Great things take time and effort.

 කාලය ගතවෙනවා කියලා  ජීවිතේ ඉලක්ක අතහැර දැමුවාද ?            

 ශ්‍රේෂ්ඨ ඉලක්ක අරමුණු සැබෑවක් කර ගැනීමට නම් කාලේ සහ උත්සාහය කැප කිරීමට සිදු වෙනවා.                  

ජීවිතේ කියන්නේ මුල ඉදන්ම අසීරු සහ අමාරු දෙයක්.ජීවිතයේ ඔබ කුමන තරාතිරමක කෙනෙකු වුවත් ඔබට පටන් ගත් දා සිටම ඉලක්කයක් තිබිය යුතුයි.ඔබගේ ජීවිතේ තීරණය කළ හැක්කේ ඔබට පමණයි ඒ නිසාවෙන් ඔබේ ජීවිතයේ යා යුත්තේ කොතනටද යන්න තීරණය කළ යුත්තේ ඔබමයි.එය ඉහලට,පහලට නැත්නම් ඔබ ඉන්න  තරාතිරමේ තිබේ ද යන්න තීරණය වෙන්නේ ඔබගේ ඉලක්කය සැබෑවක් කර ගැනීම  මතයි.එය කුමන තරාතිරමක ඉලක්කයක් වූවත් එය ඔබගේ හැකියාව  සහ කාලය කැප කිරීම මත සාක්ෂාත් කරගත හැකියි.              

ඉලක්කයක් අපේ සිතට නැගුණු දා සිට අපි උත්සාහ කරන්නේ එය ඉක්මනින්ම ශාක්ෂාත් කර ගැනීමටයි නමුත් එයට කාලයක් දැඩි උත්සාහයක් වැය කිරීමට අවශ්‍ය වෙනවා.අපේ දැඩි මහන්සිය, උත්සාහය, කාලය කැප කිරීම, ඉවසීම වැනි දේවල් මත අපගේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීමේ ප්‍රතිඵල අපි කාලයත් එක්ක අපිට ලැබෙනවා.                      

එයට හොඳම උදාහරණය චීන උණ ගසේ කතාවයි.(chinese bamboo tree)චීන උණ ගසේ බීජ රෝපණය කර පසුව චීන උණ ගස බීජ රෝපණය කළ දා සිට අවුරුදු 5 ක් යනතෙක් යන තෙක් එය කිසිම වර්ධනයක් නොවෙයි.එම එම බීජය රෝපණය කළ දා සිට ඉතාම සැලකිල්ලෙන් සහ උනන්දුවෙන් බලා කියා ගත යුතු වෙනවා ඒ වගේම වැඩීමට උචිත පරිසරයද නිසි ලෙස තෝරා ගත යුතු වෙනවා. චීන උණ ගසේ ස්වභාවය නම් හරියටම වසර පහක් යනතුරු ම බීජ කිසිම වර්ධනයක් සිදු වන්නේ නැහැ. කොතරම් සත්කාර කළත් වර්ධනයක් තියා කුඩා අංකුරයක්වත් පොළොවෙන් මතුවෙන්නේ නැහැ. නමුත් චීන උණ ගසේ වර්ධනය වන ස්වභාවය දන්නා මිනිසුන් එය රෝපණය කළ භූමියට වෙහෙස මහන්සි වී සත්කාර කරනවා රෝපණය කර හරියටම වසර පහකින් එම උණ ගසේ අංකුරයක් පොලවේ මතු වෙනවා .ඉන් අනතුරුව සති පහක කාලයක් තුළ එය අඩි 90ට වඩා ඉතාමත් උස විශාල ගසක් ලෙස වර්ධනය වෙනවා. මෙය සති පහක් වැනි කෙටි කාලයක් අඩි අනූවක් වර්ධනය වී උස යනවා නමුත් මේ සති 5ක් තුල අඩි 90ක් උස යන්න වසර පහක් තිස්සේ එය වර්ධනය කිරීමට කොපමණ කැප කිරීමක් කාලය කැපකිරීමක්, උත්සාහයක් ගත්තාද?

ඉතිං මෙම චීන උණ ගස අපට කියා දෙන්නේ  ඉවසීම කාලේ කැප කිරීම සහ අත් නොහැර වෙහෙස මහන්සි වී වැඩ කිරීම, අඛණ්ඩව තමන්ගේ ඉලක්කය සපුරා ගන්නා තෙක් වැඩ කිරීම.කොතරම් කාලයක් ගත වුවත් අවසානයේ තමන්ව ඉහළින් ඔසවා තබන බවයි.ඉලක්කය වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කිරීම මහන්සි වී වැඩ කිරීම, කාලය කැප කිරීම සහ ඒ ඉලක්කය සපුරා ගැනීමට ඔබ සතුව තිබෙන ඉවසීම මත ඔබගේ අවසානය විශිෂ්ට වෙනු ඇත.මෙම චීන උණ ගස මෙන් අපගේ අවසානය ඉලක්ක විශිෂ්ට වන තෙක් අප ඉවසීමෙන් කාලය කැප කිරීමෙන් වැඩ කිරීම තුළින් අපගේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට පුළුවන් වනවා නොඅනුමානයි.

නවෝද්‍යා දෙව්මිණි ආරියවංශ 

Branding

ලොවක් දන්න නමක්, ඔබේ නම.

ඔබ දැන සිටියාද? ඔබේ නම මුලු ලෝකෙම දන්න නමක් කරන්න පුලුවන් කියලා. ඒ

වගේම ඔබ දැන සිටියාද ඔබ කරන හොඳ හෝ නරක සියලුම දෙයින් ඔබව විනිශ්චය

වෙන බව, හෝ ඔබව තව කෙනෙකු හඳුනවන බව? එන්න අපි අද කතාකරමු Personal

Branding ගැන.

සන්නාම (Branding) ගැන සිතනවිට, McKinsey විසින් කරනලද පරීක්ෂණයකින් පෙනීගියේ

ඉතා ශක්තිමත් වෙළඳනාම ඔවුන්ගේ හඳුනාගත නොහැකි තරඟකරුවන් අභිබවා 73%

කින් පමණ ඉහල යන බවත්, වර්තමාන ගනුදෙනුකරුවන්ගෙන් 64% විශ්වාසය මත

පදනම්වූ ගැනුම්කරුවන් බවත්ය. එමනිසා ඔවුන්ගේ ගැනුම් තීරණ වෙනස් කිරීම සඳහා

සන්නාමය ප්‍රබල බලවේගයක් විය හැකි බවත්ය.

