එංගලන්තයේ නිවාස සිහිනය සැබෑකරන අපේ ලාංකිකයා

රොෂාන් විතාරණගේ  කියන්නෙ කවුද? ඔයාගෙම වචනෙන් කිව්වොත් සහ පවුලෙ විස්තර ටිකක් කිව්වොත්

රොෂාන් විතාරණගේ  කියන්නේ team එකක්. මම තනියම වැඩකරන කෙනෙක් නෙවෙයි.හැම මොහොතකම මගේ පිටුපස ශකිතිමත් කණ්ඩායමක් ඉන්නවා.එය හරිම අපූරු බැදීමක්. එකිනෙකට උදව්කරන, ශකිතියක් උන, මහා පෞරක් වගේ දෙයක්. අපිට හැමදාම සුන්දර දවස් තිබුනේ නෑ . අමාරු හැම අවස්ථාවකම එකට මුහුණ දීලා, පෙරට වඩා හොදින් ඉදිරියට යන්න අපිට හැකියාව ලැබුනේ මේ කණ්ඩායම් ශක්තිය .

මගේ පවුල ගැන කතකොලොත්, මගේ අම්මයි තාත්තයි දෙන්නම දැන් ජීවතුන් අතර නැහැ . මට සහෝදරයින් තිදෙනෙක් ඉන්නවා. ඔවුන් ජීවත් වෙන්නේලංකාවේ. මගේ බිරිඳ, දුවල දෙන්නා බ්‍රිතානයේ මා සමග ජීවත් වෙනවා. මගේ පවුල මට හැමවිටම ශක්තියක්.

BVS ගැන කතාකරොත්, එංගලන්තෙට ඇවිල්ලා තමන්ගෙම කියලා දෙයක් ආරම්භ කරන්න හිතුනද නැත්තම් වෙන කාගෙහරි අදහසක් එක්ක ආපු දෙයක් ද?

මට, මගේම කියල දෙයක් පටන්ගන්න හීන දැකපු කෙනෙක්.BVS කියන්න මටයි මගේ බිරිදටයි අපු අදහසක්. BIZVIZ Solutions කියලා  තමයි  අපි මුලින්ම 2010 දී  වියාපාර ලෝකෙට ඇතුල් උනේ. 2018 වෙනකොට අපි ගොඩක් දේවල් ඉගෙනගත්තා, අපිට පොඩි කණ්ඩායමක් සිටියා. අපිව විශ්වාස කරන පොඩි පාරිභෝගිකයින් පිරිසක් ගොඩනගාගන්නට හැකියාව ලැබුණා. ඒක බාධා මැදින් ආව සුන්දර ගමනක්. හැමදවසක්ම වෙනස් දවසක්. වෙනස්  පාරිභෝගික අවශ්‍යතා.වෙළඳපොල වෙනස් වීම්. කණ්ඩයමේ වෙනස් වීම්. මේ හැම  දෙයක්ම අපිව ඉදිරියට අරගෙන යන්න උදව් උනා. 

2018 දී අපි BVS Brand එක ස්ථාපිත කලා. එය BIZ VIZ Solution එකේ මුල් අකුරු තුන එකතුකරලා හැදුවේ. මම හීන දැක්කේ අලුත් දෙයක් වෙනස් විදියට කරන්න.BVS Brand එක හැදුණේ මගෙයි මගේ බිරිදගෙයි ඒ හීනේ ප්‍රතිපලයක් විදියට.අපි මුලින්ම Mortgage Industry එකට ඇතුල් වුණා. ඉන්පසුව Accounting practice එක BVS නමින් rebrand කලා. ඉන්පසුව BVS Legal , BVS Consultancy සහ BVS Digital Marketing business පටන් ගත්තා.ඉදිරියේදී තව බොහෝ දේවල් කරයි කියලා බලාපොරොත්තු තියාගන්න අපේ පාරිබෝගිකයන්ට පුලුවන්.

රොෂාන්ගෙ තියෙන දැනුමත් එක්ක එංගලන්තයේ වසර ගානක් Mortgage පැත්තට තිබුන පලපුරුද්දත් එක්ක තමන්ගෙ ව්‍යාපරයේ පුලුල්වීමක් අපි දැක්කා. ඒ ගැන කිව්වොත්

මම මේ පැනයට පිළිතුරු දෙන්න එංගලන්තයට එන්න කලින් මම ගැන කියලා ඉන්නම් . මම පොඩි කලේ ඉඳලා ක්‍රීඩා වලට ගොඩක් ඇලුම් කල කෙනෙක්. කණ්ඩායම් ශක්තිය ගැන කියලා දුන්නේ ක්‍රීඩා දිවිය කියලයි මට හිතෙන්නේ. මම උසස් පෙළ ගණකාදිකරණය විෂය ධාරාව හැදෑරුවේ. එය මට මුල්‍ය ශේෂ්ත්‍රයේ දැනුම දුන්නා. විශ්වවිද්‍යලට ගියේ Marketing ඉගෙන ගන්න.මේ Finance සහ Marketing දැණුම විශාල අතවැලක් උනා ව්‍යාපාර ලෝකයට ඇතුල් වෙන්න. 

එංගලන්තයට ඇවිත් මම වසර 7ක් London Real Estate Agency එකක Accountant කෙනෙක් විදියට වැඩකලා. 2014 වෙනකොට මට පුළුවන් උනා Professional Land Lord කෙනෙක් වෙන්න.මේ හැම දැනුමක්ම එකතු කරගෙන තමයි ව්‍යාපාර ලෝකයට ඇතුල් උනේ.

මගේ කණ්ඩායම තරුණ ජවයක් තියෙන, වෙනස් හැකියාවන් වලින් පිරුණ කණ්ඩායමක්. ඒක නිසා වියාපාරයෙ පුලුල්වීම ඉක්මන් උනා. අපේ team එකේ ශක්තියත් එක්ක අපි තව ඉදිරියට යයි.

ඔබගේ ව්‍යාපාර ජාලයට අපේ ලාංකිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය ගැන කතාකරොත්.

අතිවිශිශ්ටයි. මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. අපි මුලින්ම ඉලක්‌ක කළේ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්. පසුගිය වසර 5 තුල ඉතා සාර්ථක ලෙස ඔවුන්ගේ විශ්වාසය දිනාගෙන, ඔවුන්ගේ අවශ්‍යතා උපරිමයෙන්ම සපුරාලන්නට BVS කණ්ඩායමට හැකියාව ලැබුණා. ඔවුන්ගේ නිර්දේශය තමයි අපේ ඉහලම වත්කම. මට සතුටින් සඳහන් කරන්න පුළුවන්, අපි ශ්‍රී ලාංකිකයින්ගෙන් ආරම්භ කරලා, මේවනවිට අනෙකුත් පාරිභෝගික ප්‍රජාවන් වලටත් සාර්ථක ලෙස සමීප වී තිබෙනවා. 

මගේ කණ්ඩයමේ ඉන්නෙ ශ්‍රී ලාංකියින්. ඔවුන් එංගලන්ත වෙළඳපොලෙන් ගන්න දැනුම, ශ්‍රී ලාංකිකයන්ට ගැලපෙන ආකාරයට රිසිකරණය කර ලබාදෙනවා. ඒනිසා ඔවුන්ගේ අවශ්‍යතා පහසුවෙන් ඉටුකරගන්න පුළුවන්. 

මම මගේ ශ්‍රී ලාංකිකයන්ට මුළු හදවතින්ම ස්තුති වන්ත වෙනවා අපිව විශ්වාස කර අපගේ සේවාවන් ලබාගැනීම පිළිබඳව. ඔවුන් දුන් ධෛර්යය මේ ගමන එන්න ගොඩක් උදව් උනා. ඔවුන්ගේ සහයෝගය ඉදිරියට එහෙමම බලාපොරොත්තු වෙනවා.

එංගලන්තයේ ජීවත්වෙන අපේ අයගේ මූලික වෙන දෙවල් තමයි ගෙයක හෝ ව්‍යාපරයක සිහිනය. ඒ සිහිනයට යන්න පුලුවන් කාටද සහ කොහොමද කියලා කෙටියෙන් දැනුවත් කරොත්

කෙටියෙන්ම කිව්වොත්  , ගෙයක සිහිනය විශාල ආයෝජනයක්, මම අවුරුදු 33 ක් rent එකට හිටියෙ. හරියටම අවුරුදු 20 කට කලින් ලන්කාවෙ 1 bedroom Rental flat එකක අපි 6 දෙනක් සිටියා. අමරු කාලයක්. තමන්ගෙම කියලා ගෙයක් තිබීම කියන සිහිනය මම හොදටම අදුරනවා. මේ සිහිනය හමෝටම ලගාකර දීම තමයි මගේ සහ BVS Mortgages කණ්ඩායමේ සිහිනය වෙලා තියෙන්නෙ.

ව්‍යාපාරයක් සාර්ථක කරගන්නවා කියන එකත් ගොඩ දෙනෙකුට තියෙන සිහිනයක්. ඒ සිහිනය හැමෝටම සැබෑ කරගන්න පුළුවන්, හැබැයි එකට ලොකු විශ්වාසයක්,  උනන්දුවක්, කැපවීමක් සහ සැලැස්මක් තියෙන්න ඕනේ.සමහර විට හොඳ මගපෙන්වීමක් තිබුනොත්, ඒ සිහිනිය සැබෑ කරගන්න තවත් පහසුයි. BVS Accounting කණ්ඩායම ස්ථාපිත කළේ අන්න ඒ මගපෙන්වීම අවශ්‍ය අයට ලබාදෙන්න. ඒක ටිකක් ගැඹුරින් කතාකරන්න අවශ්‍ය මාතෘකාවක්.  එකිනෙකාගේ සිහින වෙනස්. එකම සැලසුම හැමකෙනාටම ගැලපෙන්නේ නෑ. හැබැයි ඒ හැම හීනයක්ම සාක්ෂාත් කරගන්න පුළුවන් කියල මම නැවතත් කියන්න කැමතියි.

ව්‍යාපාර කටයුතුත් එක්ක ලංකාවෙ community එක රොෂාන් Handle කරන්නෙ කොහොමද?

ගොඩක් දෙනෙක් හිතන්නේ  ව්‍යාපාරයක  යෙදෙනවා කියන්නේ මුළු ජීවිතයම ඒවෙනුවෙන් යොදවන්න ඕනේ කියල. ඒක වැරදි වැටහීමක්. අපි සාර්ථක  ව්‍යාපාරිකයෙක්නම් හැමදෙයක්ම සමබර කරන්න පුළුවන් වෙන්න ඕනේ. මම මගේ කාලය ව්‍යාපාරයට, මගේ පවුලේ අයට, මගේ කණ්ඩායමට වගේම ශ්‍රී ලාංකික මිතුරන්ට සමබරව ලබාදෙනවා. අපි හැමමෝම ජීවත් වෙන්නේ උපන් බිමේ නෙමේනේ. ශ්‍රී ලාංකික මිතුරන් සමග කාලය ගෙවීම හරිම සතුටක්. අපේ කම තදින් දැනෙනවා. ඒගොල්ලන්ගේ අවශ්‍යතාවකට උදව් කරන්න ලැබුනාම හරි සතුටක් දැනෙනවා. මම පුළුවන් හැම වෙලාවේම ශ්‍රී ලාංකික මිතුරන් සමග ඉන්නවා. 

මම ඒ හැමදෙනෙක්ම ආදරයෙන් මතක් කරනවා. මොකද, ඒ හැමෝගෙම උදව්ව, සහයෝගය,විශ්වාශය මගේ මේ ගමන එන්න විශාල රුකුලක් උනා.ලන්කාවෙ community එකේ සහයෝගයට බොහොමත්ම ඉස්තුතියි.

අපි දැක්කා සමහර තැන්වලදි ඔයාගෙ ව්‍යාපරයත් එක්ක ඉන්න ලොකු Team එකක්. ඒ ගැන මොනවද කියන්න තියෙන්නෙ.

ඒ තමයි මගේ වත්කම, හයිය. මගේ කණ්ඩායම විවිධයි. වෙනස්  හැකියාවන් තියෙන, වෙනස් විදියට හිතන, හැමෝටම උදව් කරන කණ්ඩායමක්. ඇත්තටම මම හරි ආඩම්බරයි මගේ කණ්ඩායම ගැන. මට විශ්වාසයි අපිට ලොකු ගමනක් යන්න මේ ශක්තිය පිටුවහලක් වෙයි කියල.

අපේ විදියට ඇහුවොත්, ලංකාවෙ අපේ අයව ගොඩදාන්න පුලුවන් නම් ඔයාගෙ මගපෙන්වීමෙන් ඔයා කොහොම තැනකද ඉන්නෙ සහ රොෂාන් ගෙ ඉදිරි සැලසුම්

අනිවාර්යෙන්ම. ඕනෑකමක් තියෙනවනම්, මගපෙන්වීම කරන්න මම සුදානම්. මම පටන් ගත්තේ හරිම සුළුවෙන්. පියවරෙන් පියවර. මේ වසර ගණනක  අත්දැකීම් තව කෙනෙක්ගේ හීනයක්  සැබෑ කර ගන්න  උදව් වෙනවා දකින එක තමයි  මගේ සතුට. මම විවෘත ආරාධනාවක් කරනවා, අපිට කතාකරන්න, එක පියවරක් තියන්න.හෙටට කල්ද දමන්න එපා. හැමදාම පුංචි පියවරක්න්නෙ තියන්න ඕනෙ. දන්නේම  නැතුව ලොකු ගමනක් යයි.

