2024 – Jan – 02

චිත්තධර්ම

විස පෙවූ හීය (poisoned arrow):

ඔබත් ප්‍රායෝගික ප්‍රශ්නවලට ඉක්මන් විසඳුම් සෙවීම පසෙක තබා දාර්ශනික තර්ක විතර්කවල යෙදෙන අයෙක් ද? ඔබ එසේ නොවුනත් එසේ හැසිරෙන අය පිළිබඳව ඔබ දන්නවා වෙන්නට පුළුවන. මෙම විස පෙවූ හීය පිළිබඳ බෞද්ධ මනෝ විශ්ලේෂණය එවන් හැසිරීම සහිත අය වෙනුවෙනි. 

විස පෙවූ හීය පිළිබඳව උපදේශ කථාව සඳහන් වන්නේ මජ්ඣිම නිකායේ චූල මාලුන්ක්‍ය සූත්‍රයේ ය. ඒ සූත්‍රයේදී බුදුරජාණන්වහන්සේ වදාළේ ජීවිත ගැටළු සඳහා ගතයුතු ප්‍රවේශය විය යුත්තේ  ප්‍රායෝගික ප්‍රවේශය (pragmatic approach) මිස පාරභෞතික හෙවත් ලොවෙත් නැති ප්‍රවේශය (metaphysical approach) නොවිය යුතු බවයි.

බුදුරදුන් හමුවට පැමිණි මාලුන්ක්‍ය නම් භික්ෂුවක් තමන්ට තිබූ පාරභෞතික ප්‍රශ්න (metaphysical questions) 14 ක් සඳහා පිළිතුරු ඉල්ලා සිටිවිට උන්වහන්සේ නිහඬ වූහ. එම ප්‍රශ්න 14 ම මෙලොවට සම්බන්ධ නැති එහෙත් විශ්වය, මරණින් පසු බුදුරදුන්ගේ ආත්මභාවයට කුමක් වේද ආදි පාරභෞතික කරුණු පිළිබඳව ය. බුරුරදුන් උත්තර නොදී දිගටම නිහඬ වන්නේ නම් තමන් ධර්මය අත් හැර සිවුරද හැර යන බව මාලුන්ක්‍ය භික්ඛුව පැවසීය. 

එවිට බුදුරජාණන්වහන්සේ විස පෙවූ හීතලය පිළිබඳ උපදේශ කථාව පැවසූහ. 

‘වරක් පුද්ගලයෙකුට හීතලයක් වැදී එය ඔහුගේ සිරුර පසාරු කරගෙන ගියේය. එය ඔහුගේ නෑයන් සහ අවට සිටි අය වහාම වෛද්‍යවරයෙකු ගෙනවිත් ප්‍රතිකාර ලබා දීමට සැලැස්සුවත් රෝගියා එයට බාධා කරමින් ” මේ හීතලය ගලවන්න කලින් මට දැනගන්න ඕනෑ ඊතලය විද්දේ යුධ භටයෙක්ද පූජකයෙක්ද වංශවතෙක්ද මෙහෙකරුවෙක්ද කියලා. මට ඔහුගේ කුලය, වංශය, පරම්පරාව වගේම ඔහු උසද මිටිද ආදි ශරීර ස්වභාවය ගැන. ඒ වගේම දුනු මිට හදලා තියෙන්නේ මොන ලෝහ වර්ගයෙන්ද කියලා. එසේම දුනු ලණුව හදලා තියෙන්නේ උණ, ගස් පොතු ආදී මොන ද්‍රව්‍යයකින්ද කියලා….” ආදි මෙහි සඳහන් කිරීමට අපහසු තරම් දිග ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කළේය. 

මෙම උපදේශ කථාවට අනුව රෝගියා තම මතවාදී මුරණ්ඩුකම (ideological stubbornness) නිසා හීතලය ගැලවීමට ඉඩ නොදුන්නේ නම් එනිසා ඔහුගේ ජීවිතය විනාශ වෙන්නට ඉඩකඩ තිබුණ. වෛද්‍යවරයාගේ සහ අවට සිටි අයගේ කාරුණික උපදේශ පිළිපැද්දේ නම් ජීවිතය බේරා ගැනීමට ඉඩ තිබිණ.

