
Category: Quotes
ආදරයේ දුක
දරාගත් හැමදේම
කියන්න හිටියේ නුඹම
විතරයි හැමදේම …
තනිකමට හෙලූ
සුසුම්වල බර දැනුනේ
නුඹට විතරද හැම රෑම …
ඉකිගසා හඩද්දී
නොසැලී හිටියෙත්
එහෙම තමයි මගේ
දුක ගාව …
තවත් වද දෙනු
කුමට හැර යන්නට
මග බලන් ඉන්නා නුඹට …
අරන් ගිහින් විසි කරන්න
නුඹට උරුම උන
මගේ පෙම …
එන්න එපා ආයෙත්
මගේ හිත ගාවට
නුඹ හැදින ගන්න
බැරි වේවි
මැරි මැරී ඉපදුන හදවතට …
ගගන ගුරුගේ
ඔබ මා හා…
හීන්වට ආ වැහිපොදක් සේ
අසෙනි වරුසාවක් නොවී
රැදී ඉන්නවාද හැමදා
ලෙංගතුව මා ලග රැදී…
මිතුරු සුළගට කියාපන් තව
බොහෝ ඈතට නොම ඇදී
සියොත් ගී රාවක් වගේ හිද
තවන්නට හද සෝ ගිනී…
ගෙතෙන ගී පද අරුත් විමසා
පලක් නැත කිසි දින රැදී
ගැහෙන පණ නල තනග පිණි නම්
මොකට කැටයම් සැණකෙළී…
මතක සිතිවිල්ලක වෙලාගෙන
කදුල සිනහව හා වෙළී
ජීවිතේ මග නොහැරගෙන විත්
හිදිනවද මාහා බැදී…
රීනා
අවම සදාචාරය
අවම සදාචාරය
ලියොන් උඹ චරිතයක් – සිනමාව මත ඇඳුණු
අපරාධකාරයෙක් – අණගුණක් නොම තිබුණු
නැතත් දුක, දනන් ගැන – නුඹෙ අතින් මිය ඇදුණු
පාරවන මතකයක් – නුඹෙ මරණෙ හා බැඳුණු
යන්ත්‍රයක් වගේ වැඩ – කලත් එක සීරුවට
හදවතේ මෙලෙක් බව – තේරුණේ මැටිල්ඩට
ආලයක් නැති වුණත් – කාලයක් ගෙවෙන විට
ඇගෙ ඇසුර දිව ඔසුව – වුණා ඔබෙ පාලුවට
ඇයට විපතක් වෙන්න – නොදී ඔබෙ දිවි පිදුම
පෙන්වුවා පෙමට වැඩි – වටින දේ වගවීම
මිනීමරුවෙකු වුවත් – ලැබුණ දේ සෙනෙහසම
ඔබට තිබු නිසා ඒ – සදාචාරය අවම
තාරක ජයතිලක
ආදේශක
මදහසින් මා දිහා – බැලූ පළවෙනි දවස
නිසැකයෙන් තේරුණා – ඔබේ ලෙංගතු හැඟුම
පොඩි පුතුන් පාසලෙන් – රැගෙන යන විට හවස
වැඩි කතා නැති අපෙත් – ඇරඹුණා මිතු බැඳුම
මිල අධික මගෙ ඇඳුම් – ආභරණ විලවුන් ද
නිල රථය දුටු ගමන් – පිපුනි වත මකරන්ද
කිලි නැතිව ගරුසරුව – පෙන්වූවෙන් මා වෙතම
බිලි දෙන්න සිතුණෙ නෑ – දැවටුණත් ගිනි ලඟම
කල් යත්ම වල්මත්ව – කෙමෙන් අමතකව මුල
ඉරිසියාවෙන් වැඩී – නිබඳ කියවමින් කුල
අහිමි උණුසුම සෙවූ – නිසා මහිමියන් තුල
නැරඹුවෙමි වැටෙනු ඔබ – ඔබ විසින් කැපුව වල
තිබුණ මුත් වස්තුව ද – දේපළ ද අපමණව
රකුසෙකුට බැඳුණු මා – සිටියෙ ගැලවෙනු බැරිව
කල්නොයා පෙනෙන විට – උගෙ දරුණු විස තරම
වැටහේවි සැණෙකින්ම – මගෙ ද ඔබගෙ ද දිනුම
තාරක ජයතිලක
නෝන්ජල් හිත
අනේ බං හිත..
උඹ නම් කවමදාවත්
මට්ටු වෙන්නෙ නෑ..
නෝන්ඩි කරවන එකේ
ඉවරෙකුත් නෑ..
ගින්දර දකිනකොට
ගින්දරට ලංවෙලා
උඹ පුච්චගන්නවා..
වතුර දකිනකොට
වතුරට පැනලා
හැමදාම නා ගන්නවා..
උඹ නිතරම දන්නවා
උඹ කරන්නේ වැරද්දක් වග
ඒත් උඹ කරනවා..
දැන දැනම කරනවා..
පස්සෙ බොරුවට
දුක් වෙනවා, හූල්ලනවා..
යකෝ හිත..
පොඩ්ඩක් හිතපන් බං
උඹට තියෙන්නෙ
සම්පූර්ණයෙන්ම හිතක්
ඕක පාවිච්චි කරපන්..
හිතපන්..හොඳට හිතපන්..
උඹට ජීවිත කාලයටම
එක දෙයයි ලොකුවටම
කරන්න තියෙන්නෙත්
උඹ අවැසි වෙලාවට
ඒකමයි නොකරන්නෙත්..
හිතපන් යකෝ හිතපන්
උඹ කරන වැඩ නිසා
අර ශරීරයාගෙ රෙද්ද බිම..