අපිට ඉදිරි සලසුම් ගොඩක් තියෙනවා. ඒවා ඉදිරියේදී දකින්නට සලස්වන්නට team එක prepare වෙමින් ඉන්නවා.

මගේ අන්‍තිම ප්‍රශ්නෙ, අපි Magazine එක ගැන මොකද හිතෙන්නෙ

මට හිතෙන්නේ අපි Magazine එක එංගලන්තයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් මහගු මෙහෙයක් ඉටු කරන්න උත්සහ කරනවා. විවිධ මාතෘකා ඔස්සේ අපේ රසිකයන්ට තොරතුරු ගොනුකර දෙනවා.ගයාන් සහ කණ්ඩායම දරන මේ වෑයම අගය කරනවා. අලුත් දෙයක් අලුත් විදියකට කරන්න හදන කණ්ඩායමක්. අපි ඔබලාට හදවටතින්ම සුබ පතනවා.

තාලපුර්ණයෙන් හැඩවන LIVERPOOL 

ශ්‍රී ලාංකේය අභිමානවත් සංස්කෘතිය පෝෂණය කිරීමෙහිලා නර්තන කලාව ඉටු කරන්නෙ සුවිශාල වූ මෙහෙවරකි. වසර 2500 කටත් එපිට ඓතිහාසික යුග වල දී පවා ශ්‍රී ලාංකේය නර්තන කලාව ප්‍රශස්ථ මට්ටමක පැවති බවට ඓතිහාසික මූලාශ්‍ර සාක්ෂි සපයයි. විජය කුමරුන් ලංකාවට පැමිණෙන විටත් ශ්‍රී ලංකාවේ ඉතා දියුණු සංස්කෘතියක් පැවති බවටත්, ඉතා ප්‍රශස්ථ මට්ටමේ ගායන, වාදන නර්තන කලාවක් පැවති බවටත් ඓතිහාසික තොරතුරු අධ්‍යනය කිරීමේදී ගම්‍යමාන වේ. රන් හා ලෝහමය බෙර තිබූ බවටත් සිය ගණනක් වූ වාද්‍ය භාණ්ඩ තිබු බවටත් රාජ්‍ය අනුග්‍රහය සහිතව මාස් පතා වැටුප් ලබමින් නර්තනය කළ ශිල්පීන් සිටි බවටත් අනුරාධපුර, පොළොන්නරු හා කුරුණෑගල ආදී ඓතිහාසික යුග අධ්‍යනයේ දී තොරතුරු හමුවේ. කෙසේ වෙතත් ශ්‍රී ලාංකේය නර්තන කලාව නර්තනය, ගායනය හා වාදනය පමණක් නොව බොහෝ අනු කලාවන්ගෙන් පෝෂණය වූ ඉතා විචිත්‍රවත් වූ අංග සම්පූර්ණ කලාවක් ලෙස තිබූ බව පෙනී යන්නේ එය අදටත් ලොව පුරා ප්‍රේක්ෂකයින්ගේ සිත් වසග කර අමන්දානන්දයට පත් කිරීමේ විස්මිත හැකියාවෙන් හා විවිධත්වයන් තුළින් පෝෂණය වීමේ සජීවී ගුණය හේතුවෙනි.

ඒ අනුව “තාලපූර්ණ” නම් රංගායතනය පූර්ණිමා රංග ශිල්පායතනය ලෙස 2000 වර්ෂයේ දී කලඑළි බසින්නේ නර්තනය පිළිබදව පිපාසාවෙන් පෙළෙන සුවහසක් ලාංකේය දුවා දරුවන්ට නර්තන අධ්‍යාපනය, රිද්මයේ අවකාශය හා ජීවන රිද්මය සොයා යාම වෙනුවෙනි. දරුවන් කිහිප දෙනෙකුගෙන් ආරම්භ කරන ලද මෙම ආයතනය පසුව දහස් ගණනක් වූ දරුවන්ට නර්තන අධ්‍යාපනය ලබා දෙන ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ අයතනයක් බවට පත් වන්නේ කාගෙත් ගෞරවාදරය දිනා ගනිමිනි. උඩරට, පහතරට, සබරගමු, භරත නාට්‍යම්, බෙර වාදනය, අංග රචනය, රංග වස්ත්‍ර නිර්මාණය, කැටයම් කලාව, ඡායාරූපකරණය හා අලෝකකරණය ආදී නර්තනය හා බැදි බොහෝ අනුෂාංගික කලාවන් පිළිබද දැනුමද දරුවන් වෙත ගෙන යනු ලබන්නේ නර්තනය පිළිබදව මනා අවබෝධයකින් හෙබි අභිමානනීය නර්තකයෙකු බිහි කරවීමේ අධිෂ්ඨානය ඇතිවය. තාලපූර්ණ රග පෙළහර 1,2,3,4 ලෙස දරුවන්ගේ කලඑළි මංගල්‍යය හා නර්තන ප්‍රසංග පවත්වමින් දරුවන්ගේ දක්ෂතා සමාජය වෙත ගෙන ගියේ විෂය ක්ෂේත්‍රයේ විදත් පිරිසගේ ඇගයුමට හා පැසසුමට ලක් වෙමිනි. වසර 22 කට ආසන්න කාලයක් ලාංකේය දරු දැරියන්ට නර්තනය පිළිබදව පමනක් නොව ජීවිතයට අවශ්‍ය රිද්මීය ජීවන කුසලතා ඉහළ නංවමින් උසස් අධ්‍යාපනය ක‍රා දරුවන් යොමු කරමින් එහිදී ද විද්‍යාර්ථීන් ලෙස ද ඔවුන් තව තවත් ඔසවා තැබීමට අමතක නොකොට ඇත.

2023 වර්ෂයේ එක්සත් රාජධානියේ ලිවර්පූල් නගරයේහී ශ්‍රී සම්බුද්ධ විහාරයේ දී පුණ්‍ය ආයතනයක් වශයෙන් තාලපූර්ණ ශ්‍රී ලාංකික නර්තන පාසල පිහිටවනු ලබන්නේ සංස්කෘතිය කෙරෙහි වූ ලබැදියාව නතර කරනු නොහැකි බවට නිදසුන් සපයමිනි. තම සංස්කෘතිය මිනිසුන්ගේ ලේ ධාතුවටම මුසු වී ඇති බව නොරහසක් වන්නේ ඒ පිට දේශයක වුව ද මතු වීමට පොර බදන නිසාය. තම මවු බිම හා සංස්කෘතිය කෙරෙහි උපන් ගෞරවය සෙනෙහස හා සෞන්දර්‍යාත්මක ලබැදියාව සනිටුහන් කරමින් තාලපූර්ණ දිගුව ලිවර්පූල් හැඩ කරන්නට විණි.

ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ ජන විඥානය එකලස් කිරීමේ දී පන්සල ඉටු කරන්නේ සුළු පටු කාර්‍ය්‍යක් නොවේ. මිනිසුන් එකාවන්ව එක් රැස් කිරීමේ ගෞරවය පන්සල සතුය. පන්සල යනු සංස්කෘතික කේන්ද්‍රස්ථානයකි. එය ලොව ඕනෑම තැනක සත්‍ය්‍යයක් බවට පත්ව ඇත. ලිවර්පූල් ශ්‍රී සම්බුද්ධ විහාරය ලාංකේය ජන ප්‍රජාව ඒකරාශී කෙරෙන සංස්කෘතික මධ්‍යස්ථානයකි. සීමා මායිම් නැති ආගමික සංස්කෘතික විවිධත්වය හා අසමානතා ඒකරාශී කර එකදු පහදු කරනා ස්ථානයකි.

ශ්‍රී ලාංකේය සංස්කෘතික බීජයන් රෝපණය කරනුවස් තාලපූර්ණ ශ්‍රී ලාංකික නර්තන පාසල පිහිටුවීමේහිලා ලිවර්පුල් සම්බුද්ධ විහාරයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරවාසී මහා සංඝරත්නයට හා විහාරස්ථ දායක සභාව විසින් ඉටු කරනු ලබන අනගිභවනීය මෙහෙවර ගෞරවණීයව සිහිපත් කරන්නෙමු.

පූර්නිමා රත්නායක සහ ප්‍රභාෂ් නිරංග යන ආචාර්‍ය දෙපළ යටතේ ශ්‍රී ලාංකේය දරු දැරියන් 40කට ආසන්න ප්‍රමාණයක් අද වන විට තාලපූර්ණයෙන් හැඩවේ. ඔවුන්ගේ ජිවීත වලට සංස්කෘතිකමයවූ අපේකම බිදෙන් බිද එක් වෙමින් මව් භාෂාවේ අරුමය කියාපාන්නේ ඔවුන්ටත් නොදැනීමය. ශ්‍රී ලාංකේය නර්තන කලාවන් හා වාදනය, ගායනය, ජන නැටුම, ජන සංස්කෘතිය ආදී බොහෝ කලාවන් හබා යන්නට අද ඔවුන් දක්ෂයෝය. පූර්ව ළමා වියේ පසුවන දරුවන්ගේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන් තෙක් සීමාන්තික නොවී නර්තනයේ නර්තන කලාවේ සුවපහස විදින්නේ තමන් තුළ අති රස වින්දන කුසලතාවය ද ඔප්නංවමිනි.

ශරීරය මාධ්‍ය කොටගත් නර්තන කලාව කිසි විටකත් නර්තකයාගේ අකමැත්තෙන් සිදු කළ නොහැක්කකි. ඒ සදහා නර්තකයා තුළ ශාරීරික මෙන්ම මානසික එළඹුමක් ද තිබිය යුතුමය. සුසමාහිත පෞර්ෂයකින් හෙබි දරුවන් බිහි කිරීමේහිලා නර්තන කලාව නිරායාසයෙන් පෙරමුණ ගන්නේ බොහෝ අනුශාංගික කලාවන්ගේ සුසං‍යෝගයෙන් ද සුපෝෂනය වී ඇති මහා වෘක්ෂයක් වීම හේතුවෙනි.

දරුවන්ට මානසික උත්තේජනයක් හා සංස්කෘතික ලක්ෂණ ලොවට පළදායී ලෙස කාන්දු කිරීමේ ප්‍රයත්නයේ අභියෝගය තාලපූර්ණයෙන් පටන්ගෙන අවසානය. එංගලන්තයේ ජීවත් වන හා මෙරට ඉපදී හැදී වැඩෙන දරුවන් තුළ තම මවු දේශයට හා සංස්කෘතියට ලොබ බැදීමට දරුවන් නිවැරදි ලෙස යොමු කරවන ශ්‍රී ලාංකේය මා පිය ප්‍රජාව විසින් සිදු කෙරෙන මහගු මෙහෙවර ප්‍රශස්තය. මෙම තාලපූර්ණ නර්තන පාසල දරුවන්ගේ ජාතික, සංස්කෘතික ආගමික හා භාෂාමය හර පද්ධතීන් මෙන්ම ශාරීරික හා මානසික වශයෙන් වූ විවිධ සෞඛ්‍ය සම්පන්නතා හදුනාගනිමින් ඒවා නර්තනය නම් වූ පොදු සාධකය තුළ ලඝු කිරීමේ මෙහෙවරෙහි නිරතව සිටී. 

තවද විශේෂකොටගෙන සදහන් කලයුත්තක්මැ වන්නේ, තාලපූර්ණ ශ්‍රී ලාංකික නර්තන පාසලේ 

දරු දැරියන්ගේ හා මා පිය ප්‍රජාවගේ අප්‍රතිහත ධෛර්යයේ මේ වන් තෙක් ඔවුන් කැටි කොට ගත් සංස්කෘතික රිද්මයේ දිගුවක් ලිවර්පූල් හී පෙළහර පෑමට වස්තු බීජයන් ඇති බවයි.

ප්ප්ඔප්එම සංස්කෘතික බීජ රෝපණයේ කූටප්‍රාප්තියක් ලෙස දරුවන්ගේ සමාජීය වගකීම් ඔවුනට කුඩා කල සිටම කා වැදීද්මේ අරමුණින් පුණ්‍යාතනයක් වූ තාලපූර්ණ නර්තන පාසලේ අරමුණ තීව්‍ර කරමින් තවත් පියවරක් ඉදිරියෙන් ඔසවා තැබීමට ඔවුන් සූදානම් වේ. ඒ තාලපූර්ණ නර්තන පාසල, ලිවර්පූල් ඇල්ඩර් හේ ළමා රෝහල හා අත්වැල් බැද ගනිමිනි. “Little hands – Big Hearts” නමින්, තම වයසේම දරුවන්ගේ හුස්මට සවියක් වෙමින් තාලපූර්ණ 2024 UK ප්‍රසංගය ඔවුන්ගේ සංස්කෘතික කළඑලි මංගල්‍යයක් මේ වසරේ පැවැත්වීමට සැලසුම් පෙරදැරි කරගෙන සිටී. ශ්‍රී ලාංකේය සංස්කෘතියෙන් උරුම වූ අනෙකා වෙනුවෙන් කැපවීමේ මහගු සිතිවිල්ල පෙරදැරි කරගෙන ඔවුන්ගේ මෙම පියවර ඔබ සියල්ලටම ඉතා විචිත්‍රවත් වූ ශ්‍රී ලාංකේය සංස්කෘතික මංගල්‍යයක් ලෙස පෙළහර පෑමට නුදුරේම නියමිතය.

