Kalani Dodanthenna

1. කලණි, මේ දවස්වල කාලය ගෙවෙන්නේ කොහොමද?

තුමිදුගේ ආචාර්ය උපාධියෙහි අධ්‍යන කටයුතු නිසා අපි මේ දවස්වල ජිවත් වන්නේ එංගලන්තයේ.

2. ඔබේ පුංචි පවුල එක්ක එංගලන්තයේ ජිවත් වෙන්න ලැබුන අවස්ථාව සහ ලැබෙන අත්දැකිම කොහොමද?

තුමිදුගේ අධ්‍යාපන කටයුතු නිසා පහුගිය කාලයේදි අපි තුන්දෙනාට එකට ජිවත් වෙන්න නොහැකි වුනා. ඇත්තටම ඒ කාලය අපි ගත කලේ සතුටින් නෙවෙයි.
අලුත් පරිසරයකට හුරු වෙන එක අමාරු වුනත් පවුලක් විදියට එකට ඉන්න එක මගේ හිතට ලොකු සතුටක්. අපේ පුතා එංගලන්තයේ පාසලක පළමු වසරේ ඉගෙනුම ලබනවා. තුමිදු එයාගේ අචාර්ය උපාධියේ අවසන් වසරේ අධ්‍යනය කටයුතු කරගෙන යනවා. මම මෙම දිනවල VMD ආයතනයෙහි Student consultant කෙනෙකු වශයෙන් රැකියාව කරනවා. ටික කාලයකට හරි එංගලන්තයේ ජිවත් වෙන්න ලැබිම අපි තුන්දෙනාට වෙනස්ම අත්දැකීමක් වුනා.

3. ජිවිතයේ එක් දවසක් ටෙලිනාට්‍යයෙහි “වත්සලා” චරිතය සදහා රංගනයෙන් දායක වෙන්න ලැබුන අවස්ථාව පිළිබදව ඔබේ අදහස මොකක්ද?

වත්සලා කියන චරිතයට මාව තෝරා ගැනිම පිළිබදව අපේ රටේ ඉන්න ඉතාම දක්ෂ අධක්ෂකවරයෙක් වන
ලලිත් අයියාට ස්තුතිවන්ත වෙනවා. එවැනි අධක්ෂකවරයෙක් යටතේ වැඩ කරන්න ලැබිම මගේ රංගනය දියුණු කර ගන්න ලැබුන ලොකු අවස්ථාව වෙනවා. එමෙන්ම දක්ෂ රංගන ශිල්පින් දෙදෙනෙකු වන බිමල් අයියා, පුබුදු අයියා සමග ප්‍රධාන චරිතයක් රගපාන්න ලැබිම ඉතා වටිනා අවස්ථාවක් වෙනවා. ඒවගේම ජිවිතයේ එක් දවසක් ටෙලිනාට්‍යයෙහි මගේ චරිතය නිර්මාණය කර ගැනිමට උදව් වුන රංගන ශිල්ප, ශිල්පිනියන් සහ අනිකුත් කණ්ඩායමේ සියලුම දෙනාව මම ආදරයෙන් මතක් කරනවා.

4. ඔබේ එංගලන්ත සංචාරය අතරතුර සම්බන්ධ වෙන්න ලැබුන නිෂ්පාදනය පිළිබදව විස්තර කියමුද?

මායා 24 චිත්‍රපට නිෂ්පාදන සමාගමේ නිෂ්පාදනය වන මායා සිංහරතන අධක්ෂණය කරන Ceylon කෙටි ච්ත්‍රපටයෙහි මම රංගනයෙන් දායක වෙනවා. මෙම දිනවල එහි නිෂ්පාදනය කටයුතු සිදු වෙමින් පවතිනවා.

5. ඔබ දායක වන්නේ තෝරාගත් සීමිත සහ ගුණාත්මක නිර්මාණ ප්‍රමාණයකට පමණයි. ඒ සදහා විශේෂ හේතුවක් තියෙනවාද?

චරිතයක් භාර ගැනිමට පෙර රංගන ශිල්පිනියක් විදියට එම චරිතය කොයි තරම් දුරකට සාර්ථකව කරන්න පුලුවන්ද, ඒවගේම ප්‍රේක්ෂක රසවින්දනයට සහ බුද්ධියට යම්කිසි දෙයක් එම නිර්මාණය තුලින් එකතු කරන්න පුලුවන්ද වැනි කරුණු නිර්මාණයකට දායක වෙන්න කලින් මම හිතනවා. මට ලැබෙන ඕනෙම චරිතයක් මගේ රංගන ජිවිතයට අලුත් අත්දැකීමක් එකතු කරනවා.