ඇතැම් අය තමන්ගේ ශාස්ත්‍රීය දැනුම, ආගමික දැනුම පාවිච්චි කරනුයේ අනුන්ගේ යහපත කෙසේ වෙතත් තමන්ගේ යහපතටද විනාශකාරී බාධාවක් ලෙසටය. වියලි පාරභෞතික මතවාදී මුරණ්ඩුකම නිසා තම විවාහ ජීවිතය අසාර්ථක කරගත්, රැකියාව අහිමි කරගත්, සිරගත වූ, සමාජයෙන් සහ පවුල් හිතමිතුරන්ගෙන් කොන්වුනු, රුධිර පාරවිලයනය සහ ඉන්ද්‍රීය හෝ පටක බද්ධය පාරභෞතික ආගමික විශ්වාස නිසා රෝග පීඩාවෙන් මරණයට පත්වුනු අය බොහෝය. 

බුදුරජාණන්වහන්සේ පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළේ උත්තර නොදන්නා නිසා නොව මාලුන්ක්‍ය භික්ෂුවගේ ආධ්‍යාත්මික ප්‍රතිපදාවට එම වියලි පාරභෞතික කාරණාවලින් ප්‍රයෝජනයක් නොවන නිසාය. උන්වහන්සේ ධර්මාවබෝධය අතක්කාවචර හෙවත් තර්කයෙන් දැනගත නොහැකි (not graspable by logic) බව දේශනා කළේ එයින් ඇතිවන්නේ මතවාදි මත්වීමක් (ideological infatuation) පමණක් නිසාය. 

අද ආගමේ නාමයෙන් ජනතාව මුලා කරන බොහෝ විනාශකාරී පාරභෞතික මතවාද බිහිවී තිබේ. බුදුරජාණන්වහන්සේගේ ධර්මය පාරභෞතික නොව මෙලොව නිවැරදිව ජීවිත්වීම පිළිබඳව උගන්වන මාර්ගයකි. මාර්ගය නිවැරදි නම් මරණින් පසු යන තැන පිළිබඳව සැළසුම් කරන්නට අවශ්‍ය නැත. ප්‍රායෝගික නොවන සිතක ධර්මය ද නැත.

ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමි

බරණ දැකපු අපි නොදැකපු බුදුන්

ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමා නෙළීමේ ආරම්භය පිළිබදව  පැහැදිලි සාක්ෂි නොමැති වූවද ඉතිහාසය සහ වංශ කතාවලට අනුව නම් ක්‍රි.පූ. තුන්වන සියවසේදී දෙවන පෑතිස් රජතුමා ථූපාරාමයේ බුදු පිළිමයක් තැන්පත් කළ බව සදහන් වෙනවා. අනුරාධපුර යුගය ශ්‍රී ලංකාවේ දැවැන්ත කලා නිර්මාණ බිහිවූ කාල පරිච්ඡේදය ලෙස නම් කිරීම නිවැරදි යැයි හැගෙන්නේ  

ක්‍රි.ව. 5 වන සියවසේ රජකල ධාතුසේන රජතුමන්ගේ (ක්‍රි. ව. 459 – 477)  නිර්මාණයක් ලෙස සැලකෙන අවුකන බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වීම නිසාමය. අවුකන බුදුපිළිමයෙන් පිළිබිඹු කරනුයේ ගෞතම බුදුරජාණන් වහන්සේ නොව දීපංකර බුදුරජාණන් වහන්සේ බව බොහෝ වියතුන් විශ්වාස කරනවා. සාමාණ්‍ය බුදු පිළිමයක උස දහ අට රියනක් වූවත් අවුකන පිළිමය ඊට වඩා උසින් යුක්තවීම එයට හේතුව විදියට සදහන් කිරීමට හැකි බවත් අනෙක් අතට මෙමගින් අභය මුද්‍රාව නිරූපනය කරන බැවින් එමගින්ද පිළිබිඹු කරනුයේ දීපංකර බුදුරදුන් බවත් විද්වතුන්ගේ මතයයි.

