ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුල රෝග සඳහා ප්‍රතිකාර යෙදීමේදී රෝග සම්ප්‍රාප්ති ඛණ්ඩණය හා නිදාන පරිවර්ජනයට ප්‍රමුඛත්වයක් ලබා දේ.
සම්ප්‍රාප්ති ඛණ්ඩණය යනු, යම් රෝගයක් වා-පිත්-සෙම් නම් වූ ත්‍රිදෝෂය විෂම කරමින්, පූර්ව රෝග ලක්ෂණ, රෝග ලක්ෂණ ප්‍රකට කරමින් ශරීරයේ ඉන්ද්‍රිය පටක ඇසුරු කරමින් සිරුර පුරා පැතිරී යාම වැළැක්වීමයි. එනම් රෝගයේ ප්‍රාප්තවීම නොහොත් ඇතිවීම හා ව්‍යාප්‍ත වීම වළකාලීමට පිළියම් යෙදීමයි.
නිදාන පරිවර්ජනය යනු, යම්කිසි රෝගයක් ඇතිවීමට හේතු පාදක වන ආහාර විහරණ හේතූන් කෙරෙහි අවධානය යොමු කරමින් ඒවායෙන් හැකිතාක් ඈත් වෙමින් රෝගය හට ගැනීම වළක්වා ගැනීමයි.
යම්කිසි රෝගයක් වැළදීමෙන් පසු ප්‍රතිකාර ලබාගැනීමට වඩා රෝග ඇතිවීම වළක්වා ගැනීම මගින් පුද්ගල නීරෝගී බව රැක ගැනීම ආයුර්වේදය තුළ ප්‍රමුඛත්වයක් ලබාදේ. ඒ සඳහා පුද්ගල සෞඛ්‍ය අධ්‍යාපනය අතිශය වැදගත් කොට සැළකේ.
දියවැඩියා රෝගීන් සම්බන්ධ ආයුර්වේද චිකිත්සාවේදී රුධිරගත සීනි මට්ටම අඩුකිරීම පමණක් පාදක කොටගෙන ප්‍රතිකාර සිදු නොකරන අතර, රෝගයට හේතු වූ විකෘති වූ දෝෂ තත්ත්වය ශමනය කිරීමත්, රෝගයේ ව්‍යාප්තිය ඛණ්ඩනය කිරීමත්, විෂ කොටස් සිරුරෙන් ඉවත් කොට හානි වූ පටක නැවත පිළිසකර කිරීමත්, රෝග උපද්‍රව සඳහා පිළියම් යෙදීමත් යන සියළු කාරණා කෙරෙහි විශේෂ අවධානය යොමු කොට ප්‍රතිකාරය සිදුකෙරේ.
රෝග-රෝගී ලක්ෂණයන්ට අනුව පුද්ගලානුබන්ධ චිකිත්සාවක් යටතේ පංච කර්ම චිකිත්සාව සිදු කරනු ලබන අතර රසායන චිකිත්සාව මගින් ශරීර බලය හා ශරීර ශක්තිය ආරක්ෂා කොට ප්‍රතිශක්තිය වර්ධනයද මධුමේහ චිකිත්සාවේ තවත් එක් සුවිශේෂී අංගයක් වේ.
එමෙන්ම, දියවැඩියා රෝගය වැළදීම වළක්වා ගැනීමට රෝග නිදානාදී කාරණා රෝගියාගෙන් ඉවත් කිරීම නොහොත් වර්ජනය හැකිතාක් සිදුකළ යුතුවන අතර පත්‍ය අපත්‍ය ආහාර හා විහරණ කෙරෙහි අවධානය නිසිලෙස යොමු කිරීම අනිවාර්‍යය වේ.
