පියෝ ළඟ හැදුනේ වැඩුනේ, හොඳ ඉස්කෝලෙකට ගියේ, කැම්පස් එකෙන් ඩිග්‍රී එකක් ඇතුව මේ ඉස්කෝලේ උගන්නන්නේ.. මිස් තෙහාරා බොරුවට චෝදනා කරලා ස්ටාෆ් එකේ අනිත් අයටත් එපා වෙන චරිතයක් වෙන්න එපා…”

කනට ගැසුවා මෙන් මිස් රූපා කී වචන මගේ හීන මාළිගාව කඩා බිද දැමුවේ එලෙසිනි  . මිස් රූපා සියයට දාහක් නිවැරදිය. ශ්වේතාගේ ජීවිතය එසේ වෙද්දී මම කුඩා කල සිට අම්මාගේ තාත්තාගේ ආදරය නොලැබුවෙමි, උසස්පෙල අවසන් වනවාත් සමගම සුධාර සමග හදපානේම පැන ගියෙමි, එහි ප්‍රථිපලයක් ලෙස දැන් මට අවුරුදු තුනක පුංචි පුතෙක් සිටියි. ජීවත් වීමට රැකියාව උවමනා නිසා මා උගත් පාසලේම අභ්‍යාසලාභී සංගීත ගුරුවරියක් ලෙස සේවය කරන්නේ කරන්නට දෙයක් නැති බැවිනි. ඉදින් මාගේ ජීවිතයත් ශ්වේතාගේ ජීවිතයත් සැසැදීම ගල් අඟුරු ගොඩක් අසලින් අයිස් කැට තබනවා මෙනි..

“මිස් තෙහාරා පුංචි ආරාධනාවක් කරන්න ආවේ.. මගේ වෙඩින් එක ලබන මාසේ..මේ මිස්ගේ ඉන්විටේශන් එක..පුලුවන් නම් එන්න…”

දිනක් ශ්වේතා විවේක කාලයේදී ඇත්දළ වර්ණයෙන් නිමවූ මංගල ආරාධනා පත්‍රය මගේ අතින් තැබුවේ සුපුරුදු සිනාවෙන්ම සංග්‍රහ කරමිනි.

” වෛද්‍ය සාරංග අස්මඩල හා ශ්වේතා ලංකේශ්වරගේ අතිනත ගැනීමේ….” 

මා කියවූයේ එපමනකි. කාඩ් පත කෑලි කෑලි වලට ඉරා දමා කුණු කූඩයට දැමුවෙමි. දෑස් වලින් වෛරයේ කදුලු ගලද්දී දිවා රෑ නොබලා ලංගම බස් රථය පදවන සුධාර මට මැවි මැවී පෙනුනි.. කොටින්ම මට මගේම ලෙයින් ජාතක වූ දරුවා ගැන පවා ආවේ කියා නිම කල නොහැකි කේන්තියකි.

දිනෙන් දින ගෙවී ශ්වේතාගේ මංගල දිනය උදා විය. ඊට සහභාගි නොවූ එකම ගුරුවරිය මම විය. සත්‍ය නම් මා නැතැයි කියා කිසිවෙක් ඒ ගැන තඹ සතයකට මායිම් කරන්නටද නැති වග මා දනිමි..

මගේ සිතේ ශ්වේතා කෙරෙහි බුර බුරා නැගෙන වෛරය පුපුරුගසන්නට විය..ඈ  නිසාම මට මගේ දරුවාගේ යුතුකම්ද අමතක විය. මට බැන වදිමින්ම සුධාර ගේ අම්මා දරුවා බලාගත්තාය.මම දිගින් දිගටම ශ්වේතාට වෛර කලෙමි..