බුදුන් වහන්සේගේ දස බලධරී ගුණයත්, නොසැලෙන ගුණයත් අකම්පිත ගුණයත්, කරුණා ගුණයත් මහා කලු ගලකින් මතු කරගත් බරණ නම්වූ මූර්ති ශිල්පියාට කොයි තරම් නම් ඉවසීමක් තිබෙන්නට ඇත්ද. බුදුන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂනත්, උත්තුංග දේහ විලාසයත් එකට කැටි කොට කළු ගලක ජීවමාන අයුරින් වැඩ සිටින බුදුන් නිර්මාණය කරන්න ඔහු බුදුන් දකින්න ඇති. අවුකන පිළිමයේ ඉතා පුදුමසහගත කාරණය නම් නාසයට වැටෙන ජල බිංදු පා දෙකට හරි මැදින් වැටීමයි. මෙහි විශිෂ්ටත්වය පිළිබිඹු කෙරෙන අනෙක් කාරණා නම් සිවුරේ රැළිවල දක්නට ඇති සමාන්තරත්වය සහ කළු ගලක් තුළන් ඇගිලිවල නියපොතු පවා දක්වා ඇති ආකාරයයි.  

උස අඟල් 108ක් හෙවත් තාල නවයක් වන අවුකන පිළිමය සමභංග ක්‍රමයට තනා තිබේ. එනම් ශරිරයේ බර දෙපා වලට සම සමව බෙදී යනසේ ශරිරය කෙලින් තබාගෙන සිටින ලෙස නිර්මාණය කර තිබීමයි. දකුණු අතින් අභය මුද්‍රාවත් වම් අතින් සිවුර අල්ලාගෙන ඉන්නා ආකාරය දැක්වෙන කටක මුද්‍රාවෙන් යුක්ත වන නිසා මෙය අභයගිරි කලා සම්ප්‍රදායට අයත් ලක්ෂණයක් යැයි වියතුන් සදහන් කරයි. බුදුන්වහන්සේගේ ‍ලෝකෝත්තරත්වය මැනවින් පිළිඹිඹු වන ලෙස අවුකන ප්‍රතිමාව නිර්මාණය කර ඇත. 

ගුරුගෝල ද්වන්ධ සටනක නිරත වෙමින් නිර්මාණය ප්‍රථමයෙන්ම අවසන් කරන ගෝලයාවූ බරණ අවුකන පිළිමයද ගුරා රැස්වෙහෙර පිළිමයද ඉදිකල බව ජනප්‍රවාදයේ ඇත. රැස්වෙහෙර පිහිටා ඇත්තේ අවුකන ප්‍රතිමාවට කිලෝමීටර 16 දුරින්ය. තම ගෝලයාට තමා පරාජයට පත්වූ බව හැගී එම සිත් තැවුලෙන්ම  බරණගේ ගුරුවරයා රැස්වෙහෙර පිලිමය නෙලමින් සිටි පර්වතයෙන්ම පැන සියදිවි නසා ගත් බවත් ජනප්‍රවාදයේ ඇත. බ්‍රිතාන්‍ය ජාතික බ්‍රෝහියර් නැමති මිනින්දෝරුවා අවුකන ප්‍රතිමාව හදුන්වන්නේ “ලොව මිනිස් අතකින් නිර්මාණය කළ විශිෂ්ඨ කලා නිර්මාණය” ලෙසයි.

අවුකන ප්‍රතිමාවට සිවුරු පූජා කල යුතුද ? 