6. කලණි, ඔබ ඉතාම දක්ෂ චිත්‍ර ශිල්පිනියක්. එම අංශයෙන් අනාගතය බලාපොරොත්තු මොනවාද?

මම එංගලන්තයට ආවට පස්සේ කුඩා දරුවන් වෙනුවෙන් සජිවි සහ Online තාක්ෂණය උපයෝගි කරගෙන ච්ත්‍ර වැඩමුළු කිපයක්ම කලා. මම දැනට ජිවත් වන එංගලන්තයේ එල්ස්බරි ප්‍රදේශයේ ච්ත්‍ර වැඩමුළු කිපයක් දෙසැම්බර් මාසයේදි පටන් ගන්න සැලසුම් කරලා තියනවා. කුඩා දරුවන් සමග වැඩ කරන්න මම හරිම කැමතියි. ඒ අය තුල ඉන්න නිර්මාණ ශිල්පියෝ එයාලගේ ච්ත්‍රවලින් එලියට එනවා දකින එක මට ලොකු සතුටක්. ච්ත්‍ර ශිල්පයෙකු විදියට ඊට වඩා ලොකු බලාපොරොත්තුවක් මට නැහැ.

7. ජිවිතයේ එක් දවසක් ටෙලිනාට්‍යයට අමතරව ඔබ අලුතින් සම්බන්ධ වුන නිර්මාණ මොනවාද?

මම රංගනයෙන් දායක වුන කෝරලගේ සමන් අධක්ෂණය කරන අමුතු දොස්තර කියන ටෙලිනාට්‍යය සහ මම සහභාගි වුන ගීත රූප රචනා දෙකක් තුලින් ඉදිරියේදි මාව ප්‍රේක්ෂකයන්ට දැක ගන්න ලැබේවි.

අමා නාකන්දලගේ ✍🏼
(අපි Magazine)

Shihan Mihiranga

Sirasa Super Star ගායන තරු තරගය තුලින් ඔහු සංගීත ක්ශේත්‍රයට පා තබා දැනට දශක දෙකකට ආසන්න කාලයක් ගෙවි ගිහින් තිබුනත් එදා මෙන් අදත් වයස, ජාති, ආගම් එකි නොකි කිසිදු භේදයකින් තොරව ප්‍රේක්ෂක සිත් තුල ලැගුම් ගෙන සදා නොවෙනස් ආදරයක් ලබන්න ඔහුට හැකි වුනා.

පෙරදා මැවු සිනා, අද තනියෙන් මා, රතු රෝස මල් වගේම ඔහු මෑත කාලයේදි ප්‍රේක්ෂකයන්ට තිළිණ කල නගේ, ඇයි නපුරු වැනි ගීත තුලින් කාලයෙන් කාලයට එන විවිධ ආරයන්ට නතු නොවි ඔහුගේ අනණ්‍යතාවය නොවෙනස්ව පවත්වා ගනිමින් ප්‍රේක්ෂක රසවින්දනය සදහා ඔහු නිර්මාණ ඉදිරිපත් කලා. ඇත්තටම කිවුවොත් “ඒ වගේ ප්‍රේක්ෂක ආදරයක් ලබන්න හැමෝටම බැහැ”

ඔහු තරගකරුවෙකු ලෙස සහභාගි වු Sirasa Super Star තරගයෙහි ඔහුව විනිශ්චය කල ප්‍රවීනයන් සමග
Sirasa Super Star සහ Hiru Star වැනි තරගවල විනිශ්චය මණ්ඩලයෙහි සාමාජිකත්වය දරමින් උරෙන් උර ගැටෙමින් ඔහුට ආවේනික අනණ්‍යතාවය පවත්වාගෙන ‍යාම ඔහුගේ සාර්ථකවය සහ ආත්මවිශ්වාසය මනාවට පෙන්නුම් කරනවා.

මෙවර අපි Magazine සමග පිළිසදරට
අපි එකතු කර ගන්නේ එදා පැළදු ප්‍රේක්ෂක ආදරය නම් වු ඔටුන්නෙහි හිමිකාරිත්වය නොවෙනස්ව පවත්වා ගෙන යන යෞවනයේ සිහින කුමරා ශිහාන් මිහිරංග ටයි.