අවසානයේ ශ්වේතා පාසල් ගුරු ජීවිතයෙන් සමුගත්තේ නර්ථන කතිකාචාර්ය වරියක වෙමිනි. ඇයගේ සමුගැනීමත් සමගම ත්‍රී රෝද රථ රියැදුරෙකු සමග පැවතුනු මගේ අනියම් සම්බන්ධය පාසලේ බොහෝ දෙනෙකුට ආරංචි වී මා දෙස විදුහල්පතිතුමියගේ සිට පාසල් භූමිය අතුගාන කම්කරුවා දක්වා පිළිකුලෙන් බලද්දී මට තවත් පාසලට යාමට නොහැකි විය.

ජීවිතේ අපායක්ම විය. නැන්දම්මා මා නිවසින් එලියට ඇද දමද්දී මගේ දෙමාපියන්ද මා බාර ගත්තේ නැත. උපයාගත් දෙයක්ද නැති මම පාරවල් ගානේ රස්තියාදු වී අවසානයේ නතර වූයේ අංගොඩ මානසික රෝහලේය.

” ඩොක්ටර් කවදා වගේ තෙහාරාව  ගෙදර යවන්න පුලුවන් වෙයිද?” 

සුපුරුදු පරිදි උදෑසනම මා පරීක්ශා කරන මනෝ වෛද්‍ය අහිංසා සිංහබාහුගෙන් අසල වූ හෙදියක අසයි..

” හ්ම්ම් තව ටික දවසකින් තෙහාරට යන්න පුලුවන්..නේද තෙහාරා?” 

තෙවසරකට පමන පසුව මා අංගොඩ මානසික රෝහලෙන් පිටතට ආවෙමි. දැන් මා හතලිස් හැවිරිදි ගැහැණියකි.. සුධාර සොයා ගියෙමි. ඔහු තවමත් මා පිළිගන්නේ නැත..එබැවින් මා මගේම දෙමාපියන් සොයා යෑමටද ගත් තීරණය අත් හලෙමි.

අඳුර වැටෙන තුරු ඇවිද්දෙමි.තැනින් තැන වැටි උපකාර ඉල්ලුවෙමි.කල පව් පසුපස එනවා මෙන් කිසිම පිළිසරණක් කිසිවෙකුගෙන් නොලැබුනි..ඇවිද හෙම්බත් වී අවසානයේ එක් පුණ්‍යා භූමියක් ඉදිරිපිට මගේ දෙපා නතර වූයේ මටත් නොදැනීමයි..

” අමරාවතී සිල්මෑණි ආරාමය” 

දොළොස් මසකට පසුව මම,

” වෙළගෙදර ධම්මදින්නා  මෙහෙණින් වහන්සේ” 

නම් විය.. 


තක්ෂිලා ඒකනායක

කවුරුන්ද ඔබ මගේ


කවුරුන්ද ඔබ මගේ

මීට සමාන අදහසක් තියෙන තවත් ගීත තියෙනවද..

කවුරුන්ද ඔබ මගේ..

කවුරුන්ද මා ඔබේ..

දෙතොල් සලා මුදු සිනහ නගන්නෙමු

දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු..

හදවත් ගැහෙනා රිද්මය අතරේ….

සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු..

ප්‍රේමය ගොළුවී හඬා වැටීලා..

ඔබ හද මා හද රිදවන මොහොතේ..

ජීවිතයට හුරු පැරදුම හමුවේ..

නොදොඩා ගොළුවී බලා සිටින්නෙමු..

හඬ – සුනිල් එදිරිසිංහ

පද- සමන් ආතාවුදහෙට්ටි

ස්වර – රෝහණ වීරසිංහ

කවුරුන්ද ඔබ මගේ ගීතය ඇත්තටම විශේෂ ගීතයක්.. ඒ නිසායි මම ඉහත ඇහුවෙ මීට සමාන ගීතයක් තියෙනවද කියලා..