මුලින්ම මොකක්ද මේ personal branding කියන්නේ?

සරලවම personal branding කියන්නේ, යම්කිසි පුද්ගලයෙකුගේ පෞරුෂය, කුසලතා,

ආකල්ප, අත්දැකීම් සහ හැසිරීම ඇතුලු තවත් කරුණු මත පෙනවන ප්‍රතිරූපය වන අතර

එය ඔවුන්ගේ අනන්‍යතාව නිර්වචනය කරයි. K.G.F හී රාජ් ක්‍රිශ්නප්ප භේර්‍යා, Rocky උන

හේතුවත්, මිනිස්සු ඔහුගේ මුහුන හඳුන්නනේ නැති උනත් නම කිව්වම හැමෝම

අඳුරගන්න හේතුවත් personal branding 0 තවත් සරලව පෙන්වන්න පුලුවන්.

නිර්වචනය කරන ලද පුද්ගලික සන්නාමයක් නිර්මාණය කිරීම වර්තමාන තරඟකාරී

වෙළඳපල තුළ ඔබව වෙන්කර හඳුනා ගැනීමට විශිෂ්ට ක්‍රමයකි, මන්ද එය ඔබ නොමැති

තැන පවා, ඔබ කවුරුන්ද යන්න තේරුම් ගැනීමට මිනිසුන්ට ඉඩ සලසනු ලබයි.

කොහොමද අපි අපේ නමින් සන්නාමයක් වෙන්නේ?

1- ඔබට පෞද්ගලික vision (දැක්මක්) නිර්මාණය කරගන්න.

ඔබට ජීවිතයේදී, ලෝකය වෙනුවෙන් කල යුත්තේ කුමක්ද? ඔබට වෙනස් කල යුත්තේ

කුමක්ද? ඔබට අලුතෙන් එකතු කල යුත්තේ කුමක්ද? ඔබෙන්ම විමසන්න. එය ඔබේ

වර්තමාන තත්වයෙන් ඔබට යාමට අවශ්‍ය තැනට දැනුවත්ව ගමන් කිරීමට උපකාරී වේ.

උදාහරණයක් ලෙස "මම පරිඝණක මෘදුකාංග මගින් මිනිසුන්ගේ ජීවිතයේ වැඩ පහසු

කිරීමට උදව් කරන්න කැමතියි", හෝ "මම සාගර සත්ව ප්‍රජාව සුරැකීම සඳහා

දායකත්වය දෙන්න කැමතියි" යනාදී ලෙස ඔබ ආස දේ (passion) එක මත ඔබට දැක්මක්

ගොඩ නගාගන්න.

2- ඔබට ඔබව හැදින්විය/ජනප්‍රිය විය යුතු අංශය තීරණය කරන්න.

ඔබෙන් අහන්න, ඔබ නිශ්චිත මාතෘකාවක් පිළිබඳ ලෝකයේ විශේෂඥයෙකු ලෙස

ප්‍රසිද්ධියට පත් වූයේ නම්, එය කුමක් වනු ඇත්ද? බලගතු පුද්ගලික සන්නාමයක්

නිර්මාණය කිරීමට ඇති එකම ක්‍රමය වන්නේ යම් ප්‍රදේශයක පිළිගත් අධිකාරියක් වීමයි.

එම වෙළඳපොලේ තරඟකාරිත්වය ගවේෂණය කර ඔබ ඔබව වෙනස් කරන්නේ කෙසේද

යන්න තීරණය කරන්න. ඔබව අද්විතීය කරන්නේ කුමක්ද? ඔබේ විශේෂතා උපයෝගී

කර ගැනීමෙන්, ඔබ අන්‍යන්ගෙන් කැපී පෙනීමට වැඩි ඉඩක් ඇත. ඔබේ පුද්ගලික වෙළඳ

නාමය ඔබේ ආශාවන්, කුසලතා, වටිනාකම් සහ විශ්වාසයන් පිළිබඳ නිවැරදි පිළිබිඹුවක්

විය යුතුය.

3- ඔබේ ප්‍රේක්ෂකයින් ඔබ විසින් නිර්වචනය කරගන්න.

ඔබ පුද්ගලික සන්නාමයක් ගොඩනඟන විට ඔබට කළ හැකි ප්‍රධානතම වැරැද්දක්

වන්නේ සෑම කෙනෙකුටම ඔබේ සන්නාමයෙන් සේවා කිරීමට උත්සාහ කිරීමයි. බිලියන

8ක ජනගහනයෙන් ඔබ කතා කරන්නේ කුමන කොටසට නිර්වචනය කිරීම ඉතා වැදගත්

වන්නේ එබැවිනි. ඔබට සේවය කිරීමට අවශ්‍ය කාටද? “විශිෂ්ට සන්නාමයක් ආරම්භ

වන්නේ ඔබ කවුරුන්ද, ඔබ වෙනුවෙන් පෙනී සිටින්නේ කුමක් ද යන්න, ඔබේ වෙළඳපල

අවබෝධ කර ගැනීම සහ වෙළඳපොල තුල ඔබේ ස්ථාන ගත කිරීම අවබෝධ කර

ගැනීමෙනි. ඔබ ඔබේ ප්‍රේක්ෂකයින් වැඩි වැඩියෙන් තේරුම් ගන්නා තරමට, ඔවුන්ට

අවශ්‍ය සහ අවශ්‍ය නිෂ්පාදන සහ සේවා සංවර්ධනය කිරීමට ඔබ වඩා හොඳින් සූදානම්

වනු ඇත.

4- ස්ථාවර පණිවිඩයක් (Consistent message) සාදාගන්න.