1. ශිහාන්, මේ දවස්වල කාර්ය්‍යබහුල කාලයක් නේද ගත කරන්නේ?

මේ ටිකේ ඇත්තටම වෙනදාට වඩා කාර්යබහුලයි. Covid කාල වකවානුවේදි විදේශ ප්‍රසංග සදහා සහභාගිවිම මුලුමනින්ම නවතා තිබුන නිසා විදේශ සංචාර සදහා ආරාධනා බොහෝමයක් ලැබිලා තියනවා. දේශීය ප්‍රසංග ප්‍රමාණයත් වෙනදාට වඩා වැඩි වෙලා තියනවා. එමෙන්ම Dreams Of Shihan නමින් මගේ තනි පුද්ගල ගීත ප්‍රසංගය මාලාවක් පැවැත්විමට සැලසුම් කරගෙන යනවා. එහි පළමු ප්‍රසංගය ඕස්ට්‍රේලියාවේදි අති සාර්ථක ලෙස පැවැත්වුන අතර ලංකාවේ පැවැත්විමට සැලසුම් කල ප්‍රසංග මාලාව කොලඹ නගරයෙන් ආරම්භ වී රටපුරා පැවැත්විමට සියලු කටයුතු සුදානම් වෙමින් පවතිනවා.

2. ඔබේ නවතම ගීත නිර්මාණය “නගේ” හැදුන හැටි කියමුද?

ගුවන් ගමනක් යන අතරතුරදි එහි සේවය කරපු සුරූපි ගුවන් සේවිකාවක්ගේ සුන්දරත්වය දැකලා මගේ හිතට නැගුනු පද මාලාවකට අනුව “නගේ” ලියවුනේ මීට අවුරුදු ගණනාවකට කලින්. මෙහි තනුව මම නිර්මාණය ‍කලා. මලින්ද ලෝ ගීතයෙහි සංගීත සැකැස්ම සදහා සහය වුනා. නගේ ගීතයෙහි Youtube වීඩියෝව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදි රූගත කෙරුණු අතර සැලසුම් කල ආකාරයට වෙනස්ම විදිහේ රූපමය වින්දනයක් ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න අපිට හැකිවුනා.

3. “නගේ” ගීතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?

මෑතකදි නිකුත් වු නගේ සහ ඇයි නපුරු ගීත දෙකම මේ දවස්වල ලංකාවේ ඇහෙන ගීතවලට වඩා වෙනස් නිර්මාණ ලෙස හදුන්වන්න පුලුවන්. මම කැමතියි කාලයෙන් කාලයට එන විවිධ ආරයන්ට නතු නොවි මගේම ක්‍රමයකට ගීත නිර්මාණය කරන්න. මෙම ගීතය තවම සංගීත ප්‍රසංගවල ගායනා කරලා නැහැ. ඒවගේම දැනට පවතින ගීත දර්ශකවල ජනප්‍රිය ධාරවන් තුලත් නැහැ. නමුත් ශිහාන්ගේ ආරායට කැමති ප්‍රේක්ෂක පිරිසගෙන් ලැබෙන ප්‍රතිචාර ඇත්තටම ඉතාම හොදයි.

4. ඔබ විදේශ සංගීත ප්‍රසංග සදහා සහභාගි වන්නට වැඩි කැමැත්තක් දක්වනවාද?

ඇත්තම කිවුවොත් වැඩි කැමැත්තක් නැහැ. එයට හේතු වන්නේ, ලංකාවේ පැවැත්වෙන ප්‍රසංගය නැරඹිමට පැමිණෙන ප්‍රේක්ෂකයන්ට ලැබෙන අත්දැකීම සීයට සීයක්ම විදේශ ප්‍රසංග නරඹන්නන්ට ලබාදීමේ අපහසුතායක් තිබිමයි. ලංකාව තුල පැවැත්වෙන ප්‍රසංග සදහා සංගීත කණ්ඩායම්, විශාල වේදිකාවන්, ශබ්ද පරිපාලන ක්‍රම, විදුලි ආලෝකකරණය වැනි සංගීත ප්‍රසංගයක් පැවැත්විමට අවශ්‍ය සියලු සේවාවන් සංවිධානය කරන පිරිසට දැරිය හැකි මුදලකට ලබා ගැනීමේ හැකියාව තියනවා. ලංකාවේ පැවැත්වෙන ප්‍රසංගවලට සාපේක්ෂව විදේශ ප්‍රසංගවලට සහභාගි වන පිරිස අඩුයි. ප්‍රසංගය පැවැත්විමට වැය කිරිමට සිදුවන වියදම වැඩියි. එමනිසා වියදම් කරන්න පුලුවන් ප්‍රමාණය යම්කිසි ආකාරයට පාලනය කරමින් ප්‍රසංග සැලසුම් කරන්නට සංවිධානය කරන පුද්ගලයාට සිදු වෙනවා. එහිදි සංගීත ප්‍රසංගයේ ගුණාත්මකභාවය පිළිබදව ගැටලු ඇති වෙන්න පුලුවන්. මෙය සෑම විදේශ රටකටම අදාල වන්නේ නැහැ. ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වෙන ගුණාත්මකභාවය රැක ගනිමින් සාර්ථක ලෙස ප්‍රසංග පවත්වන පිරිසකුත් ඉන්නවා.