✍️ රීනා ද සිල්වා

📸 ඡායාරූප – අනුරුද්ධ ලොකුහපුආරච්චි

ඔබෙන් අහක්ව නොවන, ඔබව අත් නාරින

යේසුස් ඔබට ආදරෙයි!

(යොෂුවා 1:5)‬‬‬‬

"දිවි ඇති තාක් නුඹලාට විරුද්ධ ව කිසිවෙකුට නැඟී සිටින්නට නොහැකි

වන්නේ ය. මම මෝසෙස් සමඟ සිටියාක් මෙන් නුඹ සමඟත් සිටින්නෙමි. මම

නුඹ කෙරෙන් අහක් ව යන්නේ වත්, නුඹ අත්හරින්නේ වත් නැත."

මාගේ සෙනෙහෙවන්ත සහෝදර සහෝදරියනි අද දවසේ මා ඔබට පෙන්වන්නේ ජේසුස්

වහන්සේ ඔබව අත්නාරින ඔබෙන් අහක්ව නොයන බව පැහැදිලි කිරීමටය. ඔබ සැමටම

ආශිර්වාදමත් මාසයක් වේවා!.. දෙවිඳුන්ගේ බලවත් ප්‍රේමය අත්දකින දවසක් වේවා කියා

ප්‍රාර්ථනා කරමි!..

මාගේ ප්‍රේමවන්තයිනි සෑම මවක්ම තමන්ගෙ දරුවන් ගැන ඉතා ආදරයෙන් හා පිරී ඉතිරී

යන සෙනෙහසින් සලකන්නාක් මෙන් අපගේ ස්වර්ගික දෙවි පියාණන් වහන්සේ ද අපගේ

මව්වරු මෙන්ද ඊටත් වඩා ද අප ගැන සලකන සේක. එබැවින් ඔබගේ සිත

නොකැළඹේවා..අපගේ ස්වර්ගීය දෙවි පියාණන්ට මෙහෙවර කරන පිණිස බොහෝ

ස්වර්ගික දූත සේනාවක් සිටිති. නුමුත් උන්වහන්සේ අපිව පරීක්ෂා කරන්නටවත්, අපට

ඔවුන් ලවා ආඥා නියෝග ලබා දෙන්නවත් ඔවුන්ව පත් කර නොමැත. ඒ ගැන දේව

වචනයේ පවසන්නේ ඔවුන් ද අපගේ මෙහෙකරුවන් බවය. මක්නිසාද ගීතාවලිය 91:11

හී ලියා තිබෙන්නේ අපගේ සියලු මාර්ගවල දී අප ආරක්ෂා කරන පිණිස උන්වහන්සේ

ස්වකීය දූතයන්ට අප ගැන අණ දෙන බවයි. එම නිසා පුත්‍රකමේ ආත්මය ලැබූ ඔබ

මෙහෙකරුවන්ට වඩා කොපමණ උසස් ද කියා මදක් සිතන්න.

"ඔබ ගන්න සෑම පියවරක දී ඔබ රක්නා පිණිස, එතුමාණෝ සිය දූතයන්ට

අණ දෙන සේක."

මාගේ ප්‍රේමවන්තයිනි ඔබගේ ජීවිතයට පැමිණෙන ප්‍රශ්න, පීඩා, කරදර ඔබ බිය

නොවන්න මක්නිසාද දෙවි පියාණන් වහන්සේ ඔබ ගැන සලකන බව මෙනෙහි කරමින්

ඔබගේ සියලු කාරණාවලදී ඔබ උන්වහන්සේට යාඥා කරන්න.

(නික්මයාම 3:14)

"එවිට දෙවියන්වහන්සේ කථාකොට: මම යම්සේ සිටිම්ද එසේම සිටිමියි

මෝසෙස්ට කීසේක"

මෙසේ මෝසෙස් තුමාට පොරොන්දු වූ ජීවමාන දෙවි සමිඳාණෝ මේ

මොහොතෙදිත් ඔබ සමග සිටින සේක බැවින් උන්වහන්සේ ඔබගෙන් අහක්ව

යන්නේවත් ඔබව අත්නාරින්නේවත් නැත.

අදත් ඔබට ජය දවසක්…ඔබ සැමටම නැවතත් ප්‍රකාශ කරමි ඔබට ආශිර්වාදමත්

මාසයක් වේවා!..

ජේසු පිහිටයි!..

"සමිඳාණෝ පිළිතුරු දෙමින් මෙසේ වදාළ සේක: “මවකට හැකි ද, කුසේ දැරූ බිළිඳා

අමතක කරන්න? හැකි ද ඈට ඇගේ ම කිරි දරුවාට පෙම් නොකරන්න? මවක

ඇගේ දරුවා අමතක කළත්, මම නම්, කිසිදා නුඹ අමතක නොකරමි."

ඉවෙන්ජලිස්ත අමිල දිසානායක

මාර්ගය සහෝදරත්වය සභාව

මහරගම

එක්සත් රාජධානියේ ඉදිරි වසර සඳහා වූ අයවැය 

එක්සත් රාජධානියේ ඉදිරි වසර සඳහා වූ අයවැය ලේඛනය පසුගිය බදාදා බ්‍රිතාන්‍යය චාන්සලර් ජෙරමි හන්ට් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. බොහෝ විට මේ වසරේ අවසාන භාගයේදී මහමැතිවරණයකට මුහුණ දීමට බලාපොරොත්තුවෙන් සිටින වර්ථමාන රජයේ අවසාන අයවැය ලේඛනය විය හැක්කේ බදාදා ඉදිරිපත් කල අයවැය වන බැවින් බදු අඩුකරමින් සහ තවත් දීමනා කිහිපයක් වැඩි කරමින් ජනතාවට සහන රැසක් ලබා දෙන්නට චාන්සලර්වරයා කටයුතු කර තිබුනා. පක්ෂයක් ලෙස කොන්සර්වේටිව් පක්ෂය මැතිවරණයේදී යම් වාසියක් ලබාගැනීමේ බලාපොරොත්තුව මෙවර ලබාදුන් සහන වල සැඟවුණු කතාව බවයි බොහෝ දේශපාලන විචාරකයන් ප්‍රකාශ කරන්නේ.

අයවැය යෝජනා රැසක් අතරින් ප්‍රධානතම සහ ආකර්ෂණීයම යෝජනාව වූයේ පුද්ගලයන් විසින් ගෙවන ජාතික රක්ෂණය 2% අඩු කිරීමයි. පසුගිය සැප්තැම්බර් අයවැය ලේඛනය මගින්ද එවකට 12% ක්ව තිබූ ජාතික රක්ෂණය 10% අඩු කල අතර අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත නව අඩු කිරීම මගින් ජාතික රක්ෂණ ප්‍රතිශතය 8% බවට පත්වනු ඇති. ඒ අනුව £ 25,000 ක වාර්ෂික වැටුපක් උපයන්නෙකුට පවුම් 249 ක් පමණ වාර්ෂිකව ඉතුරු කල හැකි අතර £35,000 වාර්ෂික වැටුප් උපයන්නෙකු පවුම් 750 ක පමණ ප්‍රතිලාභයක් උපයනු ඇති.

ඊට අමතරව ආදයම් බදු ගෙවන ආදායම් සීමාවන් 2028 වසර දක්වා වෙනස් නොකිරීමටද අයවැයෙන් යෝජනා කෙරුනා. ඒ අනුව £50,000 දක්වා වාර්ෂික ආදායම් උපයන්නන් 20% බදු ගවිය යුතු ප්‍රතිශතය 2028 වසර දක්වා පවතිනු ඇති. එහෙත් එම යෝජනාව මගින් අනාගතයේදී වැඩි පිරිසකට ඉහළ බදු ගෙවීමට සිදුවෙතැයි අදහස් පළවෙනවා. අනාගතයේදී ආදායම් හෝ වැටුප් මට්ටම ඉහළ යාමට සාපේක්ෂව බදු ගෙවිය යුතු ආදායම් සීමාවන් ඉහළ නොයැම හේතුවෙන් මෙලෙස වැඩි පිරිසකට බදු ගෙවීමට සිදුවනු ඇති. ආර්ථික විද්‍යාඥයන්ගේ අනාවැකි වලට අනුව 2028 වසර වන විට තවත් මිලියන 3.7 ක ජනතාවකට අළුතින් බදු ගෙවීමට සිදුවනු ඇති.

අයවැය මගින් ලබාදුන් තවත් සහනයන් අතර දරුවන් වෙනුවෙන් ලබාදෙන දීමනාව ඉහළ දැමීමද වඩා ආකර්ෂණීය යෝජනාවක් වේ. ඒ අනුව මේ වන විට පවුලක පළමු දරුවා වෙනුවෙන් රජය විසින් සතියකට ගෙවනු ලබන £24 ක මුදල 25.60 දක්වා ඉහළ යනු ලබන අතර අමතර දරුවෙකු වෙනුවෙන් සතියකට ගෙවන ලද £15 ක මුදල 16.95 දක්වා ඉහළ දමා තිබේ. ඒ අතර ළමා දීමනාව ලැබිය හැකි දෙමව්පියන්ගේ අවම වාර්ෂික ආදායම් මට්ටම පවුම් 50000 සිට £ 60,000 දක්වා ඉහළ දමා තිබේ. ඒ අනුව වාර්ෂික කුටුම්භ ආදායම පවුම් 60000 දෙමව්පියන්ට පවා ළමා ප්‍රතිලාභ ලබාගත හැකි වේ. සමස්තයක් ලෙස 2024-25 වසර තුල පවුල් 485,000 ළමා ප්‍රතිලාභ ලබාගනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

පළමු වරට නිවසක් මිළදී ගන්නන් සඳහා කිසියම් ප්‍රතිලාභ යෝජනා ක්‍රමයක් අයවැය මගින් යෝජනා කරනු ඇතැයි බලාපොරොත්තු උවද ඒ සම්බන්ධයෙන් කිසිඳු යෝජනාවක් මෙවර අයවැය තුල ඇතුලත්ව නොතිබිනි. බ්‍රිතාන්‍යය මාධ්‍ය අනාවැකි පළකර තිබුනේ 99% නිවාස ණය ලබාදීමේ යෝජනාවක් අයවැයට ඇතුලත් වනු ඇති බවයි. එහෙත් ආර්ථික විශේෂඥයන් කල් තියාම අනතුරු අඟවා තිබුනේ එවැනි යෝජනාවක් අයවැයට ඇතුලත් උවහොත් ඉදිරි වසර කිහිපය තුල බ්‍රිතාන්‍යයේ නිවාස වෙළඳපොළ කඩාවැටෙනු ඇති බවයි.

වරක් භාවිතා කර ඉවත දමනු ලබන දුම්වැටි වර්ගයක් වන Vaping සඳහා 2026 වසරේ සිට නව බද්ධක් පැනවීමට අයවැයෙන් යෝජනා කල අතර ඒ අනුව එම දුම්වැටි වල මිළ ඉදිරියේදී ඉහළ යනු ඇති. ඒ අතර මත්පැන් සඳහා පනවා ඇති බදු ලබන වසරේ පෙබරවාරි දක්වා ඉහළ හෝ පහළ නොදමන බවට චාන්සලර්වරයා ප්‍රකාශ කල අතර ඒ අනුව ලබන වසර දක්වා බ්‍රිතාන්‍යයේ මත්පැන් මිළ ඉහළ නොයනු ඇති. 

දැනට බ්‍රිතාන්‍යයේ බදු ගෙවීමකින් තොරව පුද්ගලයෙකුට මුදල් ඉතිරි කල හැකි ස්ථාවර ගිණුම් හෙවත් ISA සීමාව පවුම් 20,000 සිට 25,000 දක්වා ඉහළ දැමීමට අයවැය මගින් යෝජනා කල අතර එම නව සීමාව ඉහළ යන දිනයක් තවමත් ප්‍රකාශ කර නොමැති වේ.

අයවැය අතර තුර හෙලිකෙරුනු තවත් වැදගත් කාරණාවක් වන්නේ මේ වන විට බ්‍රිතාන්‍යයේ පවතින උද්ධමනය මේ වසරේ ජුනි මාසය වන විට 2% දක්වා අඩුවනු ඇති බවත් එය ලබන වසරේදී 1.5% දක්වා අඩුවීමට නියමිතව ඇති බවත් වේ. අයවැය මගින් කරන ලද යෝජනා සහ පළකරන ලද ආර්ථික අනාවැකි ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන්නේ නම් ලබන වසර ආරම්භව වන විට වඩා හොඳ ජීවන තත්වයක් උදාකර ගැනීමට බ්‍රිතාන්‍යයේ ජීවත් වන ජනතාවට හැකියාව ලැබෙනු ඇති.

තිලාන් ජයසේකර 

ශීත සමයේ දී ත් ලස්සනට ඉන්න..

පසුගිය සතියක දී මා විසින් අරඹන ලද මෙම කාලෝචිත ලිපිමාලාවෙන් අද දිනයේ දී අධික සීත කාලයේ දී අපේ හිසකෙස් පිළිබඳව සැළකිලිමත් වන්නේ කෙසේ ද යන්න පිළිබඳව අපි කතාකරමු. 