ඔබ කරන, ලබාදෙන සේවා තුළ, නිරතුරුව එය ශක්තිමත් කිරීමට ඔබට අවශ්‍ය

පණිවිඩය කුමක්ද? ඔබ එය කුමක්දැයි තීරණය කළ පසු, ඔබගේ සියලු සන්නිවේදන

නාලිකා හරහා එකම පණිවිඩය භාවිතා කරන්න. වැදගත්ම දේ ඔබේ ප්‍රේක්ෂකයින්

සමඟ විශ්වාසය සහ විශ්වසනීයත්වය ගොඩනඟයි. ඔබේ ස්වරය සහ පෞරුෂය එක

හා සමානව තබා ගැනීමට අමතරව, සැලසුම් අංග (ඔබේ ලාංඡනය, වර්ණය, ඔබ අඳින

ඇඳුම, භාවිතා කරන මෙවලම් ආදිය) අඛණ්ඩව තෝරාගත් ආකාරයකට භාවිතා

කරන්න.

5- ඔබේම පණිවිඩය නිරතුරුව ප්‍රචාරය කරන්න.

සමාජ මාධ්‍ය (social media) තුල ඔබේම contents ඔබ කැමති ලෙස තෝරාගත් අංශයේ

බෙදාගන්න. YouTube, Tik Tok, Facebook, Instagram, LinkedIn, Twitter, Threads ඇතුලු සමාජ මාධ්‍ය

තුලින් ඔබේ සන්නාමය සඳහා අවශ්‍ය මාධ්‍යන් තෝරා එය තුල ප්‍රචාරය කරන්න. ඔබේම

වෙබඅඩවියක් සකසා එය තුල blogs ලෙසද,YouTube ඇතුලු අනෙක් සමාජමාධ්‍ය තුල කුඩා

විඩියෝ ලෙසද සියලු දෙනා සමග බෙදාගන්න. ඔබේ ප්‍රේක්ෂකන් සමග සම්බන්ධ වන්න.

අන්තර්ගතය නිරන්තරයෙන් වැඩි දියුණු කරන්න.

අවසානය කුමක් වුවත් මිනිසුන් ඔබ දැනුවත්ද හෝ නොදැනුවත්වම ඔබව brand කරනු

ලබයි. උදාහරණයක් ලෙස ඔබ හොඳ කරුණාවන්ත කෙනෙක් නම් සියලු දෙනා ඔබව

එසේ හදුනාගනීවි, ඔබ නිරන්තරයෙන් පරක්කු වී වැඩකරන පුද්ගලයෙක් හෝ ඉතා

කෝප පුද්ගලයෙක්නම් ඒ ආකාරයෙන්ද ඔබව brand වේ. එබැවින් ඔබ ඔබ වෙනුවෙන්

ගොඩනඟන වෙළඳ නාමය පිළිබඳව අව්‍යාජ සහ මධ්‍යස්ථ වීම ඉතා වැදගත් වේ.

බලගතු පුද්ගලික සන්නාමයක් සංවර්ධනය කිරීම ඔබට මාධ්‍ය තුළ විශේෂ වීමට, ඔබේ

ජාලය (network) පුළුල් කිරීමට, ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීමට සහ කල්

පවත්නා නමක් නිර්මාණය කිරීමට උපකාරී වේ. අපි හිතුවත් නැතත් අපි හැමෝටම

පුද්ගලික වෙළඳ නාමයක් තියෙනවා. හිතාමතා නොවී එයින් උපරිම ප්‍රයෝජන

නොගන්නේ මන්ද?

සටහන

මලීෂ රන්දුනු ද සිල්වා.

චැරියට්පාත්

ජිවිතේ සමහර සංචාර තියනවා මුළු ජිවිත කලෙටම හීනයක් වගේ දැනෙන…. එ හීනය මතක් වෙද්දි ආයෙමත් ඉඟිලිලා යන්න හිතෙන තරමි ආසාවක් ඇතිවෙන….. ඉතිං අද මං අරන් ආවෙි මම ගිය තවත් එවැනි සංචාරයක් ගැන සුන්දර අත්දැකීමක්… ඉතිං ආරාධනා කරනවා මෙවරත් එකතුවෙන්න අපි Magazine එකත් එක්ක…..

හිතට ගතට නෙතට සැනසිල්ලක් ගෙන එන කොළපාට ලොකයක පුරාවෘතයක් හොයාන යන එක නමි හරිම අපුරුයි.. එ ගමන පුරාවට ලබපු අත්දැකීමි නමි බොහො සුන්දරයි.. ඉතිං මම මගේ යාළුවො එක්ක රාවණ රජතුමාගේ කරත්ත පාර හොයාගෙන ගියා අපුරු චාරිකාවක්… මාතලෙන් මම වගේම අමිබලන්ගොඩ, ගාල්ල, රත්නපුර , අතුරුගිරිය , කොළඹ ගනේමුල්ල සහා පුස්සැල්ලැව යන ප්‍රදේශ වලින් එකතුවු අපි දහාදෙනෙක්… අපි හතරදෙනෙක් ත්‍රිරොද රථයෙන් පුස්සැල්ලැවෙන් ගමන ආරමිභ කලේ චතුර මල්ලි ඔහුගේ මිතුරන් එක්ක බයිසිකල් වලින් පෙරටිටාසි බලා පැ⁣මිණෙද්දි…

ගමන පටන්ගත් මොහොතේ ඉදන් මගේ නමි හිත පිරිලා ගිහින්.. ආසම කරන වටපිටාවන් පහු කරගෙන තේ වතු මැදින් ඉතාමත් දුෂ්කර මාර්ගයක ගමනක් යනවා කියන්නේ භාවනාවක් වගේ… ඇතින් පෙණෙන කොත්මලා ඔයත් කොත්මලා ජලාශයත් දුටුවාම නමි දැස් ඉවතට ගන්න හිතක් නැති තරමි, එ තරමි හිත නිවනවා…. මෙි සුන්දර පරිසරය සොයා යාම ආරමිභ වෙන්නේ frotoft වතු යායෙන්….

17km ගෙවා අපි පෙරටිටාසි පැරණි වතු රොහල ලගට පැමිණියෙ හෙමින් ගමනින්.  හේතුව බයිසිකල් වලින් පැමිණෙන මිත්‍රයින්ගෙ ප්‍රමාදය නිසා… ඔවුන්ට එන මඟ විස්තර පවසමින් අපිට පෙරටිටාසි වතු රොහල අසල බොහෝ වෙිලාවක් රැදි සිටින්නට සිදුවුවෙි මොවුන් තවත් පාර වරද්දා ගනීවිදැයි දෙගිඩියාවෙන්.. රාත්‍රිය උදාවිමට පෙර ගමනාන්තයට ලගා විමට නොහැකිවුවොහොත් වන්නේ සුන්දර දසුන් බොහොමයක් මඟහැරිමට ඉඩ කඩ වැඩි බව අද්දැකිමෙන් දන්නා නිසා… එ අතරතුර කාලයෙදියි මම පෙරටිටාසි වතු රොහල ගැන විස්තර හොයන්න පටන්ගත්තෙ… එ පිළිබදව පසුව රැගෙන එන්නමි..