5. ඔබ සහභාගිවිමට නියමිත SYMPHONY LONDON ප්‍රසංගය පිළිබදව ඔබේ එංගලන්ත රසික රසිකාවියන්ට විස්තර කියමුද?

මම ලොකු කාලයකට පස්සේ ප්‍රසංගයක් සදහා එංගලන්තයට එන්නේ. SYMPHONY LONDON ප්‍රසංගය සංවිධානය කරන Affinity events කණ්ඩායම මේ සදහා යන වියදම් ගැන පමණක් හිතන් නැතුව ප්‍රසංගයේ ගුණාත්මකභාවය රැක ගනිමින් ‍ප්‍රසංගය සාර්ථකව පැවැත්විමට මූලිකව අවශ්‍ය වන දේවල් වෙනුවෙන් අවධානය යොමු කරන්න කැමැත්තෙන් ඉන්නවා. මේ වනවිට ප්‍රවේශ පත්‍ර ඉතා සුළු ප්‍රමාණයක් පමණක් ඉතුරු වෙලා තියන බවයි දැන ගන්න ලැබුනේ. ඉතින් වෙනස් ආකාරයේ සංගීතමය අත්දැකීමක් විදගන්නට එංගලන්තයේ වෙසෙන ප්‍රේක්ෂක ඔබට අපි ආදරයෙන් ආරාධනා කරනවා.

6. Hiru Star ගායන තරු තරගයෙහි විනිශ්චය මණ්ඩල සාමාජිකයෙක් වශයෙන් කටයුතු කිරිමේදි දිනෙන් දින සංගීත කේෂ්ත්‍රයට පැමිණෙන නවක ගායන තරු ඔබට මුණ ගැහෙනවා. ප්‍රවීන කලා කරුවෙකු වශයෙන් ඔවුන් ගැන ඔබේ අදහස මොකක්ද?

Sirasa Super Star ගායන තරු තරගය තුලින් සංගීත ක්ශේත්‍රයට පිවිස Sirasa Super Star නිවේදකයකු සහ විනිශ්චය මණ්ඩල සාමාජිකයෙකු ලෙස වැඩ කරන්න මට අවස්ථාව ලැබෙනවා. Hiru Star තරගයට සම්බන්ධව Seasons 3 ක් මම වැඩ කලා. Sirasa Super Star තරගයට සහභාගි වෙන වකවානුවේදි මාව විනිශ්චය කරපු ප්‍රවීනයන් සමග එකම වේදිකාවක වැඩ කරන්න ලැබිම මට ඉමහත් ගරුත්වයක් සහ ආඩම්බරයක් වෙනවා.

එවැනිම අත්දැකීමක් ලබපු කෙනෙක් හැටියට තරගයට සහභාගි වන නවක ගායන තරු සමග වැඩ කරන්න සහ ඔවුන්ව විනිශ්චය කරන්න මට ඉතාම පහසු වුනා. Hiru Star තරගය තුලින් මම වගේම අවස්ථාවන් හොයන අලුත් පරම්පරාවට උදව් කරන්න ලැබුන හොද අවස්ථාවක් විදියට කියන්න පුලුවන්. ඉදිරියේදි තරගය වෙනුවෙන් මාස 19 ක් වැනි කාලයක් වෙන් කර ගැනිමේ අපහසුතාය නිසා Hiru Star Season 4 වැඩසටහන සමග මම සම්බන්ධ වෙන්නේ නැහැ.

7. ඔබ කේෂ්ත්‍රයට පැමිණෙන කාලයේදි පැවති ගායන තරු තරග සහ වර්තමාන ගායන තරු තරග අතර ඔබ දකින වෙනස මොකක්ද?

ඉස්සරට වඩා තරගකරුවන්ගේ දක්ෂතාවයන් වැඩි කියලා මම හිතනවා. අපි ක්ශේත්‍රයට එන කාලේ රූපවාහිනිය හෝ රෙඩියෝව වැනි පොඩි වපසරියකින් දැනුම හොයා ගත්තේ. නමුත් Youtube, Google වැනි මාධ්‍යයන් තුලින් නව පරපුරට ලෝකය දකින්න සහ අත්හදා බැලිම් කරන්න අවස්ථාව තියනවා.

එමෙන්ම ඉස්සර ගායන තරු තරග තිබුනේ අතලොස්සයි. නමුත් දැන් විවිධ නාලිකාවන් තුලින් තරග බොහොමයක් සංවිධානය කරනවා.
මම ඒකට කැමතියි මොකද නවකයන්ට වැඩි අවස්ථාවන් ප්‍රමාණය ඒතුලින් ලබා ගන්න පුලුවන්. තරග ප්‍රමාණය වැඩි නිසා නරඹන ප්‍රේක්ෂකාගාරය බෙදිලා තියනවා දකින්නට පුලුවනි.

8. ඔබ ඉදිරියේදි සහභාගිවිමට නියමිත දේශීය සහ විදේශීය ප්‍රසංග පිළිබදව ඔබේ රසික රසිකාවියන්ට කියමුද?

මගේ ඒක පුද්ගල ප්‍රසංග මාලාව Dreams Of Shihan කුරුණෑගල, මහනුවර, මාතර වැනි නගරවල පැවැත්විමට සියළු කටයුතු සැලසුම් කරමින් තියනවා. ඊට අමතරව ලංකාවේ විවිධ පලාත්වල ප්‍රසංග කිහිපයකට සහභාගිවිමට නියමිතයි. එමෙන්ම එංගලන්තය, ජපානය, ඩුබායි, කැනඩාව, ඇමෙරිකාව වැනි රටවල්වල විදේශ සංචාර සදහා ආරාධනා ලැබිලා තියනවා.

9. ඔබේ සාර්ථකව පසුපස නිබදව ඔබ හා සිටින ඔබේ ආදරණීයන් මතක් කරමුද?

මගේ සාර්ථකත්වයට පළමු හේතුව වන්නේ අවුරුදු 18 වැනි කාලයක් මට වැටෙන්න දෙන්නේ නැතුව මා වටා ඉන්න ප්‍රේක්ෂකයන්. ඔවුන් මට ලොකු හයියක්. ඒවගේම මගේ බිරිඳ, දරුවෝ, අම්මා, තාත්තා සහ නැදෑයන් මගේ පෞද්ගලික ජිවිතය සහ වෘත්තීමය ජිවිතයට හානියක් නොවෙන විදියට හැසිරෙමින් මගේ සංගිත ගමන නිදහසේ ගොඩ නගා ගන්න උදව් කරනවා.

10. Sirasa Supers Star සංගීත තරගයෙන් ආරම්භව එතෙක් මෙතෙක් කාලය තුල ප්‍රේක්ෂක සිත් තුල නොවෙනස් මතකයන් එකතු කල ඔබගේ අනාගතය බලාපොරොත්තු මොනවාද?

එහෙම විශේෂ බලාපොරොත්තුවක් නැහැ. මට හැකි කාලයක් ගායනය කරන්න මම කැමතියි නමුත් අනාගතයේදි හැමදාම ගීත ගායනා කරන්න හෝ එමගින් ආදායමක් උපයන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. කරදරයක් නැතුව නිදහස් තැනක ජිවිතය ගත කරන්න මම කැමතියි කිවුවොත් නිවැරැදියි.

අමා නාකන්දලගේ ✍🏼
(අපි Magazine)

බේට්ස්මන්බේ

“සයුරේ ජීවිත නැව පෙරලී

මුතු සොයනා අය කොහෙදෝ

පණ නල පාගා…” 

හද පතුලේ සැඟව තිබූ ගී පදවැල් එකිනෙක මනසට ගලාගෙන එන්නට පටන් ගත්තේ,  බුඩාවාන්ග් වනය පසුකොට කිංග්ස් අධිවේගී මාර්ගය දිගේ පැමිණි  අපි ඕස්ට්‍රේලියාවේ ගිනිකොනදිග වෙරළ කලාපයට සේන්දු වනවාත් සමගම. ලුණු මුහුවෙච්ච සුළඟක් වහනය තුලට ගලාගෙන ආවේ අපිව නගරයට පිලිගන්නාක් මෙන් .

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ, බේට්ස්මන් බේ නගරය පිහිටා ඇත්තේ ක්ලයිඩ් ගංගාව, දකුණු පැසිෆික් සාගරයට මුණගැසෙන මෝයක වෙරළ තීරයේ ය. 

සශ්‍රීක කඩොලානවලින් වැසී ගිය පුළුල් රන්වන් වෙරළ, කොරල් පර සහිත ගල් තලා පිරි  තම වටපිටාව,  නගරය  විවෘත දෑතින්ම වැළඳ ගත්තා. පැසිෆික් සාගරයේ රිද්මයානුකූල වඩදිය රළ, සුන්දර වෙරළට මෘදු ලෙස කඩා වැදුනේය.

බේට්ස්මන් බේ , එහි විශ්මයජනක භූ දර්ශන සඳහා ප්‍රසිද්ධියට පත් වූ අතර අමුත්තන්ට සෑම අවස්ථාවකදීම සොබාදහමේ සුන්දරත්වය අපිරිමිතව පිලිගන්වුවා.නගරයේ හදවත බොහෝ සෙයින්  ඝෝෂාකාරී වූවත් , එය වටා ඇති ස්වභාවික අරුමපුදුම දේ සමඟ බාධාවකින් තොරව මුසු වුණා. විචිත්‍රවත් කුටි සහ ආකර්ශනීය කැෆේ වීදි දෙපස පිහිටා ඇති අතර, ඒවායේ මුහුණත හිරු බැස යෑමේදී  දීප්තිමත් වර්ණ පිළිබිඹු කරමින්  මනස්කාන්ත වූවා . නගර වැසියන් මෙන්ම සංචාරකයෝද වෙරළ තීරයේ සක්මන් මළුව දිගේ ඇවිද ගිය අතර, ඈත රටවල කතා රැගෙන එන ලුණු රස සුළඟට ඔවුන් මනාව ඇහුම්කන් දුන්නා.

අතරමගදී හමුවූ කුඩා අවන්හලකින් අපි සප්පායම් වී සිටි නිසා, අප නගරය පසු කොට කෙලින්ම ලඟා වුනේ බේට්ස්මන්හි  වඩාත්ම ආදරණීය ස්ථානවලින් එකක් වූ ක්ලයිඩ් ගංගා ජාතික වනෝද්‍යානයේ ඇති කඳු මුදුන වෙත.  එහි පැමිණෙන්නෙකුට  මෝය, සාගරය සහ ඉන් ඔබ්බට කඳුකරයේ අසමසම පරිදර්ශනයක් ඉදිරිපත් කරයි. සංචාරකයින් බොහෝ විට එහි රැස්ව සිටි අතර, සූර්යයා ක්ෂිතිජයෙන් පහළට බැස යමින් දීප්තිමත් වර්ණ මාලාවකින් අහස පින්තාරු කරන ආකාරය දෙස බලා විස්මයට පත්ව සිටියා. 

ගොම්මන එළබෙන්නට පෙර අප බේට්ස්මන් බේ වෙරළ නගරයෙන් පිටවුනේ,  සයුරේ කිමිදෙන්නට ගිම්හාන සමයේදී අප මෙහි නැවතත් පැමිණිය යුතු බව සිතේ සනිටුහන් කරගනිමින්.  ගමන අවසන් කරන්නට මත්තෙන් රොබින්සන් අන්දරය නැවතත් මනසට ආවේ බේට්ස්මන් බේ ස්වභාව සෞන්දර්ය එහි පරිකල්පනයක් මෙන් සිතට කා වැදුණු නිසා. 

“වෙරළේ  පියමන් පැවසූයේ

රළ කඳුරේ සුවඳයි  මේ

සෙනෙහේ අසරණ  වූ දා පමනයි දෝ

නොවෙනස් වෙයි කුරුලු ගී

පණ  නල සැබෑ වුනේ

සුළගේ රහසක් කීවා

පියමන් වෙරළේ

සුලගයි මැකුවේ රළ නෑ

සැඟවූයේ  ඇයි

ඈත යයි රූ…

ඇල දොල කඳු මැල වී

ගිනි පොකුරත් සුවයක් වූ දා

සදෙහිත් සිසිලක් නෑ…

ජීවිතේ ආදරෙයි…

සයුරේ…”

Piyumi Silva

සමාජයට මහත් ව්‍යසනයක් ව පවතින, එහෙත් අඩුවෙන්ම කතා බහට ලක් වන මිනිස් ජීවිත වල ජීවිතාවර්ජනය අපූරුවට වචන වලට පෙරලන පියුමි සිල්වා

පියුම් සිල්වා ඔබ කොහොමද ඔබව හඳුන්වන්නේ? 