හිසකෙස් කාන්තා, පිරිමි දෙපාර්ශවයට ම තමන්ගේ රුව පිළිබඳව සිතනා විට වැදගත් ම කොටසක් ලෙස හඳුන්වාදෙන්නට හැකි යි. ඉතින්, නොයෙකුත් පාරිසරික , කාලගුණික, සමාජයීය, සහ තවත් නොයෙකුත් හේතූන් ඔබේ හිසකෙස්වල වර්ධනයට,එහි නොයෙකුත් රෝගී තත්ත්වයන්ට සහ නිරෝගීබවටත් හේතු සාධක වනවා. මෙහි දී ලංකාව වැනි සෘතු භේදය දැඩිව නොදැනෙන රටක මෙන් නොව හිම පතනයවන අධික ශීත දේශගුණයක් ඇති රටක දී අපේ සමට සහ හිසකෙස්වලට මෙන් ම ශරීරයට ත් විවිධ සෘණාත්මක බලපෑම් ඇතිවන අවස්ථා ඉතා ම ඉහළ බැවින් නිතර නිවැරදි සත්කාර සහ රූපලාවණ්‍යය ම ය පුරුදු ඇතිකරගතයුතු වනවා. එසේනම් මූලිකව වම වැදගත්වන කරුණු එකිනෙක මා මෙහි දක්වන්නම්.

1. සතියකට කිහිපවරක් ඔබේ හිසට තෙල්සත්කාරයක් කරන්න.

හිසතෙල් ගැල්වීම ශ්‍රීලාංකික අපට ආගන්තුක කාරණයක් නොවුණත් අදවන විට අධික කාර්‍ය්යබහුල ජීවිත සහ නූතනවාදී ජීවනරටාවකට හුරු වී ඇති බහුතරයක් දෙනා අමතක කර ඇති වැදගත් ම සත්කාරයක් වන්නේ හිසතෙල් ගැල්වීම යි. බොහෝදෙනා තම පෙනුම සහ පෞරුෂය ගැන සැළකිලිමත්වන තරමට ම මෙවන් සත්කාර ගිලිහී යන්නටත් ඇති ඉඩකඩ ඉතා ම ඉහළ යි. එබැවින් ශීතකාලයේදී වෙනදාටත් වඩා ඔබේ හිසට සක හිසකෙස්වලට තෙල් සත්කාර අත්‍යාවශ්‍යය බව සිහිතබාගන්න.

පිරිසුදු පොල්තෙල්,ඔලිව් තෙල්, ආමන්ඩ් තෙල් වැනි වටිනා තෙල්වර්ගවල ඇති ඖෂධීය සංයෝග ඔබේ හිස්කෙස්වලට අවශ්‍යය පෝශණය ලබාදෙමින් හිස්කබලෙහි අධික වියළිබව නිසා ඇතිවන හිස් හොරි, පොතු ගැලවීම්, කැසීම් සහ වෙනත් එවැනි නොරිස්සුම් සහගත තත්ත්වයන් වැළැක්වීමට කටයුතු කර යි.එබැවින් සතියකට කිහිපවරක් එවැනි එක් තෙල් වර්ගයක් හෝ තෙල් මිශ්‍රණයක් මඳක් රත්කර හිස්කබලෙහි ගල්වා ඇඟිලි තුඩු මඟින් ඉතා ම හොඳින් මෘදුව සම්බාහනය කරන්න. අව ම විනාඩි දහයක් පමණ මෙසේ තෙල් ගල්වා සම්බාහනය කිරීමට වගබලාගන්න.එමඟින් හිසකෙස් මූලය ශක්තිමත් කරමින් රුධිර සංසරණ පද්ධතිය උත්තේජනය කිරීමටත්, ඔබේ ආතතිය සහ අනෙකුත් හිසකෙස් සම්බන්ධ අහිතකර තත්ත්ව පාලනය කිරීමටත් මහත් පිටිවහලක් ලබාදෙනු ඇත. තෙල් ගල්වා සම්බාහනයෙන් පැයකට පමණ පසුව ඉතා ම මඳ උණුසුම් වතුරෙන් අවශ්‍යය නම් පමණක් ෂැම්පු කන්ඩිෂනර් භාවිතකර සෝදාහරින්න. 

2. නිතර හිස සේදීමෙන් වළකින්න

මෙය සරලව ම දිනපතා නෑමෙන් වළකින්න යනුවෙන් අපට තේරුම්ගන්නට හැකි යි. දිනපතා ස්නානය අපේ පිරිසුදුකමට ඉතා වැදගත් වුවත් එහි අහිතකර තත්ත්වයක් ඔබේ හිසට , හිසකෙස්වලට, සහ ශරීරයට බලපානබව ඔබ දැන සිටියා ද? ඔව්, අපේ සමෙහි සහ හිස්කබලෙහි මෙන් ම හිස්කෙස්වල ස්වාභාවිකව ම පවතින හිතකර මෘදුකාරක කොටස් දිනපතා ෂැම්පු සහ සබන් භාවිතයෙන් ඉවත් වේ. ෂැම්පූ , සබන් සෑම දෙයක ම ඉහළ රසායනික සංයෝග පවතින අතර එමඟින් ශරීරයට හිතකර, ස්වාභාවික පවතින තත්ත්ව ඉවත්කරමින් නොයෙකුත් ගැටළු ඇතිකරන්නට හේතුවේ.  එනිසා තරමක් අපහසුවෙන් වුවත් දිනපතා හිසකෙස් සේදීමෙන් ඈත්වීම ඔබේ යහපතට ම හේතුවනවා ඇත.

3. නිවැරදිව කන්ඩිෂනර් භාවිතකරන්න

හිසකෙස් ෂැම්පූ යොදා සේදීමෙන් අනතුරුව හැමවිට ම ස්වාභාවිකත්වයට ළඟ , ස්වාභාවික ද්‍රව්‍යය අඩංගු මෘදු එමෙන් ම ඉතා හොඳින් හිසකෙස්වල තැවරිය හැකි කන්ඩිෂනර් වර්ගයක් යොදා සෝදාහරින්න. එමෙන් ම ඒ කන්ඩිෂනර් සහ ෂැම්පූ ඔබේ හිසට, සමට සුදුසු ම වර්ගය බව තහවුරුකරගැනීම අනිවාර්‍ය්ය කාරණාවක් බව අමතක කරන්න එපා.

4. නිතර ම ඉහළ උණුසුමකට රත්වුණු කොණ්ඩා මෝස්තර උපකරණ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන භාවිතයට ගැනී ම අව ම කරන්න.

අද කාලයේ හිසකෙස්වල රැලිගතිය ඉවත්කරන්නට හෝ හිසකෙස් කෘතිමව රැලිකරන්න හෝ වෙනයම් කොණ්ඩා මෝස්තර සඳහා ඔබ අධික උණුසුමකින් භාවිතයට ගතයුතු කොණ්ඩා මෝස්තර උපකරණ (hair straightener, hair dryer or styling tools ) භාවිතයට ගන්නා අයෙකු නම් හැකි හැමවිට ම ඒ උපකරණ සහ නිෂ්පාදන භාවිතය අව ම කරන්න. දිනපතා එවැනි උපකරණ භාවිතයෙන් අධිකව ඔබේ හිසකෙස් සහ හිස්කබලට අහිතකර බලපෑම් එල්ලවන අතර ඉන්සමහර අවස්ථාවක දීර්ඝකාලීනව බලපෑ හැකි හානි ඔබේ හිසට සහ කෙස් කළඹට සිදුවිය හැකි අවස්ථා විරල නොවේ.

5. නිවසින් පිටවන හැම අවස්තාවක දී ම හැකි හැමවිට ඔබේ හිසකෙස් ආවරණය කරගන්න

අධික ශීතලට නිරාවරණය වන ඔබේ හිස කෙස් සහ හිස් කබල ඉතා ඉක්මනින් අධික වියළිබවට පත් වේ. එබැවින්  හැමවිට ම ඔබ නිවසින් පිටත් ඇවිද යනවිට දී හිසකෙස් ආවරණය කරගැනීමට මතක තබාගන්න. සැටින් හෝ සිල්ක් ලේන්සුවකින් පළමුව හිස ආවරණයකර අනතුරුව වූල් හෝ එවැනි අමුද්‍රව්‍යයවලින් නිමවූ හිස්පළඳනා පැලැඳීමෙන් නිතර සිදුවන අපහසුතා මඟහරවා ගත හැක. එසේ ම එම පියවරට පෙර ඔබට සුදුසු තෙල් මිශ්‍රණයක් හෝ තෙල්වර්ගයක් ස්ප්‍රේ කිරීමෙන් තවදුරටත් හිසකෙස් අපහසුතාවලින් තොරව ආරක්ෂා කරගැනීමට හැකිවනු ඇත.

6. තද උණුජලයෙන් ස්නානය කිරීමෙන් වළකින්න.

ශීතකාලයේ දී උණුජලය භාවිත නොකිරීමෙන් ඇතිවන අපහසුතා මා මෙහි දී කිවයුතු නෑ.ඔබ සැවො ම ඒ ගැන හොඳින් ම දන්නා නිසා.එහෙත් නිතර, දිනපතා උණු ජලය භාවිතයෙන් සේදුම්කිරීම නිසා හිස ද අධිකව වියළිභාවයට පත්වනු ඇත. එසේ ම හිසේ සහ සමේ ඇති හිතකර ස්වාභාවික තෙල් තට්ටුව ද එමඟින් වියැකී යන නිසා මඳ උණුසුම් වතුර නැතිනම් ඇල්මැරුණු දියෙන් ස්නානය කරන්නට වගබලා ගන්න. එමෙන් ම සතියට දෙවරක්වත් (ඔබ දිනපතා ස්නානය කරන අයෙක් නම්) deep hair conditioning හෝ hair mask එකක් භාවිත කරන්න.එමඟින් කොණ්ඩය අධිකව වියැලීමෙන් වලකා කෙස්කළඹ නිරෝගීව පවත්වාගැනීමට උපකාරවනු ඇති.

ඉතින් මෙයට අමතරව හැකිතරම් ජලය පානය කිරී ම ත්, සමබල ආහාරවේලකට දිනපතා හුරුවීම ත් ඔබේ හිසේ සහ හිසකෙස්වල නිරෝගී පැවැත්මට මහත් රුකුලක් වනු ඇති.

ඉතින් අද ත් ඔබට වැදගත්වන කරුණු බොහොමයක් මේ ලිපිපෙළින් ඉදිරිපත් කිරීමට ලැබී ම සතුටක්! 

ඔබ සැම දෙනාට ම සුබ දවසක් !!

සමීරා ජයසිංහ 

නදින් නන්දෙස කිතුගොස පතුරන හිරුෂි

චිත්‍ර ශිල්පය, ගායනය, නර්තනය, නිරූපණය, රූපණය, නිවේදනය, පූරකත්වය හා

ලේඛණය ආදී වූ කලාත්මක කෞශල්‍යයන් රැසක් උපතින්ම ධායාදකොටගනිමින් සංගීත

සංද්වනියේ නව්‍ය රස නිෂ්පත්තීන් සිසාරමින් මව්භිමේ කිතුගොස ජාත්‍යන්තර සංගීත

කරළිය අභිමුව රැව්පිළි රැව් නැංවීමට වෙරදරන තරුණ වෘත්තීමය ගායන ශිල්පිණී හිරුෂි

ජයසේන නම් ඇයගේ ආද්‍යාත්මයේ, දේශපාලනික ආක්‍යානයෙහි හා වෘත්තීත්වයේ ප්‍රථූල

හරසකඩක් සම්මුඛ කරවීමට ලත් වෑයමකි මේ.

Q). ඔබ පුද්ගලයෙකු වශයෙන් ඔබව දකින්නෙ කුමන අයුරකින්ද යන්න පිළිබඳව සඳහනක්

කරමු.

A). මම කලාවට බෙහෙවින් ආදරේ කරන මා ඇසුරු කරන තවත් නිර්මාණශීලී කලාශිල්පීන්

සමඟින් එකතුවෙලා විවිදාකාරයේ නිර්මාණයන් බිහිකිරීමට කැමති කෙනෙක්.

Q). ඔබ ජීවිතය යන්න දකින්නෙ කුමන අයුරින්ද යන්න පිළිබඳව හැඳින්වීමක් කරමු.

A). තමන්ගෙ අනන්‍යතාවය පිළිබඳවත් ඒ වගේම තමන් ජීවත්වෙන පරිසරය වෙතින්

පංචේන්ද්‍රියයන් හරහා සංවේදනය වන අත්දැකීම් සමුදාය දෙසත් සිදුකරන නිරීක්ෂණයක්

ලෙසින් මම ජීවිතය කියවගන්න කැමතියි. මම මේ සංකීර්ණ ලෝකය තුළ සරළ දේවල්

ඇසුරුකොටගෙන ජීවත් වෙන්න කැමති කෙනෙක්.

Q). ඔබේ ආගම හෝ දර්ශනය යන්න කුමක්ද යන්න සඳහන්කොට ඔබ අවබෝධකොටගත්

ආකාරයට එම ආගමේ හෝ දර්ශනයේ මූලික හර පද්ධතිය පිළිබඳව සෛද්දාන්තික විග්‍රහයක්

ඉදිරිපත්කරමින් ඒ තුළින් ජීවිතයට ලබාගත් වටිනාම දේ හෝ දේවල් මොනවාද යන්න

පිළිබඳවද විග්‍රහයක් සිදුකරමු.