බයිසිකල් වලින් අනෙක් සගයන් පැමිණි පසු වාහනත් රොහල් භූමියේ අවහිරයක් නොවන ලෙස නවතා අපි ගමන පටන්ගත්තෙ ඉක්මනින් අඳුර වැටෙන්නට ප්‍රථම ගමනාන්තයට ලගාවීමෙි අරමුණින්…

මාර්ගය හොයාගන්න අපහසු නෑ, පෙරට්ටාසි පරණ රොහල අසලින් පහලට බැහැපු ගමන් තේ වත්ත හරහා උඩට නගින්න පඩිපෙළක් තියනවා..  එ පාර ඉවර වෙන තැනින් දකුණට හැරිලා දිගටම ඉදිරියට ඇවිද යද්දි පාරවල් තුනක් තියනවා, එතනින් මැද පාරෙ ඉදිරියටම යන්න ඔින, තේ වත්ත දිගෙ ඉදිරියට යනවිට කෑලෑව පේනව.. එතනින් දකුණු දෙසට ඇති පුංචි අඩි පාර දිගෙ ඉහළට යන්න. එ අසලින් කැලේට යන්න පුළුවන් අඩිපාර එක්ක වනසතුන් ආරක්ෂා කරමු ලෙස සදහන් කල බොඩි එකක් දැකගන්න පුළුවන්….. කැලෙත් එක්කම අඩි පාරේ ගියාම මගදි මුණගැසෙනවා  අඩි පාරවල් දෙකක්, එතනින් වමට  තියන අඩි පාරෙ දිගටම ඇවිදන් යද්දි ගමනාන්තය දැකගන්න පුළුවන්.

ගමනාන්තයට මදක් මෙහායින් දකුණු පසින් තවත් සුන්දර viewpoint එකක් දැකගන්න පුළුවන්.. එ ස්ථානය දුටු මගේ නමි මතකයට පැමිණියෙ තාමත් මම නොගිය ඦායාරුප වලින් දැක ඇති කණවිද්දාගල… ⁣ඉතිං මෙි ස්ථානයේදි නමි අපි කීපදෙනෙක්ට දැණුනා සර්පයෙක් ඇති බව ඇඟවෙන දුර්ගන්ධයක්. වැඩි වෙිලවක් එහි රැදි නොසිටි අපි කරත්ත පාර වෙත පැමිණියෙ අපේ පසුපසින් අපටත් හොරෙන් මගදි එකතුවි සිටි බලු යාළුවත් එක්කමයි…

චැරියට්පාත් එහෙමත් නැත්තමි රාවණ රජතුමාගේ කරත්ත පාර වෙත කිලොමිටර් 2යි මිටර් 800ක දුර එන්න අපිට ගතවී තිබුණේ පැය දෙකකුත් මිනිත්තු දොලහක වගේ කාලයක්.. අපි එහි එන විටත් මීදුමෙන් පරිසරයම වසාගන්න පටන්ගෙන..

මුහුදු මටිටමෙි ඉදන් 2000-2200m උසකින් පිහිටා තියෙන ලංකාවෙි සීතල වැඩිම තැන්න තමයි චැරියට්පාත්.. පිදුරුතලාගල කදු පන්තියට උරුමකම් කිවුවත් අයිතිය නමි නමුණුකුල රක්ෂිතයට….. පෙරටිටාසි ගමෙි අය නමි කියන්නේ පිටිටනි කියලා. එ නිසාම වෙන්න ඇති ගමෙි අය තමන්ගේ දරුවන් එක්ක ඇවිත් මෙි භූමියේ ක්‍රිඩා කරන්නේ..

වැඩිම වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශයක්, කැලෑ කුටිය මැදින් යනවිට දැකගත හැකියි ශාකවල අතු පෙඳ පාසි වලින් වැසි අමුතුම අලංකාරයක් ගෙනවිත් ඇති අයුරු…. නේකවිද ශාක බොහොමයක් වගේම නේකවිද විසිතුරු මල් බොහොමයක් දැකගන්න පුළුවන්. එ විතරක් නෙවෙයි නෙලු ශාක බොහොමයකින් පිරි තිබෙනවා. කදු මුදුනේ ශක නමි වැඩි උසකින් යුක්ත නැ.. සුළගට ඔරොත්තු දෙන ලෙසටයි ශාක වැඩි ඇත්තේ.. මගේ මතකයට නැඟුණේ බොන්සායි ශාක.. එ විතරක් නෙවෙයි ඩයිනසොර් යුගයටත් නැකමි කියන විශාල මීවන වර්ගයට අයත් ගිණිහොට ශාකත් කදු මුදුණට යන අතරමග දැකගන්න පුළුවන්…

⁣මහාවැලි ගඟ පොශණය කරන ජලපොශක ප්‍රෙදේශයක් වෙන මෙහි ඇති සුන්දරත්වය වගේම එයින් එහා ගිය වටිනාකමකින් යුක්තයි…. උෂ්ණත්වය 8°c අඩු අගයක් ගන්නා ලංකාවෙි සීතල අධිකම පිණි බිංදු අයිස් බවට හැරවෙන තැනක්…. බොහො අය මෙහි පැමිණෙන්නේ මල් තුහින දැකගන්න… මගෙත් අපේක්ෂාව එකමයි….. කෙසේ වෙතත් චැරියට්පාත් කියන්නේ පුරාවෘතයක් සගවාගෙන සිටින රහස් ගුහාවක් විදිහටයි මට නමි හැගි යන්නේ…

රාවණ රජතුමාගේ රථය ගමන් කල මාර්ගය යන අර්ථය දෙන චැරියට්පාත් , රාවණා රජතුමාගේ ඉතිහාසයේ ලංකාපුර අගනුවර සිට සීතා දේවිය රැගෙන අශෝක විතාක නම් ස්ථානයට වැඩම කළ ඔහු මේ කාලය තුළදී මෙම ස්ථානය හරහා තම වාහනය වන දඬුමොණරය පදවාගෙන ගිය තොටුපොළක් ලෙස පුරාවෘත කතාවල කියැවෙනවා…. තව කතාවක් නමි සීතා දෙවියට ලංකාවෙි ලස්සන පෙන්වන්න රාවණ රජු විසින් රැගෙන පැමිණි තැනක් ලෙසත් , මෙහි ඇති දිය පහර සීතා දෙවියගේ කදුළු වලින් සෑදුණු ගංගාවක් ලෙසත් පුරාවෘත කතාවල සදහන් වෙනවා…..