බොහෝ ප්‍රේම ගීත වගේම මෙතනත් ඉන්නවනෙ දෙනේනෙක්.. ඒ දෙන්නා අතර තියෙන බැඳීමක්.. නමක් නැති බැඳීමක් කියලා හිතෙන්නෙ ඒ දෙන්නට දෙන්නා තමන් කවුද කියලා සොයන්න උත්සහ කරන නිසා.. එතකොට නමක් නැති බැඳීමක් හැම විටම සෘණාත්මක සම්බන්ධයක් විය යුතු නැහැ නේද? හරි.. ඔවුන් දෙදෙනා ගතින් එක්තැන් වෙලා.. ගතින් එක්තැන් වීම විවාහයක්ම විය යුතුද? ඒක හමුවීමක් පමණක් වෙන්න බැරිද.. මෙහෙම හිතමු නිතරම මුණ ගැහෙන කතා බහ කරන ආශ්‍රය කරන දෙන්නෙක් වෙන්න පුළුවන් නේද? ඊළඟට මොවුන් දෙදෙනාම සිතිනුත් එක් තැන් වෙලා.. ගතින් කොහොම එක්තැන්ව හිටියත් සිතින් එක් තැන් වෙන එක..? ඒක හරිම විශේෂයිනෙ..

කවුරු මොනවා කිව්වත් හිතින් ඇති වෙන බැඳීම් හරි ප්‍රබලයිනෙ.. එතකොට මම ඔබත් එක්ක හිනා වෙනවා.. ඔබේ දුකේදිත් මගේ දුකේදිත් අපි දෙන්නාම කඳුළු හෙලනවා… ඊළඟට ප්‍රේමය ගොළු වෙලා.. මේ දෙන්නා අතර ප්‍රේමයක් තියෙනවා ඒත් ඒක සාර්ථක කරගන්න, තේරුම්ගන්න එකිනෙකාට කියාගන්නට බැහැ… මොකක් හරි බාධාවක් නිසා.. සමහර විට මේ දෙන්නා වෙන දෙන්නෙක්ට අයිති දෙන්නෙක් වෙන්නත් පුළුවන්.. ඉතිං මේ ගොළු වෙච්ච ප්‍රේමය ඔබේ හදත් රිදවනවා.. මගේ හදත් රිදවනවා.. තීරණයක් ගන්න බැහැ.. ඒ නිසා නොදොඩා ගොළුවී බලාගෙන ඉන්නවා..

මට දැනෙන්නෙ මේ ගීතයේ තියෙන්නෙ සුන්දර බැඳීමක් කියලා.. ඒත් බිරිඳ මගේ ඔබ ගීතය හරිම පැහැදිළිවම ඔවුන් දෙදෙනා විවාහක යුවලක්.. දෙමව්පියන්ට සමාජයට ඕනෑ නිසා අතිනත අරගෙන තවමත් අනිත් අය වෙනුවෙන් මවාපෑමක් කරමින් ජීවත් වෙන..

“`අමාලි වසුන්දරා“`

හදවත ගැඹුරෙන්ම ගැස්සිලා


හදවත ගැඹුරෙන්ම ගැස්සිලා

මුල හිතම  නළියද්දී

දෑස් වසාගෙ හිඳින්නේ 

නුඹෙ ගතම වෙවුලද්දී

තුන් හිතම ගිනිගද්දී

ඔය හුස්මෙ හිරවෙලා වෙලෙන්නෙ

මනමාලකම් පිරුණ

කලු පාට ඇස් ඇතුලෙ රිංගලා 

මන් ඉන්න ඉසව්වක් හොයන්නෙ   

මගෙ ගතම ගිනිඅරන් පිච්චෙද්දී

ලංවෙලා මුවට නුඹ

දෙදෙතොල් මගෙ සිඹින්නද

හදන්නේ

හීනියට වැව්න  නුඹෙ රැව්ල් කොට වැදුණමයිදකිනා හීනයෙන්  මන් අවදි   වෙන්නේ


නිශා

Concentrated Solar Power (CSP)