A). බෞද්ධාගම හා බුදුදහම යන සංදර්භයන් ද්විත්වය ජීවිතය තුළට යොදවාගනු

ලැබෙන්නේ දෙවිදිහකට. මම බුදුදහම ඇසුරුකොටගෙන ජීවත්වෙන්න කැමති කෙනෙක්.

අනිත්‍ය ආදී වූ තිලකුණු පිළිබඳව අවධාරණයෙන් හදාරද්දි පෙනීයන්නෙ මිනිසුන් වශයෙන්

පුද්ගලික අනන්‍යතාවය පදනම්කොටගෙන විශාල විවිධත්වයක් පවතින්නාක් මෙන්

පෙනීගියත් සත්‍යයාකාරයෙන් අප සැවොම සුවිසල් විශ්වීය ගොඩනැගීමක කුඩා

සංරචකයන් සමූහයක් පමණක් යන්නයි.

බුදුදහම ඇසුරුකිරීම ඔස්සේ ලැබුණු පුහුණුව නිසා මිනිසුන් ඇසුරේ පවතින සියළු ආකාරයේ

විශ්වාසයන් හා ඒවා පදනනම්කොටගෙන ගොඩනැගුණු සියළු මාදිලියේ සංස්කෘතික

සංරචකයන් හා ඒවා විහිදීගොස් ගොඩනැගුණු දැනුම් පද්ධතීන් සියල්ල පිළිබඳවත් වඩාත්

පුළුල්ව කියවාගන්න මෙන්ම අවංකවම ඒ සියල්ලටම ගරු කරන්න මම පුරුදු උනා.

පරිසරය තුළ ජීවත්වෙද්දි ස්වකීය පාලනයෙන් ගිලිහුණු තත්ත්වයන් හමුවේ පුද්ගලත්වයේ

හෙවත් මමත්වයේ හැසිරීම හෙවත් තීරණ ගැනීම හා ප්‍රතිචාර දැක්වීම ඵලදායි අයුරින්

කළමනාකරණය කොටගැනීමට පහසුකම්ද එතුළින් සැලසුණා.

ජීවියෙක් විදිහට සියල්ල දෙස අවධාරණයෙන් සිහියෙන් නිරීක්ෂණය කිරීම පමණක්

සිදුකිරීමත් තමන් තුළට අවශෝෂණය නොකොටගෙන විනිශ්චයකට නොඑල්බී සිටීමත්

තමයි බුදුදහම තුළින් උකහාගත් සුවිශේෂීම දෙය විදිහට සළකන්න පුළුවන්.

මගේ අවබෝධයේ හැටියට ඇත්තෙන්ම ජීවිතය කියන්නෙ හරිම සරළ මෙන්ම හරිම සුන්දර

දෙයක් පුද්ගලත්වය හෙවත් මමත්වය විසින් සකස්කෙරෙන මායාත්මක වටිනාකම් වලින්

තොර වූ විටදී. ජීවිතය පිළිබඳව මම ලබාගත් මේ කියවාගැනීම සම්බන්ධයෙන් මම

අවංකවම ගොඩක් සන්තෝෂයට පත්වෙනවා.

Q). ඔබේ වැටහීමේ පරිද්දෙන් මනුශ්‍යත්වය අරුත්ගන්වාගන්නේ කෙසේද හා ඒ හට ඉහළම

වටිනාකමක් හිමිකරදෙන්නේ කෙසේද යන්න පිළිබඳව විස්තරයක් සිදුකරමු.

A). ඇත්තෙන්ම මම තවමත් මේ ලෝකයේ ජීවත්වෙලා තියෙන්නෙ දශක දෙකකට මඳක් වැඩි

කාලයක්. මම විශ්වාස කරන විදිහට ජීවිතය කියන්නෙ අඛණ්ඩ දීර්ඝ හැදැරීමක්. "

සංවේදනාව ", " කරුණාව " හා " පරෝපකාරය " යනු මනුශ්‍යත්වයේ ප්‍රදානම ගුණයන්

ලෙස මම සළකණවා.

ලෝකය තුළ විවිධාකාර සාධකයන් පදනම්කොටගෙන විවිධාකාර වර්ගීකරණයන්

පවතිනවා. ඒ ඇතැම් වර්ගීකරණයන් තුළින් සුවිසල් ලෙස මුදල් ඉපයීම හෙවත් ව්‍යාපාරයන්

සිදුකෙරෙනවා. උදාහරණ ලෙස රූපශ්‍රිය පදනම්කොටගෙන සිදුකෙරෙන වර්ගීකරණයන්

තුළින් විනෝදාස්වාදය සපයන කර්මාන්තයන් තුළත් ජාතීන් හෝ ආගම ආදී සංස්කෘතික

මූලාශ්‍රයන් පදනම්කොටගෙන සිදුකෙරෙන වර්ගීකරණයන් තුළින් යුධගැටුම් නිර්මාණය

කිරීමත් ඒවාට අවැසි ආයුධ නිපදවා අලෙවිකරණයත් දක්වන්න පුළුවන්.

පුද්ගලිකව අපට මුහුණදීමට සිදුවන ගැටළුන්හි ආක්‍යානයන් එකිනෙකට වෙනස් වූවත්

ප්‍රජාවක් ලෙස සැළකූවිටදී එම ආක්‍යානයන්ගේ මූලික ගොඩනැංවීම පොදුයි.

උදාහරණයක් ලෙස දුක, සතුට, භය, කුසගින්න ආදී වූ භාවාත්මික ප්‍රකාශනයන් හා

අවශ්‍යතාවයන් දක්වන්න පුළුවන්.

මේ යථාර්ථය අවබෝධකොටගෙන කවුරුන් හෝ සහය අවැසි කෙනෙකු හඳුනාගෙන

තමන්ගේ සීමාවන්ද ආරක්ෂාකොටගනිමින් අවංකව ඔහු හට කරුණාව පාමින් හැකි අයුරින්

උපකාර කිරීමට හැකිනම් ඒ තුළින් මනුශ්‍යත්වයට වඩාත් සංවේදී වටිනාකමක්

එකතුකරන්න පුළුවන්.

ගායනශිල්පිණියක් ලෙස මම ඉදිරියේදී උත්සාහ කරනවා විධිමත් හැදෑරීමකින් අනතුරුව

විවිධාකාර වූ මිනිසුන්ගෙ විවිධාකාර වූ අත්දැකීම් පිළිබඳව කථිකාවතක් මගේ නිර්මාණයන්

තුළින් ගොඩනංවන්න. මම තරයේ විශ්වාස කරනවා නිර්මාණශීලීත්වය

උපයෝගීකොටගනිමින් කලාව තුළින් සකලවිධ මනුශ්‍යය ප්‍රජාව භාවාත්මිකව ඒකරාශි

කිරීමට පුළුවන් යන බව.

Q). ඔබ මානව මනෝවිද්‍යාව යන විෂය පථය පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදයේ

විශ්වවිද්‍යාලයකින් මැනවින් අද්‍යාපනය හදාරලා තිබෙන අයෙකු විදිහට එම හැදෑරීම

ඔබේ ජීවිතය මෙන්ම ඔබේ ළබැඳියන්ගේ ජීවිත ආලෝකමත් කරගැනීම සඳහා

උපයෝගීකොටගත් ආකාරය පිළිබඳව අනාවරණය කරමු.

A). මානව මනෝවිද්‍යාව තුළින් මූලික වශයෙන් සිදුකෙරෙන්නෙ මිනිස් මනස පිළිබඳව

කියවාගැනීමයි. එනම් කෙටියෙන් කියතොත් පුද්ගලයෙකුගේ චර්‍යාවන්, පුරුදු හා

ආකල්පයන්ගේ ඔප්නැංවීම හා මූලාශ්‍රයන් පිළිබඳ ගවේෂණයයි. ජීවිතයේ අපිට

නොයෙකුත් මාදිලිවල පුද්ගලයන් මුණගැසෙනවා. ඔවුන් සමඟින් විවිදාකාරයේ ගණුදෙනු

කිරීමට සිදුවෙනවා.

මේ විවිධත්වය මත නානාප්‍රකාර රුචි – අරුචි කම් සියල්ලද තීරණය වෙනවා මෙන්ම ඒ

හේතුවෙන් ඇතැම්විට යම් යම් ගැටළුකාරී තත්ත්වයන් වුවද හටගැනීමට ඉඩකඩක්

තියෙනවා.

උදාහරණයක් ලෙස භාවාත්මිකව උද්වේගකාරී පුද්ගලයෙකුගේ එම චර්‍යාවන්, පුරුදු හා

ආකල්පයන් හටගැනුනු හා ඔප්නැංවුනු මූලාශ්‍රයන් ලෙස පවුල් පසුබිම, පාසැල්

අධ්‍යාපනය, මොළයේ භෞතික හා රසායනික ක්‍රියාවලිය හේතුවෙන් හටගැනුනු

මානසික තත්ත්වයන්, කුඩා අවධියේදී මුහුණදීමට සිදු වූ අත්දැකීම්, විවිදාකාරයේ

ජනමාධ්‍ය මූලාශ්‍රයන් තුළින් උකහාගත් දේවල්, සමාජයෙන් එල්ලවන බලපෑම් ආදී වූ

විවිධාකාර කාරණාවන්ගේ සෘජු හෝ වක්‍ර යෙදවීම් දක්වන්න පුළුවන්.

සාමාන්‍යයෙන් පුද්ගලයෙකු පරිණත වන අවධියේදී ඉහත විග්‍රහ කළ ආකාරයට ඔහු හෝ

ඇයව යම් නිශ්චිත ආකාරයකට රාමුගත වීමක් නෛසර්ගිකව සිදුවෙනවා. ඉන්පසු ඔහු හෝ ඇය

ඉදිරි කාලසීමාව ගතකරනු ලබන්නේ එම රාමුහත වීමට අනුකූලවයි.

මානව මනෝවිද්‍යාව හැදෑරීම තුළින් මම අවබෝධයක් ලබාගත්තෙ මෙම අතිශය සංකීර්ණ,

සියුම් හා ගැඹුරු වයුහගත ක්‍රියාවලිය පිළිබඳවයි. ඒ අවබෝධය තුළින් මට සුවිශේෂී

හැකියාවක් ලැබෙනවා අනෙකුත් පුද්ගලයන්ගේ නෛසර්ගිකත්වය පිළිබඳව මෙන්ම

විශේෂයෙන්ම මගේ නෛසර්ගිකත්වය පිළිබඳවත් ප්‍රමාණවත් කියවීමක් සිදුකරගන්න.

එතුළින් මා තුළ තිබෙන යම් යම් දුර්වලතා, දක්ෂතා, නිවැරදි විනිශ්චයන්, වැරදි

විනිශ්චයන්, අවශ්‍යතාවයන් හා සීමාවන් ආදිය පිළිබඳව පැහැදිලි හඳුනාගැනීමක්

සිදුකරන්න පුළුවන්. එය සෘජුවම ඉවහල් වෙනවා මගේ පෞද්ගලික ජීවිතය මෙන්ම

වෘත්තීය ජීවිතය වඩාත් සකසුරුවම්ව, ඵලදායීව හා කාර්‍යක්ෂමව පෙළගස්වාගන්න.

ඇතැම්විට අපි අපිවම රවටාගන්නා අවස්ථාවනුත් නැත්තෙම නෑ. නමුත් අපි අපේ හදවතටත්

එතුළින් නැඟෙන සිතැඟිවලට අවංක උනොත් ඒ හරහා ගුණාත්මක භාවයෙන් වඩාත් ඉහළ

මානව සම්බන්ධතා ජාලයක් අප වටා නිර්මාණය කරගැනීමේ වාසිය සලසාගන්න පුළුවන්.

ව්ශේෂයෙන්ම නිර්මාණශිල්පිනියක් විදිහට ප්‍රේක්ෂකයන්ගේ සිතුම් පැතුම්,

අවශ්‍යතාවයන්, ප්‍රවණතාවයන් ආදිය පිළිබඳව ප්‍රාමාණික හා ගුණාත්මක

විශ්ලේෂණයක් සිදුකොටගැනීමටත් එම තොරතුරු පදනම්කොටගෙන තමන්ගේ

සංකල්පනාවන් කැටිකොටගත් නිර්මාණශීලීත්වයෙන් හා ගුණාත්මක භාවයෙන්ද ඉහළ

ඵ්ළධායී නිෂ්පාදනයක් බිහිකිරීමට ඉහත කී අවබෝධය විශාල පිටිවහලක් සපයනවා.

Q). ඔබ කලාමාද්‍යයක් ලෙස සංගීතය හඳුනාගන්නේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි

කිරීමක් කරමු.

A). මම පෞද්ගලිකව සංගීතය යන්න හඳුනාගන්නේ මම හැදෑරීමට කැමති විෂයක්

හැටියටත් වෘත්තීය වශයෙන් භාවිතාවේ යෙදීමට කැමති කර්මාන්තයක් හැටියටයි.

එමෙන්ම සෑමවිටම මම මටම අනන්‍ය වූ ප්‍රගතිගාමී දර්ශනයක් සමඟින් මඳකුදු හෝ

නව්‍ය වූ සංකල්පයක් පෙරදැරිකොටගත් සංවේදනාත්මක මෙන්ම විනෝදාත්මක

නිර්මාණයන් ප්‍රේක්ෂකයන් හට ඉදිරිපත්කිරීමට අපේක්ෂා කරනවා.