රාවණාගේ කරත්ත පාර තණකොළ මත ඉතා අලංකාර ලෙස තාමත් දැකගත හැකියි….. පුදුමය නමි එයම තමයි… ජලපොශක ප්‍රෙදේශයක් උවත් කරත්ත රොද වලින් සැදුණු පාර ලෙසට දැකිය හැකි රේඛාවන්වල ශාක නොවැඩිමයි… එ තරමි තෙතබරිත පසක පාසි බැදිමක්වත් සිදු නොවිම මට නමි සිතාගත නොහැකියි… මෙහි පැමිණෙන්න පෙර මා සිතා සිටියේ කරත්ත පාරවල් ලෙස පැවසෙන මෙි රේඛා ඇති තැන්න ගල් පර්වතයක් වන්නට ඇති බවයි… නමුත් එය එසේ නොවෙයි..

කරත්ත පාර ලෙස සටහන්ව ඇති මාර්ගයද ජලයෙන් පිරි තිබුණේ කළු පැහැති මඩත් එක්කමයි.. එ මඩ මතින් දෙපා තියා ඇවිද ගියත් අපේ ගමිවල මඩ සහිත තැන්වල ඇවිද ගිය විට මඩ ගැවෙිනවා වගේ මෙි තැන්නේ ඇති මඩ දෙපා වල නොගැවෙන බව පැවසිය යුතුයි…. යමි අයුරකින් පුරාවෘත කතාවල සදහන් වන ලෙසට රාවණ රජතුමාගේ දඬුමොණරයේ ඇති යමි රසායනික ද්‍රව්‍යක් නිසා කරත්ත රොද ගමන් කල මාර්ගයේ පමණක් ශාක නොවැඩිම එයට හෙතුවදැයි මම දන්නේ නැ…..

මහවැලි ගඟට දියවර සපයන ජල උල්පත් පිරුණු මෙයින් ගැරඩිගිණි ඇල්ල, රම්බොඩ, වගේම මහවැලි යෝජනා ක්‍රමයේ කොත්මලා ජලාශයේ ජල පෝෂක ප්‍රදේශය තමයි මෙි රාවණගේ කරත්ත පාර…. කදු මුදුනට , පතනට පැමිණි විට එක පැත්තකින් රිකිල්ලගස්කඩ, හගුරන්කෙත, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැබේ ජලාශ වගේම කොත්මලා ජලාශයත් බලන්න පුළුවන්. ඒ වගේම ශ්‍රිපාදය , කුකුලාගල, පිදුරුතලාගල, කිකිළියාමන, මොණරකන්ද, දොළොස්බාගේ, අලගල්ල කදු බොහොමයක් ,ග්‍රේට් වෙස්ටර්න් වගේ උස් කදු බොහොමයක් දැක බලාගන්න පුළුවන් viewpoint එකක්..  තවත් කියනවනම් තෙත් පතන කලාපයේ තියෙන ශාක ප්‍රජාව, ජෛව විවිදත්වය හරිම ලස්සනට බලාගන්න පුළුවන් තැනක් තමයි චැරියට් පාත් කියන්නේ.

කෙසේ වෙතත් මෙහි ඛනිජ ද්‍රව්‍ය සේවීම හා ඉවත් කිරිම, පස් බිදීම, රක්ෂිතයේ දැව හෙළිම, පැළ ගැලවිම, රක්ෂිතයේ සිටින සතුන් , පක්ෂින්, මත්ස්‍යයන් , උරගයින් ඇල්ලිම නීතියෙන් දඬුවමි ලැබිය හැකි වරදක්….

අපි පැමිණිමට පෙර දින වර්ෂාව පැවති බව දැනගන්න ලැබුණත් අපිට නමි වර්ෂාවෙන් භාදාවක් උනේ නැ. නමුත් ඉවසිය නොහැකි සීතලෙන් නමි අඩුවක් තිබුණේ නෑ….. හිතම සොරාගත් රාවණ රජතුමාගේ කරත්ත පාර දිගේ මීදුම අතරින් මම ඇවිද ගියේ වශි වෙලා වගේ…. එ සීතල මීදුම මාව වෙනම ලොකයකට රැගෙන ගොස් තිබුණේ මට මාවම අමතක කරවමින්..

චැරියට්පාත් කියන්නේ දිව්‍යලොකයක්…. එත් එ දිව්‍යලොකයේ එක් තැනක් අපවිත්‍ර කර තිබුණේ මගේ හිතේ තිබුණු සතුට කෙන්තියකට පෙරලමින්. මෙි ගැන කියන්නම අවශ්‍යයි. ලංකාවෙි බොහො සුන්දර ස්ථාන අපවිත්‍ර කර විනාශ කරන්නේ පරිසරයට ආදරය කරන සංචාරකයන් නොවෙයි. බොහොමයක් මෙි ස්ථාන ආශ්‍රිතව ඇති ගමිවල ජනයා, හෙතුව අපි එන විට සිටි කුඩා දරුවෙකුගේ යැයි සිතිය හැකි කලිසමක් මළපහා සමග දමා ගිහින් තිබුණේ එ අසලත් මළපහා ගොඩවල් දෙකක් නොවසාමයි…