රෝගයක් වැළඳුණු පසු රෝගී බවින් මිදීමට මෙන්ම රෝගය උත්සන්න වීම වැළැක්වීමට හා නැවත රෝගය වැළඳීමට ඇති ඉඩකඩ අවම කිරීමට ආයුර්වේද වෛද්‍ය වරුන් පත්‍ය- අපත්‍ය ආහාර-විහරණ අනුගමනය අනිවාර්යයෙන්ම නිර්දේශ කරනු ලැබේ. එනම් රෝගී තත්ත්වයට හිතකර ආහාර හා යහපත් ඇවතුම්-පැවතුම් අනුගමනය කිරීම හා අහිතකර ආහාර හා අයහපත් පුරුදු වලින් ඈත්වීමෙන් නීරෝගී බව රැකගැනීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරයි.
දියවැඩියාව සඳහා පත්‍ය-අපත්‍ය ආහාර හා විහරණ
හිතකර ආහාර තෝරාගැනීමේදී ආයුර්වේද මූලධර්ම වල අඩංගු ෂඩ් රසයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුවේ. එනම් මධුර, අම්ල, ලවණ, කටු, තික්ත, කෂාය යන රස වර්ග 6න්, කටු, තික්ත, කෂාය රස බහුල ආහාර මධුමේහය සඳහා හිතකර ආහාර ලෙස සැළකේ.
යව(බාර්ලි), කොල්ලු, උඳු, මුංඇට, තල, පැරණි වූ ධාන්‍ය-කුරක්කන්, මෙනේරි හා ඒවායින් සෑදූ ආහාර, පැරණි සහල් වර්ග (හැටදා හාල්) -හීනැටි, මසුරං, මඩතවාළු, කුරුළුතුඩ, සුවදැල්, පැරණි මී පැණි, ත්‍රිඵලා ( අරළු, බුළු, නෙල්ලි ), තික්ත, කහට රස අධික පලා වර්ග හා එළවළු- අගුණ කොළ, පැෂන් කොළ, තෙබු කොළ, කුරිඤ්ඤං කොළ, කෝවක්කා කොළ, කොස් දළු, කතුරුමුරුංගා, මුකුණුවැන්න, ගොටුකොළ, කූර තම්පලා, සාරණ, මැල්ල කොළ, කංකුං, තැල් කොළ, එරබදු කොළ, තුඹ දළු, අඹරැල්ලා, කරවිල, තුඹ කරවිල, අට්ටික්කා ගෙඩි යන ආහාර නිසි වෛද්‍ය උපදෙස් යටතේ පෝෂ්‍ය ගුණය රැකෙන පරිදි දියවැඩියා රෝගීන් ආහාරයට එක් කර ගැනීම උචිතය.
පැඟිරි කුලයේ පලතුරු වර්ග (දෙහි, ඇඹුල් දොඩම්, නාරං, නස්නාරං, ජමනාරං), අනෝදා, වෙරළු, පේර, නෙල්ලි, කාමරංකා, නමිනං, මාදං, ජම්බු, කජු පුහුලන්, ගස්ලබු, දෙළුම්, උගුරැස්ස යන පලතුරු වර්ගද හිතකර වේ.
උළුහාල්, කරපිංචා, සුදුළූණු, රතුළූණු, කුරුඳුපොතු යන කුළුබඩු වර්ග මෙන්ම බෙලි මල් හා කොළ, රණවරා, කොතලහිඹුටු, රසකිඳ, වල්කොත්තමල්ලි, මාදං පොතු, අට්ටික්කා පොතු තම්බා ඖෂධීය පාන ලෙස භාවිතා කිරීමද සුදුසු වේ.
දියවැඩියා රෝගීන්ට නිතර කුසගිනි ඇතිවිය හැකි බැවින් හැකිතාක් පිෂ්ඨය අඩු ආහාර, ස්වල්ප ප්‍රමාණයක්, වේල් කිහිපයක් ලෙස ආහාරයට ගැනීම සිදු කළ හැක.
මෙහිදී ගන්නා ආහාරය පෝෂ්‍යදායී ආහාරයක් විය යුතු අතර කෙඳි බහුල ආහාර වන පලා වර්ග, දඹල, කොහිල, කෙසෙල්මුව වැනි තන්තුමය ආහාර වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් අනවශ්‍ය ලෙස ආහාර නිතර නිතර ගැනීම පාලනය කරගත හැක.