ඒ සඳහා ගායන කුසලතාවයට අමතරව විශේෂයෙන්ම වර්ථමානයේ වෙනත් සංගීත

කර්මාන්තයන්හි භාවිතාවන දියුණු තාක්ෂණික ප්‍රයෝගයන් සමඟින් රූපණ කුසලතාවයද

සුනම්‍ය අයුරින් මුසු කිරීමෙන් අනතුරුව ගෝලීය නව්‍යකරණයන්ට හා ප්‍රවණතාවයන්ට

අනුකූලව එකිනෙකට වෙනස මානයන් තුළින් ප්‍රේක්ෂකයන් ආමන්ත්‍රණය කළ හැකි

ප්‍රභල ප්‍රකාශන මාද්‍යයක් හැටියටත් සංගීතය අරුත්ගන්වාගන්න පුළුවන්.

" සංගීතය යනු විශ්ව භාෂාවක් " යන්න ඒ පිළිබඳව විශේෂ ප්‍රාගුන්‍යයක් දරන බොහෝ

විද්වතුන්ගේ මතයක්. මගේ අත්දැකීමේ හැටියට ඒකට ප්‍රදානතම හේතුව වන්නේ සංගීත

භාවිතාව තුළදී එහි මූලික සංරචකයන් හරහා ප්‍රේක්ෂකයන් වෙතට ජනනය කිරීමට

උත්සාහ කෙරෙන්නේ භාවයන් සමුදායක් වීමයි.

භාවයන් යනු ඉහත කී පරිදි මිනිසුන් හට පොදු ප්‍රස්තූතයක්. ඇතැම්විට වචන රහිත වූ හුදු

වාද්‍ය ඛන්ඩයකින් පවා අතිශයින් ප්‍රභල මානසික උත්තේජනයක් හටගන්වන්න පුළුවන්.

ඉන් වක්‍රාකාරයෙන් කියවෙන්නේ භාෂාව යනු ද්වීතියික ප්‍රකාශන මාදිලියක් බවයි.

Q). " සිනමාව යනු සකලවිධ කලා මාද්‍යයන්ගේ කූඨප්‍රාප්තියයි " යන්න විෂය පිළිබඳ

විශේෂ ප්‍රාගුන්‍යයක් සපිරි බොහෝ ශාස්ත්‍රීය විද්වතුන්ගේ මතයයි. සිනමාව තුළ

සංගීතයේ භාවිතාව පිළිබඳව ඔබේ අදහස් ඉදිරිපත්කරමු.

A). කෙසේනමුත් දකුණු ආසියානු කලාපය තුළ නිර්මාණය වන සිනමා නිර්මාණයන්හි ඉහත

කී පරිදි මානව භාවයන් සරු ලෙස උද්දීපනය කළ හැකි සංවේදනාව දනවන සුළු

ප්‍රාසාංගික ගීතයන් නොමඳව අන්තර්ගත කිරීමේ සම්ප්‍රධායක් ඒවායේ නිර්මාණකරුවන්

විසින් බිහිකොට තියෙනවා.

එම සම්ප්‍රධාය හේතුවෙන් දකුණු ආසියානු සිනමා භාවිතාව ලෝකයේ අනෙක් කලාපයන්හි

සිනමා භාවිතාවන්ගෙන් පැහැදිලි ලෙස වෙන් වී අනන්‍යානුකූලව ඉස්මතු වීමටත් ඒ හරහා

ලොව පුරා විසිරී සිටිනා සංගීත ලෝලීන් විශාල වශයෙන් එම සිනමා භාවිතාව

වැළඳගැනීමටත් මඟ සලසා තිබෙනවා.

එමෙන්ම මගේ අත්දැකීමේ හැටියට සංගීත කර්මාන්තය තුළ බිහිවන නිර්මාණයන්හීදීත්

රූපණය සිනමාත්මකව යෙදවීම තුළින් සිනමාලෝලීන් විශාල වශයෙන් එම නිර්මාණයන්

කරා ආකර්ෂණය වීමට වටපිටාවක් සලසණු ලබනවා.

සංගීතය හෝ සිනමාව එකිනෙකින් වියුක්තව පවතිනවාට වඩා ප්‍රශස්ථ ආක්‍යානයක්

ඔස්සේ මනා සුනම්‍යකරණයක් සහිතව අතිච්චාදනය කරවීමෙන් වඩාත් සංවේදනාත්මක

මෙන්ම වඩාත් ප්‍රාසාංගික නිර්මාණයන් උපද්දවන්නට හැකියි.

Q). ඔබේ වෘත්තීය සංගීත ජීවිතය තුළ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයන් පිළිබඳ

මතකාවර්ජනයක් සිදුකරමු.

A). සාම්ප්‍රදායික අයුරින් සභාගර්භයක් මද්‍යයෙන් පැමිණ ආලෝකමත් වේදිකාවක් මතදී

ලබාගන්නා ඇගයීම්වලින් ඔබ්බට ගිය ලාංකීය සංගීතය ජාත්‍යන්තරකරණයට

යොමුකරවන්නට සමර්ථ අන්දමේ වටිනා කඩඉම් සමූහයක් පසුකරලන්නට සමත්වීම

සම්බන්ධයෙන් මම නිහතමානී ආඩම්බරයකිනුත් විශාල ප්‍රමෝදයකිනුත් පසුවෙනවා.

" BBC Radio London " ගුවන්විදුලි නාළිකාවෙහි මා ඇතුළු තවත් හිතවත් දක්ෂ ගී

රචකයින්, සංගීත නිෂ්පාදකවරුන්, මෝස්තර නිර්මාණ ශිල්පීන්, නර්තන අංගරචකයින්,

කැමරා ශිල්පීන්, විශේෂ දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණශිල්පීන් හා අදියුරුවරුන් ඇතුළු

නිර්මාණශිල්පීන් කිහිපදෙනෙකුගේ වෑයමක් ලෙසින් නිපදවුණු ගීතයන් කිහිපයක් විකාශය

වීම මෙන්ම " youtube " අවකාශයේ එවන් නිර්මාණයන් කිහිපයක්ම ප්‍රේක්ෂකයන් විසින්

උත්කර්ෂයට නංවා තිබීම ගුණාත්මක හා ප්‍රාමාණාත්මක උදාහරණයන් ලෙසින්

දක්වන්නට පුළුවන්. ඇමරිකා එක්සත් ජනපදයේදී රංගනය පිළිබඳ වෘත්තීය පුහුණු

පාඨමාලාවක් හැදෑරීම සඳහා මා නිර්දේශ වීමට පවා එම ජයග්‍රහණයන් ශක්තිමත්

පිටුවහලක් උනා.

ඊට අමතරව ජාත්‍යන්තරව කීර්තිමත් සංගීත කර්මාන්තයේ නියැලෙන්නන් කිහිපදෙනෙකු

සමඟින් නිර්මාණකරණයේ යෙදීමට භාග්‍යය උදාවුනා. උදාහරණයක් ලෙස උතුරු ඉන්දීය

සංගීත හා සිනමා කර්මාන්තයේ ප්‍රමුඛතම ගායන ශිල්පියෙකු හා සංගීතවේදියෙකු වන "

ශාන් මුඛර්ජී " හා මා එක්ව සිදුකෙරූ යුග ගායනය " මෙරී සින්දගී " ගීතය පිළිබඳව සඳහන්

කරන්න පුළුවන්. එය මගේ පළමු හින්දි ගී නිර්මාණයයි.

ජාත්‍යන්තරව කීර්තියට පත් කලාශිල්පීන් සමූහයක් සමඟින් සිදුකෙරුණු රසවත්

නිර්මාණයන් ගොන්නක් ඉදිරියේදීත් ප්‍රේක්ෂකයන් වෙතට මුදාහැරීම සඳහා අවැසි සියළු

කටයුතු ඉතා සාර්ථකත්ව සිදුවෙමින් පවතින බව ඉතාමත්ම ප්‍රමෝදයෙන් යුතුව ප්‍රකාශ

කිරීමට කැමතියි. මං තරයේ විශ්වාස කරනවා ඒවා ලාංකීය ප්‍රේක්ෂකයන් මෙන්ම විදේශීය

ප්‍රේක්ෂකයනුත් ඉතාමත්ම ආදරෙන් වැළඳගනියි කියලා.

Q). තරුණ වෘත්තීය ගායන ශිල්පිනියක් ලෙස සංගීත කර්මාන්තය තුළින් ජාත්‍යන්තරය

ජයගැනීම කෙරෙහි ඇති ඔබේ අභිලාෂය මුදුන්පත්කරගැනීමේදී මුහුණදීමට සිදුවන

අභියෝගයන් හා ඒවා ජයගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කරමින් සිටින සැලසුම් පිළිබඳව

කෙටි විග්‍රහයක් කරමු.

A). දේශීය සංගීත කර්මාන්තය අතික්‍රමණය කරමින් ජාත්‍යන්තර සංගීත කර්මාන්තයන්

වෙතට පියමැනීම පිළිබඳව මා දකින්නේ ඉතාමත්ම ධණාත්මක විභවයක් හැටියටයි. අපේ

මව්බිමේ ජනගහනය මිලියන 22 කට සීමාවෙනවා. එබැවින් ලෝකයේ වෙනත් කලාපයන්හි

සංගීත ලෝලීන්ද ආකර්ෂණය කොටගැනීමට සමර්ථ වූ රස නිෂ්පත්තීන් ජනිතකොට මනා

කළමනාකරණයකින් යුතුව ජනගත කළ හැකිනම් එතුළින් ශ්‍රී ලාංකීය නාමය

සම්භාවනාවට බඳුන් කිරීමට මෙන්ම මූල්‍ය අංශයේ විකසනයක් කරා මෙහෙයවීමට පවා

සම්භාවිතාවක් තියෙනවා. ලාංකීය සංගීත කර්මාන්තය හා ජාත්‍යන්තර සංගීත

කර්මාන්තය අතරේ ශක්තිමත් වෘත්තීය සබැඳියාවන් ඔප්නැංවීමටත් ඒ ඔස්සේ අවකාශය

සැලසෙනවා.

නමුත් මා මෙහිදී ගෙනහැර පෑ යුතු විශේෂ කාරණාවක් තියෙනවා. නිර්මාණකරුවන්

වශයෙන් අපි ආරම්භයේ පටන් අවසානය දක්වාම ප්‍රමුදිතව නිර්මාණකරණයේ

යෙදෙන්නට අත්‍යාවශ්‍යයි. අවසාන ප්‍රතිඵලයන් කෙරෙහි සාපේක්ෂ පුරෝකථනයන්

සිදුකරමින් නිර්මාණකරණයේදී කැපකිරීම් සිදුකිරීම මා දකින්නෙ අරුත්සුන් තීරණයක්

ලෙසයි.

සාපේක්ෂ පුරෝකථනයන්ගෙන් තොරව සාමූහික ප්‍රයත්නයක් වශයෙන් සිදුකෙරෙන

අවංක නිර්මාණ වෑයමකදී බොහෝ වටිනා දෑ පිළිබඳව අත්දැකීම් කේන්ද්‍රකොටගෙන

උගත හැකියි. එම ඉගෙනුම අනාගත ප්‍රශස්ථ නිර්මාණකරුවෙකු බිහිකරවීමේ වස්තු

බීජයන් උපද්දවන්නට සමර්ථ වෙනවා.

ඉහත කී පරිදි මම සාමාන්‍යයෙන් නිර්මාණකරණයේ යෙදෙන්නේ සාමුහිකවයි. එහිදී අපි

අතරෙ නිරන්තරයෙන් අදහස් හුවමාරු කෙරෙනවා. ඒ අතරින් සාමුහික එකඟතාවය

සපයාගන්නා ප්‍රශස්ථ අදහස් නිර්මාණයන් හට උපයෝගී කෙරෙනවා.

ජාත්‍යන්තර සංගීත වෙළඳපොළ කේන්ද්‍රකොටගෙන සිදුකෙරෙන නිෂ්පාදන කටයුත්තක්

සම්බන්ධයෙන්නම් ඉහත කී ක්‍රියාවලිය නිරවද්‍යභාවය සහිත සංඛයාත්මක තොරතුරු

විශ්ලේෂණයක් උපයෝගීකොටගනිමින් වඩාත් සෛද්දාන්තිකව සිදුකෙරෙනවා. නමුත් මගේ

අත්දැකීමේ හැටියටනම් ඒ සියළු උත්සාහයන්ගේ අවසන් ප්‍රතිඵලය හුදු ප්රේක්ෂක සංගීත

භාවිතාව මත තීරණය වනවා.

Q). සංගීත කර්මාන්තය තුළ ඔබ වර්ථමානයේ නිරත වී සිටින නිර්මාණාංගයන් හා

ඉදිරියේදී එළිදැක්වීමට සැලසුම් කරමින් සිටින නිර්මාණාංගයන් පිළිබඳව හෙළිදරව් කරමු.