මගේ සංචාරක ජිවිතයේ අද්දැකිමි අනුව පැවසිය හැකියි ගහාකොළට සතාසීපාවනුත්ට ආදරය ඇති සංචාරකයන් කිසිදා එවැනි දේවල් නොකරන බව.. කඳවුරු බැද එ ස්ථාන පිරිසිදු කර යන සංචාරකයන් අපේ රටෙි සිටිනවා…. යන තැන විනාස කරන අයත් නැතුවාම නොවෙයි.. එ වගේම තවත් මට දැනගන්න ලැබුණු දෙයක් තමයි ගමිමු විසින් දර සදහා මෙි කැලයේ ගස් කපා දැමිම…… ගමිමු විනාස කරන පරිසරයට වැරැද්ද පැටවෙන්නේ හැමදාම සොදුරු සංචාරකයන්ටමයි… ගහාකොළ සතාසීපාවනුත්ට ආදරය කරුණාව දක්වන කදු නගින්නන් කිසිදා පරිසරය විනාස කරන්නේ නැති බව මම දන්නේ අත්දැකිමෙන්… ඉතිං වෙනත් අයගේ වැරදි නිසා තැලෙන්නේ සුන්දරත්වය සොයාගෙන යන අප වැනි සංචාරකයන් නොවන්නේද…

අවසානයෙ ආදරයෙන් ඉල්ලන්නේ ප්ලාස්ටික් පොලිතින් වලින් තොරව යන්න එ සුන්දර පරිසරය විදින්න. පා සටහන් පමණක් ඉතිරි කර රැගෙන යන සියල්ල නැවත රැගෙන එන්න. ස්තුතියි ගමන පටන්ගෙන අවසන් වනතුරුත් එකටම සිටි මගේ මිතුරන්ට, මෙි ගමනට වනජිවි දෙපාර්තමේන්තුවේන් ලිඛිත අවසරය ලබා ගැණිමට වෙහෙසනු පැතුම් මල්ලිට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා…


නිසංසලා රණසිංහ

ජීවිතේට මූණදෙන්න බයයි බයයි වගේද?

සුළු මානසික ආබාධ යනු; වෛද්‍ය ප්‍රතිකාර අත්‍යවශ්‍ය නොවන, රෝහල් ගත කිරීමක් අවශ්‍ය නොවන සරල මානසික ආබාධ තත්ත්වයන්‍ ය. ලෝකයේ බහුල වශයෙන් දක්නට ලැබෙන මෙහි විශේෂ ලක්ෂණය වන්නේ රෝගියා තුල තමාට පවතින අසාමාන්‍යතාවය පිළිබදව අවබෝධයක් දක්නට ලැබීමයි. යොවුන් වියේදී මේ තත්ත්වය බොහෝ විට ඇති වේ. එයට හේතුව නම් මොළයේ පවතින රසායනිකයන්ගේ වෙනස් වීම සහ ශරීරයේ පවත්නා හෝමෝන ක්‍රියාකාරීත්වයේ බලපෑමයි. එසේම සුළු මානසික රෝගීන්ට තම එදිනෙදා වැඩ කටයුතු බාධාවක් නොමැතිව කර ගත හැකි අතර මොහු සම්පූර්ණයෙන්ම යථාර්ථයෙන් ඈත්වී නැත. හැසිරීමෙහි හෝ ආකල්ප වල ඉතාමත් සුළු අස්වාභාවික තත්ත්වයන් දක්නට ලැබීම මෙහි මූලික ලක්ෂණයකි. එසේවුවද යොවුන්වියේ මේ තත්වය ඇතිවුනහොත් මෙම සුළු මානසික රෝගීන්හට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන අවස්ථාද දක්නට ලැබේ. කෙසේවුවද සුළු මානසික රෝග පිළිබදව පුළුල් අවබෝධයක් ලබා ගැනීම හා ඒ පිළිබදව උපදේශනය මගින් සුවය ලබා ගන්නේ කෙසේදැයි පාඨක ඔබ දැනුවත් වීම වටී. එසේ වුවහොත් ඔබ අසල සිටින ඔබේ මිතුරා හෝ මිතුරියට මේ ආකාර ගැටලුවක් පවතින්නේනම් ඔවුන්ව සුදුසු තැනකට යොමු කිරීමට ඔබට හැකියාව ලැබේ.

සුළු මානසික රෝග අතර යොවුන් වියේදී බහුල වශයෙන් දක්නට ලැබෙන රෝගය ‘කාංසාව – Anxiety’ වේ. කාංසාව සාමාන්‍ය ව්‍යවහාරයේදී ‘අහේතුක භීතිය’ හෝ ‘අභියෝගාත්මක භීතිය’ ලෙසද හදුන්වයි. වචන වලින් විස්තර කල නොහැකි ආයාසකාරී තත්ත්වයක් කාංසාව සමග ඇතිවේ. මෙය වැළදුනු තරුණයා හෝ තරුණිය තුල බිය, කෝපය ආදී චිත්තවේග කාංසා ලක්ෂණ ලෙස ක්‍රියාත්මක වේ. බොහෝසෙයින් නව අභියෝග වලදී තුරුණු වියේ කාංසාව ඇති විය හැක. කාංසාව වැඩි වශයෙන් ඇති වන්නේ අසුභවාදී ලෙස සිතනු ලබන පුද්ගලයන් තුලය. ඉතා ඉක්මනින් කාංසා රෝගියා නොසන්සුන් වේ. එසේම අභියෝග වලට මුහුණ දීමට වඩා, පලා යාමට මේ යෞවන යෞවනියන් වැඩි කැමැත්තක් දක්වයි. එබැවින් කාංසා රෝගියා තුල සමාජ නොහැකියාවන් විශාල ප්‍රමාණයක් තුරුණු වියේදී හදුනා ගත හැක. කාංසාවේ ස්වභාවය අනුව මූලික ප්‍රභේද කීපයකි. එනම්; අපේක්ෂිත කාංසාව, අනපේක්ෂිත කාංසාව, ක්ෂණික කාංසාව, අංගන බිය, ග්‍රස්තීය නියුරෝසියාව, සමාජ භීතිකාව….ආදී ලෙස විවිධ ආකාර වේ.

ඔවුන් වියේ පසුවන ඔබට කාංසාව තිබේදැයි ඔබටම නිර්ණය කර ගැනීමට පහත ලක්ෂණ ඔබ තුල ඇත්දැයි සුපරීක්ෂාකාරී වන්න. කායික ලක්ෂණ ලෙස; ශීග්‍ර හද ගැස්ම, හිසරදය, නින්ද මද බව, තෙහෙට්ටුව, ආතතිය, පපුවේ වේදනාව, දහඩිය දැමීම….ආදිය අසාමාන්‍ය ලෙස විද්‍යාමාන වේ.