අවුකන බුද්ධ ප්‍රතිමාවට සුවිශේෂීවු සිවුරක් බරණ විසින් පූජාකර ඇති බව දෑස් විවර කර බලන ඕනෑම අයෙකුට දැකගත හැකියි. තවද  ඉතා සියුම්ව පොරවා ඇති චීවරය තුළින් ශරීරාංග මනා ලෙස ඉස්මතු කොට දක්වා ඇත. සිවුර ඒකාංශ කොට පොරවා ඇත. වම් අතින් සිවුරේ රැල්ල අල්ලා සිටී. මේ ආකාරයට අවුකන බුදු රුවට ගලින් කරන ලද සිවුර පූජා කරන්න බරණ විසින් කොයිතරම් නම් වෙහෙසක් දරන්න ඇත්ද. විශ්මිතවූ නිර්මාණයක් කල ඔහු අද සිටියා නම් මේ සිවුරු ඇන්දීම දැක ඔහු වස පානය කරනවා නොවනුමානයි. 

සංචාරක කර්මාන්තයේ අවසානයේ ආරම්භයද ?

විවිධ රටවල මිනිසුන් රටකට ඇදී එන්නේ ලෝකයේ ඇති විශ්මිත නිර්මාණයන් දැක බලා ගැනීමටය. ඒ අතරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින්නේ අනුරාධපුරයේ අවුකන, සමාධි ප්‍රතිමා සහ දැවැන්ත ස්තූප පොළොන්නරු ගල් විහාරය, ලංකාතිලක පිළිම ගෙය, වටදාගෙය, සීගිරිය වැනි ශ්‍රේෂ්ඨ නිර්මාණයන් දැක ගැනීමටය. අප මේ පිළිම වලට සිවුරු පූජා කිරීමට ගියහොත් එක් පැත්තකින් සංචාරක කර්මාන්තය බිද වැටීමට තිබෙන ඉඩකඩ වැඩිය. ඒ සිව්රු වලින් බුදු පිළිමය වැසීයන හෙයින් සංචාරකයා එය දැකබලා ගැනීමට නොහැකි වේයැයි දෙවරක් සිතන නිසාය. තවත් පැත්තකින් මෙසේ සිවුරු පූජා කිරීම දිගින් දිගටම සිදු වුවහොත් ඒ ලෝක උරුමයට කිසියම් හෝ හානියක් සිදු උවහොත් එහි වගකීම බාරගන්නේ කව්රුන් විසින්ද යන්නයි. 

විශිෂ්ට ප්‍රතිභාපුර්ණ නිර්මාණශිලිත්වය පිළිඹිඹු කරන අවුකන ප්‍රතිමාව සෞන්දර්යාත්මක නිර්මාණයක් ලෙසට ශ්‍රී ලංකාව තුළ මෙන්ම විදෙස් රට වල පවා අවදානය යොමුවී ඇති හෙයින් බුද්ධ ශාසන අමාත්‍යාංශයට සහ පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුවට ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමයක්වූ මෙය ආරක්ෂා කිරීමට මීට වඩා වගකීමක් තිබිය යුතු බවයි මාගේ පෞද්ගලික මතය. 

මහගම සේකරයන් දුටු අවුකන 

ඉහල නිල්වන් අහස ‍විනිවිද…නැගෙන ඔබගේ යෝධ බුදු බණ

මගේ නෙත සිත මෝහනය කර…මගේ කුදුබ‍ව පසක් කර ඇත

අපි පුද පූජා පවත්වමු, කඨිණ පිංකම් පවත්වමු නමුත් අපේ ශ්‍රේෂ්ඨ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරමු. 

තුෂාර පෙරේරා

දේව කැමැත්ත සොයමු!

සියලු මනුෂ්‍යයන් බැටළුවන් මෙන් මුලාවී එකිනෙකා තම තමන්ගේ මාර්ගයන්ට හැරී ගොස් ඇති බව ශුද්ධ ලියවිල්ලේ සඳහන්ව තිබේ.