A). මේ වනවිටදී සිනමා නිර්මාණයන් කිහිපයකම පසුභිම් සංගීතය සැපයීම වෙනුවෙන්

මගේ කාලය විඩංගු කෙරිලා තියෙනවා. ඒ නිර්මාණයන් ඉදිරියේදී ඒ සිනමා නිර්මාණයන්

සමඟින්ම මුදාහැරෙයි. එමෙන්ම ජාත්‍යන්තර සංගීත කර්මාන්තයන්හි වෘත්තීය ලෙසින්

නියැලෙන ප්‍රමුඛතම සංගීතවේදීන් කිහිපදෙනෙකු සමඟින් නිර්මාණය කෙරුණු නවමු

ආරයන්ගේ ගීතයන් කිහිපයක්ද එළිදැක්වීමට නියමිතව තියෙනවා. ඇත්තෙන්ම ඒවා

පොපියමින් තිබෙන යෞවනත්වය උදෙසාම වෙන් වේවි කියලා අපේක්ෂා කරනවා.

අවංකවම ප්‍රකාශ කළෝතින් මගේ සංගීත නිර්මාණයන් තුළ සිනමාත්මක රූපණය

හුවාදැක්වීම පිළිබඳ මම විශාල උනන්දුවක් දක්වනවා. මගේ දැනුමේ පරිද්දෙන් සංගීත

ඛන්ඩවලින් හා භාෂාවකින් නිරාවරණය කරගත නොහැකි මට්ටමේ ඇතැම් පරිකල්පනයන්

රූපණය තුළින් ද ප්‍රේක්ෂකයන් වෙත සම්ප්‍රේෂණය කළ හැකි වෙනවා. ඇමරිකා එක්සත්

ජනපදයේදී ලබාගත් වෘත්තීය රංගන පුහුණු පාඨමාලාව තුළින් ලත් සෛද්දාන්තික හා

ප්‍රාසාංගික ආභාශය මේ සඳහා බෙහෙවින්ම උපයෝගී කරගන්නවා.

Q). ඔබ ඇමරිකා එක්සත් ජනපදයේ වෘත්තීය රංගන පුහුණු පාඨමාලාවක් සාර්ථකව

නිමකර සිටින අයෙක් වශයෙන් ලාංකීය සිනමා කර්මාන්තය වෙනුවෙන් ඔබේ රංගන

ධායකත්වය සැපයීම සම්බන්ධයෙන් දරන අදහස පැහැදිලි කරමු.

A). මගේ රූපණ දක්ෂතාවයන් සාර්ථක ලෙසින් පිළිපිඹු කිරීමට ශඛ්‍යතාවයක් සහිත

ප්‍රශස්ථ පිටපතක් ලැබුණොත් නියත වශයෙන්ම ඒ පිළිබඳව පුර්ණ අවධානය

යොමුකරන්න බලාපොරොත්තු වෙනවා.

සැකසුම : හිරාන් ගමගේ

Namadgi

මිහිතලයේ බොහෝ පෙදෙස් හිමෙන් වැසෙනා සමයක, ඕස්ට්‍රේලියාව පසු කරන්නේ හරිම උණුසුම් ගිම්හාන සමයක්. විටින් විට හේල් අයිස් කුණාටුත්, අහස ගුගුරාගෙන වැසි බිම ඇද හැලුනත්, වා තලයට මුසුවී එන ඒ ග්‍රීෂ්මය මග හැරිය නොහැක්කක්.

කාලගුණයෙන් වෙන කුඩම්මාගේ සැලකිලි අමතක කරමින්, අපි උදෑසනම සුදානම් වුයේ සුන්දර ගමනාන්තයකට පිටත් වන්නට. ඒ කැන්බරා දකුණු දෙසටත් ,එක්  පසෙකින් නිව් සවුත් වේල්ස් හි කොසියස්කෝ (Kosciuszko) ජාතික වනෝද්‍යානයටත් මායිම්ව ඇති නමාගි (Namadgi) ජාතික වනෝද්‍යාන කඳුවැටිය දිසාවට. ඕස්ට්රේලියානු ජාතික උරුම ලැයිස්තුවේත් සඳහන්වී ඇති මෙම ස්ථානය බෙහෙවින් විශේෂ වන්නේ  අවුරුදු විසිදහසක් දක්වා අතීතයක ට නෑකම් කියන අබෝරිජිනල් ආදිවාසි පැවැත්මේ සලකුණු  නිසාවෙන් . ඔවුන්ගේ බසෙන් නමාගි යනු කඳු වැටියයි.

බොහෝ වරක්, එහි පිහිටා ඇති බෝබෝයාන් පාර අසලින් ගලාගෙන යන ගද්ගේන්බි (Gudgenby) ගං  ඉවුරේ කඳවුරු බැඳ තිබුණත්, ඉන් ඔබ්බට සැරි සරන්නට කාලයෙන් අවකාශය ලැබී තිබුනේ නෑ .එබැවින් අපේ චාරිකාවේ මුලික අරමුණ වුනේ, ඉන් ඔබ්බට ගොස්, නමාගි හි සැඟව ඇති සුන්දරත්වය සොයා යන්නට.

පැයක පමණ ගමනකින් පසු අප සේන්දු වුයේ බෝබෝයාන් පාර වෙතට. එතැන් පටන් තවත් පැයක් පමණ ගං ඉවුර දිගේ උඩු ගං  බලා වේගයෙන් රිය පදවන්නට පෙළඹුනේ,  අපි මින් පෙර ගොස් නැති ප්‍රදේශය වෙත ඉතා ඉක්මනින් ළඟා වීමට. නමුත් නොසිතු අයුරින් පෙරදා කඩා හැලුණු අනෝරා වැහි නිසාවෙන්  සපත්තු පාලම්  සියල්ලම පාහේ වතුර පිරී අපගේ වේගය අඩාල කරන්නට වුණා . දුරකථන සංඥා ගිලිහෙමින් අපට යා යුතු මග හරි හැටි සොයාගත නොහැකිව සිටින මොහොතක හිතට සතුටක් ගෙනදෙමින් අප ඉදිරියට ජීප් රථයකින් පැමිණියේ නමාගි වන නියාමකවරයෙක් (Forest ranger) වන මයිකල්. ඔහුගේ අදහස වුයේ  මෙම පාරේ තව කිලෝමීටර දහයක් පමණ උතුරු දෙසට ගමන් කලත් අපට වෙනස්  දසුනක් දැක ගත නොහැකි බවයි. එම නිසාවෙන් ඔහුගේ යෝජනාවට අනුව මද දුරක් ගමන් කොට අප ගොඩබට වුයේ ගුරැ පාරකට. 

ගුරු පාරේ තත්වය දුටු විට මද තිගැස්මක් ඇති වුවත්, අප වාහනයේ, ගියරය 4WD වෙත මාරු කරගත්තේ මේ පාරේ අනිවාර්යෙන්ම ඉදිරියට ගමන් කල යුතු බව පසක් කරමින් ඈතින් පිළිඹිඹු වන්නට ගත්  ස්වභාව ආශ්චර්යයෙන්. විශාල මඩ කඩිති , පාර හරහා ගලාගෙන යන දොලපහරවල් ආදී විවිධ බාධක හමුවුවත්, ඉන් ලැබුණු සුන්දරත්වය කියා නිම කල නොහැක්කක්. නිලට හුරු ,තැනිතලා තණපිටි වල තැනින් තැන ගුලි ගැහී සිටිනා ස්කොට්ලන්ත හයිලැන්ඩර්  වර්ගයේ ගවයින් දුටු විට අප සිටින්නේ බ්‍රිතාන්‍ය කඳුවැටියකදැයි නොහැඟුනාම නොවේ. පාර හරහා පැන යන ඉතා විශාල කැන්ගරුවන් නිසාවෙන් අප බොහෝ වෙලාවක් මග නවතා ගෙන සිටියේ, මේ ඔවුන්ගේ රජ දහන බව හොඳ හැටි පසක් කරගෙන සිටි නිසාවෙන්. මේ කඳු නිම්නයේ ගලා ගෙන එන සුළඟ, දසත පිපී ඇති ඕස්ට්‍රේලියාවට ආවේණික ව්‍යිවර්ණ කුඩා මල්, කැන්ගරුවන්, ලාමා සතුන් මා නැවතත් කුඩා කාලයට රැගෙන ගොස්,  එකල නැරඹු ස්විට්සර්ලන්ත කඳු නිම්නයේ ජීවත් වූ පුංචි හයිඩිගේ චිත්‍රපටිය මනස්කාන්ත කරවන්නට වුවා .

ගුරු පාර දිගේ බොහෝ දුරක් මේ සුන්දරත්වය නරඹමින් ඉදිරියට ඇදුන අපි, රැගෙන ආ ස්ට්‍රෝබෙරි ජෑම් තැවරු සැන්ඩ්විච්, බටර් සුවදැති වැනිලා කේක් ආහාරයට ගෙන නැවතත් නිවහන බලා යන්නට සුක්කානම කැරකවූයේ , අහස කළු කරමින් කඳු අතරින් ඇදී එන වැහි වලාව බිම පතිත වුවොත් මගදී හමුවූ දිය කඩිති පිටාර යාමෙන් මග අවහිර වන නිසා. නමුත් වන මායිමෙන් පිට වීමට පෙර සංචාරක මධ්‍යස්ථානයට ගොස්  නමාගි සම්පුර්ණ සිතියම ලබාගත්තේ, මයිකල් කියාදුන් පරිදි ප්‍රධාන මාර්ගයෙන් පිටට ගොස් මේ වන ලැහැබේ සොයා යන්නට  බෝහෝ ස්ථාන ඇති බව අද දින තහවුරු වුනු නිසාවෙන්.

තරුණකම හැකි ඉක්මනින් භාවිතා කරමු!

තාරුණ්‍යය ජීවිතයේ සුන්දරතම වගේම අභියෝගාත්මක අවධියයි. ඒ සුන්දරත්වයට අපි සියලුම දෙනා ආශා කරන අතර ඒ කාලයේ අසිරියවිඳින්නට අපි සියලුම දෙනා තුළ පවතින්නේ දැඩි කැමැත්තක්.මනෝවිද්‍යාත්මකව තරුණ විය හදුන්වන්නේ ජිවිතයේ හැඟීම්බරතමකාල සීමාව ලෙසයි. ජිවිතය පිළිබඳ අත්දැකීම් ලබන්නට පෙරුම් පුරන අවධියේ දී තරුණ තරුණියන් ලෙස ජීවිතය හමුවේ අභියෝග රැසක්‌ පවතී. ඔබ ඔබේ ජීවිතය හමුවේ එන අභියෝග වලට සාර්ථකව මුහුණ දීමට නව යොවුන් වියට එළඹෙද්දීම සූදානම් විය යුතුයි. කායිකව හා මානසිකව වැඩි ශක්තියක් පවතින කාලයේ දී මේ ජවය, ශක්‌තිය යොදා ගනිමින් අලුත් අලුත් දේ කරන්නට සිතෙන, නව නිපැයුම් අත් හදාබැලීමට යොමුවන කාලයයි. සාම්ප්‍රදායික මත වාද පිලිබද නොතකමින්යමින් අලුත් මතවාදයන් සමඟ උරෙන් උර ගැටෙමින් මේ කාල සමයේ දී තරුණ ඔබ ඔබේ ජීවිතය හමුවේ පවතින අභියෝග හදුනා ගත යුතු අතර ඒ සඳහා සාර්ථවක මුහුණ දීම ද අත්‍යාවශ්‍යයි. මෙසේසාර්ථකත්වයට යෑමට නව යොවුන් විය පටන් ගැන්මේ පටන්ම ඒ සදහාසූදානම් වීම අවශ්‍යයි.

දැන් අපි බලමු මේ අභියෝග හදුනාගන්නේ කොහොමද කියලා.තාරුණ්‍ය කිනේනේ හැඟීම්, සිතුම් පැතුම් වර්ධනය වන කාල වකවානුවකි. ආදරය, රාගය වැනි තාරුණ්‍ය හා බැඳී පවතින හැඟීම් ඇති වන්නේත් වර්ධනය වන්නේත් මේ කාලය තුළයි. තරුණ තරුණියන් බොහෝ පිරිසකට තමන්ට තමන්වත් තේරුම් ගැනීමට නොහැකි වන ආකාරයට ජීවිතයේ වෙනස්‌කම් රැසක්‌ සිදුවන අවධියකි. එසේමනොයෙකුත් දෑ අත් හදා බැලීමට පෙලඹෙන්නේද මේ කාල සීමාවතුළය. එම වෙනස්‌කම් නිවැරදිව හදුනා ගතයුතුයි. තමන්ට තමන්වහදුනා ගැනීමට අතපසු වීම මේ අවධියේ තරුණ ඔබ හමුවේ පවතින සුවිශේෂම අභියෝගයකි. තාරුණ්‍යයේ පසුවන ඔබේ සිතුවිලි විවිධාකාරයි. ඒ හැඟීම් තේරුම් ගන්නට නොහැකි තරම් ඔබේ සිතුවිලි චංචලයි. මෙය වැඩිහිටියන් මෙන්ම ජීවිත ගමනට සැරසෙන ඔබත්අත්‍යවශ්‍යයෙන්ම හදුනාගත යුතුමයි. 