“සුර්ය විදුලිය” කියපු ගමන් අපේ මනසට එකවරම නැගෙන්නේ නිවසේ වහල මත සවි කරන සුර්ය පැනය පද්දතියක්. මේ ලිපියෙන් අපි කතා කරන්නේ අපි නිතර දකින සුර්ය කෝෂ තාක්‍ෂණයට පරිබාහිර වූ එහෙත් සුර්ය ශක්තියෙන් විදුලිය නිපදවන වෙනත් තාක්‍ෂණයක් ගැන. මේ විදුලි උත්පාදනය ක්‍රමයට කියන්නේ concentrated solar power (CSP) කියල. මෙහි සුර්ය කෝෂ වෙනුවට තියෙන්නේ කණ්නාඩි හෙවත් දර්පණ. හිරුගේ පිහිටීම අනුව දර්පණ වල පිහිටීම වෙනස් කිරීමට tracking system එකක් භාවිතා කරනවා බොහෝ විට. මේ ක්‍රමයේ තාක්‍ෂණික පසුබිම අපි හැමෝම වගේ පුංචි කාලේ භාවිතා කරපු ක්‍රමයි.

උත්තල කාචයකින් සුර්යාලෝකය එකට එකතු කරලා කඩදාසි, පුළුන් කෑලි වගේ දේවල් පුච්චපු අතීතයක් අපි හැමෝටම වගේ තියෙනවා. එතැනදී සිදුවුනේ සුර්ය තාපය එක තැනකට කේන්ද්‍රගතකිරීම නිසා එතන විශාල තාප ශක්තියක් එකතු වීම. මේ පදනම ම තමයි මෙම CSP තාක්‍ෂණයේත් තියෙන්නේ. මෙතැනදී වෙන්නේ බිම සවිකර තිබෙන දර්පණ මගින් සුර්යාලෝකය උස් කුළුණක් මත ඇති තාප අවශෝෂක පද්ධතියක් මතට  පරාවර්තනය කරනවා. දර්පණ දස දහස් ගණනකින් පරාවර්තනය කර එවන මේ සුර්ය කිරණ නිසා මෙම තාප අවශෝෂණ පද්ධතියේ  ඉතා ඉහළ උෂ්ණත්වයක් ඇති වෙනවා (ඇතැම් විට සෙල්සියස් අංශක 1000ක පමණ). මේ උෂ්ණත්වය භාවිතා කර හුමාලය නිපදවා එමගින් විදුලිය නිපදවනවා. ඇතැම් CSP විදුලි බලාගාර වල අවශ්‍ය විටෙක විදුලිය නිපදවීම සඳහා ඉහල තාප ධාරිතාවකින් යුතු ද්‍රාවණයක් රත් කර ගබඩා කර තබා ගන්නවා. ඉන්පසු, අවශ්‍ය විටක එම ද්‍රාවණයෙන් තාපය ලබාගෙන හුමාලය නිපදවා විදුලි නිෂ්පාදනය් කරනවා.

මේ වන විට CSP තාක්‍ෂණය වාණිජ මට්ටමින් විදුලිය නිපදවීම සඳහා භාවිතා කරනවා. මෙහි වැඩිම භාවිතාව වාර්තා වන්නේ ස්පාඥයෙන් – 2014 වන විට ස්පාඥය සතු CSP ධාරිතාව මෙගා වොට් 2,300 බව තමයි විකිපීඩියා වෙබ් අඩවියේ සඳහන් වන්නේ. මිට අමතරව ඇමෙරිකාව, ඉතාලිය, ඔස්ට්‍රේලියාව මෙන්ම මැද පෙරදිග රටවල් වලද CSP තාක්‍ෂණය භාවිතා වනවා. ලොව විශාලතම CSP විදුලි බලාගාරය තිබෙන්නේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ – එය මෙගා වොට් 392ක්.

Back Cover

හීනයක්..

නුඹ සුන්දර හීනයක්…

දුටුව අවසන ලොබින් බැඳෙනා

සැනසුමක් පිරි හීනයක්…

දැන දැනත් යලි නොදකිනා බව

පෙරුම් පුරනා හීනයක්….

දෑල නෙතු පිය තදින් පියවා

මතකෙ පීරන හීනයක්….

පියවි ලොව තුළ සැබෑ නොවනා

සොඳුරු අරුමැසි හීනයක්…


සුරේඛා