(යෙසායා‬

අපි සියල්ලෝ ම බැටළුවන් මෙන් මුළා වී තම තමා සිතූ මඟට හැරී ගියෙමු. සමිඳාණෝ අප සියල්ලන්ගේ පව් එතුමන් පිට තැබූ සේක. මනුෂ්‍යයා තමන් කැමති දේ කිරීමට ලැදියාවක් දක්වයි. දේව කැමැත්ත සෙවීමට මනුෂ්‍යයාගේ උනන්දු වීමත් අවශ්‍යයි. යේසුස් වහන්සේ තමන්ගේ ගෝලයන්ට යාච්ඤා කරන ආකාරය ඉගැන්වීය. එහි අපි මෙලොව ජීවිතය තුළදී දේව කැමැත්ත සෙවිය යුතු ආකාරය ද අඩංගුය. එහෙයින් මෙසේ යාච්ඤා කරන්න: ‘ස්වර්ගයෙහි වැඩ වසන අපගේ පියාණෙනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේවා,

අවසාන වශයෙන් ශුද්ධ ලියවිල්ලේ මෙසේ ද ලියා තිබේ. “ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන අය මිස මට, ‘ස්වාමීනි, ස්වාමීනි’යි කියන සියල්ලෝ ම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නෝය.

මාගේ ප්‍රේමවන්තයනි මොහොතක් සිතන්න ඉහත කියූ ප්‍රකාශය ගැන. අපි ස්වාමීන් වහන්සේගෙන් විමසීම ඉතාම වැදගත් වේ. විශේෂයෙන් අපගේ ජීවිතයේ ගන්නා වැදගත්තීරණ වලදී.

උදාහරණයක් ලෙස ඔබගේ විවාහයේදී, රැකියාවේ දී, ඔබ නිවසක් තනන්න යනවිටදී ඔබ ස්වාමීන් වහන්සේගෙන්නො විමසා ක්‍රියා කිරීමෙන් ඔබ අවසානයේ කණස්සලු වීමට බොහෝ ඉඩකඩ ඇති වේ. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද නොකරන්නේ නැතිදැයි කියා ඔබ සිතන්නට පටන්ගනියි.

එම නිසාම මාගේ ප්‍රිය සහෝදර සහෝදරියනි සියල්ලෙහි දී දෙවිඳුන්ගේ කැමැත්ත සොයන්න නැතහොත් ඔබ දුක් විඳීමට පත්වනු ඇත.

දෙවියන් වහන්සේ ඔබ සැමට ආශීර්වාද කරන සේක්වා

යේසුස්වහන්සේගේ නාමයෙන්..ආමෙන්!

ඔබ සැමට ජේසු පිහිටයි!

ඉවැන්ජලිස්ත අමිල දිසානායක මාර්ගය සහෝදරත්වය

සභාව – මහරගම

නැවත නොදකින ඒ ලෝකය – 2024 වසර සඳහා සූදානම් වෙමු


අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝගුණා අනුපුබ්බං ජහන්ති 

ඒතං භයං මරණේ පෙක්ඛමානෝ

පුඤ්ඤානි කයිරාථ සුඛාවහානි

මේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයේ අච්චෙන්ති සූත්‍රයේදී ජීවිතය ගැන භාග්‍යවතුන්වහන්සේ විසින් අපට දුන් අවවාදයකි. එහි තේරුම නම් ‘කාලය ඉක්ම යයි. හැම රාත්‍රියක්ම අපට හඟවන්නේ අප ජීවිතාවසානයට අප සමීප වූ බවය. අපේ ශක්තිය කෙමෙන් කෙමෙන් අපෙන් ගිලිහේ. එනිසා හිතට සතුට ගෙනෙන යහපත් ක්‍රියාවක නිරත වෙන්න.’