හැඟීම් වලට වහල් වී ජීවිතය ජය ගන්නට උත්සාහ දරන ඔබට ජීවිතයේ යථාර්ථය නොපෙනී යන කාල වකවානුවකි. තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය රැක ගැනීමට ඔබම උත්සාහ ගත යුතුයි. හැඟීම් සමඟ ඇති වන මානසික අරගලය නිසා ඔබට නොදැනීම ඔබේ ජීවිතයේ විවිධ වෙනස්‌ වීම් ඇතිවිය හැකියි. නමුත් මේ මානසික අරගලය නිසා ඔබේ ජිවිතය අතරමං කරගන්න එපා. මෙහිදී හදවතටමූලිකත්වය නොදී බුද්ධිය ක්‍රියාත්මක කලයුතුයි. ජීවිතයේ සුන්දරතම කාලවකවානුව එනම් තාරුණ්‍යයේ දී ඔබේ ජීවිතයේ සුන්දරත්වය විඳින්න. එය ඔබේ ජීවිතයේ සාර්ථක ඉදිරි ගමනට මඟ පාදනු ඇත. 

බොහෝ විට තරුණ අවධියේ හැඟීම් වල සිදුවන වෙනසත් සමඟම ඔබට දෙමාපියන්, ඥතීන් සමඟ තම ආශාවන් සහ අවශ්‍යතාවන් ඉටු කර ගැනීම අපහසු වේ. ඒ නිසාම නිතර නිතර ගැටුම් ඇති කර ගනී. තාරුණයේ පසුවන ඔබේ හැඟීම් නිතර නිතර ඒ මේ අත ගමන් කරන නිසාම බුද්ධියට කලින් හිත ඉක්‌මන් වන අවස්‌ථා බොහොමයි. ඒ පිළිබඳ ඔබ සැලකිලිමත් විය යුතුයි. 

සම වයසේ පසුවන ඔබේ මිතුරන් සමඟ ඇසුරුකම් පැවැත්වීමේ දී ඔබට ඒ ගැන අවබෝධයක්‌ පැවතිය යුතුයි. සම වයස්‌ කණ්‌ඩායම් හා ඇසුරු කිරීමේ දි විශේෂයෙන් ඒ අයගෙන් ඇතිවන විවිධ බලපෑම් වලට හසු නොවී ඔබේ අරමුණු කරා ගමන් කළ යුතුයි. කුඩා අවධියේ සිටමඅරමුණු ගොඩ නගා ගනිමින් ඒ අරමුණු ජය ගැනීමට වෙහෙසෙන සිහින දකින ඔබ කිසි විටකවත් කුමන හේතුවක්‌ නිසාවත් ඔබේ අරමුණ අමතක නොකර ගතයුතුයි. එසේ වුවහොත් කවදා හෝ දිනක ඔබට ඔබේ ජීවිතය ගැනම විශාල කලකිරීමක්‌ හට ගනී. තාරුණ්‍යයේ ඔබේ ජීවිතය සුන්දරව විඳිය යුතුයි මිස විඳවිය යුතු නොවේ. 

තවද මෙම සමාජ අත්දැකීම් සාර්ථක ජිවිතයකට පාර කියා දේ. සමාජය තුළ ඒ ඒ කාල වලට විවිධ සමාජ රැලි ගොඩ නැගේ. ඒවායන්පළමුවෙන්ම බිල්ලට හසුවන්නේ ඔබේ ජීවිතයයි. එය බොහොමයක්‌ තරුණ ජීවිත වලට අමතක වී ගොස්‌ ඇත. තාරුණ්‍යයේ පසුවනබොහෝ දෙනෙක්‌ විවිධ සමාජ රැලි වලට හසු වනතුරුම දන්නේ නැති තරම්. විවිධ වාණිජ්‍ය උපක්‍රම වලට හසු වී තරුණ ඔබේ ජීවිත අතරමං නොකර ගෙන සැබෑ තාරුණ්‍ය ජිවිතයේ සුන්දරත්වය විඳින්න. වාණජ්‍යඋපක්‍රම වලට හසු වී විවිධ අත්හදා බැලීම් සිදු කරන්නට පෙළඹෙන්නඑපා. තරුණ හිත් බොහෝ සෙයින් සංවේදී නිසාම ඒම සංවේදී බවින් ප්‍රයෝජන ගැනීමට බොහෝ දෙනෙක්‌ පෙළ ගැසී ඔබ දෙස බලා සිටිනවා. ඔබේ ජීවිතය ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීම සඳහා බිලි නොදෙන්න. ඔබම ඔබේ ජීවිතය ආරක්‌ෂා කරගන්න වෙහෙස ගන්න. සියලුම දේ වාණජ්‍යකරණය වු මේ සමාජයේ ඔබේ තරුණ වියත් විකිණීමට ලක්‌ කරන්න එපා. 

ආකර්ශනය පසුපස හබා යන්නට වෙර දරන තාරුණ සමයේ දි ඔබේ සිතින් බොහෝ දේ ගිලිහී යා හැකියි. බාහිර ආකර්ශනයෙන් පමණක්‌ සිතුවිලි පුරවා නොගන්න. ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගනිමින් ඉදිරියට ගමන් කරන්නට උත්සාහ ගන්න. තරුණ ඔබ සතුව විවිධ කුසලතා රාශියක්‌ සැඟවී තිබෙනවා. ඔබ ඒ හැකියාවන් හදුනා ගත යුතුයි. හැකියාවන් ඔස්‌සේ ඉදිරියට ගමන් කිරීමට වෙහෙස ගන්න. එය ඔබට ඔබේ ජිවිතයේ සැබෑ මඟ කියා දේවි. විලාසිතා තරුණ ඔබේ ජීවිතයට අවශ්‍යයි. ඒ තුළින් ගොඩ නගා ගන්නා ආකර්ශනය ද ඔබේ තුරුණු වියට අවශ්‍යම බව සැබෑවක්‌. නමුත් විලාසිතා මුවාවෙන් එන විවිධ රැවටීම් වලට හසු නොවන්න. 

තරුණ වියට එළබෙත්ම ඉගෙනුමට මෙන්ම ජිවිතයේ අභියෝග ජයගන්න ඔබම සැලසුම් සකසා ගත යුතුයි. ඒ පිළිබඳ දැනුවත් විය යුතුයි. ඒ දැනුම ඔබට ලබා ගත හැකි වන්නේ පාසලකින්වත් කිසිදු පාඨමාලාවක්‌ හදාරාවත් නොවේ. පොතපතේ දැනුමට ඒහා ගිය සමාජ දැන්මකින් ඔබ පෝෂණය විය යුතුයි. විවෘත මනසකින් සමාජය දෙස බැලිය යුතුයි. එසේ වුවහොත් ඔබට සමාජ රැල්ලට හසු නොවී ජීවිතයේ අභියෝග වලට සාර්ථකව මුහුණ දීමට හැකිවනු ඇත. හැමදාමත්හැමදෙයකින්ම ජිවිතය ගැන පාඩම ඉගෙන ගතයුතුයි. සමාජ දැනුමෙන් තරුණ ඔබ සන්සද්ධ විය යුතුයි. 

තමන්ගේ හැකියාවන් හදුනාගන්න. ඔබ සියලුම දෙනා සතුවම ඕනෑම අභියෝගයක්‌ ජය ගැනීමේ ස්‌භාවික ශක්‌තිය පවතිනවා. එය තමා විසින්ම කතමන්ගේ ජීවිතයෙන් මතු කර ගත යුතුයි. තමන් සතු කුසලතාවන් හදුනා ගෙන එම කුසලතාවන් දියුණු කර ගත යුතුයි. ඔබේ ජීවිතයේ ඔබ හමුවේ පවතින අභියෝග ජය ගන්න නිවැරදි තීරණ ගත යුතුයි. තරුණ ඔබ විශේ ෂයෙන්ම අන් අයගේ මත වලට ඇහුම්කම් දිය යුතුයි. තරුණ ඔබේ ජීවිතය හමුවේ ඇති අභියෝග ජයගන්න තමා සතු ආත්ම විශ්වාසය ශ පෞර්ෂය නංවා ගැනීම වඩා වැදගත්.

වෛද්‍ය චන්ද්‍රිකා රාජපක්ෂ

Doctor of Ayurveda| Motivational Speaker| Counsellor

M. Sc., BAMS, B. Sc., CCHRM

UK වල work කරන ලාංකිය ඔබ තමන්ගෙම නිවසක් මිලදි ගන්න සුදානම්ද?

UK වල work කරන ලාංකිය ඔබ තමන්ගෙම නිවසක් මිලදි ගන්න සුදානම්ද?

ලංකාවේ ඉඳන් uk ආව කට්ටිය අපෙන් අහන ප්‍රශ්නයක් තමයි skilled worker වීසා ඉන්න ගමන් Mortgage එකකට  යන්න පුළුවන්ද කියලා. Skilled worker visa එකක් අරන් ආව අය ගොඩක් වෙලාවට කල්පනා කරනවා Rent එකට private tenant කෙනෙක් විදියට ඉන්නවද නැත්නම් Mortgage එකක් දාලා ගෙදරක් සල්ලි දීලා ගන්නවද කියලා.

ගොඩක් අය හිතන් ඉන්නවා Skilled worker visa එකක ඉන්න කෙනෙක්ට Mortgage එකක් ගන්න අවුරුදු පහක්වත් අඩු ගානෙ uk ඉන්න ඕනි කියලා. ඒත් ඇත්තම තත්ත්වය එහෙම නෙවෙයි. ඔයා uk වලට ඇවිල්ලා මාස හයක් නැත්නම් මාස 12ක් මෙහේ ජීවත් වුණාට පස්සේ වුණත් Mortgage එකකින් ගෙදරක් ගන්න දැන් අවස්ථාව තියෙනවා.

1. Skilled worker visa එකක ඉන්න කෙනෙක්ට කොච්චරක විතර deposit එකක් ඕනි වෙනවද mortgage එකකින් ගෙදරක් ගන්න?

ගොඩක් හොඳ ප්‍රශ්නයක්! කෙටියෙන්ම උත්තරයක් දුන්නොත්, සමහර lenders ලා එක්ක 5% deposit එකකින් හරි නැත්තං 10% deposit එකකින් හරි පවා ගෙදරක් ඔයාලට ගන්න පුළුවන් Mortgage කරලා. ඒ වගේ පොඩි deposit එකකින් ගෙදරක් ගන්න නං lenders ලගෙ තියෙනවා Lending Criteria. එහෙම criteria වලට qualify වෙන්න ඕන. අනිත් option එක තමයි ඔයාලට 25% වගේ Deposit එකක් දාන්න පුලුවන්නම් Mortgage එකකට apply කරන්න පුළුවන්.

2. කොච්චරක විතර credit score එකක් තියෙන්න ඕනිද Skilled Worker Visa එකක ඉන්න ගමන් Mortgage එකකට apply කරගන්න?

ගොඩක් lendersලගෙ තියෙනවා internal credit score card කියලා එකක්. Mortgage එකේ අපි පලවෙනිම අදියර වශයෙන් applicentsලගේ  credit score එක Internal Score Card එකට වඩා වැඩි නම් Mortgage එකට decision in principle (DIP) එකක් ලබාගන්න පුළුවන්. 

3. Mortgage එකක් ගන්න ඕන කරන minimum income requirement එකක් තියෙනවද skilled worker visa ඉන්න කෙනෙක්ට?

මේක තීරණය වෙන්නේ තොරාගන්න lender අනුව සහ applicants ලට පුළුවන් ඩිපෝසිට් එක අනුව. උදාහරණයක් විදිහට ගත්තොත්, ඔයා යන lender, minimum income එක විදිහට £75,000 – £100,000 ඉල්ලනවා නම් එතකොට ඔයාට පොඩි ඩිපෝසෙට් එකක් දාලා වුණත් Mortgage එකක් ගන්න පුළුවන්. ඒ වගේම තවත් lenders ඉන්නවා. එහෙම Minimum income requirement එකක් ගැන බලන්නේ නැති.

4. Skilled Worker Visa එකේ remaining time එක mortgage එකකට apply කරද්දී බලපානවද?

ගොඩක් lenders ල visa එකේ 6 months remaining තියෙනවද කියලා බලනවා. ඒ වගේම සමහර lenders ඉන්නවා එයාලට specific මාස ගානක් තියෙන්න ඕන condition එකක් නැහැ. ඒවගේ lenders බලන්නේ applicant වීසා එක renew කරගන්න තියෙන possibility එක.

5. skilled worker visa එකක ඉන්න කෙනෙක්ට Mortgage එකක් අරගෙන ගෙදරක් ගන්න mortgage broker කෙනෙක් කොහොමද උදව් කරන්නේ?

Skilled worker visa mortgage ගැන specialist mortgage broker කෙනෙක්ට පුළුවන් applicant ගෙ information දිහා බලලා හරියටම ගැලපෙන lender කවුද කියලා තීරණයක් ගන්න. ඊට අමතරව mortgage application එක submit කරන වෙලාවෙ ඉඳන් home purchase completion මොහොත දක්වාඋදව් කරන්න පුළුවන්. 

At WIS Mortgages, we don’t charge any broker fees. Our services are remunerated by the lender. WIS is a national award winning mortgage intermediary (Winner- What Mortgage Awards 2023 up to 39 advisers) We are renowned for our exceptional customer service and whole of market mortgage advice!

As a mortgage is secured against your home or property, it may be repossessed if you do not keep up the mortgage repayments.

Website- www.wismortgages.co.uk

Email- help@wismortgages.co.uk

Phone- 02030111986

Book an appointment now- https://go.oncehub.com/Anoj

Offices- Ashford Kent, Dorking Surrey, Chelmsford, London