අනේ නුඹ දන්නවනම්,

මේ හැම අහඹු තප්පරයකම මට නුඹව මතක්වෙන බව.

මට මගේ කියන්නට තිබෙනා හැම සිතුවිල්ලකම නුඹ  ඉන්න බව,

කවදාවත්  එක් කළ නොහැකි අපේ දෛවයේ මම ආසම දවස් කිහිපය ගෙවුණේ නුඹ එක්ක බව

අතින්වත් නොඇල්ලූ ආදරණීය මොහොතවල් ගෙව්නේ නුඹ එක්ක බව,

හිතෙන්, මනසින් බන්ධනය වුණු අපූරු හැඟුම් කෝටියක් පපුවෙ දරාගෙන නුඹ එක්ක බව,

මන් ආසයි

හැම සුළගකටම නුඹ ගැන රහස් කියන්න,

මම නැතත් නුඹ ඉන්න තැනකට ඇවිත් මගේ ආදරේ කියන්න කියලා ඉල්ලන්න.

මේක හරි පිස්සුවක්

හැබෑවටම විකාරයක් වෙලාවකට ,

මිනිස්සු කියාවි දහසකුත් කතන්දර, අපේ හමුවීමට, අපේ වෙන්වීමට අරුත් දේවි,

ඒත් අපි ගැන, අපි තරම් වෙන කවුරුනම් දැනගන්නද,

මතකද දවසක් කිව්ව නුඹ  වෙන් වුණොත් අපි කවදහරි හදිසියෙම, හේතුවක් කියාගන්නවත් බැරිව,

නුඹටමන්  ඉතිරිකර යන වග,

මගේ හිතේ හැම මතකයක්ම නිදන්කර

ඔව්,

මේ තරම් කාලයක් ගෙවිලත්,තවමත් නුඹ මගෙ හදවතේ හිටපු තැනම එහෙමම

මන් දන්නෙ නෑ කවද කොහොම නුඹව අමතක කරන්නද ,

මන් තාම දන්නෙ නෑ

ප්‍රේමනීය වෙන්වීම් කියන්නේ මේ වගේ වෙන්වෙලත් හිතේ තියාගෙන විදවන එකටද                නිශූ

– හෙදියක් කළ හදියක් –

සහලෝලා උණ හැදිලා      වෙව්ලගෙන

හිටියා මා කාමරේට වී        ඉවසගෙන

ඇඳ උන්න සරමත් බාගෙට  එල්ලගෙන

ඉස්පිරිතාලෙට ගියේ පිය මා උස්සගෙන

ප්‍රයිවට්ද පුතේ යන්නේ පියා ඇසුව   සැණින්

ඔව් තාත්තේ යැයි කියවුණි අසුරු   සැණින්

තාත්තත් අනේ විතවුට් එනි    හෙසිටේශන්

එක්කන් ගියා මා ඇතුළට තුරුළු      කරන්

යුහුසුළුව වැඩ කරනා           සේවකයන්

ඒ මේ අත මන බඳනා සුදු        හෙදියන්

මාත් ඉතින් දත් තිස්දෙක එළියෙ    දමන්

හිනාවුණා රෙදි කඩකින් ඔළුව      වහන්

අඩ සුදු වතෙන් සැරසුනු මනරම්  හෙදියක්

ආවා මවෙත වනමින් ඇගෙ කෙස් කළඹක්

මොකද වුණේ යැයි ඇහුවා නැමිලා  මදක්

දැන් නම් මෙමෙට නෑ මෙලොවේ  සිහියක්

රෙදි කඩ ඉවතලා මගෙ නළලට අත    තියලා

උණ කටුව ගෙන සොලවා කට තුළ      ඔබලා

දෙනෙත් තවම නැත මා නම් ඉවතට යොමලා

දියෙන් කිර වෙන් කරනට මා සටනේ   යෙදිලා

මුහුණ නොවේ වෙනතක මා බලනයුරු

ඇයටත් ඒක වැටහීගෙන එන     අයුරු

ලොව නැති කවි ගී මුවගට එයි   මියුරු

උණ වැඩිවෙලා වාගේ දැන් මට   වියරු

ඕකට හොඳ බෙහෙතක් ඇතැයි   කියා

ඇය දොර වහගෙන එළියට යන්න ගියා

එන පොට එතරම් හොඳ නොවන නියා

හිටියා ඇඳේ ගුලිවී ඇස්දෙකම     පියා

අවා තට්ටු කර ඇතුළට පිරිමි      මිසී

කොහොමද පුතා යැයි එකවරම  ඇසී

ඇසුවා මා කොහෙදැයි පෙර ආපු මිසී

කිව්වා එයා නම් දැන් ගොඩක්     බිසී

දහදිය දැම්මා සේ එකවර මාගේ  ගතේ

සොඳුරු හීන බොඳ විය ඒ නැගුන හිතේ

පියා මගේ ලං වී අත තියලා         හිසේ

ඇහුවා කොඳුරලා “දැන් සනීපයිද පුතේ?”

නුඹ දුටුව දිනයක් මතකේ නැතිය.

නුඹ දුටුව දිනයක් මතකේ නැතිය.

නුඹේ කටහඬ ඇසුනු දිනයක් ඇත්තේ මීට බොහෝ කලකට පෙරය

අහම්බෙන්වත් නුඹ දකිනු කැමැත්තෙන් මා නුඹව සොයනවිට

නුඹ යාන්තම් හෝ දැකීම මාගේ හුස්මත් නතර වන හැගීමකි,

එය සතුටක්ද,රිදුමක්ද,යන්න වෙන්ව හදුනාගැනීමට මා නොදනිමි .