නිවුඩු සහිත තැම්බූ රතු සහල් ඉතා යෝග්‍ය වන අතර ප්‍රෝටීන අඩංගු ආහාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.
පිෂ්ඨය අධික අර්තාපල්, මඤ්ඤොක්කා වැනි අලවර්ග ආහාරයට නුසුදුසු වන අතර, නෙළුම් අල, කිරිඅල, රාජා අල, හුළංකීරිය අල, ඉන්නල ආහාර ලෙස ගැනීම සුදුසු වේ.
මෙම හිතකර ආහාරයන් ප්‍රමාණාත්මකව අනවශ්‍ය ලෙස නිතර නිතර එකදිගට ආහාරයට නොගෙන වෛද්‍ය උපදෙස් මත විවිධත්වයකින් යුතුව ආහාරයට එකතු කරගැනීමට රෝගීන් වගබලා ගත යුතුවේ.
දියවැඩියා රෝගීන් සඳහා අහිතකර ආහාර- මධුර රස එනම් පැණි රස, පිෂ්ඨය අධික ආහාර ගැනීම, කිරි ආහාර, මුදවපු කිරි, එළඟිතෙල්, තෙල් සහිත ආහාර ගැනීම මධුමේහ රෝගීන්ට නුසුදුසු ආහාර වේ.
දුම්පානය, මත්පැන් පානය, කෘතිම රසකාරක, වර්ණකාරක යෙදූ කෝලා වර්ග, පැණිබීම, බිස්කට්, කේක්, අයිස්ක්‍රීම්, පාන් පිටි වලින් නිපදවූ බේකරි නිෂ්පාදන හා ක්ෂණික ආහාර වර්ග දියවැඩියා රෝගීන් හට අහිතකර වේ.
ව්‍යායාම වල නිරතවීම, යෝග ව්‍යායාම වලට යොමුවීම, හොදින් ජලය පානය කිරීම, මානසික ආතතිය පාලනය සඳහා භාවනා කිරීම, මිහිරි සංගීතයන්ට සවන්දීම, විවේකය නිස්කලංක පරිසරයක ගතකිරීම, ස්වභාව සෞන්ධර්‍යය සුන්දරව විඳීම හා රාග, ද්වේශ, ශෝක, වෛරී සිතුවිලි වලින් ඈත්වීම මධුමේහ රෝගීන් හට හිතකර වූ හැසිරීම් වන අතර රාත්‍රී නිදිවැරීම, පමණ ඉක්මවා වෙහෙසීම, දහවල නිදීම හා නිතර කිපෙනසුළු, ආවේගකාරී සිතුවිලි වලින් යුක්තවීම නුසුදුසු විහරණ ලෙස හඳුන්වා දියහැක. අසීමිතව ආශාවන් පසුපස හඹා යෑමෙන් ඇතිවන මානසික ආතතිය රෝගය ඇතිවීමට මෙන්ම රෝගී තත්ත්වය උත්සන්න වීමටද හේතු විය හැක.
ඔබ දැනටමත් මධුමේහ රෝගියෙක්නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අනිවාර්යයෙන්ම සිදුකල යුතු අතර ආහාර පරිභෝජනය පිළිබඳ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ලබා ගැනීම තුළින් ප්‍රතිකාරයේ උපරිම සාර්ථකත්වයක් කරා එළැඹීමේ හැකියාව පවතී.
මධුමේහ රෝගය යනු ශරීරයේ සංකූලතා රාශියක් ඇතිකළ හැකි, අසාධ්‍ය රෝගී අවස්ථාවක් ලෙසට වර්ධනය විය හැකි බැවින් දියවැඩියා රෝගීන් නිවැරදි ආහාර රටාවකට හුරුවී, යහපත් විහරණයන්ට පුරුදුව, නිවැරදි ඖෂධීය ප්‍රතිකාරයන්ට යොමුවී රෝගය පාලනය කරගැනීමට උත්සහ දැරිය යුතු වේ.
ආයුර්වේද වෛද්‍ය නාලිකා හංසිනී ජයතිලක
BAMS (Colombo)