කොරෝනා වසංගතයට පෙර තිබූ ලෝකය ගැන කවුරුත් තවම පසු වන්නේ මහත් විෂාදයක ය. වසංගතය පැමිණ ගොස් බොහෝ රාත්‍රීන් ගත වී තිබේ. එම විෂාදය ඔබේ මානසික සෞඛ්‍යය කෙරෙහි නාස්තිකව බල පා ඇති අන්දම ඔබ දනී. පශ්චාත් කොරෝනා යුගයේ මානසික සුවය සොයන්නන්ගේ ප්‍රමාණය දෙගුණ තෙගුණ වී තිබේ. 2024 වසර සුබ වේවා යි බොහෝ අය ප්‍රාර්ථනා කරති. එම ප්‍රාර්ථනාවේ වරදක් නැත. එහෙත් ඊට වඩා දෙයක් අප කළ යුතුව තිබේ. එනම් යථාර්ථයන් දෙකක් වේදනාවෙන් වුවද පිළිගැනීමයි. පළමුවැන්න නම් කොරෝනා වසංගතයට පෙර තිබූ ලෝකය නැවත කිසිදා නොපැමිණේ. දෙවැන්න නම් තව කාලයක් යනතුරු ඒ වසංගතය නිසාවෙන් ස්වභාවිකව හෝ කෘතිමව ව්‍යාපාරික ලෝකය විසින් පාරිභෝගික ජනතාවට දුන් පීඩනය ඉක්මනින් අවසන් නොවනු ඇත. 

කළයුත්තේ ඉහත බුද්ධාවවාදය තුළ ගම්‍ය වන පරිදි අප 2024 වසරේ සිට ඉදිරියට අපගේ චින්තන රටාව වෙනස් කර ගැනීමය. සතුට ගෙනෙන යහපත් ක්‍රියාවන් සඳහා පෙර මෙන් වියදම් කිරීමට බහුතරයකට නොහැකිය. එහෙත් ඒ සඳහා බුද්ධදේශනාවේ එන සන්තුට්ථි හෙවත් ලද දෙයින් සතුටු වීමේ ප්‍රතිපත්තිය ඔබට උපකාර වේ. මනෝ උපදේශනය පතා එක අයගෙන් 65% ක් පමණ අයගේ ප්‍රශ්නය නම් පසුගිය පශ්චාත් කොරෝනා වසර කීපය තුළදි රාත්‍රි නිදිවර්ජිත වීමයි. වේදනාකාරි යථාර්ථය නම් 2024 වසර ද එතරම් වෙනස් නොවන බවයි. එසේ මනෝ උපදේශනය පැතූ සැමට දුන් අවවාදය නම් අනුන් වියදම් කරනු දැක තමන්ද එසේ වියදම් කිරීමට නොගොස් තමන්ගේ සීමාවන් තුළ ලද දෙයින් සතුටු වීමයි. මෙය ධර්මයේ සඳහන් වන්නේ ජීවන රටාව වෙනස් කිරීම ලෙසයි. 



බුදුදහම මාර්ගයක් මිස ඇදහිල්ලක් නොවේ. එම මාර්ගයෙහි මුල්ම පියවර නම් නිවැරදි, හානිදායක නොවන දර්ශනය යි. එය සම්මා දිට්ඨි නම් වේ. දර්ශනය වැරදි නම් සෙසු පියවරද වැරදීමට ඉඩ තිබේ. පශ්චාත් කොරෝනා යුගයේ ලොව බොහෝ දෙනෙකුට වූයේ එම නිවැරදි දර්ශනය නොලැබීමයි. එහෙත් එයට දොස් නැගීමට නොහැකිය. ඊට හේතුව මිනිසුන් ඇතුළු සියළු ජීවීන්ගේ සතුට හා අනන්‍යතාව රඳා පවතින්නේ ‘ඇලීමේ ස්වභාවය’ හෙවත් ‘සත්ත්ව’ නිසාය. මිනිසාට අන් ජීවීන්ට මෙන් නොව චින්තනය තුළින් සහජ තෘෂ්ණා සහ ආවේග පාලනය කර ගැනීමේ හැකියාව තිබේ. එනිසා අප ‘මනුෂ්‍ය’ නම් වේ. 
සන්තුට්ඨි ප්‍රතිපත්තිය තුළින් සවිගන්වන ලද නව ජීවන රටාවකින් 2024 වසරට මුහුණ දීමට හා රාත්‍රිය සුවයෙන් ගත කිරීමට උපකාර වන දර්ශනය ඔබට ඇතිවේවා! 
තෙරුවන් සරණයි!

ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමි