Sewwandi Ranathunga

ඇය ලාංකික ප්‍රේක්ෂක අපගේ සිත් සොරා ගන්නට බොහෝ ගීත ගායනා කල ගායිකාවක් නම් නොවේ නමුත් ඇය ගායනා කල පළමු ගීතයෙන්ම ඇයගේ සලකුණ කේෂ්ත්‍රය තුල සනිටුහන් කරන්නට සමත් වුනා. “සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ” මෙම ගීතයේ මුල් පද පේළිය කියූ සැනින් නිතර්කයෙන්ම ඔබට ඇයව සිහි වෙනවා නොඅනුමානයි. ඇය ලාංකික සංගීත කේෂ්ත්‍රය බොහෝ පිරිසක් නියෝජනය කරන කලා පවුලකින් පැවත ගෙන එන දක්ෂ ගායිකාවක් වනවා.

ඇය ගායිකාවක් වශයෙන් ප්‍රේක්ෂක රසවින්දනය වෙනුවෙන් මෙන්ම ඇයගේ වටිනා පවුල වෙනුවෙන්ද කාලය වැය කල සුන්දර බිරිඳක් මෙන්ම ආදර්ශමත් තරුණ දරුවෝ දෙදෙනෙකු සමාජයට තිලිණ කල ආදරණීය අම්මා කෙනෙකු ද වනවා.

හිතේ සතුට මුහුණෙන් පේනවා කියලා අපි කතාවටත් කියනවානේ. ඇයගේ සුන්දරත්වය රහස එයම විය හැකිය. සුපුරුදු පරිදි හැකි අයුරින් නිහඩව සැමට උදව් කරමින් නිහතමානි ගමනක් යන අහිංසකාවිය සෙව්වන්දි ‍රණතුංග මහත්මිය සමග පිළිසදරක යෙදෙන්නටයි අපගේ සුදානම්. එහෙනම් අපිත් එක්ක එකතු වෙන්න සෙව්වන්දියගේ වතගොත දැන ගන්නට…

▪️සෙව්වන්දි, ප්‍රේක්ෂක අපට දැන් වෙනදාට වඩා ඔබගේ හඩ අහන්න, රුව දකින්නට ලැබෙනවා. මෙම දිනවල ඔබගේ ජිවිතය ගෙවෙන්නේ කොහොමද?

“සිනා මල් ගොඩක්” මගේ අම්මා නිර්මලා රණතුංග සමග ගායන කල මගේ මුල්ම ගීතය ඉතාම ජනප්‍රිය වුනා. එම ගීතයෙන් පසුව නව නිර්මාණය කලේ නැහැ. ඉන් ටික කාලයකට පසු මම විවාහ වුනා. විවාහයෙන් පස්සේ මගේ පවුල වෙනුවෙන් වැඩිපුර කාලයක් වෙන් කරන්න මට අවශ්‍ය වුන නිසා සංගීත වැඩ කටයුතුවල නිරත වෙන්න නොහැකි වුනා. දැන් මගේ දුවයි, පුතයි දෙන්නම ලොකු නිසා සංගීත කටයුතුවල නියැලෙන්න මට කාලය හදා ගන්න පුලුවන්.

මෙම දිනවල දෙරණ නාලිකාවෙහි විකාශනය වන 60 plus වැඩසටහනෙ විනිශ්චය මණ්ඩලයෙහි සාමාජිකාවක් වශයෙන් වැඩ කටයුතු කරනවා. එමෙන්ම ගෘහස්ථ සහ එලිමහන් සංගීත ප්‍රසංග සදහා සහභාගි වෙනවා. ඒවගේම නව ගීත කිහිපයක් නිර්මාණය කරන්න සැලසුම් කරලා තියෙනවා.

▪️ඔබ ලාංකීය ප්‍රේක්ෂක පිරිස ආදරයෙන් වැලද ගත් කලා පවුලකින් පැවත එන කෙනෙක්. පවුලේ අයව මතක් කරමුද?

ලාංකික සංගීත කේෂ්ත්‍රයේ නියැලෙන වැඩිම පිරිසකින් යුත් සංගීත කලා පවුලක සමාජිකාවක් වන්නට මම වාසනාවන්ත වුනා. මගේ තාත්තා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටපු ජේෂ්ඨ කතිකාචාරවරියක් වන දර්ශනපති විජේරත්න රණතුංග, මගේ තාත්තා දැනට අවුරුදු 12 කට කලින් අප අතරින් සමු ගත්තා. මගේ අම්මා විශාරද නිර්මලා රණතුංග. මගේ ලොකු අම්මා මල්කාන්ති නන්දසිරි, ලොකු තාත්තා සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි, නෙරංජලා සරෝජනී පුංචි, අබේවර්ධන බාලසූරිය බාප්පා, සකුන්තලා පිරිස් පුංචි, මනෝජ් පිරිස් මාමා, අනුරාධා නන්දසිරි අක්කි සහ අපේ පවුලේ හොදම රසිකයා කුමා පිරිස් මාමා ඇතුලු මගේ පවුලේ සියළුම දෙනාව ආදරයෙන් මතක් කරනවා.

අපි සියලු දෙනාගෙම කාර්යබහුලත්ව නිසා අපිට මුණ ගැහෙන්න තිබෙන අවස්ථාවන් ඉතාම අඩුයි නමුත් නත්තල් උත්සවය වැනි විශේෂ අවස්ථාවන්වලදි සහ අත්‍යාවශ්‍ය කටයුතුවලදි අනිවාර්යයෙන් අපි සියලුම දෙනා මුණ ගැහෙනවා. මගේ තාත්තා, අම්මා සහ පවුල අය නිසා කුඩා කාලයේ ඉදලාම සංගීත කේෂ්ත්‍රයේ ඉන්න දැවැන්ත පුද්ගලයන්ගේ ඇසුර ලබන්න මම ගොඩක් වාසනාවන්ත වුනා.

▪️අපි කැමතියි ඔබේ සැමියා, දුව සහ පුතා ගැන විස්තර දැන ගන්න. ඔබේ දරුවන් ඉදිරියේදි සංගීත කේෂ්ත්‍රයට යොමු වෙයිද?

මම විවාහ වෙලා ඉන්නේ සිරස ගුවන් විදුලියේ අධ්‍යක්ෂකවරයෙකු වන නිහාල් වික්‍රම එදිරිසූරිය සමගයි. මගේ දුව මනෝ විද්‍යාව පිළිබද උපාධිය හැදැරීම සදහා දැනට විදේශගත වෙලා ඉන්නවා. මෙම දිනවල ඇයගේ සම්පූර්ණම කාලය අධ්‍යාපන කටයුතු වෙනුවෙන් යොමු කරලා තියනවා. මගේ පුතා ජීව විද්‍යාව අංශයෙන් උස්සපෙළ විභාගය සදහා සුදානම් වෙනවා. ඔහු අධ්‍යාපන කටයුතුවලට මෙන්ම සංගීතය, ක්‍රීඩාව වැනි හැමදේටම දක්ෂ දරුවෙක්. අපේ දරුවෝ දෙන්නම සංගීතය හදාරලා තියනවා. ඔවුන්ට සංගීත හැකියාව පිහිටලා තියනවා නමුත් අපි කවදාවත් කිසිම දෙයකට බලපෑම කරන්නේ නැහැ. ඉතින් එයාලා තෘප්තිමත් අංශයකට ඉදිරියේදි යොමු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

▪️ වර්තමාන සමාජයේ දෙමව්පියන් සහ දරුවන් අතර සම්බන්ධ ගිලිහි ගිය බොහෝ අවස්ථාව බහුලව දකින්නට ලැබෙනවා. තරුණ දුවක් සහ පුතෙක් සමග ඉතා සමීපව ඉන්න අම්මා කෙනෙක් විදියට මේ පිළිබදව ඔබේ අදහස මොකක්ද?

මගේ දරුවෝ දෙන්නම මට ගොඩක් කිට්ටුයි. මම හිතන්නේ අම්මා කෙනෙක් කෙතරම් කාර්යබහුලත්වය වුනත් දරුවන්ට ආදරය කරන්න, දරුවන්ට ඇහුම්කන් දෙන්න කාලය වෙන්කර ගන්න ඕනේ. අම්මා දරුවන්ගේ හොදම යාළුවා වුනාම, අම්මා සමග දරුවෝ හැමදේම කතා කරන තත්වයට හුරු කර ගත්තාම එයාලා අතින් වැරදි සිද්ධ වෙන්න තියන අවස්ථාව බොහෝ දුරට අඩු වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම හරිම වාසනාවන්ත අම්මා කෙනෙක්. මගේ දරුවෝ දෙන්නා මාව ගොඩක් තේරුම් අරගෙන තියනවා. අපි හරිම සතුටින් ජිවිතේ ගෙවනවා.

▪️ඔබ දකින්නට ප්‍රිය රූමත් කාන්තාවක්, ඔබ රූපලාවණ්‍යය සහ විලාසිතාවන් ගැන සැලකිලිමත් වෙනවාද?

මම ඇත්තටම රූපය වෙනුවෙන් ගොඩක් දේවල් කරන කෙනෙක් නෙවෙයි. මම හිතන්නේ පිටතින් කරන සියලු සත්කාර තාවකාලිකයි. රූපයේ ප්‍රසන්න බව තියෙන්නේ හදවත තුලයි. හිත පිරිසිදුව, සැහැල්ලුවෙන්, හිනාවෙලා ඉන්න මම කැමතියි. මට පුළුවන් අයුරින් සියළු දෙනාට උදව් කරගෙන ඒ අයගේ සතුට බලලා සතුටු වෙන හිතක් මට තියෙන්නේ. ඉතින් රූපලාවණ්‍යය වෙනුවෙන් මම විශේෂ දෙයක් කරන්නේ නැහැ. නැවුම් පලතුරු සහ එලවළු සලාද කන්න මම හරිම ප්‍රියයි. පැණි රස කෑම නම් කන්නෙම නැහැ.

මම ලස්සනට ඉන්නවට මගේ දරුවෝ දෙන්නා හරිම කැමතියි. ගොඩාක් අය අම්මලා වුනාම ලස්සනට ඉන්න විලාසිතා කරන්න කැමති නැහැ. තව කෙනෙක්ගේ ඇස පිනවීම පිනක්. මම හිතන්නේ තමන්ට ගැලපෙන, තැනට සුදුසු විලාසිතා කිරිමේ වැරැද්දක් නැහැ කියලා. විශේෂයෙන් ඉන්දියානු විලාසිතා සහ මට ගැලපෙන විදියට විලාසිතා කරන්න මම කැමතියි.

▪️දෙරණ නාලිකාවෙහි විකාශනය වන 60 plus තරගයෙහි ඔබ විනිශ්චය මණ්ඩල සාමාජිකාවක් වනවා. එම විශේෂ තරගය ගැන ඔබේ අදහස මොකක්ද?

දෙරණ නාලිකාව විසින් පවත්වනු ලබන 60 plus තරගයෙහි Season 4 සමග සම්බන්ධ වි මම හරිම කැමත්තෙන් වැඩ කටයුතු කලා. මෙය වැඩිහිටි අම්මලා තාත්තලා වෙනුවෙන් ලංකාවේ හැදුන පළවෙනි විශේෂ වැඩසටහන වශයෙන් හදුන්වන්න පුළුවනි.

විවිධ අරමුණු වෙනුවෙන් ජිවිතයේ සෑහෙන කාලයක් වැය කර සැදෑ සමය ගෙවන ඔවුන්ට අලුත් බලාපොරොත්තුවක් ඇති කරපු සහ ඔවුන්ගේ ජීවන රටාව වෙනස් කරපු තරගයක් ලෙස මෙම වැඩසටහන නම් කල හැකියි. සංගීතය ජීවිත තරුණ කරනවා කියලා මම හිතනවා. මෙවැනි වැඩසටහන් පැවැත්විම පිං කටයුත්තක් ලෙසත් හදුන්වන්න පුළුවන්. තරගයට සහභාගි වෙන වැඩිහිටි පිරිසගේ දක්ෂකම් ගැන කියන්න වචන නැහැ. 60 plus Season 4 වැඩසටහන පසුගිය වකවානුවේදි සම්මානයෙන් පිදුම් ලැබිම ඉමහත් සතුටක් වනවා.

▪️ඔබගේ මව සමග ගායනා කල “සිනා මල් ගොඩක්” ගීතය ප්‍රති නිර්මාණය කිරිමට අදහසක් තියනවාද? අපිට ඉදිරියේදි දකින්නට ලැබෙන ඔබගේ නිර්මාණය මොනවාද?

මගේ අම්මා සමග “සිනා මල් ගොඩක්” ගීතය ගායනා කරලා දැනට අවුරුදු 30 ක පමණ කාලයක් ගත වී තිබුනත් තාමත් එම ගීතයේ ජනප්‍රියත්වයට නොවෙනස්ව පැවතිම වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සතුටක්. සිනා මල් ගොඩක් ගීතය

වර්තමාන පරපුර ගායන කරන බොහෝ අවස්ථාවන් සමාජය මාධ්‍යයන් ඔස්සේ අපි දැකලා තියෙනවා. එවැනි අවස්ථාවන් දැකලා අම්මයි මමයි හදවතින්ම සතුටු වෙනවා. මෙම ගීතය සංගීත විෂය නිර්දේශයට ඇතුලත් කර තිබිම ඉමහත් සතුටට කාරණයක් වෙනවා. සිනා මල් ගොඩක් ගීතය ප්‍රිති නිර්මාණය කිරිමට අදහස් නම් නැහැ. ඉදිරි කාලයේදි ගීත කිහිපයක් නිර්මාණය කිරිමට සැලසුම් කරගෙන ඉන්නවා.
අමා නාකන්දලගේ

ආදරේ ද? ආදරෙයි ද?

ආදරය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් පුද්ගලයාගෙන් පුද්ගලයාට ලැබෙන පිළිතුරු එකකට එකක් වෙනස්.‍ යමෙකුට ආදරය ආත්මාර්ථකාමී හැඟීමක් වෙද්දි තවත් අයෙක්ට ඒ ආදරයම පරිත්‍යාගයක් වෙන්න පුළුවන්. විවිධාකාර වූ ආදරයන් අතර ලෝකයම හැඩ කරන සුන්දර ආදරයක් තමයි තාරුණ වියේ ආදරය කියන්නෙ. තාරුණ විය කියන්නේ සැබැවින්ම බොහොම දඟකාරී සුන්දර කාලයක්. නමුත් මේ ආදරයම ඔවුන් වටා පාරාවළල්ලක් වෙමින් තරුණ ජීවිත සිය ජීවිතය පවා හානිකර ගැනීමට පොළොඹවන ඛේදවාචකයක් බවට අද වෙද්දි පත්වෙලා.

වත්මන් කාලයේ රටේ සංස්කෘතියට සාපේක්ෂවයි ආදරය හැඩගැසීම සිදු වන්නේ. ආසියාතික සමාජයට සාපේක්ෂව බටහිර සමාජය තුළ ආදරය වෙනස් හැඟීමක්. බටහිර සමාජයේ තාරුණ්‍යට ආදරය සැහැල්ලු හැඟීමක් වෙද්දී ආසියානු සමාජයේ පෙම්වතුන්ට ආදරය තමන්ගෙ මුළු ජීවිතේ ම බවට පත්වී ඇත. අප සමාජයේ ආදරයේ පිරිසිදුකම ගැන දීර්ඝ ප්‍රේම කතා ලියවෙයි. ඒවා ඇතුළත සිටින පෙම්වතුන් බොහෝ අහිංසක චරිත. තරුණ තරුණියන් අතරේ මේ ආදරේ කියන්නේ හිමි කර ගැනීමක්ය යන ප්‍රතිරූපය එතනින් නිර්මාණය කර ඇත. මෙය ආසියාතික සමාජයේ පෙම්වතුන්ගේ මූලිකම ලක්ෂණයක්. එමෙන්ම ලංකාවේ සමාජ සංස්කෘතිය තුළ තරුණිය තරුණයාගෙන් කැමැත්ත ඇසීමට මුලින්ම පෙළඹෙන්නේ නැහැ. ගැහැණු ළමයා ඉස්සර වුණොත් අපේ සමාජය එය මහා බරපතළ වරදක් ලෙස දකිනවා. මේ නිසාම විවාහවීම් සදහා විරුද්ධ පාර්ශවය තෝරා ගැනීමේදී බරපතල ගැටලුමය තත්ත්වයන් ඇතිවූ අවස්ථාද ඔබ අසා ඇති. 

දකුණු ආසියාතික සමාජය  නවීකරණය කළත් විසි එක් වැනි සියවසේ හිනිපෙත්තේ සිටියත් අභිචාර විධි වල වෙනසක් සිදු වී නොමැත. ආදරය යන සංකල්පයේ දී අදටත් සාම්ප්‍රදායික රටාවට මුල් තැන දීම දක්නට හැකි පැහැදිලි කරුණකි. ඊට හේතු වී හේතුවී තිබෙන්නේ භෞතික සංස්කෘතියට සාපේක්ෂව අභෞතික සංස්කෘතිය වෙනස් නොවීමයි. සාම්ප්‍රදායික සමාජය තුළ අවිධිමත් සමාජ පාලන උපක්‍රම වලට ප්‍රබල ස්ථානයක් හිමිව පැවතිණි. සංස්කෘතිකමය සිරිත් විරිත් වලින් සමාජයෙහි යම්කිසි ආකාරයක පාලනයක් නිර්මාණය වීම දක්නට පුළුවන. උදාහරණයක් වශයෙන් තරුණියකට තරුණයෙකු මුණ ගැසී කතාකිරීමට පැවතුණේ ඉතා සීමිත නිදහසකි. වක්‍රාකාර අවිධිමත් සමාජ උපක්‍රම හරහා තාරුණ්‍ය යම් පාලනයක රැඳවීමට එදා සමාජයට හැකියාව ලැබිණි. ඒ හේතුව මත ආදරය යන සංකල්පයේ රාගය මිශ්‍ර වූ අවස්ථාවන් ඉතා අවම විය. 

මෙහිදී මතු වන ප්‍රබල ගැටලුව නම් ලිංගික අධ්‍යාපනේ අවම බවයි. වැඩිවියට පත් වීමත් සමඟ ඇතිවන කායික මානසික වෙනස්කම් පිළිබඳ ඔවුන්ට පවතින්නේ අවම අවබෝධයකි. වැඩිවියට පත් වීමත් සමඟ දැනෙන හැඟෙන සිතුවිලි ආකල්ප පිළිබඳ පුළුල් අවබෝධයක් නොමැතිවීම මත ඔවුන් නිතැතින්ම ආදරයෙන් වල්මත් වීම හා අතරමං වීම සාමාන්‍ය තත්ත්වයක්. එය එසේ නොවුනහොත් අසාමාන්‍ය තත්ත්වයක්. වත්මන් තාරුණ්‍යයේ ආදරය සිවදිවි නසා ගැනීමට තරම් සාහසික තත්ත්වයට පත් ව පවතී. මෙය පැහැදිලි වශයෙන් කායික හා මානසික සුරක්ෂිතතාව අහිමි වීම හා සමාජ සම්බන්ධතා බිඳ වැටීමෙහි ප්‍රතිඵලයකි. ආසියාතික සමාජයේ පෙම්වතුන් ඇත්ත ජීවිතයේ කිරීමට අපහසු දේ පිළිබඳ තෘප්තිමත්භාවයට පත් වන්නේ සිහින තුළ ජීවත් වීමෙනි. ඔවුන් තුළ ප්‍රේම සම්බන්ධතාවයෙහි අවිනිශ්චිත බව පිළිබඳ කිසිඳු හැඟිමක් නැත. පෙම් සබඳතාව බිඳ වැටුණහොත් කරකියා ගත හැකි කිසිවක් ඔවුනට නැති වීම ස්වභාවිකය. මෙහි ඇති ශෝචනීය තත්ත්වය නම් එවැනි අවස්ථාවක ඒ පිළිබඳ කතා කරන්නට විසඳුම් දෙන්නට කෙනෙකු ඔවුන් අසල නොමැති වීමයි. යමෙකු ගැටලුවට විසඳුම් නො දුන්න ද තම දුක වේදනාව අසා සිටීම පමණක් ම එම පුද්ගලයා හට යම්කිසි සහනයක් නිතැතින්ම හිමි වෙනවා. එනම් පවතින තරඟකාරී සමාජ ක්‍රමය ඇතුළත කෙනෙකුට තවකෙකු වෙනුවෙන් වැය කරන්නට කාලය නොමැති වීම මෙයට බලපානවා. සංකීර්ණ සමාජ සබඳතා ඇතුළත තාරුණ්‍යය සැහැල්ලුව විඳින්නේ තම ආදරය තුළින්. එය අහිමි වීම ඔවුන්ට තවදුරටත් මානසික සුවය පිළිබඳ අපේක්ෂාවන් තබා ගැනීමට නොහැකි තත්ත්වයක්. 

තාරුණ්‍යය ස්වභාවයෙන් ම ආවේගශීලීයි. ඔවුන් ඕනෑම අවස්ථාවක ක්ෂණික ව තීරණ ගැනීමට පෙළඹෙයි. නූතන තරඟකාරී සමාජ රටාව තුළ ඔවුන් ක්ෂණික සියදිවි නසා ගැන්මට යොමුව ඇත. මෙවැනි අවස්ථාවක රටක මාධ්‍යයට පැවරී තිබෙන වගකීම සුළුපටු නැත. ආදරය අහිමි වීම මූලික කරගෙන සියදිවි නසා ගත් සිදුවීම් මාධ්‍ය තුළින් උලුප්පා පෙන්වීම අද විලාසිතාවක් වී ඇත. එයින් සිදු වන්නේ සමාජයේ අනිත් තරුණයන්ට ද එය සාමාන්‍ය කරැණක් බවට පත් වීමයි. ප්‍රථම පෙම විවාහ කර ගත යුතුයි යන සිතුවිල්ල ආසියාතික සමාජයෙන් අපට හිමිව පවතින්නක්. නමුත් විය යුතු වන්නේ එය නො ව ඔවුන් අතර ඇති නොගැලපීම්, ගැටළු දෙදෙනා විසින් මනා ලෙස අවබෝධ කර ගැනීමයි. එමඟින් තරුණ ජීවිතවල පමණක් නොව සමස්ථ සමාජය තුළ උද්ගතව ඇති සෝචනීය් තත්ත්වය වළක්වා ගැන්මට හැකියාව ලැබේ.

වෛද්‍ය චන්ද්‍රිකා රාජපක්ෂ

Doctor of Ayurveda | Motivational Speaker | Counsellor

M. Sc., BAMS, B. Sc., CCHRM,

Ad. Dip. in Psychotherapy & Dip. in Counseling Psychology

ඊගල්ස්ටෝන්

අහස උසට ඉදිවුණු ගොඩනැගිලි , වාහන පිරි මංමාවත්, තොරතෝංචියක් නැතිව දුවනා මිනිස්සු පිරි කටුක නාගරිකත්වයෙන් මිදී අපි හෙමිහින් ළඟාවුණේ බයිලොන්ග් වැලී මාර්ගය වෙත.

රයිල්ස්ටෝන් ගම්මානය පසු කරනවාත් සමගම ඉඳහිට නුල්ලෝ කඳුකරයටත් මඩ්ජී දෙසටත් ඇදෙන වාහනයක් ඇරුන කොට මිනිස් වාසයක් ඇස නොගැටුණ තරම්. 

කඳුවැටි, මිටියාවත්, මිදි පිරුණු වයින් වතු, තැනින් තැන කැන්ගරුවන් සිටින ලඳු කැළෑ පසු කරමින් අපේ ගමනාන්තය දක්වා දිවෙන බ්‍රෙක්ෆස්ට් ක්‍රීක් පෙදෙසට අපි එලෙඹුණේ හවස පහත් පසු වුණාට පස්සේ. 

එතැන් සිට ගමන මදක් දුෂ්කර වුනේ, පස් පාරේ ඇති වලවල්, අබලන් සපත්තු පාලම් වලින් බේරෙන්නට සහ ගොම්මන් අඳුරත් සමග පාර පුරා හා හූවක් නොමැතිව දිවයන කැන්ගරුවන්, හාවන්  නිසා වාහනයේ වේගය බෙහෙවින් අඩාල කරන්නට සිදුවුණ නිසාවෙන්.  රාත්‍රී අටට කිට්ටුවත්ම ගමනාන්තය සනිටුහන් කරමින් බ්‍රෙක්ෆස්ට් ක්‍රීක් පෙදෙසේ කෙළවර තිබෙන ගේට්ටුවක, එල්ලෙමින් තිබු දිරා ගිය ලෑල්ලක ලියා තිබුනේ ‘ඊගල්ස්ටෝන්’ වෙත අපිව සාදරයෙන් පිළිගන්නා බවයි.

වාහනයේ එළිය ගේට්ටුවට වදිනාවාත් සමගම ලාම්පු  එළියක් දල්වාගෙන නවාතැන පෙන්වන්නට කඩිමුඩියේ සිනාමුසු මුහුණින් අප වෙත ආවේ සාරා. ඇය පසුපසින් දිව එන්නේ ඕස්ට්‍රේලියානු ෂෙපර්ඩ් වර්ගයට අයත් බලු පැටවුන් වන ඕඩි සහ ටිලී බව මා එකවර දැනගත්තේ  ‘ඊගල්ස් නෙස්ට් ‘ නවාතැන්පොළ වෙන් කරගන්නා අවස්ථාවේ සාරා විසින් එවා තිබු විස්තර පත හේතුවෙන්.

පරිසර හිතකාමී ක්‍රමයට කන්ටේන්ර් පෙට්ටියක් තුළ නිමකර තිබුණ මෙම හුරුබුහුටි නැවතුම ‘ඊගල්ස්ටෝන්’ ගොවිපොළ මධ්‍යට වන්නට පිහිටා තිබුනා. යතුරු කැරැල්ල අප අතැතිව තැබූ  සාරා මෙහි සියලු විස්තර නැවතත් පවසා  පිටව ගියේ උදෑසනම අවදි වුනොත් ඇය ගොවිපල සතුන්ට ආහාර දෙන අවස්තාව දැකගන්නටත්, ඔවුන් සමග කාලය ගත කරන්නටත් හැකි බව මතක් කරමින්. 

ගමන් විඩාවත්, උදෑසනින්ම අවදිවන්නට තිබු මහත් උනන්දුවත් නිසා බොහෝ රෑ බෝවන්නට පෙර පහන් නිවා ඇඳට ගොඩ වුණත්,  නෙත සිත මනස්කාන්ත වූයේ  කන්ටේන්ර් පෙට්ටියේ ජනෙල් වෙනුවට යොදා තිබුණ විශාල  වීදුරු වලින් මුතු අහුරක් ඉස්සා සේ විසල් ආකාසයේ පැතිර තිබූ තරු රටාවන්ගෙන්. ඒ ප්‍රේමණීය අහස්‌ ගැබ කවි සිතුවිලි දහසක් හිතේ පැල පදියම් කලත්, මා තදින් දෑස පියගත්තේ, රාත්‍රියේ සොඳුරු බවට එහා ගිය සුන්දරත්වයක් උදෑසනට ‘ඊගල්ස් නෙස්ට් ‘ තුලින් රසවිඳීමේ සියුම් ආශාවෙන්.

කුකුලන්ගේ හැඬලීමෙන් නෙතු පියන් විවර කරන විට දැකගන්නට ලැබුණේ පෙර දින රාත්‍රියේ මනසේ ඇඳි සුන්දරත්වය යථාර්තයක් වී ඇති බවයි.  ‘ඊගල්ස්ටෝන්’ ගොවිපොළට මායිම්ව ඇති කඳු පෙළ අතරින්, මිහිදුම් සේල මෑත් කරමින් හෙමි හෙමිහිට අහස් කුසට නැගෙන හිරු ගෙන් ආ තැඹිලි වර්ණයන්ගෙන් මුළු වටපිටාවම හැඩගැන්වී තිබුණා. 

උණුසුම් කෝපි කෝප්පයක රස විඳීමෙන් පසු අප ගොවිපොළ වෙත පියමැන්නේ, සාරා සීත කබායක් ඇඳගෙන මහත් ජවයෙන් ‘ඊගල්ස්ටෝන්’ පදිංචිකරුවන් වන බැටළුවන්, එළුවන්, ඇල්පකා, ගවයින්, කුකුළන්, අශ්වයින් සහ තාරාවන් ට අහාර ලබාදෙන ආකාරය බලන්නට. සැබවින්ම එය මහත් වෙහෙසකර කර්තව්‍යක්. එපමණක් නොවේ, ‘ඊගල්ස් නෙස්ට්’ නවාතැන  නඩත්තු කරන්නේත් ඇය. අපට එය නැවුම් සුන්දර අත්දැකීමක් වුණත්, දිනපතාම සීතල හිමිදිරියේ සාරා කරන මේ කටයුත්ත සැබැවින්ම අගය කල යුත්තක්. ඕඩි සහ ටිලී ඇයට ලබාදුන්නේ නොමද සහයෝගයක්.

‘ඊගල්ස්ටෝන්’ ගොවිපොළේ, ‘ඊගල්ස් නෙස්ට්’ හුරුබුහුටි නවාතැන අපට ලබාදුන්නේ ආශ්වාදාත්මක අත්දැකීමක්. නිවාඩුව නිමකර,නැවතත් නගරයට සේන්දු වන්නට ගත් කල මට හැඟුණේ , අක්කර ගානකට විහිදී ගිය ‘ඊගල්ස්ටෝන්’ ගොවිපොළ රාජධානියක් නම්, නිදහසේ හුස්ම විදිමින්, ස්වභාව ධර්මයේ පහස විඳිමින්, ජීවිතයේ උපරිමයෙන්ම විඳිනා සාරා, රැජිණක්!

The “Era of Global Boiling” has Arrived 

The “Era of Global Boiling” has Arrived 

ලෝකයේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ උණුසුම් ම මාසය පසුගිය ජුලි මාසය බව විද්‍යාඥයන් ප්‍රකාශ කරනවා. සමහර පරේෂකයන් විශ්වාස කරන්නේ ගෙවුනු වසර 120,000 වඩා කාලයේ මෙතරම් උණුසුම් මාසයක් වාර්තා වී නොමැති බවයි. වාර්තා වන මෙම අධික උෂ්ණත්වයට ප්‍රධානතම හේතුව පොසිල ඉන්ධන දහනය බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ඒ අතර පසුගියදා පණිවිඩයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres ප්‍රකාශ කරන්නේ ලෝකය global boiling යුගයකට ඇතුළු වෙමින් සිටින බවයි. එමෙන්ම එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කියා සිටියේ මේ වන විට ලෝකයට පවත්නා ප්‍රධානතම තර්ජනය දේශගුණික විපර්යාස යන්න කිසිවෙකුට බැහැර කල නොහැකි තර්කයක් බවයි.

ලොව පුරා පිහිටුවා ඇති කාලගුණික මධ්‍යස්ථාන වල වාර්තා වන උෂ්ණත්ව අගයන් ලබා ගනිමින් පරේශකයන් විසින් ගෝලීය උණුසුම ගණනය කරයි. කෙසේ වෙතත් ලෝකය පිලිබඳව සම්පූර්ණ චිත්‍රයක් ලබා දීමට තරම් දේශගුණික මධ්‍යස්ථාන ලොව පුරා නොමැති වීම හේතුවෙන් ලබාගත හැකි දත්ත සමඟ වායුගෝලයේ වෙනත් සමහර මිණුම් පරිඝණක පද්ධතියකට ඇතුළු කර ලබා ගන්නා සාමාන්‍යය අගය, ගෝලීය උණුසුම වශයෙන් ඔවුන් ගණනය කරයි. දත්ත රැසක එකතුවෙන් ලබා ගන්නා මෙම අගය විශ්වාසවන්ත අගයක් බව විද්‍යාඥයන් විශ්වාස කරයි.

ජූලි මාසයේ පළමු දින 25 සඳහා වාර්තා කල සාමාන්‍ය ගෝලීය උණුසුම් අගය 16.95C වන අතර එයින් ජුලි 6 වනදා ලෝකයේ උණුසුම් ම දිනය ලෙස සැලකේ. ගෙවුණු මාසයේ දින 23කදීම වාර්තා කල උණුසුම් අගයන් ඉතිහාසයේ මින් පෙර වාර්තා වූ සියළු උණුසුම් අගයන් ඉක්මවා ගිය අතර ඒ හේතුවෙන්ම 2023 ජුලි මාසය ලෝකයේ උණුසුම්ම මාසය ලෙස නම් කිරීමට ඔවුන් තීරණය කර ඇත.

මේ වන විටත් ඇමරිකානු එක්සත් ජනපදය, නැගෙනහිර යුරෝපය, අප්‍රිකානු කලාපය සහ චීනය ඇතුළු ආසියානු කලාපයේ රටවල් කිහිපයක් දැඩි උණුසුමකින් පීඩා විඳින අතර එය ගෝලීය උණුසුම තහවුරු කිරීමට කදිම සාක්ෂියක් බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත් යුරෝපය උණුසුමින් දැවෙද්දි එක්සත් රාජධානිය අසාමාන්‍ය සීතල කාලගුණයක් වාර්තා කරන නමුත් ඉදිරි කාලයේදී එක්සත් රාජධානියද දැඩි උණුසුමක් බලාපොරොත්තු විය යුතු බවයි කාලගුණ අනාවැකිකරුවන් සඳහන් කරන්නේ.

තිලාන් ජයසේකර

Athula Adikari

රොන් පොදක් වෙන්නම්, හද හඩලා, පාරාදීසේ සහ මේ වේදිකාව ජිවිතේ අපේ වැනි ගීතවල පලමු පද කිහිපය කියු සැනින් ඔබට ඔහුව නිතර්කයෙන්ම මතකයට නැගෙන බව නොරහසකි. දශක කිහිපයක් පුරාවට එක ලෙස රසික හදවත් තුල ලැගුම් ගත් එවැනි ගීත ගොන්නක හිමිකාරිත්වය ඔහු සතුයි.

සංගීත කේෂ්ත්‍රයට පැමිණ දශක කිහිපයක කාලය ගෙවි ගියත් මියුරු හඩ පෞර්ෂය සහ එදා අපි දැකපු රැව එක ලෙසම පවත්වාගෙන ‍යන්නට ඔහු වාසනාවන්ත වුනා. එමෙන්ම එදා ඔහු වටා එකතු වු ප්‍රේක්ෂක පිරිස මෙන්ම නව පරපුරේ සංගීත ලෝලි රසික පිරිසගෙන්ද ආදරය ලබන්නට ඔහුගේ මියුරු හඩට සහ ඔහු සතුවු ගීත ගොන්නට හැකි වුනා.

ගායනය සහ වාදනය පමණක් නොව ඔහුට රංගන දක්ෂතාවයන්ද හිමි බව සින්තටික් සිහින සහ අරුණෝද කලාපය වැනි නිර්මාණ තුලින් සහ හිරු නාලිකාවෙහි විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍යයෙන්ද ප්‍රේක්ෂක අපට දැක ගන්නට ලැබුනා.

එසේනම් අපි Magazine පාඨක ඔබ වෙනුවෙන් මෙවර සම්බන්ධ කර ගන්නේ ප්‍රේක්ෂක සිත් තුල

නොවෙනස්ව තම ජනප්‍රියත්වය පවත්වාගෙන, ප්‍රේක්ෂක රසවින්දනය වෙනුවෙන් ගීත ලෝකයට මියුරු ගී සමුදායක් තිළිණ කල අතුල අධිකාරි මහතාවයි.

▪️මේ දවස්වල ඔබ නිරත වන කලා කටයුතු මොනවාද?

මම කැමතියි පිළිවෙලකට, සැලසුමකට අනුව කෙරෙන ප්‍රසංග සහ වැඩසටහන් සමග සම්බන්ධ වෙන්න. ලංකාවේ පැවැත්වෙන තෝරාගත් ප්‍රසංග කිහිපයක් සහ රූපවාහිනි නාලිකාවල පැවැත්වෙන වැඩසටහන් කිහිපයක් සමග සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරගෙන යනවා. ඒවගේම අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල එංගලන්තය, ඩුබායි සහ කටාර්වල පැවැත්වෙන සංගීත ප්‍රසංග කිහිපයකට සහභාගි වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

▪️දිවිතුරා ටෙලිනාට්‍යය සමග සම්බන්ධ වුනේ කොහොමද? දිවිතුරා කණ්ඩායමෙන් ඔබට ලැබුන සහයෝගය කොහොමද?

හිරු නාලිකාවෙහි වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙකු වන විරාජ් වැලිවත්ත මහතාගේ සහ දිවිතුරා ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂකතුමා වන චාමර ජයවීර මහතාගේ ආරාධනයෙන් මම අවුරුදු දෙකක කාලයක් දිවිතුරා ටෙලිනාට්‍යයෙහි රංගනයෙන් දායක වුනා නමුත් පසු කාලිනව දිවිතුරා ටෙලිනාට්‍යය සමග සම්බන්ධ වෙමින් මගේ සංගිත වැඩ කටයුතු සදහා කාලය වෙන් කර ගැනිමේ අපහසුතාය නිසා මම ටෙලිනාට්‍යයෙන් ඉවත් වෙන්න තිරණය කලා.

දිවිතුරා ටෙලිනාට්‍යයෙහි මම ගායනා කල “මම හිතක්” තේමා ගීතයට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුනා. දිවිතුරා ටෙලිනාට්‍යයෙහි රංගනයෙන් දායක වුන ජ්‍යෙෂ්ඨ සහ නවක රංගන ශිල්ප, ශිල්පිනියන්ගෙන් සහ අධ්‍යක්ෂකතුමා ඇතුලු දිවිතුරා කණ්ඩායමේ සියලුම දෙනාගෙන් මට හොද සහයෝගයක් ලැබුනා.

▪ඔබ රංගනයෙන් දායක වන ටෙලි නිර්මාණ අපට ඉදිරියේදි දකින්නට ලැබෙයිද?

මම රංගනය අධ්‍යනය කල, පුහුණු කල ශිල්පයෙකු නෙවෙයි නමුත් මම රගපාන්න උත්සාහ කරනවා.

මම හිතන්නේ රංගනය කියන්නේ විශාල කාලයක් කැප කරන්න ඕනේ කේෂ්ත්‍රයක් කියලා. රංගන කටයුතුවල නියැලෙනවා නම් සංගීත නිර්මාණකරණය, රූපවාහිනි වැඩසටහන් සහ විශේෂයෙන් විදේශ ප්‍රසංග සදහා සම්බන්ධ වෙන්න තියන කාලය අවම වෙනවා. එම නිසා නැවත දීර්ඝ ටෙලිනාට්‍යය සදහා සම්බන්ධ වෙන්න අදහස් නැහැ නමුත් අඩු කොටස් ප්‍රමාණයක් සහිත ගුණාත්මක නිර්මාණයක් ලැබුනොත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.

▪️සංගීතය සහ රංගන, ඔබ වඩාත් කැමති කුමන කේෂ්ත්‍රයටද?

මම සුපුරුදු පරිදි සංගීත කටයුතුවල නියැලෙන්න වඩාත්ම කැමතියි. මම කලින් සදහන් කල ආකාරයට රංගන කටයුතුවල නියැලිමේදි ඒ වෙනුවෙන් ඉතා විශාල කාලයක් යොදවන්න වෙනවා. මම රංගනයෙන් දායක වුන අශෝක හදගම මහතාගේ සින්තටික් සිහින සහ ශෙනෙෂ් බණ්ඩාර දිසානායක මහතාගේ අරුණෝද කලාපය වැනි ගුණාත්මක සහ කොටස් ප්‍රමාණය අඩු ටෙලි නිර්මාණ සදහා පමණක් සහභාගි වෙන්න මම තිරණය කරලා තියනවා.

▪ඔබගෙයි, කවින්ද්‍යා දුවගෙයි අතර තිබෙන බැදීම ගැන කියමුද?

දුව මගේ ලග නොහිටියත් මගෙයි දුවගෙයි අතර ලොකු බැදිමක් තියනවා. අපිට ඕන දෙයක් විවෘතව කතා කරන්න පුළුවන්. අපි දෙන්නා ඇත්තටම යාළුවෝ වගෙයි.

විදේශ සංචාර සදහා සමිතා බොහෝ දුරට සහභාගි වෙන්නේ නැති නිසා ඉදිරියේදි දුවත් එක්ක විදේශ සංචාර කිහිපයකට සහභාගි වෙන්න සැලසුම් කරගෙන ඉන්නවා.

▪ගායන තරු තරග තුලින් කේෂ්ත්‍රයට පැමිණෙන නවක ශිල්ප, ශිල්පිනියන්ට ප්‍රවීන කලා කරුවෙකු වශයෙන් ඔබ මොනවාද කියන්න කැමති…

රූපවාහිනි නාලිකා මගින් මෙහෙය වන ගායන තරු තරගවලින් පැමිණෙන ගායනයට ඉතාම දක්ෂ ශිල්ප, ශිල්පිනියන් බොහෝමයක් දකින්නට ලැබිම සතුටක්.

ගායන තරගවලදි තරගකරුවන්ගේ සියළුම කටයුතු සංවිධායක මණ්ඩලයක් යටතෙ මෙහෙයවිම නවක ශිල්පියෙකුට බොහෝ උපකාරි වෙනවා නමුත් තරගයෙන් අනතුරුව බොහෝ දෙනෙක්ට

තමන්ගේ වැඩ කටයුතු තනිවම සංවිධානය කර ගන්න අපහසු වුන අවස්ථාවන් මම දැකලා තියනවා.

ඉතින් තරගකරුවන් එම තරගය තුලදිම හොද අවබෝධයකින්, අධ්‍යනයක් ඇතුව, තමාව ගොඩ නගා ගනිමින් කේෂ්ත්‍රයට පැමිණෙනවා නම් දීර්ඝ කාලිනව කේෂ්ත්‍රයේ රැදි සිටිමට හේතු වෙනවා කියලා මම හිතනවා.

▪️ඔබේ රසික, රසිකාවියන්ට සමාජ මාධ්‍යයන් (Facebook) හරහා ඔබව සම්බන්ධ කර ගන්න පුලුවන්ද?

අවුරුදු 15ක් පමණ පරණ Facebook ගිණුමක් මට තිබුනා නමුත් එය මේ වනවිට මා සතුව නැහැ. එම නිසා මට නැවත facebook ගිණුමක් හදා ගන්න සිදුවුනා. මගේ නමින් මගේ නොවන වෙනත් පුද්ගලයන් විසින් මෙහෙය වන facebook ගිණුම් බොහෝමයක් තියනවා. ඉතින් Facebook ගිණුම් හරහා මා සමග සම්බන්ධ විමේදි නිවැරදි ගිණුම තහවුරු කර ගැනිම අත්‍යාවශ්‍යයි කියලා මම හිතනවා. ඉදිරි කාලයේදි රසික, රසිකාවියන් වෙනුවෙන් මගේ facebook ගිණුම විධිමත්ව පවත්වාගෙන ‍යන්න සහ අනෙකුත් මගේ නම්න් පවත්වාගෙන ‍යන ගිණුම් අවලංගු කිරිම සදහා අවශ්‍ය කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

▪️ප්‍රේකෂක අපට ඉදිරියේදි දැක ගන්න ලැබෙන ඔබේ නිර්මාණය මොනවාද?

අලුතින් නිර්මාණය කල ගීත කිහිපයක් සහ නැවත නිර්මාණ කල මගේ පැරණි ගීත කිහිපයක් රසික රසිකාවියන්ට ඉදිරි කාලයේදි අහන්න ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා. ඉදිරි මාසවලදි යෙදිලා තියන විදේශ සංචාර කිහිපයෙන් පසු එම කටයුතු සදහා කාලය වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා.

අමා නාකන්දලගේ

ෂැන්ග්‍රිලා

බ්‍රිතාන්‍ය කොලෝනියල් ක්‍රමයට ඉදිකෙරුන ගොඩනැගිලි වලට අතරමැදිව නවීන පන්නයට සුරූපීව වැජඹෙන්නේ ෂැන්ග්‍රිලා. 

මෙහි ඇති කාමර ඉතා මිලෙන් අධික වුණත්, සංචාරකයන්ගෙන් පිරී ඉතිරුනේ සිත් ඇද බැඳගන්නා දසුන් හේතුවෙන්. සිඩ්නි ඔපෙරාහවුස්,ඩාර්ලින් වරාය, අහස් වලාකුළු සමග හරඹයක යෙදුන සිඩ්නි ස්කයිලයින් කුලුණ, ඩාර්ලින් වරාය පාලම එහි වටිනාකමතවත් වැඩිකලා. 

සිඩ්නි විසිතුරු නරඹා විඩාබර වන ගත සිතට සියුමැලි පිහාටු වලින් පුරවන ලද කොට්ටා සහ ඉස්තරම් ඇද ඇතිරිලි, උණුසුම් වතුරපිරි නාන තටාකය ලබාදුන්නේ සැනසුම් විරාමයක්.

මැයි මාසයේ අග රාත්‍රිය එලඹෙනවාත් සමගම සිඩ්නි නගරයේ ගොඩනැගිලි, මං මාවත් නේක වර්ණයන්ගෙන් සැරසෙන්නට පටන්ගන්නවා, ‘විවිඩ්’ ! වචනයේ පරිස්මාප්ත අර්ථයෙන්ම එය විචිත්‍රවත්. එය මනරම්ව නරඹන්නට ෂැන්ග්‍රිලා ඉහල මහල කදිමතෝතැන්නක්.

උදෑසනට ෂැන්ග්‍රිලා සිට බලන කල, ටස්මේනියානු මුහුදේ ක්ෂිතිජ මායිමෙන් නැග එන හිරු රශ්මි දහරා ඔපෙරා හවුස් හි කවාකාරවහල මතට වැටී දිස්නය විහිදන්නේ රාත්‍රියේ දුටු විවිඩ් විචිත්‍රත්වය පරයා යන සුන්දර මනෝභාවයන් මවමින්. එය සැබැවින්ම නෙත්සනසන අලංකාරයක්!

මෙම නවාතැනට ගොඩවන්නට තවත් හේතුවක් , තිස් හයවෙනි මහලේ පිහිටි සිඩ්නි හි තිබෙන සියලුම දැකුම්කළු පිහිටීම්, ස්වභාව සෞන්දර්ය එකවර දැකගැනීමට හැකි

ඇල්ටිටියුඩ් අවන්හල. ලා රෝස පැහැති කුඩා මල් කිනිති සහිත පෝච්චි තැබූ කෑම මේස සැරසුනේ ලොව සුපතල සූපවේදීන් වනමිශෙල් මෙනෙගාසි, ෆ්‍රැන්සෙස්කෝ එවෝලිනෝ සහ කුමිකෝ එන්ඩෝ ගේ රසවත් අහර වලින්. උනුසුම් කෝපි පිලිගැන්වීමට යොදාගත් මොරොක්කන් නිර්මාණ සහිත කෝප්ප පීරිසි, ඇල්ටිටියුඩ් හි අසුන් ගන්නා ආදරණීයයන්ව මනසින් වෙනත් ඉසව්වකට රැගෙනගියා.

එක රැයක් මෙහි ගත කලත්, ඒ ලබාදුන් අමිල ඉසිඹුවට, ෂැන්ග්‍රිලා සුරූපිනියනි, නැවත හමුවන තුරු, නුඹට ආයුබෝවන් !

සජිනි අමන්දා රාජපක්ෂ 

ඕස්ට්‍රේලියාවේ සිට

ජීවත් වෙලා රස්සාව කරමුද

උදේට ඔබ අවදි වෙන්නෙ සතුටින් ද? මෙහෙම ඇහුවොත් කීයෙන් කී දෙනාද සතුටුයි කියන්නෙ. උදෑසන අවදිවීම වගේම රැකියාවට යෑමත් හොඩක් දෙනෙක්ට කරදරයක්. හරිම අකමැත්තෙන් කරන දේවල්. නමුත් ජීවත් වෙන්න මුදල් අවශ්‍ය නිසා අකමැත්තෙන් හෝ රැකියාවට යනවා. මම ඔබට පොඩි කතාවක් කියන්නම්.

ඇය මගේ යෙහෙළියක්. විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන,හොඳ වැටුපක් ගන්නා ඇය රැකියාව කරන්න පටන් ගත් දා සිට සතුටකින් ඉන්නවා මම දැක නැහැ. දිනක් අපි කතා කරමින් සිටිද්දී ඇය මගෙන් මෙසේ විමසුවා.

“ඔයා කැමැත්තෙන් ද ඔය ජොබ් එක කරන්නෙ?”

“ඔව්” මගේ පිළිතුර වුණා. මම කිසිඳු අයෙක්ගෙන් රැකියාව,විවාහය, දරුවො, පවුල ගැන ප්‍රශ්න නොකරන කෙනෙක්. ඒ නිසා ඇගේ රැකියාව ගැන මම විමසුවේ නැහැ. නමුත් ඇය මෙසේ කතාවට මුල පිරුවා.

“අනේ එහෙමද? මට නම් දැන් එපා වෙලා තියෙන්නෙ මේ රස්සාව. කිසිම ගෝ එකක් නැහැ. වෙලාවකට අයින් වෙන්නත් හිතෙනවා. ඒත් ඉතින් ජොබ් එකක් ඕනිනේ. ඒ නිසා ඉතින් ඉන්නවා”

ඇය සහ මම කුඩා කළ සිට ඉතා හොඳ මිතුරියන්. ඇය කුඩා කළ සිටම කැමති වුණේ ක්‍රියේටිව් දේවල් වලට. ඇයට ලස්සනට මහන්නත් පුළුවන්. මගේ උපන්දින වලටත් ඇගේ අතින් මැසූ කොට්ට උර, ටේබල් මැට්ස් පවා මට දී තිබෙනවා. නමුත් සාමාන්‍ය පෙළින් පස්සෙ ඇයට සිදු වුණේ ඇගේ දෙමව්පියන් කැමති දෙයක් උසස් පෙළට කරන්නට. ඉතින් ඇයට ඇගේ නිර්මාණශීලී හැකියාව මග හැරුණා.

“ඔයා දන්නවනෙ මම ඒ කාලෙ ඉඳලම ඩිසයිනින් වලට එහෙම කැමතියි. ඒ වගෙ ජොබ් එකක්වත් කරන්න තිබ්බනම්..” ඇය සුසුම් හෙළුවාය.

“ඉතින් ඔය ජොබ් එක කරන ගමන් ඔයාට ඩිසයිනින් වගෙ දේවල් කරන්නත් පුලුවන්නෙ”

“ඒ කොහොම ද? දවසම මෙතන වැඩ කළාම ඇගට හරිම මහන්සියි. තව දෙයක් කරන්න බෑ”

“ඔයා ට්‍රයි කරලා බැලුවද?”

ඇය කල්පනා කරන්නට විය. ඇයත් සමග කතාවෙන් මට පැහැදිලි වුණේ ඇයට මේ ඩිසයිනින් පැත්තට යොමු වීමට ඉතා දැඩි කැමැත්තක් ඇති බවයි. ඇයට ඇගේ රස්සාව එක්ක වෙලාව කළමණාකරණය කරගන්නට තේරුමක් නැති බවක් තිබුණා.

නමුත් ඔබ විශ්වාස කරනවද? ඇය අද ඇගේම ඩිසයින් කළ ඇඳුම් තිබෙන Online Store එකක හිමිකාරියක්. ඇය අදටත් අපේ එදා හමුවීම ගැන සතුටු වෙනවා. මොකද ඇය එයින් නව පණක් ලැබුවා. තමන්ගෙ සහජ හැකියාවෙන් තමන්ගෙම බිස්නස් ව්කක් පටන් ගන්න ඇයට හැකි උනා.

ඔබත් කරන රැකියාවට කැමැත්තක් නැටි කෙනෙක් ද? පොඩ්ඩක් හිතලා බලන්න. ඔබ ඇත්තටම දක්ෂ දේවල් මොනවද කියලා?කොටින්ම කිව්වොත් ඔබේ Hobby එක (විනෝදාංශය) ඔබේ රැකියාව වුණොත්? ඔබ කැමතියි නේද? අපි හැමෝම එහෙම තමයි. අපේ හිතට සතුට සැනසුම දෙන දේ අපි හරි ආසාවෙන් කරනවා. ඔබත් ඔබේ Hobby එක රැකියාව කරගන්නට හීන දකිමින් වෙමින් රැකියාවක නියැලෙන කෙනෙක් නම් දැන්ම දුක්වෙන එක නවත්තන්න. ඒත් සමග පොඩියට හෝ ඔබේ ව්නෝදාංශය හෙවත් ඔබ කැමති දෙය කරන්නට පටන් ගන්න.කාලයක් යද්දි ඔබට වැටහේවි, එය ඔබ ජීවිතේ ගත්ත නිවැරදිම තීරණයක් කියලා.

තව දෙයක්, ඔබට යමක් කරන්නට ඕනි නම් කවුරුවත් වෙනම ම වෙලාවක් බන්දේසියක තියලා ගෙනත් දෙන්නෑ. ඔබේ දෛනික ක්‍රියාවලීන් තුළින්ම ඔබ, ඔබට කාලය සොයා ගත යුතුයි. දෙයක් බැරි වෙන්නෙ, ඔබ ඔබට ‘බැහැ’ කියලා හිතුවොත් පමණයි. ඔබ ඔබව දිශ්වාස කරලා, මට පුළුවන් කියලා හිතුවොත් අනිවාර්‍යෙන් ම ‘ඔබට පුළුවන්’.

ඉතින් ඔබත් ඉගෙන ගත්ත දේම රැකියාවට කරලා එපා වෙලා ඉන්න කෙනෙක් නම් මේ ලිපිය ගොඩක් වැදගත්. Educational qualifications වලින් හිමිවෙන රැකියාව කරලා හෙම්බත් වෙලානම්, අදම ඔබ දක්ෂ දෙය පටන් ගන්න. ඔබේ හිත සතුටින් එහි නියැලෙන නිසාම, ඉක්මනින් ම ඔබට සාර්ථකත්වයට යන්නත් පුළුවන්. අනිත් අය කරන කරන ජොබ් කරන්නට හීන මවන්නත් එපා. ඔබේ දක්ෂතා වලින් ඔබගේ මාර්ගය තෝරා ගන්න. ඔබ ඔබම වන්න. ඔබත් ඔබේ Hobby එක, Job එක කරගන්න!

වෛද්‍ය චන්ද්‍රිකා රාජපක්ෂ

Doctor of Ayurveda | Motivational Speaker | Counsellor

M. Sc., BAMS, B. Sc., CCHRM,

Ad. Dip. in Psychotherapy & Dip. in Counseling Psychology

බේකින් සෝඩා ගැන ඔබ මේ දේවල් දැන සිටියා ද

බේකින් සෝඩා නැත්නම් sodium bicarbonate යනු ස්වාභාවික රසායනික සංයෝගයක් බව ඔබ දන්නවා ඇති. ආහාර පිපුම්කාරකයක් මෙන් ම , ස්වාභාවික පිරිසුදුකාරයක් ලෙසත් එදිනෙදා ජීවිතයේ දී බෙහෙවින් භාවිතවන බේකින් සෝඩා ඔබේ රැව රැකගැනීමේ සත්කාරවලට ත් යොදාගතහැකි බව ඔබ දැන සිටියා ද? එසේ නම් අද අපි ඉතා පහසුවෙන් සහ අඩු මුදලකට මිල දී ගතහැකි බේකින් සෝඩාවලින් ලබාගතහැකි තවත් වැදගත් ප්‍රයෝජන කිහිපයක් පිළිබඳව කතාබහ කරමු..

හිස්කබලේ ඇතිවන ගැටළු සඳහා..

විවිධ රසායනික සංයෝග අඩංගු සැර ෂැම්පූ සහ hair products මඟින් හිස සෝදා පිරිසුදු කරන්නට අප පෙළඹී සිටිනවා. නමුත් සතියකට වරක් පමණ ෂැම්පූ වෙනුවට බේකින් සෝඩා ස්වල්පයක් වතුර සමඟ කලවම්කර හිස් කබලේ ආලේප කර හෙමින් සම්භාහනය කර සෝදාහරින්න. එමඟින් හිස්කබලේ රැඳී ඇති අධික තෙල් සහ කුණුදූවිලි ඉවත්කර ස්වාභාවිකව හිස්කබල පිරිසිදු කරන අතර

නිතර හිස් හොරි සෑදී මේ අවධානම ද අඩු කර යි. 

මුඛ දුර්ගන්ධය සඳහා..

දිනපතා දත් මැදීමෙන් අනතුරුව බේකින් සෝඩා ස්වල්පයක් දියකරනලද වතුර ස්වල්පයකින් මුඛය සෝදාහැරීම සාර්ථක සහ ස්වාභාවික mouth washer එක කි.. 

Body scrub / soother..

සතියකට වරක් හෝ දින කිහිපයක් ඔබ ස්නානය කරන වතුරට බේකින් සෝඩා එක්කරගන්න. එමඟින් ශරීරයේ විඩාව දුරුකර ස්වාභාවිකව පිරිසුදු කරනු ලබ යි. එසේ ම බේකින් සෝඩා body scrub එකක් ලෙස ද භාවිතයට ගැනීමෙන් ඔබේ සම සුමුදු කර ස්වාභාවිකව පිරිසුදු කරනු ලබ යි. එසේ ම සමෙහි අධික වියළිබව, පැලීම් සහ itchy යනා දී ගැටළුවලටත් බේකින් සෝඩා සේදුම්කාරකය සාර්ථක පිළියමකි. 

සුමුදු යටිපතුලකට..

ඔබත් දෙපාවල අධික වියළිබව සහ පැලීම්

නිසා කණස්සල්ලට පත්වී ඇත්නම්, රාත්‍රී නින්දට පෙර දෙපා සහ යටිපතුල බේකින්සෝඩා ගල්වා scrub කර සෝදා හරින්න. අනතුරුව මෘදු ක්‍රීම්වර්ගයක් තෙතමාත්තුකර දෙපා සහ යටිපතුලේ ගැල්වීමෙන් ඔබට ඉහත කී ගැටළුවෙන් මිදීමට හැකිවනු ඇත.

සුන්දර නියපෙළකට..

සතියකට දෙවතාවක් පමණ බේකින් සෝඩා යොදාගනිමින් නිය සහ ඇඟිලි මිනිත්තු කිහිපයක් scrub කර සෝදාහරින්න. ඔබේ ඇඟිලි සහ අත්ලේ මෘදුබව සහ මැරුණුසෛල ඉවත් වී පැහැපත්වන බව ඔබට ම වැටහේ වි. එමෙන් ම දිගු නියපොතු මනාව පිරිසුදු වී, තවත් අලංකාර ලෙස දිස්වේ වි. 

ආභරණ පිරිසුදු කරගැනීමට..

බේකින් සෝඩා කොටස් තුනකට වතුර එක කොටසක අනුපාතයට සාදාගන්නා මිශ්‍රණයෙන් ඔබගේ රිදී සහ, රන් ආභරණ දිලිසෙන ලෙසට පිරිසුදු කරගත හැකි ය. ( plated ආභරණ සඳහා මෙම ක්‍රමය යොදාගන්න එපා)ඉහත කී මිශ්‍රණයෙන් ස්වල්පය බැගින් ගෙන කුඩා බුරුසුවක් ආධාරයෙන් හොඳින් scrub කර වතුරෙන් සෝදා හැරීමෙන් ඔබේ ආභරණවලට දිදුලන අලංකාරයක් ලබාදෙන්නට හැකිවනු ඇත. 

ඉතින් මෙලෙස ස්වාභාවිකව සහ අඩු මුදලකින් ඔබේ රුව සහ සුන්දරත්වය ඔප් නංවාගන්නට හැකි තවත් ප්‍රයෝජනවත් ලිපියකින් ඔබ හමුවණ තුරු ඔබට සුබ දවසක් !!!!

සමීරා ජයසිංහ