 හරිම සුහදශීලී, කිසිම කෙනෙක් එක්ක තරහ වෙලා ඉන්න බැරි, හැමෝටම උදව් කරන, සංගීතයට හා පොතපතට ඇලුම් කරන සරල සාමාන්‍ය කෙනෙක්. 

 ඔබ ගැන විස්තර ටිකක් අපිට කිව්වොත්? 

 මගේ ගම කැලණිය. මගේ පවුලේ අම්මයි තාත්තයි අක්කයි මල්ලියි. මං පාසල් ගියේ බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්යාරාමය ට. මම ප්‍රසිද්ධ සමූහ ව්‍යාපාරයක පෞද්ගලික ලේකම්වරියක් ලෙස රැකියාවේ නියැලුනා 2011 වර්ෂය වෙනකන්. මගේ පියා 2007 වර්ෂයේ අප අතරින් සමුගත්තා. මවගේ වියෝවත් සමඟ මම රැකියාවට සමු දුන්නා. විවාහයෙන් පස්සේ මගේ පවුල, මගේ මහත්තයයි පුතයි දුවයි. මහත්තයා ව්‍යාපාර කටයුත්තක නියැලෙනවා. පුතාට අවුරුදු පහළොවයි,දුවට අවුරුදු දොලහයි.

 ඔබට කුඩා කාලේ ඉඳලා රසවත් දේ ලිවීමට හැකියාවක් තිබුණද? 

 මං නවකතා කියවන්න හරිම කැමතියි. පාසල් යන කාලේ යාලුවොත් එක්ක නවකතා හුවමාරු කරගෙන කියෙව්වා. කියවන්න දක්වපු ආශාව නිසා කවි නිසැඳස් ලියන්න O/L’s කාලෙ ඉඳන් පොඩි හැකියාවක් තිබුණා. පාසල් කාලේ වාණිජ දිනය සඳහා තේමා ගීයත් සුවනියර් එකේ cover page එකත් ඩිසයින් කරලා තියෙනවා. ලියපු නිසදස් වල එකතුවකුත් තියෙනවා. අදටත් ඉඳලා හිටලා කවි නිසඳැස් ලියනවා. 

 අපි magazine එකට ලියන්න එකතු වෙන්නෙ කොහොමද? 

 ඇත්තටම අපි magazine එකේ නියමුවා කිව්වොත් හරි.. ගයාන් කරුණාරත්න ගේ ආරාධනාවකින් තමයි ලියන්න පටන් ගත්තේ. මම මේ magazine එකේ ලියන්නේ අද සමාජයේ බහුලව දකින්නට ලැබෙන ඒත් අඩුවෙන්ම කතාබහට ලක් වෙන මාතෘකාවක් ගැන. ඔබ අපි magazine එකේ ලියන තේමාව ගැන පොඩි විස්තරයක් කලොත්.. ඔව් මම ලියන්නේ මතට ඇබ්බැහි උන, එහෙත් එයින් මිදුණු පුද්ගලයන්ගේ ජීවිත ගැන. ඒ පුද්ගලයන්ගේ ආදරණීයයන් ලබපු අත්දැකීම් ගැන, අදටත් ඒ අත්දැකීම් විඳින අය ගැන, ඇත්තටම මේ ගැන කතිකාවතක් ඇති කරන්න මට උවමනා උනේ මෙවැනි අත්දැකීමකට මමත් මුහුණ දුන් නිසා. මේ සඳහා අවශ්‍ය තොරතුරු මම රැස් කර ගන්නේ පෞද්ගලිකවම එය ඈත් සමග කතා කරලා වගේම පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලින්.

ඔබ ආඩම්බර වන ඔබ ලියා ඇති හොඳම සටහන.. 

 ඇත්තටම මේක මම ලියලා තියෙන්නෙ මගේ පුතා වෙනුවෙන්. මම මේකට මාරම ආසයි.. මේකෙ සාහිත්‍ය රසයක් නැහැ. හරිම සරල විදිහට ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට අමුවෙන්ම මම මේක කියලා තියෙනවා.