සමාජ ලක්ෂණ ලෙස; ලැජ්ජාව, අන්තර්වර්තී බව, ප්‍රතික්ෂේප වීමේ බිය, සංවේදී බව, කලබලය, අනාරක්ෂිත බව, තනිකම, ව්‍යාකූල දේට බිය වීම….ආදිය ප්‍රමුඛ වේ.

චිත්තවේගී සිතුවිලි ලෙස; නිතර කනස්සලු ගතිය, අසුභ ආකල්ප, කලකිරීම, කල්පනා කිරීම, විවේචනය, අධි විශ්ලේෂණය….ඇතිවේ.

තවද සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී නිතර අතපය සේදීම, වැඩි වේලාවක් නෑම, නිතර නිතර දොර ජනේල් වසා ඇත්දැයි බැලීම, එකම දෙයක් නිතර ගනන් කිරීම යනාදිය ප්‍රමුඛව පෙන්වයි. මෙනිසාම මේ කාංසාවෙන් පෙලෙන තරුණයා හෝ තරුණිය තුලින් අසාමාන්‍ය කලබලයක් විදාමාන වේ. ඉහත ලක්ෂණ සාමාන්‍යයෙන් තිබිය යුතු ප්‍රමාණයට වඩා අසාමාන්‍ය ලෙස පෙන්නුම් කරයි නම් සුදුසුකම් ලත් මනෝ උපදේශකයෙකු වෙතට යොමු කොට ඔවුන්ගේ සහය ලබා ගැනීම නුවණට හුරුය.

මෙහිදී උපදේශනය ඉතා වැදගත් සාධකයක්. කාංසාවෙන් පෙළෙන තරුණ මනසට උපදේශනය අවශ්‍ය වන්නේ; තමාගේ මනස තුල ඇතිවන අසාමාන්‍ය සිතුවිලි සාකච්චා මාර්ගයෙන් ව්සදා ගැනීමටත්, විශ්වාසනීය හිතවතෙකුට තමන්ගේ මනසේ ඇතුවන හා ක්‍රියාකාරීත්වයේ ඇතිවන වෙනස්කම් ප්‍රකාශ කර ගැනීමටත්, දුක හා කලකිරීම වෙනුවට සතුටුදායක ඉලක්ක වෙතට යොමු කිරීමත්, දරා ගැනීමේ සහ මුහුණ දීමේ හැකියා කුසලතා දියුණු කිරීමටත්, සාමාන්‍ය එදිනෙදා සමාජ ජීවිතයට අනුගත ව්මට උපකාර කිරීමටත්, සමාජයේ සාමාන්‍ය ලෙස දිවි ගෙවීම සදහාඋපකාර සහ මැදිහත් වීමත්….යනාදියටයි.

වෛද්‍ය චන්ද්‍රිකා රාජපක්ෂ

Doctor of Ayurveda | Motivational Speaker | Counsellor

M. Sc., BAMS, B. Sc., CCHRM,

Ad. Dip. in Psychotherapy & Dip. in Counseling Psychology

ආදරේ ද? ආදරෙයි ද?

ආදරය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් පුද්ගලයාගෙන් පුද්ගලයාට ලැබෙන පිළිතුරු එකකට එකක් වෙනස්.‍ යමෙකුට ආදරය ආත්මාර්ථකාමී හැඟීමක් වෙද්දි තවත් අයෙක්ට ඒ ආදරයම පරිත්‍යාගයක් වෙන්න පුළුවන්. විවිධාකාර වූ ආදරයන් අතර ලෝකයම හැඩ කරන සුන්දර ආදරයක් තමයි තාරුණ වියේ ආදරය කියන්නෙ. තාරුණ විය කියන්නේ සැබැවින්ම බොහොම දඟකාරී සුන්දර කාලයක්. නමුත් මේ ආදරයම ඔවුන් වටා පාරාවළල්ලක් වෙමින් තරුණ ජීවිත සිය ජීවිතය පවා හානිකර ගැනීමට පොළොඹවන ඛේදවාචකයක් බවට අද වෙද්දි පත්වෙලා.

වත්මන් කාලයේ රටේ සංස්කෘතියට සාපේක්ෂවයි ආදරය හැඩගැසීම සිදු වන්නේ. ආසියාතික සමාජයට සාපේක්ෂව බටහිර සමාජය තුළ ආදරය වෙනස් හැඟීමක්. බටහිර සමාජයේ තාරුණ්‍යට ආදරය සැහැල්ලු හැඟීමක් වෙද්දී ආසියානු සමාජයේ පෙම්වතුන්ට ආදරය තමන්ගෙ මුළු ජීවිතේ ම බවට පත්වී ඇත. අප සමාජයේ ආදරයේ පිරිසිදුකම ගැන දීර්ඝ ප්‍රේම කතා ලියවෙයි. ඒවා ඇතුළත සිටින පෙම්වතුන් බොහෝ අහිංසක චරිත. තරුණ තරුණියන් අතරේ මේ ආදරේ කියන්නේ හිමි කර ගැනීමක්ය යන ප්‍රතිරූපය එතනින් නිර්මාණය කර ඇත. මෙය ආසියාතික සමාජයේ පෙම්වතුන්ගේ මූලිකම ලක්ෂණයක්. එමෙන්ම ලංකාවේ සමාජ සංස්කෘතිය තුළ තරුණිය තරුණයාගෙන් කැමැත්ත ඇසීමට මුලින්ම පෙළඹෙන්නේ නැහැ. ගැහැණු ළමයා ඉස්සර වුණොත් අපේ සමාජය එය මහා බරපතළ වරදක් ලෙස දකිනවා. මේ නිසාම විවාහවීම් සදහා විරුද්ධ පාර්ශවය තෝරා ගැනීමේදී බරපතල ගැටලුමය තත්ත්වයන් ඇතිවූ අවස්ථාද ඔබ අසා ඇති. 