උඹට හිතක් තිබ්බට
නෑනේ හොඳ පපුවක්..
මචං හිත..
දෙයක් වුණාට පස්සෙ නොහිතා
වෙන්න ඉස්සෙල්ලා
හිතපන් බං..
මේ හැමදේටම මුල
උඹයි යකෝ ” හිත “
චරියාගේ පන්හිඳ
ඔත්තුව
අප්පා නැති වුන් දෙන්නා එක්කම
රැක්කෙ දිවි මම තට්ට තනියම
මහ ඇතා ළඟ පාත නැතුවම
තනි එකා අනෙ වුණේ “තනියා” ම
කෑම වේලක් මගහැරෙනකොට
ගඩා ගෙඩියක් හොරෙන් කෑවට
ලොකු වැරැද්දක් කරලා නෑ ඌ
පිටින් ගියෙ නෑ මගේ වචනෙට
ටිකින් ටික උස් වෙලා කර දඬු
හම්බ කෙරුවේ කරලා වැඩ වඩු
මටයි දූටයි කෙරුවෙ නෑ අඩු
කොහේවත් උට තිබ්බෙ නෑ නඩු
ඉඳලා හිටලා ටිකක් බිව්වට
කොල්ලො එක්කලා කරක් ගැහුවට
මේ ලඟක් වෙනකල්ම නොතිබුණි
කිසිම නරකක් උට කියන්නට
ලඟදි ඉඳලා වැඩි කතා නෑ
නිදාගන්නෑ, බඩගිනිත් නෑ
හේතු කිසිවක් කිව්වෙවත් නෑ
යකෙක් වැහුණද කියා දන්නෑ
සල්ලි ඉල්ලා කලත් කරදර
උකස් කෙරුවත් මගේ කණකර
දරුව හින්දා ඉවසුවේ මං
සියලු දුක් ගිනි හිතේ තදකර
අයියගෙයි නංගිගෙයි රණ්ඩුව
ඇවිලුවා මගෙ හිතේ ගින්දර
තව පමා වූවොතින් බැරිවෙයි
රකින්නට කෙල්ලගේ නම්බුව
සර් මම මයි දුන්නෙ ඔත්තුව
කසුන් ජයතිලක
සිරිසුභ නව අවුරුද්දේ…
ගිමන් හලන වැහැරුනු කය
වාරුවටම වාඩිවෙලා
ඈත ඉමක සිතිජ කොනේ
මැවෙන රූ රටා,
සිතපු පතපු සමහර තැන්
අතරමගින් නැවති බලා
අතීතයක රූප මැවෙයි
මීදුමෙන් වෙළා…
දිනෙන් දිනම ජීවිතයක
ශේෂ වෙවී වියැකෙන පණ
තදින් බදා යදම් වෙලා
නවතනු බැරිදා,
කිනම් අරුත් පහදන්නද
ලොබ බැද ගත් කාසි පනම
සතර වරම් ලැබුවද මතු
හිමිඅහිමි වෙනා…
එපා කිසිත් පොදි බදිනට
දිරන කයට දිරියක් නැත
කල පිං පව් මතු උපදින
දා ඵල ලබනා,
අවුරුද්දක නියම අරුත
කාලය රන් හා සමවෙන
රිදවපු සිත් සුවපත් කොට
සව්සිරි පුරනා…
සිරිසුභ නව අවුරුද්දේ
කිරි ඉතිරෙන අනාවකේ
නව මංපෙත් විවරණයක
සේයා පෙනෙනා,
හීන මවපු නව ලෝකේ
එකම දැයක දරුවන් සේ
එකාවන්ව එකමුතුවී
සැම සවි වඩනා…
රීනා
ඇයි මෙහෙම
ලං වෙන්න බැරි තරම්
ටිකෙන් ටික
නුඹ දුරස් වෙනවා …
දුන්න ආදරේ නුඹ මට
හැම අතේ
මං තාම සොයනවා …
වරදක් නොකර මම
නිතර නිතර
වැරදි නුඹ දකිනවා …
හැම දේම දරාගන මම
අනේ ඉතින්
නුඹ තවම පතනවා …
ගෙවුණු හැටි පෙර දිනක
අපි අපට
සෙනෙහසින් ලං වෙලා …
වින්ද හැගුමන් තවත් ඇත
දරාගන තනියම
හිතේ කොනක හිරවෙලා …
හමුවුනත් මඟ
හමුනොවුණු ගානට
යන්න අද සිදු වෙලා …
වරදක් කළා නම් නුඹට
එකම වරද
හුස්ම තරමට පෙම් කලා …
ගගන ගුරුගේ
පෙම් කව
මා දිහා ආදරෙන් නෙත් හෙලූ දා –
සිත් ගැබේ සහස් මල් පීදුණා
ගං තෙරේ අත් වෙලී රහස් කී දා –
සිත මගේ ඔබෙ නමට නතු වුණා..
මෙතුවක් කල් මා පෙම් කලා වූ, රෑ සිහිනෙන් ළං වුණා වූ
සුර කුමරිය අද මගේ සතු වෙලා..
මෙතුවක් කල් මා මග බලා වුන්, පෙම් පැතුමන් ඉටු කලා වූ
ඔබෙ සෙනෙහෙන් මා හැඟුම් මත් කලා..
පෙර සසරේ පුරුදු විලසින් – දැනුණා මට මුල් දිනේ
මතු සසරෙත් රැඳෙන විලසින් – අපෙ හදවත් යා වුණේ
මගෙ ලෝකේ වේදනාවන් – ඔබෙ තුරුලේ දියවුණේ
පෙම් ලෝකේ මල් සිනා කැන් – තරු වැස්සේ නැහැවුණේ
තාරක ජයතිලක