 නුඹේ හිත රිදුන බව පුතේ මම දන්නවා.. 

ඇයි එපා කිව්වේ මම නුඹ තාම හොයනවා.. 

පිටත ලොව කුරිරු බව තාම නුඹ නොදන්නවා.

අම්මා මට ආදරේ නැහැයි නුඹ සිතනවා..

 දකින විට හැමදේම සුන්දරයි සිතනවා..

 ගුණ නුගුණ හරිහැටි ව පුතේ නුඹ නොදන්නවා.. 

දෙන්නෙ නෑ ආස දේ ලපටි නුඹ කියනවා.. 

කෙලෙස නුඹ රැක ගන්නේ දිවා රෑ මම සිතනවා.. 

 ආදරෙයි මහ ගොඩක් පුතේ නුඹ එය දන්නවා.. 

ඇස් දෙකේ තියන් මම නුඹව නිති රකිනවා..

 නුඹේ හීනෙට යන්න හැමදේම කරනවා.. 

ආදරේ විතරක්ම පුතේ මම නුඹෙන් පතනවා.. 

ම්නිස්සුන්ට කියවීම ලිවීම තව දියුණු කරගන්න ඔයාට දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක මොකක්ද? 

 ලොකු චෝදනාවක් මිනිස්සුන්ට එල්ලවෙනවා ස්මාට් ෆෝන් භාවිතයත් එක්ක කියවීමට ඇති නැඹුරුව නැතිවෙලා කියලා. කිසියම් හෝ වීඩියෝවක් දිහා බලා එයට සවන් දෙන්න පුරුදු වෙලා කියලා. ඒත් ඇත්තටම සාහිත්‍ය මාසේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට එකතුවන මහා සෙනග දැක්කහම එහෙම අඩුවක් දකින්නට නැහැ. කියවන්න කැමති නැති කෙනා කවදත් කියවන්නෙ නැහැ. නමුත් දැන් අන්තර්ජාලයෙන් ebook හරහා අන්තර්ජාලයේ වැඩි වශයෙන් සැරිසරන අයට වුවත් මහත් අශාවෙන් පොත්පත් කියවීමට පුළුවන්. ඒ වගේම ඉතාමත් වැදගත් ගද්‍ය හා පද්‍ය ලිපි, අද වෙනකොට සමාජ ජාල ඔස්සේ ද බොහෝ සේ සැරිසරනවා. මේවා ඉතා රසවත් වගේම හරවත්. ඉතිං උදේ හවස සමාජ මාධ්‍ය වල සැරිසරන හැමෝටම මේවා කියවලා රසවිඳින්න පුළුවන්. ඉතින් දුවලා පුතාලාට විශේෂයෙන් කියන්න ඕන රචනා සාහිත්‍යය රසාස්වාද ලියන්න වචන ගලා ගෙන එනවා කියවනව නම්. ඉතින් වයස් සීමාවක් නැතිව පොත් පත්තර වගේම තමන්ට හරවත් හා වදගත් කුමක් හෝ කියවා දැනුම හා රසවින්දනය ලබා ගන්න යොමු වෙන්න කියලා ආදරයෙන් කියනවා.

අපි magazine එකත් එක්ක සම්බන්ධ වීම ගැන අද දැනෙන දේ කිව්වොත්.
 ඇත්තටම හරිම සතුටුයි අපි magazine එක අද ඉන්න තැන ගැන. ඒකෙ කොටස්කරුවෙක් වෙලා සමාජයට හරවත් යමක් දෙන්නට මටත් හැකිවීම ගැන නිහතමානී සතුටක් තියනවා. ඉතින් මේ magazine එක අද වෙනකොට ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් පරිශීලනය කරනවා. ඉවුම් පිහුම්, රූපලාවණ්‍ය, අධ්‍යාත්මයට යමක්, කෙටි කතා, ළමා කතා, පරිසයේ සුන්දරත්වය, නිසඳස්, ඡායාරූපකරණය, සිනමා කර්මාන්තය, සමනලුන්, ධනාත්මක සිතුවිලි, ජනප්‍රිය පුද්ගලයින්ගේ තතු විස්තර ආදී එකී මෙකී නොකී දෑ අපි magazine එකෙන් දැන් ඔබට දැනගන්න පුළුවන්. ඉතින් හැමෝටම අපි magazine එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ආරාධනා කරන ගමන් අද මේ පිටුවට මාව සම්බන්ධ කර ගත්තට ගයාන්ට ගොඩක් ස්තූතියි.