දකුණු ආසියාතික සමාජය  නවීකරණය කළත් විසි එක් වැනි සියවසේ හිනිපෙත්තේ සිටියත් අභිචාර විධි වල වෙනසක් සිදු වී නොමැත. ආදරය යන සංකල්පයේ දී අදටත් සාම්ප්‍රදායික රටාවට මුල් තැන දීම දක්නට හැකි පැහැදිලි කරුණකි. ඊට හේතු වී හේතුවී තිබෙන්නේ භෞතික සංස්කෘතියට සාපේක්ෂව අභෞතික සංස්කෘතිය වෙනස් නොවීමයි. සාම්ප්‍රදායික සමාජය තුළ අවිධිමත් සමාජ පාලන උපක්‍රම වලට ප්‍රබල ස්ථානයක් හිමිව පැවතිණි. සංස්කෘතිකමය සිරිත් විරිත් වලින් සමාජයෙහි යම්කිසි ආකාරයක පාලනයක් නිර්මාණය වීම දක්නට පුළුවන. උදාහරණයක් වශයෙන් තරුණියකට තරුණයෙකු මුණ ගැසී කතාකිරීමට පැවතුණේ ඉතා සීමිත නිදහසකි. වක්‍රාකාර අවිධිමත් සමාජ උපක්‍රම හරහා තාරුණ්‍ය යම් පාලනයක රැඳවීමට එදා සමාජයට හැකියාව ලැබිණි. ඒ හේතුව මත ආදරය යන සංකල්පයේ රාගය මිශ්‍ර වූ අවස්ථාවන් ඉතා අවම විය. 

මෙහිදී මතු වන ප්‍රබල ගැටලුව නම් ලිංගික අධ්‍යාපනේ අවම බවයි. වැඩිවියට පත් වීමත් සමඟ ඇතිවන කායික මානසික වෙනස්කම් පිළිබඳ ඔවුන්ට පවතින්නේ අවම අවබෝධයකි. වැඩිවියට පත් වීමත් සමඟ දැනෙන හැඟෙන සිතුවිලි ආකල්ප පිළිබඳ පුළුල් අවබෝධයක් නොමැතිවීම මත ඔවුන් නිතැතින්ම ආදරයෙන් වල්මත් වීම හා අතරමං වීම සාමාන්‍ය තත්ත්වයක්. එය එසේ නොවුනහොත් අසාමාන්‍ය තත්ත්වයක්. වත්මන් තාරුණ්‍යයේ ආදරය සිවදිවි නසා ගැනීමට තරම් සාහසික තත්ත්වයට පත් ව පවතී. මෙය පැහැදිලි වශයෙන් කායික හා මානසික සුරක්ෂිතතාව අහිමි වීම හා සමාජ සම්බන්ධතා බිඳ වැටීමෙහි ප්‍රතිඵලයකි. ආසියාතික සමාජයේ පෙම්වතුන් ඇත්ත ජීවිතයේ කිරීමට අපහසු දේ පිළිබඳ තෘප්තිමත්භාවයට පත් වන්නේ සිහින තුළ ජීවත් වීමෙනි. ඔවුන් තුළ ප්‍රේම සම්බන්ධතාවයෙහි අවිනිශ්චිත බව පිළිබඳ කිසිඳු හැඟිමක් නැත. පෙම් සබඳතාව බිඳ වැටුණහොත් කරකියා ගත හැකි කිසිවක් ඔවුනට නැති වීම ස්වභාවිකය. මෙහි ඇති ශෝචනීය තත්ත්වය නම් එවැනි අවස්ථාවක ඒ පිළිබඳ කතා කරන්නට විසඳුම් දෙන්නට කෙනෙකු ඔවුන් අසල නොමැති වීමයි. යමෙකු ගැටලුවට විසඳුම් නො දුන්න ද තම දුක වේදනාව අසා සිටීම පමණක් ම එම පුද්ගලයා හට යම්කිසි සහනයක් නිතැතින්ම හිමි වෙනවා. එනම් පවතින තරඟකාරී සමාජ ක්‍රමය ඇතුළත කෙනෙකුට තවකෙකු වෙනුවෙන් වැය කරන්නට කාලය නොමැති වීම මෙයට බලපානවා. සංකීර්ණ සමාජ සබඳතා ඇතුළත තාරුණ්‍යය සැහැල්ලුව විඳින්නේ තම ආදරය තුළින්. එය අහිමි වීම ඔවුන්ට තවදුරටත් මානසික සුවය පිළිබඳ අපේක්ෂාවන් තබා ගැනීමට නොහැකි තත්ත්වයක්. 

තාරුණ්‍යය ස්වභාවයෙන් ම ආවේගශීලීයි. ඔවුන් ඕනෑම අවස්ථාවක ක්ෂණික ව තීරණ ගැනීමට පෙළඹෙයි. නූතන තරඟකාරී සමාජ රටාව තුළ ඔවුන් ක්ෂණික සියදිවි නසා ගැන්මට යොමුව ඇත. මෙවැනි අවස්ථාවක රටක මාධ්‍යයට පැවරී තිබෙන වගකීම සුළුපටු නැත. ආදරය අහිමි වීම මූලික කරගෙන සියදිවි නසා ගත් සිදුවීම් මාධ්‍ය තුළින් උලුප්පා පෙන්වීම අද විලාසිතාවක් වී ඇත. එයින් සිදු වන්නේ සමාජයේ අනිත් තරුණයන්ට ද එය සාමාන්‍ය කරැණක් බවට පත් වීමයි. ප්‍රථම පෙම විවාහ කර ගත යුතුයි යන සිතුවිල්ල ආසියාතික සමාජයෙන් අපට හිමිව පවතින්නක්. නමුත් විය යුතු වන්නේ එය නො ව ඔවුන් අතර ඇති නොගැලපීම්, ගැටළු දෙදෙනා විසින් මනා ලෙස අවබෝධ කර ගැනීමයි. එමඟින් තරුණ ජීවිතවල පමණක් නොව සමස්ථ සමාජය තුළ උද්ගතව ඇති සෝචනීය් තත්ත්වය වළක්වා ගැන්මට හැකියාව ලැබේ.

වෛද්‍ය චන්ද්‍රිකා රාජපක්ෂ

Doctor of Ayurveda | Motivational Speaker | Counsellor

M. Sc., BAMS, B. Sc., CCHRM,

Ad. Dip. in Psychotherapy & Dip. in Counseling Psychology