තවත් නුඹේ පපුව තුළ මට  ඉඩක් නොමැති බැව් හොඳාකාරවම මා දනිමි.

එහෙයින් නුඹව සැබවින්ම දැකීමට සිතුණු හිත නවතා දැමුවේ ආයාසයෙනි.

අප එකට ආ මාවතේ හැරවුම මීට බොහෝ කලකට පෙර අපට හමු වුණි.

එය මා ජිවිතයම එක තැනක නතර වන හැරවුමක් යැයි නුඹ සිතන්නට ඇතිදැයි මා නොදනිමි .

මාවත් දෙකක ගියද මා  තවමත්  ගමන් කරන්නේ නුඹේ මතකයන් වලට සමාන්තරවමය.

මන්  නුඹව දකිමි,

නුඹව දරාගමි,

මා දෙනෙත් වසාගන්නා සෑම මොහොතකම නුඹ නිදන්නේ මාගේ පපුව මතය.

මට  තවමත් නුඹේ සුසුම් දැනේ.

මා මියයන දිනයක් වනතුරු  මේ සියල්ල මට හිමිය,

මා දෑස් ඉදිරියේ  ඔබේ ජීවිතයේ ලස්සන සියල්ල සිදු වනු ඇත.

එය දැකීමට ,ආශිර්වාද කිරීමට හදවතේ කිසිදු කිලිටක් නැතිවම මට කළ හැකිය .

එය නුඹ විශ්වාසකළ යුතු සත්‍යකි.

බලා හිඳීමත් යම් විදිහේ ආදරයක් හා සැනසීමක් දනවන දෙයක් යැයි මට සිතේ

මා එසේ කරමි..

නුඹ සමග තනාගත් ඒ ආදරෙයේ  කැදැල්ල තුළ මා ජීවත් වෙමි,

සිනාසෙමි…හඬමි…

දැවෙමි….නිවෙමි….

නුඹ පපුවේ දරාගෙන දිනෙක සැනසිල්ලේ මියයමි.

එදිනටත් මන් නුඹට ආදරේ කරමි.        නිශූ

– අවසන් ඇමතුම –

‘පුතේ පපුව රිදෙනවා’ කිව් පසුව    මෙමා

‘තාත්තා පරිස්සමක් නෑනේ’ කිව්වා   පුතා

අද නම් පුතේ වැඩිපුර මට රිදෙයි    කියා

කීවත් පුතු පයිසෙට මායිම් නොකර  ගියා

ඇස් දෙක මගෙ උණු කඳුළින් ඉනුව  නියා

කඳුළු පිසින්න දිනිතිය දැන් නොමැති නිසා

තනිව පාළුවෙන් යහනක ඉන්න        නිසා

මගේ මතකෙ අතීතෙටම රැගෙන      ගියා

පුතු ඉපදුන දිනවල මට නින්දක් කොහිද

නිතර බලන්නේ පුතු මගෙ    අසනීපෙන්ද

ගෙට ගොඩ වන්නේ අහලා පුතු   කෑවාද

පුතු නළවන්න කෙතරම් ගී පද     කීවාද

ලොව හොඳම දේ දෙන්නට පුතුට  මගේ

වෙහෙසුනෙමි රෑ එළිවෙනකම්ම   වගේ

සතපහ නැති දිනට දුක තද කරන් හිතේ

වතුර ඩිංඟක් බී නින්දට ගියා        පුතේ

හොඳම පාසලක් අකුරට නුඹට  පුතේ

හැමට වඩා ඕන වුණේ මටයි     පුතේ

සල්ලි තිබ්බෙ නෑ මට යහමින්ම අතේ

ණයත් වෙලා ඒකත් මං කළා     පුතේ

අතේ පයේ පොඩි සීරිමක් වුණත්  නුඹේ

කලබල වෙලා දුක ගත්තෙත් පියා නුඹේ

කහවණු නැතත් බිම්බිසාරටම    වගේ

හැම සැප දුන්නා අඩුවක් නැතිව  අගේ

විභාග සැම පුතු ඉහළින් සමත්   වුණා

රැකියාවත් පුතු මහිමෙට හිමිම   වුණා

ඩිංග ඩිංග කරදඬු උස් මහත්     වුණා

ආඩම්බරෙන් මගෙ හදවත සතුටු වුණා

පුතුගෙ විවාහෙට සල්ලිත් ඕන    නිසා

ඉසිඹු ලැබුවා මම පස් වසරක්ම තියා

ගම් හතටම හොඳහැටි මඟුල්   කියා

පුතු තුට දැක මගෙ දුක සැඟව   ගියා

මතකයේ ගිලී යහනේ මා දැන් වැතිර

පපු රිදුමේ වැඩි වේගෙන එයි    නිතර

දුරකථනෙන් පුතු හට ඇමතුව   අතර

‘මීටිමක ඉන්නේ’ එපාලු කතාව නිතර

පුත නුඹ පියාට කතා බැරිය අදින් මතු

හුස්ම මගේ හිරවීගෙන එනවා     පුතු

අවසන් වරට වදනක් ඇත කිවම යුතු

අජාසත් සේ පසුතැවිලි නොවන්    පුතු

________________________ච | රි | යා_______

ප:ලි:   රැකියාව, මිල මුදල් හෝ වෙන යම් භෞතික වස්තූන් ඉදිරියේ වහල් නොවී දිවියේ උත්තරීතරම වස්තූව වන දෙමාපියන්ට දැක්විය යුතු සෙනෙහස, ආදරය, රැකවරණය නොඅඩුව ලබා දීමට වග බලා ගන්න. නැතහොත් නිසැකවම දිනෙක ඔබ පසුතැවිලි වනු ඇත